Saturday, February 10, 2018

කාටද චන්දෙ දුන්නේ?


අද ලියන්ඩ හිටියේ වෙනිං කාරණයක් ගැන. ඒත් හදිස්සියේම මතක් උනා අද නේද බොලව් චන්දෙ කියලා. අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපේ සිරිත් විරිත් වලට ගරු කරන්ඩ ඕන. සංස්කෘතිය රැක ගන්ඩ ඕන. එහෙම නැති උනොත් මඩු වල්ග පාරක් කන්ඩ ලැස්ති වෙන්ඩ ඕන. ඉතිං පුරාණේ ඉඳන් පැවතගෙන ආපු චන්ද දවසට අදාළ අපේ සිරිත් විරිත් කීපයක්  උනේ කොහොමද කියල කියන්ඩ තමයි අද ලැහැත්තිය. කොහෙද මේ ටෙලිවිසොන් බඩුකඩුත්තුවේ වත් පෙන්නන්නේ නෑනේ පරණ කාලේ චන්ද වලට අදාළ සිරිත් විරිත්. මේ අපිම ලියල කියල අනාගත පරම්පරාවට මේ කරුණු කාරනා පැහැදිලි කලොත් මිසක්ක.  ඉතින් මං හිතුවා අපේ අම්මලා අප්පච්චිලාගේ කාලේ අපේ ගෙදර චන්ද කෙරුවාව ගැන කතා දෙක තුනක් තමුන්නැහෙලා එක්ක බෙදා හදා ගන්ඩ.


ඔය ඔක්කොටොම කලින් කියන්ඩ ඕන අපේ ගෙදර තිබ්බ දේශපාලන මෙව්වා එක ගැන. අපි ඉපදෙන කොට රටේ තිබ්බ සෞභාග්‍යමත් වටපිටාව හිංදා අපේ අප්පච්චිට අපිට දෙන්ඩ කිරි පිටි ගේන්ඩ අනුරාධපුරේ යන්ඩ වෙලා. අප්පච්චිගෙ දෙමළ යාලුවෙක් ඉඳලා තියනවා යාපනේ. ඔය යාලුවා කිරිපිටි ටින් දෙකක් හොරෙන් ගෙනැල්ලා දෙනවලු අනුරාජපුරේ ඉස්ටේසමට. එතැන ඉඳන් අපේ අප්පච්චි ඇඳුම් බෑග් එකක හංගගෙන කිරි පිටි ටින් දෙක ගෙදර ගේනවලු. ඉතිං අපේ අප්පච්චි ජම්මාන්තර වෛරයක් ඇති කර ගත්තා ඔය නිල් පාට පක්සෙත් එක්ක. ඉතිං දන්න කියන කාලේ ඉඳලා අපේ ලේ කොළ පාටයි. ඊට පස්සේ අසූ ගණන් වල අගදී අප්පච්චිගේ ලේ ආපහු රතු පාටට හැරුනා. අම්මනං කිව්වේ ඒ කාලේ අම්මගේ නං ලේ වතුර වෙලයි තිබ්බේ කියලා. මොකද ඒ කාලේ රටේ හිටපු ප්‍රධාන පුරවැසියාගේ නුගුණ අපේ අප්පච්චි ප්‍රසිද්ධියේම කියා පාපු හිංදා. 

Sunday, February 4, 2018

අතීතයෙන් වර්තමානයට ආ අන්දරේ

ගිය පෝයට පායපු හඳ බැලුවද? වැහි මංදාරන් ගතිය හිංදා හරියටෝම බලන්ඩ බැරි උනත් මට නං හිතුනේ ජනවාරි මුල පායපු හඳ මීට වඩා ලොකුවට තිබ්බා කියලයි. පෝය දාට හරි, ඊට පස්සේ දවසේ හරි හඳ පායන දිහා බලන හුඟක් දවස් වලට මට මතක් වෙන සුන්දර සිදුවීමක් තියනවා. ඒ තමයි මම දැකල තියන ලස්සනම හඳ.

