Monday, October 9, 2017

ගෙදර යන ගමන් අහපු දැකපු විඳපු කථා



අද මං මේ කියන්ඩ යන්නේ 'ගෙදර යන ගමන්' අහපු දැකපු කථා තුනක්. මං මෙච්චර කල් හිතන් හිටපු දේවල් අද දවසේ වෙච්ච සිද්ධි දෙකක් හිංදා වෙනස් කර ගන්ඩ උනා. ඉතිං කතාව උණු උණුවෙම ඔයාලත් එක්ක කියන්ඩයි මේ සූදානම. උණු උණුවෙම කියලා අපිට අහන්ඩ, දකින්ඩ හම්බ වෙන හුගක් දේවල් වගේම මේ කතාවලත් ඕන තරම් වැරදි තියෙන්ඩ පුළුවන්. සමහර විට මෙච්චර කාලයක් මගේ හිතේ තිබ්බ අදහස් අද වෙච්ච සිද්ධි දෙකකින් වෙනස් උනා වගේ හෙට අනිද්දා වෙන සිද්ධි වලින් මේ අදහසත් වෙනස් වෙන්ඩ පුළුවන්. ඒත් මට කියන්ඩ ඕන කරන පණිවිඩෙත් එක අතකින් ඒකමයි. අපි මතු පිටින් දකින දේවල් වලින් මිනිස්සු ගැන තීරණ ගන්ඩ යන එක එච්චරම හරි දෙයක් නෙවෙයි කියන එකයි මම අද ආයෙත් ඉගෙන ගත්තු පාඩම.

අනික මේ මම කියන්ඩ යන කතාවලට පසුබිම සපයන්නේ එක සුපිරි වෙළඳ සැල් ජාලයක් උනාට වෙනත් රාජ්, පෞද්ගලික හෝ රාජ් නොවන ආයතනයක් වෙන්ඩත් ඕන තරං ඉඩ තියනවා. අනික අර ජයලත් මනෝරත්න මහත්තයා අන්දරේලා නාට්යයේ කියනවා වගේ ...එදා හිටිය, අද ඉන්නව, හෙට ගැන කුමට? ඉතිං හෙන්රි ජයසේන මහත්තය කුවේණි නාට්යයේදී කියනවා වගේ අන්දකාරෙන් දහස් වසරෙක, මෝහයෙන් තව දහස් වසරෙක, මානයෙන් යළි පන්සියක් කල් වහල හංගල දාන්නේ නැතුව ඔන්න කතාව කියනවා.


පළවැනි කතාව සිද්ධ වෙන්නේ මීට මාස පහ හයකට ඉස්සර නුවරට ළඟ 'ගෙදර යන ගමන්' නවතින තැනක! සිද්ධිය වෙන්නේ මගේ කිට්ටුවන්තයෙකුට. ඉතින් කතාවේ මුල ඉඳන්ම මාත් මේ සිද්ධියට සම්බන්ධයි. මේ කිට්ටුවන්තයාට අපි අනුර කියමුකෝ.
දවසක් අනුර, එයාගේ පොඩි පුතා එක්ක නුවර පැත්තේ ගමනක් යනවා. ටිකක් තද වතුර තිබහක් දැනිච්ච හිංදා පුතා කියනවා මොනවා හරි බොන්ඩ අරං දෙන්ඩ කියලා. ඉතින් කාර් එක නවත්ත ගන්ඩ පුළුවන් තැනක් හොය හොයා යන අනුර දකිනවා 'ගෙදර යන ගමන්' බෝඩ් එකක්. ආය දෙපාරක් හිතන්නේ නැතුව අනුර එතෙන්ට යන්නේ පොඩි එකාගේ කරදරෙත් ටික ටික වැඩි වෙමින් තිබ්බ හිංදා. පුතා ඉල්ලන්නේ ලෝක ප්රසිද්ධ බීම වර්ගයක්. දුඹුරු පාට මේ බීම වර්ගය කක්කුස්සි හෝදන්ඩ වඩා සුදුසුයි කියලා කියවෙන වීඩියෝ මම මූණු පොතේ දැකලා තියනවා. එව්වා ඇත්තද කියලනම් මං දන්නේ නෑ!

