Thursday, August 23, 2018

තොටගමු වෙහෙර වැසි - සිරි රහල් නම් උතුමෙකි



මතකද හෙන්රි ජයසේන මහත්තය. එතුමගේ නෑයො හිටිය අපේ ගමේ. ඒ කියන්නේ හතර කෝරළේ. ඉතිං හතර කෝරළේ මිනිස්සු ගැන ලියන්ඩ පටන් ගන්ඩ එතුමාගේම නාට්‍යයක් මතක් උනා. නාට්‍යය කුවේණි. මෙන්න ඇරඹුම.

අන්ධකාරෙන් දුරාතීතේ
අන්ධකාරෙට අනාගතයේ
රැගෙන යාමට කතා පුවතක්
අන්ධකාරේ සිට කියන්නේ

බොහෝ දේ සිදුවූ අතීතේ
වැළලිලා ඇත අන්ධකාරේ
පොළෝ පස් යට උනුන් කඳුළැලි
ලෙයත් ඩහදිය එකට මුසු වී

කුවේණි නාට්‍යයේ පූරක වේදිකාවෙන් බස යන අතර කට්ටකාඩුවේ පූරක වේදිකාවට පැමිණේ.


හතර කෝරළේ ඉතිහාසේ හොයාගෙන යන කොට....ආ... කියල හිටින්ඩ එපෑ අද ඉන්න මේ තමුන්නැහෙලා දන්නේ නැතුව ඇති නේ හතර කෝරළේ ගැන. හතර කෝරළේ කියන්නෙ ගල්බඩ, කිණිගොඩ, පරණකූරු, බෙලිගල් කියන කෝරළ හතරට. අද කාලේ හැටියටනං කෑගල්ල දිස්ත්‍රික්කේ  මාවනැල්ල, රඹුක්කන, අරණායක, කෑගල්ල, දැදිගම කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මායිම් වෙච්ච ප්‍රදේශයක්. අද අපේ කතාව මේ බෙලිගල් කෝරළේ ඉපදිච්ච නම කියපු පමණින් ලංකාවේ හැමෝම දන්නා උතුමෙක් ගැන. ෂඩ් භාෂා පරමේශ්වර කියලත් එතුමාට කියනවා. දන්නවනේ කවුද කියල...ඔව් තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. අපි යමුද උන්වහන්සේ බැහැ දකින්ඩ. නගින්ට මේ කාල යන්තරේට...

අපි යන්නේ ගාල්ලේ තොටගමුවේ විජයබා පිරිවෙණට.


අවසරයි හාමුදුරුවනේ!

හතර කෝරළෙන් කිව්ව? ඉඳ ගන්ඩකෝ ඩිංගක් කතා කරන්ඩ

හොඳමයි.

මොනවද මේ ළමයට මගෙන් දැනගන්ට තියෙන්නෙ? කොහෙන්ද පටන් ගන්ඩ ඕන?

ඔබ වහන්සෙගේ ළමා කාලෙන්ම පටන් ගත්තොත්....

මම ඉපදුනේ හතර කෝරළේ. ඒ ඔය ළමයට පුරුදු විදිහට නං 1408 අවුරුද්ද. කීරවැල්ලේ කුමාරිහාමි මගේ අම්ම. උන්දැගේ අක්කණ්ඩි තමයි කෝට්ටේ මහ රජ්ජුරු කම බලාගෙන ඉඳපු කුමාරය බැඳලා හිටියෙ. ඒ කියන්නේ අනාගත හයවෙනි පරාක්‍රමභාහු රජ්ජුරුවො. අප්පච්චි වික්‍රමභාහු කුමාරයා. මම ඉපදිලා අවුරුද්දකින් අම්ම නැති උනා. අප්පච්චි මහන දම් පුරන්ඩ ගියා මට අවුරුදු දෙකක් වෙද්දී. ඉතින් මම හැදුනේ අපේ ලොකු අම්මණ්ඩි ගාව. රජ්ජුරුවෝ මාව පුතෙක් වගේ හදා වඩා ගත්තා.

