Sunday, February 25, 2018

හාල් සේරුවේ දේශපාලනේ


එක කාලෙක මම ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් වල අධ්‍යයන චාරිකාවකට සහභාගී උනා. ඔය කාලේ චන්ද්‍ර බාබු නායිදු කියන මහ ඇමති වරයා තමයි ඒ ප්‍රාන්තයේ හිටියේ. එතුමා මහ ඇමති කියල කියනවට අකමැති වෙච්ච අපූරු චරිතයක්. ඒ වෙනුවට එතුමා තමන්ව හඳුන්වා ගත්තේ ප්‍රාන්තයේ ප්‍රධාන විධායක නිලධාරි වරයා නොහොත් CEO විදිහට. ඒ එතුමාගේ තිබ්බ පෞද්ගලික අංශයට බර සංවර්ධන ප්‍රතිපත්ති හිංදා. ඉතින් මම ගිය වැඩේ එතරම් රසවත් නොවිච්ච හිංදා විවේක කාලය සම්පූර්ණයෙම්ම වගේ යෙදෙව්වේ මේ අමුතු මනුස්සයා කරන කියන වැඩ ගැන හොයල බලන්ඩ. වැඩියක්ම ඒ වැඩේ හිතට ඇල්ලුවේ ප්‍රාන්ත මැතිවරණේකුත් ඔය අල්ල පනල්ලේ පවත්තන්ඩ නියමිත වෙලා තිබ්බ හිංදා.

අද කාලේ අපේ රටේ චන්ද ලංවෙනකොට එක එක බඩු බෙදනවා කිව්වට එහෙ ඒ කාලේ තිබ්බ බඩු බෙදිලිත් එක්ක හැරෙන්ඩවත් අපේ උන්දලාට බෑ. ටකරං වගේ දේවල් කෙසේ වෙතත් වැඩි පුරම බෙදුවේ සල්ලි, බයිසිකල්, සාරි, කමිස, ඔරලෝසු, හරක් පැටව්, එළු පැටව්, ප්ලාස්ටික් කළ, වතුර බූලි, බෝනික්කෝ, සෙරෙප්පු, හඳුන් කූරු, කෝච්චි ටිකට්, ත්‍රී වීල් ටයර් වගේ දේවල්. අම්මප මේක මාර රටක් නේ කියල හිත හිත ඉන්නකොට ටීපු රාවෝ මහත්තයා හම්බ උනේ. ඒ මහත්තය අපි නැවතිලා හිටපු හයිද්‍රාබාද් නුවරම කෙනෙක්. ඔහු හරි උනන්දුවක් දැක්වුයේ රාම-රාවණ කතාවට. ඉතින් ලංකාවෙන් ආපු මාත් එක්ක බොහොම ටික වෙලාවකින් මිත්‍රත්වයක් ගොඩ නගා ගත්තු ඒ මහත්තයා දවසක් මාව එතුමාගේ ගෙදරත් රෑ කෑමකට එක්ක ගියා. ඒ දවසේ මම දැන ගත්තු කතා ටික කොලේක ලියල තිබිල පහුගිය දවසක හම්බ උනා. මට හිතුනා ඒ කතාව ඔබත් සමග බෙදා ගන්න.

"ඔයා දන්නවද මේ හාල් කිලෝ එකක් රුපියල් දෙකයි කියල?" රාවෝ මහත්තයා කිව්වේ අපි රෑට කන ගමන්.

"මම දන්නවා ඉන්දියාවේ කෑම වර්ග වල මිල අඩුයි කියල. හැබැයි එච්චරටම අඩුයි කියල නං දැනගෙන හිටියේ නෑ"

"සාමාන්‍යයෙන් නං හාල් කිලෝ එකක් රුපියල් 8-10 විතර වෙනවා. හැබැයි ආණ්ඩුව අපිට හාල් දෙන්නේ රුපියල් දෙක ගානේ!"

"හතර ගුණයක් විතර අඩුවෙන්!?"

"ඔව් ආණ්ඩුව ගොවියාට වී කිලෝ එකකටත් රුපියල් දෙකක් ගෙවනවා!"

