Sunday, May 6, 2018

සිංහලේ රජ්ජුරුවන්නේ පැටිකිරිය



ඇමරිකාවේ ජනාධිපතිවරණය ලංවෙනකොට සී.එන්.එන්. නාළිකාව හරි අපූරු වැඩසටහනක් කරනවා. ඒ තමයි ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඒ ඒ සතියෙදි කියන කතා වල ඇත්ත නැත්ත හොයල බලන එක. මම පහුගිය ජනාධිපතිවරණ දෙක තුනකදිම මේ අපූරු වැඩ සටහන දැක්කා. අනේ ඉතිං ලංකාවේ අපිට කොහෙද එහෙම මධ්‍යස්ථව ඉඳන් දෙපැත්තෙම හරි වැරදි පෙන්නන වැඩසටහන්?!!!. අනික් පැත්තට ගත්තොත් ලංකාවේ එහෙම වැඩක් කරන්ඩ හුගක් ලේසි වෙන්ඩත් ඉඩ තියෙනවා. ඇයි අපේ උන්දැලා කට ඇරියොත් කියන්නේ මුසාවක් නේ. ඉතිං කියන කියන හැම දේම ගජ බින්න ගොඩට දාන එකයි තියෙන්නෙ!!

මට ඔය වගේ ෆැක්ට් චෙකිං වැඩක් කරන්ඩ හිතුනේ කට්ටකාඩුව බ්ලොග් එකට අප්‍රමාණ ගුරුහරුකං ලබා දෙන එක්තරා ගුරු උත්තමයෙක් මේ ලඟදි මට එවපු වට්ස් ඇප් පණිවිඩයක් හිංදා. මෙන්න මේකයි ඒ පණිවිඩේ සහසුද්දෙම්ම.

ලංකාවේ රජවරු =194
දෙමල රජවරු =19
සිංහල රජවරු =175
175 න්
60 ක්ම යුව රජු රජා මරා රජ වී ඇත
53 සහෝදරයා සහෝදරයා මරා රජවී ඇත
30 ප්‍රධාන සෙනෙවියෙක් රජා මරා රජවී ඇත
05 පුතා පියා මරා රජවී ඇත
01 රැජිණ රජා මරා රජ වී ඇත
01 දොරටු පාලක රජා මරා රජවී ඇත
මේ ලංකාවේ ඉතිහාසෙම 25 ප්‍රජාතාන්ත්‍රිකව රජ වී ඇත.

මට හිතුනා ගණන් හදලා බලන්ඩ මේ කතාව ඇත්තද කියල.කැමතිද කියවලා බලන්ඩ.

මම මීට ඉස්සරත් කියල තියනවා වගේ මම ඉතිහාසය විෂයයක් විදිහට හදාරලා නෑ. ඉතින් පොත් පත් වලින් ඉගෙන ගත්තු දේවල් තමයි කියන්නේ. ඒ හින්දම මම කියන සමහර කරුණු වැරදි වෙන්ඩ පුළුවන්. මේ ගැන දන්නා කෙනෙකුට ඒ වැරදි තැන් පෙන්නලා දෙන්ඩ පුළුවන් වෙන විදිහටත්, ඉගෙන ගන්න කෙනෙකුට උදවු වෙන විදිහටත් මම තොරතුරු උපුටා ගත්තු තැන් කියල තියනවා. ඊට අමතරව මගේ උපකල්පන දාපු තැන් වෙනම කියල තියනවා. මේකෙ වැරද්දක් තිබ්බොත් කරුණාවෙන් පෙන්නලා දෙන්ඩ.

ඔන්න සිංහලේ රජවරුන්ගේ පැටිකිරිය....

