Saturday, May 26, 2018

නිගණ්ඨ ජීවිතේ මතකය


ගිය පාර මම කියපු මහ ඉලුප්පල්ලම ගැන කතාවෙදි මම කිව්වනේ පේරාදෙණියේ ඉන්න කාලේ තිබ්බ සමහර අත්‍යවශ්‍යතා MI වලට එතරම් තදින් දැනුනේ නැති බව. මම දුන්න එක උදාහරණයක් තමයි සරම! අපේ ප්‍රසන්න මහත්තයා (කමෙන්ට් කරුවන්ගේ සංගමයේ ගරු සභාපති තුමා) අහලා තිබ්බ එහෙම වෙන්නේ කොහොමද කියලා. ඔන්න එතකොට තමයි මට තේරුනේ මේ ගැන පැහැදිලි කිරීමක් නොකලොත් MI ජීවිතේ ගැන වැරදි වැටහීමක් කාට කාටත් ඇති වෙන්ඩ පුළුවන් බව. ඉතිං ඒ  ගැන තමයි අද කියන්ඩ හිතුවේ.

ලංකාවේ හතර දිග් බාගෙන් ආවත් පේරාදෙණියේ සැපදායක පරිසරය අපි හැමෝටම ගෙනාවේ හරිම සුන්දර හැගීමක් ඔය සැපදායක පරිසරයේ පුරා අවුරුදු දෙකක් ගත කරාම MI වල තිබුන වියළි දේශගුණයට හුරු වෙන්ඩ ටිකක් අමාරු උනා. මේ අමාරුවත් එක්කම ආවේ දවල් දවස පුරාම එළිමහනේ මහන්සි වෙලා පොළව කොටන, වතුර අදින, වල් පැල ගලවන කාලයක්. අපි හුගක් දෙනෙකුට මේ වැඩේ අලුත් අත්දැකීමක් උනා. පොඩි පොඩි මට්ටමෙන් ගොවිතැන් වැඩ කරලා තිබුනට මාස ගාණක් එක දිගට මුළු උදේ වරුවම හවස් වරුවම ගොවිතැන් වැඩ වල යෙදිලා අපි හුග දෙනෙකුට පුරුද්දක් තිබුනේ නෑ. ඒ මදිවට රෑ එලි වෙනකල් නින්දක් නැතිව මදුරු විමානෙක ගතකරපු දුෂ්කර ජීවිතය. මේ ඔක්කොමත් එක්ක තමයි අපි හුග දෙනෙක් ශ්වේතාම්බර පට සළු අදින්ඩ පටන් ගත්තේ. අනික හොස්ටල් එකේ ඔක්කොම සම වයසේ තරුණයෝ. ඉතිං එහෙමටෙයි කියල ලොකු අවුලක් නෑ සරමක් නැතුව හිටියට.


හැබැයි අනිවාර්යයෙන් කියන්ඩ ඕන තව දෙයක් තියනවා. ඒ තමයි අපි අපිම පවත්වා ගත්තු ස්වයං විනය. ගෑණු ළමයි ගැවසෙන මානෙකට පිරිමි ළමයෙක් යනවානං අනිවාර්යයෙන් දිග කලිසමක් ඇඳගෙන යන්ඩ ඕන බවට අපි අතර පිළිගත් සම්ප්‍රදායක් තිබුනා. කවුරුහරි කෙනෙක් ඇහුවොත් ඒ ළමයි ගෙවල් වලදී තාත්තලා, අයියලා සරම් ඇඳගෙන ඉන්නවා දැකලා ඇති නේද ඉතිං මොකටද MI වලදී විතරක් අමුතු ආචාරශීලී බවක් කියල මට දෙන්ඩ තියන උත්තරේ අපි MI වල ගෙවල් වලින් හැතැම්ම ගානක් ඈත් වෙලා හිටපු එකම තමයි ඒකට හේතුව කියල. MI වලදී අපිව රකින්ඩ කෙනෙක් නෑ ඉතිං අපේ සහෝදරියන්ගේ ගෞරවය රකින එක අපේ යුතුකම වගේම වගකීමත් වෙලා තිබුනා. ඉතිං මම මේ කියන්ඩ යන කතා එකකටවත් ගෑණු ළමයින්ගේ සම්බන්ධයක් නෑ.

