Wednesday, October 11, 2017

ගෙදර යන ගමන්....- අන්තිම කොටස



කතාවේ මුල් කෑල්ල කියෙව්වේ නැත්තං මෙතෙන්ට ටොක්කලා ඒකත් කියවගෙනම එන්ඩ ලා. ‘ගෙදර යන ගමන්’ තියන දාහක් රාජකාරි අතරේ ආපහු මුල ඉඳන් කතාව කියන්ඩ වෙලාව නෑ ඒකයි.

..........................................................................................................................................................

ඔහොම දවස් දෙක තුනක් ගියා. ආයෙත් මෙන්න දවසක අනුර කතා කරනවා. මං හිතුවා මේ පාරත් මොකක් හරි කල් පැනපු දෙයක් අරගෙන ජැක්පොට් එකක් පාදාගෙන කියලා (හැබැයි එදා මොකුත් බරපතල දෙයක් නොවිච්ච එක හොඳයි නැත්තං අද මේ කතාව කියන්ඩ වෙන්නේ කඳුලු පිහදාන ගමන්!).


“මාර වැඩේනේ!”

“ඇයි? ඒ පාර මොකද්ද?”

“අරූ පස්සෙන් එනවා ලොක්කට කියන්ඩ එපා කියලා. ඒ අතරේ අපේ ඔෆිස් එකට වෙන වැඩකට ආවා ඒ කොම්පැනියේ ලොක්කෙක්.”

“ඉතිං”

“ඉතිං මං වෙච්ච සිද්දිය කිව්වා නං ගං කියන්නේ නැතුව, මැනේජරයා කියන්නේ ඇත්තද බලන්ඩ! බැලින්නං ඌ කියල තියෙන්නෙ ඇත්ත!!”

“ඒ කියන්නේ ?”

“ඒ කියන්නේ අර මට දුන්න ඔක්කොම දීලා තියෙන්නේ උගේ අතිං බිල ගෙවලා!!”

“නෑ ...!!”

“නෑ...නෙවෙයි ඔව්...අර ලොක්ක කිව්වා ඒ වගේ වෙලාවක මැනේජර් ලු සම්පූර්ණ වගකීම ගන්ඩ ඕන. කස්ටමර් නඩුවක් දැම්මොත් කම්පැනිය නඩුවට පෙනී ඉඳලා මනේජර්ගෙන් අලාබෙ අය කර ගන්නවලු!!”

“යකාගේ කොම්පැනියක් නේ!!”

“ඔව්...කොම්පැනිය කියන්නේ ඕන තරං සේවකයෝ දීලා ඉන්නවා බ්‍රාන්චස් වලට බඩු චෙක් කරන්ඩ...ඉතිං ඒ වැඩේ හරියට කරන්නෙ නැත්තං මැනේජර් වග කියන්ඩ ඕන කියලලු!!”

“ඉතින් මැනේජර් කාරයා කියන්නේ මොකද්ද?”

“සිද්දිය අර ලොක්කට කියන්ඩ එපාලු. මිනිහ කියන්නේ කිව්වොත් ඌව හෙන දුෂ්කර පැත්තකට මාරු කරලා දානවලු දඬුවමක් විදිහට...කොම්පැනිය අත හෝදගන්නවලු මුන්ට පව් වලට කර ගහන්ඩ දාලා!!”

"ඔන්න ඔහේ ඌට කියන්ඩ සිද්ධිය ලොක්කට කියන්නේ නෑ කියලා"

"ඒක නං කියන්ඩ පුලුවන්..ඒත් මගේ හිතට හරි නෑ .."

"ඇයි?"

"ඌ දුන්න බඩු මං ගත්තනේ...පව් උගේ පඩියෙන් සෑහෙන ගානක් යන්ඩ ඇති මාව ෂේප් කරගන්ඩ...!"

"දැන් ඉතිං ඒකට කරන්ඩ දෙයක් නෑ..ඌ ඉස්සරලා ලොකු ටෝක් දුන්න හින්දනේ අපි ගේම දුන්නේ...අඩු ගානේ දැන්වත් පාඩමක් ඉගන ගනීනෙ"

"ඒක නං ඇත්ත!!! කස්ටමර් කෙනෙකුට තමුන්ගෙ අතින් වැරද්දක් උනාම අඩු ගානේ හොඳින් කතා කරලා ප්‍රශ්නෙ මොකද්ද කියල අහ ගත්ත නං, මට හිත හැදෙන්ඩ කතා කරානං මාත් ඕක ඔච්චර දුර ගෙනියන්නේ නෑ..."

