Wednesday, January 24, 2018

කසාද ජීවිතේ හා බූරු කුට්ටම


කෝච්චියේ ගමන රසවත් වෙන්නේ හැමදාම එකම පෙට්ටියේ ගමන් කරන හිතවතුන් හිංදා. ඉස්සර නං තුන්වැනි පංතියේ ටිකට් එකක් ගත්තම හරියට සමාජ ශාලාවකට ටිකට් එකක් ගත්තා වගේ. කඩදාසි කුට්ටං තුන හතරක් එක්ක කණ්ඩායං තුන හතරක් ඔට්ටු වෙද්දී ලස්සන ගෑනු ළමයි තොගයක් පිරිවරාගෙන අනේකවිධ රසවත් කතා කියන සෙට් පහ හයකුත් එහෙම තැනක දකින්ඩ හම්බ වෙනවා. දැන් තුන් වැනි පංතිය පැත්තට නොයන්නේ ඒ කාලේ තිබ්බ ජවේ ඇගේ නැති හිංදා. ටිකක් වයසට යනකොට ඉඳගෙන, සැප පහසුවට යන්ඩ තියන කැමැත්තත් වැඩිවෙනවා.

රස්සාවේ වගකීම් වැඩි වෙනකොට සමහර විට කෝච්චියේ ගමන, කන්තෝරු කාමරේ දිගුවක් වෙන වෙලාවලුත් නැතුවා නෙවෙයි. හැබැයි සමහර වෙලාවට කම්මැලිකම හිංදා අනේ ඒ කාලේ වගේ ඕමි අතක්, තුන්සිය හතර පාරක් ගහන්ඩ තිබ්බ නං කොච්චර ෂෝක් ද කියල හිතෙන වෙලාවලුත් නැතුවා නෙවෙයි. ඒත් වෙනදා වගේ එක්කහු වෙන සෙට් නැති කොට කාඩ් පැක් එකක් තිබ්බත් වැඩක් නෑ. දැන් කාලේ හැම දේටම පිහිටට එන්නේ 'කඩවසම් දුරකථනය' නේ. ඉතින් මාත් ඕමි සෙල්ලං කරන්ඩ පුළුවන් ඇප් එකක් දා ගත්තා. කට්ටියක් එක්ක සෙල්ලං කරනවා වගේ විනෝදයක් නැතුවත්, කම්මැලි කමට ඈනුම් ඇර ඇර යනවට වඩා මේ ඇප් එක හොඳ විසදුමක්.

පහුගිය දවසක මම කෝච්චියේ යන ගමං, ෆෝන් එකට එබිලා ඕමි ගගහා යද්දී අල්ලපු සීට් එකේ හිටපු මහත්තයෙක් මාත් එක්ක කතාවට වැටුනා. අද කතාව ඒ විදිහට කෝච්චියේදී පටන් අරං ග්‍රීසියෙන් ඉවර වෙච්ච ඒ කතා බහ ගැන.


"ඕමි ගහනවා වගේ?" අර මහත්තයා මගෙන් ඇහුවා.

"ඔව්. කම්මැලි කමට, වෙන කරන්ඩ දෙයක් නැතිකමට මේක හොඳ වැඩක්...!!"මාත් කිව්වා.

“ඔය කාඩ් පැක් එක ගැන මම සෑහෙන කාලයක් හොයන දෙයක් තියනවා”. ඔහු කීවේ කතාව වෙනතකට යොමු කරමින්.

“ඒ මොකක්ද ඒ?”

“ඇයි ඕකේ රූප කොළ තුනක් තියෙන්නේ? ඇයි ඒවට අපි හේරා, පොරව, බූරුවා කියන්නේ. හරිනං රජ්ජුරුවෝ, රැජින, සහායකයා වගේ නං තුනක් නේද පාවිච්චි කරන්ඩ ඕන?”

"මම අහල තියන විදිහට නං කාඩ් කුට්ටම මුලිම්ම හොයා ගත්තේ අනික් හුගක් දේවල් වගේ චීන්නු. හැබැයි අද අපි පාවිච්චි කරන මට්ටමට ඒක ගෙනාවේ ප්‍රංශ කාරයෝ. ඉතින් ඕකට ප්‍රංශ කාරයොත් එක්ක සම්බන්ධයක් ඇති මගේ හිතේ"

කියන්නේ ඔය වචන වෙනිං බාසාවකින් ආවා කියලද?”

මට  හිතෙන්නේ එහෙමයි

මං දන්නා තරමින් ග්‍රීසියේ දේවතාවියක් ඉන්නවා හේරා කියලා!”

ඇත්තට? පොරව හරි ඊට ළඟ නමක් හරි තියන දෙයියෙකුත් ඉන්නවද කියල හොයල බැලුව නං හරි

උනාට හේරා කියන්නේ දේවතාවියක් නේ. අපි හේරා කියන්නේ රජ්ජුරුවන්ගේ රූපෙටනේ!”