එදා බොහොම පැහදිලි අහසක් තිබ්බ මාර්තු මාසේ දවසක් කියලයි මතක. හන්තානට ඉහලින් ලස්සනට හඳ පායලා. සීතල සුළං රැල්ලක් ගතේ දැවටෙද්දී මම හිටියේ එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීටයේ එහෙම නැත්තං කවුරුත් කියන විදිහට වලේ. මං විතරක් නෙවෙයි එදා පේරාදෙණියේ දාස් ගානක් එතන හිටියා. හැබැයි මීක් සද්දයක් නෑ. පේරාදෙණියෙන් බිහිවෙච්ච මහා කළා කරුවෙක් තමුන්ගේ නාට්‍යයක් පෙන්නන්ඩ වලට ඇවිත්! ජයලත් මනෝරත්න මහත්තයා ගේ 'අන්දරේලා' නාට්‍යය එදා තමයි මම මුලිම්ම බැලුවේ. හඳ පානේ බලාපු මේ අම රස වෑහෙන නාට්‍යය ඊට පස්සෙත් මම හතර පාරක්ම බැලුවා. කැමතිද මම 'අන්දරේලා' දැක්ක විදිහ ගැන කියවන්ඩ?

රජ්ජුරුවෝ හිනස්සන්න විහිළුකාරයෝ
බිසව් තොමෝ සනස්සන්න විහිළුකාරයෝ
පඩි නඩි නෑ කාල බීල හිටියත් මදිද
රජ්ජුරුවෝ හිනස්සලා මැරුණත් මොකද

රජවරු කිව්වම කොච්චර රාජකාරි ද
විහිලු තහලුවක් හිතන්ඩ වෙලාව කොහෙ ද
රජා හිනාගස්සන එක ලේසි වැඩක් ද   
අන්දරේව ඕන උනේ ඒ නිසාව ද

Thursday, February 1, 2018

එහෙවු නිදහසේ ස්වර්ග රාජ්‍යයට...!


අද පෙබරවාරි මාසේ පටං ගත්තා. ඊයේ පෙරේදා වැහැපු වැස්ස නොවෙන්ඩ මේ පාර නිදහස් දවසට අලගල්ලේ කන්ද වත් නගින්ඩ තිබ්බා කියල තමයි ගමේ කොල්ලෝ කෙල්ලෝ කියන්නේ. ඉතිං මටත් හිතුනා අපේ ගං පළාතේ තියන මේ චාරිත්තරේ ගැන ඔබ තමුන්නැහෙලත් එක්ක වචනයක් දෙකක් කතා කරන්ඩ.

ලාංකිකයෝ හුග දෙනෙකුට නිදහස් දවස කියන එක තවත් එක නිවාඩු දවසක් විතරක් උනාට අපේ ගං පලාතට නං එහෙම නෑ.  පොඩි එකා කාලේ ඉඳලම අපේ ගම් පැත්තෙ කට්ටිය නිදහස් දවසට මොකක්  හරි කන්දකට නගිනවා. එක්කෝ අලගල්ලේ, එක්කෝ බලන කන්දට. එක්කෝ බතලේගලට එහෙම නැත්තං උතුවන්කන්දට. එහෙම කඳු නගින්ඩ බෑ කියල හිතෙන උදවිය මා ඔය කොමලියගේ සුන්දර නිමවුමක් වෙච්ච බෝවැල්ල හරි බලන්ඩ යනවා. හැබැයි කන්දක් නගින එක තමයි චාරිත්තරේ. ඒ ගිහින් ඇවිල්ල සතියක් දෙකක් යනකල් පම්පෝරිය කන්ද නැගපු විස්තරේ ගැන! බලන්ටෙපායැ රහ කර කර කන්ද නැගපු හැටි කියන අපූරුව අපේ අම්මලා, අප්පච්චිලා, නැන්දම්මලා, මාමලා, කිරි අත්තලා, කිරි අම්මලා, අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා...ඒ විතරක් නං මදැයි දඩාවතේ යන අපේ ගම ආසිරාවේ ඉන්න බල්ලොත් කතා වෙන්නේ මේ කඳු නැගිල්ල ගැන!!!

මේ අලගල්ල කන්ද  

Sunday, January 28, 2018

අපිට ගහන්ඩ මඩු වලිග ගෙනෙව්!!


මගේ එක විනෝදාංශයක් තමයි ඉතිහාසය ගැන තියන පොත් පත් කියවීම. මගේ යාළුවො හුග දෙනෙකුත් මේ ගැන දන්නවා. ඉතිං උන්ට මොකක් හරි ඉතිහාස ප්‍රශ්නයක් ආපුවම මට කෝල් එකක් දෙන එක අමුතු කාරණයක් නෙවෙයි. ඊයේ පෙරේද දවසක යාලුවෙක් මට කතා කළා.

මචං පොළොන්නරුවෙ ඉපදිච්ච, දුටුගැමුණු රජ්ජුරුවන්ගේ සේනාවේ හිටපු යෝධයා කව්ද?”

