අපේ කන්තෝරුවේ කෑම සඳහා නියමිත වෙලාවක් නැතිමුත් බොහෝ
දෙනා දවල් දොළහ හමාරත් එකත් අතර දිවා ආහාරය ගැනීමට පුරුදු වී සිටිති. කුඩා
කැන්ටිමක් තුල බොහෝ දෙනා ආහාර ගන්නා බැවින් එකිනෙකා ආහාර ගන්නා රටාවන් අනෙක් අයටද
දිස්වීම අනිවාර්යයෙන් සිදුවේ. අනෙකුන් ආහාර ගන්නා ආකාරය ගැන මගේ එතරම් තැකීමක්
නොවූවද කාලෙකට ඉහත අපත් සමග එකට සේවය කල සහෝදර සේවක මහතෙකු දවල් කෑමට යන කාල පරාසය
මග හැර කැන්ටිමට යාමට මම ප්‍රිය කලෙමි. ඒ මුළු බත් පතම අනා ගෙන, ඉන් ලොකු
අහුරු අහුරු කට තුලට දමාගෙන, ඒ කෑම හපන
අතර අනෙකුන් සමග කතා බහ කිරීමට අපේ යාලුවා පුරුදු වී සිටි නිසාය. ඒ දර්ශනය කෙතරම්
අජූව දැයි තේරෙන්නේ ඔහුත් සමග එක් වේලක් හෝ බත් කෑ කෙනෙකුට පමණි. වැසිකිලි වලක බැස
කෑම ගැනීම අර අත්දැකීමට වඩා ප්‍රියජනක එකක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ.
බුදුන් වහන්සේ තම ශ්‍රාවක භික්ෂු
භික්ෂුනීන් හට දානය වැළඳීම පිළිබඳව යම් යම් නීති රීති පනවා ඇති බව අසා තිබුනත් ඒ
මොනවාදැයි මා කවදාවත් දැන සිටියේ නැත.
කුඩා කල 'මල පෙරේතයෙක්
වගේ' කන්ඩ එපා යැයි
අම්මා අපිට කිව්වේ ඇඟිලි වල ගෑවී තිබූ ඉඳුල් ලෙවකන විටය. ඊට අමතරව මල පෙරේතයන්
කන්නේ කෙසේදැයි දැන ගැනීමට උවමනාව තිබුනත් පෙර කී මිතුරා හමුවන තුරු එය තේරුම් ගත
නොහැකි විය. මේ හැරුණු කොට කෑම ගැනීම ගැන පිළිගත් නීති රීති එක්තැන් කල කිසිදු
තැනක් සොයා ගත නොහැකි විය. කැම්පස් ජීවිතය අගදී 'එටිකට්' පිලිබඳ දින
දෙකක පාඨමාලාවකට අපව යොමු කලද එය තනිකරම බටහිර පන්නයට කෑම ගැනීම නිසි පරිදි කරන්නේ
කෙසේදැයි කියා දීමට සීමා වී තිබුනෙන් පෙරදිග චාරිත්‍ර දන ගැනීමට මගක් නොවිණි. මේ ප්‍රශ්නය විසඳා ගැනීමට ලැබුනේ මෑතකදී කියවූ
පොතකිනි. ඒ දැනුම ඔබත් සමග බෙදා ගන්නේ අපිට කෙසේ වෙතත් අපි කන හැටි බලා ඉන්න
අයටවත් ඉන් සෙතක් සැලසෙනු ඇතැයි යන කල්පනාවෙනි.
බුදු හිමියන් තරම් තම ශ්‍රාවකයන්ගේ විනය පිළිබඳව
උවමනාවකින් කටයුතු කල වෙනත් ශාස්තෘවරයෙක් ඇතැයි මම නොසිතමි. උන් වහන්සේ සිය ශ්‍රාවක
සංඝයාට දේශනා කල විනය නීති රීති ඇතුලත් විනය පිටකය හුදෙක් ආගමික ග්‍රන්ථයක් පමණක්
නොවේ. බුද්ධ කාලීන සංඝ සමාජය මෙන්ම සාමාන්‍ය සමාජය පිලිබඳවද අවබෝධයක් ලබා ගැනීමට
එය කදිම නිධානයකි.
