Saturday, November 25, 2017

නංගිලා මල්ලිලා (දුවලා / පුතාලා) වෙත ආදරයෙනි


 රැකියා විරහිත උපාධිදාරීන් විරෝධතා ව්යාපාරයකට සූදානම් වන බව කනින් කොනින් දැන ගන්ඩ හම්බෙච්ච ගමම්ම මට හිතුනා මේ ගැන මගේ අදහස උන්දැලාට කියා පාන්ට. මේ අදහසට උන්දැලා එකඟ නොවෙන්ඩ පුළුවන්. ඒක අයගේ අයිතිය. හැබැයි ලංකාවේ කෝටි ගානක් මිනිස්සු දුක් විඳලා හරි හම්බු කරපු දේවල් වලින් වියදං කරලා නොවැ ආයිබෝං මේ නංගිලා මල්ලිලාට උපාධිය දුන්නේ. ඉතින් එහෙව් එකේ දැන් සාමාන් පුරවැසියෙක් වෙලා ඉන්න, එක කාලෙක උපාධි අපේක්ෂකයෙක් වෙලා උන්නු මටත් පොඩි දුකක් දැනුනා මේ තත්වේ ගැන. ඒකයි මං හොදාකාරවම දන්නා දේ ලියලා කියන්නේ


දැන් ටිකක් විතර වයසට ගිහිල්ලා හිංද දැන් ඉන්න කොල්ලො කෙල්ලන්ට මං නංගිලා මල්ලිලා කියල කියනවද දුවල පුතාලා කියල කියනවද කියල හිතා ගන්ඩ බෑ. ඒකයි අර විදිහේ මාතෘකාවක් දැම්මේ. හැබැයි කොල්ලනේ කෙල්ලනේ මෙහෙම අතීරනේක නෙවෙයි උඹලා ඉන්ඩ ඕන. අවුරුදු 25-26 වෙනකල් උපාධියක් වෙනුවෙන් දිය කරපු ජීවිතේ තනියෙන් වගකීමක් අරං පටං ගන්ඩ යන්නේ දැනුයි. කොටිම්ම කියනවනං වැඩිහිටියෙක් විදිහට ජීවිතේට මූණ දෙන්ඩ පටං ගන්ඩ යන්නේ දැනුයි. එහෙවු ජීවිතේ පටං ගන්ඩත් කලින් 'හිට් විකට්' කර ගත්තොත් ඔක්කොම චක බ්ලාස්!! හිංද මේ කියන දේවල් ගැන පොඩ්ඩක් ඇහැ කන ඇරලා හිතල බලා පල්ලා


අර අතීරනේ හින්ද මින් පස්සේ මං කොල්ලනේ කියල විතරක් කියනවා. හැබැයි ඒ ගොඩට නංගිලා, මල්ලිලා, දුවලා, පුතාලා ඔක්කොම අයිතියි.

වෙනද වගේම පොඩි කතාවක් කියන්නං හිරි ඇරෙන්ඩත් එක්කලා. මේක පරයෝජනවත් වේවි උඹලටත් තීරණයක් ගන්ඩ.

අපේ බැච් එකේ වාසනාවකටද, රටේ අවාසනාවකටද මං දන්නෑ කොල්ලනේ කැම්පස් එකෙන් අවුට් වෙලා මාස හයක් විතර යන කොට අපේ බැචාලා බැචීලා 80% -90% කට මොකක් හරි රස්සාවක් හම්බ උනා. ඇත්තම කියනවනං එහෙම රස්සා වලට ගිය කවුරුවත් ගියේ ආණ්ඩුවේ රස්සාවලට නෙවෙයි. පෞද්ගලික අංශයේ හෝ සමහර විට රාජ් නොවන සංවිධානවල තමයි අපිට රස්සා හම්බ උනේ. උපාධිධාරීන්ට අභ්‍යාසලාභී  (සංවර්ධන නිලධාරී) පත්වීම් දෙනකොට අපි අවුට් වෙලා අවුරුදු ගානක් ගොහිං. එතකල් රස්සාවක් නැතුව ගෙදර හිටිය නං අපේ විස්සක් තිහක් මැරිච්ච තැන් වල ගසුත් පැලවෙලා. හැබැයි එකෙක් හිටියා අපේ බැච් එකේ මෙන්න මෙහෙම හිතපු!