රජ්ජුරුවෝ ගාව තව දරු කමට හදා ගත්තු කට්ටිය හිටිය නේද?

රජ්ජුරුවෝ හරි හිත හොඳ මනුස්සයා. මලබාර් දේසෙන් ආපු පනික්කිලගේ පුත්තු දෙන්නත් එතුමා ගාව හැදුන වැඩුන. උන් තමයි පස්සේ සෙම්බගප්පෙරුමාල් එහෙම නැත්තං සපුමල් කුමාරයා කියලයි අම්බුළුගල කුමාරයා කියලයි ප්‍රසිද්ධ උනේ.

අම්බුළුගල කියන්නේ?

ඔය හතර කෝරළේ තියන අම්බුලුගල තමයි. රජ්ජුරුවන්නේ සහෝදරයා යුවරාජකම් කලේ හතර කෝරළේ මායදුනු නුවර ඉඳගෙන. එහෙමයි ඒ සම්බන්ධෙ හැදුනේ.

ඔබවහන්සේ රජ්ජුරුවන්ට සමීප හින්දමයි පරෙවි සංදේශය ලියන්නේ?

ඒ කාලේ රජ්ජුරුවන්ට අවුරුදු තිස් පහක් හතළිහක් විතර වයසයි. දූ කුමාරියෝ දෙන්නෙක් විතරයි රජ්ජුරුවන්ට මහා බිසවගෙන් ලැබුනේ. කවුද දන්නේ කොයි වෙලාවේ යුද්ධයක් එයිද? කොයි වෙලාවේ රජ්ජුරුවන්ට කරදරයක් වෙයිද කියල? එහෙන් උඩරට මිනිස්සු වෙනම රටක් ඉල්ලනවා. යාපනේ ආර්ය චක්‍රවර්තිගේ පාලනයට යට වෙලා.  රජ්ජුරුවන්ගේ හතුරො හුගක් තැන් වල හිටිය. එහෙම උනොත් කාටද ඔටුන්න හම්බ වෙන්නේ? දූ කුමාරියෝ දෙන්නගෙන් චන්ද්‍රවතී කුමාරි විවාහ වෙන වයසට පත් උනා විතරයි. උලකුඩය දේවි තාම කිරි සප්පයා. එකම බලාපොරොත්තුව උනේ චන්ද්‍රවතී කුමාරිට හම්බ වෙන පිරිමි දරුවෙකුට ඔටුන්න දෙන එක. ඒත් චන්ද්‍රවතී කුමාරිට හරියන ස්වාමි පුරුෂයෙක් හම්බ උනේම නෑ.

ඉතින් ඔබ වහන්සේ බෞද්ධ භික්ෂුවක් වෙලත් උපුල්වන් දෙවියන්ගේ පිහිට ඉල්ලන්නේ?

සංදේශ කවි ලිව්වේ කවි ලියන්ඩ ඕනවටම නෙවෙයි. හැබැයි ඒවා දේව කන්නලවු කිරිලිත් නෙවෙයි. මට ඕන උනේ දෙපැත්තටම පණිවිඩයක් යවන්ඩ.

දෙපැත්ත කිව්වේ?

එක රටේ වැදගත් මිනිස්සුන්ට. රජ වාසල දූ කුමාරිට පෙළවහක් කරලා දීම ගැන උනන්දුයි. රජකම වෙන පරම්පරාවකට දෙන්ඩ සූදානමක් නෑ. ඒ හින්ද බය වෙන්ඩ එපා අපිත් එක්ක දිගටම ඉන්ඩ කියල පැහැදිලි කරන්ඩ. දෙක එතුමගේ හතුරන්ට කියන්ඩ ඔටුන්න ගැනිල්ල හිතන් තරං ලේසි වෙන්නේ නෑ. රජ්ජුරුවන්ට පුතෙක් නැති උනාට අපිට තව ක්‍රම තියනවා ඔටුන්න රැක ගන්ඩ කියල පැහැදිලි කරන එක.

