Friday, September 14, 2018

භූත සෙල්ලම

ඝරසරප ෆිල්ම් එකේ කළු කුමාරයා කියන අද්භූත බලවේගය එක්ක කතා කරනවා කියල කියනවා.කළු කුමාරයා ආදරයත් එක්ක බැදිච්ච අද්භූත සංකල්පයක්. ආදරය කියන දෙයම මහා අද්භූත දෙයක් වෙච්චි කොට ආය වෙන අද්භූත දේවල් එක්කහු නොකරත් හැම ආදර කතාවක්ම අද්භූත කතාවක්. නිකමට හිතල බලන්ඩකො කොහොමද දෙන්නෙක් ආදරෙන් බැදෙන්නේ? කොහොමද ආදරේ කරන කෙනා වෙනුවෙන් අප්රමාන කැපකිරීම් කරන්නේ? එහෙව් කැප කිරීම් කරපු කෙනා සමහරවිට නොහිතූ, නොපැතූ විදිහට ඇත ඇරලා දාලා යන්නේ? එහෙම නැත්තං ආදරයත් එක්ක ජීවිතේ ඉවර වෙනකල් කටු කාගෙන ජීවත් වෙන්නේ?

ඔයවගේ දාර්ශනික දේවල් ගැන හිත හිතා ඉන්නකොට මට මතක් උනා අපි පොඩි කාලේ වෙච්ච සිද්දියක්. මේ සිද්ධිය වැඩි හල හොල්මනක් නැතුව ගලාගෙන ගිය අපේ ගමේ ජීවිතේ කොච්චර වෙනස් කරාද කියනවනං තාමත් මිනිස්සු මේ ගැන කතා වෙන වෙලාවල් තියනවා. ඉතිං අද කතාව ගැන.

කතාවේ මූලිකයා කවුරු උනත් මේක උනේ අපේ පල්ලෙහාගෙදර මාමලාගේ ගෙදර. ගෙදර කට්ටිය ගැන මම දැන් කතා දෙක තුනක ලියල තියනවා සමහරුන්ට මතක ඇති. අමතක අය බාචි ගේ පොල් හොරකම ගැන මෙතනිනුත්, පල්ලෙහාගෙදර මාමාගේ සමාජ සේවය ගැන මෙතනිනුත් බලා ගන්ඩ පුළුවන්.


ඔය පල්ලෙහාගෙදර මාමගේ දුව ගීතක්කා අදත් රූප සොභාවෙන් වරදක් කියන්ඩ බැරි කෙනෙක්. එහෙව් එකේ මීට අවුරුදු තිහ හතළිහකට කලින් උන්දැ කෙල්ල කාලේ විස්තර කියන්ඩ ඕන නෑනේ. ගමේ කොල්ලන්ගේ සිහින කුමාරිය උනේ එඋන්දෑ. කාලේ ගීතකට අවුරුදු දාසයක් දාහතක් විතර ඇතිලු. ගීතක්කාගේ මලයා කියන්නේ පල්ලෙහාගෙදර මාමගේ පුතාට අවුරුදු දොළහක් විතර වෙන්ඩැති.බොහොම සාමකාමීව ගොවිතැනක් කරගෙන ජීවත් වෙච්ච මේ පවුලට හෙනහුරා ලැබුවේ නොහිතපු වෙලාවට. මට තව කතාවක් කියන්ඩ බැරි උනා. තමයි පල්ලෙහාගෙදර මාමාගේ අප්පච්චි ගමේ ටිකක් ප්රසිද්ධ හන්දි වෙද මහත්තයෙක්. ඔය කියන කාලේ වෙද අත්තා තමුන්ගේ වෙදකම මුණුපුරා වෙච්චි ගීතක්කාගේ මලයාට උගන්නන්ඩ  පටං ගත්තු කාලේ. මොකද පල්ලෙහාගෙදර මාමාට වඩා වෙදකම පලදෙන්නේ මුනුපුරෙකුට කියල වෙද අත්තා හිතපු හිංදා. බේත් ජාති හොයාගන්ඩ තියෙන්නේ කැලෙන්. ඉතින් උදව්වට කෙනෙක් ඕනෑමයි. අන්න එහෙමයි ජයසුන්දර අයියා පල්ලෙහාගෙදරට එන්නේ. ජයසුන්දර අයියාගේ ගෙවලුත් පල්ලෙහාගෙදර මාමලාගේ ගෙදර ඉඳලා වැඩි ඈතක නෙවෙයි. හැබැයි හරි දුප්පත්.
ඕන ඉතින් මේ පසුබිමේ තමයි කතාව සිද්ධ වෙන්නේ.

