කොරෝනා බය හින්ද ගෙදරට වෙලා හිටියත් කට්ටකාඩුව පැත්තේ ගොඩ වෙන්ඩ වෙලාවක් නැති උනේ ' ගෙදර ඉඳන් වැඩ' සංකල්පයක් ක්රියාත්මක වෙන හිංදා. ඒ හින්ද ඇත්තටම වෙනදට වඩා වැඩ කිව්වොත් වඩා නිවැරදියි. ඉතාලියේ, ස්පාඤ්ඤයේ, ඇමරිකාවේ,
විතරක් නෙවෙයි ලෝකේ හතර දිග් බාගෙම කොරෝනා
මරණ සංඛ්යාව දහස් ගණනින් වැඩි වෙන මේ වෙලාවේ ඒ රාජ්ජවල ඉන්න හැමෝටම ඉතා ඉක්මනින් නිදුක් නිරෝගී බව ලැබෙන්ඩ කියල ප්රාර්ථනා කරන ගමන්
තවමත් ඉදිරිපිට පෙනෙන්ඩ තියෙන නමුත් ඇත්ත පිලි ගන්නේ නැතිව මරි මෝඩ හැසිරීමක් දක්වන සමහර දෙනාට කරුණාකර ගෙදරට වෙලා ඉඳලා කොරෝනාව මර්දනය කරන්ඩ රජයට සහය දෙන්ඩ කියල ඉල්ලන ගමන්ම අදවත් කතාවක් ලියන්ඩ කියල හිතුනා.
ඇෆ්රිකාවේ තියෙනවා බුරුන්ඩි කියල රටක්. රටේ තවම කොරෝනා රෝගීන් කිසිම කෙනෙක් වාර්තා වෙන්නේ නෑ. ඒ හින්දම කොරෝනා වලට ලොකු සූදානමක් හෝ වට බැඳීමකුත් පේන්ඩ නෑ. ඉතින් එක මාධ්යවේදියෙක් මේ රටේ ජනාධිපතිතුමාට කතා කරලා ඇහුවලු ' කොහොමද ජනාධිපති තුමා බුරුන්ඩිය කොරෝනා වෙන නිදහස්ව තියා ගන්නේ කියල? ජනාධිපති තුමා ගත් කටටම කිව්වලු " ආ...ඒක හරි ලේසියි අපිට තවම කොරෝනා තියෙනවද කියල ටෙස්ට් කරන්ඩ පහසුකම් නෑ!!!! කියල" මේ කතාව විහිලුවකට ගොතපු එකක් නෙවෙයි කියල මම හිතුවත් මීට පැය දෙක තුනකට ඉස්සර බුරුන්ඩි ආණ්ඩුව මේ ටෙස්ට් කිට් නැති වීමේ කතාව බොරුවක් බව ප්රකාශ කරලා තිබ්බා. කොහොම නමුත් තවම එහෙ කොරෝනා ලෙඩ්ඩු නෑ!!!. මට නිකමට හිතෙනවා අර ලංකාවෙත් ඉන්න "ඉදිරිපිට පෙනෙන්ඩ තියෙන නමුත් ඇත්ත පිලි ගන්නේ නැතිව මරි මෝඩ හැසිරීමක් දක්වන" මිනිස්සු වගේ කොරෝනා ගැන ටෙස්ට් නොකර ඉන්න එකත් රෝගීන් ගණන කෘතිමව අඩුවෙන් තියාගන්ඩ තියෙන එක ක්රමයක් කියල.
මේ බුරුන්ඩි කතාව වගේ ඉදිරිපිට පේන්ඩ තියෙන නමුත් ඇත්ත පිලි නොගන්න අවස්ථා කොච්චර තියෙනවද? වර්තමානයේදී වගේම ඉතිහායේදීත් එහෙමයි. මට මේ ලඟදි කියවන්ඩ ලැබුණු පර්යේෂණ පත්රිකාවකින් මේවගේ දෙයක් ගැන මටත් දැනගන්ඩ ලැබුනා. ඒ ගැන 'කොරෝනා නිවාඩුවේදී' ටිකක් හොයල බලපුවාම ඇත්ත කියලත් හිතන්ඩ පුළුවන් සාධක ගණනාවක්ම ලැබුනා. අද මම කට්ටකාඩුවෙන් කියන්ඩ යන්නේ ඒ සිද්ධිය ගැන.