පැරකුම් රජ -වියත  පහළ නව සඳ ලේ යුරු 


සිරි ලක් වවන රජ බිජු සරු කෙතෙව් දිසි 
සිරි පින් ලකුණු මිණි පිරි නිදනෙක  සදිසි 

සඳවත් නමින් යුත් - රජ දූ ළඳට සිරිබර 

නොලසා සමුව මෙන් දෙව්සෙන් වදන රුති 
සලසා සරි කුලෙන් හිමියෙකු රූ       පිනැති 

ගත් රුසිරි සුර කුමරකු මෙන්               බැබළු 
යුත් ගුණ නැණ දැනුමැති තෙපල කව්      නළු
මෙත් කර මෙ ලක රකිනා දැරුමෙන්   කිරුළු 
පුත් රුවනක් දෙන ලෙස අයැදින්           යහළු 


අවසර හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ඉල්ලීම ඉටු උනා නේද?

ඔව්.  අවාසනාවට චන්ද්‍රවතී කුමරිය මියගියා පුතෙක් ඉපදෙන්ඩ ඉස්සර

ඊට පස්සේ?

අපි බලා හිටියා උලකුඩය දේවිය ලොකු මහත් වෙනකල්. ඔය අතරෙදි තරුණ වියට පත් වෙච්චි සෙම්බගප්පෙරුමාල් විශිෂ්ට රණ ශූරයෙක් උනා. අපි ඔහුව යැව්වා යාපනේ ආර්ය චක්‍රවර්තිව විනාශ කරන්ඩ.

අපි කිව්වේ?

මම රජ්ජුරුවන්ට හුගක් ලඟින් හිටපු බව හැමෝම දන්නවා. රජ වාසලේ හුගක් තීරණ වලට මමත් සම්බන්ධ උනා.

ඔබ වහන්සේලාට හිතුනේ නැද්ද මේක අනාගතේට තර්ජනයක් කියල?

කොහොමද එහෙම හිතන්නේ? රජ්ජුරුවන්ට එතකොට අවුරුදු පනස් පහට කිට්ටුයි. ආර්ය චක්‍රවර්ති පාරද කරන එක ලේසි වැඩක් නෙවෙයි. ඒක අසාර්ථක වෙන්ඩත් පුළුවන්. සාර්ථක උනත් හුගක් කල් යන වැඩක්. එහෙම දේකට රජ්ජුරුවෝ කෝට්ටෙන් පිට හුග කාලයක් ඉන්න එක කල හැකි දෙයක් නෙවෙයි. අනික...

අනික කිව්වේ හාමුදුරුවනේ?

යාපනේ දිනුවොත් රට එක සේසත් වෙනවා. එහෙම උනොත් ඒකෙ කීර්තියත් රජ්ජුරුවන්ට. මිනිස්සු පරම්පරා ගානක් යනකල් විරුද්ධ වෙන්නේ නෑ රට එක්සේසත් කරපු රජ්ජුරුවන්ට. වැරදුනොත් සපුමල්ට. හරි ගියොත් රජ්ජුරුවන්ට. ඒක නරක ගනු දෙනුවක් නෙවෙයි.

ඒ අතරෙයි ඔබ වහන්සේ සැළලිහිණි සංදේශය ලියන්නේ උලකුඩය දේවියට පුතෙක් බලාපොරොත්තුවෙන්.

ඔව්. සපුමල් බොහොම උපායශීලීව යාපනය දිනාගනිමින් හිටියා. අපි නොහිතපු විදිහට මිනිස්සු ඒ ගෞරවය සපුමල්ට දුන්නා. සපුමල් ඉස්සරහට එද්දී අපිට ඉස්සරහට දාන්ඩ කුමාරයෙක් හිටියේ නෑ.