මං විභාගේ කළා තමයි. හැබැයි මාව අල්ලාලා කැම්පස් එකට යැව්වේ ආණ්ඩුව. මට උගන්නන්ඩ ඕන උනේ ආණ්ඩුවට. මගේ ජීවිතෙන් අවුරුදු හතරක් මට නැති උනේ ආණ්ඩුව කරපු මේ අලුගුත්තේරු වැඩේ හිංදා!! එහෙවු පර වැඩ කරපු ආණ්ඩුව තමයි වග කියන්ඩ ඕන මගේ අතට සල්ලි එන්නේ නැති එකට. හුහ්...මං නෙවෙයි මගේ බල්ලවත් යන්නේ නෑ තැන් තැන්වල රස්සා හොය හොයා. ආණ්ඩුවටම කියනවා මට රස්සාවක් හොයල දීපිය කියල. මගේ ජීවිතේ අවුරුදු හතරක් නැති කරා මදිවට මෙන්න මේකා දැන් හොරා වගේ ඉන්නවා. ගස් බල්ලා දීපිය මට රස්සාවක්!!  

ඇස් දෙක පා මේ කියන්නේ ඇත්ත!! මෙන්න මෙහෙම හිතපු අපේ යාලුවා පදිංචි වෙලා හිටියේ මහනුවර දිස්ත්රික්කෙත් කුරුණෑගල දිස්ත්රික්කෙත් අතර මායිමේ. මේකා එදා විතරක් නෙවෙයි ඊට ඉස්සරත් එහෙමම තමයි හරිම සමාජවාදියි. මෙන්න උදාහරණයක්.

අපි මහා ඉලුප්පල්ලමේ ප්රැක්ටිකල් කරන්ඩ යනවා කියල මං මීට ඉස්සරිනුත් කියල තියනවනේ (මෙන්න එහෙ කතා එකකට නෑ දෙකකටම සම්බන්ධතා කාට හරි බලා ගන්ඩ ඕන නං). එහෙ තිබ්බ ගමන් දුෂ්කරතා හිංදා හැමෝම පුෂ් බයිසිකලයක් පාවිච්චි කළා එහෙට්ට මෙහෙට්ට යන්ඩ. අපි එහෙං එනකොට මේ බයිසිකල් ගෙවල් වලට ගේන්ඩ ඕන හිංදා ඔක්කොම බයිසිකල් ටික එක්කහු කරලා පැටෙව්වා කෝච්චියට. මට ලගම ඉස්ටේසම රඹුක්කන. අර මං මුලින් කියපු යාලුවට ලඟම ඉස්ටේසම කුරුණෑගල. දෙවෙනියට ළඟ රඹුක්කන. බයිසිකල් පටවන දවසේ මගෙන් ඉල්ලුවා කාඩ් බෝඩ් කෑල්ලක්. ඒත් එතකොට තිබ්බ කෑලි දෙක තුනේම මං බයිසිකලේ එල්ලන්ඩ ඕන විස්තරේ ලියල තිබ්බ හිංදා ඉන් එකක් තමයි දුන්නේ. මං හිතුවේ මූට කාඩ්බෝඩ් කෑල්ලක් හොයා ගන්ඩ කම්මැලි හිංදා මගෙන් ඉල්ලුවා කියලා. නෑ මං වැරදියි!!!. ඌට කාඩ් බෝඩ් කෑල්ලක් හොයන්ඩ වගේම ඒකෙ ලියල තියන දේ මකලා අලුතින් විස්තරේ ලියන්ඩත් කම්මැලියි!!!.