අපි පටන් ගන්නේ විජය රජ්ජුරුවන්ගෙන්. ඒ කියන්නේ ක්‍රි.පූ. 543 න්. ඔහු රජ වෙන්නේ මේ රටේ හිටපු ස්වදේශික නායකයා මරලා. ඒ කියන්නේ හිටපු රජ්ජුරුවෝ මරලා රජ වීම අපි පටන් ගන්නේ අපේ පළවෙනි රජ්ජුරුවන්ගෙම්මයි. මරු නේද? ඊගාවට එන්නේ පඬුවස්දෙව්. ඔහු රජ වෙන්නේ රටේ ඒ කාලේ තිබ්බ සම්මත ආකාරයට. ඒක ප්‍රජාතන්ත්‍රය නෙවෙයි. හැබැයි රටේ පිළිගත්තු ක්‍රමය. ඉතින් ඔහුව දාන්ඩ වෙන්නේ චාරිත්‍රානුකූලව රජ වෙච්ච කෙනෙක් හැටියට. ඔහුගේ පුතා අභයත්,  ඊගාවට අභයගේ සහෝදර තිස්සත් රජ උනේ චාරිත්‍රානුකූලව. ඊගාවට පණ්ඩුකාභය රජ වෙන්නේ ඉන්න රජ්ජුරුවෝ මරලා. ඒ කියන්නේ විජය වගේ. පොඩි වෙනසකට තියෙන්නෙ ඒ තමුන්ගේ මාමා. ඊගාවට පණ්ඩුකාභය රජු ගේ පුත් මුටසීව. ඊගාවට ඔහුගේ දෙවෙනි පුතා වෙච්ච තිස්ස එහෙම නැත්නම් දේවානම්පියතිස්ස. වංශ කතා වලට අනුව වැඩිමහලු සහෝදරයා සිටියදී දෙවැන්නා රජ කරන්නේ ඔහු වැඩිපුර ඥානවන්ත හිංදා. හැබැයි මේක බුද්ධාගම පිළිගන්න පළවෙනි ශ්‍රී ලාංකික රජ්ජුරුවන්ට සුදු හුණු ගාන්ඩ කරපු දෙයක් වෙන්ඩත් පුළුවන්. එහෙම උනානං ඒ ලංකාවේ ගොයියන්ගේ වැඩක්. මොකද පළමුවෙනි ධර්ම සංඝායනාවට උදවු කරපු අජාසත්ත, පීතෘ ඝාතකයෙක් කියන්ඩ බෞද්ධ සාහිත්‍යය මැළි වෙන්නේ නෑ. ඒ කොහොම වෙතත් ඔහු රජ වෙන්නේ පවතී සිරිත අනුව නෙවෙයි. ඒ හිංදා අලුත් කාණ්ඩයකට මේ රජ්ජුරුවෝ අයිති වෙනවා. අපි කියමුද ඒ කාණ්ඩෙට අසම්මත කාණ්ඩය කියල?

ඔහොම දිගට දිගට ගියාම හම්බ වෙන රජ වරුන්ගේ සාරාංශය මෙන්න මෙහෙමයි. කාලිංඝ මාඝ දක්වා තොරතුරු පූජ්‍ය එල්ලාවල මේධානන්ද හාමුදුරුවන්ගේ සිංහලේ මහා රාජවංශෙ 1 හා 2 පොත් වලින්.




ඒ කියන්නේ මේ වෙනකොට විජය රජ්ජුරුවන්ගේ ඉඳලා අවුරුදු 1002 ගිහිල්ලා. හොඳ කාලේ මෙච්චර කල් වෙච්ච දේ සාරාංශ කරලා මේ ලිපිය ඉවර කරන්ඩ. දැනට ලකුණු පුවරුව මෙහෙමයි.

රජවරු ---61 (62)
විජාතික රජවරු (විජය, තිස්ස, පඬුවස්දෙව් හැරුණු කොට) --- 4 (14)
ශ්‍රී ලාංකික රජවරු 58 (57)
යුව රජු රජා මරා රජ වීම ---00
සහෝදරයා සහෝදරයා මරා රජ වීම---05
ප්‍රධාන සෙනෙවියෙක් රජු මරා රජ වීම---01 (02)
පුතා පියා මරා රජ වීම---00
රැජිණ රජා මරා රජ වීම---01 (02)
දොරටුපාලක රජු මරා රජ වීම---01
චාරිත්‍රානුකූල රජවීම්---36
අසම්මත රජ වීම්----07
පෙර රජු මරා රජ වීම---07

කතාව හිතපු තරං නරක නෑ බලාගෙන යනකොට. හැබැයි මෙතෙන්දි සලකලා තියෙන්නේ ප්‍රධාන රාජධානියේ රජ වෙච්ච අය විතරයි. මගේ හිතේ කෝට්ටේ යුගයට යනකල්ම එහෙම ප්‍රධාන රාජධානිය විතරක් සලකන එක සාධාරණයි.

තව එකක් මෙතැන චාරිත්‍රානුකූලව රජ උනා කියන එකෙන් අදහස් කරන්නේ එක්කෝ ඒ කාලේ පැවතිච්ච සම්ප්‍රදායානුකූලව අදාළ රජතුමා පත් වෙච්ච බව එහෙම නැත්නම් රට යටත් කරගෙන හිටි ආක්‍රමනිකයෙකුට විරුද්ධව සටන් කරලා සිහසුන දිනා ගත්තු බව.

ඊගාව කොටසින් අපි නුවර යුගය වෙනකල් කතාව බලමු. එතකල් කාටවත් රාජ භයක් නොවේවා!!

මට මතක් වෙනව අපේ ජයලත් මනෝරත්න මහත්තයගේ අන්දරේලා නාට්‍යය. මෙන්න ඒකෙ කවියක්.