තමුන්ටත් තිබහ තදින් දැනිච්ච හිංදා අනුර අර බීම වර්ගයේ ලීටරේ බෝතලයක්ම ගන්නවා. පොඩි එකාටත් දීලා අනුරත් ටිකක් බොනවා. ඇත්තටම මේ වෙනකොට අනුර හිටියේ ගෙදර යන ගමන්. මේ කඩෙයි, එයා ගේ ගෙදරයි අතරේ දුර කිලෝ මීටර් දහයක් පහළොවක් විතර. හැබැයි දුර එන්ඩ ඉස්සරලම අනුරටයි පුතාටයි දෙන්නටම ඔලුවේ කැරකිල්ලක් හැදෙනවා. මේ අය  හිතන්නේ දවස් වල තිබ්බ පෑවිල්ල හිංදා ඒකෙ අමාරුවට කැරකිල්ල හැදුනා කියලා. ටිකකින් පුතා ගේ ඔලුවේ කැරකිල්ල හොඳ වෙනවා. හිංදා කැරකිල්ල ගැන වැඩිපුර හොයන්නේ නැතුව අනුර ගෙදර යනවා.

ගෙදර යනකොටත් අනුරට කැරකිල්ල හොඳ වෙලා නෑ. හිංදා අනුර ටිකක් ඇඳේ ඇල වෙනවා. විනාඩි දහයකට විතර පස්සෙත් කැරකිල්ල අඩු නොවෙන හිංදා අනුර ආයෙත් අර බීම උගුරු තුන හතරක් බොන්නේ මේ ඔලුවේ කැක්කුමට හේතුව වෙනකොට තිබ්බ අධික රස්නයත්, වේලිල්ලත් කියල හිතලා. හැබැයි වෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක්. අනුරට කැරකිල්ල වැඩි වෙනවා. දෙපාරක් විතර වමනෙත් යනවා. මේ වෙලාවේ අනුර කල්පනා කරනවා ඇයි එයාට විතරක් මේ ලෙඩේ හැදුනේ කියලා. එකම දේවල් කාපු, බීපු ගෙදර අනිත් අයට කිසිම ලෙඩක් නැති උනත් අනුරට විතරක් මේ කෑම විසවීමක් වගේ පේන ලෙඩක් හැදුනේ කොහොමද?

එතකොට මතක් වෙනවා පුතාටත් මේ රෝග ලක්ෂණ කීපයක් පයකට විතර ඉස්සර ඈති වෙච්ච බව. අනුර ගේ සැකේ එල්ල වෙන්නේ අර කක්කුස්සි හෝදන්ඩ පුළුවන් කියන බීමට!! බීම හදපු එවුන්ගෙ දෙමවුපියො මතක් කර කර අනුර බෝතලේ අතට අරං බලනවා. එහෙම බලපුවම තමයි ගෙදර යන ගමන් කඩේ උන්ගේ අම්ම තාත්තා විතරක් නෙවෙයි අත්තගේ ඉඳන් කිරි කෑ මුත්තා දක්වා හත් මුතු පරම්පරාවම මතක් වෙන්නේ. බෝතලේ කල් පැනපු එකක්!! දවස් විස්සකට වඩා කල් පැනපු බීම බෝතලයක් විකුනලා තමුන්ගෙයි, දරුවගෙයි ජීවිතේ එක්ක සෙල්ලං කරපු පාහරයන්ට මොකක්ද කරන්ඩ ඕන?

අනුර ආපහු අර කඩේට යනවා. දැන් තමන් ගාව තියෙන්නේ මූඩිය විවෘත කරපු බෝතලයක් හිංදා මේ කතාව කඩේ එවුං විශ්වාස කරන්නේ නැති බව අනුරට තේරුනා. ඉස්සරලා වතාවේ  කඩේ රාක්කෙන් බෝතලේ තොර ගත්තේ අනුර. ඉතින් මේ වගේ කල් පැනපු බෝතල් තව රාක්කෙ තියෙන්ඩ පුලුවන් කියලා අනුරට හිතුනා. බැලින්නං හිතුවිල්ල හරි. රාක්කෙම තිබිලා කල් පැනපු බෝතල් හතරක් හොයා ගන්ඩ අනුරට විනාඩි දෙක තුනකට වඩා ගියේ නෑ!!

