Thursday, December 30, 2021

කුකුළා සහ බල්ලා

 

අපි ගිය පෝස්ට් එකෙන් අර්‍රාබි නිසොල්ලාසෙ පළවෙනි කතන්දරේ අහන්ඩ පටං ගත්තනේ. කවුරුහරි ඒ කොටස බැලුවෙ නැත්තං මේං මෙතනින්- බූරුවා, ගොනා සහ සේවකයා- ඒ කොටසට ගිහිල්ලා බලලා එන්ඩ. නැත්තං මේ කාලේ අපේ සිරි ලංකාවෙ ජීවත්වෙන මේ අපි වාගෙ පොඩි මිනිස්සු හුග දෙනෙක් ඉන්නවා වගේ අංදුං කුංදුං වෙලා තමයි අද කතාව කියවන්ඩ වෙන්නෙ.

 


වෙන දෙයක් වෙච්චාවෙ! තමුසෙ කියන බොරු අහල අහල මට ඇතිවෙලා තියෙන්නෙ. මං දන්නව ඔය කිව්වට මාව ලේසියෙන් මැරෙන්නෙ නෑ කියල!! හුහ් එනව මෙතන මාව රවට්ටන්ඩ. ඉස්සර ඔය කතා වලට රැවටුනාට දැං මං ඔව්වයින් රැවටෙන්නෙ නෑ!!

ඔයා ඉතිං කිව්වට විශ්වාස කරන්නෑනෙ සුදා. පොඩ්ඩක් තේරුං ගන්ඩකො....

කතා කරන්ඩ එපා...මට ඕන ඔය රහස දැන ගන්ඩ. ඉං මෙහා මොනව කිව්වත් මැඬිල්ල නවත්තන්නෙ නෑ නෑමයි!

ඔන්න දැං ඉතිං වෙළෙන්දගෙත් රතු කට්ට පැන්නා.

මේකිගෙ තියෙන මුරණ්ඩුකම! උඹට මැරෙන්ඩම ඕන නං මං මොනව කරන්ඩද? හැබැයි උඹේ මරණෙට මට වග කියන්ඩ බෑ. ඒ හිංදා පොඩ්ඩක් හිටපං මං බොලාගෙ මහ උං දෙන්නටයි අපේ දරුවන්ටයි ඔක්කොටම එන්ඩ කියන්නං. ඊට පස්සෙ උන්ටත් තමුසෙගෙ මුරණ්ඩුකම තෝරලා දීලාම රහස කියන්නං. නැත්තං උං හිතයි මං තමුසෙව මරලා කියල!!

ඉතිං ඔන්න වෙළෙන්දා තමුන්ගෙ නැන්දම්මයි මාමයි ඒ කියන්නෙ බිරිඳගෙ අම්මයි තාත්තටයි දෙන්නට එන්ඩ කියල පණිවිඩ යැව්වා. තමුන්ගෙ දරුවන්ටත් එන්ඩ කියල පණිවිඩ යැව්වා. ඒ අයත් මේ මොකදෑ බොල මේ හදිස්සියෙ පණිවිඩ එවන්නෙ කියල දැන ගන්ඩ තකහනියෙම දුවගෙන ආවා. වෙළෙන්දා ඒ අයටත් ඉත්තේරුවෙංම පැහැදිලි කරලා දුන්නා වෙච්ච දේයි වෙන්ඩ යන දේයි. ඒ ඔක්කොටමත් තේරුනා- කොටිම්ම අරුන්දැගෙ අම්මටයි තාත්තටයි පවා- මෙවුන්දෑ වැටෙන්ඩ යන වළේ ගැඹුර. බැරි වෙලාවත් අර රහස දැන ගත්තම වල කජ්ජ ගැහුවොත් ආයෙ එපා කියන්ඩද? මාරයා නවත්තන්ඩ පුළුවං කාටද? අනික ඉතිං මහ ලොකු වටිනාකමක් තියෙන දෙයක්‍ යැ ඔය දැනගන්ඩ හදන්නෙ?

ඉතිං ඒ ආපු ඔක්කොමත් තම තමුන්ට පුලු පුලුවං විදිහට මේ කාරණේ තේරුං බේරුං කරලා දෙන්ඩ හැදුවා. මොන!! වෙළෙන්දගෙ බිරින්දෑ නෙවෙයි කනකටවත් ගත්තෙ. ළමයි ටික වෙන්ඩ යන විනාසෙ දැකලා ඉකි ගගහා ඇඬුවා. ඒත් අරුන්දෑ නෙවෙයි තීරණේ වෙනස් කරේ ඕං.