ඔය MI ජීවිතේ තිබ්බ දුෂ්කරතා හින්දම ඇති වෙච්ච නිරුවතත් ඒ හින්දම ඇති වෙච්ච අමතක නොවෙන සිදුවීම් දෙක තුනකුත් මගේ මතකයේ තියනවා. හැබැයි මේ කතා දෙකක්ම අපේ බැච් එකට සම්බන්ධයක් නැති අපේ සීනියර්ස් ලාට වෙච්ච අකරතැබ්බ.
නවසිය අනූ ගණන් වල දෙදාස් ගණන් මුල MI ගිය ඕන කෙනෙකුට අමතක නොවෙන ගුරු උතුමෙක් හිටියා. අපි මේ සර්ට කියමුකෝ එම්. බී. සර් කියලා. MI පැත්තෙම පදිංචි වෙලා හිටපු මේ සර් අපිට තාත්තා කෙනෙක් වගේ. දවල් රෑ දෙකේම අපිට වෙන අකරතැබ්බ ගැන හොයලා ඒවට උත්තර හොයල දීපු උත්තමයෙක්. සර් සමහර විට රෑ අටට නවයට විතර කොමන් රූම් එකට එනවා ළමයි එක්ක කතා කර කර ඉන්ඩ. සමහර දවස් වලට පොඩ්ඩක් සප්පායම් වෙලා එන සර් ළමයි එක්ක කැරම් හරි ටේබල් ටෙනිස් හරි සෙල්ලං කරන්ඩත් අමතක කරේ නෑ. මෙතෙන්දිත් අර සම්ප්‍රදාය තිබුනා. ඒ කියන්නේ සර් කොච්චර අපිට ලං උනත් අපි සර්ගේ කරේ නගින්ඩ ගියේ නෑ. ගුරු ගෞරවේ තියාගෙන තමයි ආශ්‍රය කලේ.

ඔන්න එක දවසක රෑ දහයට විතර අපේ අයියලා හතර පස් දෙනෙක් අධික දාඩිය හිංදා නින්ද යන්නේ නැති එක ගැන දොස් කිය කියා හිටියා.

යමුද කොමන් රූම් එකට කැරම් අතක් වත් ගහන්ඩ?

හරි....යමු...ආය මොකටද සරං අඳින්නේ මේ වෙලාවේ කවුරුවත් නෑනේ කොමන් රූම් එකේ!
ඉතිං මේ ශ්වේතාම්බර සළු පිලි ඇඳගත්තු කුමාරවරු සහ පිරිවර සමග කොමන් රූම් එකට ඇවිල්ලා කැරම් කෙළියේ යෙදෙනවා. ජය ඝෝෂා, ප්‍රීති ඝෝෂා සමග මහත් විනෝදයෙන් මෙසේ කුමාරවරුන් කල් ගත කරන අතර නොසිතූ නොපැතූ දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි අපේ එම්. බී. සර් ගේ කොමන් රූම් සම්ප්‍රාප්තිය. කොමන් රූම් එකේ රෑ දහයට විතර සද්දයක් ඇහෙන කොට සර් බලලා තියනවා කවුද මේ කෑ ගහන චරිත ටික කියල.

සර් එනවා දකින කොටම කැරම් කෙළියට නෙත සිත යොමා සිටි ක්‍රීඩකයෝ ඇරුනම අනිත් ප්‍රේක්ෂකයෝ ටික හිමීට එතනින් මාරු වෙලා. සර් කොමන් රූම් එකෙන් එළියේ ඉඳගෙන මෙහෙම අහනවා.

ආ...කට්ටිය කැරම් ගහනවා වගේ...

ඔ...ඔව් ...සර්!

එක හොඳයි...මාත් මේ දෙකක් දාගෙන ගෙදෙට්ට වෙලා නින්ද යන්නේ නැති හිංදා ඉන්න කොට තමයි මෙහාට එන්ඩ හිතුනේ.

