Sunday, May 26, 2019

සාජම්මහත්තයගේ වීර ක්‍රියා


සාජම්මහත්තයා ගැන ලියන්ඩ පටන් ගත්තම තමයි මතක් වෙන්නේ කොයි තරම් අකරහනි වලට මේ මනුස්සයා මූණ දුන්නද කියන එක. මනුස්සයෙක් විදිහට මේ හැම දේම විද දරාගෙන ජීවත් වෙන එකත් එක විදිහකට හරි පුදුම දෙයක්. පහුගිය සතියක කියන්ඩ හිටපු ඒත් ලිපිය දිග වැඩි වෙච්ච හිංදා ඉතුරු කරපු කතාවක් තමයි අද ලියන්ඩ හිතාගෙන හිටියේ. එහෙම ඉන්නකොට තමයි තවත්  සිද්ධියක් මතක් උනේ. මේ සිද්ධි දෙකම සාජම්මහත්තයගේ වීර වික්රම ක්රියා ගැන හොඳ සාක්ෂි. ඉතින් කවුරු හරි කෙනෙක් සාජම්මහත්තයාගේ වැඩ ගැන එච්චර දන්නේ නැත්තං පහුගිය ලිපියට මෙන්න මෙතැනින් ගිහින් ඒකත් කියවලාම ආවොත් වඩා හොඳයි.

ඔන්න අද කතාව. මේ කතාව සිද්ධ වෙන්නේ යුද්ධය දරුණු විදිහට ඇවිලෙමින් තිබ්බ කාලෙක. අනූව දශකේ මැද හරියේ විතර. සාජම්මහත්තයා මන්නාරම පොලීසියට අනුයුක්ත වෙන්නේ ඔය කාලේ. හැබැයි පොඩි පරහක් තියෙන්නේ මේ පොලීසිය මන්නාරම පොලීසියද නැත්තං මන්නාරම දිස්ත්රික්කේ තිබ්බ පොලීසියක්ද කියන එක මට හරියට මතක නැති කමයි . මොක උනත් මන්නාරම පැත්තේ පොලිසියක් කියල හිතා ගන්ඩකෝ

සාජම්මහත්තය මේ පොලීසියට අනුයුක්ත වෙලා දවස් දෙක තුනයි ගියේ. ඔය පොලීසියට කොටි ගහන සැලසුමක් තියෙනවා කියලත් ප්රහාරය අද හෙටම රෑ කාලෙක එල්ල වෙන්ඩ පුළුවන් බවත් ඉන්ට් එකෙන් (සාජම්මහත්තයා ගේ වචනයක්..මගේ හිතේ මේ කියන්නේ පොලීසියට සම්බන්ධ බුද්ධි අංශයක් වෙන්ඩ  ඕන) මැසේජ් එකක් ආවේ පොලිසියේ ලොකු මහත්තයාට.


මොනවද මල්ලි මැසේජ් එක ඇවිල්ල විනාඩි පහ යනකොට .අයි.සී. මහත්තයාගේ ආච්චි මැරුණා. මේක මහත්තයට මැරිච්ච ආච්චිම තමයි ඇවිත් කියල තියෙන්නේ. මොකද ඊට ඉස්සරත් ආච්චිලා දෙතුන් දෙනෙක් මැරුණා මං එහෙට අනුයුක්ත වෙලා ඉන්දැද්දිම. ඔය අතරේ දෙවෙනි මහත්තයට හදිස්සියේම උණ හැදිලා. ඉතින් එයාවත් ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කරා. එස්. අයි, මහත්තයෙක් හිටිය දැන් . අයි. සී. විදිහට වැඩ බලන්ඩ. අපරාදේ කියන්ඩ බෑ මහත්තයනං අපිව දාලා ගියේ නෑ. එකා පිට එකා මැරුණත් අපිව දාලා යන්නේ නෑ කිව්වේ මහත්තය. හැබැයි වැඩේ කියන්නේ මල්ලි මහත්තයත් පොලීසියට අලුත්. අපි වගේ හැම අත්දැකීමම විඳලා තෙම්පරාදු වෙච්ච අය නෙවෙයි නේ. උපාධිය ගත්ත ගමන් පොලීසියට ආපු අය. මමයි තව රාළහාමි කෙනෙක් හිටිය අකුරැස්ස පැත්තෙ. අපි දෙන්න විතරයි ටිකක් හරි පරණ කට්ටිය හිටියේ.