අපේ බුදු හාමුදුරුවන්ගේ පරිනිර්වාණය ගැන කියවෙන හරි ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා දීඝ නිකායේ. ඒ සූත්රයේ නම මහා පරිනිබ්බාන සූත්රය. සාහිත්යකරුවන් මවා පෙන්වන අසූ මහ රියන් දේවාතිදේව රූපයක් වෙනුවට සාමාන්‍ය මනුස්සයෙකුට වැළදෙන ලෙඩ දුක් වලට වයසත් එක්ක එන දුර්වලතා වලට ලක් වෙච්ච කයෙන් සාමාන්‍ය - මනසින් අසාමාන්‍ය ගෞතම කියන විශිෂ්ට ගුරුවරයා ගැන ලියවිලා තියන හොඳම ප්රවෘත්තියක් තමයි මේ සූත්රයේ තියෙන්නේ. බුදුන් වහන්සේගේ ජීවිතයේ අවසන් මාස කීපය ගැන තමයි මේ සූත්රයේ පැහැදිලි කරන්නේ.
මේ වෙනකොට බුදු හාමුදුරුවන්ට වයස අවුරුදු අසූවක්. උන්වහන්සේම කියනවා තමන්ගේ ශරීරය හරියට දිරා ගියපු කරත්තයක් වගේ කියල. එහෙම කෙනෙක් සාමාන්යයෙන් කරන්නේ මොකක්ද? තමන්ට වැඩිපුර සැලකුම් තියෙන, පහසුකම් වැඩි තැනකට තමන්ගේ අවසාන කාලය ගත කරන්ඩ යන එක. හැබැයි බුදු හාමුදුරුවෝ කරන්නේ මොකක්ද? ඒ ගැන අපි මේ සූත්රයේ තියෙන්නේ මොනවද කියලම බලමු.
කතාව පටන් ගන්නේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ බුදු හාමුදුරුවෝ වැඩ හිටපු කාලෙක. මේ රජගහ නුවර තමයි බුදු හාමුදුරුවන්ට හිතවත් හුගක් දායක කාරකාදීන් හිටියේ. එහෙ හිටිය රජ්ජුරුවෝ අජාසත්ත. තමන් කරපු වැරදි පිලි අරගෙන ඉන් ඇති වෙච්ච පශ්චාත්තාපය වලක්වා ගන්ඩ තෙරුවන් සරණ ගිය හොඳ උපාසකයෙක්. ජීවක වෛද්යතුමාත් ඉන්නේ ළඟමයි. ඒ උනාට බුදු හාමුදුරුවෝ රජගහ නුවරින් පිටත් වෙලා යනවා. යන්නේ කොහාටද?
අම්බලට්ඨිකාවට....එතැනින් නාලන්දාවට. මෙතෙන්දී තමන්ගේ අග්‍ර ශ්රාවක සාරිපුත්ත හාමුදුරුවෝ එක්ක සංවාදයක් පවත්තපු බව සඳහන්. සංයුත්ත නිකාය අට්ඨ කතාව වෙච්ච සාරත්ථප්පකාසිනිය සැරියුත් හාමුදුරුවන් පිරිනිවන් පාන්ඩ ඉස්සර බුදු හාමුදුරුවෝ ගාවට ඇවිත් අවසර ගත්තු විදිහ හරි ලස්සනට විස්තර කරනවා. හැබැයි ඒ කොයි කාලේදීද, කොහෙදීද කියල සඳහන් වෙන්නේ නෑ. නමුත් ඒ අට්ඨ කතාවේ සඳහන් වෙන්නෙත් සැරියුත් හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ගේ ගුණ වර්ණනා කරපු බවක් සමුගන්ඩ ඉස්සර. පරිනිබ්බාන සූත්රයේදීත් එහෙමයි සඳහන් වෙන්නේ.
සමහරවිට මේ කියවෙන්නේ සැරියුත් හාමුදුරුවෝ පිරිනිවන් පාන්ඩ සමුගත් අවස්ථාව වෙන්ඩ පුළුවන්.