ඒ සිද්දිය එතනින් ඉවර උනා. හැබැයි අර මැනේජර් මහත්තයාගේ දුක අහලා අනුර මේ ගැන කාටවත් නොකිය හිටියට මගේ නං හිතට එච්චර හරි නෑ. අපේ රටේ මිනිස්සු නොදැනුවත් කමට හරි, හිත හොඳ වැඩි කමට හරි ඔය වගේ සිද්ධි ගැන වැඩිය පස්සෙන් එලවන්නේ නෑ.. එක හින්දම කඩ කාරයෝ මේවගේ දේවල් සීරියස් ගන්නේ නෑ...එක්කෙනෙකුට දෙන්නෙකුට හරි දඬුවමක් දීලා ඒක ප්‍රසිද්ධ උනොත් මුලු රටේම මේ ගැන උනන්දුවක් ඇතිවෙනවා. එහෙම නොවෙන තාක් කල් අහාර විෂවීම හිංදා අච්චරක් රෝහල් ගත කළා, මෙච්චරක් ලෙඩ වෙලා ගෙවල් වල කියලා කියන කතා ඉවර වෙන්නේ නෑ!!

දෙවැනි සිද්දිය උනේ කෑගල්ලේ ඉඳන් නුවර පැත්තට යනකොට තියන 'ගෙදර යන ගමන්' ගොඩවෙන තැනක. ලංකාවේ හිරිකිතයක් නැතුව පාවිච්චි කරන්ඩ පුලුවන් වැසිකිලි තියෙන්නෙ හරි කලාතුරකින් වග ආය අමුතුවෙන් කියන්ඩ දෙයක් නෙවෙයිනේ. ඉතින් තමුන්ගේ වාහන වලින් ගමනක් බිමනක් යන සමහරු පුරුදු වෙලා ඉන්නවා ඔය 'ගෙදර යන ගමන්' තියන වැසිකිලියකට ගොඩ වෙන්ඩ. ඒ ගමං මොනවා හරි බඩු දෙක තුනකුත් ගන්න හිංදා මේ වැඩෙන් දෙපැත්තටම පාඩුවක් නෑ මට හිතෙන විදිහට.

ගිය ඉරිදා හවස මාත් ගියා අපේ නෝන මහත්තයත් එක්ක එළවලු ටිකක් ගන්ඩ. වැස්ස හිංදා පොළට යන්ඩ බැරි කොට අර කඩේටම ගියා එළවලු ගන්ඩ. ඒ වෙලාවේ තමයි මේ සිද්දිය උනේ.

"මේ මිස් අහනවා හෑන්ඩ් බෑග් එක අරන් ටොයිලට් එකට යන්ඩ දෙන්ඩ පුලුවන්ද කියලා!!" කනිෂ්ට වෙළඳ සේවිකාවක් තමන්ට වඩා ජ්‍යෙෂ්ට සේවිකාවකගෙන් එහෙම ඇහුවා.

මේ කතාවේ තිබ්බ අමුත්ත හිංදා මාත් හැරිලා බැලුවා මේ මොකක්ද වෙන්නේ කියලා.
බැලින්නං අවුරුදු තිහක තිස් පහක් වගේ තරුණ ගෑනු ළමයෙක් බොහොම අසරණ විලාසෙන් අර සේවිකාවෝ දෙන්න දිහා බලා ඉන්නවා...මොකක් හරි පෞද්ගලික අවශ්‍යතාවකට ඒ ළමයට හෑන්ඩ් බෑග් එකත් අරං ටොයිලට් යන්ඩ ඕන වෙලා. මං හිතන්නේ ඒක ඉතාම පෞද්ගලික, අත්‍යාවශ්‍ය කාරණයක් වෙන්ඩ ඇති. නැත්නං එච්චර බැගෑපත් වෙලා ඉල්ලීමක් කරන්නේ නැතිවෙයි. අනික හෑන්ඩ් බෑග් එක ටොයිලට් එක ඇතුලට අරන් යන්නේ හොරකමකට වෙන්ඩ බෑනේ...ටොයිලට් එක ඇතුලේ මොනවද තියෙන්නේ හොරකං කරන්ඩ....!!

අනික් අතට හෙරක් නං ආය අහ අහ ඉන්නෙ නෑ කෙලින්ම යයි ටොයිලට් එකට නෙවෙයි කැෂියර් ගේ ලාච්චුවට උනත්...මිනිස්සු නිතර ගැවසෙන කඩයක් උනාම, කස්ටමර් ලගේ පාවිච්චිය වෙනුවෙන් ටොයිලට් එකක් හදලා තියන තැනක සේවිකාවකට බැරිද කාගෙන්වත් අහන්නේ නැතුව, මේ වගේ මානුෂික අවශ්යතාවයකදී වත් තීරණයක් ගන්ඩ? මට හිතෙන විදිහට නම් වගේ සුලු කාරණයක් ගැන, කිසි පැකිලීමක් නැතුව පැහැදිලි තීරණයක් ගන්ඩ කඩේක ඉන්න පල්ලෙහාම සේවකයට උනත් හැකියාවක් තියෙන්ඩ ඕන.