උපසම්පදාව ලැබූ භික්ෂූන් විසින් පිළිපැදිය යුතු විනය
නීති 227 ක්ද
භික්ෂුනීන් විසින් පිලි පැදිය යුතු නීති 311 ක්ද පවතින බව කියැවෙන
අතර ඉන් 75 අයත් වන්නේ
සේඛියා නොහොත් 'වැරදි
හැසිරීම් වලින් ඉවත් වීමේ ශික්ෂා පද' කාණ්ඩයටය. මෙම නීති දරුණු වැරදි
ලෙස නොසැලකෙන වැරදි සහගත හැසිරීම් වෙනුවෙන්
පැනවී ඇත. එම ශික්ෂා පද අනුව කටයුතු කිරීමට සංඝයා වහන්සේලාට දිරිදෙනු ලැබේ. ඒවා
සංඝයාවහන්සේලාට මැනවින් සිහිය පවත්වා ගෙන යාමට පුරුදු පුහුණු කරවන අතරම සාමාන්‍ය
සමාජය තුලදී ඔවුන් අපහසුතාවයන්ට ලක්වීම වැළක්වීමේ අරමුණෙන් ද දේශිතයි. මේ සේඛියා 75 න් 30 ක්ම වෙන්වී
ඇත්තේ දානය පිළිගැනීම හා වැලඳීම පිලිබඳ පිළිපැදිය යුතු ශික්ෂාවන් දැක්වීමටය. මෙලස
වැඩි ප්‍රමාණයක් සේඛියා දානය වැළඳීම පිළිබඳව සාකච්චා කිරීමට වෙන් කොට ඇත්තේ එමගින්
බොහෝ වැරදි අවබෝධයන් ඇති වීමට ඉඩ ඇති නිසායයි සිතමි.
ඒ සේඛියා දේශනා කොට ඇත්තේ සංඝයාවහන්සේලා වෙනුවෙන් උවත්
ඒවා ගිහි අපට ද අදාලවන නිසා ඔබ සමග බෙදා ගනිමි. පිණ්ඩපාතය යන වචනය
වෙනුවට කෑම වේල යන්නත්, පාත්‍රය වෙනුවට පිඟාන
යන්නත් ආදේශ කරගත් විට මේ නීති අපට කෙතරම් අදාළ දැයි සිතේ.
මා එම සේඛියා උපුටා ගන්නේ විනය පිටකයෙහි පාචිත්තිය
පාළියෙහි භික්ඛු විභංගයෙනි.
- සිහියෙන් යුතුව මනා ලෙස පිණ්ඩපාත දානය පිළිගත යුතුය
- තැන තැන නොබලමින් (පාත්‍රය දෙස පමණක් බලාගෙන) පිණ්ඩපාතය පිළිගත යුතුය
- සූපයන් පිළිගන්නේ නම් බත් ප්‍රමාණයෙන් හතරෙන් එකකට සමානව හෝ ඊට අඩුවෙන් පිළිගත යුතුය
- පාත්‍රයෙහි එක් එක් ගොඩවල් නොගසා සමසේ පිරී යන ලෙස පිණ්ඩපාතය පිළිගත යුතුය
- පිණ්ඩපාතය වැළඳීමේ දී අකමැත්තෙන් මෙන් නො වළඳා මනා ලෙස සකස් කොට වැළඳිය යුතුය
- වැළඳීමේ දී තැන තැන නොබලා පාත්‍රය දෙසම බලාගෙන වැලඳිය යුතුය
- පාත්‍රයේ තැනින් තැනින් නොකා තමාගේ පැත්තේ සිට විරුද්ධ දිසාවට පිලිවෙලින් ආහාර ගත යුතුය
- සූපයන් වළඳයි නම් බත් හා සම ප්‍රමාණයක් හෝ ඊට අඩු ප්‍රමාණයක් එක් පිඩකට වැළඳිය යුතුය
- පාත්‍රයෙහි මැදින් ඇති බත් ගෙන අනා නො වැළඳිය යුතුය
- වැඩිපුර සූප හෝ ව්‍යංජන ලබා ගැනීමේ අරමුණෙන් දැනට බෙදා ඇති සූප හේ ව්‍යංජන බත් වලින් වැසීම නොකළ යුතුය
- සූප හෝ බත් හෝ තමා පිණිස ඉල්ලා ගෙන වැලඳීම නොකළ යුතුය
- රෝගී නොවන අවස්ථාවක සූප හෝ බත් හෝ තමා පිණිස ඉල්ලා ගෙන වැලඳීම නොකළ යුතුය