නමුත් සැරියුත් හාමුදුරුවෝ වගේ බුද්ධ ශාසනයේ ප්රබලයෙක් පිරිනිවන් පාන්ඩ අවසර ලබා ගත්ත අවස්ථාව මේක නම් පරිනිබ්බාන සූත්රයේ ඒ බව පැහැදිලිව සඳහන් නොවෙන්ඩ හේතුවක් නෑ. නමුත් සාරත්ථප්පකාසිනියේ කියවෙන මෙහම කතාවක් තියෙනවා. ඒ තමයි සැරියුත් හාමුදුරුවන්ට දරුණු බඩේ අමාරුවක් හැදුනාම උන්වහන්සේ ඉර්ධියෙන් බැලුවා කියල අග්‍ර ශ්රාවකයන් ද මුලින් පිරිනිවන් පාන්නේ නැත්නම් බුදු හාමුදුරුවන්ද කියල. මෙතෙන්දි උන්වහන්සේට පෙනුනලු අග්‍ර ශ්රාවකයන් වහන්සේලා මුලින් පිරිනිවන් පාන බව. ඒ කියන්නේ එතකොටත් මුගලන් හාමුදුරුවෝ ජීවතුන් අතර. සැරියුත් හාමුදුරුවෝ පිරිනිවන් පාලා දවස් පහළොවකින් තමයි මුගලන් හාමුදුරුවෝ පිරිනිවන් පෑවෙ කියල මුගලන් හාමුදුරුවන්ගේ ජීවිත කතාවේදී ධම්මපදට්ඨකතාවේ සඳහන් වෙනවා. මුගලන් හාමුදුරුවෝ ආදාහනය කරලා උන්වහන්සේ ගේ ධාතු නිදන් කරලා චෛත්යයක් නිර්මාණය කරන්ඩ බුදු හාමුදුරුවෝ මුල් වෙච්ච බවත් ඒ කතාවේම සඳහන්.
හැබැයි මේ අග්‍ර ශ්රාවකයන්ගේ පිරිනිවීම් ගැන කිසිම දෙයක් පරිනිබ්බාන සූත්රයේ සඳහන් වෙන්නේ නෑ.
ඒ කියන්නේ පරිනිබ්බාන සූත්රය බුදු හාමුදුරුවන්ගේ අවසාන මාස කීපයේ තොරතුරු එකතුවක් නෙවෙයිද?
එහෙම නෙවෙනවා නං මං මේ කියන්ඩ යන ඉතුරු කරුණුත් වැරදි වෙන්ඩ පුළුවන්.
තව ටිකක් මේ ගැන හොයාගෙන යනකොට මට හම්බ උනා දීඝ නිකාය අට්ඨ කතාව වෙච්ච සුමංගල විලාසිනිය. ඒ අට්ඨ කතාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා සැරියුත් හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ව හම්බ වෙලා පිරිනිවන් පාන්ඩ අවසර ඉල්ලා ගත්තු බව. හැබැයි සූත්රයේ තියෙන විදිහට නාලන්දාවේ දී නෙවෙයි විශාලා මහනුවරදී. මෙන්න මේ සඳහන ටිකක් විතර අවිශ්වාස
කටයුතුයි කියලයි මට හිතෙන්නේ. ඒ ඇයි කියල පල්ලෙහා තියෙන සිතියම් දෙක බලපුවම තේරෙයි.
අමතක කරන්ඩ එපා මේ අපි කතා කරන්නේ අසූ වයස් වෙච්ච ශරීරය දුබල වෙමින් යන පුද්ගලයෙක් ගැන බව. අනික ලාභ ප්‍රයෝජන ගැන හිතන්නේ පතන්නේ නැතුව තමන්ගේ ජීවිතේ අන්තිම තත්පරේ පවා මිනිස්සුන්ගේ යහපතට යොදවපු කෙනෙක් ගැන බව. ඉතින් එහෙම පුද්ගලයෙක් රජගහ නුවර ඉඳලා කිලෝ මීටර් 90-100
විතර දුරින් තියෙන විශාලා මහනුවරට වැඩම කරලා නැවත ආපහු රජගහ නුවර පැත්තට වැඩම කරයි කියල හිතන්ඩ බැරි හිංදා. මේ සිතියම් වල දැක්වෙන්නේ අද කාලේ පාරවල් උනාට මේ නගර වල සාපේක්ෂ පිහිටීම් හරි නිසා මේ නගර අතර අවම දුර ප්රමාණ ගූගල් සිතියම් වල තියෙන දුරවල් වලට වෙනසක් වෙන එකක් නෑ. රජගහ නුවර ඉඳන් නාලන්දාවට තියෙන්නේ කිලෝමීටර් 35 -40 විතරයි. මතකනේ රජගහ නුවරින් පිටත් උනාට පස්සේ බුදුන් වහන්සේ නතර උනේ අම්බලට්ඨිකාවේ විතරයි. ඒ හිංද ඇත්තටම සැරියුත් හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ව මුණ ගැහුනේ නාලන්දාවේදී කියල හිතන්ඩ ලොකු ඉඩක් තියෙනවා.
