වෙසක් හඳ ලස්සනට පායලා බලන කන්දට උඩින්. වැස්සක් නැති හිංද අහස වගේම තොරන් බලන්ඩ යන මිනිස්සු නැති හින්ද පාරත් හරි නිස්කලංකයි.වෙසක් කූඩු දෙකේ රැල් හුළඟට කම්මැලි කමෙන් වැනෙනවා.කූඩුවේ සැව් කොළ හින්ද මලානික වෙන බල්බ් එකේ එළිය හරි සාන්ත දාන්ත බවක් මුළු ගෙදරටම ගේනවා. මේ මං ඉන්නවා වගේ එක පසළොස්වක පෝය දවසක අජාසත්ත රජ්ජුරුවොත් උඩු මහල් තලේට වෙලා බලාගෙන හිටියා නේද කියල මට මතක් උනා.
ත්රිපිටකයේ තරම් ලස්සන පරිසර වර්ණනා මම දැකලා තියෙන්නේ කලාතුරකින්.
කුමුදු මල් පිපෙන පිරුණු සඳ ඇති රාත්රියක වේදේහි පුත්ර අජාසත් මගධ රජතුමා මැති ඇමති වරුනුත් පිරිවරාගෙන ඉන්න ගමන් මෙන්න මෙහෙම සංතෝස උනා.
...ඇත්තටම කිසිම දොසක් නැති ඉතා රමණීය, සුන්දර රාත්රියක්. කිසිම දොසක් නැති ප්රසාදනීය, ලස්සන රාත්රියක්. අද වගේ දවසක අපේ හිත පහදින විදිහේ ශ්රමණයෙක් හරි බ්රාහ්මණයෙක් හරි ඇසුරු කරන්ඩ පුළුවන් වෙයිද?
ඔන්න ඉතින් ඇමතිවරු එක එක යෝජනා ගේනවා. අහවලා හොඳයි...අහවලා හොඳයි කියල. හැම කාලේම ඉන්න හැම නායකයටම ඉන්නේ තම තමන්ගේ පැත්තට වැඩි වාසි හම්බෙන විදිහේ උපදෙස් දෙන කැචර් ලා. අජාසත්ත රජ්ජුරුවන්ට කියලත් වැඩි වෙනසක් නෑ. ඉතින් එක එක ඇමතිවරයා ගෙන යෝජනා වලට රජ්ජුරුවෝ එච්චර කැමති වෙන්නේ නෑ.



