Saturday, May 19, 2018

මැයි 19 - සොඳුරු හුදෙකලාවක් වෙනුවෙන්



ඉන්දියාවේ තියෙනවලු තපෝදා කියල ගඟක්. දවසක් පාන්දරින්ම නැගිටපු සමිද්ධි කියල හාමුදුරුනමක් මේ ගංගාව ලඟට වැඩියලු මූණ හෝද ගන්න. මේ සුන්දර නදියෙන් ඇඟ පත හෙම හෝදගෙන තුවායකින් ඇඟ පිහ දදා ඉන්නකොට හරි ලස්සණ පාටකින් මුළු පැත්ත පළාතම එළිය කරගෙන දෙව් දුවක් පහල උනාලු හාමුදුරුවෝ ඉස්සරහට.


පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ දන්නවද සොඳුරු හුදෙකලාව ගැන?”

නෑ දෙව් දුව…. මම එහෙම දෙයක් ගැන දන්නේ නෑ?”

ඔබ වහන්සේ සොඳුරු හුදෙකලාව ගැන කියවෙන ගාථා ටික දන්නවද?”

නෑ දෙව් දුව…. මම ඒ ගාථා දන්නෙත් නෑ

එහෙනං හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ සොඳුරු හුදෙකලාව ගැන කියවෙන විස්තරය හොඳට අහලා දැනගන්න. ඒක නිවනට හේතු වෙනවාමයි කියල අර දෙව් දුව අතුරුදහන් උනා.


එදා උදේ වරුවේ සමිද්ධි හාමුදුරුවෝ බුදු හාමුදුරුවන් ගාවට ගියා. ඒ කාලේ බුදු හාමුදුරුවෝ වැඩ හිටියේ රජගහ නුවර තපෝදාරාමයේ. ගිහිල්ලා තමන් එදා උදේ මූණ දීපු සිද්ධිය කියල හිටිය.

අනේ බුදු හාමුදුරුවනේ මට කියල දෙන්න මේ සොඳුරු හුදෙකලාව ගැන සමිද්ධි හාමුදුරුවෝ ආයාචනා කළා.

එහෙමනං මම කියා දෙන්නම්. හොඳට අහලා තේරුම් අරං නිතර මතක් කරන්ඩ මේ ගැන

හොඳමයි

නුවණැති කෙනෙක් සසර කෙලවර කරන්ඩ විදර්ශනා වඩන්නේ මෙහෙම කල්පනා කරලා. ඒ පුද්ගලයා අතීතය වැළඳගෙන අතීතයේ ආශ්වාදය තුල ජීවත් වෙන්නේ නෑ. ආශ්වාදය තුල ජීවත් වෙන්ඩ අනාගතය පතන්නෙත් නෑ. යමක් අතීතයට ගියාද, ඒක නැතිවෙලා ඉවරයි. අනාගත වූ යමක් ඇද්ද එය තවම පැමිණිලා නෑ.

යම් දෙයක් වර්තමානයේ තියෙනවාද, ඒ ඒ අවස්තාවේදී නුවණින් විමසා බලනවා. කෙලෙස් වලට ඇදිලා යන්නේ නෑ. කෙලෙස් සමග එකතු වී ඇවිස්සෙන්නේ නෑ.

අදමයි කෙලෙස් තවන වීර්යයෙන් මේ දේ කරන්ඩ ඕන. හෙට මරණයට පත් වෙයි ද කියල කවුද දන්නේ? අපි මාරයා සමග කිසි ගිවිසුමක් ගහලා නෑ නේ.

ඉතින් ඔය විදිහට ධර්මයේ හැසිරෙන කෙලෙස් තවන වීර්යයෙන් යුතු කෙනා රෑ දවල් දෙකේම කම්මැලි නොවී වාසය කරනවද ඔහු සොඳුරු හුදෙකලාවේ ඇලුණු කෙනා කියලයි මම කියන්නේ.

මේ දේශනාව අහලා අර හාමුදුරුවෝ බොහොම සතුටු උනා කියල මජ්ජිම නිකායේ විභංග වර්ගයේ මහා කච්චාන භද්දේකරත්ත සූත්‍රයේ කියවෙනවා.