ඉරක් ලඟට ගියහොත් කර             වෙනවාය
විලක් තුලට බැස්සොත් බොර        වෙනවාය
මලක් කඩා ගත්තොත් පර             වෙනවාය
රජෙක් ලඟට ගත්තොත්              වරදිනවාය!!!

16 comments:

  1. මේ ලිස්ට් එකෙන් රටට වැඩකරපු රජ්ජුරුවරු කව්ද.මටනම් පෙන්නේ අපේ ඉතිහාසය කියවද්දි එහෙම කීපදෙනෙක් ගැන විතරයි කතාවෙන්නේ.ඒ කියන්නේ එදත් අදවගේ ඔහේ හිටපු අයත් හිටිය කියලද.?

    ReplyDelete
  2. පලවෙනි ඉනිමෙ වැඩියෙම්ම ගහල තියෙන්නෙ පණ්ඩුකාභය..ලකුණු 70 යි. විස්සකට වැඩියෙන් ගහපු අය ඉන්නව 17 දෙනෙක්..ඒ අතරින් කැපීපෙනෙන සමාජ ආර්ථික වැඩපිළිවෙලවල් කරවපු ඇත්තො ඉන්නෙ හතර දෙනෙක් වගේ...ගැමුණු (24), වලගම්බා (27), වසභ (44), මහසෙන් (27)..

    ඊට අමතරව මුටසීව (60), දේවානම්පියතිස්ස (40), එලාර(36) කිත්සිරිමෙවන් (28) බුද්දදාස වගේ රජගොල්ල චිරාත් කාලයක් රජකලත් එතුමන්ලා විශාල වැඩකොටසක් කළබවට සාක්ෂි තියනවද..

    අනිත් ඈයොනම් දැහැමින් සෙමෙන් කරගෙන ඉඬ ඇති..

    ඊලඟ ප්‍රශ්නෙ....මහාවන්සෙ තිස් හයවෙනි පරිච්චේදෙ හැටියට..භාතියතිස් රජු ඇවෑමෙන් උහු මල් කණිටුතිස් රජ විසිඅටහවුරුද්දක් රාජ්‍යය කරවී...කියල තියන කොටහ වැරදිද..ලොකුමල්ලිගෙ චාට් එකේ උන්නැහෙට දීල තියෙන්නෙ අවුරුදු 18යි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි SDC තුමනි අදහසට.
      ඔය මුල් කාලේ රජවරුන්ගේ රාජ්‍ය වර්ෂ ගැන ලොකු ප්‍රශ්න තියනවා. මේක උනාය කියන්නේ විජය කුමාරයා ලංකාවට ගොඩ බැස්ස එක හාමුදුරුවන්ගේ පිරිනිවන් පෑම වෙච්ච දවසට ලින්ක් කරන්ඩ උත්සාහය හිංදා. ඒ ගැන වෙනම කතා කරන්ඩ පුළුවන් තරමට ඇතැම් වෙලාවලදී කතාව හාස්‍යජනකයි.
      රටට වැඩක් කරපු සෙට් එකට නම් කීපයක් එක්කහු වෙන්ඩ ඕන. පණ්ඩුකාභය, ගජබා, ඒ අතර ප්‍රධානයි. විශේෂයෙම්ම ලම්භකර්ණ වංශිකයන්ගේ පාලන කාලය සාපේක්ෂකව හුගක් සාමකාමී කාලයක්. ඒත් ඔවුන්ගෙන් ප්‍රධාන අය කීප දෙනෙක්ම උදාහරණයක් විදිහට ගජබා සහ මහසෙන් අභයගිරියට පක්ෂපාත අය හිංදා මහාවංශයේ වැඩි ඉඩක් ඒ අයට නෑ. යුද්ධ වලින් ඉන්දියාව ගිනි ගනිද්දී දන්ත ධාතූන් වහන්සේ මෙහෙට එවන්ඩ තරම් මෙහේ ආරක්‍ෂිත බව ප්‍රසිද්ධව තිබුනා. මුලින්ම දන්ත ධාතුව භාර උනෙත් අභයගිරි වාසී භික්ෂූන්ට. ඒ මහසෙන් රජුගේ පුතා ගේ කාලෙ.
      දෙවෙනි භාතියතිස්ස රජ්ජුරුවන්ට පස්සේ කනිට්ටතිස්ස අවුරුදු විසි අටක් රජ කළා ඔබ කියන විදියටම. මගේ චාට් එකෙත් ඔහුට අවුරුදු 28 අයිතියි. (188-160=22)

      Delete
    2. සමාවෙන්න 188-160 = 28!! 22 නෙවෙයි මගේ ඉස්සරලා උත්තරේ තියන විදිහට.