උඹ මොකද අර ජයසුන්දර කොල්ලත් එක්ක මුකුළු පාන්නේ? ඇවිල්ලා ඉන්නේ මල්ලිට වෙදකම ඉගෙන ගන්ඩ උදව් කරන්ඩ. උඹත් එක්ක ජෝඩු වෙන්ඩ නෙවෙයි පල්ලෙහාගෙදර නැන්දා ගීතක්කට දෝස්මුරයක් තිබ්බේ දවස් දෙක තුනක ඉඳලා ගීතක්කාගේ හැසිරීමේ වෙනසක් දැක්ක හිංදා

අනේ මේ අම්මට පිස්සු නේ. මට ඔය විසයක් නෑ. මොනවද මේ අම්මලා හිතන්නෙ? ගීතක්කා බාල්දිය ආපහු තමන්ගේ අම්මා පිටටම පෙරලුවා.

යකෝ තමුන්ගේ දුවට පද හදන්නේ පිට කවුරුවත් නෙවෙයි තමුන්නෙම අම්මනේ! පල්ලහාගෙදර මාමත් දුව කියන දේට එකග උනා.

ඔහොම සති දෙක තුනක් ගත වෙද්දී ගෙදර අමුතු අමුතු දේවල් වෙන්ඩ පටන් ගන්නවා. බත් හැලියට වැලි වැටෙනවා. වහලෙට වැලි ගහන සද්ද ඇහෙනවා. මිදුලේ කිරි මැටි ගුලි වැටිලා තියනවා. හැමෝම කියන්නේ පෙරේත දිස්ටියක් වැහිලා කියල.

ඔව්ව තව සතියක් දෙකක් යනකොට නැති වෙලා යයි. මම මේ දවස් වල කොල්ලට මන්තර දෙක තුනක් උගන්නනවා. එව්වයේ වචන එහෙ මෙහෙ උනාම නොහිතපු දේවල් වෙන්ඩ ඉඩ තියනවා වෙද අත්තා කිව්වේ තමන්නේ පාරම්පරික වෙදකමේ සත්ත ගැන පාරම්බාන ගමන්.

ඉතින් අප්පච්චි ඕක හරියට කරන්ඩකෝ එතකොට මේ කරදර නෑනේ පල්ලෙහාගෙදර මාමා දෙතුන් පාරක් කිව්වා.

මේ බලගතු මන්තර හැමදාම පාවිච්චි කරන එව්වා නෙවෙයි බං. මට දැන් වයසයි. ඉතිං පොඩ්ඩ පොඩ්ඩ වැරදුනා වෙන්ඩ පුළුවන්.

කියන්නේ අපේ එකා ඉගෙන ගන්නේ වැරදි මන්තරද?

නෑ...නෑ...ඔය එක දෙකක් වැරදුනාට සෑත්තරේ කොල්ලට පිහිටනවා.

මේ වෙන දේවල් පෙරේත බැල්මකින් වෙන එව්වා නෙවෙයි කියලද අප්පච්චි කියන්නේ?

මොන පෙරේත බැල්මක්ද බං ඔන්න බලහංකො තව දවසක් දෙකක් යනකොට ඔව්වා ඇරිලා යයි!

අනේ වෙද අත්තා එහෙම කිව්වට වැඩේ දවසින් දවස වැඩි උනා මිසක් අඩු උනේ නෑ. වෙද අත්තා අන්තිමට මන්තර ඉගැන්නිල්ල නවත්තලාම දැම්මා. ඒත් ප්රශ්න වැඩි උනා මිසක් අඩුවක් නං උනේම නෑ.

