අපේ ගමේ පිරිමි පරාණ වල මධු විත පානය කිරීමේ අසම සම
හැකියාව ගැන මම ගිය සතියේ ලියපුවාම (කවුරු හරි බීලා හිටපු කෙනෙකුට ඒ ලිපිය මග
ඇරුනා නං මෙන්න ලිංක් එක ඒ ලිපියට) මගේ යාළුවො දෙතුං දෙනෙක්ම මට කතා කරලා -අයියෝ
ඔව්ව මොනවද අපේ ගමේ අහලකින් වත් තියන්ඩ පුලුවන්ද උඹලට, ඔය වගේ වැඩ
අපි කලේ උඹලා මොන්ටිසෝරි යන කාලෙය වගේ අපිව පීචං වෙන කතා ගොන්නක්ම කියලා දැම්මෝය.
මේක අපේ ගමේ ප්‍රෞඩත්වයටද මොකද්ද එකට නව නිංගිරාවක්ය. කොහොමද ඒ කැළල මකා ගන්නේ
කියල කම්පනා කර කර ඉන්න අල්ල පනල්ලේ ආයෙත් මතක් උනේ නැද්ද අපේ සෙනෙවිරුවන් අයියා
ගැන. සෙනෙවිරුවන් අයියා යනු අපේ ගමේ බීමත්කමේ කොඩිය ඉදිරියෙම්ම ගෙනියන පෙරමුණේ රාල
කෙනෙකි. හැමෝටම තේරෙන බාසාවෙන් කියනවා නං සෙනෙවිරුවන් අයියා යනු අපේ ගමේ බීමත්කම
ගැන කේස් ස්ටඩි එකකි.
බෝතලයක් ඔට්ටුයි
හැම ගමකම නෑ කියල. මොකෝ කියන්නේ අල්ලමුද ඔට්ටුවක්.
සෙනෙවිරුවන් අයියා අපිට වඩා අවුරුදු පහළොවක් විස්සක්
විතර වැඩිමාලු ඇති මගේ හිතේ. අඩි පහක් පහමාරක් විතර උස ඇති. හීන්දෑරි රතු පාට (අපේ
ගමේ උන්ට අනුව මිනිස්සුන්ට තියෙන්නේ පාට තුනකි. ඒ රතු, තල එළලු හා
එච්චර පාට නැති පාටය.) මනුස්සයෙකි. සහෝදරයන් තිදෙනෙකි. සහෝදරියන් දෙදෙනෙකි.
සෙනෙවිරුවන් අයියා ඉස්කෝලේ ගිය කතාවෙන්ම මම පටං ගන්නේ
ඉස්කෝලේ යෑමෙන් නතර වෙච්ච විදිහ හරි පුදුමාකාර හින්දය. උන්දැම කියන විදිහට එක
දවසක් ඉස්කෝලේ පාර අයිනේ තිබ්බ පිට්ටනියේ ඉඳලා පාරේ යන වාහනයකට සෙනෙවි අයියා ගලක්
දමා ගැසුවේ නිකමට වගේය. ගල වැදුනේ වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එකේය.
අන්න සෙනෙවියා ගලක් ගහලා වාහනේක වීදුරුවක් බිඳලා!!!
සෙනෙවියා සමග සිටි කොලු නඩේ එක සීරුවට සජ්ජායනා කළා. බුදු අම්මෝ පින්සිබල් සර්
ගෙනුයි අනික් ගුරුවරුන්ගෙනුයි දැන් විසුමක් වෙන්නේ නැත. ඒ මදිවට කැඩිච්ච වීදුරුවට
අලාබෙ ඉල්ලුවොත් ගෙදර විසුමද ඉවරටෝම ඉවරය. ඊට මීට වැඩිය හොඳයි දැන්ම ගෙදර පනින එක.
කවුරු හරි ඇහුවොත් කියනවා මම අද ඉස්කෝලේ ගියෙත් නෑ එහෙව් එකේ කොහොමද වාහනේ
වීදුරුවට ගල් ගහන්නේ කියලා?
මේ සෙනෙවියා හිතුව විදිහය. විනාඩි පහක අවෑමෙන් මූ ගේ ළඟ ඇළේ මාළු බාන්ඩ පටන් ගෙනත්
අහවරය.