අපිටත් නින්ද යන්නේ නෑ සර් මේ රස්නේ හිංදා

එක තමයි...මාත් එන්ඩද කැරම් ගහන්ඩ?

එන්ඩ සර් එන්ඩ!!

එන්ඩ කිව්වට මොකද ඒ ආරාධනයේ බරපතල කම තේරෙන්නේ ඊට පස්සේ. ක්‍රීඩකයෝ හතර දෙනාගෙන් එකම එක්කෙනයි සරමක් ඇදගෙන ඉන්නේ. අනික් උන් තුන් දෙනාගෙම ඇගේ නූල් පොටක් නෑ. ඉතිං අර සරම ඇඳගෙන හිටපු එකා ඩග් ගාලා නැගිටලා සර් ට සීට් එක දුන්නා. අනිත් නිගණ්ඨයෝ තුන් දෙනා බෝඩ් එකට තවත් ලං වෙමින් ක්‍රීඩාවට යොමු උනා. සර් ඉස්සරහා ෂර්ට් එකක් නැතුව ඉඳීම එච්චර දෙයක් නෙවෙයි. හැබැයි සරම නැතුව ඉඳීම නං ඉර පැනීමක්.

සර් සමග නිගණ්ඨයෝ තුන්දෙනා දැන් කැරම් ක්‍රීඩාවේ! ඒ මදිවට අර නැගිටපු ක්‍රීඩකයා මේ වටිනා කියන අවස්තාව ගැන ආරංචිය හොස්ටල් වල පතුරුවා ඇරියා. දැන් එක එකා මොන මොනවා හරි හේතුවක් හොයා ගෙන කොමන් රූම් එකට එනවා මේ මහා කැරම් ක්‍රීඩාව බලන්ඩ.

දැන් රෑ දොළහට විතර ඇති. සර් එක්ක කැරම් ගහන්ඩ පටන් අරන් පැයකට වැඩියි. අපේ නිගණ්ඨයන්ට දැන් කැරම් ඇති වෙලා. නිදිමතත් එනවා. එත් ඉතින් සර් ට තාම ඇති වීමක් නෑ. අපේ උන්ට සර් යනකල් නැගිටින්ඩ බෑ.ඉතින් උනුත් නොනැවතී ක්‍රීඩාවේ යෙදෙනවා. බැච් එකේ අනික් උං ඇවිල්ලා බලලා හිනා වෙවී යනවා.

නිදිමතද? සර් අහනවා.

නෑ..සර්... නිගණ්ඨයෝ උත්තර දෙන්නේ නිදිමතයි කියලා කැරම් ගහන එක නැවත්තුවොත් මුන්ට නැගිටින්ඩ වෙන එක වලක්කා ගන්ඩ. එකම බලාපොරොත්තුව සර්ට නිදිමත හැදිලා ගෙදර යන්ඩ සිදුවීම. එහෙම උනොත් ජාමේ බේර ගන්ඩ පුළුවන්.

ඒක තමයි මටත් නිදිමත නෑ...හොඳ වෙලාවට උඹලා කැරම් ගහන බව දැක්කේ...නැත්තං මට මදුරුවෝ තල තලා ඉන්ඩ  වෙන්නේ..

ඒක තමයි සර්...සර් හිටපු එක අපිටත් හොඳයි...(වෙන මොනවා කියන්ඩද?)

හොඳයි එහෙමනං තව කැරම් අතක් ගහමු!!