අනුර මොකුත් නොදන්න බබෙක් වගේ කල් පැනපු බෝතලයක් ආයෙත් අරං කැෂියර්ට සල්ලි ගෙවල බිලකුත් ඉල්ලා ගත්තා. ඊට පස්සේ තමයි මැනේජර් මහත්තයට කතා කලේ. කතා කලේ අද ඉපදුන තොත්ත බබෙක් විදිහට...
" ....වැරදීමක් වෙලා මහත්තයා...පොඩ්ඩක් ඉන්ඩ අපි වෙන බෝතලයක් දෙන්නං මහත්තයට...මහත්තයත් පොඩ්ඩක් බලල ගන්ඩ එපායැ බඩුවක් ගන්න කොට...!!" මේකා උංගේ වැරැද්ද වහනවා මදිවට අනුරගේ පිටට වැරැද්ද පටවන්ඩත් හදනවා...!!
මේ වෙලාවේ අනුරගේ රතු කට්ට පැන්නා. හින්දම වෙලාවේ කඩේට ඇවිල්ල හිටපු ජහ මනයට ඇහෙන්ඩ මැනේජර් මහත්තයාට ජාතකේ මතක් කරලා දුන්න. අන්තිමට පොරොන්දුවකුත් දුන්න. “හිටපිය පරයා තොට හොඳ වැඩක් කරන්ඩ...මං තෝ වගේ බූරුවෙකුට බබා ටෝක් දීලා නිකං ඉන්ඩ දෙන්නේ නෑ ...බලාපිය මං කරන වැඩේ...දානවා මේක ෆේස් බූක් එකේ!! උඹ දැක්කේ නැති උනාට මං බෝතලේ හොයලා ගන්නවා වීඩියෝ කර ගත්තා...!!”

අනුර වෙලාවකට මැම්බර් මහත්තයෙක් වගේ බොරු කියනවා. ඇත්තටම අනුර ළඟ වීඩියෝ එකක් තිබ්බේ නෑ. දැන් ලොකු ටෝක් දීලා ආපහු ගිහිං රාක්කෙ අත පත ගාන්ඩත් බයයි වගේ. තමන්ගෙ වැරැද්ද පිලි ගන්නේ නැති මැනේජරයාගෙන් තනියම ගේම ඉල්ලන්නේ මොකටද!! හැබැයි හුගක් වෙලාවට අනුර මැම්බර් මහත්තයෙක් වගේ නෙවෙයි. පොරොන්දුවක් දුන්නොත් ඉෂ්ට කරනවා. ඉතිං  කොහොමද මැනේජරයට මතක හිටින පාඩමක් උගන්නන්නේ?  

ඔය ප්රශ්නෙට උත්තර හොයන්ඩ තමයි අනුර, කට්ටකාඩුවේ ලොකු මලයට කතා කරන්නේ. මාත් ඉතිං මහදැනමුත්තා වගේ ප්රශ්නෙ අහගෙන ඉඳලා ටික වෙලාවක් කල් ඉල්ල ගත්තා එක්ස්පර්ට් කෙනෙක් ගෙං උපදෙසක් ගන්ඩ. ඉතින් මේ එක්ස්පර්ට් තුමා මට කිව්වා....ඒක අහගෙන මගේ බුද්ධියෙන් කියනවා වගේ මං අනුරට කිව්වා මෙන්න මෙහෙම....

“ඕකට ගන්ඩ පුලුවන් ක්රියා මාර්ග දෙක තුනක් තියනවා. එක තමයි පාරිභෝගික ආරක්ෂක අධිකාරියේ පැමිණිල්ලක් දාන එක. හොඳම දේ අයට පැමිණිල්ලක් දාලා කට්ටිය එක්කම ගිහිං කඩේ තිබ්බ කල් පැන්න බඩු ටික අල්ල ගන්න එක. හැබැයි දැන් ඒක කරන්ඩ පරක්කු වැඩියි. අර මැනේජර් කාරයා දැනටමත් පරණ බෝතල් ටික විනාස කරලා ඇති. දෙවැනි මාර්ගෙ තමුන්ම ගිහිං පොලිසියෙයි අහවල් අධිකාරියෙයි පැමිණිල්ලක් දාන එක. හැබැයි පුතෝ දන්නවනේ ලංකාවේ නඩු අහන හැටි!! මැනේජර් කාරයාගේ මුණුපුරාගේ කාලේ තමයි නඩු තීන්දුව හම්බ වෙන්නේ. අනික තමුන්ම නඩු කියන්ඩ ගියොත් උසාවි වල රස්තියාදු වෙලා කන්ඩ වෙන කට්ටේ හැටියට අර කල් පැනපු කක්කුස්සි ක්ලීනර් බෝතල් හය හතක් බොන එක සුළු දෙයක්. තුන්වෙනි එක තමයි තමන්ට වාසියක් නොවුනත් දකින අහන කට්ටිය හරි පාඩමක් ඉගෙන ගනී නේද කියලා සත්ත්ව කරුණාවෙන් ෆේස් බූක් එකේ හරි පත්තරේ හරි දාන එක. හැබැයි මැනේජරයට මේකෙදි මොකුත් වෙන්නේ නෑ. කොම්පැනියට වෙන්නෙත් නෑ!! අනුර ගාව වීඩියෝ එකක් වත් අඩුම ගානේ කල් ඉකුත් වෙච්ච .ක් (කක්කුස්සි ක්ලීනර්) බෝතල් රාක්කෙ තියන ෆොටෝ එකක්වත් නැති හිංදා තුන්වැනි ක්රියා මාර්ගේ එච්චර පත්තුවෙන වැඩක් නෙවෙයි!!!”.