මේ වගේ හිතුවිලි ගානක් මගේ ඔලුවේ ඇඳෙන කොට අර ජ්යෙෂ්ට සේවිකාව මරු උත්තරයක් දුන්න.

"ඒක නං සර් ගෙන් අහන්ඩ  වෙයි!" කාන්තාවකගේ පෞද්ගලික අවශ්යතාවක් වෙනුවෙන් පිරිමියෙකුගෙන් අවසර ගන්ඩ කියන්නෙ බත් කන කෙනෙක්ද?

බැලින්නං කනිෂ්ට සේවිකාවට නෙවෙයි ජ්යෙෂ්ට සේවිකාවකටවත් අර අවශ්යතාව ගැන තීරණයක් ගන්ඩ බෑ!!

"සර් ගෙන් අහන්ඩ!!??? ලේඩි කෙනෙක් නැද්ද මට කතා කරන්ඩ?" අර තරුණිය ඇහුවා


"ම්....ම්...මැඩම් නං හිටියා..ඒත් කොහෙද දන්නේ නෑ...." මං මෙතෙන්ට නිතර යන එන හිංදා සර් කියන්නේ මනේජර් මහත්තයාට  බවත් මැඩම් කියන්නේ ඇසිස්ටන්ට් මැනේජර් කියල මං හිතා ගෙන ඉන්න නෝනා කෙනෙකුට බවත් මට තේරුනා.

එතනින් එහාට අර ජ්යෙෂ්ට සේවිකාව ගොලුයි. බැලින්නං ට්රොලියකින් එළවලු වගයක් අරන් රාක්කෙන් තියනවා. කස්ටමර් කෙනෙක් ගේ බැගෑපත් ඉල්ලීමකට වඩා පතෝල කරල් දෙක තුනක් රාක්කෙට දාන එක සේවිකාවගේ ප්රයෝරිටි එකක්!!!

විනාඩියක් විතර ගියාට පස්සේ කනිෂ්ට සේවිකාව මොනවදෝ කුටු කුටු ගාමින් අර තරුණියව 'මැඩම්' හොයාගන්ඩ එක්කගෙන ගියා. එයාටත් තීරණයක් ගන්ඩ බැරුව ඒරියා මැනේජර් ගෙන් හරි නැත්තං කොළඹ ඉන්න ඩිරෙක්ටර් කෙනෙකුගෙන් හරි  ටොයිලට් එකට හෑන්ඩ් බෑග් එකක් ගෙනියන්ඩ අවසර ඉල්ලුවද කියල නං මං දන්නේ නෑ. ඒත් සිද්දිය අපිට කියල දෙන්නෙ මිනිස්සුත් එක්ක නිතර ගනු දෙනු කරන තැනක් උනාට මේ සුපිරි කඩවල් වල වැඩ කරන සේවක සේවිකාවන්ගේ අසරණ කම නෙවෙයිද?

තුන්වැනි සිද්ධිය උනේ එදාමයි...අපි ගෙදර යන ගමං පාන් ගෙඩියක් ගන්ඩ ටවුන් එකේ කඩේකට ගියා. කඩේට මං අදුරන අංකල් කෙනෙකුත් ඇවිත් හිටියා පාන් ගන්ඩ.

“ආ..පුතා..කොහොමද? කාලෙකින් දැක්කේ!!”

“ඔව්... ඔව්... අන්කලුත් ඉතින් පේන්ඩ නෑනේ...! කොහෙද දැන් වැඩ?”

“මං අසනීප වෙලා හිටියා පුතා සෑහෙන කාලයක්...ටවුමට වත් ආවේ නැත්තේ ඒකයි.”

“ඇත්තද? ඉතිං තාම මොකුත් කරන්නේ නැද්ද?”

“නෑ පුතා..යාන්තං පොඩි ජොබ් එකක් හම්බ උනා. හෙට ඉඳන් මං ආපහු වැඩට යනවා.”

“ඒ කොහෙද?”

“ෆුඩ්.&& එකේ! සිකුරිටි ජොබ් එකක්!”

“මොක උනාම මොකද අංකල්...රස්සාවක් නේ!”