- අවැඩක් කරන සිතින් අනුන් වළඳන පාත්‍රය දෙස බැලීම නොකළ යුතුය
- ඉතා මහත් බත් පිඬු සාදා ආහාරයට ගැනීම නොකළ යුතුය
- ඉතා දිග බත් පිඬු සාදා ආහාරයට ගැනීම නොකළ යුතුය
- බත් පිඬුවක් මුව අසලට ගෙන යාමට පෙර මුව විවර නොකළ යුතුය
- වළඳන වෙලාවේ මුළු අතම මුව තුලට නොදැමිය යුතුය
- කට තුල බත් පිඬු ඇති විට කථා බහ කිරීම නොකළ යුතුය
- බත් පිඬු මුව තුලට දමා ගසමින් වැළඳීම නොකළ යුතුය
- බත් පිඬු කොටසින් කොටස කඩමින් වැලඳීම නොකළ යුතුය
- බත් පිඬු මුව තුල එක් රැස් කොට (හකු පිරෙන සේ ආහාර කට තුලට ගෙන) වැළඳීම නොකළ යුතුය
- අත් දෙපසට වන වනා වැලඳීම නොකළ යුතුය
- බත් ඇට වටේට ඉසිමින් වැළඳීම නොකළ යුතුය
- දිව ඉදිරියට නෙරමින් ආහාර වැළඳීම නොකළ යුතුය
- 'චපු චපු' හඬ නංවමින් ආහාර වැළඳීම නොකළ යුතුය
- 'සුරු සුරු' හඬ නංවමින් ආහාර වැළඳීම නොකළ යුතුය
- අත ලෙව කමින් ආහාර වැළඳීම නොකළ යුතුය
- පාත්‍රය ලෙව කමින් ආහාර වැළඳීම නොකළ යුතුය
- තොල් ලෙව කමින් ආහාර වැළඳීම නොකළ යුතුය
- ඉඳුල් සහිත අතින් පැන් භාජනය නොපිළිගත යුතුය
ඉතින් මේ විදියට නීති රීති පනවලා තිබුනත් ඒ නීති අවලංගු
වන අවස්ථාවල් මොනවද කියලත් බුදුන් වහන්සේ දක්වලා තියනවා. බොහෝ විට ඒ නොසිතා මේ
දේවල් කරන පුද්ගලයන්ට, උම්මත්තක
පුද්ගලයාට, නොදන්නා
පුද්ගලයාට හා මේ විනය නීතිය පැනවීමට කලින් මෙවැනි කටයුතු කල පුද්ගලයන්ටයි. සමහර
නීති (පාත්‍රය ලෙව කා වැළඳීම වැනි)ආපදා අවස්තාවකදී අදාළ වෙන්නේ නෑ. අද මෙන් ආහාර
බහුල නොවූ අතීතයේ දුර්භික්ෂ කාලයන් සුලභ වෙන්නට ඇති. ඒ වගේ හදිසි අවස්ථා ගැනත් සලකලා
තමයි විනය නීති
පනවා තිබෙන්නේ.
විනය පිටකය නීති සංග්‍රහයක් විදිහට සැලකුවොත් තවත්
වැදගත් කමක් තියනවා. ඒ මේ නීති අති බහුතරය පනවලා තියෙන්නේ සංඝයා වහන්සේලාට ශාසනය
අතහැර යෑමට හේතුවන අයුරින් තද දඬුවම් දීමේ අරමුණින් නොවන බව. එය පනවා ඇත්තේ හුදෙක් තමන්ගේ පැවිද්දේ උත්තරීතර පරමාර්ථ
සාක්ෂාත් කරගැනීමට උදවුවක් විදිහට. නොපැහැදුණු අයගේ පැහැදීම ඇතිවෙන ආකාරයටත්
පැහැදුනු අයගේ ඇති පැහැදීම වැඩි වෙන ආකාරයටත් තමා සංඝයාගේ හැසිරීම හැඩ ගස්වලා
ඇත්තේ. වසර දෙදාස් හයසීයකට කිට්ටු අතීතයකදී බුදුන් වහන්සේ වදාළ මේ විනය නීති අදටත්
හෙටටත් මුළු මානව වර්ගයාටම සෙත සලසාවි. හැබැයි ඒ අපි ආගම් බේධයෙන්
තොරව විවෘත මනසකින් උන්වහන්සේගේ ධර්මය දෙස බැලුවොත් විතරයි.