"මොකක්? වී මිලයි හාල් මිලයි එක උනේ කොහොමද?"

"ඒක තමයි නිදහස් ඒකීය ඉන්දියාව වෙනුවෙන් බදු ගෙවන්නෝ ගෙවන වන්දිය!"

දැන් මේ කතාව රාවෝ මහත්මියගේ කෑම වලට වඩා රසවත් වෙන බවක් මට තේරුනා. ඉතිං මමත් හූමිටි තිය තිය, පොහොර දදා කතාව අහගෙන හිටියා.

කතාව පටං ගන්නේ 1724 න්. ඒ කියන්නේ මීට අවුරුදු 294 කට කලින්. ඒ කාලේ ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ මොඝල් අධිරාජ්‍යයට යටත් වෙලයි තිබ්බේ. සුප්‍රසිද්ධ ෂා ජහාන් ඒ කියන්නේ අර ටජ් මහල් හදපු කෙනාගේ පුතා එහෙම නැත්තං අවුරාන්ග් සෙබ්, තවත් විදිහකින් කිව්වොත් මොඝල් අධිරාජ්‍යයේ හිටපු අන්තිම ප්‍රබල රජු මැරුණට පස්සේ පාලනේට සම්බන්ධ වෙච්ච මීර් ඛමාර් උද් දින් සිද්දිඛි කියන පාලකයා මොඝල් අධිරාජ්‍යයෙන් මිදිලා හයිද්‍රාබාද් වල වෙනම රටක් හදා ගන්නවා 1724 දී. ඔහු ගෙන් පටන් ගන්න පෙළපත හයිද්‍රාබාද් වල නිසාම් ධූරය දරනවා ඉන්දියාව 1947 සුද්දන්ගෙන් නිදහස ලබන කල්ම. ඒ කියන්නේ සුද්දෝ යටතෙත් මේ නිසාම් වරු යම් ආකාරයක පාලනයක් ගෙනියනවා ඉංග්‍රීසි ආණ්ඩුව පිලි ගත්තු.


ඔය රවුම ඇතුලේ තියෙන්නේ නිසාම් වරයා යටතේ පාලනය වෙච්ච හයිද්‍රාබාද් පළාත  

ඉන්දියාව 1947 අගෝස්තු 15 නිදහස ලැබුවට මොකද ඒ වෙනකොට හිටපු හයිද්‍රාබාද් වල නිසාම් වරයා වෙච්ච ඔස්මාන් අලි සිද්දිඛි කැමති වෙන්නේ නෑ ඉන්දියාවට හෝ පකිස්තානෙට එකතු වෙන්ඩ. ඔහුට ඕන කරනවා ස්වාධීන රටක්!

දැන් අපි පොඩ්ඩක් බලමුද නිදහස් ඉන්දියාවේ නායකයන්ට තිබ්බ ප්‍රශ්න ගැන. මොකද ඒ වගේ ප්‍රශ්න නිදහස් ලංකාවේ නායකයන්ට තිබ්බ නං කොහොමට හිටීවිද කියල හිතන්ඩ ඒක අත්‍යාවශ්‍ය කාරණයක් හිංදා. 

