Friday, February 27, 2026

ඇන්ඩෲ, සබ්ජෙක්ට් එක සහ මල්සරා

ගිය සතියේ ඇන්ඩෲ මවුන්ට්බැටන් එහෙම නැත්තං දෙවෙනි එලිසබෙත් රැජින ගෙ දෙවෙනි පුතා, අද උනත් එංගලන්තෙ රජකමට සුදුසුකම් ලබන පෝලිමේ අටවෙනි තැන ඉන්න කෙනා එහෙ පොලීසියේ අත් අඩංගුවට පත් උනා. රජ ගෙදර හිටිය රජ කුමාරයෙක් උනත් පොලිසියෙන් කුදලගෙන ගියේ ජෙෆ්‍රි එප්ස්ටීන් කියන ‘ලිංගික ජාවාරම්කාරයා’ එක්ක එක්කහු වෙලා කරපු නොපෙනත්කම් ගණනාවක් මාධ්‍යයට හෙළිදරව් වෙච්ච හිංදා. ඔන්න එතකොට තමයි මට මතක් උනේ මිනිස්සු මොනතරම් පල්ලෙහාට වැටෙනවද මේ ‘සබ්ජෙක්ට්’ එක හිංදා කියල.

ඔන්න ඒ ගැන හිතිච්ච දේවල් කීපයක් තමයි මේ කියන්ඩ යන්නෙ.


කාමදේව, ශිව දෙවියන්ට මල් හී සැර යැවීමට සැරසෙමින් සිටියදී.....

සබ්ජෙක්ට් එකේ කප් ගහපු අය වගේම ඕක මොකද්ද කියලවත් නොදන්න ඕන තරං චරිත අපිට එදිනෙදා හම්බ වෙනවා. ඒ අතරෙ ඉන්නවා මලෙන් උපන් ශුද්ධවන්තයෝ. වික්ටෝරියානු සදාචාරය ඉහ මුදුනින් අරගෙන මෙවුන්දලා කියනවා අනේ අප්පෝ ඔය LGBTQI වගේ ‘විලිසංගෙ නැති දේවල්’ අපිට ආවෙ බටහිරෙන්, මේ වෙළද සමාජ ක්‍රමයත් එක්කය ඊට කලින් අපි මහා සුපිරිසිදු සමාජයක කොටස් කාරයෝය කියල. අන්න එහෙම කියන එව්වො තමයි ‘මීයො දෙන්න දෙන්න අල්ලන්නෙ’! එහෙම උන්දැලාට මගේ ආරාධනය අවුරුදු දෙදාස් හයසීයකට විතර ඉස්සර දේශනා කරල පස්සෙන් පහු කාලෙක පොත්වල ලියපු විනය පිටකයේ පාරාජිකා පාළිය කියවන්ඩ කියන එක.

පාරාජිකා පාළියේ බොහොම පැහැදිලිව කියනවා බුදු හාමුදුරුවෝ හේතුවක් ඇතුව මිසක් උපකල්පන ගැන නීති පැනෙව්වෙ නෑ කියල. ඒ කියන්නෙ ඒ විනය නීති වලට අදාල සිද්ධි ඒ කාලෙ ඇත්තටම වෙච්ච ඒවා. ඔන්න බලන්ඩ ඒ කාලෙ සබ්ජෙක්ට් එකට බැහැපු හාමුදුරුවරු ආශ්‍රය කරපු සහකරුවන්, සහකාරියන් ගැන. මේක තියෙන්නේ පාරාජිකා පාළියේ ප්‍රථම පාරාජිකයේ.