මං තමයි මල්ලි ඔක්කොම ප්ලෑන් කලේ ටෙරාලට ( කියන්නේ ටෙරරිස්ට්ලාට හෙවත් ත්රස්තවාදීන්ට) ෆේස් කරන්ඩ. පොලිසියේ එක පැත්තකින් පාර. අනිත් තුන් පැත්තෙන්ම උස තාප්ප. ඉතිං ගහනවනං ලෙසියන්ම ගහන්ඩ පුළුවන්නේ පාර දිගේ ඇවිත්. අපි හිස් තාර  බැරල් ගෙනැල්ලා වැලි පුරවලා පොලිසිය ළඟ පාරෙ බැරියල් හැදුවා. මල්ලිට කියන්ඩ බැරල් තුන ගානේ එක පෙලට. සිග් සැග් විදිහට පාර දිගටම. කියන්නේ වම් පැත්තෙන් තුනයි මීටර් පහකින් දකුණු පැත්තෙන් තුනයි. අපේ උනුත් ඉතිං ඩිංග බැරි වෙනකොට නිදා ගන්න කම්මැලි යක්කුනේ. මං ඉතින් එක්ස්පීරියන්ස් පොර හිංදා ඔව්ව ගැනත් හිතල බැලුවා. කොල්ලෝ ටික උදේ දෙක තුන වෙනකොට ඇල වෙන්නේ කොහොමද බලාගෙන ඉන්නේ. ඉතිං ඔය වෙලාවට ටෙරා ලා ආවොත්...ආය එපා කියල නවත්තන්ඩද? ඉතින් මං රෑට විතරක් බැරල් අතරින් කම්බි ඇද්දා. පොළොවේ ඉඳන් අඩි තුනක් උසින්. මොකෙක් හරි ඇවිල්ලා වැදුනොත් සද්ද වෙන්ඩ හිස් සැමන් ටිං එල්ලුවා. දැන් ප්රභාකරන් ආවත් අපිට නොදැනි එනවා බොරු!!

දවසක් ගියා දෙකක් ගියා. කොටි නෙවෙයි පූසෙක්වත් ආවෙ නෑ. නිවාඩු ගිය ලොකු මහත්තුරු තාමත් නෑ. අපිත් ජොලියෙ හිටියා.ඔන්න දවස් හතරකට විතර පස්සේ තමයි ඔය සිද්ධිය උනේ.

එදා රෑ දොළහට විතර මං අනුයුක්ත උනා රාජකාරියට. අර අකුරැස්සේ රාලහාමි එහා සෙන්ට්රියේ. මම පාරෙ මුලිම්ම තිබ්බ සෙන්ට්රියේ...ඔය දවස් වල හඳ මෝරනවා. ටෙරාලා ගහන්නේ මාසේ පෝය ළඟ කියල අපි හිතං හිටියෙ. දැන් ටික ටික හඳ එලිය වැඩිවෙන හින්ද උන් ගහන්නේ නැතිවෙයි කියලා හිතේ කොනක බලාපොරොත්තු ඇති වෙන්ඩ පටං අරන්. ලොක්කට ලබන මාසේ මාසෙ පෝයට ගෙදර යන්ඩ හම්බ වෙන්නේ නෑ ආච්චි මරුන කියල. හොඳ වැඩේ ඕකට. මීට අවුරුදු ගානකට කලින් මැරිච්ච හරි එහම නැත්තං තාම මැරිලා නැති හරි ආච්චිව විකිණුවා වෙඩි කන්ඩ බයේ. නොද්දකින්...පිරිමිද උං?

ඔහොම හිත හිතා ඉන්න කොට මට ඈත ඉඳන් හෙමිං හෙමිං එන හෙවනැල්ලක් පෙනුනා. මං හොඳට බලාගෙන හිටියා. බැලින්නං පොඩි බූරු පැටියෙක්. ඌට පිටිපස්සෙන් තව බූරුවෝ රංචුවක්. විස්සක් විතර ඇති රංචුවේ. ඒත් එක්කම ලඟ තිබ්බ තල් ගහක ගෙඩියක් වැටුනා. බූරුවෝ ටික පොලිසිය පැත්තට දුවන්ඩ ගත්තා. දැන් උන්ව දැක්කොත් නිදිමතේ ඉන්න අපේ උන් ෆයර් කරනවා දෙකක් නෑ. අපරාදේ සත්තු ටික.