ඒකත් ඇත්ත. සමහර විට කොයි රජාත් හැම තිස්සෙම හිත හිත ඉන්නේ දේවතාවියෝ ගැන හින්දද දන්නේ නෑ එහෙම නමක් පටලවලා දැම්මේ?!!!”

ඔහු හිනා වෙලා ඊළඟ ස්ටේෂන් එකෙන් බහින්ඩ ලෑස්ති උනා. අපරාදෙ කාලෙකින් හම්බ වෙච්ච හිතන්ඩ යමක් ඉතුරු කරපු මනුස්සයෙක් මෙච්චර ඉක්මනට වෙන් වෙලා යන එක ගැන මට දුකක් හිතුනා. එක අතකින් ජීවිතෙත් එහෙමනේ. අපි කැමති අය ඉක්මනට අපෙන් ඈත් වෙලා යනවා.

අපේ අතරමග නවත්තපු කතාව ආයෙත් පටන් ගන්ඩ මම දවස් දෙක තුනක් අර මනුස්සයාව හෙව්වත් ආය  කවදාවත් ඔහුව දැක්කේ නෑ. පහුගිය සෙනසුරාදා මට මේ කතාව මතක් උනේ පොත් අල්මාරිය දිහා බලා ඉන්න ගමන් සිදත් සඟරාව දැක්කහම. සිදත් සඟරාව කියන්නේ දැනට ඉතුරු වෙලා තියන පරණම සිංහල ව්යාකරණ පොත. ඔය පොත තමයි හුගක් දෙනා තාම සිංහල භාෂාවේ ව්යාකරණය ගැන බයිබලය විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් නාම පද හැදෙන්නේ කොහොමද කියල මම සිදත් සඟරාව පෙරලලා බැලුවා.

1-16     වෙන වෙන දෙක නිපන් - තසම තබවයි එතෙබේ
කිසි අන් බසින් නුමුසු - හෙළදිවැ පළ නිපන් නම්

1-17     මගද සකු ඈ බණ - සම වූ බස තසම නම්
බිඳුණේ තබව නම් වී - විමසා දනු එහි පියෝ

ධාතු ප්‍රකෘති හා ශබ්ද ප්‍රකෘති යන දෙක වෙන් වෙන්ව නිෂ්පන්න, තත්සම, තත්භව යැයි ත්‍රිභේද වේ. අන්‍ය කිසි භාෂාවකින් අමිශ්‍රව සිංහලද්වීපයෙහි ප්‍රකට වුයේ නිෂ්පන්න නමි. මාගධී, සංස්කෘත ආදී භාෂාවන් හා සමාන වූ වචනය තත්සම නමි. භින්න වුයේ තත්භව නමැයි කියා එහි යෙදුම් විමසා දැන ගන්න.
(විමර්ශන සහිත සිදත් සඟරාව - කේ. ජයතිලක සංස්කරණය)

ඔය නොතේරෙන බාසාවකින් කියල තියෙන්නේ මෙන්න මේකයි. සමහර නාම පද සිංහල බසටම ආවේණිකයි. අපේ ජේ. බී. දිසානායක මහාචාර්ය තුමා ගේ (සිංහල රීතිය 8- නාම පද නිර්මාණය - ජේ. බී. දිසානායක)උදාහරණ කීපයක් ගත්තොත් ළඳ, පැළ, වතුර, කොටි, රිළා, සුළං, කට, කකුල්, තොල්, බඩ, වගේ. ඒවාට කියන්නේ නිෂ්පන්න වචන කියලාමම දිසානායක මහාචාර්ය තුමාගෙන් උදාහරණ ගත්තේ සිදත් සඟරාවේ තියන උදාහරණ අපිට නොතේරෙන හිංදා.  

දෙවැනි කොටස වෙන බාසාවකින් කෙලිම්ම ගෙඩි පිටිං කොපි කරපුවා. හරියට මනුෂ්‍ය, කාන්තා, සිංහ, භාෂා (සංස්කෘත), ආසාව, සාසනය, තණ්හාව (පාලි), අම්මා, මාමා, ආප්ප (දෙමළ), කමිස, සපත්තු, කසාද, බූරුවා (පෘතුගීසි), පෙරකදෝරුවා, නොතාරිස්, කන්තෝරුව (ලංදේසි), දොස්තර, රේඩියෝව, කොන්දොස්තර (ඉංග්‍රීසි) ආන්දෝලනය, හර්තාලය (හින්දි) වගේ. ඒවාට කියන්නේ තත්සම වචන කියලා

තුන්වැනි කොටස. වෙන බසකින් අරං, වෙනස් කරලා අපේ බවට පත් කර ගත්තු වචන හරියට අකුරු, හෙළ, අරුත්, කව්, ගැදි, පැදි, නිවන්, බුදු, සසර වගේ. මෙන්න මේ වගේ වචන වලට තත්භව කියලා කියනවා.

