Saturday, June 23, 2018

උදායි හාමුදුරුවෝ


ලොකු මලය කසාද බැඳපු කාලේ ළමයි බමයි කවුරුවත් නැතිව ඉන්න කොට හරිම නිදහස් ජීවිතයක් තමයි ගෙව්වේ. ඒ කාලේ අපි පදිංචි වෙලා හිටියේ කුළියට ගෙයක් අරගෙන ඔය කොළඹ රටේ. කොයි දීස දීපංකරේ හිටියත් ලොකු මලයට ගමට එන්ඩ ලොකු කැමැත්තක් තිබුනා. බුදු හාමුදුරුවොත් කිව්වලුනේ 'ආනන්ද මට ශාක්‍ය ජනපදය පැත්තෙන් හමන සුළඟත් මහා සනීපයක් දනවනවා' කියල. ඉතින් අපි වගේ ගිහියන් ගැන මොන කතාද?

ඉතින් හැම සති අන්තෙකම අපි ගමේ යනවා රෙදි බෑග් දෙකකුත් කාර් එකට දාගෙන. හැබැයි කොළඹින් පිටත් වෙලා ටික වෙලාවක් යනකොට හිතෙනවා කාලෙකින් අනුරාධපුරේ පැත්තේ ගියේ නෑ නේද...කාලෙකින් පොළොන්නරුවේ ගියේ නෑ නේද වගේ කල්පනාවල්. ආය ඉතිං කාගෙන් අහන්ඩද බලන්ඩද කියල අපි දෙන්න නතර වෙන්නේ ගමෙන් නෙවෙයි අනුරාධපුරෙන්. එහෙම නැත්තං පොළොන්නරුවෙන්. 

ඔන්න ඔහොම කාලේ ගත වෙද්දී අපේ නෝන මහත්තයට හිතුන අමුතුම ගමනක් යන්ඩ. කොහෙද දන්නවද? දඹදිව!! ලොකු මලයත් අනේ සාදු කියල වැඩේට ලෑස්ති උනා. කන්තෝරුවෙන් දවස් දහයක් නිවාඩුත් දාලා අපි දඹදිව ගියා.

මේ තියෙන්නේ සැවත් නුවර ජේතවනාරාමයේ බුදු හාමුදුරුවෝ වැඩ හිටියා කියන කුටිය. වර්තමාන මහා මන්දිර එක්ක බලන කොට මොන තරම් පොඩි කුටියක්ද. අඩි 8 X 8 විතර ඇති වැඩිම උනොත්. 

කිව්වට විස්වාස කරන්ඩ මම ජීවිතේ කරපු හොඳම වියදම් වලින් එකක් තමයි ඒ. බෞද්ධයෙක් විදිහට මම බුදු හාමුදුරුවෝ ගැන එක එක බණ කතා අහලා තිබුනත් ඇත්තටම ඒ උත්තමයා කොයි වගේද කියල තේරුම් ගන්ඩ පුළුවන් උනේ මේ ගමනෙදි. මේක මට විතරක් පොදු කතාවක් නෙවෙයි. මගේ ක්‍රිස්තියානි මිත්තරයෝ කියල තියනවා ජේසුස් වහන්සේ කවුද කියන එක හරියට තේරුම් ගන්ඩ ශුද්ධ දේශයට යන්ඩ ඕන කියල. පන්සල් වලින් පල්ලි වලින් අපිට පෙන්නන ශාස්ත්‍රa වරයට වඩා හරිම අහිංසක, පොදු ජනතාවගේ නායකයෙක් පේන්ඩ පටන් ගන්නේ එතුමන්ලා ජීවත් වෙච්ච, ඇවිදපු, කතා බහ කරපු තැන්වලට ගියාම. පන්සලේ ඉන්න අසූ මහ රියන් උස, තේජසින් බබලන, අපි වගේ පොඩි උන්ට ලං වෙන්ඩ බැරි බුදු හාමුදුරුවෝ අපි ලඟට වැඩම කරන, අඩි හයකට වඩා ටිකක් උස, අපි ගැන මහා කරුණාවෙන් රජ සැප අත් ඇරලා දාලා ආපු අපේ විප්ලවවාදියා බවට පත් වෙන්නේ දඹදිවදී. අද ඉඳලා ලිපි කීපයක් මම ලියන්ඩ හිතාගෙන ඉන්නවා මේ ගමනෙදි මතක් වෙච්ච අපූරු චරිත කීපයක් ගැන. අද කතාව උදායි හාමුදුරුවෝ.