දැන් සුමංගල විලාසිනිය කියන හින්ද මේ මුන් ගැසීම සිද්ධ උනේ සැරියුත් හාමුදුරුවෝ තමන්ට පිරිනිවන් පාන්ඩ අවසර ගන්ඩයි කියල අපේ හිතේ තිබුණු සැකෙත් දුරු වෙනවා. ඊළඟට මුගලන් හාමුදුරුවෝ පිරිනිවන් පාන්ඩ අවසර ඉල්ලපු තැන හොයා ගත්තොත් ස්ථාන පිළිබඳව අපිට තියෙන සැකේ දුරු කර ගන්ඩ හොඳ අවස්තාවක්
ලැබෙනවා. හැබැයි ධම්මපදට්ඨකතාවේ
සඳහන් වෙන්නේ "භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතනට එළැඹ..." පිරිනිවීමට අවසර ගත්ත බව. ඒ කියන්නේ එතනින් අපිට හෝඩුවාවක් ලැබෙන්නේ නෑ.
හොඳයි
ඊළඟට බුදු හාමුදුරුවෝ වඩිනවා පාටලීගමට. මෙතන අජාසත්ත රජ්ජුරුවන්ගේ ඇමතිවරු දෙන්නෙක් වෙච්ච සුනීධ හා වස්සකාර නගරයක් ඉදිකරමින් ඉන්නවා. සුමංගල විලාසිනියට අනුව මේ නගරයේ ආරම්භක උත්සවයට බුදු හාමුදුරුවන්ට ආරාධනා ලැබෙනවා. මේ කියන්නේ පස්සෙකාලෙක සුප්රසිද්ධ වෙච්ච පාටලීපුත්ර එහෙම නැත්නම් අද කාලේ පැට්නා කියල හඳුන්වන නගරය. අද පැට්නා කියන්නේ ඇත්තටම පාට්ලිපුත්ර නගරයට නෙවෙයි. මුල නගරය විශාල ජල ගැල්මකින් විනාශ උනා.
නමුත්
දුර ප්රමාණ දන ගන්ඩ ගූගල් සිතියම් භාවිතා කරොත් දල වශයෙන් මේ නගර අතරේ දුර කිලෝ මීටර් 60-65 විතර ඇති. ඔන්න පාටලිග්රාමයෙන් පස්සේ තමයි බුදු හාමුදුරුවෝ විශාලා මහනුවරට යන්නේ. ආයෙත් කිලෝ මීටර් 65-70 විතර දුරක්.
මේ
ගමනේදී තමයි අම්බපාලිය තමන්ගේ නිවෙස බුදු හාමුදුරුවන්ට ආරාමයක් කොට පූජා කරන්නේ. ඒ ගමනෙදිම තමයි කවුරු හරි කෙනෙක් තවුතිසා වැසි දෙවිවරු දැකලා නැත්නම් විශාලාවේ ලිච්චවී රජවරු දිහා බලන්ඩ කියල බුදු
හාමුදුරුවෝ කිව්වේ.
ඔය
කාලේදී ඉන්දියාවට වස්සාන සාමය උදා උනා. බුදු හාමුදුරුවෝ මහා ආරාම අත ඇරලා දාලා විශාලා මහනුවරට පිටින් තිබ්බ බේලුව කියන කුඩා ගමක වර්ෂා කාලය ගත කරන්නට තීරණය කළා. මේ ගම හරි පොඩි එකක් හින්ද බුදු හාමුදුරුවොත් එක්ක වපු විශාල භික්ෂු පිරිසට නවාතැන් ගන්ඩ තරම ඉඩ පහසුකම් මේ ගමේ තිබ්බේ නෑ. ඒ හින්ද තමනුත් එක්ක ටික දෙනෙක් විතරක් නවතිද්දී අනිත් අයට විශාලා මහනුවරම ඉන්න කියල බුදු හාමුදුරුවෝ දේශනා කළා. ඒ කියන්නේ ගෝලයෝ වඩා සැප පහසු තැන්වල ඉන්දැද්දී මේ ශ්රේෂ්ට ගුරුවරයා සතුටින් අඩු පහසුකම් බාර ගත්තා.