 ඉතින් කලේ මං ලියපු කාඩ් බෝඩ් කෑල්ලම උගේ නම විතරක් දාලා උගේ බයිසිකලේ එල්ලපු එක!!! පස්සේ මට කිව්වා බයිසිකල් ටික දාන්ඩ කැකිරාව ඉස්ටෙසමට යන්ඩ ඌට එන්ඩ කම්මැලි හිංදා උගේ විස්තරෙත් පුරවලා දාන්ඩ කියලා. මං උගේ මව් පාර්ශ්වය මතක් කරලා දුන්නත් නෙවෙයි ගානකට ගත්තේ. ගිහින් නිදා ගත්තා!!! ඉතින් මම ඉස්ටේසමේ පෝරමේ පුරවලා මුගේ බයිසිකලෙත් දැම්මා රඹුක්කනට!!

පේරාදෙණියට ඇවිත් වැඩ පටන් ගත්තම මට විවේකයක් නැති උනත් මාසෙකට විතර පස්සේ දවසක මං රඹුක්කන ඉස්ටෙසමට ගිහින් මගේ බයිසිකලේ ගත්තා. හැබැයි මට කල් ගිය හිංදා දඩේකුත් ගෙවන්ඩ උනා රුපියල් සීයක් විතර. වෙනකොටත් අරූගේ බයිසිකලේ ඉස්ටේසමේ තිබ්බ හිංදා මං ඌට මතක් කරා බයිසිකලේ ගැන.

...ඔව්..ඔව්.. ඉක්මනට යන්ඩ ඕන ඒක ගන්ඩ ...” උත්තර දුන්නා.

තව මාසෙයක් විතර ගිහින් මං ඇහුවා බයිසිකලේ ගත්තද කියලා.

...බැරි උනානේ මචං. කොහෙද අපේ තාත්තට කිව්වා ගිහින් ඒක ගේන්ඩ කියලා. තාම ගෙනාවේ නෑ. ආයෙත් මතක් කරන්ඩ ඕන!!!” (අම්මපා මෙහෙම පුතෙක් ලබපු තාත්තා කොච්චර වාසනාවන්තයෙක්ද!!!?)

තවත් මාස දෙකක් විතර ගිහිං මට ඔය බයිසිකලේ ආයෙත් මතක් උනාම දුන්න උත්තරේ...

නෑ නෙ ලොක්ක තාම ගන්ඩ බැරි උනා...ලබන සතියෙවත් යන්ඩ ඕන!!!”

ඔය හැම පාරම මං ඌට කිව්වා මට දඩ ගෙවන්ඩ වෙච්ච බව. දැන් තවත් පරක්කු හිංදා දඩේ වැඩි වෙන්ඩ පුළුවන් බවත් මතක් කළා. මටත් ඔය බයිසිකල් කතාව ඔයින් මෙයින් අමතක වෙලා ගියා. ඌට එපා නං මට මොකෝ!!

තවත් මාස දෙකකට විතර පස්සේ මෙන්න මේකා මාව හොයා ගෙන ආවා.

බලහන්කො මචං මේ බලු ආණ්ඩුව!!”

ඇයි?”

අර මගේ බයිසිකලේ....අර උඹ රඹුක්කනට එව්ව බයිසිකලේ...” (මුගේ &&^*!! දැන් වැරදි කාරයා මම!!!)

ඔව් ඔව් ඒක නැති වෙලාද ඉස්ටේසමේදි?”

නෑ බං මං තාත්තත් එක්ක ගිය සතියේ ගියා ඒක ගන්ඩ. දඩේ පන් දාහක්!! පාහර ආණ්ඩුව මෙහෙම දඩ ගහපුවම අපි වගේ දුප්පත් මිනිස්සු කොහොමද බං ඔලුව උස්සන්නේ?”