ගෞතම බුදු සසුන ගැන කියවෙන කොට සැරියුත්, මුගලන්, ආනන්ද, නන්ද, රාහුල, කාශ්‍යප,උපාලි වගේ උතුමන් ගැන නිතරම කතා වෙනවා. හැබැයි උදායි හාමුදුරුවෝ අපිට නිතර හම්බ නොවෙන මම කැමතිම චරිතයක්.

අපේ දඹදිව ගමනෙදි සැවත් නුවර ජේතවනාරාමෙටත් ගියා. බුදු හාමුදුරුවෝ වැඩිම කාලයක් එක තැනක වාසය කළා නං ඒ ජේතවනාරාමයේ. ඉතින් උන් වහන්සේගේ කතා බොහෝ ගණනක් අපිට අහන්ඩ හම්බ වෙන්නෙත් ඒ හින්දම හරි සුන්දර මතකයන් තියන පින් බිමක් බවට ජේතවනය පත්වන්නේත් නිතැතින්. අපි සම්පූර්ණ දවසක්ම ජේතවනාරාමේදී ගත කරද්දී මට එක පාරටම මතක් උනා උදායි හාමුදුරුවෝ ගැන.යකඩෝ උදායි හාමුදුරුවොත් එන්ඩ ඇතිනේ මෙතෙන්ඩ බුදු හාමුදුරුවෝ හම්බ වෙන්ඩ. කොහොම හිත හදාගෙන ආවද දන්නේ නෑ....මෙහෙම හිත හිත මටම හිනා.

මොකද හිනා වෙන්නේ? මෙහෙම තැනකටවත් ඇවිත් හැසිරෙන්ඩ දන්නේ නැද්ද? ඒ අපේ නෝනා.

මට උදායි හාමුදුරුවෝ මතක් උනා!

කවුරු?

උදායි හාමුදුරුවෝ...උදායි හාමුදුරුවෝ!

ඒ කවුද. ගයිඩ් එහෙම කෙනක් ගැන කියනවා මට ඇහුනේ නෑ.

ඔව්. ගිහි හරි පැවිදි හරි කුළියට ගයිඩ් වැඩේ කරන අය උදායි හාමුදුරුවෝ ගැන කියන්නේ නෑ. ඒකට ත්‍රිපිටකේ විනය පිටකය බලන්ඩ ඕන.

ඉතිං කියන්ඩකෝ ඔච්චර අපූරු හැංගිච්ච හාමුදුරුවෝ ගැන.

හැබැයි මගේ කතා අහන්ඩ ගිහිං ගයිඩ් ගේ කතා මග ඇරෙන්ඩ පුළුවන්.

ඒ කතා ඉතිං පොඩි කාලේ ඉඳං අපි අහපුවනේ. කියන්ඩ උදායි හාමුදුරුවෝ ගැන. හැමදාමත් මාව උනන්දු කරවන උන්දැ කිව්වා.

ඔන්න උදායි කියල හාමුදුරුනමක් හිටියා බුදු හාමුදුරුවන්ගේ කාලෙදි. මේ සැවත් නුවරම තමයි උන් වහන්සෙත් වැඩ හිටියේ. ඉතින් මේ හාමුදුරුවෝ එක එක ගෙවල් වලට වඩිනවා. ඔය අතරේ දවසක් මනුස්සයා මැරිච්ච හරි ලස්සන ගෑණු කෙනෙක් ඉන්න ගෙදරකට උන්නාන්සේ වඩිනවා. අර ගෑණු කෙනත් පුටුවක් සකස් කරලා උදායි හාමුදුරුවන්ට ඉඳ ගන්ඩ දෙනවා. ඊට පස්සේ වැඳලා පැත්තකින් ඉඳ ගන්නවා. හාමුදුරුවෝ ලස්සන බණක් කියනවා මේ ගෑනු කෙනාට. පින් දහම් කරන්ඩ උත්සාහය ඇති කරවලා ශාසනේ ගැන හොඳට පහදින විදිහට බණ කිව්වා. ඊට පස්සේ බණ ඉවර උනාම අර කාන්තාවට දානයක් දෙන්ඩ හිතුනා. ඉතිං හාමුදුරුවන්ගෙන් අහනවා මෙහෙම.