දැන්
ඉතාම වැදගත් තැනකට අපි එනවා. ඒ තමයි වස් විසීම. බුදු සසුනේ මුල් කාලේ ඉඳම්ම තිබ්බ චාරිත්රයක් තමයි
වර්ෂා කාලය වෙච්ච තුන්මස එක තැනකට වෙලා බන භාවනා කරමින් කල් ගත කිරීම. විනය පිටකයේ මහා වග්ග පාලියේ තියෙනවා වස්සුපනායිකක්ඛන්ධකය කියල පරිච්චේදයක්. මෙන්න මෙහෙමයි ඒ පරිච්චේදයේ දහවෙනි හා එකොළොස්වෙනි ගාථා වල සිංහල පරිවර්තනය.
10. එකල්හි
වස් එළඹීම කෙතෙක් දැ? යි භික්ෂුන්ට සිත්විය
11. භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළහ. " මහණෙනි, පෙරවස් එළඹීම පසුවස් එළඹීම යයි මේ වස් එළඹීම් දෙකකි. ඇසළ පුණු පොහොය අනික් දිනට ගිය කල්හි එනම් අසල පුණු පොහොය දිනයෙන් පසු දිනයෙහි- අව පෑල වියෙහි- පෙර වස් එළඹිය යුතුය. ඇසළ පුණු පොහොයෙන් මසක් ඉක්ම ගිය කල්හි පසු වස් එළඹිය යුතුය. මහණෙනි මේ වස් එළඹීම් දෙකයි.
ඒ
කියන්නේ
බුදු හාමුදුරුවෝ ජීවමාන කාලේ ඉඳලම වස් කාලය - පෙර වස් කාලය ආරම්භ වෙලා තියෙන්නේ ඇසළ පෝයෙන්.
මේ
බේලුව ගමේ වස් සමාදන් වෙලා ඉන්න කොට මහා පරිනිබ්බාන සූත්රයේම කියන විදිහට බුදු හාමුදුරුවන්ට " දරුණු රෝගාබාධයක් උපන්නේය. මාරාන්තික වූ, බලවත් වේදනාවෝ පැවතුනාහුය. භාග්යවතුන් වහන්සේ සිහියෙන් හා නුවණින් යුක්තව,
පීඩාවකට
පත් නොවෙමින් එය ඉවසන සේක."
එහෙම
කරන්නේ ඇයි? බුදු හාමුදුරුවෝ හිතනවා තමන්ගේ උපස්ථායකයන්ට, ශ්රාවක භික්ෂුන්ට නොදන්වා පිරිනිවන් පෑම නුසුදුසු දෙයක් කියල. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ අමතන බුදු හාමුදුරුවෝ කියන දේ බලන්ඩ.
"ආනන්දයෙනි,
මෙකල්හි
මම ජරා ජීර්ණ වුයෙමි. වයෝවෘද්ධව, මහලු ව, අවසන් වියට පැමිණ, වයස්ගතව සිටිමි. මගේ වයස අසූවක් වෙයි. ආනන්දයෙනි දිරා ගිය ගැලක් පිළිසකරයන්ගෙන් පවත්වන්නේ යම් සේද එසෙයින්ම ආනන්දයෙනි, තථාගතයන්ගේ ධර්මයෙන් ලත් පිළිසකර කිරීමෙන් පවතියි"
ඒ
කියන්නේ
එතකොටත්
බුදු හාමුදුරුවන්ට වයස අවුරුදු අසූවක්. රෝගාබාධයන්ගෙන්, වයස් ගත වීමෙන්, ශරීරය අබල දුබල වෙලා.
ඊට පස්සේ
දවසක්
ආනන්ද හාමුදුරුවොත් එක්ක දිවා කාලය ගත කරන්නට චාපාල චේතිය කියන තැනට බුදු හාමුදුරුවෝ වඩිනවා.
