Saturday, March 9, 2019

ගුරු ගෝල සටන - ගුත්තිල මූසිල 3


ගියපාර මම කියාගෙන ආපු කතාවේ ඉතුරු කොටස කියන්ඩයි මේ සූදානම. මේ කතාව මම හිතුවට වඩා ටිකක් දිග වැඩි උනා. ඒකට හේතුව මේ කතාව කියන ගමන් එක එක ගුරුවරු, යාලු මිත්තරයෝ අහන ප්රශ්න වලට උත්තර සපයන්ඩත් වෙන එක. කොහොම උනත් මේ කතාවේ පළමුවැනි කොටස මෙතැනිනුත්, දෙවෙනි කොටස මෙතැනිනුත් කියවලා ආවොත් තමයි වඩා පහසු වෙන්නේ.

ඔන්න එහෙමනං එදා ඉවර කරපු තැන ඉඳලා අද කතාව.


ඉතින් හාමුදුරුවනේ ඔබ වහන්සේ කොහොමද කියන්නේ මේ වාදය ගුත්තිල පඬිතුමාවත්, මූසිලවත් ඉල්ලපු එකක් නෙවෙයි, රජ්ජුරුවෝ බලෙන් පටවපු එකක් කියල?

මම කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. ජාතක කතා පොත් වහන්සේ රචනා කරපු කෙනාමයි එහෙම කියන්නේ.

කොහොමද?

මෙන්න මෙහෙම...අහගන්ඩකෝ හොදට...

Saturday, March 2, 2019

ගුත්තිල හා මූසිල 2


හැලපකඩේ ලියන අපේ හැලපතුමාට අපි ආදරේ කරන්නෙ කාරණා දෙකක් හින්ද. එක තමයි එතුම කට්ටකාඩුවේ පළමුවැනි හඹා එන්නා නොහොත් ෆලෝවර්. දෙක එතුමගේ ලිපි වලට යොදන මාතෘකා නොහොත් ශීර්ෂපාඨ වල තියන කලාව. තමන් කියන්ඩ යන දේ වෙනුවෙන් වචන පහ හයක මාතෘකාවක් නැත්නම් පොඩි චේදයක් උනත් මාතෘකාවක් විදිහට යොදාගන්ඩ පුලුවන් බව අපිට පෙන්නලා දුන්නෙ හැලපතුමා. මේකෙ කියන්නෙ මාතෘකාවක තියන වැදගත්කම තමයි තමන් ලියන්ඩ යන දේ මොකද්ද කියල පාඨකයාට ලේසියෙන් අවබෝධ කරවන්ඩ පුලුවන් වීම. උදාහරණයක් විදිහට මම මේ ලියන්නෙ ගුත්තිල -මූසිල කතාවෙ දෙවෙනි කොටස කියල මාතෘකාව දැක්ක ගමන් හැමෝම දන්නවා මේකා මේ තෙපරබාන්නෙ ගිය සතියෙ ලියපු ලිපියෙ දෙවෙනි කොටස ලියන්ඩ තමාය කියල. කාට හරි කොටස කියවන්ඩ බැරි උනානං මේං මෙතෙන්ඩ කොටාපුවම ලිපිය කියවන්ඩ පුලුවන්.


දැං ඔය කවි පන්සිය ගානක් තියන ගුත්තිල කාව්‍යය රචනා කරපු අපේ වෑත්තෑවේ හාමුදුරුවො සිංහල බාෂාව ගැන හොද අවබෝධයක් තියන උත්තමයෙක්. ඉතින් එතකොට ගුරු ගෞරවය නැති ගෝලයෙක් ගැන ලියන්ඩ එතුමාට ජාතක කතාවලට හැරෙන්ඩ ඕන කරන්නෙ නෑ. එතුම ජීවත් වෙච්ච කෝට්ටේ යුගයෙ අග භාගය කියන්නෙ සංදේශ කාව්‍ය ඕසෙට ලියවෙච්ච කාලයක්. කොටිම්ම තමුන්ගෙ ගුරු හාමුදුරුවෝ වෙච්චි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවොත් ගුරු හාමුදුරුවන්ගේ හෙවනේම හැදිල වැඩිච්ච තමන්ගේ සහෝදර හාමුදුරුනමක් වෙච්ච වීදාගම මයිත්‍රිය හාමුදුරුවොත් දෙන්නම තම තමුන්ගේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් රෙදි නැතුව කඩේ යමින් හිටි කාලයක් මේ. ගැන මතකය අලුත් කරගන්ඩ ඕන නම් මං ලියපු පැරණි ලිපි දෙකකට මෙන්න මේ සම්බන්ධතාවයත්, මෙන්න මේ සම්බන්ධතාවයත් ඔස්සේ ගිහින් බලා ගන්ඩ පුලුවන්. ඉතින් මං අද කියන්ඩ යන්නෙ මේ හාමුදුරුවො ඇයි ගුත්තිල ජාතකය ආශ්‍රයෙන්ම කවි පොතක් ලිව්වේ සහ පොතේ හංගලා ඉදිරිපත් කරනවාය කියල මට හිතෙන කතාව ගැන විස්තර. ඔන්න පටන් ගන්ඩ ඉස්සරලම කිව්වා මං මේ ගැන විශේෂ දැනුමක් තියන කෙනෙක් නෙවේය මේ ගැන උනන්දු වෙච්ච සාමාන්‍ය පාඨකයෙක් විතරක්‍ කියන එක.