තමන්ගේ ගෙදරට රෑට රෑට ගල් වදින සද්දයක් අහුනට ඇත්තටම එහෙම ගලක් පේන්ඩ නැති බව පල්ලෙහාගෙදර මාමට තේරුනා. මේ කතාව ටිකෙන් ටික ගමේ පැතිරිලා යද්දී ගමේ කවුරුවත් ගොම්මන් වේලාවෙන් පස්සේ පල්ලහාගෙදර පැත්තේ යන එක නැවැත්තුවා. බයට? බයට කියල කවුද කිව්වේ? අපේ ගමේ ඉන්න සූර වීර මිනිස්සු යකෙකුටවත් බය නෑ බොලව්!!!! හැබැයි අපි මොකටද ඔය ඇට වෙදාගෙයි පෙරේතයන්ගෙයි වැඩවලට මැදිහත් වෙන්නේ කියල හිතලයි අපේ කට්ටිය නොගියේ. අනුන්ගේ ඕපදූප හොයන ගතියක් අපිට ඇත්තෙම නෑ. ඔය කතාව උනත් මිනිස්සු හොරෙන් හොරෙන් ගම පුරාම පතුරුවලා ඇරියේ අපේ ගමේ තොරතුරු දැනගැනීමේ පනත අනුව තොරතුරු ළඟ තබා ගැනීම භයානක කිරිමිනෙල් වැරද්දක් වෙච්ච හිංදා නැතුව කට තියාගෙන ඉන්ඩ බැරිකමට නෙවෙයි.

මේක හරි මගුලක් නේ? ගල් ගහනවා ඇහෙනවා හැබැයි උදේ බලපුවාම කිසිම ගලක් නෑ? මාමා විස්සෝපෙන් කිව්වා.

අදත් රෑට සද්දේ ඇහුනොත් වෙලාවේම එලියට බැහැලා බලමුද? නැන්දා මාමාගෙන ඇහුවේ මාමා රෑ උනාට පස්සේ ගෙයින් එලියට ගන්න එකට වඩා ගල් බෙනයක් ඇතුලට ගිය ඉත්තෑවෙක් එලියට ඇදලා ගන්න එක ලේසි බව නොදැන නෙවෙයි.

අපේ අප්පච්චිගේ වැඩනේ! එක්කෝ බැරි මගුල් නොකර නිකා ඉන්ඩ ඕන. ඔය මන්තර වැඩේ පටන් ගන්ඩ ඉස්සර මේ කිසි කරදරයක් තිබ්බේ නෑනේ. මාමා වෙද ආතට වැරැද්ද පටවලා ගල් සද්දේ හොයන්ඩ එලියට බහින වැඩෙන් කර ඇරියා.

මේ...මම අහන්ඩ කියලමයි හිටියේ...මේ කරදර දවස් ටිකේ අර ජයසුන්දර ළමයට රෑට අපේ ගෙදර නවතින්ඩ කියමුද?

අම්මපා මෙහෙමත් ගෑණු! දැන් මීට ටික දවසකට ඉස්සර තමුසෙමනේ කිව්වේ අපේ කෙල්ලත් එක්ක මුකුළු කරනවා කියල.

අනේ උගේ වැරද්දක් මම කිව්වේ නෑ. මං කිව්වේ අපේ එකීගේ මුකුලුව වැඩියි කියල ඌත් එක්ක....අපේ ගමේ ගෑනු අය කවදාවත් වැරදි කරන්නේ නෑ. අය අතින් වැරදි වෙන්නෙත් නෑ!!!

තමුසෙට බය නං ඌට ඉන්ඩ කියනවා.

අනේ මේ මගෙන් අහගන්ඩ එපා තමුසෙගෙ බය ගැන

හරි හරි ඉතින් ජයසුන්දරයට ඉන්ඩ කියනවකො!

ඔන්න ඔහොමයි ජයසුන්දර අයියා පල්ලෙහාගෙදර රෑට නිදා ගන්ඩ ආවේ. උනත් ගල් සද්දේ නැති උනේ නෑ. හැබැයි ජයසුන්දර අයියා පුතය වගේ එළියට බැහැල බලන කොට ගල හම්බ උනා.ඒක දැකපු නැන්දා මාමා දිහාට හැරිලා සමච්චල් හිනාවක් දැම්මේ අනේ තමුසෙගෙ පිරිමිකම කියනවා වගේ බැල්මකින්.

මේ ගල අරන් තියහන් නොපෙනෙන තැනකින්...මාමා නැන්දගේ හිනාව නොදැක්ක ගානට කිව්වා.