හාමුදුරුවනේ මම කැමතියි ඔබ වහන්සෙට පූජාවක් කරන්ඩ. ඔබ වහන්සේට ඕන කරන සිවුරු, ගිලන්පස, ආහාර වගේ දෙයක් තියනවද? එහෙම අවශ්‍ය දෙයක් තියනවා නං කියන්ඩ මට පුළුවනි පූජා කරන්ඩ.

නංගි, අනේ ඔය සිවුරු, පිරිකර, දානේ වගේ දේවල් අපිට ඕන තරම් තියනවා. අපිට නොලැබෙන දෙයක් දුන්නොත් තමයි හොඳ  

ඒ මොකක්ද හාමුදුරුවනේ?

වෙන මොනවද ඉතිං සංසර්ගය තමා!

හාමුදුරුවෝ ඒකට කැමතිද?

නැතුව නංගි!

එහෙනං එන්ඩ...කියලා අර කාන්තාව ගෙයි ඇතුලට ගිහිං ඇඳුම් ගලවලා ඇඳ උඩ උඩු බැල්ලෙන් හිටියා. හාමුදුරුවොත් වැඩියා කාමරේට. දැක්කා ගෑණු කෙනා ඉන්න විදිහ. ඔන්න සිහිය පහල උනා.

චැ: ජරාවෙන් යුක්ත දුගඳ හමන මේ කාන්තාව ආශ්‍රය කරන්නේ කවුද? කියපු හාමුදුරුවෝ කෙළ ගහලා ඉවතට වැඩියා.

අර ගෑණු කෙනාට මල පැන්නා. දැන් හතර අතේ බණිනවා.

මුංගේ කොහෙද සිල්? ලැජ්ජා නැති බොරු කාරයෝ! මෙහෙම වැඩ කරන එවුන්ට මොන මහන කමක්ද? මාත් එක්ක එකට ඉන්ඩ ඉල්ලලා දැන් අර විදිහේ කතා කියන්නේ මගේ මොකක්ද ජරාව? මගේ කොතැනින්ද ගඳ එන්නේ? ඇයි මම අනිත් ගෑණුන්ට වඩා කැතයිද? අනික් ගෑණුන් එක්ක මෙන්න මෙහෙම කිය කියා අර ගෑණු කෙනා හතර අතේ පලු අරිනවා හාමුදුරුවන්ගේ. ඒ ගෑණුත් මේ කතාවට පොහොර දදා පතුරුවනවා.

සැවත් නුවර හිටපු හාමුදුරුවරුන්ට මේ කතාව ආරංචි උනා. ඒ හාමුදුරුවර බුදු හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා මේ කතාව කිව්වා. බුදු හාමුදුරුවෝ උදායි හාමුදුරුවන්ව ගෙන්නලා ඇහුවා කතාව ඇත්තද කියලා.

ඇත්ත! උදායි හාමුදුරුවෝ වැරැද්ද පිළිගත්තා.

හිස් පුරුෂය, මෙය නුසුදුස්සකි. මහන කමට නොගැලපෙන්නකි. එනිසා මේ සංඝාදිශේෂ ශික්ෂාපදය පණවමි.

යම් මහණෙක් අනුන් හා කාමයේ හැසිරීමට සිතා මිනිස් ස්ත්‍රියක් සමීපයෙහි සිල්වත් මා වැන්නවුන්ට සංසර්ගයෙන් පූජා පවත්වන්නේ නම් එය අග්‍ර පූජාවකැයි සංසර්ගයේ යෙදීමේ අභිලාෂයෙන් කියයිද ඒ මහණ හට සංඝාදිශේෂ ඇවත සිදුවේ.

උදායි හාමුදුරුවෝ ආය කවදාවත් ඒ වැරැද්ද කලේ නෑ. අපේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් මම ඇහුවා මේ උදායි හාමුදුරුවන්ට මොකද උනේ කියල. උන්වහන්සේ කිව්වා මේ වැරදි හදාගෙන උදායි හාමුදුරුවෝ නිවන් දැක්කා කියල. තමන්ගේ වැරැද්ද පෙන්නලා දුන්නම ඒක හදා ගන්න නිහතමානිත්වයක් තියන කෙනා මාරයා පරාජය කරනවා.