අන්න
එදා තමයි මාර දිවය පුත්රයා බුදු හාමුදුරුවන්ට පිරිනිවන් පාන්ඩ කියලා ආරාධනා කරන්නේ. උන්වහන්සේ ආයු සංස්කාරය අත හරිමින් තවත් මාස තුනකින් තමන්වහන්සේ පිරිනිවන් බව ප්රකාශ කරනවා!
බුදු
හාමුදුරුවෝ
වස් පවාරණය එහෙම නැත්නම් වස් කාලය අවසන් කිරීම ගැන සූත්රයේ සඳහන් වෙන්නේ නැතත් උන් වහන්සේ අවසන් වතාවට විශාලා මහනුවර දිහා බලලා භණ්ඩගමට වැඩම කරපු බව සඳහන්. වස් කාලය කෙතෙක් ද කියල කෙලින්ම සඳහන් නොවුනට ඒ මාස තුනක් බව පැහැදිලි වෙන සඳහන් විනය පිටකයේ ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ භණ්ඩගමට වැඩියේ ඇසළ- නිකිණි- බිනර-වප් කියන මාස තුන අවසානයේ ඒ කියන්නේ වප් පෝයට පස්සේ වෙන්න ඕන.
භණ්ඩගමින්
හත්ථිගමටත්
එතනින් අම්බගමටත්, එතනින් ජම්බුගමටත්, එතනින් භෝග නගරයටත් එතනින් පාවා නුවරටත් වැඩම කරනවා.
එහිදී තමයි උන්වහන්සේ අවසාන දාන වෙලා ලබා ගන්නේ. ඒ රන්කරුවෙකුගේ පුත්රයෙකු වූ චුන්ද ගේ ගෙදරින්. ඒ දානයට පස්සේ සමහරු ලේ අතීසාරය කියලා කියන සමහරු අර්ශස් රෝගයක් කියලා කියන රෝගය උත්සන්න වෙනවා. ඉන් අනතුරුවයි උන් වහන්සේ කුසිනාරාවට වැඩම කරන්නේ.
අදත්
වෛශාලියේ
ඉඳන් කුෂි නගර් දක්වා දුර කිලෝ මීටර් 230 විතර.
බුදුන් වහන්සේ පිරිනිවන් පාන්ඩ සැතපුන සල් ගස් දෙක නොකල්හි හටගත් මලින් යුතු උනා කියල මහා පර්නිබ්බාන සූත්රයේ තියෙනවා. මෙතෙන්දි අපි මතක් කර ගන්ඩ ඕන ඇත්තටම සල් කියල කියන්නේ ලනාවේ සල් කියල කියන ගහට නෙවෙයි කියන එක. Shorea robusta කියන විද්යාත්මක නාමයෙන් හඳුන්වන සල් ගස් ඉන්දියාවේ වගේම නේපාලයේ ත්නිතලා බිම්වලත් බහුලව දකින්ඩ පුළුවන් ඉතා ඉහළ දැවමය වටිනාකමක් තියෙන ගහක්. මේ ගහේ සාමාන්යයෙන් මල් පිපෙන්නේ අප්රේල්- මැයි කාලවල.
හොඳයි දැන් අපි මේ සියල්ල සාරාංශ කරලා බැලුවොත් මෙන්න මෙහෙම පින්තූරයක් මැවෙනවා.
1. බුදු හාමුදුරුවෝ තව තුන් මසකින් පිරිනිවන් පානවා කියල ආයු සංස්කාරය අත හැරියේ වස් සමාදන්ව හිටපු කාලෙක. ඒ කියන්නේ ඇසළ පෝයත් -වප් හෝ උපරිමව ඉල් පෝයත් අතර කාලෙක. ඇසළ පෝය ලබන්නේ ජුනි - ජුලි අතර කියල හිතුවොත් මේ උපරිමව ඔක්තෝබර්- නොවැම්බර් කාලෙදි. වැඩි බරක් තියෙන්නේ සැප්තැම්බර්- ඔක්තෝබර් වෙන්ඩ, බුදු හාමුදුරුවෝ පෙර වස් සමාදන් උනා කියල උපකල්පනය කරලා.
2. ඒ වස් කාලයට පස්සේ බුදු හාමුදුරුවෝ ගමන් කරන්නේ කිලෝ මීටර් 200-220 දුරක්. දවසකට කිලෝ මීටර් 10 පයින් ගමන් කළා කියල හිතුවොත් දවස් විස්සක තරමේ කාලයක් ගතවෙන දුරක්.