දැන් වෙලාව රෑ දෙකයි. හොස්ටල් වල හිටපු උන් දැන් කණ්ඩායම් පිටිං ඇවිල්ලා නක්කලේට හිනාවෙවී යනවා. සමහරු කෝපි හදලා ගෙනත් දෙනවා. හැබැයි කවුරුවත් සරමක් කමිසයක් ගෙනැල්ල දෙන්නේ නෑ. MI වලට උදේ පාන්දර තද සීතලක් තියන කාලයක් ලබනවා. මේත් එහෙම කාලයක්. සර් ට නං මොකද ෂර්ට් එකකුයි කලිසමකුයි ඇඳලා සීතලක් නෑ.  පොඩි ෂොට් එකක් දෙකක් දාගෙන හිටපු හිංදා මදුරුවෝ කන එකත් එච්චර ගාණක් නෑ. නිගණ්ඨයන්ට එහෙමද මෙහෙන් සීතල...මෙහෙන් නිදිමත...උඩින් මදුරුවෝ...සසර දුකයි පිංවතුනි!!!

පාන්දර තුනට විතර සර් ට නිදිමත ආවා. පැය පහක මහා කැරම් ක්‍රීඩාව ඉවර කරලා සර් ගියා. අපේ  නිගණ්ඨ කුමාරවරු මුළු පළාතම ගිගුම් දෙවන හූ හඬකුත් එක්ක හොස්ටල් වලට වඩිනවා. මේ උතුමන් පිලි ගන්ඩ සීතල වතුර බාල්දි විස්සක් තිහක් පෙර මග බලාගෙන ඉන්නවා කියල දැනගෙන හිටියා නං ඒ කුමාර වරු කොමන් රූම් එකේම ඉතුරු දෙතුන් පැයත් ගත කරන්ඩ ඉඩ තිබ්බා!!!

මම දැන ගත්තා උන් හිටියේ හෙළුවෙන් කියල. ගොන් හරක් බැරි වෙලාවත් කෙල්ලෙක් ආවනං මොකද වෙන්නේ. අඩු ගානේ සරමක් ලඟින් තියාගෙන හරි ඉන්ද එපාය හදිස්සියකට ඇඳ ගන්ඩ!!! මට ඕන උනා අමතක නොවෙන හොඳ පාඩමක් උගන්නන්ඩ! මේ සිද්ධිය ගැන සර් පස්සේ කාලෙක කියලා තිබුනේ එහෙමයි.

දැන් දෙවෙනි කතාව. ඒකත් උනේ රෑ වෙලාවක.මම මීට ඉස්සරත් කියල තියන විදිහට MI වල මිනිස්සු අපිව හොඳින් බලා කියා ගත්තා. අපිට ඒ අයගෙම දරුවන්ට වගේ සහෝදර සහෝදරියන්ට වගේ සැලකුවා. අපි අතින් වෙච්ච වැරදි හදා ගැනද උදවු කළා. ඒත් හොර තුරු බිය කියන එක සම්පූර්ණයෙම්ම නැති වෙලා තිබුනේ නෑ. ඒ අයගේ ඉලක්කය උනේ ගර්ල්ස් හොස්ටල් එක. මොකද අපේ එව්වට ආවට ගෙනියන්ඩ යමක් නැති බව දන්නා හින්දත් බැරි වෙලාවත් අහු උනොත් බඩ කට පුරා කන්ඩ ඉඩ තියන බව දැනගෙන හිටපු හින්දත්. සමහර විට නිගණ්ඨ ආරාමෙකට ගිහිං මිත්‍යාදෘෂ්ටික උනොත් සසර ගමන දුර වැඩි වෙන හින්දා වෙන්ඩත් පුළුවන්. මොකද හොරකමට වඩා භයානක පවක් මිත්‍යාදෘෂ්ටික වෙන එක. අන්න එහෙමයි ආගමානුකූල හොරු කල්පනා කරන්නේ.

ඉතින් දවසක් රෑ මැදියමේ ගර්ල්ස් හොස්ටල් එක පැත්තෙන් මෙන්න මෙහෙම සද්දයක් එනවා....

බුදු අම්මෝ...හොරු පැනලෝ.....!!!! හොර්.......රේ......ක්.....! මෙන්න......හොර්....රේ....ක්!

අපේ උනුත් සහෝදර ප්‍රේමයෙන් ඔද වැඩිලා අතට අහුවෙන පොලු, මුගුරු, ගල්, මුල් ඔක්කොම අරගෙන වහාම ගර්ල්ස් හොස්ටල් එක පැත්තට දුවනවා...

