Sunday, March 8, 2026

මින්දදයෝ ඇවිදින් 2- කියුපිඩ්ට මල් හී විද්ද සයිකි

අපේ දේවකතා පටං ගත්තු මුල් ලිපිය (බැලුවෙ නැති කෙනෙක් ඇත්නම් බලල එන්ට...මෙන්න සබැඳිය) අන්තිමට මම ඔබට ආරාධනා කලේ මින්දදයෝ ඇවිදින් කියන නිරෝෂා විරාජිනී මහත්මියගේ ගීතය අහන්න කියල ආරාධනා කරමින්. ඒ ගීතය හොඳින් අහගෙන ඉන්න කොට පොඩි අවුලක් තියෙනවා නේද කියල හිතෙන්ඩ පටන් ගන්නවා. හොඳට බලන්ඩ. මෙන්න ඒ ගීතයේ පදවැල.

මින්දදයෝ ඇවිදින්

අහපන් රුක් අත්තන මලකින්

ගෙදරට කිව්වා මං

එනවද ඔය මල් දුන්න අරං

අද හෙට මින්දදයෝ...


විදපන් විදපන් මින්දදයෝ...!

මෙතන ගායිකාව, ‘ගෙදරට කිව්වා’ කියල කියන්නෙ මොකක්ද? ඇගේ පෙම්වතා ගැනද?

 හුගක් වෙලාවට තරුණියක් හංගගෙන ඉඳලා ගෙදරට කියන්නේ තමන්ට පෙම්වතෙක් ඉන්න බව නේද? ඒත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගෙයි. අපි දන්න තරමින් මල්සරා එහෙම නැත්තං මින්දදයා තමන්ගේ හී සැරයෙන් විද්දම තමයි ප්‍රේමයක් හට ගන්නේ. ඒ කියන්නේ දැනටම ප්‍රේමයක් තියෙනවා නම් මින්දදයාට ඇය ඉන්න ගෙදර ගැන රුක් අත්තන මල්වලින් අහන්ඩ අවශ්‍යතාවයක් නෑ. ප්‍රේමයක් තියෙනවා නම්, මින්දදයා ඇය ඉන්න තැන දන්නවා විතරක් නෙවෙයි, එහි ඇවිත් ඇයට මල් හී සැරයකින් විදලත් ඉවරයි. 

එහෙම නම් ඈ ගෙදරට කියන්ඩ ඇත්තේ පෙම්වතෙක් ඉන්න බව නෙවෙයි. වෙනත් පණිවිඩයක් වෙන්ඩ ඕන. ඒක මින්දදයාට එන්ඩ කියල ආරාධනා කිරීමට ඉස්සර වෙච්ච දෙයක් හිංදා මට හිතෙන්නේ ඇය ගෙදරට කියන්ඩ ඇත්තේ ඇය දැන් ප්‍රේමයකට හෝ / හා විවාහයකට සූදානම් බව වෙන්ඩ ඕන. ලංකාවෙ සිංහල විතරක් නෙවෙයි අනික් ජාතිකත්වයක් තියෙන් තරුණියක් උනත් දෙමාපියන්ට තමන් ප්‍රේමයක් පටන් ගන්ඩ සූදානම් කියලා දෙමාපියන්ට හෝ තමන්ගේ භාරකරුවන්ට (ගෙදරට) කියයි කියලා හිතන්ඩ බෑ. එහෙනම් ඈ කියන්ඩ ඇත්තේ ඇය විවාහයකට කැමති බව වෙන්න ඕන.

ඒ කියන්නෙ ඇයට තවම මින්දදයා විදලා නෑ. හැබැයි වඩාත් විය හැකි පරිදි ඇය මොකක් හෝ හේතුවක් හිංද මින්දදයාගේ විදීම ප්‍රතික්ෂේප කරපු, මල් හී සරවලට එරෙහිව පළිහක් අමෝරාගෙන හිටපු කෙනෙක් වෙන්ඩ ඉඩක් තියෙනවා කියල මට හිතෙනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්ඩ. දැන් ඈ ඒ පළිහ අහක් කරලා. මින්දදයා එනකල් මග බලාන ඉන්නවා.