3. බුදු හාමුදුරුවොම ආනන්ද හාමුදුරුවන්ට කියනවා තමන්ට දැන් වයස අසූවක් කියල. සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ වෙසක් පෝයක නම් හැබෑවටම වස් සමාදන් වෙන ඇසළ පෝය වෙද්දී වයස අසූවකුත් මාස දෙකක්. බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑවේ වයස අසූවේදී මිසක් අසූ එකේදී නෙවෙයි. ඒ කියන්නේ උන්වහන්සේ මේ ප්රකාශය කරලා නුදුරු දිනකදී පිරිනිවන් පාන්ඩ ඕන.
4. ඔක්තෝබර් - නොවැම්බර් කාලේදී සල් ගස් වල මල් පිපෙන එක අස්වාභාවිකයි තමයි. හැබැයි වෙසක් මාසේ කිට්ටුව සල් මල් පිපෙන එක හරිම ස්වභාවික දෙයක්. එහෙම නම් සල් ගස් අකාලයේ මලින් බරවී ගියේය කියල සටහන් කරලා තියන්ඩ විශේෂ අවශ්යතාවයක් නෑ.
උදාහරණයක් විදිහට ඉර පායන්නේ නැගෙනහිරින් හැමෝම දන්නා හිංදා අහවල් දවසේ දී ඉර පෑව්වේ නැගෙනහිරින් කියල විශේෂයෙන් ලියල තියන්ඩ අවශ්යතාවයක් නැතුවා වගේ.
ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑවේ අපි බොහෝ දෙනා විශ්වාස කරන විදිහට වෙසක් පෝය දවසක නෙවෙයි!
එහෙනම් කවදාද?
මේ ගැන තවත් විස්තර එක්ක කට්ටකාඩුවේ ඊළඟ ලිපියෙන් හම්බ වෙමු.
එතෙක් අපේ ඇස් දෙක ඉස්සරහා පේන්ඩ තියෙන දේ බොරු කියල අහක දාන්නේ නැතුව විචාර බුද්ධියෙන් දකිමු. අහමු. සිතමු.
එතෙක් ඔබ සියලු දෙනාටම ආයු බෝ වේවා!!
one of the best sinhala blog
ReplyDeleteThank you. Its an honour to share my thoughts with you!!
Deleteසැහෙන දිගයි. ඒත් කියව ගත්ත . බුරුන්ඩි වගේම එකෙක් ඉන්නවා බ්‍රසීලයේ දැක්කද?
ReplyDeleteබුදු හාමුදුරුවෝ අසනීප වෙලා ජීවක තුමා ගාවට තමා ගියේ - කතාවේ හරය
බෝල්සෙනාරෝ මාමණ්ඩි ගැන වෙන්ට ඇති ඔය කියන්නේ.
Deleteබුදු හාමුදුරුවෝ ජීවක වෛද්යතුමාගෙන් බෙහෙත් ගත්තා. ඒ උනාට මම කියන්ඩ හැදුවේ උන්වහන්සේගේ අවසාන කාලේ සැප පහසුකම් බලාගෙන එක තැනක හිටියේ නෑ. ලෝකයාට යහපත පිණිස චාරිකාවේ වැඩියා කියල. ආනන්ද හාමුදුරුවොම අහනවා අයි මේ අප්‍රසිද්ධ නගරයකට වඩින්නේ අර තරම් සෞභාග්‍යමත් නගර වල වැඩ ඉන්න පුළුවන්කම තියෙද්දී කියල. බුදු හාමුදුරුවන්ගේ චර්යාවයි අපේ දැන් ඉන්න හුගක් හාමුදුරුවරුන්ගේ චර්යාවයි අහසට පොලොව වගෙයි!!
මරේ මරු. වෙසක් ඉතිහාසය අලුතින් ලියන්න වෙයිද ලොකූ. ඉක්මනටම ඊළඟ කොටසත් ලියන්න.
ReplyDeleteඔය ඔක්කොම ස්තාන ලන්කාවෙ තියනවයි කියන අය අලුතින් ලියල තියෙන්නෙ. සමහරවිට මහරගමත් ඇති
Delete@ ලොකා...ස්තූතියි කමෙන්ට් එකට. අප්‍රේල් අග වගේ වෙයි ඊළඟ කොටස ලියන්ඩ. අමතක නොකර ඒකත් කියවන්ඩ..