ඉතින් අයිය මොකද කරේ?

මං කරපු වැඩේ හිටපු තැනින් එලියට ඇවිත් පාර පටන් ගත්ත තැනට ගියා බූරුවො ටික එළවන්ඩ.

ඊට පස්සේ?

මොනවද මල්ලි ඊට පස්සේ කියන්නේ...මට සිහිය එනකොට ඉස්ප්රිතාලේ!!!

මොකද?

මගේ අතින් අර කම්බියක් පැටලිලා සද්ද වෙලා. අපේ කොල්ලො හිතල ටෙරාලා ඇටෑක් කරනවා කියල. ඈත ඉන්න උන්ට පේන්නේ නෑනේ මල්ලි බූරුවොද මොක්කුද කියල. උන් වෙඩි තියල!!

හප්පේ...ඉතිං?

ඉතිං තමයි හොඳ වෙලාවට වෙඩි වැදුන්නැත්තේ.

එතකොට අයියව ඉස්පිරිතාලෙ ගෙනිච්චේ මොකටද?

වෙඩි වරුසාවක් එනකොට බය වෙනවනේ මල්ලි. මට සිහිය නැතිවෙලා!!

සාජම්මහත්තයාගේ වර්ෂන් එක ඒක. ඔය සිද්ධියට මාස හතරකට විතර පස්සේ සාජම්මහත්තයාගේ නැන්දෙක් මැරිලා පොලිසියේ කට්ටිය මල ගෙදර ආවා අපේ ගමට. අය කියපු විදිහට නං ඔය සිද්ධියට පස්සේ සාජම්මහත්තයාට බූරුවා කියල නමකුත් වැටිලා පොලිසිය ඇතුලේ. ඔය කතාව අහගත්තු අපේ ගමේ නැහැදිච්ච එව්වො ටික කාලයක් යනකල් කිව්වේ එදා රෑ සාජම්මහත්තයට තමුන්ගෙම නෑදෑයෝ ටික වෙඩි කයි කියල බයක් ඇති උනා කියලයි.

කොහොම වෙතත් සාජම්මහත්තයා වෙන පොලිසියකට අනුයුක්ත වෙනකම්ම අර මන්නාරමේ පොලිසියට කොටි ගැහුවේ නෑ. කොටි ගහන්නේ මනුස්සයෝ ඉන්න පොලිසියකට මිසක් බූරුවෝ ඉන්න පොලිසියකට නෙවෙයි කියලයි අපේ ගමේ උං සිද්ධිය පැහැදිලි කරන්නේ.

දැන් දෙවෙනි කතාව.

සාජම්මහත්තයා ගේ ප්රධානම චරිත ලක්ෂනේ තමයි අරක්කු බීමට ඇති අධික පෙරේතකම. හැබැයි එකට කෑවත් බිව්වත් බොක්ක වෙනස් කියනවා වගේ හොර කසියා තිප්පොලකින් හරි ෂොට් එකක් දාගෙන ගෙදර ගිහිල්ලා 119 කතා කරලා ඔත්තුව දෙන ජාතියේ එකා. අනික පිනා ෂොට් එකක් නොදුන්නොත් පොලිසියට ඔත්තුව දෙන එක බඩේ බඩ්ඩිංග වගේ ෂුවර් තමයි ඈ……. මිනිහ නයා වගේ පොර.

ඔන්න දවසක් ඥානෙ අයියගේ කසිප්පු පොට් එකෙන් පිනා ෂොට් එකකුත් ගහල පාරට ගොඩ උනා විතරයි පොලිස් ජීප් එක ආවා. සාජම්මහත්තයා අත දික් කරලා ජීප් එක නවත්තලා, තමන් පොලිසියේ බව කියල, ජීප් එකටම නැගලා ඥානෙ අයියගේ පොට් එක ගැන ඔත්තුව දුන්නා. ඔය වැඩේ ගැන ගමේ කසිප්පු සංගමේ හැමෝම වගේ හිටියේ තරහින්. ඒත් සාජම්මහත්තයා පොලිසියේ  හිංද තියෙන බයට මොකුත් කලේ නෑ.