නොදකිං මූසල පවු කාරයා අදත් තෝ ඉස්කෝලෙන් කට්ටි පැනලා
මාළු අල්ලන්ඩ ගියා නේද? අල්ලපු මාළු
ටික වැලක් විදිහට හදාගෙන ගෙදර ගෙනා විට අම්මා කිව්වේ එපමණකි.
දැනටම අම්මා සෙනෙවිගේ
බොරුවට රැවටී ඇත. තාත්තාට ඔව්වායේ වගේ වගක් නැත්තේ හවසට උන්දැ ගෙදර එන්නේ කන මදයා
වගේ කසිප්පු බීගෙන නිසාය.
දින කීපයක් ඉස්කෝලේ නොයන සෙනෙවිගෙන් දිනක් තාත්තා මෙසේ
ඇසුවේය.
මොකද බොල තෝ ඉස්කෝලේ යන්නේ නැත්තේ?
අපේ පංතියට නිවාඩු.
එතකොට අනික් උන් ඉස්කෝලේ යන්නේ?
උන්ගේ පංති වැඩ. අපිට විතරයි නිවාඩු!!
ඒ ඉස්කෝල නිවාඩුව සති මාස වලටද මාස අවුරුදු වලටද පෙරළී
ගියමුත් ඉන්පසු කිසිදිනෙක කිසිවෙකු සෙනෙවි ඉස්කෝලේ නොයන්නේ ඇයිදැයි නොඇසූහ.
හය වසරෙන් උඩට ඉස්කෝලේ නොගියේ ඇයිදැයි දිනක් මා ඇසූ විට
මට මේ කතාව කියූ සෙනෙවි ඊට ඌණ පූරණයක්ද එක් කළේය. පස්සේ ආරංචි උනා අර වාහනේ
වීදුරුව කැඩුනෙත් නෑ කියල. මොකද්ද වීදුරුවේ වැදුනේ කියල බලන්ඩලු වාහනේ නවත්තලා
තියෙන්නේ!
ඔන්න ඔහොම ඉස්කෝලේ ගමන නවත්තපු සෙනෙවි ඊට පස්සේ බීඩි
ඔතන්ඩ පුරුදු උනා.
ඔය කියන කාලේ කුළී වැඩට යනවට වඩා වැඩි ආදායමක් බීඩි
එතිල්ලෙන් හොයන්ඩ පුළුවන් කම තිබ්බා. අපේ ගමේ සමහර පවුල් පිටින් තම ජීවිකාව විදිහට
කලේ බීඩි එතිල්ල. ජෝතිපාල මහත්තයාගේ, මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ එහෙම නැත්තං
මොහිදීන් බෙග් මහත්තයාගේ කැසට් පීස් ටිකක් කාර් බැට්‍රියකින් පන ගන්වපු පොඩි කැසට්
රේඩියෝවකින් අහමින් උදේ ඉඳන් රෑ වෙනතුරු බීඩි ඔතන සෙනෙවි නොදැකපු කෙනෙක් ඒ කාලේ
ගමේ නෑ.
හවස හයට හයමාරට විතර මහ ලිඳෙන් නා ගන්න සෙනෙවියා පල්ලම් බහින්නේ ඤානේ
අයියලගේ ගෙදරට. ඒ ඉතිං වෙන මොකටවත් නෙවෙයි කසිප්පු බාගයක් ගන්ඩ. ඊට පස්සේ දඩමසක්
හරි ඇළෙන් බාගත්තු මාළු කූරියෝ දෙතුන් දෙනෙක් හරි ගම ළඟ මූකලානේ ලිග්ගල් තුනක් උඩ
තියපු හට්ටියක දාලා උයනවා. මිරිස් තුන පහේ ටිකක් ඕන මේ වැඩේට. හැබැයි ඉදෙනකල් ඉන්ඩ
හැටියක් නෑ එක එකා අර හට්ටියට අතදාලා කෑලි අරන් කනවා. ඉතින් මාළුව ඉදෙන කල්
හිටියොත් එහෙම ඉන්න එකාට බොන්ඩ වෙන්නේ මිරිස් හොද්ද තමයි. මේ සංගමේට ගමේ අය කිව්වේ
'ඇති හිටියා
සංගමේ' කියලා. නිදහස්
දිනය, අලුත්
අවුරුද්ද, වෙසක් එක, පොසොන් එක වගේ
ගමට වැදගත් හැම උත්සවයක්ම ඇති හිටියා සංගමේ සමරුවේ කසිප්පු බූලි දෙක තුනක් එක්ක
ඉත්තෑවෝ, කලවැද්දෝ, වල් ඌරෝ, වැලි මුවෝ, හාවෝ වගේ පොඩි
මද්දකට අල්ලා ගන්ඩ පුළුවන් ඕනෑම සතෙක් මස් කරලා. ඊට පස්සේ කට්ටියම එක්කහු වෙලා රෑ
දහය එකොළහ වෙනකල් බජව් දානවා.