මට ඔය ලස්සන දේශනාව මතක් උනේ අද මැයි 19 නේද කියල අපේ නෝන මහත්තයා මතක් කරල දුන්නට පස්සේ. හැබෑ නේන්නං අද මැයි 19. අද දවසේ තියන විශේෂත්වය ලංකාවේ ජීවත් වෙන වැඩිහිටි හැමෝටම අමුතුවෙන් කියල දෙන්න ඕන කාරණයක් නෙවෙයි. අපි ආය ඇඟිල්ලෙන් ඇණ ඇණ ඒ ගැන නොකිව්වට දන්න අය දන්නවා මොකද උනේ කියල. හැබැයි අද තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඒ වෙච්ච දේ නෙවෙයි. ඒ යුධ සැමරුම පවත්තන්ඩ ඕනද එපාද? එහෙම නැත්තං දෙමළ මිනිස්සුන්ට තමන්ගේ මැරිච්ච මිනිස්සුන්ව සමරන්ඩ අයිතියක් තියනවද නැද්ද? කියන එකයි.

යුද්දේ කරපු මිනිස්සු පැත්තක. එක්කෝ මළවුන් අතර. එක්කෝ ආබාධිත වෙලා. ඒ අතරේ මේ කොහෙද ඉන්න වීරයෝටිකක් කෑ ගහනවා අරක වැරදි - මේක වැරදි කියලා. ලංකාවේ තියන අති උත්තම සුපිරිසිදු ජන මාධ්‍ය අර දෙකයි පනහේ වීරයන්ව අල්ලගෙන දවල් රෑ නැතුව බැණ අඬ ගහනවා මේ සැමරුම ගැන. අර සැමරුම ගැන. මෙතැන ඉන්න බහුතරේ සිංහල බෞද්ධ හිංදා මට හිතුනා බුදු හාමුදුරුවෝ (උන් වහන්සේ සිංහල බෞද්ධ නොවුනත් අපි මේ විශ්වාස කරන්නේ ඒ උත්තමයා දේශනා කරපු දේ කියලනේ කියන්නේ) මේ ගැන කියපු දේ ගැන මතක් කරන්ඩ.

ඔය භද්දේකරත්ත සූත්‍රයේ තියන කෙල්ස් තැවීම හා නිවන වැනි සංකල්ප පැත්තකින් තිබ්බත් ඒ සූත්‍රයේ අපේ එදිනෙදා ජීවිතේට ඕන කරන ලොකු පාඩමක් තියනවා. ඒ තමයි අතීතය ගැන ශෝක නොකිරීම සහ අනාගතය ගැන බලාපොරොත්තු නොතැබීම. ඒ හින්දම අද කල යුතු දේ අදම කිරීම. මේ කතාව කොහොමද යුද්දෙට සම්බන්ධ වෙන්නේ?
යුද්දේ ඉවර උනා. ඉතින් තවත් යුද්දේ ගැන කියා කියා ආතල් ගන්න එකේ වැඩක් නෑ (මම මේ කියන්නේ සිංහල ආතල් සහ දෙමල ආතල් දෙකම ගැන).

හැබැයි යුද්දෙට හේතු වෙච්ච කරුණු කාරනා ගැන අපි හිතලා තියනවද? කාට හරි අසාධාරණයක් උනා නං ඒ අසාධාරණේ නැති කරන්ඩ අපි මොනවද කරලා තියෙන්නේ? අට මගලේ ව්‍යවස්ථාව හරි බලය බෙදා ගැනිල්ල හරි නෙවෙයි මිනිස්සුන්ගේ මූලික ප්‍රශ්නය. සුදුස්සාට සුදුසු තැන නොලැබෙන එකයි. පිනට කකා ඉන්ඩ ආණ්ඩුවේ රස්සා නෙවෙයි මිනිස්සු ඉල්ලන්නේ. මිනිස්සුන්ට ඕන දක්ෂතාවයත් එක්ක ඉස්සරහට යන්ඩ පුළුවන් ක්‍රමයක්. තම තමුන්ගේ දක්ෂතා වර්ධනය කර ගන්ඩ වටපිටාවක්.