හැබැයි ඔය කොයි තැනකවත් නෑ හේරා, පොරව වගේ වචන හැදිච්ච හැටි. සමහරවිට 'බූරු කුට්ටමේ' තියන දේවල් ගැන කතා කරන එක උගත් ව්යාකරණ විශේෂඥයන්ට මදි පාඩුවක් හිංදා වෙන්ඩ ඇති.  

ඊට පස්සේ මට මතක් උනා අර යාලුවා කියපු ග්‍රී දෙවගනගේ කතාවඉතිං මම ආසි, හේරා, පොරෝ, බූරු හොයා ගෙන ග්‍රීසියේ අතීතයට ගියා.

ග්‍රී මිත්යා කථා වලට අනුව ඔක්කොම දෙවිවරු ජීවත් වෙන්නේ ඔලිම්පස් කන්දේ. කන්දේ රැජින තමයි හේරා.


හේරා දෙවඟනගේ පිළිමයක් 

විතරක් නෙවෙයි. මේ දෙවගන තමයි විවාහයට හා උපත් වලට අධිපති දෙවඟන. එයා බැදලා ඉන්නේ සීයුස් දෙවියන්ව. ඔය සීයුස් දෙවියා හොද මනමාලයා. කොටු පැනිල්ලට දස්සයා. අර මම ගෙජ්ජි කතාවේ කියපු උපාසක මහත්තයා වගේ චරිතයක්. ඉතින් හතර අතේ ඉන්න, සීයුස් ගේ ඇල්ම බැල්ම ලැබිච්ච කාන්තාවන්ටයි, කාන්තාවන්ට හම්බු වෙච්චි සීයුස්ට තාත්තා කියන දුවා දරුවන්ටයි නං හේරා ගෙන් ගැලවිල්ලක් නෑ. විතරක් නෙවෙයි අර තමන්ව ප්රතික්ෂේප කරපු බුදු හාමුදුරුවන්ගෙන් පලිගන්ඩ හදපු මාගන්ධියා වගේ තමන්ට බූට් තියපු කොල්ලන්ටත් මෙයා ගෙන් බේරීමක් නෑ. විතරක් නං මදෑ, හැම ස්වාමි පුරුෂයෙක් වගේම සීයුස් ගොයියත් ගෙදර උන්දැට බයයි. කැමති නං ගෞරවේ කියල ලියා ගන්ඩකෝ. බලං ගියාම ග්‍රීසියේ දෙවියොත් මිනිස්සු වගේම තමයි.

ඔය කරුණු කාරනා හිංදා කතාවක් තියනවා හේරා දෙවඟන වැරදි කරන ස්වාමි පුරුෂයන්ට දඬුවම් කරනවා කියලත්

ග්‍රීසියේදී වැරදි කරන ස්වාමි පුරුෂයන්ට දඬුවම් කරන හේරා ලංකාවෙදි මිනිස්සුන්ව වැරදි වලට පොළඹවන බූරු කුට්ටමේ සාමාජිකයෙක් උනේ කොහොමද? අනික කසාදෙට අධිපති හේරා පවුල් අවුල් කරන බූරුවා සෙල්ලමට පන දෙන කොලයක් උනේ කොහොමද? කියන්නේ ග්‍රීසියේ හේරා දෙවඟනයි අපේ හේරා කොලෙයි අතරේ සම්බන්ධයක් තියෙන්ඩ එච්චර ඉඩක් නෑ කියන එක. එහෙනං කොහෙන්ද මේ නං වැටුනේ?

ඊට පස්සේ මම හොයන්ඩ පටං ගත්තේ බූරු කුට්ටමේ ඉතිහාසය.  

අර මං මුලින් කිව්වා වගේ චීනෙදී ආරම්භ වෙලා, ඉන්දියාව, පර්සියාව (ඉරානය), ඊජිප්තුව, හරහා ඉතාලියටත් එතැනින් අයිබේරියානු අර්ධද්වීපය හරහා යුරෝපයටත් කාඩ් කුට්ටම සංක්රමණය උනා. ඔය අතරේ මේකට විවිධ වෙනස්කම් එක්කහු උනා. රටින් රටට ගමන් කිරීමේදී ඇතිවෙච්ච උවමනාවල් එක්ක. කොහොම උනත් යුරෝපෙට කාඩ් කුට්ටම හඳුන්වලා දෙන්නේ දා හතරවෙනි ශතවර්ශේ අග බාගේ විතර.  අද වගේම තමයි එදත් සෙල්ලමට වගේම සූදුවක් විදිහටත් කාඩ් සෙල්ලම ජනප්‍රියයි.  අපි දැනං හිටියේ නැති උනාට හාරත, රුවිත, කලාබර, ඉස්කෝප්ප කියල වර්ග හතරක කොළ කාඩ් පැක් එකේ තියෙන්නේ වසන්ත, සිසිර, සරත්, ගිම්හාන කියන ඉර්තු හතර වෙනුවෙන්ලු. එක වර්ගේකින් කොළ 13 තියෙන්නේ හඳේ කලාවන් 13 වෙනුවෙන්ලු (අමාවක දවසට, ඒ කියන්නේ හඳ නැති නොහොත් බිංදුව වෙනුවෙන් කාඩ් එකක් නෑ). මෙව්වා ඇත්තම කතාද නැත්තං පස්සේ හදපු කතාද කියන්ඩ නං මං දන්නේ නෑ.