ඔය වෙළෙන්දට හිටියා කිකිළියො පනහකුයි උන්ට රජා වගේ හිටපු එක කුකුළෙකුයි. ඌත් හරිම කුකුළා!! බලන්ඩෙපෑ රතු කරමලෙත් එහෙක් මෙහෙක් කොර කොර කිකිළියො ඉස්සරහ රඟන අපූරුව!! ඔය කුකුළගෙ හොඳම යාලුවා තමයි ගෙදර උන්නු බල්ලා. බල්ලත් හෙන චීත්තයක්! ඌට ඕපයක් අහගන්ඩ හරි පතුරුවන්ඩ හරි තියෙනවා නං මස් කට්ටකට උනත් පයින් ගහන එකෙක්. අනික ඉතිං ඕන තැනක යන්ඩ එන්ඩ අවසරේ තියෙනවනේ ගෙදර ඉන්න ආරක්ෂකයා විදිහට. ඉතිං ඕප දූප ආකරයක් තමයි බල්ලා.

දැං මං අර ඉස්සෙල්ලා කියපු සිද්ධි ටිකත් අකුරක් නෑර, ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර අහගෙන, බලාගෙන රෙකෝඩ් කරගත්තෙ නැතෑ බල්ලා. ඌට ඉස්පාසුවක් නෑ මේ විස්තරේ කුකුළා එක්ක කියනකල්. ඉතිං ගෙදර උං අඬන දොඩන අතරේ බල්ලා හිමීට එතනින් මාරු වෙලා කුකුළා ගාවට ගියා. වෙළෙන්දත් දැක්කා බල්ල හිමීට මාරු වෙච්ච බව. වෙළෙන්දත් ඉතිං පට්ටම චීත්තයක්. නැත්තං හා පොරට මොකටද මොන සතා මොකාට මොනව කිව්වම? ඔය ඕපෙට පුරුදු උනොත් ඉතිං ගංජා ගැහුවා වගේ තමයි. අතාරින්ඩ හිතෙන්නේ නෑ. ඉතිං වෙළෙන්දත් හිමිහිට කිට්ටු කරා බල්ලගෙයි කුකුළාගෙයි චැට් එක අහන්ඩ.

බල්ලා යනකොට කුකුළා, කිකිළියො එක්ක පොඩි ඇඩම්සොන්ලි වැඩකට සෙට් වෙලයි හිටියෙ.

ඈ බොල කුකුළො තොට අදවත් බෑනෙ ඔය වැඩේ නවත්තගෙන ඉන්ඩ. අහරෙ හාම්පුතාලා මැරෙන්ඩ හදනවා මෙහෙ තෝ මඟුල් නටනවා!!

ඈ බොල බලු තඩියො මං මොකටෙයි මේ වැඩේ නවත්තන්නෙ. මොකක්ද වෙලා තියෙන්නෙ හාම්පුතාලගෙ ගෙදර?

උඹ දන්නෙ නෑ?

මං කොහොමද දැන ගන්නෙ? මොකද මට දිවියඤානෙ තියෙනවැයි එහෙ වෙන එව්ව දැන ගන්ඩ. අනික ඉතිං උඹ වගේ ඕප දූප හොය හොයා යන්ඩත් මට වෙලාවක් නෑ. පේනවනේ ගෑණු පනහක් සතුටු කරන්ඩ ඉන්න එකම පිරිමියා මම වෙච්චි. උඹට හිතාගන්ඩත් බැරුව ඇති මට තියෙන වැඩ කන්දරාව!!

දන්නැත්තං අහගනිං නිකං පොර ටෝක් දෙන්නෙ නැතුව! අපේ හාම්පුතා මොකක් හරි ලොකු රහසක් දන්නවලු. එතුමගෙ මායියා අර රහස කියන කල් කන්නෙ බොන්නෙ නැතුව අඬ අඬා ඉන්නවා දැං දවස් දෙකතුනක් තිස්සෙ! හැමෝම ඇවිත් කියනවා කියනවා ඒත් අරුන්දෑ නෙවෙයි අහන්නෙ. තාමත් ඉකි ගගහා අන්න අහරෙ අඬනවා!!

ඉතිං ඔය රහස කිව්වනං ඉවරයිනෙ. මොකද ඉතිං දෙන්නදෙමාල්ලො වෙච්චි එහෙමටයි කියල කියන්ඩ බැරි තරමේ රහස් නෑනෙ.