අපි ඒ කාලේ පොඩි උන්. හවස සෙල්ලං කරද්දී මේ නසරානි පොට්
එකට ගිය අපි දවසක් ඉත්තෑ කූරු දාහක් දෙදාහක් විතර එක්කහු කරගෙන ගෙදර ගෙනාවා. ඉත්තෑ කූරු ඇනිලා තියනවද කවදා හරි? එහෙම ඇනිලා
නැත්තං නිකමට හිතා ගන්ඩකෝ උල් කම්බි කූරු විස්සක් තිහක් ඇනෙන කොට දැනෙන වේදනාව. ඒ
වේදනාව මොකද්ද කියල හිතෙන විදිහට අපේ අප්පච්චි එදා අපේ කොඳු හරහා පත බෑවා අතට
අහුවෙච්ච කෝට්ටකින්. ඒ අප්පච්චි මට ගහපු අන්තිම අවස්ථාව. හැබැයි අදටත් ඒ පාරවල් මතකයි.
එදා මට දැනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ...අද මට දැනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි
තාත්තෙ...සින්දුව අහන හැම දවසකම මට මේ සිද්ධිය මතක් වෙනවා.
ඒ කොහොම උනත් එදායින් පස්සේ අපි සෙනෙවිරුවන් අයියලාගෙ
බජව් පොට් එකට අය ගියේ නෑ. අපි වගේම මේ ඇති හිටියා සනගමේ හිටපු අනිත් සාමාජිකයෝ
හුගකුත් තව ටිකක් කල් හරි ඉන්ඩ ඕන කියන කල්පනාවෙන් මේ සංගමෙන් අහක් උනා. ඇත්තම
කිව්වොත් පවුල් පන්සල් වෙනකොට, දරු මල්ලෝ එකා දෙන්නා ඉන්නකොට ඒ ජීවන ක්‍රමයෙන් අයින්
උනා. හැබැයි සේනෙවි රුවන් අයියා නෙවෙයි එහෙම ප්‍රතිපත්ති පාවා දුන්නේ. උන්දැ දිගටම
ඇති හිටියා සංගමේ සාමාජිකත්වය දරුවා.
හැබැයි කාලය වෙනස් උනා. බීඩි වලට තිබ්බ ඉල්ලුම අඩු
වෙනකොට බීඩි ඔතලා හොයන්ඩ පුළුවන් ගාණත් අඩු උනා. ඒ හින්දා සෙනෙවි කුළී වැඩට යොමු
උනා. ගමේ වැලි මුවෝ, ඉත්තෑවෝ අඩු
වෙනකොට මදු ගහලා දඩයම් හොයා ගැනිල්ල අමාරු උනා. ඇළත් හිඳිලා ගියා. ඉතින් මාළු
කොහෙද? ඉතින්
සෙනෙවිගේ පිහිටට හිටියේ ගම හරහා ගිය ලයිට් කම්බි. හැතැම්ම තුන හතරක් ඇවිද්දහම මේ
කම්බි වල පැටලිලා ඉන්න මා වවුලෙක් හොයා ගන්ඩ පුළුවන්. උගේ මස ග්‍රෑම් කීපයක් උනත්
කටගැස්මට ඒකත් ඇති. ඊගාවට සල්ලි තිබ්බ දවසට හරක් බොකු එහෙම නැත්තං බාබත් ගෙනල්ලා
උයලා බයිට් එක හැදුවා. ඔය කාලේ බාබත් කියන්නේ මහ අප්පිරියාසන්න දෙයක් විදිහට මුළු
ගමම අඳුනා ගෙන හිටපු කාලයක්. එක පෝයක් දවසක බාබත් හැලියක් උයමින් හිටපු සෙනෙවි
අයියා ගෙදරින් එලියට විසික් උනේ බාබත් හලියත් එක්ක. සෙනෙවි අයියගේ අම්මා මෙහෙම
උතුම් ප්‍රාර්ථනාවකුත් ඒ හට්ටිය වීසි කරන ගමම්ම කරාලු....උඹට පුලුවන්නං මගේ ඇත පය
කපාගෙන උයලා බයිට් හදන්ඩ උඹ ඒකත් කරනවා කියල මම දන්නවා. ඒ හිංදා උපනුපන් ආත්මෙක
දේවදත්තගේ අම්මා උනත් උඹේ අම්මා නං වෙන්ඩ එපා!!!