එක අවුරුදු කාලෙක සාජම්මහත්තයගේ යාළුවො කට්ටියක් ගෙදර එනවා කියල දවල් කෑමට. ඉතිං කෑම නැතත් මේ බොනපාට් යාලුවන්ට බීම තියෙන්ඩ ඕන හිංද ඇති වෙන්ඩ බොන්ඩ දෙන විදිහක්  සාජම්මහත්තයා කල්පනා කළා. විස්කි තියා ගල් අරක්කු දුන්නත් අඩු ගානේ බෝතල් විස්සක්වත් ගන්ඩ ඕන. එහෙම ගත්තොත් අවුරුදු කන්ඩ වෙන්නේ හිගා කාලා තමයි.පොලිසියේ යාලුවන්ට කසිප්පු දෙන එකත් හරි මදි. ඉතින් මොකද කරන්නේ කියල හිත හිතා ඉන්න කොට ආවා මල් හතේ කල්පනාවක්.

සුපිරි විදිහට පලතුරු හෙම දාලා කසිප්පු ටිකක් පෙරා ගත්තොත් මේ ලඟදි රට ඉඳන් ආපු නෑදෑයෙක් දුන්න වොඩ්ක හරි වෙන මොනවහරි බීම වර්ගයක් කියල යාලුවන්ට දෙන්ඩ පුළුවන්. කලාතුරකින් හම්බෙන පිනා ෂොට් ඇරෙන්ඩ වැඩිය රට බීම බීලා නැති යාලුවන්ට අඩු වියදමකින් වැඩි කාර්යක්ෂමතාවකින් වෙරි කරවන්ඩ පුළුවන් මේ අදහස ඔලුවට ආපු වෙලාවේ ඉඳල සාජම්මහත්තයා ඥානේ අයියට කරදර කරනවා සුපිරි කසිප්පු වඩියක් පෙරල දෙන්ඩ කියල.

දෙතුන් පාරක් අකමැති උනත් ඔක්කොම බඩු ටික ගෙනැල්ලා තමුන්ගේ ගෙදරම ගෝඩා හැලිය තියා ගන්ඩ සාජම්මහත්තයා කමති වීමෙන් පස්සේ ඥානේ අයියත් වැඩේට කැමති උනා.

පෙරන දවසේ ඥානේ අයියගේ ගෝලයෙක් සාජම්ම්හත්තයත් එක්ක පෙරිල්ල පටන් ගත්තා. පැය භාගයක් යනකොට කොළඹ පොලිස් කණ්ඩායමක් සාජම්මහත්තයාගේ ගෙදර වට කරලා අපේ අභීත පොලිස් නිලධාරියාව කසිප්පු පෙරමින් සිටියදීම අත් අඩංගුවට ගත්තු බවත්, හිංදා සෑහෙන කාලයක් වැඩ තහනමට ලක්වී ගෙදරටම අනුයුක්ත වී සිටි බවත් අපිට මතකය. ටික කලක් යන තුරු සාජම් අයිය පෙරමුද වඩියක් කියල අහපු ඕන කෙනෙකුට සුද්ධ හෙළ බසෙහි මිහිරියාව විඳ ගැනීමට ලැබුණු බවත් මතකය. තමන්ට සාජම්මහත්ත්යාගෙන් පළි ගැනීමට උදවු කල ගෝලයාට ඥානෙ අයියා රුපියල් විසි දාහක් දීපු බවට ගිය කතාව අපිට අමතක උනත් සාජම්මහත්තයාට තාම මතකය. ඥානේ අයියා මිය පරලොව ගොහිනුත් දැන් අවුරුදු දහයක් පහළොවක් උනත් තාම ඥානෙ අයියාගේ සොහොන ළඟදී සාජම්මහත්තයා සරම උස්සා සොහොනට අධෝ මුඛය පෙන්වා "කැ% බල්ලා පුලුවන්නම් මට ඇරපන් පු&*!!" යැයි පාරම්බාන්නේ හින්දාය.