අනේ ඊගාව දවසෙත් රෑ ගල් සද්දේ ඇහුනා. ජයසුන්දර එලියට බැස්සේ මාමත් එක්කමයි. එදා ගල තිබ්බේ කුස්සිය පැත්තේ. හැබැයි ඊයේ වැදිච්ච ගල වගේමයි ඇරපු අතක් නෑ.

ඊයේ අරං තිබ්බ ගල ගේන්ඩකෝ...මේ ගල් දෙකේ සමානකම දැක්ක මාමා කිව්වා.

නැන්දා ගේ ඇතුලට ගිහිං ඇවිල්ලා කිව්වේ ගල තිබ්බ තැනින් අතුරුදහන් වෙලා කියලයි.

මොකක්?

ඔව් ගල තිබ්බ තැන දැන් නෑ!!

මේක මාර වැඩක් නේ...අද ගලත් අරන් තියනවකෝ! දැන් මේ සිද්ධිය හැමෝටම හරි ප්රශ්නයක්.

පහුවදත් ඊට පහුවදත් විදිහට දිගටම අර ගල ගෙදරට වැදුනා. පුදුමේ කියන්නේ දවල් වරුවෙම ගේ ඇතුලේ තියෙන ගල හවස් වෙනකොට අතුරුදහන් වෙන එක. ඊට පස්සේ රෑ ගලම ආපහු ගෙදරට වදින එක!!

පල්ලෙහාගෙදරට වැහිලා ඉන්න භූතයා ගැන දැන් මුළු ගමේම විතරක් නෙවෙයි අහල ගං වලත් ප්රසිද්ධයි. එහෙව් භූත බලවේග තියන තැනකට රෑට විතරක් නෙවෙයි දවල්ටවත් මිනිස්සු ආවේ නැත්තේ බයට නෙවෙයි. අනුන්ගේ දේවල් වලට අපි මොකටද ඇගිලි ගහන්නේ කියල හිතල.

බැරිම තැන තොවිලයක් නැටුවා. ඒත් ගුණයක් නෑ.

තව තෝත්තර වගයක් කළා. කිසි වෙනසක් නෑ. වෙනදා ගමේ හැමෝම ආව ගිය ගෙදර දැන් වැඩි පුර ඉන්නේ කට්ටඩියෝ. ඒත් කිසි වෙනසක් උනේ නෑ. මේ තොවිල් පවිල් වලට ඕන කරන අඩුම කුඩුම හොයන එක පන යන වැඩක්. ගමේ මිනිස්සුත් එන්ඩ යන්ඩ අදිමදි කරන එකේ මේ හැම වැඩක්ම කරන්ඩ උනේ පල්ලෙහාගෙදර මාමටයි ජයසුන්දරට අයියටයි.

තොවිල් පවිල් වැඩ වලට ගිහින් මාමගේ අතේ සතේ නැති වෙන විදිහට හිඳුනා. රස්සාවට යන්ඩත් ඕන මොකද ගන්ඩ පුළුවන් නිවාඩු ඔක්කොම අරං ඉවරයි. ගෙදර ප්රශ්න විසදෙන්නෙත් නෑ.

ඔන්න ඔය අතරේ තමයි ජයසුන්දර අයියා ගීතා අක්කා ගැන තමන්ගේ කැමැත්තක් තියන බව මාමටයි නැන්දටයි කියන්නේ. තමන් පත් වෙලා ඉන්න අසරණ තත්වෙදී ගමේ උන් තමන්ව අමතක කරන කොට තමුන් එක්කම හිටපු එකා හින්දාත් බංකොලොත්වෙලා ඉන්න තමුන්ට දුව වෙනුවෙන් දෑවැද්දක් දීලා කෙසේ වෙතත් බේ භූත කතන්දර හිංදා පිට හොඳ තැනකින් කටයුත්තක් කරලා දෙන්ඩ අමාරු වෙන බව දන්නා හින්දත් නැන්දත් මාමත් දෙන්නම ජයසුන්දරට කැමති වෙනවා. ගීතා අක්කත්  වැඩේට කැමතියි. ඉතින් හොඳ වෙලාවක් බලලා වැඩි අරුමෝසම් නැතුව ජයසුන්දර අයියා ගීතා අක්කාව කසාද බඳිනවා.