ඒ කොහොම වෙතත් කාඩ් කුට්ටම අද තියෙන තත්වෙට දියුණු කරලා තියෙන්නේ ප්‍රංශ ජාතිකයෝ. ඒ අය තමයි රූප කොළ තුනක් ඒ කියන්නේ රජු, රැජින හා හෙන්චයියා එක්කහු කරලා තියෙන්නේ පැක් එකට!!. හැබැයි තාම අපේ හේරාවත්  පොරවවත්  හොයා ගන්ඩ නෑ!!!

ඔන්න දැන් කවුරු හරි අහයි කෝ මේ හෙන්චයියා කියලා! ඒකත් ලස්සන කතාවක්. මුල්ම කාඩ් පැක් වල ඉඳලා තියෙන්නේ රජ්ජුරුවොයි, නයිට් වරයෙකුයි, එයා ගේ මෙහකාර වැඩට අතවැසියෙක් එහෙම නැත්තං හෙන්චයියෙකුයි විතරයි. පස්සේ රජ්ජුරුවොයි නයිට් වරයයි අතරට රැජිනක් එකතු වෙලා. තව ටික කාලෙකින් නයිට් වරයා හැලිලා ගිහිල්ලා. දැන් මගෙන් අහන්ඩ එපා රැජින රජ්ජුරුවන්ට ගතු කියලා නයිට් වරයට වැඩේ දුන්න නේද කියල. එහෙම කතාවක් නං මට හම්බ උනේ නෑ. හැබැයි ඉතිං ඇත්ත ලෝකේ වෙන දේවල් කාඩ් පැක් එකෙත් උනාද කවුද දන්නේ? ඕන නං අර හේරා දෙවගනගේ කතාව වගේ කෙනෙකුට හිතන්ඩ පුළුවන් රැජිනැගේ හිතේ යුද්දෙට දක්ෂ, කඩවසම් නයිට් වරයා ගැන අදහසක් පහල උනාය, හැබැයි නයිට්වරයා ඒකට කැමති උනේ නැතිය, ඒ හිංදා රැජින, නයිට් වරයට ගේමක් සෙට් කලාය වගේ කයි කතන්දරත් අපිට හිතා ගන්ඩ පුළුවන්. මගෙ මොකෝ!!!?

ප්‍රංශ කාරයොයි ඕලන්දක්කාරයෝයි අතරේ තිබිච්ච සම්බන්ධකම් ගැන ඉතිහාසේ තියනවා. ඒ මගින් වෙන්ඩ ඕන කාඩ් පැක් එක ඊගාවට ගියා ඕලන්දෙට. ඉන්ටනෙට් එකේ දාලා තිබ්බා ඕලන්දේ හදපු පරණ කාඩ් පැක් එකක පින්තූර. මේ තියෙන්නේ ඒ පින්තූරේ. 



බැලු බැල්මට මට පොඩි අමුත්තක් පෙනුනා. අපිට හුරු පුරුදු ඉංග්‍රීසි කාඩ් පැක් එකයි, මේකයි දිහා ආයෙත් බලන්ඩකෝ. මෙන්න ඉංග්‍රීසි පැක් එක.


දැක්කද වෙනස? හරියට හරි අකුරු ටික වෙනස්. අපිට පුරුදු A,J,Q,K වෙනුවට ඕලන්ද පැක් එකේ තියෙන්නේ A,B,V,H .මට නිකමට හිතුනා මෙන්න හේරා ගේ, පොරවගේ ආරම්බේ කියලා. මොකද ඕලන්දක්කරයොත් එක්ක ලංකාවටත් සම්බන්ධයක් තිබ්බනේ. අනික සිංහල භාෂාවට ලන්දේසි වචන ඕන තරං ඇවිත් තියනවා. ඉතින් මේකත් එහෙමම උනා වෙන්ඩ බැරි නෑ. හොයලා බැලින්නං ඇත්ත. ලංදේසි භාෂාවෙන් A  කියන්නේ Aas, B කියන්නේ Boer, V කියන්නේ Vrouw, H කියන්නේ Heer වලට. ඒවා උච්චාරණය කරන්නේ ආස්, බූර්, ප්ෆ්රොව්, හේර් විදිහට විදිහට!!! ඒක අපේ දිවට ගැලපෙන විදිහට ආසි, බූරු, පොරව, හේරා වෙලා. අර මුලින් කියපු තත්සම ආකාරයට. 