මිහිරි තෙපල තන්වැසි කිවිකම්         පුරුදු 

ඉතිරි බැති පෙමැති පෙළ දහමෙහි   මුනිඳු 
නොහැරි පෝය අටසිල් රැකුම         පිරිසිදු 
සසිරි උලකුඩයදේවී හට                     පසිඳු 

දිත් රුපු කිරුළු මල්දම් සුවඳ මී         වැස 
නෙත් සිරි පා යුත් සුරිඳුනි තිලෝ     ඇස 
සිත් පිනවන ඇති ආසිරි නුවණ        යස 
පුත් රුවනක් සොඳ දුන මැනවි නිසි ලෙස 


මේ පාර ඔබ වහන්සේ ඉල්ලීම් කරන්නේ විභීෂණ දෙවියන්ගෙන්. හරි ගියාද ඉල්ලීම?

ඔව් හරි ගියා. සැළලිහිණිය ලියලා අවුරුද්දකට පස්සේ  කුමරියට පුතෙක් හම්බ උනා.

එතකොට සපුමල් කුමාරයා?

ඔහු හිටියේ යාපනේ. හරියට යුව රාජයෙක් වගේ ඔහු යාපනේ පාලනය කළා. වෙනම රාජ සභාවකුත් තියා ගෙන හිටියා.

එක තර්ජනයක් කියල හිතුනේ නැද්ද?

හිතුනා. ඒත් කල හැකි දෙයක් තිබ්බේ නෑ. ඔහු රටේ ජනප්‍රිය චරිතයක් උනා. හැබැයි රජ්ජුරුවන්ට හරිම හිතවත්. තමන් රජ්ජුරුවන්ගේ පුත් කුමාරයෙක්ය කියන මතයේ ඔහු හිටියා. ඒ හින්ද අපි දැන ගත්තා රජ්ජුරුවන්ට ඔහුගෙන් කවදාවත් තර්ජනයක් නෑ කියල. අනික ඔහු විනාශ කළා නම් යාපනේ අපෙන් ගිලිහෙන්ඩත් ඉඩ තිබ්බා. ඉතින් වඩා හොඳ විකල්පය උනේ ඔහුට වඩා අපේ පිල ශක්තිමත් කර ගැනීම.

හාමුදුරුවනේ ඔය වගේම වැඩක් අපේ යුගයෙදිත් එක පාරක් උනා. සමහර විට තව පාරක් වෙන්න ඉඩ තියනවා!!

කුවේණි නාට්‍යයේ පූරක නැවත පැමිණේ.

පොළෝ තලයෙන් වැසුණු බිජුවට
නැගී එන සේ දිනෙක පසු කල

අතීතේ සැඟවුණු කඳුළු බිඳු
ලෙයත් ඩහදිය මඳ සිනා රැලි

අන්ධකාරෙන් දුරාතීතේ
නැගී යළි එක්වේය අප හා
අපේ කඳුළැලි ලෙයත් ඩහදිය
සමග මුසු වී ලෝ දහම සේ....

ඔය කතාවේ එක පැත්තකට කියන්ඩ තියන මුල් කොටස. කිසිම දෙයක් සම්පූර්ණයෙන් සුදු හෝ සම්පූර්ණයෙන් කළු නෙවෙයි නේ. ඒ හින්ද අපි අනිත් පැත්තේ කතාවත් ඒ කියන්නේ සපුමල් කුමාරයාගේ කතාවත් අහමු.

ඔන්න බාලගිරි එනවා මේ පැත්තට....අද නෙවෙයි එහෙනං හෙට!!!