“ඒකනං එහෙම තමා. උනාට මටයි අපේ ගෙදර උන්දැටයි ජීවත් වෙන්ඩ වත් සෑහෙන්ඩ එපෑ පුතා!”

“ඇයි පඩි අඩුයිද ඒකෙ?”

“පුතාට කිව්වම මොකද...18,000 ගෙවනවා මාසෙටම. කියන්නේ දවසට රුපියල් 600. උදේ අටේ ඉඳන් රෑ අට වෙනකල් වැඩ කිව්වා!!”

“ඉතිං අකමැත්තෙන් නං යන්නේ ඇයි?”

“වෙන ජොබ් එකක් හොයා ගන්න කල් යනවා. පුලුවන්නං පුතා දන්න තැනක් තියනවනං මොකක් හරි ජොබ් එකක් හොයල දෙන්ඩකෝ....”

මං එතනින් එන ගමං කල්පනා කරේ පැයකට රුපියල් හැත්තෑ පහක් හොයා ගන්ඩ එක දිගට පැය දොළහක් මාසෙට දවස් තිහම වැඩ කරන්ඩ උනොත් මං මොකද කරන්නේ කියලා? හුඟක් සිකුරිටි ජොබ් වල පඩි එහෙම තමා. ඒත් වෙයාර් හවුස් එකක් හරි ලී මඩුවක් හරි මුර කරනවට වඩා වෙනස් නිරන්තරෙන් මිනිස්සු යන එන තැනක් මුර කරන එක. මේ මිනිස්සු මුර කරන එක විතරක් නෙවෙයි, කස්ටමර්ලා එනකොට ඉස්සරහ දොර අරින එක, වාහන පාක් එකේ වාහන හසුරුවන එක, ගණන් වැඩි ළමා කිරිපිටි වගේ දේවල් කස්ටමර්ලා රාක්ක වලින් ගන්න එක පොතක ලියා ගන්න එක වගේ අටෝ රාශියක් වැඩ කරනවා මං දැකලා තියනවා. ඉතිං මිනිස්සු සන්තෝසෙන් නෙවෙයි නං වැඩ කරන්නේ, කොහොමද කස්ටමර් ලට හොඳ සේවයක් දෙන්නේ?

මේ සිද්ධි තුනෙම්ම මට තේරුං ගියේ මේ කඩවල් වල වැඩ කරන කාටවත් කොම්පැනියෙන් කිසිම සහනයක් නැති බව. සහනය කියල මං අදහස් කරන්නේ පඩිය හරි වෙනත් පහසුකං හරි නෙවෙයි. කොම්පැනියට ලැබ වැඩි කරලා දෙන කස්ටමර්ලා වෙනුවෙන් සන්තෝසෙන් රස්සාව කරලා ගෙදර යන්ඩ ඕන කරන වට පිටාව තමයි මං කියන සහනය.

සොච්චං පඩියකට මරවලා වැඩ ගන්නවනං, මිනිස්සු වෙනුවෙන් වැසිකිලියකට යන්ඩ ඉඩ දීම වගේ පොඩි තීරණයක් හරි ගන්ඩ බලයක් නැත්තං, තමුන්ගෙ අතින් වෙන හැම වැරැද්දකටම තනියෙන්ම මූන දෙන්ඩ ඕන නම්, කොම්පැනිය ඉන්නේ සල්ලි ටික අරං අපේ පස්ස පැත්තට පයින් ගහන්ඩ විතර නං අම්මප මිනිහෙක් කොහොමද සංතෝසෙන් වැඩ කරන්නේ?


මං කියන්නේ අනිත් කොම්පැනිවල තත්වේ මීට වඩා හුගක් හොඳයි කියල නෙවෙයි. එව්වා සමහර විට මීටත් වඩා අන්තයි. හැබැයි මිනිස්සුත් එක්ක නිරන්තරෙන් වැඩ කරන කොම්පැනි තමුන්ගේ සේවකයෝ ගැන මීට වඩා සැලකිල්ලෙන් බලන්ඩ ඕන කියලයි මං හිතන්නේ. එහෙම උනොත් තමයි කස්ටමර්ලගේ ජීවිතෙත් රැකිලා, කොම්පැනියේ ලාබෙත් වැඩි වෙන්නේ!!!    

10 comments:

  1. මම කිව්වේ බැරිම වෙලා බැරිමත් වෙලා තමයි වොශ්රූම් යන්නේ කියල. මටත් ඔය වගේ දෙයක් උනා. ඒ නම් කොළඹ අවට නගරයකදී. හැබැයි එතැනදී නම් පලවෙනි වතාවේ ඉතාම යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ. දෙවනිපාර නම් අන්තෙටම කුජීතයි. නමුත් දෙවනිපාර ඔවුන් යන්න දුන්නේ නැහැ. මම හිතන්නේ පොදුවේ උපදෙසක් දීලා ඇති ෂොප් ලිෆ්ටින් වගේ දේවල් ගැන.