සෙනිවේ එව්වයෙන් සැලෙන මනුස්සයෙක් නෙවෙයි. මිනිහා වත්ත
පහල පොඩි පැල් කොටයක් අටවා ගත්තා. එතැන දැක්කහම හාවුන්ට, කල වැද්දන්ට
බය හිංදා බද යනවා කියල ඔය කාලේ ගමේ කතාවක් පැතිරුනා. එක දවසක් වැඩ කරොත් සෙනෙවි ඒ
සල්ලි ඉවර වෙනකල් බීලා මිසක් ආය වැඩට ගියේ නෑ.
එක දිගට වැඩට නොඑන හින්දම කවුරුවත් මිනිහට වැඩක් බාර
දෙන්ඩත් කැමති උනේ නෑ. එහෙම දවසකට සෙනෙවි බඩ
ගින්න නැති කර ගන්ඩ ගන්ඩ කොස් තම්බගෙන කෑවා. නැත්තං මොනවා හරි කැලෑ ගෙඩියක්
හොයාගෙන කෑවා. හැබැයි කාගෙන හරි පොලියට හරි ණයක් අරන් හවසට බාබත් දෙසීයකුයි
කසිප්පු බාගෙකුයි ගත්තා!
ටික දවසකින් මේ ක්‍රමය පවත්තාගෙන යන්ඩ බැරි බව දැනිල
සෙනෙවි හැමදාම වැඩට යන්ඩ පටන් ගත්තා. ඒ හින්දා ඇත මිට සරුයි. ඉතින් මනුස්සයා
කසිප්පු බීම ටික ටික අත ඇරියා. ඒ වෙනුවට ඉස්පිරිතාලෙන් හොරෙන් පන්නපු ඉස්පිරිට්
ගල් අරක්කු වලට කලවන් කරලා බොන්ඩ පටන් ගත්තා. මේ අතරේ පොඩි බෝනස් පාරකුත් වැඩ කළා.
මහනුවර ටවුන් එකේ හිටපු රිලව් වන ජීවී එකෙන් අල්ලලා කෝච්චියෙන් ගෙනත් බලන, ඉහළ කෝට්ටේ, කඩිගමුව
ඉස්ටෙෂන් අතරේදී මුදා හැරියා (මේ කතාව ඇත්තදැයි මම නොදන්නා නමුත් ගමේ අය කියන්නේ
එහෙමය. ගමේ අපි පොඩි කාලයේ බේතකට හොයා ගන්ඩ රිලවෙක් නොහිටි අපේ ගමේ අද මිනිස්
ජනගහණය ඉක්මවා රිලවුන් සිටිති. අනේ අපේ වගා පාලු උනාට කමක් නෑ නුවර ඇත්තෝ සනීපෙන්
ඉන්නවා නං!! අපි කොහොමත් ඉතිහාසේ ඉඳම්ම නුවර උන්ගේ දුග්ගන්නාරාළලාය!!!). අනිත්
හැමෝම මේ රිලවුන්ගෙන් වෙන ආල පාලු ගැන වනජීවී එකේ උන්ගේ අම්මලාට නිවන් සැප ප්‍රාර්ථනා
කරද්දී සෙනෙවි ඊට විසඳුමක් හෙව්වේ මදු කළාව නව ඉසව්වකට ගෙනියමිනි. ඉතිං අද උනත්
රිලා මසක් කන්ඩ කැමති කෙනෙක් ඉන්නවා නං ගල් බාගෙකුත් අරන් අපේ පැත්තේ එන්ඩ ලා.