Delete@ ප්‍රා ජේ.... ඔය මහරගම කතාව ඇදල ගත්තේ ලොකා ගැන හිතල වෙන්ඩ ඕන....හැබැයි බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනාය බුදු උනාය, පිරිනිවන් පෑවාය කියන මිනිස්සු මේ රජගහ නුවර ඉඳන් කුසිනාරාවට වැඩපු මාර්ගය ගැන මොකුත් කියන්නේ නෑ නේද?
Deleteඅනේ මහත්තයෝ, මමත් මහරගම තමයි. ඒත් මගේ ඇඟේ දුවන්නේ- උපන් රටට, ජාතියට, ආගමට, නෑදෑකමට, ගමට, යාළුකමට අදින ජාතියේ ලේ නෙවෙයි. මගේ බ්ලොගය කියන අයට නම් වැටහිලා ඇති මං අපේ තාත්තා, අම්මා විතරක් නෙවෙයි මාවමත් විවේචනය කරනවා- කරගන්නවා අවශ්‍ය තැනදී.
Deleteබුදුහාමුරුවන් වහන්සේ මහරගමදී බුදුවුනාය කිව්වත් මට ඒකෙ සුවිශේෂත්වයක් නැහැ. වැදගත් වෙන්නේ බුදුවීම!
ඇත්තම ඇත්ත තර්කානුකූලව කියනවාට නම් මං හරිම ළෙන්ගතුයි!!!
hmm very informative
ReplyDeleteThank you Ian. I will provide all the sources in next post. Its really interesting to see that the original text supports a different view than the popular view.
Deleteහද්දෙයියනේ..මේක මං කොහොමද අපේ ආච්චිට කියන්නෙ...
ReplyDeleteඊළඟ කොටසත් කියවලාම ආච්චිට කියන්ඩ...එතකොට කතාව සම්පූර්ණයි. හැබැයි එක අතකින් පිරිනිවන් පාපු දවස වෙසක් දවස නොවුනා කියල උන් වහන්සේගේ ධර්මයට ගැටළුවක් නෑ. ස්තූතියි SDC මේ පැත්තේ ආවාට!!
Deletethanks ayya
ReplyDeleteThank you very much for your comments Ransaku
Deleteඔක්තොම්බෙර් 15-22 වෙන්න පුළුවනි නේද
ReplyDeleteවස් පවාරණයෙන් මාසයක් විතර ඇතුලත කියල හිතුවොත් වඩා නිවැරදියි. ඊළඟ ලිපියෙන් ඊට අදාළ තවත් සාධක කීපයක් එක්ක මේ දිනය මොකක්ද කියන එක ගැන තියන මතයකුත් කියන්නම්.
Deleteඅම්මප සෑරුත් කරන වැඩ!
ReplyDeleteපහුගිය කාලෙ කස්ටියක් ඔය දවස ඇඩ්වාන්ස් කළා දැන් සෑර් ඕක පස්සට දාන්ඩ වගෙයි කල්පනාව මයේ හිතේ.
කෝම උනත් කමක්නෑ වෙසක් පෝයට කලින් ඊළඟ එක බලමු ඈ.
ජයවේවා!
හැට්ටර් තුමාට තැනක් යූ වේවා කමෙන්ට් එකට!!
Deletehttps://www.researchgate.net/publication/315859350_Date_of_the_Buddha
ReplyDeleteඔව් රන්සකු මල්ලි...ඒ එක මූලාශ්‍රයක් මම භාවිතා කරපු. ලැයිස්තුවම ඊළඟ ලිපියේ දාන්නම්. කොහොම උනත් මේ අදහස විසිවෙනි ශතවර්ශේ මුල ඉඳලම ප්‍රසිද්ධාව තිබුණු එකක් කියන එකට පැහැදිලි සාක්කියක් තමයි මේ ලිපිය. නමුත් ප්‍රසිද්ධ මහා සම්ප්‍රදායේ මතයට පටහැනි විකල්ප මත 'හදිසි අභාවයන්ට' ගොදුරු වෙනවා.
Deleteමේ යොමුවට ස්තුතියි . කියවන්න වැදගත් ලිපියක්
Delete