ආශ්‍රිත ග්‍රන්ථ 
සිංහල සංදේශ කාව්‍යයේ දේශපාලන පසුබිම - සිරි තිලකසිරි (2005) ගොඩගේ ප්‍රකාශන
සිංහල සංදේශ කාව්‍යයේ සමාජ පසුබිම - සිරි තිලකසිරි (2008) ගොඩගේ ප්‍රකාශන
කෝට්ටේ යුගයේ පද්‍ය ප්‍රබන්ධ ප්‍රථම හා ද්විතිය භාග - එච්. එම්. මොරටුවගම (2010, 2010) රත්න පොත් ප්‍රකාශන
ශ්‍රී ලංකාවේ සංඝ සංවිධානය - මධ්‍යතන යුගය - මැන්දිස් රෝහණධීර (2016) බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
පරෙවි සංදේශය - සිරි තිලකසිරි (2005) රත්න පොත් ප්‍රකාශන

23 comments:

  1. හරිම අපූරුයි! මට මතක් වුනේ කුවේණි නාට්‍යයේ කතාව අතීතය හා වර්ථමානය අතර දෝලනය වෙන විදිහ..

    ඕනෑම දේක යටිපෙළ කියවීම මනෝනන්දනීයයි නේ ද? නොහිතපු කතා මතුවෙනවා..

    ReplyDelete
    Replies
    1. කතාවක් තියනවා ඉතිහාසය නැවත නැවත ප්‍රතිනිර්මාණය වෙනවා කියල. පුරා විද්‍යාවේ සහ ඉතුහාසයේ ඇති වෙනස කෙනෙකුට අලුතින් හිතන්න මග පාදනවා. කෝට්ටේ යුගයෙ ඉතිහාසය වර්තමානයට ඉගෙන ගන්න තියන රන් ආකරයක්. අපි ඉගෙන නොගන්න එකයි තියන වරද. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.

      Delete
  2. This is superb. You should write my favourite genre - historical fiction. This reminded me of HF of Robert Graves, Colleen McCullough and Nigel Tranter. Like them you have the knack of conveying historical authenticity while writing in fictional form. Is there an email address u give ur blog readers to communicate with u?

    Btw, how was he named "Thotagamuwe" Rahula if born in 4korale? Thotagamuwa was his Pirivena, right? Priests go by their native village's name, don't they? Was it different then?

    (Sorry, due to a technical difficulty i am using the mobile to comment. No Sinhala font )

    ReplyDelete
    Replies
    1. Thank you Pra Jay for your comments. I really like history but i haven't study it methodically. There was an email address but dont know whether that link is working properly. About the first name of a monk- i think the common practice is that. But there are number of examples even at present that was not practiced. It says තොටගමු වෙහෙර වැසි කදවුරු කුලයට මිණි පහනක් වන් රාහුල මහ තෙරිදු...never Thotaganuwe Rahula. Prabably Thatagamuwe Rahula is a new name given recently.

      Delete
    2. U don't have to study systematically to write historical fiction. U just have to get available facts right and read a bit about the interpretations of those. U are more than capable of doing that. And u are skilled in story telling.

      Difficult to explain fully in a comment.

      Delete
  3. මේක හරි අපූරු සටහනක්....ආසාවෙන් කියෙව්වා...

    ReplyDelete
  4. මරු ලිපියක්.. ඉතිරි කොටසකුත් එයි නේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. හරියටම කිව්වොත් තව කොටස් දෙකක් තියෙනවා.

      Delete
  5. කට්ටාස්,

    (ලංකාවේ ඉතිහාසය පිලිබඳ මගේ උනන්දුව තියෙන්නේ 1505 AD න් පස්සේ..)
    පරංගියා ලංකාවට ඇවිත් තොටගමුවේ පන්සලේ සතපවාලා තිබූ රාහුල හාමුදුරුවන්ගේ මෘත ශරීරය ගෝවට අරගෙන ගි⁣යාලු.
    දැන් ගෝවේ St. Francis Xsavier ⁣ගේ body එක ලෙස තියෙන්නේ මේ අපේ හාමුදුරුවන්ගේ body එකේ කොටස්බවට කියන කතාවට පිලිගත හැකි මූලාශ්‍ර තියෙනවාද?