බටහිර පන්නයට ආහාර ගැනීම ගැන කොතෙකුත් විස්තර තිබුණත් පෙරදිග ආහාර ගැනීමේ රටාව ගැන දැනුවත් කරන්න කවුරුවත් කටයුතු නොකරන්නෙ ඇයි කියන එක ප්‍රශ්නයක්. ඉහත සඳහන් කර ඇති කරුණු වලින් ගොඩක් දේවල් සාමාන්‍ය ආහාර ගැනීමෙදි අනුගමනය නොකළොත් බලා ඉන්න කෙනාගෙ පිළිකුලට ලක්වෙනව. (කවුරුවත් කන එක බලාඉන්න එකත් හොඳ දෙයක් නෙමෙයි. නමුත් සද්ද බද්ද එහෙම කොහොමත් ඇහෙන ඒවනෙ.)
ReplyDeleteඅපිටත් 'අම්බානකට' එටිකට් කියල දීල පුරුදු කරවල තියෙනවා.. මේක කියෙව්වම තමයි මතක් උනේ යකඩෝ ඒ ඔක්කොම බටහිර පන්නයේ ජිවන රටවලට ගැලපෙන දේ නේද කියල..
Deleteඒත් හැබැයි අපි ඒ දේවල් සිංහල ක්‍රමේට හරවා ගත්ත මගේ හිතේ.. හැඳි ගෑරුප්පුවෙන් කනකොටත් ඉතින් මේ දේවල්මනේ අදාළ වෙන්නේ.. එහෙම බැලුවම ලොකු වෙනසක් නෑ..
මං හිතන්නේ බටහිර ක්‍රමයට හා පෙරදිග ක්‍රමයට ආහාර ගැනීමේදී අදාල වෙන පොදු කරුණු ගණනාවක් ඇති නමුත් සමහරක් ඒවා පෙරදිග ක්‍රමයට දක්වන බව. උදාහරණයක් විදිහට බත් (කෑම) පිඬු කට තුලට විසි කිරීම වැනි දෑ කරන්ඩ පුළුවන් වෙන්නේ අතින් අනා ආහාර ගන්නා පෙරදිග ක්‍රමයේදී පමණයි. අපි කොහොමත් කැමතියි නේ බටහිර පන්නයට ඒ හිංදා වෙන්ඩ ඕන එටිකට් වලදී බටහිර පන්නය ගැන විතරක් කතා වෙන්නේ. බටහිර ක්‍රමය අමතක නොකරන අතරම පෙරදිග ක්‍රමය ගැනත් දැනගෙන සුදුසු තැන සුදුසු විදිහට පාවිච්චි කරන එක තමයි හොඳ නේද?
Deleteඔයින් 10-12 අපි හැමෝම පාහේ පොඩි කලෙ දිම කෑම ගන්නකොට ආච්චිලගෙන් ඉගෙනගෙන තියනව..විනය නීති හැටියටම නොවුනත් පස්සෙ කාලෙදි එව්වා පුරුදු බවටම පත් වෙනව..ඔබ වැඩිහිටි දකුණු ඉන්දියානුවෙකු සමග ආහාර ගත්තොත් ඔබේ මිත්‍රයා කොතරම් හොඳදැයි සිතේවි...ඒ ඔවුන්ගේ පුරුදු...
ReplyDeleteඔබ කියන සමහර කරුණු ගැන මං එකඟයි. සමහර සංස්කෘති වල ආහාර ගැනීමේ පුරුදු අපට ආගන්තුක වෙන්ඩ පුළුවන්. දකුණු ඉන්දියානුවන් ගැන මට අත්දැකීමක් නැති උනත් නේපාල හා බංග්ලාදේශ ජාතිකයන් ගැන යම් අත්දැකීමක් මට තියෙනවා. මෙහි තියෙන සමහර සේඛියා පද පැනවෙන්නට ඇත්තේ එවැනි පැවතුම් නිසා විය හැකියි. ඒ කොහොම උනත් නිරන්තරයෙන් ගෝලීයකරණයට භාජනය වෙන සමාජයක මට මගේ පුරුදු පොදු තැනක දී පැවැත්වීමේ හැකියාව සිටින අනිත් සංස්කෘතීන් ගරු කරන පිරිස නිසා සීමා වෙනවා. කාටත් පොදු සිරිත් විරිත් සඳහා හුරු වීම හැර වෙන විකල්පයක් නෑ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteබුදුහාමුදුරුවන් මෙතරම්ම ආහාර ගන්නා පුරුදු ගැන දේශනා කලේ , ඒ වෙනකොට භාරතීය සමාජය තුල තිබ්බ අසික්කිත කෑම පුරුදු නිසාම වෙන්නට ඇති. වැඩියෙන් පින් ලැබෙන්නේ පුළුවන් තරම් කාලා, ඊට පස්සේ ඇඟිල්ල දමා වමනය කර තවත් කෑමෙන් කියලා සම්මත වෙච්ච සමාජයක මේ ආකල්ප අමුතුයි. දැන් උනත් මේවා ඒ ආකාරයෙන්ම වලංගුයි.