මිනිස්, නොමිනිස්, තිරිසන් කාන්තාවන්. ඔතන නොමිනිස් කියන්නෙ ප්‍රේත, කුම්භාණ්ඩ වගේ අය. ඉතිං ඔය තුන් වර්ගෙම කාන්තාවො, පුරුෂයෝ, උභතෝබ්‍යඤ්ජනකයෝ ඒ කියන්නෙ තේරෙන සිංහලෙන් කියනවා නං බයි සෙක්ෂුවල් අය, පණ්ඩකයෝ ඒ කියන්නේ අන්තර් ලිංගිකයෝ හෝ වෙනත් ආකාරවල ලිංගික නැමියාවක් තියෙන උදවිය. ඉතිං මේ දොලොස් ආකාරයක අයත් එක්ක ලිංගික අවයව වලින්, ගුද මාර්ගයෙන්, මුවෙන් යනාදී විවිධ ආකාරයට- ඒ කියන්නෙ අඩුම ගනනේ 36 ආකාරයකට කටයුතු කරපු ‘සබ්ජෙක්ට් එක්ස්පර්ට්’ ලා ඒ කාලේ ඉඳලා තියෙනවා. මළ මිනී යනාදිය එක්ක තිබ්බ සම්බන්ධකම් ගැන ත් පාරාජිකා පාළියේ තියෙනවා. හයියෝ නේද?

ඉතිං ඕකෙන් පෙන්න්නන්නෙ බුදු හාමුදුවන්ගෙ කාලෙ සංඝ සමාජයත් බාහිර සමාජයේම කැඩපතක් තමයි කියන එක. මිනිස්සු මේ වගේ විවිධාකාර කාම හැසිරීම් දක්වන්නේ ඇයි? සරළම උත්තරේ මම හිතන්නේ මිනිස්සු කියන්නෙත් සත්තු ජාතියක් හින්දා කියලයි. හැබැයි අනිත් සත්තුන්ට වඩා මිනිස්සුන්ගෙ වෙනසක් තියෙනවා නෙ. ඒ තමයි අනිත් සත්තුන්ට නැති ටිකක් දියුණු සංස්කෘතික ජීවිතයක් මිනිස්සුන්ට තිබීම. තමුන්ගෙ තියෙන සත්ත්ව ගති, අර සංස්කෘතික ජීවිතය කියන කඩතුරාවෙන් වහගෙන තමයි මිනිස්සු ජීවත් වෙන්නෙ. අර උඩ ඡේදයේදි කියපු විවිධාකාර ,සමහරවිට ජුගුප්සාජනක ලිංගික හැසිරීම්වලට හේතු ඉදිරිපත් කරන්ඩ මිනිස්සු මවාගත්තෙ කාමයට අධිමපති දෙවියක්-බටහිරදි කියුපිඩ්, පෙරදිගදි අනංග සිංහලෙන් ඒත් අනංගම තමයි!

මේ අනංගයා තමයි අද මගේ කතාවෙ මැද. කතාවක් තියෙනවා ඔය අනංගයා ගෙ අතේ තියෙන්නේ උක් දණ්ඩකින් හදපු දුන්නක් ය කියලා. එයාගෙ දුන්නට පාවිච්චි කරන්නේ මල් වර්ග පහකින් හදපු ඊ තලලු. අපේ සමරජීව කිවිඳුන් ලියපු වියොවගෙ රත්න මාලයේදි කියන්නෙ පියුම්, හෝ පලු, මී අඹ, බෝලියද්ද, මානෙල් කියන මල් වර්ග පහ තමයි මේ ඊ තල හදන්ඩ පාවිච්චි කරල තියෙන්නේ කියලා. වේදයේ නම් කියන්නේ අශෝක, නෙලුම්, නිල් මානෙල්, පිච්ච සහ අඹ මල් කියලයි. හෝ පලු කියන්නෙ අශෝක මල්වලට. පියුම් කියන්නෙ නෙලුම්. එතකොට බෝලියද්ද කියන්නෙ පිච්ච මල්ද? ඒ ගැන හොයාගෙන යනකොට හම්බ උනේ එක්තරා පිච්ච වර්ගෙකට ඒ කියන්නෙ Jasminum auriculatum කියන විශේෂයට බෝලිද්ද එහෙම නැත්තං බෝලියද්ද කියන නම ව්‍යවහාර වෙනවා කියලයි. ඔය මල් වර්ග පහම ඉන්දියානු කලාපයේ රටවල්වල වැවෙන මල්. ඒ කියන්නෙ මේ කතාව හදා ගන්ඩ ඇත්තෙ ඉන්දියාවෙදි කියන එකයි.