අර ගෑණු කෙනා?

බුදු හාමුදුරුවන්ගෙ ධර්මය නුවණ තියන අයටයි. ඉතින් ඒ ගෑණු කෙනත් ඇත්ත තේරුම් අරන් හරි පාරේ ගියා නං නිවන් දකින්ඩ ඇති. එහෙම නැතුව දිගටම උදායි හාමුදුරුවො තමුන් එක්ක ඉන්ඩ ආවේ නැති එක ගැන බැණ බැණ හිටියා නං අදත් මේ සංසාරේ ඇති අපි වගේ.

අද වෙන දේවලුයි එදා වෙච්ච හැටියි කොච්චර වෙනස්ද? උදායි හාමුදුරුවන්ට වැරැද්ද පිළිගන්ඩ පෞරුෂයක් තිබ්බා. වැරැද්ද පෙන්නලා දුන්නම ඒක හදා ගන්ඩ වීර්යයක් තිබ්බා. අද කීයෙන් කී දෙනාටද ඒ පෞරුෂය හෝ වීර්යය තියෙන්නේ. වීඩියෝ රෙකෝඩ් තියෙද්දී මම කිව්වේ නෑ කියන්ඩ තරං කට්ටිය පල්ලෙහාට වැටිලා. 

බුදු හාමුදුරුවෝ විනය නීති පැනෙව්වේ කාරණා දහයක් බලාපොරොත්තුවෙන්. මේ ගැන වැඩි විස්තර තියනවා විනය පිටකයේ පරිවාර පාළියේ කත්ථපඤ්ඤත්ති වාරය කොටසේ. ඒ කාරණා දහය තමයි මේ.

1. සංඝයා ගේ මනා බව පිණිස
2. සංඝයාගේ පහසුව පිණිස
3. දුශ්ශීල පුද්ගලයන් නිග්‍රහයට පත්කිරීම පිණිස
4. සිල්වත් භික්ෂූන් ගේ පහසු පැවැත්ම පිණිස
5. මේ ලෝකයේදීම - දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් - විඳිය යුතු දුක් ගැහැට වැලැක්වීම පිණිස
6. පරලොව දී විඳිය යුතු දුක් ගැහැට වැලැක්වීම පිණිස
7. නොපැහැදුණු පුද්ගලයන්ගේ පැහැදීම පිණිස
8. පැහැදුනු පුද්ගලයන් වඩාත් පැහැදීම පිණිස
9. සද්ධර්මයේ පැවැත්ම පිණිස
10. විනය පවත්වාගෙන යාමට අනුග්‍රහ පිණිස

මට තව කාරණයක් මතක් වෙනවා මේ වෙලාවේ. ඒක තියෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේ, දීඝ නිකායේ. පිරිනිවන් පෑමට ආසන්න වූ බුදුන් වහන්සේ අවසාන අවවාද ටික කරන වෙලාවේ උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මෙහෙම කියනවා.

"ආනන්දයෙනි ඔබට මෙබඳු වූ අදහසක් ඇතිවෙන්නට පුළුවනි. බුද්ධ වචනය අතීතයට ගිය ශාස්ත්‍රa වහන්සේගේය. දැන් අපගේ ශාස්ත්‍රaන් වහන්සේ නැති සේක. යනුවෙනි. ආනන්දයෙනි ඔබ මේ අයුරින් නොදැක්ක යුත්තේය. ආනන්දයෙනි මා විසින් යම් ධර්මයකුත් විනයකුත් දෙසන ලද්දේද, පණවන ලද්දේද මගේ ඇවෑමෙන් එය ඔබට ශාස්ත්‍රa වන්නේය."

ඒ කියන්නේ දැන් උනත් සංඝ සමාජයේ ඇතිවෙන ගැටළුකාරී තැන් විසඳා ගන්ඩ තියෙන්නේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයත් විනයත් එක්ක ගලපලා බලලා. මෙතෙන්දි අද සමාජයේ වෙන කටයුතු ඒ විදිහටම විනය පිටකයේ නැති උනත් බුදුන් වහන්සේ විනය නීති රීති පනවද්දී බලාපොරොත්තු වෙච්ච දේවල් දිහා බලපුවම කල යුතු දේ පැහැදිලි වෙයි කියලයි මට හිතෙන්නේ.