    Clement Peris

    ReplyDelete
    Replies
    1. ක්ලෙමන්ට් තුමනි ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට. මං දන්න තරමින් මේ සිරුරේ හිමිකරුවා ගැන දෙපැත්තටම එක වගේ සාක්ශි තියනව. පෞද්ගලිකව මම හිතන්නෙ මළ සිරුරු දීර්ඝ කාළයක් කල් තබා ගත හැකි තාක්ශණයක් ලංකාවේ තිබුනු බව.මේ මිනිය ගැන ස්වාධීන විද්‍යාත්මක පර්යේෂණ සිදුව ඇති බවක් නොසිතමි. ආගමික විශ්වාස සමග පර්යේෂණ කිරීම දැලි පිහියෙන් කිරි කෑම වගේ වැඩක් නිසා වෙන්න ඇති.

      Delete
    2. නමුත් අවහ්‍ය නම් DNA පරීක්ෂණයක් කරන්න බැරි කමක් නැහැ නේද...

      හැබැයි ඉතින් එහෙම පරීක්ෂණ කරලා ඒ මළසිරුර රාහුල හාමුදුරුවන්ගේ බව ඔප්පු උනොත් අපේ ගොන් ආණ්ඩුව ඒක අරගෙන ඇවිත් ලොකු උත්සවයක් අරගෙන ආදාහනය කරලා දායි කැප්පෙට්ටිපොළ දිසාවේගේ හිස් කබලට කළා වගේ...
      ඊට පස්සේ එතුමාගේ දේහයට නියමිත ගෞරවය ඉෂ්ඨ කලා කියල විනාඩි පහෙන් පහට TV එකේ සහ රේඩියෝ එකේ ඇඩ් දායි...

      Delete
  6. රසබර ලිපියක්. මේ විස්තර ගොඩක් පාදක කරගෙන උපුල් ශාන්ත සන්නස්ගල ලියූ 'ලලනායනය' නවකතාවත් මතක් වුණා.
    සේරටම වැඩිය පෙනුණේ එදා ඉඳලම ආගමික නායකයෝ රජවරුන්ව නටවන හැටි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදිතුමනි. මේ කතාව කතා ආකරයක්. ඕන කෙනෙකුට ඕන චරිතෙකින් නවකතා ගණනක් ලියන්ඩ පුලුවන් තරමට විචිත්‍ර නාටකීය අත්දැකීමක් මේ යුගය.

      Delete
  7. අටම එන දාල තියෙනවා අලුත් බ්ලොග් වගයක ලින්ක් ටිකක්. ඒකෙ වෙල් මයිනා කියල තොටගමුවේ එකෙක් ඒ විස්තර ලියනවා. එකත් කියවන්න. මේක සුපිරි වැඩක්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කල්‍යාණ මිත්‍රතුමාගේ ඔත්තුවට. මම ඒ ලිපියේ බොහෝ බ්ලොග් වලට ගිහින් රස වින්දත් තොටගමු බ්ලොගය මග හැරී ගොස් තිබුනා. එය කියෙව්වට පස්සෙ තේරුනේ ජන ප්‍රවාද හා පුරා විද්‍යා සාක්ශි සහිත ඉතිහාසය කෙතෙක් පරස්පර වෙන්න පුලුවන්ද කියන එක. උදාහරණයක් විදිහට රාහුල හාමුදුරුවන්ගේ නායක හාමුදුරුවෝ විදිහට වීදාගම හාමුදුරුවෝ නම් කිරීම. ඇත්තෙන්ම වීදාගම හාමුදුරුවෝ රාහුල හිමියන්ට වඩා වයසින් හා ජ්‍යෙෂ්ඨත්වයෙන් බාල හිමිනමක්. රාහුල හිමිගෙන් පසු කලෙක වීදාගම හිමියන් සංඝරාජ පදවියට පත් උනා.

      Delete
  8. ඉදිරි ලිපි පළවන තෙක් බලා සිටිමි. නොඅැසූ නොකියවූ බොහෝ දෑ දැනගැනීමට සැලැස්වීම පිළිබඳ හද පිරි තුති...

    ReplyDelete