      Delete
    3. සමාවන සේක්වා ...විෂමවර්ත දෘෂ්ටිකත්ව දෝශය පිලිබඳව..කනිට්ටතිස්ස මහතා අවුරුදු 28 යි..ඔය ඉතිහාස කතාන්දර වලට මාත් හරි මනාපයි.. බලාගෙන ඉන්නෙ ඉතුරු කොටහ එනකම්..

      Delete
  3. රජවරු ගැන ඉතිහාස මූලාශ්‍රවල තියෙන්නෙ ඒ අය මහාවිහාරයට අනුග්‍රහය දක්වපු හැටි ගැනයි මහාවිහාරය විනාශ කරපු හැටි ගැනයි නේද වැඩියක්ම? තමුන්ට අනුග්‍රහ කරපු උදවිය මහා වීරයො විදිහට ලියල තියෙනව. හොඳම උදහරණයක් තමා අර මහා පරාක්‍රමබාහු ගජබා රජු එක්ක යුද්ධ කරල පොළොන්නරුව අල්ලගෙනත්, පස්සෙ ගිවිසුමක් ගහල, ගජබාටම ආපහු පොළොන්නරුව දීල පසුබැස්ස කතාව. ඒ ගැන සෙල්ලිපි මූලාශ්‍රවල තියෙන්නෙ එයිට වෙනස් කතාවක්නෙ.

    කොහොමත් කොයි පාලකයත් ශුද්ධවන්තයෙක් නෙවෙයි. රජසම්පත් භුක්ති විඳිද්දි රටවැසියා පෙළීමට ලක්වීම සාමාන්‍ය දෙයක්.

    වංශකකතාවල හැටියට දුටුගැමුණුගෙ යුද්ධෙදි, මැරිල තියෙන්නෙ මනුස්සයො එකහමාරයිලුනෙ. ඒ තුන්සරණ ගිය කෙනෙකුයි, පන්සිල් ගත්ත උපාසකකෙනෙකුයි. අනික් අය නිකම්ම තිරිසන්නු වගේ උදවියලුනෙ. ඒක කියන්නෙත් මහරහතන්නාන්සෙ කෙනෙක්... ඔය යුද්ධෙ කරපු උන්දැ මැරෙන්ඩ මොහොතක් තියා දිව්‍යෙලා්ක හයෙන් වාහනත් එව්වලුනෙව මැරුණට පස්සෙ තම තමන්ගෙ ලෝක වල ගෞරව සාමාජිකත්වය දෙන්ඩ පොරකාලා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රකී තුමා ඔබේ අදහසට. ඔව් මහාවංශය ගත්තොත් එහි වැඩිපුර තියෙන්නේ මහා විහාරයට උදවු කරපු රජවරු ගැන තමයි. අනික් රජවරු ඒ කියන්නේ අභයගිරියට ජේතවනාරාමයට උදවු කරපු අය ගැන ලොකු විස්තරයක් නෑ.
      දුටුගැමුණු පුරාවෘත්තය ගැන මහාචාර්ය ගනනාථ ඔබේසේකරයන් ලියපු ලිපි පෙළක් කථිකා සංවාද මණ්ඩපය බ්ලොග් අඩවියේ පලවී තිබුනා.

      Delete
  4. https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_20.html

    ReplyDelete
  5. හිටපු රජා එක්ක එකට හොරා කාලා පස්සේ ආප්පත් කාලා අනිත් පැත්තට පැනලා රජ වෙච්ච සීන් නම් එකම එකයි තියෙන්නේ මම දන්න විදිහට.ඉතිහාසේ රෙද්ද ඉස්සුවොත් අපේ ජාතියේ හෙළුව පේන නිසා ඕවා වැඩිය හාරාවුස්සන්නේ නැතුව හිටියොත් තමා හොඳ.

    ReplyDelete
  6. ඒ කාලෙයි මේ කාලෙයි නෑ වෙනසක්

    ReplyDelete
  7. කට්ටෙ අයියෙ මහත්තයා මාමෙ,
    මට මෙතන හිතෙන්නෙ වෙනම දෙයක්. එදා හිටම්ම මේකෙ ලේසිවට මිනිහෙක්ට නීත්‍යානුකූලව රජකමට එන එක ලේසි නැතිවා වගෙයි. ඒ කියන්නෙ එදා පටංම රටේ ජනයා වෙනස් වෙලාම නෑ නේද?

    ReplyDelete
  8. 1500 ගණන්වලට ඉස්සර හුඟක් රටවලට තියෙන්නේ සෑහෙන්න සමානකම් තියන ඉතිහාස.

    ReplyDelete
  9. lipiyak liyamuda rawanage kalaya sambandayen ,asai danaganna ,mn danna thramata lankawathara mahayana suthraye ema karunu adangu bawa guruwarayek pawasuwa namuth kiyawanna wune nh .ithin e gana lipiyak balaporoththu wenwa

    ReplyDelete