    අර ඒ පාටම තියෙන වෙන එකක් තියෙන්නේ. අන්න නියම සර්විස් එක!

    ReplyDelete
    Replies
    1. මං කියන්නේ 'පොදුවේ දෙන උපදෙස්' අවස්ථානුකූලව වෙනස්ව පිලිපදින්ඩ මිනිස්සුත් එක්ක නිතර ගැවසෙන මේ සේවක සේවිකාවන්ට ඉඩක් වගේම පුහුණුවකුත් දෙන්ඩ ඕන කියලා.

      Delete
  2. ඔය කාගිල්ස් නං මහ ලොකුවට ටීවී ඇඩ් දැම්මට වහල් සේවය තමයි. උඩ ඉන්න එකා යට ඉන්න මනුස්සයව පාගගෙන ඉන්නෙ. රංජිත් පේජ් කොහොම කෙනෙක්ද දන්නේ නෑ.

    ඔය විතරක් නෙමෙයි බොහොම කවුන්ටර් වල , සේල්ස් වල ඉන්න අයගේ රස්සාවල් ඔය විදියයි. එක ආයතනයක මනුස්සයෙක් කිවුවා සේල්ස් කවුන්ටර් වල ඉන්න අයට වාඩි වෙන එක ඒ ආයතනයෙන් තහනම් කරල කියල. එ මිනිස්සු දවසේ පැය අට නමයක් හිටගෙන රස්සාව කරනවා.

    ReplyDelete
    Replies
    1. මටත් දවසක් හිතුනා ඇයි මේ ළමයි හිට ගෙනම ඉන්නේ කියලා. හැබැයි මං දැනන් හිටියේ නෑ ඉඳ ගන්න එක තහනං කියලා. ඉඳ ගන්න එක තහනං නං ඒක හරි අමානුශිකයි. හුඟක් වෙලා එක දිගට හිට ගෙන හිටපුවම එක එක ආබාධ එන්ඩ පුළුවන් මගෙ හිතේ!!

      Delete
  3. Replies
    1. මොකද්ද තඩි තුමනි මේකෙ තේරුම? හොඳයිද? නරකයිද?

      Delete
  4. එක්ස්පයර් වෙච්ච එකක් තමංගෙ ෂොප් එකේ රාක්කෙක තියෙන එකනං මැනේජරයගෙ වගකීම පැහැර හැරීමක් තමයි එක අතකට. සාමාන්‍ය කඩේක උනත් ඒක එහෙමනෙ.

    එත් ටොයිලට් එකට බෑග් එකක් අරන් යන්න දෙන එක වගේ දේකට හෙඩ් ඔෆිස් එකෙන් අහන තැනට යනකල් යන එකනං අමුම ගොං වැඩක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, ඇත්තටම මං දන්නෙ නෑ ටොයිලට් ප්‍රශ්නෙ කොහොමද ඉවර උනේ කියලා. ඒක විසඳ ගන්ඩ කොළඹට කතා කරන්ඩ උනාද දන්නෙ නෑ කියලයි මං කිව්වේ. හැබැයි ඒ වගේ මානුෂික අවශ්‍යතාවයකට මැනේජර් ගාවට යන්ඩ ඕනද? ඒක ඉක්මනින් සරළව විසදගන්ඩ බැරි ඇයි?

      Delete
  5. මටනම් හිතෙන්නේ මැනේජර් පොස්ට් වලට උනත් අරන් තියන ගෑනුන්ට ගෑනුන්ගේ ප්‍රශනයක් තේරුම්ගන්ඩ බෑ කියලයි.අනිත් අතට සෙකියුරිටි එකේ ඉන්න අයට හම්බවෙන පඩිය හා කරන සේවය ගැන පුදුම දුකක් හිතෙන්නේ.මම දන්නවා ඔය පුද්ගලික සෙකියුරිටි වලට අරන් ඉන්න අයට එයාගේ ඩියුටි එක අවර උනත් අනිත් එක අවේ නැත්නම් ඔෆ්ෆ් වෙන්ඩ බැහැ

    ReplyDelete
    Replies
    1. නූතන වහල් සේවයක් තමයි සිකුරිටි ජොබ් එක!! පව් ඒ මිනිස්සු!! කාගෙන්වත් හොඳක් අහන්ඩ නැති ජොබ් එකක්!!

      Delete