ඇත්තටම පුරාණ ඉන්දියානු කතාවලට අනුව මල්සරා ඉපදුනු විදිහත් හරි අපූරු කතාවක්. ඒ කතාව පටන් ගන්නෙ සුර අසුර යුද්දෙ තිබ්බ කාලෙදි. සමහරු කියනවනෙ ඔය සුර අසුර යුද්දෙ කියලා ජනකතාවලට එක් වෙලාතියෙන්නේ, ඉන්දියාවට සංක්‍රමණය වෙච්චි ජන කොටස් සහ ඉන්දියාවෙ හිටපු ස්වදේශීය ජන කොටස් අතර තිබ්බ කල කෝලාහල කියල. දෙවියා එහෙම නැත්තං සුරයෝ තමයි ලා පැහැති හමක් තිබ්බ, ඉන්දියාවට සංක්‍රමණය වෙච්ච ජනතාව. අසුරයෝ තමයි තද පැහති හමක් තිබ්බ ඉන්දියාවේ ස්වදේශික ජනතාව. අවසානයේදී සංක්‍රමණිකයන් දිනන හිංදා ඒ අය තමන්ට ඕන විදිහට කතාව ගොතා ගන්ඩ ඇති. ඉතිං කොහොමින් කොහොම හරි ඔය සුර අසුර යුද්දෙ යනකාලෙ නිකං ඇෆ්ඝනිස්තාන්- දකුණු අප්‍රිකා ටී ට්වෙන්ටි  ක්‍රිකට් මැච් එක වගේ තමයි එක වෙලාවක අසුරයෝ දිනා ගෙන දිනාගෙන එනවා. ඔන්න ඔය වෙලාවෙ සුරයෝ ටික එක්කහු වෙලා හොයල තියෙනවා මේ යුද්දෙන් දිනන්ඩ ඕන නං මොකද්ද කරන්ඩ ඕන කියල.

ඔන්න දෙවිවරු තීරණය කරනවා මේ අසුරයන්ව පරද්දන්ඩ පුලුවන්නෙ ශිව දෙවියන්ගෙ දරුවෙකුට කියලා. කෝ දැන් ශිව? ශිව නෑ. ශිව තමන්ගෙ බිරිඳ වෙච්ච සති මැරිච්ච දුකට භාවනා කරන්ඩ ගිහිං හිමාලෙට. එයා තපස් රකිද්දි කොහොමද දරුවෙක් ලබා ගන්නෙ? ඕන්න ඕකයි ප්‍රශ්නෙ!

දැන් අනිත් දෙවිවරුන්ට ඕන යුද්දෙ දිනන්ඩ. ශිවට ඕන භාවනා කරන්ඩ. තව ටිකක් හොයල බලනකොට සති- ඒ කියන්නෙ ශිව ගෙ හිටපු බිරිඳ, ආයෙත් ඉපදිලා. පාර්වතී විදිහට. දැන් තියෙන්නේ දෙන්නට දෙන්නා ජෝඩු කරන එක. ඒත් ඉතිං ශිවගෙ තපසට බාධා කරන්ඩ පුලුවන් ජගතා කවුද? ඔන්න ඔය වෙලාවෙ දෙවියන්ට මතක් වෙනවා කාමදේවව. කාමදේවත් එසේ මෙසේ චරිතයක් නෙවෙයි. කාමදේවගෙ තාත්තා තමයි ධර්ම. ඒ කියන්නෙ නිවැරදිබව. එයාගෙ ඒ කියන්නෙ ධර්මගේ තාත්තා මහා බ්‍රහ්මයා. කොටිම්ම කාමදේව කියන්නෙ මහා බ්‍රහ්මගේ ග්‍රෑන්ඩ් සන්, ඒ කියන්නෙ මුණුපුරා. කාමදේවගෙ අම්මා සමහරු කියන විදිහට ශ්‍රද්ධා. සමහරු කියන විදිහට ලක්ෂ්මී. සමහරු නං කියන්නෙ මේ ධනයට අධිපති ලක්ෂ්මි දේවියම තමයි කියල. සහෝදරයො දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් සාම ඒ කියන්නෙ නිවිච්ච බව. අනෙකා හර්ෂ ඒ කියන්නෙ සතුට, ප්‍රීතිය. අම්ම තාත්තගෙ ගතිගුණ දරුවන්ටත් යන්ඩ ඇතිනෙ.

