Thursday, August 30, 2018

සිරි රහල් නම් උතුමෙකි... - දෙවෙනි කොටස


තිරය විවර වෙයි.

අඳුර මැදින් කුවේණි නාට්‍යයේ ගායක පිරිසගේ හඬ ඇසෙයි.

ගලින් ගල ගටාලා
අන්ධකාරේ අතීතේ
ගිනි පුපුර මැවූ මුල්
මිනිස් තෙම ඉන් නොනැවතී 

එකම ගිනි සිලෙන් ඒ
ලෝ වටා ගිනි නගාලා
යුදට වැද උනුන් හා
එතෙර මෙතෙරත් සාගරේ

දසත නෙත් යොමන්නේ
නොදැන කිම්දැයි සොයන්නේ
ගිනි රැගෙන බලන්නේ
අතීතය මුණ ගැසෙන්නේ

කුවේණි නාටකයේ ගායක පිරිස වේදිකාවෙන් බැස යද්දී කට්ටකාඩුවේ පූරක වේදිකාවට එයි.


මතකනේ අපි හතර කෝරළේ ඉපදිච්ච, කෝට්ටේ හයවෙනි පරාක්‍රමභාහු රජ්ජුරුවෝ ගාව හැදිලා වැඩිච්ච, තොටගමුවේ විජයබා පිරිවෙණේ නායක ධූරයට පත්වෙච්ච අපේ රාහුල හාමුදුරුවොත් එක්ක කතා බහ කළා. උන්නාන්සේ බොහොම විස්සෝපයෙන් උන්නේ රජ්ජුරුවන්නේ ඔටුන්න බාර ගන්ඩ එතුමාට පුත් කුමාරයෙක් නැති එක ගැන. උන්නාන්සේ විතරක් නෙවෙයි කෝට්ටේ මාළිගේ ඔක්කොමලා එහෙමයි. හැබැයි රටේ ඊට වෙනස් මතයකුත් තිබුනා. ඒ ගැන අහන්ඩ අද අපි හම්බ වෙන්නේ රාහුල හාමුදුරුවෝ වගේම උගත් වියත් පඬි රුවණක්. නම කියපු පමණින් අදත් මිනිස්සු දන්නා වීදාගම මයිත්‍රීය හාමුදුරුවෝ. එන්ඩ අපිත් එක්ක මේ කතාබහට එක්කහු වෙන්ඩ.


අවසර හාමුදුරුවනේ

ආ හතර කෝරළෙන් කිව්වා නේද? අනාගතේ ජීවත් වෙන මිනිස්සු මොනවද අපි ගැන කියන්නේ.

ඔබ වහන්සේ ලියපු බුදු ගුණ අලංකාරය, ලෝවැඩ සඟරාව වගේ පොත් පත් නං අපේ කාලෙත් භාවිතයේ තියෙනවා.

ඒ උනාට ඒ විදිහට ජීවත් වෙන්නේ නෑ නේද?

අවාසනාවකට එහෙමයි හාමුදුරුවනේ

අනාගතේ පිළිවෙලකට ගොඩ නගන්නයි අපි හුගක් දේවල් කලේ.  හැබැයි අපේ ඇස් පනාපිටම ඒ දේවල් කඩා වැටිච්චි කොට අනාගතේ ගැන කවර කතාද?

මම මේ අහන්ඩමත් කියල හිටියේ හාමුදුරුවනේ අපේ පරාක්‍රමභාහු රජ්ජුරුවොත් එක්ක ඔබ වහන්සෙගේ තිබ්බ විරසකේ ගැන.

කවුද කියන්නේ මහ රජ්ජුරුවොත් එක්ක අපි විරසක උනයි කියල? කවදාවත් නෑ. මට ප්‍රශ්නයක් තිබ්බේ රජ්ජුරුවන්ට පස්සේ ඔටුන්න යන්නේ කාටද කියන එක ගැන විතරයි.

තව ටිකක් පැහැදිලි කලොත්?

දන්නවනේ රජ්ජුරුවන්ට පුත් කුමාරයෙක් හිටියේ නෑ. හිටියේ දුවලා දෙන්නෙක්. පුත් තනතුරේ හැදුනේ සපුමල් කුමාරයත් අම්බුළුගල කුමාරයත් දෙන්න. අපේ රාහුල හාමුදුරුවෝ පුතෙක් වගේ රජ්ජුරුවෝ ගාව හැදුනට උන්වහන්සේ මහණ උනානේ. ඉතිං ඉතුරු උනේ අර දෙන්නා විතරයි.