සුද්දෝ ඉන්දියාවට නිදහස දීලා යනකොට පළාත් මායිම් ( ඒ කාලේ ප්‍රාන්ත කියල දෙයක් තිබ්බේ නෑ) හදලා තිබ්බේ සුද්දට පහසු වෙන්ඩ. ඇත්තම කිව්වොත් ඉංග්‍රීසි පාලනය යටතෙත් අර හයිද්‍රාබාදයේ නිසාම් වරයා වගේ එක එක මහරාජාවරු, නිසාම් වරු, කුමාර වරු තම තමන්ගේ නිදහස් රාජ්‍ය පවත්ත ගත්තා. එකක් දෙකක් නෙවෙයි ඔක්කොම එකතු කරපුවම එහෙම පොඩි පොඩි නිදහස් රාජ්‍ය 568 තිබ්බා. කොටිම්ම සුද්දෝ නිදහස දුන්නේ මහා අච්චාරු රටකට. අල බෝලයක් වගේ මේක එකම කැඳ හැලියක් වෙලයි තිබ්බේ.
ඉන්දියාවට නිදහස හම්බෙනකොට මේ ' පොඩි නිදහස් රාජ්‍ය' එක්කෝ පකිස්තානෙට නැත්තං ඉන්දියාවට එක්කහු උනාට ඒවායේ හිටපු පාලකයෝ එහෙමම හිටියා. ඒ මදිවට සමහර තැන්වල ජනතාව බහුතරය මුස්ලිම් - පාලකයා හින්දු, අර කාශ්මීරේ වගේ. සමහර තැන්වල ජනතාව හින්දු - පාලකයා මුස්ලිම්, හයිද්‍රාබාද් වල වගේ. ඒ මදිවට කවදාවත් නොතිබ්බ බලගතු මුස්ලිම් රටක් තමුන්ගේ නැගෙනහිරෙනුයි (අද බංග්ලාදේශය කියල හඳුන්වන රට එදා හැදින්නුවේ නැගෙනහිර පකිස්ථානය කියලා. එය පකිස්තානයේම කොටසක්) බටහිරෙනුයි (අද පකිස්තානය කියල කියන එදා බටහිර පකිස්තානය). ඒ මදිවට දකුණෙන් නිදහස් හයිද්‍රාබාදයක් ඉල්ලනවා. ඔන්න නිදහස් ඉන්දියාවේ නායකයෝ මූණ දීපු තත්වේ.

ඒ වෙනකොටත් හයිද්‍රාබාදයට වෙනම යුධ හමුදාවක්, ගුවන් සේවාවක්, දුම්රිය සේවා සහ තැපැල් ක්‍රමයක් වගේම වෙනම මුදල් වර්ගයකුත් තිබිච්ච හිංදා. අනික ඒ වෙනකොට ලෝකේ හිටපු ලොකුම ධනවතෙක් තමයි මේ නිසාම් වරයා.

මේ නිසාම් වරු කලාවට, ගෘහ නිර්මාණ ශිල්පයට වගේම සංස්කෘතිය වර්ධනය කරන්ඩත් හුගක් අත හිත දුන්නු උදවිය. හැබැයි පොඩි පරහක් තිබ්බා. ඒ තමයි අති විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරිලා තිබ්බ විශාල හින්දු බහුතරයක් ජීවත් වෙච්ච මේ ප්‍රදේශයේ හින්දු වරුන්ට තිබ්බ බලතල ඉතා සීමා සහිත වීම. නිසාම් වරයා මුස්ලිම් වීමත් එක්ක පාලනයට සම්බන්ධ බොහෝ තනතුරු මුස්ලිම් වරුන් අතට පත් උනා. කොටිම්ම මේ හයිද්‍රාබාද් වල රාජ්‍ය භාෂාව උනේ උර්දු.

ඒ හිංදා 'නිදහස් ඉන්දියාව' කැමති වෙන්නේ නෑ පකිස්ථානය කැඩුනා වගේ තව රටක් තමන්ගෙන් කැඩිලා යනවට. ඉතින් ඒ අය පොලිස් මෙහෙයුමක් දියත් කරනවා මේ හයිද්‍රාබාද් පළාත තමන් යටතට ගන්ඩ. ඒ 1948 සැප්තැම්බර් 13. දවස් පහකට පස්සේ නිසාම් වරයා යටත් වෙනවා.

මේ වෙනකොට මදුරාසි ප්‍රාන්තය යටතේ තිබ්බ සමහර කොටස් වලත් මිනිස්සු කතා කලේ තෙලිඟු බස. හයිද්‍රාබාද් ප්‍රාන්තයේත් සමහරු තෙලිඟු බස කතා කළා. ඉතින් මේ අය ඉල්ලුවා තෙලිඟු බස කතා කරං මිනිස්සු ජීවත් වෙන ප්‍රදේශ එක්කහු කරලා වෙනම ප්‍රාන්තයක් පිහිටුවන්ඩ කියලා.