කාමදේවගෙ බිරිඳ තමයි රතී! ශිව පුරාණය කියන්නෙ කාම දේව තමන්ගෙම ඊතල වලින් තමන්ටම විදගත්තා කියල රතී දැක්ක වෙලාවෙ. මයි කාර් මයි පෙට්‍රෝල් කිව්වලු. මගෙ ඊතල මං මටම විද ගන්නවා. ඇයි ඔහෙටලට පාන්ද? නිකමට හිතන්ඩ ඔහෙලත් රතී ගැන හිත හිතා හිටපු කාමදේවගෙ ගමේ කොල්ලෙක් කියල. නැත්තං එක කාලෙ කාමදේවත් එක්ක එකට ඉස්කෝලෙ ගිය....ඔය මොකක් නමුත් එකම කෙල්ලට ට්‍රයි කරනවා.  තමන්ගෙ නඩුව තමන්ම අහන්ඩ බෑ කියල ප්‍රතිපත්තියක් ගෙනාවෙ එහෙම කෙනෙක් වෙන්ඩ ඕන. ඒ කොහොම උනත් ඔය විවාහයෙන් හර්ෂ (ප්‍රීතිය) සහ යසස් (ගරු බව) කියන දරුවො දෙන්නෙක් හිටියලු. ඒ කියන්නෙ කාමයේ සහ රතියේ ඇත්ත දරුවන් වෙන්නේ ප්‍රීතිය සහ ගරුකටයුතු බවයි!

තව සපෝටර් කෙනෙක් හිටියා කාම දේවට. ඒ තමයි වසන්ත. ඒ කියන්නෙ වසන්ත සමය. ඔය අප්‍රේල් කාලෙට ලබන්නෙ ඒක තමයි උතුරු අර්ධගෝලෙට. ඔය සපෝටර් වෙන්ඩ ඕන ඊතල වලට ඕන මල් ගෙනැල්ලා දෙන්නෙ. සාමාන්‍යයෙන් මී අඹ මල් පිපෙන්නේ වසන්ත කාලෙදිනෙ. ලේසියෙන් හොයාගහ්න්ඩ පුලුවන් මල් ටිකක් තමයි වසන්ත කාමදේවට හොයල දෙන්ඩ ඇත්තෙ.  ඉතිං පේනවනෙ මේ කාමදේව කියන්නෙ නිකං සූපිං චරිතයක් නෙවෙයි කියල. ඔන්න ඔය කාමදේවව තමයි දෙවිවරු කැඳවන්නේ ශිවට පාර්වතීව සෙට් කරන්ඩ.

කාමදේව වැඩේට මුලදි බයේ පස්ස ගහපු බවත් හැබැයි අනිත් දෙවිවරුන්ගෙ ඉල්ලීමට ශිව හිටපු හිමාලය බලා ගිය බවත් කියනවා. අද උනත් ඉන්නවනේ, උඹ තමයි මේකට ඉන්න එකම පුතයා කියලා පැත්තක ඉන්න මිනිස්සුන්ව මෝරා කරලා ඉස්සරහට යවන අයියලා. ඒ කාලෙත් එහෙම තමයි. ඕ යේස්, දෙවිවරු අතරෙත් එහෙම තමයි. නොට් ඔන්ලි ඉන් ශ්‍රී ලංකා.