අදත් සෙනෙවි කසිප්පු, අරක්කු, බියර් පමණක් නොව වෙරි වෙනවා යි කවුරු හරි කිව්වොත්
වැසිකිළි ගොස් පස්ස හෝදපු වතුර උනත් බොන්නේය. ඌ හරක් මස් කෑම නැවැත්තුවේ ජාති
ආලයක් හෝ දුක හිංදා නොවේය. පට්ට ගණන් හින්දය. ඊට වඩා ගං කුකුල්ලු ලාබය. ඊටත් වඩා
රිලවු ලාබය.
මම මේ කතාව කිව්වේ හිනා වෙන්ඩ නොවේය. මගේ හිතේ ඇති දුක
වාවන්නේ නැති හින්දය. මේ කතාව සෙනෙවියාගේ කතාව විතරක් නොවේය. අපේ ගමේ අඩුම ගණනේ
සීයෙට විස්සක පිරිමින්ගේ කතාවය. මේ තරං එක්ස්ට්‍රීම් නොවුනත් ගෑනි රට යවා උදේ ඉඳන්
බීගෙන නටන පිරිමි, හම්බ කරන හැම
සතේම නොවුනත් ඉන් සීයෙට පනහකට වඩා බොන්ඩ වියදම් කරන පිරිමි ඕන තරමක් අපේ ගමේ සිටිති.
මේ පවුල් වල අනාගතය කුමක් වනු ඇත්ද? ඒ පවුල් වල දරුවන් කී දෙනක් වතුර වෙනුවට
කසිප්පු බොන සිරිතට ඇබ්බැහි වනු ඇත්ද? සෙනෙවිගේ ඉස්කෝල ගමන ඔහුගේ පියාගේ බීමත් කම නිසා ඇති උනු ගෙදර දොර සිද්ධ වෙන දේවල් පිලිබඳ අඩු සොයා බැලීම නොවන්නට දිගටම සිද්ධ වීමට ඉඩ තිබිණි. හෙට ඉස්කෝලෙන් අනීවාර්තේ සමු ගන්නා කී දෙනෙකුගේ කතාව මීට සමාන වනු ඇත්ද?
මේක හරි උතුම් රටක්ය ඒ නිසා අරක්කු මිල අඩු කිරීමෙන්
පංචානන්තරීය පාපකර්මයටද වඩා බලවත් පවක් සිද්ධ වන්නේයැයි හිතන උත්තමයිනි, උත්තමාවෙනි, අප කෙරෙහි
අනුකම්පා උපදවා අපේ ගමට එක සතියක් වඩිනු මැනවි. මිනිස්සු කසිප්පු හා අධික බීමත්කම
නිසා දවසින් දවස ස්වයං එම්බාම්කරණයට ලක්වෙන හැටි බලා ඊට පිළියම් යෙදුව මැනවි.
මං හිතුවා හෙනඅ බේබද්දෙක් ගැන කතාවක් කියලා මූ මොන බේබද්දෙක්ද බං ... මරු ඩයල් ටිකක් ඉන්නවා මෙහේ
ReplyDeleteඔන්න අයින් කරලා නැ හරිය ... බ්ලොග් රෝල ටච් කරලා ආවේ
Deleteමූ බේබද්දෙක් විතරක් නෙවෙයි. දඩයක්කාරයෙක්. ඇත්තම කියනවානං බීම ජීවිතේ කරගත්තු එකෙක්.
Deleteගල් අරක්කු අඩුකරන එක සෑම අතින්ම වැදගත් යෝජනාවක්. ඒත් වොඩ්ක බෝතලේ උණුකරල නිවපු වතුර බොන අපේ ඈයෝ ඕක කරයි කියල හිතන්න අමාරුයි.