නිදහස් ඉන්දියාව තේරුං ගන්නවා තමුන් සුද්දගේ පළාත් බෙදීම් ඒ විදිහටම කරේ තියාගෙන ගියොත් හොඳම එකෙන් ඇණ ගන්නවා කියලා. ඒ හින්ද 1948 ජූනි වලදී එස්.කේ. ධාර් මහත්තයාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමක් පත් කරනවා පළාත් සීමා මායිම් නිර්දේශ කරන්ඩ කියල. 1948 දෙසැම්බර් වල නිකුත් කරන ඔවුන්ගේ වාර්තාව කියන්නේ භාෂා අනුව සීමා නිර්ණය නොකළ යුතු බව. 

සාමාන්‍යයෙන් දේශපාලකයෝ කැමති නෑ නිලධාරීන් දෙන උපදෙස් පිලිපදින්ඩ. ඔවුන් හිතන්නේ නිලධාරීන් ජනතා හද ගැස්ම නොහඳුනන නිසා ප්‍රශ්න දිහා නිරපෙක්ෂකව බලනවා කියලා. මෙතෙන්දිත් උනේ එහෙම වැඩක්. එවකට ඉන්දියාවේ පාලනය ගෙනිච්ච කොංග්‍රස් පක්ෂය වෙනම ත්‍රි පුද්ගල කමිටුවක් පත් කළා. මේකේ හිටියේ ඉන්දීය නිදහස් සටනේ පතාක යෝධයෝ තුන් දෙනෙක්. ජවහර්ලාල් නේරු, වල්ලබ්භායි පටෙල් සහ පතාබි සීතාරාමයියා. මේ තුන් දෙනාගේ නම් වල මුල් අකුරු එක්කහු කරලා JVP කමිටුව කියල තමයි මේ කමිටුව හඳුන්වන්නේ. ඔන්න එහෙ JVP එක!

ඒ කමිටුවේත් තීරණේ භාෂා මත ප්‍රාන්ත වෙන් කිරීම කල් දාන්ඩ ඕන කියන එක. ඔහොම තියෙද්දී නිදහස් ඉන්දියාවේ පළමු මහා මැතිවරණය පැවැත්වෙනවා 1951 ඔක්තෝබර් - 1952 මාර්තු කාලේදී. හයිද්‍රාබාද් ප්‍රාන්තේ බහුතර බලය ලබා ගන්නේ කොංග්‍රස් පක්ෂය. ඒත් තෙලිඟු බාෂා ප්‍රේමීන් 1952 ඔක්තෝබර් වල අඛණ්ඩ උපවාසයක් පටං ගන්නවා. ඒක දෙසැම්බර් වල මාරාන්තික උපවාසේකට හරවනවා. ඒ හින්දම මේ අරගලයේ නායකයා පොට්ටි ශ්‍රී රාමුලු මියයනවා. මෙන්න මේ මිනිය 'කරේ තියං' භාෂාවාදීන් ඩෙගා නටනවා දකුණු ඉන්දියාව පුරාම.

ඉතින් ඔය අරගල වල ප්‍රථිපලයක් විදිහට 1953 ඔක්තෝබර් වල අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය බිහිවෙනවා. මෙතෙන්දි මදුරාසි ප්‍රාන්තෙට අයිති වෙරළබඩ අන්ද්‍රා කොටසත්, රායලසීමා කියන කොටසත් අලුත් අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තෙට එක්කහු කරා. ඉස්සර හයිද්‍රාබාද් රාජ්‍යයට අයිති වෙලා තිබ්බ කිසිම කොටසක් තාම අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තෙට එකතු කරලා නෑ. ඒ හින්දා තෙලිඟු බස කතා කරපු මිනිස්සුන්ගේ උද්ඝෝෂණ නැවතුනේ නෑ. ඔවුන් 'විසාලන්ද්‍රා' (විශාල අන්ද්‍රා) ඉල්ලුවා. මේ ඉල්ලීමට කන්දීපු කොංග්‍රස් පක්ෂය හයිද්‍රාබාද් ප්‍රාන්තෙන් තෙලිඟු බස කතා කරන දිස්ත්‍රික්ක නවයක් කඩලා අන්ද්‍රා ප්‍රදේශ් ප්රාන්තෙට එක්කහු කළා. මේ මෑතදී අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තෙන් කැඩිලා වෙන්වුණු තෙලන්ගානා ප්‍රදේශේත් එහෙම එක්කහු කරපු කෑල්ලක්. හයිද්‍රාබාද් ප්රාන්තේ ඉතුරු කොටස් මහාරාෂ්ට්‍ර හා කර්ණාටක ප්‍රාන්ත අතරේ බෙදිලා ගියා.