ඉතින් උඹ බයිසිකලේ ගත්තද?” (මං එහෙම ඇහැව්වේ ඔය කාලේ අලුත්ම බයිසිකලයක් රුපියල් 4,500 විතර ගන්ඩ හොඳටම පුළුවන් හිංදා)

නැතුව... ඇයි යකෝ මං එක ගත්තේ නැත්තං ඒකෙත් වාසිය ආණ්ඩුවටනේ!! උන් ඒක විකුණ ගනියි වෙන්දේසියේ දාලා!!!!”

(අන්න මොලේ තියන මිනිස්සු!!! රට ගැන හිතන හොඳ පුරවැසියෝ!!!! ආණ්ඩුවට ලාභ වීම වලක්වන්ඩ බඩුවක ඇත්ත වටිනාකමට වඩා වැඩිපුර වියදම් කරපු අවසන් වසරේ සරසවි ශිෂ්යයෝ!!!!)

ආන්න එහෙම හිතපු අපේ යාලුවා විතරක් ආණ්ඩුවෙන් රස්සාවක් දෙනකල් ගෙදෙට්ට වෙලා උන්නා. අනිත් අය පුලු පුලුවන් විදිහට රස්සාවක් හොයා ගත්තා. රස්සාවල ඉස්සරහට ගියා. එහෙම ඉස්සරහට ගිය උන්ගේ අද වෙනකොට සාමාන් මාසික පඩිය ලංකාවේ මුදලින් ලක්ෂ දෙක තුනක්. මං ලංකාවේ මුදලින් කියල කිව්වේ සමහරු ජාත්යන්තර සමාගම් වල ඉහල නිලතල දරන ඩොලර් වලින් පඩි ගන්න කට්ටිය හිංදා. පෞද්ගලික අංශය වගේම රාජ් නොවන ආයතන වලත්, බැංකු වගේ ඉහල පහසුකම් සහිත ආයතන වලත් අපේ හුග දෙනෙක් වැඩ.

ඒත් අපේ යාලුවා වගේ කට්ටිය හම්බ උනාම තාම ආණ්ඩුවට බනිනවා. මේ රෙද්දෙ ආණ්ඩුව අපේ පඩි වැඩි කරන්නේ නෑ..ඉතින් කොහොමද පොඩි උනුත් එක්ක වේලක් අර වේලක් කාල හරි ජීවත් වෙන්නේ කියල!!

ආණ්ඩුවේ රස්සාවල් ඉල්ලලා කව්රු හරි කෑ ගහනවා ඇහෙන හැම වෙලාවකම මට මේ යාලුවා මතක් වෙනවා.

කොල්ලනේ මං රජයේ රස්සාවල් පල්ලෙහාට දානවා නෙවෙයි. මගේ දෙමාපියනුත් රජයේ රස්සාවල් කලේ. ඒත් හම්බෙන පඩිය මදි හින්දම අප්පච්චි ආණ්ඩුවේ රස්සාවෙන් අස්වෙලා කොම්පැනියක වැඩට ගියා. ඒත් දැන් කාලේ ඊටත් වඩා  වෙනස් වෙලා. දැන් රජයේ සාමාන් බඳවා ගැනීමේ මට්ටමේ  වැටුපක් - මං කියන්නේ හොරා කන්නේ නැතුව අවංකව වැඩ කරන කනිෂ්ට මට්ටමේ සේවකයෙකුගේ - රුපියල් හතලිස් දාහට වඩා අඩුයි. පොල් ගෙඩියක්, හාල් කිලෝ එකක් රුපියල් සීයක් වෙච්ච රටක දවසක් කෑම වියදම විතරක් එක් කෙනෙකුට රුපියල් තුන්සීයක් විතර වෙනවා අඩුම. කියන්නේ මාසෙට 9,000! ගමන් ගාස්තු, අනික් වියදං, ගෙවල් කුලී, ලයිට් බිල්, වතුර බිල් එව්වා මෙව්වා ඔක්කොම එක්කහු වෙනකොට තනිකඩයෙකුට උනත් විසි තිස් දාහක වියදමක් යන එක පුදුමයක් නෙවෙයි.