හෙහ්...හෙහ්...ඔන්න ඕකනෙ කියන්නෙ මෙතන ඉඳං කිකිළියො රොත්තක් එක්ක අවලං වැඩ කර කර ඉන්නව ඇරෙන්ඩ උඹට මේ ලෝකෙ කියල දැනුමක් නැති හැටි!!

ඇයි දැං එහෙම කියන්ඩ බැරි තරං රහස් තියෙනවා කියලද උඹ කියන්නෙ?

ඒකනේ බොල ගොං කුකුලෝ මෙතන තියෙන ප්‍රශ්නේ. හාම්පුතා කියනවා මං අහගෙ ඒ රහස මායියට කිව්වොත් උන්දැ මැරෙනවලු!!

මැරෙනවලු...??!!

එහෙනං.....!!

ඉතිං එච්චර වටින රහසක් නං කියන්ඩ ඕන නෑ තමයි. හැබැයි හාම්පුතා ටිකක් විතර නෝන්ජලයා! නැත්තං ඔය වගේ සුලු ප්‍රශ්නයක්වත් විසඳන හැටි නොදැන ඉන්නෙ කොහොමද?

හා දැං උඹ කියන්නෙ මේ ප්‍රශ්නෙ ලේසියෙන් විසඳන්ඩ පුලුවං එකක් කියලද?

ඔව්..බල්ලො ඔව්. හාම්පුතා එක ගෑණියෙක් ආණ්ඩු මාට්ටු කරන හැටි නොදන්නවා උනාට මං දන්නවා ඒ වැඩේ කරන හැටි. මං මේ අපූරුවර ගෑණු පනහක් එක්ක යස අපූරුවට පවුල් කන්නෙ!!

කොහොමද එහෙම කරන්නෙ?

හොඳ කෝටුවක් අරං රිදෙන්ඩ ගැහුවනං ඔය උන්දැට ආයෙ කවදාවත් රහස් අහන්ඩ එන්නෙ නෑ!! අම්ම්ප!! ලේ පනින කල් දෙන්ඩ ඕන ජීවිතේට අමතක නොවෙන්ඩ!!

වෙළෙන්දටත් තේරුනා මේක හරි අපූරු උපායක් නේද කියල. උන්දැත් හීං දිග නාරං කෝට්ටක් අරං ගිහිල්ල මායියට පත බෑවෙ නැද්ද...අනෙ මගෙ දෙය්යෝ ආයෙ නං මං ඔය රහස අහන්නෙ නෑ කියල වැද වැද සමාව ඉල්ලනකල්!!

ඊට පස්සෙ ආයෙ කවම කවදාවත් වෙළෙන්දගෙ මායියා නෙවෙයි අර සත්තු එක්ක කතා කරන රහස ඇහුවෙ!!

දැං ඉතිං මොකක් හරි ගෙදර පොඩි අවුලක් උනාම මයෙ අප්පලාත් පටං ගන්ඩ එපා ගෙදර ඉන්න නෝනා මහත්තයාට තලන්ඩ. ගුටි ගහලා, සැක කරලා, කාන්තාවො පල්ලෙහාට දාලා ප්‍රශ්න විසඳන්ඩ පුලුවං කියල හිතුවෙ අපේ කිත්තා කිරි කිත්තාගෙ කාලෙ. දැං එහෙම නෑ. එහෙම බෑ. ඒ කාලෙ කාන්තාවො ගෙයි මුල්ලටම වෙලා හිටියට දැං එහෙම නෑ. හොඳ ඉගෙනීමක්, සමාජ ආශ්‍රයක් කාන්තාවන්ට තියෙනවා. පිරිමින්ට යමක් පුලුවන්නම් කාන්තාවන්ටත් ඊට නොදෙවෙනි යමක් කරන්ඩ පුලුවං තරමට දැං තාක්ශනේ දියුණුයි. සමාජේ දියුනුයි. ගෑණු කියන්නෙ දොර මුල්ලට වෙලා ඉඳගෙන පිරිමින්ගේ හයිය හත්තිය විඳ දරාගන්ඩ නෙවෙයි කාන්තාවො ඉන්නෙ.