ඔන්න කෑලි කෑලි එක්කහු කරලා හදාපු අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තේ

දැන් මොකද වෙන්නේ. මම මුලිනුත් කිව්වනේ අවුරුදු සිය ගානක් හයිද්‍රාබාද් පළාත තිබ්බේ මුස්ලිම් නිසාම් වරයෙක් යටතේ කියලා. ඉතිං මොන භාෂාව කතා කලත් මේ පළාත් වාසීන් අතරේ හුගක් සංස්කෘතික හා සමාජීය සමානකම් තිබුනා. එහෙම තිබ්බ එක සමානකමක් තමයි උයන පිහන විදිහ. පර්සියානු අභාසය ලැබිච්ච හයිද්‍රාබාද් ක්‍රමේට උයන්ඩ තමයි ඒ ප්‍රදෙශේ ඔක්කොම මිනිස්සු පුරුදු වෙලා තිබ්බේ. එහෙ ප්‍රධාන ආහාරය කුරක්කන්, උඳු වගේ දේවල්. තෙලන්ගානාව හයිද්‍රාබාද් පළාතේ තිබ්බත් එහෙ හිටියේ ටිකක් අඩු කුලේ කට්ටිය. එහෙම නැත්තං වැඩවසම් පාලකයන් යටතේ හිටපු සෙනග බහුතරයක්. තෙලන්ගානා නිදහස් සටන පටන් ගන්නෙත් ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂේ උදව්වෙන් මේ වැඩවසම් පාලකයන්ට විරුද්ධව. ඒ කොහොම උනත් මේ අඩු කුලේ මිනිස්සු කෑවේ බත්.

දැන් වෙරළබඩ අන්ද්‍රා ප්‍රදේශය මේ සමීකරනෙට එක්කහු වෙනකොට තරාදිය වෙනස් වෙනවා. එහෙ ප්‍රධාන ආහාරය බත්. අනික සමස්ථ අන්ද්‍රා ප්‍රදේශයේ වැඩි ජනගහනයක් ඉන්නෙත් මේ වෙරළබඩ ප්‍රදේශ වල. දන්නවනේ අපේ චන්ද ක්‍රමේ හැටියට හැමෝටම එක චන්දයක් ලැබෙන කොට වැඩි පිරිසක් ජීවත් වෙන පැත්තට කැමති නායකයෝ තමයි බිහිවෙන්නේ.

ඒ නායකයෝ හිතනවා මෙන්න මෙහෙම. අපි කන්නේ බත්. රට මැද ඉන්න අන්ද්‍රා වැසියෝ කන්නේ ඊට වඩා පහත් ආහාර. ඒක ඔවුන්ගේ සාම්ප්‍රදායික කෑම බව හැබෑව ඒත් අපි කන බත් උන්ටත් කවමු. උන්ට බත් කන්ඩ පුරුදු කරවන්ඩ හාල් මිල අඩු කරමු. ටික කාලයක් යනකොට උන් වවන දේවල් නැති වෙලා යාවි. එතකොට උනුත් අපි වගේම වී වගා කරන්ඩ පටන් ගනීවි!