ඇයි ජීවිත කාලයක් තමුන් වෙනුවෙන් මැරිච්ච අම්මල තාත්තල වෙනුවෙන් යමක් කරන්නේ නැද්ද? අනික් නෑදෑයෝ අමතක කලත් අඩුම ගානේ සහෝදර සහෝදරියන්ටවත් තමුන්ගේ අතින් වෙන්ඩ ඕන යුතුකම් කියල ජාතියක් තියනවා නේද?   හැමදාම තනියෙන් ඉන්ඩද? පවුලක් පන්සලක් වෙලා පොඩි එව්වෝ දෙතුන් දෙනෙක් හදන හීනයක් උඹලට නැද්ද? පොඩි වාහන කට්ටක් හරි ගන්ඩ...තමන්ගේ කියල ගෙයක් දොරක් හදා ගන්ඩ...අවුරුද්දකට පාරක් හරි ගෙදර කට්ටියත් එක්ක විනෝද ගමනක් යන්ඩ...

කොල්ලනේ, මෙව්වා එකක්වත් කෝටිපතියන්ට විතරක් සීමා වෙච්ච හීන නෙවෙයි. මිනිස්සු වෙන අපි හැමෝටම පොදු හීන. මේ ජීවිතේ විඳින්ඩ නං ඔක්කොම නැතත් මෙව්වයින් කීපයක් හරි කරන්ඩ ඕන.

අවුරුදු තුන හතරක් උපාධියක් වෙනුවෙන් කැපවෙලා අන්තිමට රස්සාවක් නැතුව ගෙදරට වෙලා ඉන්න කොට හීල්ලෙන වාර අනන්ත බවත් ඇත්ත. ඒකට වග කියන්ඩ ඕන ලංකාවේ කැම්පස් එකකින් උපාධියක් ගන්නේ ලංකාවේ ඉහලම මොළ කාරයෝය කියන ප්රෝඩාව සමාජගත කරපු හැම එකාමයි...උපාධිය කියන්නේ රස්සාවකට දෙන ගැරන්ටි කාඩ් එකක් කියල අපිට උගන්නපු හැම එකාමයි ....අපිට උගන්නපු ආණ්ඩුවම (ආණ්ඩුව කියන්නේ රටේ ජනතාව) අපිට කොහොමින් කොහොමින් හරි රස්සාවක් දෙන්ඩ ඕන කියල හිතන්ඩ පුරුදු කරපු අර වාමාංශික හැත්ත බුරුත්තයි!!!

මගේ හිතේ ලංකාවේ උපාධියක් වෙනුවෙන් කාලය කැප කරන්නේ ඒක ජීවිතේ ජය ගන්ඩ හොඳම විදිහ කියල කල්පනා කරන අය මිසක් හොඳම මොළ කාරයෝ නෙවෙයි. ලෙවල් කියන විභාගේ බුද්ධිමත් බාවය මනින්ඩ තියන විභාගයක් නෙවෙයි. ඒක ඉතාම තරඟකාරී විභාගයක් බව ඇත්ත. හැබැයි ඒකෙන් මනින්නේ බුද්ධිය නෙවෙයි!! ලෝකේ කිසිම රටක උපාධිය කියන්නේ රස්සාවකට නියත මගක් නෙවෙයි. අපි උගතුන් අඩු 40-50-60 දශකත් එක්ක අද දවස සංසන්දනය කිරීම මෝඩ වැඩක්. අනික ආණ්ඩුවේ රස්සාවල පඩි හා අනෙක් පහසුකම් අඩු බව දැන දැන රස්සවල්ම ඉල්ලන්නේ ඇයි? පැන්ෂන් එකයි, අඩුවෙන් වැඩ කරලා සයිඩ් බිස්නස් කරන්ඩ වෙලාව ඉතුරු කර ගන්ඩයි ඕන හිංදා නෙවෙයිද? සාපේක්ෂකව වැඩි පඩි හා පහසුකම් තියන රජයේ නොවන  රැකියා දාස් ගානක් පිරවෙන්නේ නැතුව තියෙද්දී දැනටම හුස්මක් කටක් ගන්ඩ බැරි තරමට පිරිච්ච ආණ්ඩුවේ කන්තෝරු අස්සටම රිංගන්ඩ දගලන්නේ ඇයි