ReplyDeleteලාංකීය ජනසමාජයේ එක් පැත්තක් අපූරුවට පැහැදිලි කරලා.දුගී,කුලෑටි සමාජයක සමහර මිනිසුනට අත්වන ඉරණම ! මා දන්න මේ වගේ පවුල් ඉන්නවා.ඒත් තවත් සමහර පවුල්වල දෙමාපියෝ කසිප්පු බිස්නස් නැත්නම් ගංජා ආදී දේවල්.තවත් තැනක තාත්තා බොනවා,නැත්නම් අම්මා ගේ ප්‍රශ්න ආදිය.නමුත් ළමයි යහපත් අයුරින් ගියා. ඉතා හොඳ ජීවිත ගෙවනවා.ඉතින් මම හිතන්නේ අපිට වාසනාවත් තියෙන්න ඕනෑ.උත්සාහය එක්ක වාසනාවත් තියෙන්න ඕනෑ කියලා,විශේෂයෙන් ලංකාව වැනි රටක ජීවත්වෙද්දී.... !
ReplyDeleteබේබදු කම ඇවිල්ලා විශම චක්‍රයක් තමයි.ඒක හරියට අඩු වයසින් කසාද බඳින එක වගේමයි. මොනවා උනත් බොන වර්ගය වෙනස් කරලා මේ බේබද්දන්ගේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා හිතනවානම් ඒක විහිළු කතාවක් විතරයි.
ReplyDeleteකසිප්පු තුරන් කරලා ( අඩු ගණනේ මීට වඩා පාලනය කරලා ) අරක්කු /බියර් එක්සයිස් බද්ද ටිකක් අඩු කලොත් මීට වඩා රජයට ආදායමක් ගත්ත හැකි. ඒත් කරන්නෙ ලේසියෙන් කරන්න පුලුවන් නිසා අරක්කු බදු වැඩි කරන එකමයි.
ReplyDeleteඅනේ මන්ද බං...
ReplyDeleteමේක තමයි හැම ගමකම තත්වය.මම හිතන්නෙ හැම ගමකම බොන ගහනය 20% ට වැඩියි.හුගක් එවුන් කුලී වැඩ කරලා ගන්න කුලියෙන් 75%කටත් වැඩිය බොන්ඩ යොදවනවා.අපි ටී වී රේඩියෝ වලින් උදේ ඉදන් රෑ වෙනකන් අහන්නේ බන .දේශපාලකයෝ කුඩු ගෙනත් දෙනව .
ReplyDeleteබොන එක වෙනයි. දවසෙ මහන්සිවෙලා හම්බ කරලා ගෙදෙට්ට අවශ්‍ය කලමනා සේරමත් අරං කීයක් හරි ඉතුරු උනොත් ඒකෙං පොඩි ෂොට් එකක් දාල ගෙදර ඇවිල්ලා පාඩුවෙ බට්ටික කාල බුදියන එක අවුලක් නෑ. හැබැයි බීල ඇවිල්ලා ගෙදර ගෑණු ළමයිගෙ දත් ගලෝල හතර හන්දි කඩන ජාතියෙ අපේ මහ එකා වගේ පරයි නං මේ ලෝකෙට ජාතක වෙන්න එපා.
ReplyDeleteසේරමත් අරං කීයක් හරි ඉතුරු උනොත්...සෑරුත්කියනකතා.
Deleteඅම්මප ශ්‍රංග සෑර් ඔහේ ලංකාවේදඉන්නේ.
දැන්බලන්ඩ අර චෙෆාකි ලොකු සෑර් ටිකදොහොකටඋඩදී කියලතිබුණේ, අඩුමගානේ දවසකට 1200ක් හම්බුකොරන්ඩ ඇහැක්කියල.
ඒ කියන්නේ සතිඅන්තේ ගෙදරහිටියත් විසිපන්දාහක් හොයනවනේ.
පවුලේපහක්හිටියත් මහාචාර්යබන්දුලතුමාට අනුව දොළොස්දාස්පංසීයෙන් පවුලගොඩ.
ඉතිංසෑර් බාගෙටබාගයක්ඉතුරුයිනේ. නාන්ඩබැරියැ.
ඔය දත්ගලෝනවැඩ අර නැටුම්ගැයුම්සරකස් වාගේම අපේසැඟවුණුදක්ෂතා. එව්වාඉස්මතුවෙන්නේ ඔයතෙල්ජාතිපාවිච්චිකොලාම තමා.
මේක විශාල සමාජ ප්‍රශ්ණයක් බව සහතික ඇත්ත...
ReplyDeleteමේ සියල්ලටම මුල අපේ අජ්ජාපන ක්‍රමය...