මෙන්න මෙහෙම තමයි 2008-2009 කාලේ වෙනකොට ප්‍රාන්ත රජයට ඉන්දියන් රුපියල් මිලියන් 20,000 විතර බරක් පැටවෙන හාල් බෙදාහැරීමේ සේවය පටන් ගන්නේ. මුලින් අරමුණ දරිද්‍රතා සීමාවෙන් පල්ලෙහා ඉන්න අයට මේ සහනාධාරය දෙන්ඩ. නමුත් ඉන්දියාව වගේ රටක එහෙම ඉලක්ක කණ්ඩායම් වලට විතරක් සහනාධාර දීම ප්‍රායෝගික නෑ. ඉතින් මගේ යාලුවා වෙච්ච මධ්‍යම පාන්තික රාවෝ මහත්තයාටත් අර රුපියල් දෙකේ හාල් හම්බ වෙනවා!

ඇත්තටම මේ ක්‍රමය පටන් ගන්නේ 1982 දී චන්ද පොරොන්දුවක් විදිහට. ඒ පොරොන්දුව හිංදා තමයි කොංග්‍රස් පක්ෂය පරද්දලා ප්‍රාදේශීය වාදී තෙලිඟු දේසම් පක්ෂය බලයට එන්නේ.

මේ කතාවෙන් අපිට ගන්ඩ හුගක් පාඩම් තියනවා.එක තමයි ලිබරල් දේශපාලන චින්තනයකට වඩා ප්‍රාදේශීයවාදී උවමනාවල් ඉස්සරහට එන ආකාරය. කොටිම්ම අන්දර ප්‍රදේශ් කියන ප්‍රාන්තේ ඇති වෙන්නෙම එහෙම ව්‍යාපාර හිංදා. ඒ වගේ කට්ටිවාදී පක්ෂ හා කණ්ඩායම් වල උවමනාවට ජාතික දේශපාලන පක්ෂ නැමෙන විදිහ තවත් පාඩමක්. ඊට පස්සේ බහුතරයේ මතය සුළුතරය මත බලෙන් පටවන එක. මේක ජාතිවාදයට ලඝු කරන්ඩ එපා. කෑම බීමේදී පවා, ඇඳුම් පැළඳුම් වලදී පවා 'අපි හිතන විදිහ' තමයි 'හරිම විදිහ' කියන එක ලේසි පාසු දෙයක් නෙවෙයි. හතරවැනි කාරණේ මේ වගේ පසුබිමක් තිබ්බ ප්‍රදේශයක් ඉන්දියාවේ තොරතුරු තාක්ෂනය අතින් දියුණු ප්‍රදේශයක් බවට පරිවර්තනය කරපු දේශපාලන දැක්ම. ඒ ගැන මේ ලිපියෙදි කතා නොවුනත් මේ ලිපියෙන් සපයන පසුබිම එය තේරුම් ගන්ඩ උදව්වක් වේවි කියල මම හිතනවා.

එහෙම දැක්මක් වෙනුවට අපිට තියෙන්නේ හාල් වෙනුවට පාන් පිටි බෙදන එහෙම නැත්තං එහෙ වගේ චන්ද කාලෙට බඩු මලු බෙදන දෙකේ පංතියේ දැක්මක් නං අපේ රටට දෙයියන්ගේම පිහිටයි!

21 comments:

  1. අපේ තියෙන්නෙම අර කියපු දෙකේ පන්තියේ වැඩ.1948 ජුනිවල සීමා නිර්ණය පටන් අරන් දෙසැම්බර් වල ඉවර කරපු එකම අපිට පාඩමක්,අපේ රටේ එහෙමනම් තවමත් ඕක හදනවා එක්කෝ දේශපාලන අවාසියක් වෙනවනම් නඩුවක් දානවා කපේට තීන්දුවක් නොඑන්ඩ

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව අපිට වඩා ගව් ගානක් ඉදිරියෙන් ඉන්නේ නිර්දේශපාලනික රාජ්‍ය සේවය කියන තැනේදී. ඔවුන් තම නිදහස් ව්‍යවස්ථාව හදන්ඩ බාර දෙන්නේ අම්බෙඩ්කාර් තුමන්ට. ඔහු පහළ කුලයක් නියෝජනය කල අයෙක්. එහෙමයි කියලා ඔහුගේ නීතිමය ප්‍රතිභාව ඉන්දියානු ජනරජයට වැටෙන එක නැවැත්තුවේ නෑ ඔවුන්. අපි?