උපාධියක් කියන්නේ යම් විෂයයක් පිලිබඳ ටික කාලයක් ඉගෙන ගත්තු හින්දා ලැබෙන සහතිකයක්. එහෙම සහතිකයක් ලැබුනට ඒක ජීවත් වීමේ කලාව හා විද්යාව ගැන කියල දෙන්නේ අඩුවෙන්. අපි කැම්පස් එකෙන් අවුට් වෙච්ච ගමං ටයි පොල්ලකුත් එල්ලගෙන ආණ්ඩුවේ මහ ඒජන්ත වගේ ලොකු කාර් එකකින් හරි ජීප් එකකින් හරි යන්ඩ පුළුවන් වෙන රස්සා හෙව්වට හරියන්නේ නෑ. ඒක හරියට බාලාංසෙට ඇතුල් වෙච්ච ගමන් උපාධියක් දියෝ කියල ඉල්ලනවා වගේ වැඩක්. අඩියෙන්  අඩිය නැගල තමයි ඉහලට යන්ඩ ඕන. උනාට අපි හිතන්නෙ අවුට් වෙච්ච ගමං පොෂ් රස්සාවකුයි වාහනේකුයි ගෙදෙට්ටම ගෙනල්ල දෙන්ඩ ඕන කියල ආණ්ඩුව.

හොඳයි අපි ගමනක් යනවා කියල හිතමු. එක පාරක හෙල්ලෙන්නැති ට්රැෆික් එකක් නං අපි මොකද කරන්නේ? සක්රයට මේ අවනඩුව කියන්ඩ වගේ හෝන් ගගහා එතනම හිටියට වැඩක් නෑ. අපේ ගමන යන්ඩ පුලුවන් වෙන පාරක් හොයා ගන්න එක තමයි එකම විසඳුම. අපි කොච්චර හිතුවත් මේක තමයි එකම පාර කියල එහෙම වෙන්නේ බොහොම කලාතුරකින්. ටිකක් දිග වැඩි උනත්, කාපට් දාලා නැති උනත් තව පාරවල් ගානක් තියනවා වෙනඩ පුළුවන්. අහල බලන්ඩකෝ පාරේ යන පළාතේ මනුස්සයෙක්ගෙන්. කියයි පාරවල් තුන හතරක්ම. ඒ වගේ තමයි ජීවිතේ ජයගන්ඩ ආණ්ඩුවේ රස්සාවක්ම ඕන නෑ. ඊට වඩා හොඳ විකල්ප ඕන තරං තියනවා.

හරියට උපාධියක් ලබනවානම් ඔහුට හෝ ඇයට ලැබෙන්ඩ ඕන විෂය මූලික දැනුමක් විතරක් නෙවෙයි. අලුත් අවස්ථාවල් වලට, අලුතෙන් හිතලා මූණ දෙන විදිහ ගැන පුහුණුවක් තමයි විශ්ව විද්‍යාලය කියන තැනින් හම්බෙන්ඩ ඕන. නැත්තං ටියුෂන් කඩේකයි විශ්ව විද්‍යාලෙයි වැඩි වෙනසක් නෑ.  හොඳ කලාකරුවෝ වෙච්ච දොස්තරවරු හරි, හොඳ ගොවියෝ වෙච්ච ඉංජිනේරුවෝ හරි, බැංකුකරුවෝ වෙච්ච කෘෂිකර්ම උපාධි දාරයෝ හරි සමාජෙට බිහිවෙන්නේ එහෙම. අලුතෙන් හිතන මිනිස්සුන්ගෙන්. අපේ රටට ඕන එහෙම අය මිසක් පුටු රත් කරලා අහිංසක මිනිස්සු ගෙවන බදු වලට පොකැට් ගහන මදාවියො නෙවෙයි.