එහෙමයි

එතකොට රජ්ජුරුවෝ වෙනුවෙන් මේ දෙන්නම තමන්ගේ යුතුකම් ඉටු කළා. සපුමල් කුමාරයා කාලෙකට පස්සේ රට එක් සේසත් කරන්ඩ රජ්ජුරුවන්ට උදව් උනා. සපුමල් නැත්නං යාපනේ ආර්ය චක්‍රවර්ති එලවනවා බොරු! අම්බුළුගල කුමාරයා හතර කෝරළේ පාලනය කරමින් උන්නා. මේ දෙන්නම රජ්ජුරුවන්ට එක දසමෙක විරුද්ධත්වයක් පෙන්නුවේ නෑ. ශූරයි. වීරයි. ඉතින් ඒ අයට නේද ඔටුන්න හිමි වෙන්ඩ ඕන?

ඒ උනාට රජ්ජුරුවෝ හිතුවේ වෙනස් විදිහකට?

ඔව්. රජ්ජුරුවොයි රජ්ජුරුවෝ ලඟම හිටපු වන්දි භට්ටයොයි හිතුවා රජ්ජුරුවන්නෙම පුතෙක් නැත්නං මුනුපුරෙක් හරි සිංහාසනේට ගේන්ඩ.

ඒක වැරදිමත් නෑ.

එකේ වැරැද්ද තියෙන්නේ කාලෙත් එක්ක. පරාක්‍රමභාහු රජ්ජුරුවෝ රජ වෙනකොට තිබ්බ රට නෙවෙයි උන්නාන්සේගේ අවසාන කාලේ වෙනකොට තිබුනේ. රට එක සේසත් වෙලා. ආර්ථිකේ දියුණු වෙලා. සංස්කෘතිය වෙනස් වෙමින් තිබ්බා වේගෙන්. ඒ වෙලාවේ රටට ඕන පරිණත නායකයෙක්. පොඩි දරුවෙක් සිංහාසනේ තියලා වටේ ඉන්න අවස්ථාවාදී මිනිස්සු රට පාලනය කරන එක කාට හොඳ උනත් රටට හොඳ නෑ.

කෙලිම්ම කියන්ඩකෝ හාමුදුරුවනේ මොකද උනේ කියල.

ඔය මම කියන්නේ අනාගතේ ඉන්න අයට පුරුදු විදිහට නං 1465 අවුරුද්ද ගැන, රජ්ජුරුවෝ වයසට ගිහිං. නිතරම ලෙඩ ගානේ හිටියේ. එතුමාට ඒ වෙනකොට වයස හැත්තෑවක් විතර ඇති. ජයවීර කුමාරයට ඒ කියන්නේ රජ්ජුරුවන්ගේ දුව උලකුඩය දේවියගේ පුතාට ඒ වෙනකොට වයස  දහ තුනක් දා හතරක් ඇති. එහෙව් ළාබාල කුමාරයෙක්ට පුලුවන්ද එක්සේසත් ලංකාව පාලනය කරන්ඩ?

ඒ වෙනකොට සපුමල් කුමාරයට වයස?

හතළිහක් විතර. අම්බුළුගල කුමාරයාටත් තිස් පහක් තිස් හතක් විතර ඇති.

ඔබවහන්සේ හිතුවේ කොහොමද?

මම විතරක් හිතපු දේ වැදගත් නෑ. හුගක් මිනිස්සුත් මමත් හිතුවේ රජ්ජුරුවන්ට පස්සේ සපුමල් කුමාරයා රජ වෙලා උන්නාන්සෙට පස්සේ අම්බුළුගල කුමාරයා රජවෙලා ඊට පස්සේ ජයවීර කුමාරයා රජ උනොත් හොඳයි කියල. එහෙම උනානං රටට හොඳයි. ඒකනේ දෙවිනුවර අපේ තිලක පිරිවෙණේ නායක හාමුදුරුවෝ මුල්කිරිගල විහාරයේ නායක පදවිය දරන කාලේ කෝකිල සංදේශය ලියන්නේ.

අපිටත් මතකයි ඒ කවිය. කෝකිලයා කෝට්ටේ රාජ සභාවෙදි රජ්ජුරුවෝ හම්බ වෙලා කියනවා ඔබ වහන්සේගේ පුත් තනතුරේ හැදිච්ච සපුමල් කුමාරයට අපි මේ සංදේශයක් ගෙනියනවා කියල. හරියට රජ්ජුරුවන්ටත් මතක් කරලා දෙනවා වගේ සපුමල් කියන්නේ ඔබේ පුතාම නොවුනත් පුතා වගේ හැදිච්ච කෙනා කියල.

