වසන්ත කාලේ පායන පුර හඳ කියන්නේ දකින්ඩම ඕන කාරණයක්. ඊට වඩා ලස්සන හඳක් මම දැකල තියෙන්නේ අවුරුදු විස්සකට විතර ඉස්සර පේරාදෙණියේදී. ඒ මාර්තු මාසේ පැහැදිලි අහසක් තිබ්බ රැයක්. හන්තාන කන්ද උඩින් කළා දොළොසක් විතර පිරුණු හඳක් නැගගෙන ඇවිත්. මම මනෝරත්න මහත්තයාගේ අන්දරේලා බලනවා එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයෙදි ඒ කියන්නේ සුප්රසිද්ධ පේරාදෙණියේ වලේ දි. සීතල හුළඟක් හමාගෙන යන්නේ හරියට මේ මනු ලෝකෙට බැහැලා අන්දරේලා නාට්යය බලන්ඩ බැරිවෙච්ච දුකට අර හඳ සුසුම් ලනවා වගේ. ඒ හුළඟ සීතලයි. වල අසබඩින් ගලාගෙන යන මහවැලියේ
වතුර ගලන්නෙත් හරියට අමරදේව මහත්තයා ගායනා කරනවා වගේ 'දහසක් අපගේ ප්රාර්ථනා' එක්කහු කරගෙන වගේ.
අදත් එහෙම රැයක්. කඳු මුදුනින් ලස්සනට හඳ පායලා. කොහෙන්දෝ එන සීත සුළං රැල්ලක් ගත කුල්මත් කරනවා. මොනවද මේවගේ කොරෝනා කාලේ නිවාස අඩස්සියේ ඉන්න දවසක, ලස්සන හවස් යාමෙක වෙලාවක ඉටු කරගන්ඩ තියෙන මහාවැලිය මහා ගඟ උතුරා යන තරමේ ප්රාර්ථනා? අනේ මට ඒ ලස්සන ගැමි ඌරුවට ගැයෙන කවියක් අහන්ඩ තියෙනවා නං ලස්සන බෙර පදේකුත් එක්ක....මම දෑස් පියා ගන්නේ ඒ රසය විඳින්ඩ.