Deleteපොහොය දිනය කියන පොතේ මේ ගැන කියෝනකොට මට දැනුනෙත් මේ වගේම පැහැදීමක්.
හොඳයි මෙහෙම ලියපු එක. පෙරදිග කියන්නේ ආහාර ගැනීමේ පුරුදු අතින් ගොඩක් විනීත කලාපයක් උනත් ඉන්දියාව කියන්නේ ගන්නම දෙයක් නැති රටක් ඒ අතින්.
ආ.. තව කාරණයක්.... එහෙම විනය නීති සහ පැවතුම් ගැන දේශනා කරන්න හේතුපාදක වෙච්ච අනිත් කාරණේ විදියට මම දකින්නේ ඒ කාලයේ කන්න නැතිකම නිසාම, කෑම ලැබෙන පිරිසට එකතුවෙන්න හිතාගෙන මහන වෙච්ච උදවිය හිටියා. සංඝයා වහන්සේලා නෙවෙයි, අනෙකුත් ඉගැන්වීම් කරන අයටත් එහෙම අනුගාමිකයෝ හිටියා. ඒ නිසා කෑමට ඇති ගිජු බව පාලනය කරන්න මේ පැවතුම් උදව් උනා. මොකද විනය නීති කඩද්දි වැඩිහිටි භික්ෂුන් විසින් අවමානයට ලක් කරන නිසා.
Deleteසේඛියා දේශනා කිරීමේ අරමුණ නොපැහැදුණු අය තුල පැහැදීම ඇති කිරීමත්, පැහැදුණු අයගේ පැහැදීම වැඩි කිරීමත්, නිවන් මගේ ගමන් කරන්නට උදවු කිරීමත්. ඔබ කියා ඇති ලෙසම ගිහියන් ගේ ආහාර පුරුදු වලින් පැවිද්දන් ඈත් කොට 'දර්ශීය' විනයක් පිහිටුවීමට අවශ්‍ය වෙන්න ඇති.
Delete//සූප හෝ බත් හෝ තමා පිණිස ඉල්ලා ගෙන වැලඳීම නොකළ යුතුය// ඔය හින්ද වෙන්ටෑ හාමුදුරුවෝ නිතරම 'අර හමුදුරුවොන්ට බෙදන්ට' කියල කියනවා කියල කාඩ් එකක් වැදිලා තියෙන්නේ.. :)
ReplyDeleteමේක ෂෝක් නේ.. මට ආසයි ඔය තුන්සිය ගානම මොනවද කියල දැන ගන්න.. :)
විනය පිටකය කියවා බැලීම අමුතුම අත්දැකීමක්. මානව සමාජයක ඇති ඇවතුම් පැවතුම් වලට බුදු හාමුදුරුවෝ සංවේදී වෙච්ච හැටි ගැන කියවන්න, බුද්ධ කාලීන සංඝ සමාජය තුලට ආපු පිරි සාමාන්‍ය ජනයාගේ සිතුම් පැතුම් ගැන දැනගන්න වටිනා මූලාශ්‍රයක්. බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් මාලාව යටතේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මේ පොත් නැවත මුද්‍රණය කර තිබෙනවා. එහෙම නැත්නම් ඕනෑම පංසලක මේ පොත් ඇති.
Deleteබුද්ධ ජයන්ති ත්‍රිපිටකය පහසුවෙන් බාගත කර ගැනීම සඳහා http://www.aathaapi.org/Thripitaka.php...නම් වෙබ් පිටුවෙහි ඇත...
Deleteස්තූතියි තොරතුරට. පාචිත්තිය පාලිය පොතේ භික්ඛු විභංගය හා භික්ඛුනී විභංගය බලන්න.
Delete+++++++++
ReplyDelete!!!!!!