මෙහෙම දුවන අතරේ එකෙක් විතරක් ගර්ල්ස් හොස්ටල් එක පැත්තේ ඉඳන් ආපහු බෝයිස් හොස්ටල් එක පැත්තට දුවනවා.

ඇයි මචං හොරා ඇල්ලුවදසටනේ පසුපස බළ ඇණියට සම්බන්ධ වෙන්ඩ යන සොල්දාදුවෙක් ඇහුවා.

තාම නෑ මචං.

එහෙනං උඹ ආපහු යන්නේ ඇයි?

මං සරමක් ඇඳගෙන එන්නං.....!!!

පෙරමුණු බලකායට එකතු වෙන්ඩ දුවපු ඒ නිරුවත් සෙබලාට අර හොර්.....රූ....!! සද්දෙන් නින්දෙන් ඇහැරෙන කොටම මතක් වෙලා තියෙන්නේ ගර්ල්ස් හොස්ටල් එකේ ඉන්න තමන්ගේ පෙම්වතිය ගැන. ඒ ගැන හිතලා දිව්වත් පස්සේ තමයි මතක් වෙලා තියෙන්නේ නිදි ඇඳුම හා උපන් ඇඳුම සමානවෙලා තිබුණු බව!! (අදාළ හොරු පැනීම පිලිබඳ අනතුරු නලා හඬ නිකුත් වී තිබුනේ සිවිලිම මතට පූසෙකු පැනීම වරදවා වටහා ගත් ස්වයංක්‍රීය සොර බිය නලා හඬකින් බව බොහෝ දෙනාගේ සුඛාවබෝධය තකා සටහන් කර තබම්හ).

මේ ලඟදි ලස්සන කවියක් ගියා රෝමාන්තික රස්තියාදුකාරයා බ්ලොග් අඩවියේ. ශීර්ෂය නිරුවත් අටවක. මෙන්න ඒ ලිපියට සබැඳිය. ඒ කවියේ කියන්නේ අටවක සඳ අඩ නිරුවතට සමාන බව. හැමදා දකින්නේ පසළොස්වක බවත් ඔහු කියනවා. ඒ කියන්නේ සම්පූර්ණ ඇඳුමින් සැරසීම (නිගන්ට ආරාමයකදී නොවේ නං). වැදගත්ම කෑල්ල කොළොම්පුරේ ලියන අපේ අසංක රණසිංහ ආරච්චි මහත්තයා ගේ ඒ කවියට අදහස් දැක්වීමක්. ඔහු අහන්නේ එතකොට අමාවක මොකද්ද කියලා? උත්තරේ පැහැදිලියි. පසළොස්වක ෆුල් කිට් නං, අටවක අඩ නිරුවත නං, අමාවක කියන්නේ ෆුල් නිරුවත!! මේකේ කියවෙන යටි අර්ථයට මම හරි කැමතියි. අමාවක කියන්නේ හඳ නොපෙනෙන එකට. එහෙම නැත්තං කිසිවක් නොමැති වීමට කියල සරළව ගන්නත් පුළුවන්. අපි ලොකුවට හිතාගෙන හිටියට 'අමාවකේ' ඇති පුදුමයක්, සංකීර්ණ බවක් නෑ. ඒක හරි සරළ ශුන්‍ය බවක් විතරයි. MI වල අපේ නිරුවත ගැන සදාචාරය ඉහට ගත්තු කෙනෙක් ජුගුප්සාවෙන් බලනවනං මගේ ආරාධනය අමාවක සඳ දෙස බලන්න එතකොට MI වල අපේ ජීවිතේ සංකීර්ණ බව දැක ගන්න පුළුවන් කියලා.

20 comments:

  1. අන්න එහෙම වරෙං ලොකු මල්ලි. මේ විස්තරේ තිබ්බෙ නැත්තං හෙන අඩුපාඩුවක්.

