අද ලියන්ඩ හිටියේ වෙනිං කාරණයක් ගැන. ඒත් හදිස්සියේම
මතක් උනා අද නේද බොලව් චන්දෙ කියලා. අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපේ සිරිත් විරිත්
වලට ගරු කරන්ඩ ඕන. සංස්කෘතිය රැක ගන්ඩ ඕන. එහෙම නැති උනොත් මඩු වල්ග පාරක් කන්ඩ
ලැස්ති වෙන්ඩ ඕන. ඉතිං පුරාණේ ඉඳන් පැවතගෙන ආපු චන්ද දවසට අදාළ අපේ සිරිත් විරිත්
කීපයක් උනේ කොහොමද කියල කියන්ඩ තමයි අද
ලැහැත්තිය. කොහෙද මේ ටෙලිවිසොන් බඩුකඩුත්තුවේ වත් පෙන්නන්නේ නෑනේ පරණ කාලේ චන්ද
වලට අදාළ සිරිත් විරිත්. මේ අපිම ලියල කියල අනාගත පරම්පරාවට මේ කරුණු කාරනා
පැහැදිලි කලොත් මිසක්ක. ඉතින් මං හිතුවා
අපේ අම්මලා අප්පච්චිලාගේ කාලේ අපේ ගෙදර චන්ද කෙරුවාව ගැන කතා දෙක තුනක්
තමුන්නැහෙලා එක්ක බෙදා හදා ගන්ඩ.
ඔය ඔක්කොටොම කලින් කියන්ඩ ඕන අපේ ගෙදර තිබ්බ දේශපාලන
මෙව්වා එක ගැන. අපි ඉපදෙන කොට රටේ තිබ්බ සෞභාග්‍යමත් වටපිටාව හිංදා අපේ අප්පච්චිට
අපිට දෙන්ඩ කිරි පිටි ගේන්ඩ අනුරාධපුරේ යන්ඩ වෙලා. අප්පච්චිගෙ දෙමළ යාලුවෙක් ඉඳලා
තියනවා යාපනේ. ඔය යාලුවා කිරිපිටි ටින් දෙකක් හොරෙන් ගෙනැල්ලා දෙනවලු අනුරාජපුරේ
ඉස්ටේසමට. එතැන ඉඳන් අපේ අප්පච්චි ඇඳුම් බෑග් එකක හංගගෙන කිරි පිටි ටින් දෙක ගෙදර
ගේනවලු. ඉතිං අපේ අප්පච්චි ජම්මාන්තර වෛරයක් ඇති කර ගත්තා ඔය නිල් පාට පක්සෙත්
එක්ක. ඉතිං දන්න කියන කාලේ ඉඳලා අපේ ලේ කොළ පාටයි. ඊට පස්සේ අසූ ගණන් වල අගදී
අප්පච්චිගේ ලේ ආපහු රතු පාටට හැරුනා. අම්මනං කිව්වේ ඒ කාලේ අම්මගේ නං ලේ වතුර
වෙලයි තිබ්බේ කියලා. මොකද ඒ කාලේ රටේ හිටපු ප්‍රධාන පුරවැසියාගේ නුගුණ අපේ අප්පච්චි
ප්‍රසිද්ධියේම කියා පාපු හිංදා.