      Delete
  2. චන්ද්‍රබාබු නායිදු තම ප්‍රාන්තය අයි ටී ප්‍රාන්තයක් කරපු හැටිත් ලියනවද?

    ReplyDelete
    Replies
    1. හැලපතුමනි යෝජනාවට ස්තූතියි. එය කම්මැලි කමක් නැතිව කියවන්ඩ පුළුවන් විදිහකට ලියා ගත්තොත් පල කරන්නං.ඔබේ දකුණු ඉන්දියානු සංචාර අතර ආන්ද්‍ර ප්‍රදේශය ගැන මතක මොනවාද?

      Delete
  3. ඉන්දියාවෙ හැමතිස්සෙම වගේ ලාබ ජනප්‍රියත්වයට/ ආගම/ වර්ගය වගේ දේවල් සඳහා ගත් තීරණවලට වඩා ආර්ථිකය/නීතිය/සාමය සඳහා ගත් තීරණ වැඩියි. ලාබ ජනප්‍රියත්වය හා ඊලඟ චන්දෙ ගැන නොකලා කියල නෙමෙයි මං කියන්නේ. හොඳ තීරණ නරක තීරණ වලට වඩා වැඩියි කියලයි. බ්‍රිතාන්‍ය ක්‍රමයෙන් විකාශනය වූ ශක්තිමත් සිවිල් සේවය හා උගතුන්ට ඇති පෞරුෂය හා තැන එයට එක හේතුවක්

    ReplyDelete
    Replies
    1. 100% එකඟයි ප්‍රා ජේ!! අපේ සිවිල් සේවය ගැන කතා නොකර ඉන්න එක ගුණයි...අර සිංදුවක තියනවා වගේ....දෙබසින් දුක වැඩි හංදා...!!!

      Delete
  4. චන්දු බායිබු සහ අන්ද්‍රා ප්‍රදේශ් ගැන මාත් අහල තිබුණෙ තොරතුරු තාක්ෂණය පැත්තෙන් තමයි.

    එතකොට බත් කන්නෙ අඩු කුලේ අය. හැක්..

    ReplyDelete
    Replies
    1. ආන්ද්‍ර ප්‍රදේශය තව බොහෝ දේවල් වලට ප්‍රසිද්ධයි. අඩු කුලය හා බත් සම්බන්ධ වෙන්නේ තෙලන්ගානාවෙදී. ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තය පුරාම නෙවෙයි. තෙලෙන්ගානාව අලුත් ප්‍රාන්තයක් උනාට පස්සේ ඔවුන් කල කී දෑ මම දන්නේ නෑ!

      Delete
  5. ඉන්‍දියාවෙ කුරක්කන් ලාබද?

    ReplyDelete
    Replies
    1. ඔය කියන කාලෙදි ආන්ද්‍ර ප්‍රදේශ් වල කුරක්කන් ගණන් වැඩියි හාල් වලට වඩා. නමුත් ඒ ප්‍රාන්ත රජයේ අධික සහනාධාර නිසා.

      Delete
  6. පොල්ලත් නොකඩා නයාවත් නොමරා ගේම බේරගන්න එක හැබෑ දක්ෂකම. ඉන්දියාවෙ වගේම අපේ රටෙත් යමක් කරද්දි ඒකට එකඟ වන වගේම විරුද්ධ වන කොටසත් පනහට පනහයි. යන්තම් හරි රටේම මතය එක පැත්තකට ගන්න පුළුවන් වුනේ මෑත කාලීනව මහින්ද මහත්තයට විතරයි. එතුමගෙ ඒ ආකර්ශනය රටට අවශ්‍ය පාරෙ හරියටම මෙහෙයුවා නම් අපි මෙයිට වඩා ඉහළක.මට හිතෙන්නෙ අපේ රටේ ජන විඥ්ඥානය ගලන පැත්ත හඳුනාගෙන ඒ දිහාවට රුවල හරවලා හුළඟ කොහෙට හැමුවත් රට ඉදිරියට යාත්‍රා කරවන්න පුළුවන් කෙනෙක් රටේ ජන නායකයා වෙනකම් අපිට ජීවත් වෙන්න වෙන්නෙ ඉන්දියාව දිහාට නියෝගෙන තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. යුද්දයෙන් පස්සේ කල හැකිව තිබූ බොහෝ දේ මහින්ද මහත්තයා කලේ නෑ. කළා නම් ඔහු ඉතිහාස ගතවෙන්නේ මහා නරපතියෙක් විදිහට.