සැපතින් දිනිඳු දිනු හිමි සඳ දැන්      ඔබට
ඔබ තුනු සිරියුත් පත් තෙන     තනතුරට
සිප සිරි සඳ වැඩි සපුමල්             කුමරිඳුට
අප යති හිමි අස්නක් දිනි දෙන      ලෙසට

මතකද කෝකිලයට සපුමල් කුමාරයා පෙනිච්ච විදිහ?

අස්නක් සදිසි සිරිසඳ හිඳින             හැමවර
දිස්නක් ලෙසින් මුළු සිරිලකට          පුවතර
සස්නත් ලොවත් රක්නා රජකුට         පවර
අස්නක් රැගෙන යන ගමනකි දුරු    කතර

හරියට ලෝකයත් ශාසනයත් රකින බලවත් මහා රජෙක් වගේ නේද හාමුදුරුවනේ?

හරියට හරි. 

මේ උත්සාහයට රජ වාසල ප්‍රතිචාර දක්වන්නේ කොහොමද හාමුදුරුවනේ?

ඒකනේ ඔය ගිරා සංදේශයෙන් කියවෙන්නේ! ඒකෙන් යාපනය දිනාගත්තෙත් රජ්ජුරුවන්ගේම දක්ෂතාවෙන් කියල කියනවා. ඔන්න දැන් සපුමල් කරපු දේත් අමතක කරවන්ඩයි හදන්නේ.

මෙලක                               නිරිඳුන්හට
අවනත නොවූ පෙර                       සිට
ආරිය සක්                                   විතුට
නොමඳ බල සෙන් යවා             යුදයට

කළ යුදෙහි                          රිදවා
එනිරිඳුහු ලුහු                     බඳවා
ඔහුගෙ ඔද                         සිඳුවා
මයිල් නා බෑ මලුන්             බඳවා

හාමුදුරුවනේ ඔබ වහන්සේට කියන්ඩ අපේ කාලෙත් ඔහොම දෙයක් උනා. යුද්දේ දිනපු සෙන්පතියා අමතක කරවලා හිරේ දාලා යුද්දේ දිනපු ගෞරවේ එහෙම පිටිම්ම රජ්ජුරුවන්ටම ගන්ඩ උත්සාහ කළා.

ඉතිහාසේ වෙච්ච දේවල්ම තමයි ආයෙත් අනාගතේදී වෙන්නේ. අඩු ගානේ බල ලෝභය හින්ද අපේ කාලේ වෙච්ච අකරතැබ්බ අනාගතෙදිවත් වලක්කගත්තේ නැත්නං අපේ රටට ජාතියට කවදාවත් දියුණුවක් ලැබෙන්නේ නෑ.

මේ ගිරා සංදේශයට උත්තර දෙන්න නේද ඔබ වහන්සේ හංස සංදේශය ලියන්නේ?

ඔව්. අළු යට ගිණි පුපුරු තියෙන කොට කොයි වෙලාවේ හෝ පත්තු වෙන බව හැමෝටම මතක් කරලා දෙන්ඩයි ඕන උනේ. බලහත්කාරකමින් ඔටුන්න මුණුපුරාට දුන්නොත් මිනිස්සු නැගිටීවි. එහෙම නැත්තං කුමන්ත්‍රණ පටන් ගනීවි. එක එකා මරා ගන්ඩ ගත්තම අන්තිමට රට වල පල්ලට යනවා. රටට නායකයෝ නැති වෙනවා. රට වල්මත් වෙනවා.

හාමුදුරුවනේ ඔය වගේම දෙයක් අපේ කාලෙත් උනා. හුගක් නායකයෝ එකපාර විනාශ වෙච්ච හිංදා පඬරැල් මහා ගස් වගේ පේන්ඩ පටන් ගත්තා.

එකනේ මම කිව්වේ. බලයට තියන කෑදරකම හින්දා තමුනුත් නැහෙනවා රටත් විනාශ කරනවා කියල.

හංස සන්දෙශේ පැත්තට හැරුනොත්.

ඔව්. ඔය කාලේ වෙනකොට රාහුල හාමුදුරුවෝ රජ්ජුරුවන්නේ මුනුපුරාව ඒ කියන්නේ ජයබාහු කුමාරයාව, රජ්ජුරුවෝ ජීවත් වෙලා ඉන්දැද්දිම රජ කරවන්ඩ කටයුතු කරමින් හිටියා. ඉතින් මම වනරතන සංඝරාජ හාමුදුරුවන්ට මතක් කරලා දුන්නා ඕන නැති විදිහට රටේ දේශපාලනේට සමහර සංඝයා වහන්සේලා ඇඟිලි ගහන එක රටට වගේම ශාසනේටත් හොඳ නැති බව.