ඒ ගමම්ම බෝනස් එකකුත් හම්බුනා. ඒ තමයි රුවිත, කලාබර, හාරත, ඉස්කෝප්ප හැදිච්ච විදිහ. ඒවාට ලන්දේසි භාෂාවෙන් කියන්නේ Ruiten,  Klaveren,  Harten,  Schoppen කියලා.

දැන් කතාව පැහැදිලියි. මේ වචන ඔක්කොම ඇවිල්ල තියෙන්නේ ලංදේසි බසින්. හැබැයි අපේ ඌරුවට ගැලපෙන විදිහට අපි ඒවා හදා ගෙන. මුල් බසේ ජීව ගුණය තියා ගන්න ගමං.

මට දැන් මතක් වෙනවා හේරා දෙවඟන ගැන. ඇය අධිපති කම දරන විවාහයත් සිංහල අපි, ඕලන්ද බූරුවා, පොරව, හේරා අපේ කර ගත්තු විදිහම නේද කියල මට හිතෙනවා. ජීවිතේ කිසි සම්බන්ධයක් නැතුව හිටපු දෙන්නෙක් එක්කහු වෙලා එකට ජීවත් වෙනවා. තව කෙනෙක්ගේ ජීවිත අපේ කර ගන්නවා. අපේ ජීවිත අනික් කෙනා එක්ක බෙදා ගන්නවා. හරියට ඕලන්දක්කාරයෝ තමන්ගේ වචන අපිත් එක්ක බෙදා ගත්තා වගේ. අපි ඒ වචන අපේම කර ගත්තා වගේ. ඕලන්දක්කාරයෝ ලංකාවට ආවද කියලවත් දන්නේ නැති අපේ ගමේ හරි අපූරුවට බූරුවා ගහනවා.  ඔය අතරේ කසාදෙන් සමහරු රජ වෙනවා. සමහරු රැජින වෙනවා. හැබැයි සමහරු නං හිතන්නේ තමං බූරුවා වෙච්ච බව. හැබැයි මම බූරුවා වෙනවා කියන තැනදි කියවෙන සතාට බූරුවා කියල නම දැම්මේ පෘතුගීසි කාරයෝ. ඉතින් අපි කසාදෙදි 'පෘතුගීසි බූරුවෙක්' වෙනවද ඒ කියන්නේ හැම වෙලාවේම බර අදින, පහත් පෙලේ මෝඩයෙක් කියල සැලකුම් ලබන කෙනෙක් වෙනවද, 'ලංදේසි බූරුවෙක්' ඒ කියන්නේ සහායකයෙක්, සහායිකාවක් වෙනවද කියන එක තීරණය කරන්ඩ ඕන අපි අපිමයි.

ඒ සදහා ඔබ සැමට හේරා දෙවඟනගේ පිහිට ලැබේවා!!


35 comments:

  1. ඒ වගේම 'කපෝති' කියන එක ඇවිල්ලා තියෙන්නෙ ඩච් 'කපූට්' කියන එකෙන්..

    ReplyDelete
    Replies
    1. අමතක වෙච්ච වචනයක් මතක් කරලා ඒකෙ ආරම්භයත් කියල දුන්නට බොහොම ස්තූතියි බුරතිනෝ තුමනි. සමහරවිට කාඩ් කුට්ටමත් එක්කම ඒ සෙල්ලනුයි වචනයි ඔක්කොමත් ලන්දේසි අපිට දීලා යන්ඩ ඇති.

      Delete
  2. දැං අර මහත්තය මුණගැහුනම ඒ විස්තරෙත් ලියන්න එහෙනම්...

    ReplyDelete
    Replies
    1. ඒ මහත්තය හම්බ උනොත් මේ විස්තරේ කියන්න ඕන. හම්බ නොවී තියන එකක් නෑ. ස්තූතියි අදහස් දැක්වීමට පන්නිලගේ තුමනි.

      Delete
  3. දැන් අර මනුස්සය හම්බ උනොත් විස්තරේ කියන්න පුලුවන්. නැත්තම් පොර ලගදිම හේරා ගෙ උදහසට ලක්වෙයි.
    හර්කියුලීස්ටත් හනෙ ගේමක් දෙන්න උන එකේ පොර ගැන කවර කතාද?

    ReplyDelete
    Replies
    1. හර්කියුලීස් විතරද අර අනුන්ගේ ගෑණු උස්සන්ඩ ගිහිං රටයි, ජනතාවයි ඔක්කොම එක්ක ඇදගෙන නාපු ට්‍රෝයි නුවර පැරිස් ලොක්කා ගේ ඉරණම ගැනත් මේ හේරා සම්බන්ධයි කියනවනේ. සීයුස් ලොක්කට වලි දදා හිටියට බැලින්නං මේ අම්මන්ඩිත් ලේසි පාසු චරිතයක් නෙවෙයි. නැටුං තිස් දෙකම නටල වගෙයි නේද?