ඉතිං අපේ කාමදේව හොරෙන් හොරෙන් ගිහිල්ලා වැඩේට සෙට් වෙනවා. ශිව ඉඳගෙන භාවනා කරනවා. ඇස් වහගෙන. ශිවට මොකද්දෝ නමුත් අමුත්තක් තේරෙනවා. තව කාමදේව ඊ තලේ විදලා නෑ. හැබැයි ශිවට තේරෙනවා තමුන්ගේ තපසට බාධාකරන චරිතයක් ඇවිල්ලා ඉන්නවා කියල. ශිව ඇහැ ඇරලා බලනවා. මොකද්ද ශිව දකින්නෙ? ශිවට විදින්ඩ අමෝරා ගත්ත දුණු ඊතල ඇති කාමදේවව. මට විදින්ඩ තෝ කියල හිතෙන්ඩ ඇති ශිවට. ශිවගෙ තරහ වැඩිවෙද්දි අනේ කාමදේව විද්දා ඊ තලේ. ඒක කරුමෙට ශිවට වැදුනෙ නෑ. අයියෝ මටමමයි වෙන්නේ කියලා කාමදේව බය බිරාන්තව ඉන්දැද්දි, ශිවට නහුතෙට යකා නැග්ගා. ඇරියා නළල මැද්දෙ තියෙන ඇහැ. යැව්වා ගිණි සැරයක්!. කාමදේව සුං!!! ඕක තමයි කියන්නේ ලොකු ලොක්කන්ට කපුකම් කරන්ඩ යන්ඩ එපා වරදුනොත් කන්ඩ වෙනවා එකසිය ගානට කියලා.

දැං කාමදේවගේ ‘අංග’ ඒකියන්නෙ ඇඟ නෑ. ඒ කියන්නේ අනංග! ඔන්න ඔහොමයි කාම දේව ‘අනංග’ උනේ. ඔය අනංගටම තමයි මන්මද, මදන, කුසුමේසර, කන්දර්ප, මනසිජ, රතිකාන්ත, අභිරූප වගේ නම් කියන්නෙත්.

ඒත් අනංග තමුන්ගෙ ජොබ් එක අත ඇරියෙ නෑ. අදටත් එයා ඊ තල විදිනවා. දෙවියොත් අපි වගේ තමයි. එක පාරක් ඇණ ගත්තම පාඩමක් ඉගෙන ගන්ඩ ඕන නෙ. නෑ දිගටම ගේම ඉල්ලනවා. ආ තව ඩිංගෙන් කියන්ඩ බැරි උනා. අපේ ශිව- අර තමන්ගෙ පොළඹවන්ඩ ආවා කියල තරහා ගිහිං කාමදේවව අලු කරපු කෙනා- අනේ එයා පාර්වතීව බැන්දා. අයියෝ සල්ලි කියල හිතෙන්ඩ ඇති කාමදේවට!!. අන්තිමට වෙච්ච එකම දේ හොඳට තිබ්බ කාමදේගේ ඇඟ සුන්නද්දූලි වෙච්ච එක විතරයි. තව පාඩමක් තියෙනවා ඔය ලොකු ලොක්කන්ගෙ වැඩ විශේෂයෙන්ම කඩේ යන ටයිප් වැඩ ඒ අයටම කරගන්ඩ කියන්ඩ. නැත්තං වෙන්නෙ අලි මොනවදෝ කරන්ඩ අපි තැලෙන්ඩ වගේ වැඩ!! බොරු නං අහල බලන්ඩ අනංගගෙන්!!.