    මම හිතන්නෙ MI වල තිබ්බ දුෂ්කර වටපිටාව සහ ගමේ මිනිස්සුංගෙ තිබිච්ච හොඳ හිත නිසා හැරෙන්න නගරබද කැම්පස් එකකනං උඹල ඔය කරපු වැඩෙන් හෙන අවුලක් වෙන්න තිබ්බ. අනික උඹල හැම දේකටම ස්වයං පාලනයක් දාගෙන හිටපු එක සෑහෙන්න වැදගත්.

    හෙළුවෙන් කැරම් ගහපු එවුවන්ට සරමක්වත් ගෙනත් දෙන්නැතුව උදේ වෙනකල් උංව මඩවපු සෙට් එක ලබන ආත්මෙ නිගන්ටයෝ වෙලාම ඉපදියං කියල උං තුන්දෙනා පිං අනුමෝදන් කරන්න ඇති. හැක්..

    ReplyDelete
    Replies
    1. අනිවා හරිම අමාරුවෙන් තමයි ඒ ජිවිතේට හුරු උනේ. අපේ මරි වැඩ හොස්ටල් එකට විතරයි. ගමේ මිනිස්සු අපිට සැලකුවා වගේම අපිත් ඔවුන්ට ගරු කලා. හුගක් නගරබද කැම්පස් වල වෙනවා වගේ ගහ ගන්ඩ හේතුවෙන වැඩ කලේ නෑ. ස්තූතියි ප්‍රසන්න ඔබේ මුල් කමෙන්ට් එක හින්දා තමයි මෙය ලියන්ඩ හිතුනේ.

      Delete
  2. කොළඹ වෛද්‍ය පීඨයේ හොස්ටල් එක වෙන බ්ලොම් එකත් ඔය වගේ තමයි. කවුරුත් නාන්නේ දොරවල් නැති නාන කාමරේ අමු හෙළුවෙන්. බොහොමයක් උන් කොරිඩොර් එකෙත් නිර්වස්තරෙන් එහේ මෙහේ ගියා. අපිනං එච්චර ලෙවල් එකට වැටුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනුක ඔබේ අදහසට. ඇත්තටම ඒක 'තත්වය' පිලිබඳ ගැටළුවක් නෙවෙයි. පරිසරයේ තත්වයකට මූණ දෙන්ඩ වෙච්ච තාවකාලික අනුවර්තනයක් සහ ඒ ජීවිතයේ දුෂ්කරතාවන් මදකට අමතක කර දමා එම අනුවර්තනයන් එක්ක ජීවිතේට සන්තෝසෙන් මූණ දෙන්ඩ ගත්තු උත්සාහයන් වැලක්. එදා ඒ විදිහට හිටි හැමෝම වගේ අද සමාජයේ වැදගත් තැන්වල ඉන්නවා. දැන් ඒ චර්යාවන් අතීත මතකයන් විතරයි.

      Delete
  3. සුපිරි කට්ටා. මාත් තවම තනියම ගෙදර ඉන්න වෙලාවට සිතාම්බර සලුවෙන් තමා ඉන්නේ.. නියමයි

    ReplyDelete
    Replies
    1. බලාගෙන අහල පහළ මිනිස්සු දැක්කොත් පිස්සෙක් කියලා ඉස්පිරිතාලෙට ගෙනියන්ඩ ඉඩ තියනවා.

      Delete
  4. අපේ එකෙක්වත් අමු නිර්වස්තරෙන් MI හිටියේ නැහැ (නානකොට ඇරෙන්ඩ).එත් මට අද හිතෙනවා ලොකුමල්ලිලා අපිට වඩා ජොලියෙන් හිටියද කියල.

    ReplyDelete
    Replies
    1. දසනායක මහත්තයා එහෙම ඉන්න උනේ ජොලි වැඩක් විදිහට සලකලා නෙවෙයි අධික රස්නයත් එක්ක හුගක් අපහසුතා පැන නැගුනු හිංදා. අධික දාඩිය, ඒත් එක්කම දාඩිය බිබිළි වගේ අපහසුතා එක්ක විශේෂයෙන් රෑට නිදා ගැනීම ඉතාම අපහසු උනා පායන කාලෙදි. රෑට අදින්ඩ පුරුදු වෙච්ච සීතාම්බර පට සළු දවල්ටත් ඇදගෙන ඉන්න සමහරු පෙළඹුනේ එහෙ ඇති පහසු බව දැනුනාම. මේ පුරුදු නැවත පේරාදෙණියට ආපු ගමන් නැතිවෙලා ගියා. ඇඳුම කියන්නේ පරිසර තත්වයන්ට අනුව වෙනස් විය යුත්තක් බව මම අදත් හිතනවා.