එක එක දේශපාලන පක්ෂ වෙනුවෙන් කඩේ යන, අසරණ රෝගීන් ගේ ජීවිත බිල්ලට දීලා නර්ස් ලාගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න, උසාවියේ වැඩේ තමන් වහන්සේලාම බාර ගන්න, පන්සල් වල හතර පැත්තට දේවාල අටවගෙන දායකයෝ හූර ගෙන කන, මිනී මරලා හරි රට පාලනය කරන්ඩ කියලා උපදෙස් දෙන,  ඒ ඔක්කොටමත් වඩා තමන්ගේ වැරැද්ද පිලි ගන්නේ නැතුව එක වැරැද්ද වහගන්ඩ වැරදි සීයක් කරන ඉඳුරුවේ ආචාරියා ටයිප් වැඩ කරන එකී නොකී නොපෙනත්කම් කරන හාමුදුරුවරුන්ම තීරණය කරන්ඩ ඕන තමුන් මේ ඉන්නේ ගෞතම බුද්ධ සාසනේද නැත්තං වෙන මොකක් හරි සංගමේකද කියලා. ඔබ වහන්සේලාගේ හැසිරීම නොපැහැදුණු පුද්ගලයන්ගේ පැහැදීම පිණිස, පැහැදුනු පුද්ගලයන් වඩාත් පැහැදීම පිණිස, සද්ධර්මයේ පැවැත්ම පිණිස, විනය පවත්වාගෙන යාමට අනුග්‍රහ පිණිස පවතිනවා කියලද හිතන්නේ? තරහ අවසර හාමුදුරුවනේ මේ උපාසකයාටනං එහෙම හිතෙන්නේ නෑ.  

9 comments:

  1. කඩේ දාන්නෙ පාරිබෝගිකයට ගැලපෙන්න. ඒ වගේ තමයි හාමුදුරුගොල්ල හැදෙන්නෙ දායක දායිකා සෙට් එකට ගැලපෙන්න. එහෙම බලපුවම හාමුදුරුවොයි, මුදලාලිලයි එක වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මලයා. ඒකයි මම උදායි හාමිදුරුවො ගැන කිව්වේ. ඕන කිව්වට කවුද දුන්නේ? තනි අතින් අප්පුඩි ගහන්ඩ බෑ නේ.

      Delete
  2. සාදු.. සාදු.. සාදු!
    ලොකු මලය උපාසක සෑර්ට පින් අත් වේවා!
    සෑර්, එතකොට 'කාළුදායි' සහ මේ 'උදායි' එක්කෙනෙක්ද නැත්තං දෙන්නෙක්ද?
    ජයවේවා!

    Myself Hattor.

    ReplyDelete
  3. දැනට අවුරුදු තිහකට කලින් ඉන්දියාවෙ ඉගෙනගනිමින් සිටිද්දි ""මිඩ් කෝස් ග්‍රාන්ට්"" එකේ දි මාසයක් පුරාවට දඹදිව හක්කලන් කලා.. දැන් ආයෙත් ලොකුමල්ලි මල්ලිගෙ අනුග්‍රහයෙන් පරණ මතකයන් අලුත් කරගන්ට ඇහැකි… කිව්වත් වගේ ඒ ස්ථාන වලට ගියාම හිතේ මැවෙන රූප හරි වෙනස්...මට අදටත් කුසිනාරාව ගැන කියවනකොට එදා දැකපු නිහඬ ගුප්ත ශෝකී පරිසරය මැවිල පේනව..

    ReplyDelete
  4. මම එහෙම නෙවෙයි අදහස් කලේ කියල නේද ඒ උන්නැහැ දැන් කියන්නෙ...:)

    ReplyDelete
  5. බුදු දහමයි බුද්ධාගමයි කියන්නෙ දෙකක්නෙ බොස්. නිවැරදි බුදු දහම මිනිස්සුන්ට දේශනා කරන අයගෙන් ඔය වගේ දේවල් වෙන්නෙ අඩුවෙන් වෙන්න පුලුවන්.

    ReplyDelete
  6. https://gadyanohothkavi.blogspot.com/2018/06/blog-post_815.html

    ReplyDelete
  7. http://www.beliefnet.com/faiths/buddhism/2000/09/what-is-tantra-anyway.aspx

    ReplyDelete