      Delete
  4. කාලයක් හිතේ තිබ්බ ප්‍රහේළිකා කීපයක්ම විසඳුනු මේ පෝස්ටුව ලිවීම ගැන ලොකු මල්ලිට මගේ බලවත් මෙව්ව එක.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ මෙව්වා එක වෙනුවෙන් මගේ එව්වා එක පිළිගන්ඩ හැලප තුමනි!

      Delete
  5. ඕලන්ද බාසාවෙන්
    Heer = Lord
    Vrouw = Missus
    Boer = Farmer /Rancher = an Afrikaner

    පොඩ්ඩක් හොයල බලනවද "සිදාදිය" කියන එක ගැන.
    සාමාන්‍යයෙන් සැලකෙන්නේ වැදි හෝ කැලෑ ගම්වල අය නගරයට කියන නම කියලා.
    ඒත් පෘතුගීසි බාසාවෙ Cidade = City = නගරය

    Fidalogs in the Kingdom of Kotte by O. M. da Silva Cosme කියන්නෙත් සිදාදිය ආවෙ පෘතුගීසි බාසාවෙන් කියල.

    ඒක වැදි වචනයක් වුනේ කොහොමද? සාමාන්‍යයෙන් පෘතුගීසි බාසාවෙන් වචන ආවෙ මුහුදුබඩ ප්‍රදේශවල සිංහලට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රා ජේ තුමනි. සිදාදිය කියන්නේ අනිවා වැදි වචනයක් නෙවෙයි. නගරය හඳුන්වන වැදි වචනය 'පෝරු ගං පොජ්ජ'. උදාහරණයක් විදිහට සාසන පෝරු ගං පොජ්ජ කියන්නේ මහියංගනේට. ඒක ආචාර්ය ඊ. එම්. රත්නපාල මහත්තයා ලියපු ලංකාවේ වැද්දෝ කියන පොතේ 157 වැනි පිටුවේ තියනවා.

      ඒත් සිදාදියේ කියන වචනය නුවර කළාවියේ භාවිත උන බව කේ.බී. මානෑව මහත්තයා ලියපු නුවර කළාවියේ ජනවහර කියන පොතේ තියනවා. නමුත් එහි අරුත නගරයම කියන එකදැයි මට පැහැදිලි නෑ. මෙන්න ඔහුගේ උදාහරණය ඔබට හිතෙන්නේ මොකක්ද? "අපෝ! තුත්තුරිගස් වාරු කොර කොර වනුගාපු සිදාදියේ නව බල්ලෙක් අපේ වරිග කූඩේම කූජර කෙරුවා ඕං අත්තේ"

      හැබැයි පෘතුගීසි වචන මුහුදු බඩට විතරක් සීමා උනා කියල හිතන්ඩ අමාරුයි. මිෂනාරි කටයුතු නිසා උඩරට ප්‍රදේශ වලටත් එතනින් නුවර කළාවිය හෝ බින්තැන්නටත් පැතිරුනා වෙන්ඩ පුළුවන්.

      ඔබේ අදහස් දැක්වීම හිතන්ඩ යමක් එකතු කළා. බොහොම ස්තූතියි.

      Delete
  6. නියම ලිපියක්,
    ඔය පරණ ලන්දේසි කාඩ් පැක් එක අදටත් ඩච් භාෂාව කථා කරන නෙදර්ලන්තයේ භාවිතා වෙනවා. මගේ පියාට එක්දාස් නවසිය හැත්තෑ ගනන් වලදී ඕලන්ද ජාතික මිත්‍රයෙක් තෑගි කල ඔය ඩච් කාඩ් පැක් එකක් අපේ ගෙදර තිබුනා. A B H V අකුරු සහිත. ඒ දවස් වල ආසි හේරා පොරෝ බූරු වචන හැදිල තියෙන්නේ ලන්දේසි භාශාවෙන් කියන එක අපේ තාත්තා කියනවා මතකයි. ඔහු ඒ ගැන යමක් දැනගෙන ඉන්නට ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නයනේ තුමනි. මට දැන ගන්ඩ ඕන දකුණු ඇෆ්රිකානු ඇෆ්රිකානර් වරු අතරේ තාම මේ කාඩ් පැක් එක පාවිච්චි වෙනවද කියල. නෙදර්ලන්තේ අද භාවිතා වන භාෂාවට වඩා ඇෆ්රිකානර් වරු භාවිතා කරන බස ආදි කාලීන ඕලන්ද බසට සමානයි ලු. මෙය සංක්‍රමණික ජන කොටස් අතරේ මුල් සිරිත් විරිත්, භාෂා ව්‍යවහාර ආදිය රැකී තියනවා කියන එකට (මවු රටේදී එය පරිණාමයට භාජනය උනත්) සාධකයක්ලු. ඔබ ඒ ගැන දන්නවනම් අපිවත් දැනුවත් කරන්න. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.

      Delete
  7. හොඳ ලිපියක්. විස්තර හොඳට හොයලා ලියලා තියෙනවා. අපව දැනුවත් කළාට ස්තූතියි.