      Delete
  5. ඔය වගේම කාලයක් අපිත් දියතලාවේ ගෙව්වනෙ. අනේ අප්පේ එහෙමත් කලක්.

    ReplyDelete
    Replies
    1. අන්න ඉතිං සුරංග මල්ලි ලියන්ඩකෝ ඒ ගැන. හැබැයි දියතලාව සීතලයි නේද? MI කියන්නේ පායන කාලෙට හරිම රස්නේ පළාතක්. අපි ඉන්න කාලේ සමහර දවස් වල දවල් උෂ්ණත්වය අංශක 40 පමණ උනා. ඒ වෙලාවට ක්ෂේත්‍ර වැඩ නවත්තලා හෙවනකට යන්ඩ ඕන හැමෝම

      Delete
  6. සර් ට නිදිමත ඇවිත් නැගිට්ට වෙලාවෙ ගුරු ගවුරවේ හැදිල නැගිට්ටෙ නැතෙයි අර නිර්වස්ත්‍ර ඇඳන් හිටපු ඈයො...

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් උනා කියල මම අහල නෑ. මම හිතන්නේ නෑ ගුරු ගෞරවේටවත් කට්ටිය නැගිට්ටා කියල මොකද ඒ තරමට හෙම්බත් වෙලයි ඉඳලා තියෙන්නේ කට්ටියම.

      Delete
  7. බොහෝමයක් පුහුණු ආයතන වල තියෙන්නේ විශාල නානකාමරයක එක පෙලට සවිකරපු වතුරමල්. තමංගේ පරම්පරා කුට්ටම හා අංගජාතේ වෙන උන් දකියි කියලා බයවෙච්චි උන් හා කොන කපාපු උන් කිහිප දෙනෙක් ඇරෙන්නට අනික් උන් සෙරමල්ලා නාන්නේ හෙලුකුට්ටෙන් තමයි. නාවික පුහුණු පාසලේ ගතකල අතීතය මතක්වුනා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහසට අසංක. ඇත්තෙන්ම මට මේ ලිපිය ලියන්ඩ හිතුනේ ප්‍රසන්න තුමාගේ කමෙන්ට් එක හිංදා හැබැයි මේ කියන දේ කියවන අය කොහොම ගනියිද කියලා හිත හිතා ඉන්නකොට ඔබේ කමෙන්ට් එක දැක්කා 'අටවක සඳ' ගැන. එතකොටයි තේරුනේ නිරුවත කියන්නේ මහා ලොකු දෙයක් නෙවේය ඇත්තෙන්ම රහසක් විදිහට තියා ගන්ඩ උත්සාහ කිරීමම තමයි අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ කියන එක. නිරුවතින් නෑමේ ඔබේ අත්දැකීම මටත් තියනවා.

      Delete
  8. //කතා එකකටවත් ගෑණු ළමයින්ගේ සම්බන්ධයක් නෑ.//

    hmm


    ReplyDelete
  9. නාගරික රාජ්‍ය වි.වි. එකක හිටියත් ඔය නිගන්ට පුරුද්ද අපිටත් තිබුන. හැබැයි හොස්ටල් එකෙනේ එලියෙනම් බොහොම විනීතව ඉන්න පරිස්සම් වුනා. අපිත් රෑ 8.30 වෙනකල් ෂෝටක්වත් ඇඳන් ගේට්ටුවෙන් එලියට නොබැහැපු බොහොම විනීත කොල්ලො.

    ReplyDelete
  10. සරම තරම් සුපිරි ඇඳුමක් තව කොහෙද

    ReplyDelete