ඥානෙ අයියා සාජම්මහත්තයාට එහෙම දෙයක් කලේද නැද්ද යන්න මම දන්නේ නැති උනත් මේ පහුගිය අවුරුදු දවස් ටික පහුවුන ගමන් ආපහු අපේ ගමේ එවුන් සාජම්මහත්තයාට අහවල් වැඩේ කළේය. මෙවර උනේද ඉල්ලාගෙන කෑමකි

කොහෙන්දෝ ලැබුණු පිනා ෂොට් ඉස්මුරුත්තාවට එන තෙක් පානය කිරීමේ අනුහසින් අවුරුද්ද ඉවර වෙච්චි ගමන්ම වගේ සාජම්මහත්තයා හිටියේ වෙනම ලෝකයකට අනුයුක්ත වෙලාය. කොච්චර බිව්වත්, කොච්චර කබරයා දැම්මත්, කොච්චර ඇඟට අමාරු උනත් තව පිනා හොට එකක් කවුරු හරි දුන්නොත් ඒකටත් වග කියන්නට සාජම්මහත්තයා අති දක්ෂයෙකි. මෙවර අවුරුද්දට පස්සෙන් දවසේ උදේ ඉඳලා හවස් වෙනකල් කාලය තුල ටික ටික සහ හැකි සෑම විටම හුග හුගත් අනුමත වීමේ එකතුව ලෙස තැන් හය හතක කබරයා කොට වැටී සිටීමත් අමු තිත්ත කුණු හරුප දෙබස් සමග හා නිරුවත් ජවනිකා රග දැක්වීමත් සාජම්මහත්තයා සිදු කළේය.රෑ අටට විතර කාණුවකට වැටුණු සාජම් අයියා ගැන දුක හිතුනු කොල්ලෝ රැල 1990 කතා කොට ඇම්බියුලන්ස් එකක් ගෙන්වා සාජම්මහත්තයාට  සරමකුත් අන්දවා ඉස්පිරිතාලේට යැවුහ.  

ප්රශ්නය පටන් ගත්තේ එතැනිනි. කරුමෙට 1990 ඇම්බියුලන්ස් සර්විස් එක අපේ පැත්තේ මෙහෙය වන්නේ පොලිසිය මාර්ගයෙනි. මහජන සාමයට බාධාවන අයුරින් හා පොලීසියේ කීර්ති නාමයට කැළලක් වන අයුරින් අසභ් ලෙස හැසිරීම යන චෝදනා සාජම්මහත්තයාට එල්ල උනේ ආනුභාවයෙනි.

පැන්ෂන් යන්නට මාස දෙකක් තිබියදී මේ වෙච්ච අකරහනිය ගැන සාජම්මහත්තයා ඉන්නේ අකම්පාල වෙලාය. ඊට අමතරව ඊයේ රෑ කියපු විදිහට නම් අර 1990 කෝල් කරපු එකා සොයමිනි. උගේ අම්මාට මොනවදෝ ක්රියාකාරකමක් කිරීමටය!! සාජම්මහත්තයා දැන්වත් හැදිච්ච බවක් පේන්නේ නැත!!!

මට දුක කවදාහරි සාජම්මහත්තයා පර ලෝ ගිය දවසකට අපේ ගමේ බීගෙන කුණු හරුප කියන, හෙළුවෙන් ඩෙගා නටන පරම්පරාව ඉවර වීම ගැනය. ඊට අමතරව ඥානේ අයියා ලෝකෙදී හම්බ උනොත් වෙන සංතෑසිය ගමට ඇවිත් කියන්නට එකෙක් නැති වීම ගැනය!!! 


22 comments:

  1. කට්ට කාඩු අයියේ මේ කතා නමත් එක්ක ඉස්සුවට කමක් නැද්ද............ හුදී ජන ආතල් එකට බුකියේ දාන්න

    ReplyDelete
    Replies
    1. අම්මපා කිඹුලා කනවා ඉවසිය හැකිලු කොහිල කටු ඇනෙන එක තමයි අමාරු කිව්වලු. මෙන්න මේ අටම් තුමා මට අයිය කියනවා!! අර සුරංචියා තමයි ඔය නම මට දැම්මේ. හිටු අල්ලගන්ඩ ඕකව....
      අනේ අටම්තුමා මගේ මොකෝ මේ කතා ඔබතුමා ෆේස් බුක් එකේ දැම්මම? පුලුවන්නං ඒ ෆේස් බුක් මිතුරු සමාජයටත් කියන්ඩ සිංහල බ්ලොග් වලට අත් වෙලා තියෙන මේ නරක කල දසාවෙන් මිදෙන්ඩ උදවු කරන්ඩ කියල. අපි වගේ නාකි නෙවෙයි තරුණ කොල්ලෝ කෙල්ලෝ සිංහල බ්ලොග් වලින් ඉවත් වෙයි කියවන කට්ටිය අඩු උනාම.