ඉතින් මොටෝ ආණ්ඩුවේ රස්සාවක් පස්සේ ගොන් පස් අල්ලන්ඩ යන්නේ හිතන්ඩකො අලුතින්. දාන්ඩකෝ කම්මැලිකම බල්ලට. කරන්ඩකෝ තමන්ගෙන් පවුලටයි, රටටයි, ලෝකෙටයි වෙන්ඩ තියන යුතුකම් හරියට ඉෂ්ට කරන්ඩ පුළුවන් විදිහේ රස්සාවක්!! සියලු රැකියා විරහිත උපාධිදාරීන්ට රැකියා දියවූ කියල බෝඩ් අල්ලගෙන පාරවල් ගානෙ රස්තියාදු වෙන්නෙ නැතුව කොන්ද පන තියන සිංහලයො වගේ අපි යංකො ඉස්සරහට!!!

මතකද මහින්ද හාමුදුරුවන්ගේ කවිය

කාටත් හිමි පොදු දේ නම් - නැති බැරි හිග අවහිරකම්

මේ දේ මැඩ ගෙන දස්කම් - පෑම තමයි සුරු විරු කම්!!!

16 comments:

  1. මෙතෙක් කාලෙකට උඹේ අතින් ලියවුන හොඳම පෝස්ට් එක!!!

    ReplyDelete
  2. Replies
    1. අදනේ මචං ඔබතුමාගේ කොම්පියුටරේ අකුරු යතුරු ටික වැඩ කරනවා කියල දැනගත්තේ!! මෙච්චරකල් මං හිතං උන්නේ හෑෂ් ටැග් එකයි ධන ලකුණයි විතරයි වැඩ කියාල!!!!

      Delete
  3. එකෙන්ම.. ලොකු මලේ...උඹේ පෝස්ට් එක දෙවතාවක්ම උඩ ඉඳන් පල්ලෙහාට කියෙව්වා..ඒ කරල මම මාවම උදාහරණ කොටගත්තා..මමත් විද්‍යාවේදී උපාදිය හදාරන්ඩ කැම්පස් එකකට සිලෙක්ට් වෙලා අන්ත දුප්පත්කම හින්දා ඒකට යන්ඩ බැරිවෙලා..පොඩි රස්සාවකට ගිහින් අවුරුදු ගානක් කට්ට කාලා අද වෙනකොට මාසෙකට ල0කාවෙ මුදලින් මිලියන බාගෙක පඩියක් ගන්න යකඩ තලන්නෙක්. උපාධියක් නෑ නමුත් ජීවිතේ දිනුම්..

    සමාගම්, පෞද්ගලික ආයතන මිනිස්සුන්ගෙ දක්ශතා අඳුනගන්නව ආණ්ඩුවකට කලින්. කොල්ලනේ උබල හැමෝටම දක්ශතාවයක් තියනව...උත්සාහ කරපල්ලා...