මේ විදිහට බලපුවම දැන් අනුරට කරන්ඩ කිසිම දෙයක් නෑ.

මං ඉස්සරලාත් කිව්වනේ අනුර වෙලාවකට මැම්බර් මහත්තයෙක් වගේ කියල. හොඳින් බැරිනං නරකින් හරි තමන්ට ඕන දේ කරන්නේ කොහොමද කියලා එයා හිතුවා.

“අපිට බැරිද ඕකව බය කරන්ඩ?” අනුර මගෙන් ඇහුවා.

“පුලුවන්...ඒත් ගහ ගන්ඩ යන එකේ තේරුමක් නෑනේ ඕකට...?”

“කවුද කිව්වේ ගහ ගන්ඩ යනවා කියලා....වෙන විදිහක් හොයමු බය කරන්ඩ පුලුවන්!!”

“මොකේටද මැනේජර් කාරයා බය වෙන්නේ...හොල්මන් වලටද?”

“නෑ...ඕනම එකෙක් උගේ ලොක්කට බයයි...නැද්ද ක්රමයක් ඕකගේ ලොක්කගේ නම හොයා ගන්ඩ?”

“ට්රයි එකක් දීල බලමු!!!”

තව යාළුවො කීප දෙනෙකුට කතා කරපුවම අපිට පුළුවන් උනා ඔය කඩවල් ජාලේ දකුණු පළාතේ ලොක්කගේ නම හොයා ගන්ඩ.

ඊට පස්සේ වෙච්ච දේ හරියටම මං දන්නේ නෑ. හැබැයි අනුර දවස් දෙකකට පස්සේ මට කතා කරලා කිව්වා මේ සිද්ධිය අර පළාත් ලොක්කට කියන්ඩ එපා කියලා මැනේජර් කාරයා වැඳ වැඳ පස්සෙන් එනවා කියලා. කොටිම්ම අනුර වැඩ කරන තැන හොයා ගෙන මැනේජර් දවසක් ඇවිල්ලා ඔෆිස් එකට. විස්කි බෝතලෙකුයි රුපියල්  දහ දාහක් විතර වටින හැම්පර් මොකද්ද කියන බඩු මල්ලකුයි මැනේජර් එවල තියෙන්නෙ ඊට පහුවදා!!.

“මේකා අඩනවා හරකෙක් වගේ...උගේ ළමයි ගැන හිතන්ඩලු...පව් කියලත් හිතෙනවා...” අනුර මට කතා කරලා කිව්වා.

“ඕකා බොරුවක් වෙන්ඩ ඇති කියන්නේ? කම්පැනියෙන් ගෙවනවා ඇති වැඩේ සෙට්ල් කර ගන්ඩ...නැතුව ඕකා අතින් ගෙවනවා වෙන්ඩ බෑනේ ඔය බඩු මලු වලටයි විස්කි වලටයි!” මං කිව්වා.

“එහෙම නෑ කියල තමයි කියන්නේ. දැන් මං කියන ඕන දෙයක් කරනවා. කලිසම ඔලුවෙන් ගලවපිය කිව්වොත් ඒකත් කරයි. එහෙව් එකේ දැන් බොරු කියයි කියල හිතන්ඩ අමාරුයි. අර ලොක්කගේ නම ඇහෙන කොට මූ ටොයිලට් යනවා!!”.


කතාව දිගයි. මට මහන්සියි ටයිප් කරලම. ඔයාලටත් මහන්සි ඇති කියවලා. හිංදා කතාවේ ඉතුරු කොටසත් එක්ක දවස් දෙකකින් හම්බ වෙමු. එතකල් ගෙදර යන ගමන් පොඩ්ඩක් හොයල බලන්ඩ තමුන් මිල දී ගන්නේ කල් ඉකුත් වෙච්ච බඩු කියලා!!! එහෙම නම් මං කියන්නං අර ලොක්කගේ නම. හැබැයි මට හැම්පර් එකෙන් බාගයක් ඕන හරී....!!!  