    ReplyDelete
  8. අන්තිමේ බැලුවම පර්යේෂණ කරන්න පොත් දුසිම් ගනං පෙරලගෙන නටන්න ඕනෑ නෑ. උනන්දුවයි ඕනෑ. කවුරුත් නොකිව්වට තවත් ලක්ෂ ගානක් දෙනාගෙ හිතේ ඇතිවෙලා තියෙන ගැටලුවක් නිරාකරණය කිරීම ගැන ලොකුමල්ලි අයියාට අපේ ඉස්තූතිය.

    හෙට අනිද්දා මේක ගොසිප් ගුබ්බෑයංවල උන්ගෙ බූදලය වගේ දාල තියෙයි.

    ReplyDelete
    Replies
    1. සුරංග මලයෝ ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට. සමහර පර්යේෂණ සඳහා විශාල වෙහෙසක් දරන්නට සිද්ධ වෙනවා. මූලාශ්‍ර ගොඩකුත් ඕන වෙනවා. විශේෂයෙන්ම අපැහැදිලි තැන් පැහැදිලි කර ගන්ඩ. ඔබ කතිකා සංවාද මණ්ඩපය වගේ බ්ලොග් වල පළවෙන මහාචාර්ය ගනනාථ ඔබේසේකර වැන්නවුන්ගේ ලිපි කියවනවා ඇති. ඒ ලිපිත් එක්ක ගත්තහම අපි ලියන දේවල් ගැන ලැජ්ජා හිතෙනවා.
      නමුත් කට්ටකාඩුව බරපතල පර්යේෂණ ලිපි තියන තැනක් නෙවෙයි. මෙහි ලිපි වලට නං පොඩි උනන්දුවක් තිබ්බම ඕන තරං කතා හොයා ගන්ඩ පුළුවන්. හැබැයි ප්‍රස්හෙන් තමයි ඒක හිතට යන විදිහට කියන එක. හිස් අහසේ සඳරු, ඔබ වැනි බ්ලොග් කතන්දර කලාවේ පතාක යෝධයන් එක්ක අපි අගුටුමිට්ටෝ. ඉතිං එක අතකින් අපි එලොවටත් නෑ මෙලොවටත් නෑ!!!!

      Delete
  9. ලොකුමල්ලිගේ දක්ෂතාවය තියෙන්නේ ලියන හැම බ්ලොග් එක්ක්ක්ම එකිනෙකට වෙනස් වීම සහ හාස්‍ය සමග දැනීම බෙදීමයි.හුඟක් බ්ලොග් ලියන අය ඉන්නේ එකම රටාවකට කොටුවෙලා අපි බුරු ගැහැව්වට අද තමා නිධන කතාව දැනගත්තේ.

    ReplyDelete
  10. වටිනා ලිපියක්. නොදන්න දෙයක් දැනගත්තා.

    කොහොම වුනත් මට නම් කෝච්චි වල ඉඳන් බූරුවා ගහන වුන් ගැන නම් පැහැදීමක් නැහැ. උන්ගේ අත් වලින් බුරුවා ගහද්දි මේ බුරු මහත්වරු නොවැටී බේරෙන්නේ වට පිටාවේ ඉන්න වුන්ගේ ඇඟට හේත්තුව දාලා. කෙලින් කටින් හිටගන්න බැරි තරමට සෙනඟ පිරිච්ච කාර්යාල දුම්රියක තමන්ගේ ඇඟේ බරත් අමාරුවෙන් දරාගෙන උඩ පොල්ලේ එල්ලිලා ඉන්න අතරේ මෙයින් එකෙක් දෙන්නෙක් ඇඟට හේත්තුව දාගන්නකොට නම් හිතෙන් උන්ගේ සතර වරිගයම සිහි වෙන එක නම් නතර කරගන්න බැහැ ලොකු මල්ලියේ.

    ReplyDelete
    Replies
    1. ජයසූරිය තුමනි ඔබ කියන දේ එක්ක මම එකගයි. මම කවදාවත් හිටගෙන කාඩ් ගහලා නෑ. ඒකට මුල්ම හේතුව ඇග පත බැලන්ස් කර ගන්ඩ අමාරු කම. අනික එහෙම සෙල්ලං කරන එකේ කිසි 'රහක්' නෑ. මම අදහස් කලේ ඉස්සර තත්වය. දැනුත් එහෙමමද කියන්ඩ මං දන්නේ නෑ. හුග දෙනෙක් මූණු පොතේ හෝ ෆෝන් එකත් එක්ක කරන වෙන සෙල්ලමක දීලා ඉන්න බව මම දැකලා තියනවා.

      Delete
  11. හරබර පෝස්ට්ටුවට මගේ ආචාරය...