ඔන්න ඔහොමයි කතාව ඉවර උනේ!

භූත සෙල්ලමට මොකද උනේ ඇහුවා? ඒක කසාදෙට පස්සේ නැති උනා.අද වෙනකල් අය සිද්ධිය උනේ නෑ. හරි පුදුමයි නේද? ජයසුන්දර අයියා අපේ ගමේ ජාතික කර්තව්යය වෙන කුදාර් වෙලා කන් කඩා වැටෙන්ඩ කසිප්පු ගහන එක නොකරන හිංදා භූත සෙල්ලම උනේ කොහොමද කියල ගමේ අය දැනගත්තේ නෑ. හැබැයි ටිකක් වැඩි වෙච්ච දවසට පල්ලෙහාගෙදර මාමා ජයසුන්දර අයියාගේ වැඩ ගැන මතක් කරන්නේ තිත්ත කුණුහරුප වැලකුත් එක්ක. ඔය ...යා මගේ දුවව රවට්ටගත්තා මදිවට අපි කාටවත් මිනිහෙක්ගේ මූණ බලන්ඩ බැරි තැනට දැම්මා!! මාමා සිද්ධිය මතක් කලේ එහෙම.

ගමේ කට්ටිය නං කියන්නේ ජයසුන්දර අයියා මේ ප්ලෑන් එක ගහලා ගීතා අක්කත් එක්ක එක්කහු වෙලා ක්රියාවට නැගුවා කියලයි. ගේ ඇතුලේ හංගන ගල ජයන්සුන්දර අයියට ගෙනල්ල දෙන්නේ ගීතා අක්කලු. දවසක් අර දවසක් වගේ කාටවත් සක නොහිතෙන් විදිහට ගීතා අක්කම වහලෙට ගල්  සමහරු කියනවා.

මම කිව්වනේ ආදරේ කියන්නේ හරි අද්භූත කාරණයක් කියල. හින්දම වෙනද ඇති මේ සිද්ධිය වෙලා අවුරුදු තිහ හතළිහකට පස්සෙත් අපේ ගම පළාතේ කට්ටිය මේක මතක් කරන්නේ. ජයසුන්දර අයියා නැති තැන ගමේ මිනිස්සු එයාට කියන්නේ භූතයා කියල බව මට කියන්ඩ බැරි උනා. එක අතකින් හැම ආදරවන්තයෙක්ම භූතයෙක්. හැම ආදරවන්තියක්ම භූතියක්!!!    


14 comments:

  1. කට්ට මල්ලි හරියටම හරි
    ආදරේ අද්භූත වගේම සමහර වෙලාවට පුදුම ත්‍රාසජනකයි
    හීනෙන්වත් ගන්නේ නැති අවදානම් ආදරේ නිසා මිනිස්සු ගන්නවා

    මම පාසලේ දහවෙනි ශ්‍රේණියේ ඉන්න කාලේ මගේ යාලුවෙකුට තිබ්බ
    දෙමව්පියන් විසින් සිරකරන ලද තමන්ගේ පෙම්වතියව දැක බලා ගැනීමේ දැඩි උවමනාවක් .

    අපේ ගෙදර උඩු මහලට නැග්ගහම, මේ පෙම්වතියගේ උඩු මහලත් දර්ශනය වෙනවා, හැබැයි පොඩි පරහකට තිබ්බේ ඒ අතරමැද වත්තක තිබ්බ තඩි පුවක් ගහක් නිසා ඇතිවන බාදාව.
    අපේ යාලුවා තීරණය කරා මේ පුවක් ගහට වැඩක් දෙන්න, හැබැයි මේ වත්ත අයිති එකා පැත්තේ ඉන්න ලොකුම නසරානියා. කපන්න ගිහිල්ල අහුඋනොත් කඩු පහර නොවැරදීම ලැබෙනවා .
    විශ්වාස කරපන්,අපේ යාලුවා ඉස්කෝලේ ලැබ් එකෙන් ඉස්සුවා අදික සාන්ද්‍රණය සහිත සල්ෆුයිරික් අම්ලය , පියන ඇරියාම දුන් දානවා , මු බෝතලේ සාක්කුවේ දාගෙන ආවේ , ඉහුරුනනම් මුගේ පදාසේම ඉවරයි .