      Delete
  2. යකෝ පව් පැන්සන් එකට කෙලවෙයිද

    ReplyDelete
    Replies
    1. කමින් කලර් නොට් ගුඩ් ෆො සාජම්මහත්තයා.

      Delete
  3. පැන්ෂන් යන්න ළඟ නිසා පොරට කරදරයක් වෙන එකක් නෑ. පැන්ෂන් ගිය කාලෙක උඹට තව හොඳ කතා ලියන්න තියේවි.

    ReplyDelete
    Replies
    1. කරදරයක් නොවුනොත් හොදයි. මොක උනත් ජොලි පොර....!

      Delete
  4. Replies
    1. පොරම දාගන්න ලෙඩනෙ. බීමට ලිමිට් නෑ නිකං හම්බෙනවනං....

      Delete
  5. සාජම් මහත්තයා නයා වගේද, පොළඟා වගේද?

    ReplyDelete
    Replies
    1. නොබීපු වෙලාවට ගැරඩියා. බිව්වම ඇනකොන්ඩා....

      Delete
  6. ඔන්න කීව හින්දම කලින් එකට අනුයුක්ත වෙලාම ආව, ඕවගේ රාජන් මහත්තයෙක් අපේ පැත්තෙත් හිටිය අන්තිමට පොලිසියටම එපා වෙලා ඉන්ටඩික් කරල දැම්ම

    ReplyDelete
    Replies
    1. සාජම්මහත්තය ලංකාවෙ තිබ්බ චෝගම් එකේදි රැජිනට අතට අත දුන්න කියල ගහපු කෙප්පයක් ගැන කතාවක් තියනව. ඒක කිව්වනං මෙහෙ හිටපු පොලිස් ලොක්ක අපේ සාජම්මහත්තය ඩී.අයි.ජී. කෙනෙක් කරනව....ඇත්තටම සමහර පොරවල් පැන්ෂන් යන්නෙ කවද්ද කියල ලොක්කො හිත හිතා ඇති නේද?

      Delete
  7. අම්මෝහ් ඒක...😂😂😂

    ReplyDelete
  8. පෙන්ෂන් එකට කෙලවුණොත් පව්. ඔය වගේ චරිතවල හිත හොඳයි. උඩින් එකක් යටින් එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. පෙර වැරදි විස්සක් විතර තියෙන එක තමයි පරහකට හිටියොත් හිටින්නෙ.

      Delete
  9. අන්න සෑර් විද්‍යාඥයෝ.
    සාම් මහත්තයා මුලිච්චි වෙච්ච වෙලාවක කියන්ඩ සාම් මහත්තයාගේ සැමන් ටිං සෙන්සර් සේකිට් එකට පැටන්ට් බලපත්‍රයක් ගන්ඩ කියල.

    ලොකු මලය සෑර්ටයි අපේ සාම් මහත්තයාටයි දෙන්නටම ජයවේවා
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. මං කියන්නං. හැට්ටර් තුමාට ඒ පේටන්ට් එක ඕනනං බැලන්ටයින් එකකුත් අරං එන්ඩකො මේ පැත්තේ.

      Delete
  10. බූරු මහත්... සොරි සාජම්මහත්තයට ඥානෙ අයිය කරල තියෙන්නෙ කැත වැඩක්නෙ හිටං.

    ReplyDelete
    Replies
    1. සාජම්මහත්තයට වෙලා තියන දේවල්වල හැටියට ඔව්ව මොනවද කියලත් හිතෙනව සභාපතිතුමා...මොනව උනත් මනුස්සය ජීවිතේට මූන දෙන එකම මදෑ සියදිවි නහගන්නෙ නැතුව...නැද්ද් මං කියන්නෙ?

      Delete
  11. ඉන්ට් එක කියන්නේ නේවි එකේ බුද්ධි අංශයට

    ReplyDelete
  12. සාජම්මහත්තය හැදෙන ජාතියෙ බඩුවක්නං නෙමෙයි වගේ ... 🙂

    ReplyDelete