11 comments:

  1. Replies
    1. තව දෙයක් තියෙනවා. සමහර ඔය කියන ගෙදර යන බ්‍රාන්චස් වල කඩේ වැහුවාම ෆ්රිසර් එහෙම ඔෆ් කරනවා. ඒවා විවෘත කරන්නේ නැති නිසා අවුලක් නැහැ කියලා හිතනවා ඇති. නමුත් ඒවායේ අතුරු ප්‍රතිපල මම විඳලා දැන් නම් ඒ ජාතියේ ඒවාට යන්නේ බැරිම උනත්, නොගිහින්ම බැරි වෙලත්, අන්තිම උනහම වොෂ් රූම් පහසුකම ගන්න විතරයි

      Delete
    2. ලිඛිතා මේ කතාව ලියන්ඩ හේතු උනේ ගෙදර යන ගමන් තියන වොෂ් රූම් එකක්. දවස් දෙකක් ඉවසලා ඒකත් කියවලාම කමෙන්ට් කරන්ඩකෝ ඔයා තව දුරටත් ඒ වොෂ් රූම් වලට යනවද කියලා....

      Delete
  2. ලොක්කගෙ නම රන්ජිත් පී නේද? කාලෙකට ඉස්සර මටත් හිටියා ඔය ගෙදර යන ගමන් එකේ ලස්සන නම්කියෙක්. ඒ කාලෙ නං මම හිටියෙ ඕකෙ අයිතිකාරය වගේ.

    ReplyDelete
  3. හැලප තුමා කියන කෙනා වෙන්ඩත් පුලුවන් නොවෙන්ඩත් පුලුවන්. මට මේ වෙලාවේ හරියටම නම කියන්ඩ බෑ....හැම්පර් එකෙන් බාගයක් දෙනවනං වෙන අයට කියනවා හැලප තුමාට ඇරෙන්ඩ. මොකද ඔබතුමා තමයි කට්ටකාඩුවේ පළවැනි ලුහු බදින්නා....ඉතිං අපි බොහොම ගෞරවයෙන් ඔබතුමාව මතක් කරන්නේ....මේ වගේ බිස්නස් වලට නෙවෙයි..!!

    ReplyDelete
  4. හෙක්.. ගෙදර යන ගමං තව පොඩ්ඩෙං මෝචරියට යන්න වෙනව වාහනේ කොහේ හරි ඇනුනනං එහෙම.

    ඕවයෙ තිබිල කුණුවෙච්ච අල බී ළූණුත් අහුවෙන එකේ ඕව මොනවද.

    ReplyDelete
    Replies
    1. අල ලූණු වල නම් එක්ස්පයරි ඩේට් එකක් ගහල නෑනේ. එහෙම ඩේට් එකක් ගහල තියන ඒවත් කල් පාන්නට පස්සේ විකුනන්ඩ තියනවනම් ලොකු වැරද්දක් මට හිතෙන විදිහට....

      Delete
  5. ඔය ගෙදර යන ගමන් මගුලෙන් මම ගත්තා රට ඉඳි පැකට් එකක්. වැඩිය බැලුවෙත් (මම සමන්‍යයේන් කල් ඉකුත්වන දවස බලලා ගන්නේ මොන මගුලේ ගියත් ) නෑ. එදා පොඩ්ඩක් හදිස්සියේ හිටියේ. ගෙදර ගෙනිහිල්ලා එදාම කැවා, යකෝ දවල් වෙද්දී බඩු පැකට්. නිකමට සැක හිතිලා පැකට් එකේ ඩෙට් එක බැලුවා. පිස්සු හැදෙනවා. මුන් එක පැකට් කරලා තියෙන්නෙත් එදාමයි. මම ගත්තෙත් උදේ 7.30 ට විතර.

    ReplyDelete
    Replies
    1. කොහොමද අපේ රටේ කාර්යක්ෂමතාව!!! උදේ එකට දෙකට නැගිටලා ටුක් ගාලා අරාබියට ගිහිං රට ඉඳි කඩා ගෙන එන ගමන් ප්ලේන් එකේදිම පැක් කරලා කටුනායකින් බැහැපු ගමං හෙලිකොට්ටරයක් අරං රට වටේම කඩවල් වලට බෙදා බෙදා යනවා...ඉතින් අපි උනු උනුවේම රට ඉඳි කනවා....ඊගාව පාර ටිකක් නිවෙන්ඩ තියලා කන්ඩ....මං හිතන්නේ බඩ අප්සෙට් යන්ඩ ඇත්තේ උණුවෙන් කාපු හිංදා වෙන්ඩ ඇති...හෙහ්...හෙහ්..හෙහ්...!!!

      Delete