    ReplyDelete
    Replies
    1. මේ ඇත්ත අපේ පොඩි උන් දැන ගන්නවට අකමැති උනුත් ඉන්නවා. මේ තරුණ කොල්ලෝ කෙල්ලෝ පාරවල් අයිනේ බෝඩ් ලෑලි උස්සගෙන ඉන්නකොට, උගුර ලේ රහ වෙනකල් කෑ ගහන කොට උන්ගේ චන්ද ගොඩ වැඩි වෙනවා කියල හිතන නරුමයෝ ඉන්නවා. ආණ්ඩුව හැමෝටම රස්සා දෙන්ඩ ඕන කියන බොරුව වපුරන්නේ උනුයි. ඔබේ අත්දැකීම වගේ අත්දැකීම් මේ දරුවන් සමග බෙදා ගන්න ක්‍රම අපි හොයමු. අපිට කල හැකි එක දෙයක් ඒක. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.

      Delete
  4. Replies
    1. ස්තූතියි ඉකොනොමැට්ටා තුමනි. ඉල්ලීමක් කරන්ඩ තියෙනවා ඔබෙන්. පුලුවන් නම් කරුණාකර දියුණු රටවල උපාධි දාරීන්ගේ රැකියා වියුක්තිය ගැන ලියන්ඩ. ඔවුන් ඉගෙන ගැනීම සඳහා ගන්න 'ශිෂ්‍ය ණය' ගෙවන ආකාරය පිලිබඳ දත්තත් එක්ක. ඔවුනුත් රජයේ රැකියා ලැබෙනකල් බලා ඉන්නවද කියලත් කියන්න. හැකිනම් සංවර්ධනය වෙන රටවල තත්වයත් සංසන්දනය කරමින්. එතකොටවත් තේරේවිද බලමු ලංකාවේ සියලු ආකාරයේ බදු ගෙවන්නන් සරසවි සිසුන් වෙනුවෙන් කරන කැපවීම.

      Delete
  5. කාලීනව ලියන්ඩ ඕනම දෙයක්.මම හිතන්නේ දැන් පිටවෙන උපාධිධාරීන්ගේ දැනුම වගේම සමාජය ගැන තියෙන දැනීමත් අඩුයි කියල.මටත් මේකට හොද උදාහරණයක් දෙන්ඩ පුළුවන්.මම එක්තරා දෙපර්තුමෙන්තුවකට සම්බ්න්ධ ව්‍යාපෘතියක ඉන්න කාලෙ ඒ දෙපාර්තුමේන්තුවට අලුතින් මාසික පඩිය රුපියල් 10,000 (2013)උපාධිධාරීන් ගත්ත පෞද්ගලික අංශයේ රුපියල් 25,000 ක් ගත්තු අයෙකුත් එතනින් අයින්වෙලා මේකට ආව .හේතුව කිව්වේ විශ්‍රාම වැටුප හින්ද ආව කියල.මම හිතන් අනික් හේතුව තමා පෞද්ගලික අංශයේ නිකන් බැහැ වැඩකරන්ඩ ඕන.ආණ්ඩුවේ කන්තෝරු ගැන කියන්ඩ ඕන නැහැනේ.ඉතින් විශ්ව විද්‍යාල වලදී මේ අයගේ ආකල්ප වෙනස් කරන්ඩ ත් වැඩසටහන් තිබිය යුතුයි

    ReplyDelete
  6. Athula Dissanayake, Udawenigaldeniya, Thalathuoya meyawa dannwada ?

    ReplyDelete
  7. නොදනිමි.අසා ඇති බවක්ද මතකයට නොනගී.

    ReplyDelete
  8. නියම කතාව. අත් දෙකම ඔසවා එකඟ වෙමි. මම වගේ එකියක්ට කොහොමත් ආණ්ඩුවේ රස්සා කරන්න බැරිය. කවදාවත් නොකරමි. එහෙමයි කියා රජයේ රැකියා පහත්කොට නොසලකමි ( මා නොකරුවත් නොකරමි එම ගැරහීම)
    අර 'ඇබෑර්තු ඇත' කියලා ටෙලියක් ගියා මේ තේමාවේම. නියම අදහස ඒක නම්... ආකල්පවල සෑහෙන වෙනසක් ඕනේ.. කවදා වෙයිද මන්ද

    ReplyDelete