    මහා රෑක මමයි මුයි මූණවල් බැදගෙන , නසරානියගේ වත්තට පැන්නා, ඉන්ජක්සන් කටුවකින් දුන්නා ඇසිඩ් පාර
    ගහේ මුල් වලටයි ගොබේටයි .

    වැඩිම උනොත් සතියයි , අනේ අර සශ්‍රික ගහ බිම කියහන්කෝ
    ගෙදර උන් කිව්වේ කාගේ හරි ඇස වහ කටවහ වැදිලා කියල

    ReplyDelete
    Replies
    1. අම්මප ඇත්ත! හුගක් ආදර කතා ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් ෆිල්ම් වගේ තමයි.

      Delete
  2. ඔය ගල්, වැලි සීන් ගොඩක් වෙන්නෙ ගෙදර අයගෙන්මයි කියල අර කොවුර්ගෙ කතාවල තියෙනව. ගෙදර මිනිස්සුන්ට තිබුණෙ තොයිල් කරන්නැතුව ගල අතුරුදන් වෙන්නෙ කොහොමච කියල හොරෙන් බලාගෙන ඉන්න එක.

    //මම මේ දවස් වල කොල්ලට මන්තර දෙක තුනක් උගන්නනවා. එව්වයේ වචන එහෙ මෙහෙ උනාම නොහිතපු දේවල් වෙන්ඩ ඉඩ තියනවා// හැරී පොටර් වගේ තියෙන්න ඇති. හැක්..

    ReplyDelete
    Replies
    1. ගමේ වෙච්චි සමහර වැඩ ගැන හිතනකොට හැරී පොටර් මොකාද කියල හිතෙනවා. පුරසාරං එක්ක එක්කහු වෙච්චි වැඩ හිංදා හැරී පොටර්ලා ගානක් මැවෙනවා.

      Delete
  3. මේ කතාවත් එක්ක මට මතක් උනේම පහේලි හින්දි movie එක.

    https://en.wikipedia.org/wiki/Paheli

    https://www.baiscopelk.com/paheli-2005-with-sinhala-subtitle/

    ReplyDelete
    Replies
    1. මම හිංදි චිත්‍රපටි රසිකයෙක් නෙවෙයි. ඒ උනත් ලස්සන කතාවක් ගැන කවුරුහරි කිව්වොත් හම්බවෙච්චි වෙලාවක බලනවා. ස්තූතියි ඔබේ ඔත්තුවට, මම පහේලි හොයාගෙන බලන්නම්.

      Delete
  4. ජයසුන්දර අයියයි අක්කයි කසාද බඳින්න කලිම්ම ගලෙන් වැඩ ගත්ත හැටි තමයි මරු. ඉතිං හැමදාම එකම ගල ගන්නෙ නැතුව වෙන ගල් ගන්ට තිබ්බනෙ.

    ReplyDelete
    Replies
    1. එකම ගල පාවිච්චි කරන්ඩ ඇත්තේ බය, ත්‍රාසය, අද්භූතබව වැඩිකරන්ට වෙන්න ඕන. බදින්ඩ ඉස්සර නැතුව පස්සෙ ගලෙන් වැඩ ගන්නෙ මක්කටෙයි සුරංග මලයා?

      Delete
  5. ඔය ගල් ගගහ ඉන්න වෙලාවේ උන්දෙන්නා පැනල ගියේ නැත්තේ මොකද.ඒ කාලේ සාමන්‍යයෙන් වෙන්නේ එකනේ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු අපි හිතනවට වඩා කපටියි දසනායක මහත්තයා .ජයසුන්දර ගොයියා පැනල ගියා නං පල්ලෙහාගෙදර මාමගේ බූදලේ කොටස නැතිවෙනවා. ඇත්තටම වෙද මාමගෙ සාත්තරෙන් තාමත් වැඩ ගන්නෙ ජයසුන්දර අයියා තමයි. පැනල ගියානං ඒ මොකුත් නෑ.

      Delete
    2. මේ බ්ලොග් එකේ පිටපතක් ජයසුන්දර ගොයියාට ඇරියොත් අර භුතය ලොකුමල්ලිලගේ ගෙවල් පැත්තට එයි නේද

      Delete
  6. සූත්තරේට කොයි සාස්තරෙත් යටයිනේ.

    ReplyDelete