Sunday, February 17, 2019

ගුත්තිල හා මූසිල 1


ගිය සතියේ හරි අපූරු සිද්ධියක් උනා. රැකියා ස්ථානයේ පුහුණුවකට සහභාගි වෙන අතරේ ලැබිච්ච තේ විවේකයකදී තවත් පුහුණුවට සහභාගී වෙමින් සිටි අයෙකු මං ලඟට ආවා.

ඔයා අහවලාද?

ඔව්...ඔයා කවුද?

මම කසුන්...අපි මීට අවුරුදු තුන හතරකට කලින් හම්බ උනා අහවල් විශ්ව විද්යාලයේ දී මට මතක විදිහට...

එතකොටම මගේ මතකය වැඩ කරන්ඩ පටන් ගත්තා. ඔය කියන කාලයේ මම පශ්චාත් උපාධි අධ්යයනයක යෙදිලා හිටියේ කොළඹට කිට්ටු විශ්ව විද්යාලයක. එහි එක්තරා විෂයයක් සඳහා පැමිණි බාහිර කථිකාචාර්යවරයෙක් තමයි කසුන්. ඔහු එක්ක සාකච්චා කල දේ පැය කීපයකට පමණක් සීමා උනා. හැබැයි වැදගත්ම දේ ඒක නෙවෙයි. ඔහු මා තුල දල්වා ලූ ඥාන ගවේෂී උවමනාව. ඊට ඉස්සර මං ගැන පොඩි කතාවක් කියන්ඩ ඉඩ දෙන්ඩ.

මම හතර කෝරළේ ඉපදිලා  ඉස්කෝලෙට ගිය කෙනෙක්. කන්නංගර මහත්තයට පින් සිද්ධ වෙන්ඩ  නිදහස් අධ්යාපනයේ තව එක ප්රතිලාභයක් වෙච්ච  ශිෂ්යත්ව කඩඉමෙන් පාස් වෙලා තමයි කොළඹ ගෙන්දගම් පොළොවේ 'ලොකු' ඉස්කෝලෙකට ආවෙ. ගෙදරින් පිටවෙලා කොළඹ ගත කරපු ජීවිතේ කවදාවත් සැප පහසු හෝ සිත් ඇදගන්නා සුළු එකක් උනේ නෑ. කිසිම දෙයක් වාසනාව හින්දා නොවෙන බවත් හැම දෙයක් වෙනුවෙන්ම අප්රමාන කැප කිරීම් හා උත්සාහයක් දැරිය යුතු බවත් මම ඉගෙන ගත්තේ අර කොළඹ ජීවිතේට පින් සිද්ධ වෙන්ඩ.

Saturday, February 2, 2019

රෙද්ද චීනගේ - ඒත් සිංහයා අපේ

පෙබරවාරි මාසෙත් ඇවිල්ල. මේ පාරත් අපේ ගමේ කට්ටිය අලගල්ලෙ කන්ද නගින්ඩ ලක ලෑස්ති වෙනවා. අපේ ගමේ විතරක් නෙවෙයි හතර කෝරලේ හුග දෙනෙක් පෙබරවාරි හතර වෙනිද ඒ කියන්නෙ අපේ නිදහස් දවසේ (සුද්දා අපෙන් නිදහස් වූ දවසේ!!!) කදු නගින කතාවත් හේතුවත් මං කිව්වනේ ගිය අවුරුද්දේ. කාට හරි ඒක බලාගන්ඩ ඕන නං මේ සම්බන්ධතාවය තියෙන්නෙ එතෙන්ට ඕං.

ඉතිං ඔය කදු නගින්ඩ යන කාන්ඩෙ අපේ දිහාට ආවෙ ලොකු ජාතික කොඩියක් තියනවද කියල අහන්ඩ. තිබ්බ කොඩිය පෙන්නුවම උන් අහනවා ඊට වඩා ලොකු එකක් නැද්ද කියල. මං ඇහුව යකෝ කොයි ජාතික කොඩියෙත් ඉන්නෙ එකම සිංහයා වෙච්චි ආය ඕකෙ ලොකු පොඩි බේදෙ මොකද්ද කියල. උං කියනව එහෙම බෑලු. අහල ගං හතකට පේන්ඩ ලොකු සිංහ කොඩියක් ඕනලු. මං කිව්වා එහෙනං ඉතිං ඇදගන්ඩ තමයි වෙන්නෙ ලොකු රෙද්දක කියල. ඒකටත් අපේ උං පස්ස ගහනවා. මං දන්නව ඒ මොකද කියල. සිංහය ලොකු කොඩියක නියම හැඩතල ඇතුව අදින්ඩ මෙලෝ ජගතෙකුට බෑ ආයිබොවන් හොද සිත්තර ගුරුන්නාන්සෙ කෙනෙක් නෙවෙයි නං. ඔන්න සිංහයා එතන ඉන්න එකේ වාසි. අද මං කියන්ඩ යන්නෙත් සිංහයා කොඩියෙ ඉන්න එක ගැන.