හොඳයි පොඩ්ඩකට අපි යුද්දෙට හේතු වෙච්ච කරුණු පැත්තකින් තියමු. අඩු ගානේ යුද්දෙට ගිහින් මැරිච්ච වීරයන්ගේ පවුල් වලට මොකද වෙන්නේ කියල හිතනවද අපි? ඒ මිනිස්සුන්ට පැන්ෂන් එකක් දෙන එක නෙවෙයි යුතුකම ඉටුකිරීම කියන්නේ. ඒත් එක්ක කරන්ඩ ඕන දේවල් ගණනාවක් තියනවා. පැන්ෂන් එක හම්බ වෙන්නේ හමුදාවේ අයට. මැරිච්ච කොටින්ගේ තරුණ දරුවන් ඉන්නවද? ඒ අය ජීවත් වෙන්නේ කොහොමද කියල අපි හොයල තියනවද? මම කියන්නේ උන් ආයුධ එක්කහු කරනවද කියල හොයන එක නෙවෙයි. ඒ පොඩි උන් ආපහු ආයුධ එක්කහු කරන තැනකට පත් වෙන වට පිටාවක් තියනවද කියල හොයල, එහෙම එකක්  තියනවනං ඒ වටපිටාව නැති කරන එක ගැන.

තව දෙයක්. අපේ සීනුවේ මහත්තුරු අවුරුදු හතලිස් ගානක් තිස්සේ 71 ආණ්ඩුව පෙරලන්ඩ හදලා මැරිච්ච අයත් තවත් අවුරුදු විසි ගානක් තිස්සේ 87-89 කාලෙදී ආණ්ඩුව පෙරලන්ඩ හදලා මැරිච්ච සහෝදරයනුත් සමරනවා. අපි කවුරුවත් එකට විරුද්ධද? නෑ නේ. විරුද්ධ නං කොළඹ දී ප්‍රසිද්ධියේ එහෙම සැමරුම් උත්සව තියන්ඩ බෑනේ. එතකොට ඇයි අපි අවුරුදු නවයකට ඉස්සර ආණ්ඩුව පෙරලන්ඩ හදලා මැරිච්ච අය ඒ අයගේ නෑදෑයෝ සමරනවට විරුද්ධ? සීනුවෙන් මැරුණේ සිංහල මිනිස්සු වීමත් උතුරෙදි මැරුණේ දෙමළු වීමත් නිසාද? 

අද උදේ නිව්ස් වලට ගියා කෙන්යාවේ තියන අනාත කඳවුරක කොලරාව පැතිරිලා යෑමේ අවදානමක් ගැන. එතකොට මට මතක් උනේ මැණික් ෆාම් කඳවුරේ එහෙම අවාසනාවන්ත තත්වයක් ඇති වීම වලක්කපු අපේ මහා යුධ වීරයෙක් ගැන. අද මාධ්‍ය එකකවත් මේ උත්තමයා ගැන වචනයක් වත් නෑ. මොකද එතුමා දේශපාලකයන්ට ඕන විදිහට නැටවෙන රූකඩයක් නොවෙන හිංදා. හැබැයි හැම කෙනාම මෙතුමා වදාලා, කිරි පොවලා, අත පය නොකඩා හදලා රටට දුන්න විශේෂ බලකාය ගැන පුරසාරම් දොඩවනවා. තමුන්ගේ ඇහැක් පවා යුද්දය වෙනුවෙන් පූජා කරපු අද සොඳුරු හුදෙකලාවක ජීවත් වෙන ඒ උත්තමයා තමයි මේජර් ජෙනරාල් ගාමිණි හෙට්ටිආරච්චි. ඔව්. විජේවීර ඇල්ලුවෙත් මෙතුමා තමයි. ඒ වගේම විජේවීරගේ පවුලේ අය අද ජීවත් වෙලා ඉන්නෙත් මෙතුමා හින්දම තමයි. ඒ කියන්නේ ඉලක්කය මිසක් ඉලක්කය වටේ තියන අහිංසකයන් මේ වගේ නියම වීරයන්ගේ ගොදුරු නෙවෙයි කියන එක. 