දැන් එතකොට බටහිර ඉන්න කියුපිඩ්ට ‘ඇඟ නැතිවෙන’ කේස් එකක් වෙලා නෑ. ඒ හිංදා කියුපිඩ් කියන්නෙ අනංගයාට කියල කිව්වොත් ඒක වැරදියි. අපි කියුපිඩ් කියන්නෙ කාමදේවට කියල කියමුකො. ඔබ කවදහරි ග්‍රීක දෙවිවරු බලන්ඩ ගියොත් කාමදේව... කාමදේව... කෝ මේ කාමදේව? කිව්වට කවුරුවත් පෙන්නන එකක් නෑ. එහ්දි අහන්ඩ ඕන කෝ ඊරොස් කියල. ඇෆ්‍රොඩයිට් ගෙයි ඒ කියන්නෙ ආදරයට අධිපති දේවතාවියගෙයි, ඒරිස් ඒ කියන්නෙ යුද්ධයට අධිපති දෙවියාගෙයි පුතා තමයි ඊරොස්. අම්මගෙයි තාත්තගෙයි ලක්ෂණ එක්කහු වෙලා වෙන්ඩ ඇති ආදරවන්තයෝ නිතරම රණ්ඩු වෙවි යාලුවෙවී ඉන්නේ. ඊරොස්ගෙ අතේ  තියෙන්නෙ ඊතල දෙකයි. එකක් රත්තරන් අනික රිදී. රත්තරං එකෙන් විද්දොත් ආදරේ ඇතිවෙනවා. ලෝකඩ එකෙන් විද්දොත් පෙම්වතුන් පවා ඈත් වෙනවා. ග්‍රීසියෙදි ඊරොස් පියාපත් දෙකක් තියෙන තරුණ දෙවියෙක්. රෝමෙට එනකොට ඊරොස් පියාපත් දෙකක් තියෙන ටිකක් තරබාරු පොඩි දරුවෙක්. මට හිතෙන්නේ රෝමන් කාරයෝ හරි. ආදරෙ කියන්නේ පොඩි ළමයෙක් වගේ හැසිරෙන සිතුවිල්ලක් නෙ. ඒක ශක්තිමත් තරුණයෙකුට වඩා හයක් හතරක් නොතේරෙන දරුවෙක් කියලයි මට හිතෙන්නේ. හැබැයි එහෙම හයක් හතරක් නොතේරෙන දරුවෙක් අතට දුන්නකුයි ඊතල දෙකකුයි දුන්නනං එයාගෙ වැඩ භයානක ප්‍රතිඵලත් ගේන්ඩ පුලුවන් කියල මතක තියාගත්තොත් හොඳයි.

ඉතිං මෙහෙම ඉන්න මල්සරා, එයාගෙ මල් හීයෙන් විද්දම මොකද වෙන්නෙ. වියොවග රත්න මාලය කවිපොත නම් කියන්නෙ මෙන්න මෙහෙම වෙනවා කියලා.

එතර     සඳ කිරණ වදි රිවි                       රැසේ                ලෙසේ

මිහිර     කොවුල් නද යක් හඬ                 ලෙසේ              ඇසේ

අඟර     සිසිල් ගොර විස සොඳ                රසේ                 වසේ

නුඹැර   මෙදුක් විඳිනෙමි                         මියුලැසේ            කෙසේ

එවිට මුදු සඳ රැස්, චණ්ඩ හිරු රැස් මෙන් වේ. මිහිරි කොවුල් හඬ, ගොරතර යක් හඬ මෙන් වේ. සිසිල දනවන සඳුන් කොකුම් වැනි දේ විසක් මෙන් දැනෙන්නට පටන් ගනියි. සොඳුරිය නුඹ හැර මේ දුක් විඳින්නේ කෙලෙසද?

ඔන්න ඔහොම දැඩි උවමනාවක් එනවා තමුන්ගේ ආදරය ලංකර ගන්ඩ. ආදරය තමන්ගේ කරගන්ඩ. ඒත් තමන්ගේ කර ගන්න ආදරය ඒ විදිහටම පවත්වාගෙන යන්ඩ අපිට පුලුවන්ද? මල් පරවෙනවා වගේ ආදරෙත් පරවෙනවද? නැත්තං මල් වලින් ගෙඩි එනවද? ඒ ගැන ඊගාව කොටසින් කතා කරමු. එතකල් මෙන්න මේ සිංදුව අහමු.

මින්දදයෝ ඇවිදින්......අහපන් රුක් අත්තන මලකින්.....හැබැයි මින්දදයා ගාව රුක් අත්තන මල් ඊතලයක් නං නෑ!!

මින්දදයෝ ඇවිදින්


19 comments:

  1. මින් දදය ගාව ඇත්තෙ වෙරළු මල් ඊතලයක් වෙන්න ඇති සුවර් එකටම.