මෙන්න ආයෙත් එනවා අපේ කුවේණි නාට්‍යයේ පූරක තැන.

පොළෝ තලයෙන් වැසුණු බිජුවට
නැගී එන සේ දිනෙක පසු කල

අතීතේ සැඟවුණු කඳුළු බිඳු
ලෙයත් ඩහදිය මඳ සිනා රැලි

අන්ධකාරෙන් දුරාතීතේ
නැගී යළි එක්වේය අප හා
අපේ කඳුළැලි ලෙයත් ඩහදිය
සමග මුසු වී ලෝ දහම සේ....

එහෙනං අද කතාව හමාර කරන්ඩ කාලේ ඇවිල්ලා. දේශපාලනෙත් එක්ක ආගම පැටලිලා මධ්‍යස්ථව ඉඳගෙන විවේක බුද්ධියෙන් අනුශාසනා කරන්නේ නැතුව එක එක කඳවුරු වලට බෙදිච්ච අනුශාසකයෝ ගැනයි අපි කතා කලේ. ඒ අයගේ උපදෙස් පිට වැඩ කරනවා වගේ පෙන්නපු දේශපාලකයෝ මොකද කලේ. කවුරු කා වෙනුවෙන්ද කඩේ ගියේ? අන්තිමට කාගෙ කාගෙත් බෙලි කැපෙන හැටි පෙන්නන අන්තිම කොටසත් අරගෙන ඉක්මනට එන්නං. එතකල්....

ආයු බෝ වේවා
සව් සිරි ලඟා වේවා
සැමට සෙත වේවා
බුදුන් සරණින් ජයම වේවා!

ආශ්‍රිත ග්‍රන්ථ 
සිංහල සංදේශ කාව්‍යයේ දේශපාලන පසුබිම - සිරි තිලකසිරි (2005) ගොඩගේ ප්‍රකාශන
සිංහල සංදේශ කාව්‍යයේ සමාජ පසුබිම - සිරි තිලකසිරි (2008) ගොඩගේ ප්‍රකාශන
කෝට්ටේ යුගයේ පද්‍ය ප්‍රබන්ධ ප්‍රථම හා ද්විතිය භාග - එච්. එම්. මොරටුවගම (2010, 2010) රත්න පොත් ප්‍රකාශන
ශ්‍රී ලංකාවේ සංඝ සංවිධානය - මධ්‍යතන යුගය - මැන්දිස් රෝහණධීර (2016) බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
පරෙවි සංදේශය - සිරි තිලකසිරි (2005) රත්න පොත් ප්‍රකාශන

කෝකිල සංදේශය - වී.ඩී.එස්. ගුණවර්ධන (2009) ගොඩගේ ප්‍රකාශන
කුවේණි - හෙන්රි ජයසේන (2016) ගොඩගේ ප්‍රකාශන

7 comments:

  1. හැම තැනම ගේම් බලාගෙන යනකොට

    ReplyDelete
  2. KLM, have u noticed that the concepts of nation, race and patriotism were somewhat different in the past? What was most important was the Kingdom/province/region and king/leader. To protect those there were inter-racial, inter-religion and international alliances. The ideas of Sri Lanka and Sinhala took 2nd place to the loyalty towards your regional leadership and region. I think it was so in many feudal societies all over the world. The concepts of country and race evolved later to the present level.

    ReplyDelete
    Replies
    1. I think it was mostly because of the communication difficulties. The quicker you can address your vassals & quicker you can send your troops, bigger the area you can control. City states of Europe is the best example.

      Delete
  3. සිංහල දෙමල භේදයක් තිබිලා නෑ නේද අතීතයේ

    ReplyDelete
  4. සුපිරියි බොලං! මට නිකං මැවිලා පේනවා පේනවා වගෙ කට්ටාත් අර මධුර ජවනිකා නාට්ටියෙ බන්ධුල විජේවීර වගේ එක එක චරිත වේදිකාවට ගෙන්නලා විස්තර කතාබහ කරනවා..

    ReplyDelete
  5. ඉතිහාසය මෙන්න මේ වගේ ලියනකොට තමා කියවන්න හිතෙන්නේ.. සිද්ද වෙච්ච දේවල් වුනත් තේරුම් ගන්න ලෙසියි.

    ReplyDelete