මම දන්නවා මැණික් ෆාම් එකේ කානු පද්ධතිය හදලා මහා කොලරා හා පාචන වසංගතේකින් ඒ මිනිස්සුයි, එයින් වෙන්ඩ තිබ්බ අපකීර්තියෙන් මුළු රටමයි බේර ගත්තේ කොටි විනාශ කරන්ඩ අප්‍රමාණ මෙහෙයක් කරාපු විශේෂ බලකාය හදපු මේ උත්තමයා කියලා. කොටියට රිඹ යන්ඩ ගහපු හැබැයි දෙමල මනුස්සයාට ජීවත් වෙන්ඩ තියන අයිතිය පිළිගත්තු, ඒ වෙනුවෙන් ඇප කැප වෙලා වැඩ කරපු මේ උත්තමයා එක සත පහක් හමුදාවෙන් අයුතු ලෙස උපයා නොගත්තු බවත් එතුමා ගැන දන්නා හැමෝම දන්නවා.
මේ යුධ වීරයන් අඳුනා ගත්තු ඇත්ත ඇයි අද ඉන්න 'වීරයන්ට' තේරෙන්නේ නැත්තේ?

අපි වෙන දෙයක් ගැන හිතමු.

අපි බලයට ආවොත් මෙහෙම කරනවා අරහෙම කරනවා කියලා පාරම්බාන චරිත අද මොකද කරන්නේ? එක එකාට චෝදනා කරන එක නවත්තලා දැනෙන යමක් මේ රටටයි ජාතියටයි කරනවද? නෑ....උදේ ඉඳන් රෑ වෙනකල් බලා ගන්නේ කොහේ හරි තියන කක්කුස්සියක් කඩා ගෙන කන්ඩ. එක දසමෙන් තවත් 'කළු මාර්තුවක්' ඇතිවීම නැවතුනා. 83 දී ආසන්නතම සිද්ධිය යුද සෙබළු 13 මිය යාම. හැබැයි ඒ පිටිපස්සේ තිබුනේ දේශපාලන උවමනාවල්. සමහර විට තෙල්දෙණියේ සිද්ද උනේ එක මරණයක් හිංදා ලේ රහ මදි වෙන්ඩ ඇති ගින්න අවුලුවන්ඩ. හැබැයි 83 තිබ්බ දේශපාලන උවමනාවල් තවම තියනවා. ඒ හිංදා ගින්න නිවිලා නෑ. අළු වලින් යට වෙලා විතරයි. අපි බලයට පත් උනාම මෙහෙම වෙන්නේ නෑ කියල කියන අය අද එහෙම දෙයක් වලක්කා ගන්ඩ මොකද කරන්නේ?

අර භද්දේකරත්ත සූත්‍රයේ කියනවා වගේ අපිට ආශ්වාදය පිණිස අතීතේ සිහි කිරීමෙන් වැඩකුත් නෑ. ආශ්වාදය පිණිස අනාගතය සිහි කිරීමෙන් වැඩකුත් නෑ. වැදගත් වෙන්නේ අද මොකද කරන්නේ කියන එක. පුලුවන්නං අනාගත පරම්පරාවල් අපි විදපු යුද බියෙන් තොර රටක ජීවත් වෙන්ඩ ඕන කරන දේවල් එකක් දෙකක් හරි කරමුද? හෙටට කල් දාලා වැඩක් නෑ. මොකද බුදු හාමුදුරුවෝ කිව්වා වගේම අපිට මාරයාත් එක්ක ගිවිසුමක් නෑ නේ හෙට වෙනකල් ඉන්නවා කියලා!!

එහෙම කලොත් තමයි මැයි 19 දවසට අපි වෙනුවෙන් ජීවිත පූජා කරපු අය වෙනුවෙන් වටිනාකමක් එකතු කරන්ඩ පුළුවන් වෙන්නේ. ඔවුන් හුදෙකලා නොකොට සොඳුරු හුදෙකලාවක කොටස් කාරයෝ කර ගන්ඩ පුළුවන් වෙන්නේ. සත්තකටම ආපහු යුද නලා පිඹලා නම් නෙවෙයි සහෝදර සහෝදරියනි!!

එතකල් අපි වෙනුවෙන් පුදකළ ඔවුන්ගේ සෙනෙහස මතක් කරමු. 