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන ප්‍රශ්නෙ මෙච්චර මල් වර්ග තියෙද්දි අර මල් වර්ග පහම තෝරගත්තේ ඇයි? සමහර එව්ව වතුරෙ පිපෙන මල්. අඹ මල් වගේ එව්ව තියෙන්නෙ අවුරුද්දෙ එක කාලෙක විතරයි. ඉතිං ඔච්චර සංකීර්ණ කරගත්තෙ ඇයි මේ වැඩේ. ග්‍රීසියෙදි වගේ දෙකක් තිබ්බ නම් වඩා සරළයි. අනික වතුරෙ බහින්ඩයි අවුරුද්දෙ එක කාලෙක විතරක් හොයා ගන්ඩ පුලුවන් වෙන්ඩයි වගේ ප්‍රශ්නත් නෑ. දැන් එතකොට අපේ සභාපතිතුමා වෙරළු මල් ගැන විශේෂයෙන් හිතන්නෙ නං පෞද්ගලික අත්දැකීමක් හිංද වෙන්ඩ පුලුවන් කියලයි මට හිතෙන්නෙ. :)

      Delete
  2. https://nidigepanchathanthare.blogspot.com/2026/02/blog-post_25.html?sc=1772182668325#c76587119161606398

    ReplyDelete
    Replies
    1. ලොකා (නිදි) ලියන පංච තන්තරේ ඇත්තම පංච තන්තරේ වගේ නව නළු රසයම තියෙනවා. ලොකාට මල්සරා විද්දෙ මොන මලින්ද කියල අහලම බලන්ඩ වෙනවා.

      Delete
    2. බොලේ හැබෑට... මංතුමාට විදින්න ඇත්තෙ මොන මල් සරයකින්ද කියලා දැනගත්තොත් කියන්න හොඳේ.

      Delete
  3. කතාව පටන් අරගෙන එංගලන්තයෙන්, ඉන්දියාව හරහ ගිහින්, සමහරුන්ට කෝචෝක් එකකුත් දාල ඉවර කරලා ග්‍රීසියෙන් හෝ රෝමයෙන් . නරකම නැහැ චාරිකාව

    ReplyDelete
    Replies
    1. මේ වගේ පඳුරු තලන්නාස් පෝස්ට් පට්ටනේ.. 😆😆😆

      Delete
    2. ඇත්තටම වෙන්නෙ පෝස්ට් එකක් ලියාගෙන යනකොට මුලදි ඔලුවට ආපු නැති දේවල් ඔලුවට එනවා. එතකොට එව්වත් ලියන්ඩ හදන එකේ ප්‍රතිඵල තමයි මේ...

      Delete
    3. @ මහේෂ්තුමා, මට තාම හිතා ගන්ඩ බෑ ඔබතුමාගෙ කමෙන්ටුවේ ඇත්ත තේරුම මොකක්ද කියල... වැරැද්දක් උනා නම් සමාවෙන්න!

      Delete
  4. කර අඹලා නැත්තං වෙයි මෙහෙම කෙළී
    Sex හෝමෝන දෙනවා වැඩ නොගෙන කුලී
    ආදියෙ හිටං සිදුවී ඇත බොහොම කෙළී
    අදටත් ඒක එහෙමයි නෙව ලොකු මල්ලී

    ReplyDelete
    Replies
    1. මෙහෙත් හරි වැස්ස- එහෙත් හෙම වෙන්ටැ!!

      Delete
  5. ඔය විනය පිටකය සරල සිංහලට නගලා පෝය දවසට සිල්ගන්න අයට නොමිලේ බෙදාහරින්න ඕනෑ.

    ReplyDelete
  6. මේ වගේ ලිපි මරු මං හෙන කැමති ජාතියේ එව්වා. ඔය දේව කතා දේව පුරාණ කොහොම කිව්වත් කොයි රටේ හැදුනත් කොයි දේශදීපංකරයෙ කොහොම හැදුනත් හැම කතාවකම ලොකු සමානකම් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. ඇත්තටම මං හිතාගෙන ඉන්නවා දේව කතා ටිකක් ලියන්ඩ. ඒක හින්දම තමයි "දෙවියන්ගේ වැඩ" කියලා අලුත් කැටගරියක් පටන් ගත්තේ කට්ටකාඩුවේ.

      Delete