      Delete
  7. අපේ නම් වී වගාව හරියන ගේමක් නෙමෙයි.. ඊට වඩා හොඳයි හාල් රටින් ගෙනත් වෙනත් ආර්ථික වගාවකට යන එක. කොහොමත් බය නැතිව තීන්දූ තිරණ ගන්න නායකයන් තමා අවශ්‍ය. ජේ ආර් ඒක පටන් ගත්තා. ඒත් එයාම ඊට හපන් මරි මෝඩ වැඩක් කළ 83. දැන් ඒ සාපය ඉවරයි. දැන් ඉන්න තිබ්බේ ප්‍රේමදාස වගේ නායකයෙක්. සිරිසේන නම් ගොඩ යයි. ඒත් රට නම් ගොඩ යන්නේ නෑ. එයාලට කිසිම විෂන් එකක් මිෂන් එකක් ටීම් එකක් නෑ රට හදන්න. හිටපු උන් මලා. පේන තෙක් මානෙක එකෙක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇතුලත්මුදලි හිටියා නම් ....

      Delete
    2. ඇතුලත්මුදලි මහත්තයා මැරුව එකා තමයි ලංකාවට ගේම දුන්නේ අවුරුදු සීයකට විතර.

      Delete
  8. වටිනා විස්තරයක් .

    මට මතක් උනා ඉස්සර දෙයක් .

    කොලබ ක්‍රමය යටතේ කැනඩාවෙන් කොච්චි එන්ජින් වගයක් හම්බුන ඒ කාලේම කැනඩාවෙන් ලැබුණු ආධාර තිරිගු පිටි ලංකාවේ බෙදල දෙන්නේ නැතුව විකුණලා තවත් කොච්චි එන්ජින් 2 ඉස්සෙල්ල ගත්ත කැනේඩියානු සමාගමෙන් ම අරගත්තා . ඒ එන්ජින් දෙක අදටත් සේවය සපයනවා .

    එදා ලැබුණු ආධාර තිරිගු පිටි ලංකාවේ බෙදල දුන්නනම් මිනිස්සු ඒවායින් පාන් කාලා ඉදී . ඊට වඩා දෙයක් වෙන්නේ නෑ නේ . ඉස්සර ලංකාවේ දේශපාලකයා ඉස්සර ගැන හිතුව . දැන් තත්වය කණගාටුයි හැබැයි .

    ReplyDelete
    Replies
    1. ඒ කොළඹ ක්‍රමය තිබ්බ දවස් වල කලණ. ඊට පස්සේ ආවේ 3.50 ට පාන් දෙන යුගයක්! ගොවිතැනට සහනාධාර දෙනවා නං ඒ ලංකාවේ ගොවියන්ට වෙන්න ඕන. ඇමරිකාවේ ගොවියන්ට ඇමරිකාව සහනාධාර දෙයි. අපි දඟලන්ඩ ඕන නෑ. හැබැයි එහෙම කියන එකෙන් අදහස් වෙන්නේ නෑ අපි ආර්ථික විද්‍යාවේ කියන Comparative advantage සංකල්පේ පාවිච්චි නොකළ යුතුයි කියලා. කොහොමත් අපි ජීවත් වෙන්නේ 1930 දශකේ නෙවෙයි 2018 කියලා තේරුම් ගන්න අපේ තීන්දු තීරණ ගන්න අයට පුළුවන් උනොත් ඒකත් ලොකු දෙයක්!!

      Delete
  9. වටිනා ලිපියක් .I T ගැනත් ලියන්න .

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නේ අන්ද්‍රා ප්‍රදේශ් වල IT සංවර්ධනය ගැන නං, මම පුලුවන් උනොත් ලඟදි ඒ ගැන ලියන්නං.

      Delete