ඒක අහපං ඔය කතාව කියපු යෝධයාගෙම්ම! මම කිව්වේ මේ ලඟදි එක්තරා දේශපාලක උත්තමයෙක් තමන් දුටුගැමුණු රජ්ජුරුවන්ගේ යෝධයෙක් වගේ හිටිය බව කියපු ප්‍රවෘත්තියක් මම අහලා තිබ්බ හිංදා...

නෑ...නෑ...මම සීරියස් කතාවක් අහන්නේ! යාලුවා කිව්වා.

ඇත්තටමද?”

ඔව්... ඔව්...මට උඹෙන් ප්‍රශ්න තුනක් අහන්ඩ තියනවා. මේ පලවෙනි එක

අනික්වා මොනවද?”

එහෙම කියන්ඩ බෑ. ඒ ප්‍රශ්න හැදෙන්නේ මේ ප්‍රශ්නෙට උඹ දෙන උත්තරේ මත

මට මතක නෑ මචං පොළොන්නරුවේ ඉපදිච්ච යෝධයා කවුද කියලා. ඕන නං පොතක් බලල කියන්නං. මං ගාව තියනවා එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ ලියපු පොතක්. ඔය යෝධයෝ දහ දෙනා ගැන ලියපු

අනේ හොයල කියපන්කො!...ආ මේ ඒ ගමම්ම පොතේ තියනවද බලපං ඔය යෝධයෝ යුද්දෙන් පස්සේ මොකද කලේ කියලත්…

ඉතින් මමත් අර කියපු පොත හොයාගෙන කියවන්ඩ පටං ගත්තා. අද කතාව මේ යෝධයෝ සහ තමන් යෝධයන් කියල හිතං ඉන්න අඟුටු මිට්ටෝ ගැන.

Wednesday, January 24, 2018

කසාද ජීවිතේ හා බූරු කුට්ටම


කෝච්චියේ ගමන රසවත් වෙන්නේ හැමදාම එකම පෙට්ටියේ ගමන් කරන හිතවතුන් හිංදා. ඉස්සර නං තුන්වැනි පංතියේ ටිකට් එකක් ගත්තම හරියට සමාජ ශාලාවකට ටිකට් එකක් ගත්තා වගේ. කඩදාසි කුට්ටං තුන හතරක් එක්ක කණ්ඩායං තුන හතරක් ඔට්ටු වෙද්දී ලස්සන ගෑනු ළමයි තොගයක් පිරිවරාගෙන අනේකවිධ රසවත් කතා කියන සෙට් පහ හයකුත් එහෙම තැනක දකින්ඩ හම්බ වෙනවා. දැන් තුන් වැනි පංතිය පැත්තට නොයන්නේ ඒ කාලේ තිබ්බ ජවේ ඇගේ නැති හිංදා. ටිකක් වයසට යනකොට ඉඳගෙන, සැප පහසුවට යන්ඩ තියන කැමැත්තත් වැඩිවෙනවා.

රස්සාවේ වගකීම් වැඩි වෙනකොට සමහර විට කෝච්චියේ ගමන, කන්තෝරු කාමරේ දිගුවක් වෙන වෙලාවලුත් නැතුවා නෙවෙයි. හැබැයි සමහර වෙලාවට කම්මැලිකම හිංදා අනේ ඒ කාලේ වගේ ඕමි අතක්, තුන්සිය හතර පාරක් ගහන්ඩ තිබ්බ නං කොච්චර ෂෝක් ද කියල හිතෙන වෙලාවලුත් නැතුවා නෙවෙයි. ඒත් වෙනදා වගේ එක්කහු වෙන සෙට් නැති කොට කාඩ් පැක් එකක් තිබ්බත් වැඩක් නෑ. දැන් කාලේ හැම දේටම පිහිටට එන්නේ 'කඩවසම් දුරකථනය' නේ. ඉතින් මාත් ඕමි සෙල්ලං කරන්ඩ පුළුවන් ඇප් එකක් දා ගත්තා. කට්ටියක් එක්ක සෙල්ලං කරනවා වගේ විනෝදයක් නැතුවත්, කම්මැලි කමට ඈනුම් ඇර ඇර යනවට වඩා මේ ඇප් එක හොඳ විසදුමක්.

පහුගිය දවසක මම කෝච්චියේ යන ගමං, ෆෝන් එකට එබිලා ඕමි ගගහා යද්දී අල්ලපු සීට් එකේ හිටපු මහත්තයෙක් මාත් එක්ක කතාවට වැටුනා. අද කතාව ඒ විදිහට කෝච්චියේදී පටන් අරං ග්‍රීසියෙන් ඉවර වෙච්ච ඒ කතා බහ ගැන.