    ReplyDelete
  12. ලොකු මලය සෑර්, හැට්ටර්ගේ කැමතිම ක්‍රීඩාවක් තමා දෙගොඩ ගැසීම - හරිම 'සරල' ක්‍රීඩාවනේ. නැද්ද මං කියන්නේ.
    ඉතින් එකට ගන්නා ක්‍රීඩා භාණ්ඩය ගැන අලගියතැන් මුලගියතැන් විස්තර ඇතුව ලිවීම ගැන තෑන්ක්ස් සෑර්. තෑන්ක්ස් ඈ. සෑර් මාර උදව්වක් කරේ!

    ඔය ලංසි කෂ්ටියගේ කතා කියනකොට මට මතක් උනේ කාලෙකට ඉස්සර මගේ බ්‍රසීල මිත්‍රයෙක් එක්ක පොඩි මල්පැණි වඩියකට සෙට් උන වෙලාවක්.
    හැට්ටර් ඉතින් වීදුරුව එහෙම උස්සලා 'ඕන් එහෙනං ඈ' කියනකොට මේකා කියාපි 'සවුජි' කියලා. වචනේ නිකං අපේ අපේ වගේ නිසා හැට්ටර් ඇහුව මචෝ මොකක්ද තෝ කිව්වේ කියල. ඌ ආයෙමත් කිව්වා සවුජි (saúde) කියල. මං ඇහුව මොකක්ද උඹේ බාසාව ඉස්පාංඤ ද කියල මොකද දකුණු ඇමෙරිකාවේ ඒකනේ බාසාව. මූ කියපි පුරුතුගීසි කියල. හ්ම්ම් එහෙනං එහෙමයි අපේ සවුදිය පිරීම ඇතිවෙලා තියෙන්න.

    ලොකු මලය සෑර් cheers ඈ!

    ReplyDelete
    Replies
    1. අපි සව්දිය පුරමු- අපි සව්දිය පුරමු
      මුව විත පුරවා ගෙන මී විත සුරතින්
      අපි සව්දිය පුරමු - අපි සව්දිය පුරමු
      දෙතොලේ තෙරපී - පුපුරණ සුදු පෙන බුබුලක් සේ
      තැවුල් නිවී සිත සුවපත් වේ
      බැඳි වෙස් ගැලවී - හදවත දසැඟිලි අතර රැදී
      කිරි බැබලෙන සොමි සඳපානේ
      අපි සව්දිය පුරමු -අපි සව්දිය පුරමු

      ස්තූතියි හැට්ටර් සර් මේ දැනුම බෙදා ගත්තට.

      Delete
  13. රෙස්පෙක්ට්!!! බොරු කියන්නේ මොකටද මෙච්චර කල් හිරිකිතයක් නැතුව බූරුවෙක් වගේ කාඩ් ගහපු ගැහිල්ල ගැන ලැජ්ජා හිතුනා.. :)))

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කල්‍යාණ මිත්‍ර තුමනි. මේ ජීවිත ගමනෙදි අපි පෘතුගීසි බූරුවෝ නොවී ලන්දේසි බූරුවෝ වෙන්ඩ ඕන!!!

      Delete
  14. කුට්ටම ඇනුවට අනන ඒවයෙ තියෙන අමුද්‍රව්‍ය, මූලද්‍රව්‍ය මොනවද කියල හොයල බලල ඒ ගැන අපිවත් දැනුවත් කරපු ලොකු මල්ලිට මගේ ස්තුතිය ඕං.

    ඔය දෙයියො සාමාන්‍ය මනුස්ස ලෝකෙට ඇවිල්ල මෙහේ ස්තිරියාවන් එක්ක අහවල් එක කොල්ල හාෆ් බ්ලඩ් ළමයිත් හදනව කියනව නේද?

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ පුලුවන් ප්‍රසන්න තුමනි. මාත් හිතුව කොහොමද අපේ සමහර මිනිස්සු නිකං මැරෙන්නෙ නෑ කියල හිතා ගෙන වැඩ කරන්නේ කියලා. අම්මප ඔය හාෆ් බ්ලඩ් පොරවලුත් මැරෙන්නේ නැත්තං සීයුස් ගේ නම එහෙම වැඩ කරන එවුන්ගේ උප්පැන්නේ තියනවද බලන්ඩ ඕන. ස්තූතියි ඔබේ අදහසට.

      Delete
    2. ප්‍රසන්නයාගේ ෆේස්බුක් එකෙන් තමයි මමත් ආවේ.. කවදාවත් හිතලවත් තිබුනේ නැති දෙයක් නියමෙට පැහැදිලි කරලා..

      Delete
    3. බ්ලොග් ලෝකයේ පුරෝගාමීන් කට්ටකාඩුවට ඇවිල්ලා අපේ අඩු පාඩු කියල දෙනවනං අපි හුගක් කැමතියි. සාදරයෙන් පිලිගන්නවා කට්ටකාඩුවට. නැවත නැවතත් මේ පැත්තේ එනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

      Delete
  15. හේරා දෙවඟනගේ පිහිට ලැබේවා!!

    ReplyDelete