කාලයේ වැලි තලාව පහුරු ගා
නියග ගෙවී ලේ ගලනා වෙලාවේ
මිහිදන් වූ ඔබේ සෙනෙහස සොයන්නෙම්
ඒ සෙනෙහස යළි ඉල්ලා හඩන්නම්

වියළුණු හෝපලු වනයේ
සුළඟේ යන පඬරැල් මැද
අතීතයක ගුණ සුවඳක් විඳින්නම්
ඒ සුවඳම හමුවන තුරු සිටින්නම්

ගිණි දැල්වෙන මරු කතරේ
පුපුරු ගසන වැලි කැට මත
ළතෙත් බවක සිසිලස සිහි කරන්නම්
ඒ සිසිලම පතමින් මග බලන්නම්

ගායනය - නන්දා මාලිනි

12 comments:

  1. මේක තමයි අද දවසේ අහපු වටිනාම කථාව. හැමෝම මෙහෙම හිතුවොත් මේ ලංකාව ඇත්තටම සොඳුරුයි

    ReplyDelete
  2. මේ නපුංසක ආණ්ඩුව ජාතිවාදී අදහස් වපුරවන සිංහල දෙමළ මුස්ලිම් හැම එකාවම වෙනසක් නැතුව අත් අඩංගුවට අරගෙන දඬුවම් කරනවානම් ගොඩක් දේවල් වළක්වගන්න පුළුවන්.

    ReplyDelete
  3. වෙන්ඩ ඔන මේක බව හැම දේශපාලකයාම දැනගත්තත් බලයට එන්ඩ ඕන නිසා එක කරන්නේ නැහැ .

    ReplyDelete
  4. දෙමලුත් සිංහලුත් තේරුං ගන්න ඕනෑ මේ යුද්ධ කෙරුවාව අපේ ඕනෑ කමක් නොවෙන බව.

    ReplyDelete
  5. http://kadadasikole.blogspot.com/2016/10/blog-post_89.html
    http://kadadasikole.blogspot.com/2017/03/70.html

    ReplyDelete
  6. නියම කතාව. සාමාන්‍ය සිංහල මනුස්සයටවත් දෙමළ මනුස්සයටවත් යුද්ධයක් ඕන කම තිබ්බෙ නෑ. ඒත් යුද්දෙ නැවතුනා කියලත් ඒ කිසිම මනුස්සයෙකුට වෙච්ච සෙතකුත් නෑ.

    ReplyDelete
  7. //“නුවණැති කෙනෙක් සසර කෙලවර කරන්ඩ විදර්ශනා වඩන්නේ මෙහෙම කල්පනා කරලා. ඒ පුද්ගලයා අතීතය වැළඳගෙන අතීතයේ ආශ්වාදය තුල ජීවත් වෙන්නේ නෑ. ආශ්වාදය තුල ජීවත් වෙන්ඩ අනාගතය පතන්නෙත් නෑ. යමක් අතීතයට ගියාද, ඒක නැතිවෙලා ඉවරයි. අනාගත වූ යමක් ඇද්ද එය තවම පැමිණිලා නෑ.//නියමයි

    ReplyDelete
  8. හොඳ ලිපියක්,ලන්ඩන් වල ඉන්න ගොඩක් අය ඔය යුද සැමරුම ගැන හෙනට පෝස්ට් දාල තිබ්බ. මම මේ ලොකු කමට නෙමේ කියන්නේ. අපි දෙන්නෙක් තුන්දෙනෙක් කපිතාන් කෙනෙක්ගේ මව්පියන් එක්කරල දුන්න අබාධිත සොල්දාදුවන්ට අවශ්‍ය උපකරණ යැව්වා. ඒකට ඔය පොස්ට් දාන එකෙක් සහයෝගයක් දුන්නේ නැහැ . මේ යුද්දේ යන අතර. ඔය අතරේ දෙමල ළමයින්ට උදව්ව්වක් කරන්න හැදුව. ඒත් එකෙක් නැහැ.

    ReplyDelete
  9. මෙන්න මෙව්ව තමයි ලියන්න ඕනෑ බං. සුපිරියි!

    ReplyDelete