පරණ කවි කතා හුගක තියෙන විදිහට ඉස්තිරියාවන්ට තියෙන්නෙ හැඳි මිටක මොලේ. හැබැයි ජීව විද්‍යාත්මකව එහෙම කිසිස් වෙනසක් නෑ. පිරිමි අතරෙ වගේම ගෑණු අතරෙත් බුද්ධිමත් අය, මෝඩ අය වගේම තකතීරුවොත් ඉන්නවා. ඉතිං එක පිරිසක් විතරක් හෙළා දැකලා කතා කරන්ඩ අපිට කොහොමවත් බෑ. එක කට්ටියක් විතරක් හැම ප්‍රශ්නෙටම මුල කියල හිතන්ඩත් බෑ.

හැබැයි හුගක් වෙලාවට පිරිමි අපිට හයි හත්තිය වැඩියි. ඒ හිංදා කතා බහෙන් ප්‍රශ්න විසඳගන්ඩ අමාරුයි කියල දැනුනම අපි ඇඟේ පතේ හයියෙන් ප්‍රශ්න විසඳගන්ඩ යනවා. ඔන්න ඔය වෙලාවට වැඩිපුරම තැලෙන්නෙ කාන්තාවො, වයසක අය, ශාරීරිකව හයිය හත්තිය අඩු අය.

මුලු රටම මහා භයානක ආර් ථික අහේනියක පැටලිලා, වෙලිලා, අපේ ගමේ කියන විදිහට මණ්ඩලේම කචල් වෙලා තියෙන වෙලාවක අපි අපිවත් අපේ අඩුපාඩු හදාගෙන මිනිස්සු විදිහට ජීවත් වෙන්ඩ බලමු.

එහෙනං 2021 අපි කරපු කියපු යම් දෙයකින් ඔබ තමුන්නාන්සෙලාගෙ හිත රිදුනා නං දහස් වාරයක් සමාව ඉල්ලන අතරෙ ලබන්නාවූ 2022 මේ ලෝකෙ සියලු දෙනාට සන්තෝසෙන් ජීවත් වෙන්ඩ පුලුවන් සුභ අලුත් අවුරුද්දක් වේවා කියල අපි පතනවා.

එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා!!

උඹල හැමෝටම අළුත්නුවර දැඩිමුණ්ඩ දෙයිහාමුදුරුවන්ගෙත් අයියනායක දෙයියන්ගෙත් පිහිටයි ආරක්ෂාවයි ඕං ඈ!!

12 comments:

  1. සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  2. මේක කියෙව්වාම මට මතක් උනේ, මහෞෂධ පඬිතුමා, අමරා දේවියට කරපු දේවල් අද කාලේ කරන්න ගියොත් මොනවා වෙයිද කියලා??

    ලබන්නා වූ 2022 වසරට සුභ පැතුම්!

    ReplyDelete
  3. හිත රිදෙන්න කරපු එකම දේ සෑහෙන කාලයක් නොලියා හිටපු එක තමයි. 2022දී එහෙම නොවේවා. සුභ නවවසරක් වේවා.

    ReplyDelete
  4. ඔබතුමාටත් ලස්සනට ලියන්න පුළුවන්නේ. 2022 අපිට වැඩිවැඩියෙන් කියවන්න ලැබේවා. සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  5. සුබ අලුත් අවුරුද්දක් වේවා ලොකුමල්ලිතුමාට.

    මං නිදිතුමාටත් කිව්ව වගේ දැන් ලංකාවෙ නම් Merry Crisis and Happy New Fear තමයි ඉතිං

    ReplyDelete
  6. අභිනව අවුරුද්ද ඔබ ඇතුළු සියලු ජනීජනයාට අලුත් එකක් වේවා!
    අර කුකුළා ලංකාවේ එකෙක් කියලයි මට හිතෙන්නෙ

    ReplyDelete
  7. නැව් ගිනි නොගන්නා නව වසරක් වේවා
    ගෑස් ළිප් නොපුපුරණ වසරක් වේවා
    අපේ නැණ මතක දැන්වත් පෑදේවා
    දැක්මක් ඇති එවුන් බලයට පත් වේවා!

    ReplyDelete
  8. සුභ අලුත් අවුරුද්දක් වේවා!
    ඉතුරු කොටස ඉක්,අනට දුන්නාට ස්තූතියි. ජයවේවා!

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. අරාබි නිසොල්ලාසයේ තියෙන ක්‍රමය හරියටම හරි.ඕක ලියල තියෙන්නේ පිරිමින්ට කනක් ඇහිල ඉන්නම බැරි වෙනකොට වෙන්න ඇති. කොහොම උනත් ඕව try කරලා ගොඩ ඒමක් නම් නෑ පුතෝ.

    සුබ නව වසරක් වේවා ලොකුමල්ලි අයියේ

    ReplyDelete