Deleteහොද පුරුදු
ReplyDeleteඔව්. පැහැදිලිවම. විනය පිටකයේ විශේෂිතව තිබුනත් මේ සේඛියා බොහොමයක් සාමාන්‍ය සමාජයට ඔබින හොඳ පුරුදු කියලයි මට හිතෙන්නෙත්.
Deleteහොඳ විස්තරයක්. බුද්ධ කාලයේ බත් වලට සාපේක්ෂව අනෙකුත් ව්‍යංජන සූප ආදිය වඩා දුර්ලභ සම්පතක් (සුඛෝපභෝගී දෙයක්) ලෙස පැවතී ඇති බව මේ නීති වලින් පේනවා.
ReplyDeleteමටත් එහෙම හිතෙනවා. තවත් අවශ්‍යතාවක් වෙන්ඩ ඇත්තේ එකම පාත්‍රයක් තුලට බත් සහ සූප දමාගෙන වළඳන නිසා දියර ගතිය වැඩිවී නිතැතින්ම සමහර සේඛියා පද (සුරු සුරු හඬ නැගෙන පරිදි ආහාර ගැනීම, චපු චපු හඬ නැගෙන පරිදි ආහාර ගැනීම ) කැඩීමට සිදුවීම විය හැකියි. මෙහි දැක්වෙන සූප, අපි සුප් ලෙස හඳුන්වන දෙයම දැයි මට සැකයි. ඒ පිළිබඳව පාචිත්තිය පාළියෙහි දැක්වෙන්නේ "සූප නම්; අතින් ගෙන යා හැකි මුද්ගසූප යැ මාසසූපයැ යි සූප දෙකකි." අනෙක් අතට ඔබගේ මතයට උදව් වන තව කරුණක් තිබෙනවා. එනම් මේ සූප ලබා ගන්නේ තමන්ගේ ධනයෙන් නම් එවිට වැරද්දක් සිදු නොවන බව සඳහන් වීමයි. ඒ සූප මිල අධික දෙයක් වූ නිසා දායක ගිහි සමාජයට දරන්නට වෙන පිරිවැය අඩු කිරීමේ අදහසින් විය හැකියි.
Deleteමේක හැදුනේ ඒකාලේ විනයක් නොතිබුන නිසාද එහෙම නැත්නම් ඒ කාලයේ තිබුන ආහාර අහේනිය නිසාද?භික්ෂූන්ට මේ නීති දැමීමෙන් සමාජයේ අනිත් අයටත් ඒවා පුරුදු කරන්ඩ අදහස් කරන්ඩත් ඇතිනේද?
ReplyDeleteභික්ෂූන් දානෙ වලඳනකොට දීපු අය බලා ගෙන ඉන්න නිසා වෙන්න ඇති නේද?
Deleteඑකල විනයක් නොතිබුණු බව හෝ බුදු සමය පැතිර ගිය ප්‍රදේශ වල සැලකිය යුතු නිරන්තර ආහාර හිගයක් පැවති බව හෝ මා සිතන්නේ නෑ. එහෙත් ගිහි සමාජයටත් මේ පුරුදු ඇති කිරීමේ යම් අදහසක් තියෙන්නට ඇති. ඒත් සම්පූර්ණයෙන්ම නෙවෙයි. මොකද සමහර විනය නීති ගිහි සමාජය තුලදී එලෙසින්ම පිලි පැදිය නොහැකි වීමයි. උදාහරණයක් ලෙස ලිංගික හැසිරීම් පිළිබඳව පනවා ඇති විනය නීති. එහෙත් බුදු හිමියන් වරෙක මෙසේ දේශනා කල බව සඳහන් " මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘත වූයේ බබලයි. වැසුනේ නොම බබළයි"
Deletebon appétit
ReplyDeleteThank you! 'si gusta puede acompañarame' as spaniards used to say!!
Deleteall the laws are pertaining to rice and curry...
ReplyDeleteWas rice the main staple at that era? North indians do not eat rice regularly as south indians
Very interesting observation! May be in the past especially in north india 'bath' didn't mean rice but their staple diet. (I read somewhere that originally 'Goyam' refers to wheat fields in india even though in Sinhala it means paddy fields). A second possible explanation is that in sinhala translation of pali texts the translators have considered rice as synonymous with 'meals'. But I have no definite answer. Will ask from a Pali expert and update this reply as soon as possible.
Delete