Sunday, December 19, 2021

බූරුවා, ගොනා සහ සේවකයා

 

අරාබි නිසොල්ලාසය තරම් අපූරු මායාවී කතන්දර තියෙන වෙන පොතක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. මේ අපූරු අද්භූත කතන්දරවල හරි සරළ සුන්දර මතුපිටක් පෙන්නුවාට ගැඹුරු අදහස් ගැබ් වෙලා තියෙනවා කියලයි මං හිතන්නේ. අද කතාව ඒ අපූරු පොතින්. ඉංග්‍රීසි බසින් හෙළ බසට නගන කොට, මුල් කෘතියේ තියෙන රහ ඒ විදිහටම තියාගන්ඩ අමාරුයි වචනයෙන් වචනය පෙරලුවොත්. අන්න ඒක හිංදා මං කතාවෙ සාරය විතරයි කියන්නෙ. වැරදි ඇතොත් සමාවෙලා මේ කතාව රස විඳින්ඩ.

මේ සිද්දිය වෙන්නෙ ඈත අතීත කාලෙ. අපි නෙවෙයි අපේ අත්තලා මුත්තලා, කිරි කෑ මුත්තලාවත් ඒ කාලෙ ඉපදිලා නෑ ඕං.



ඒ කාලේ හිටියා හරිම පොහොසත් වෙළෙන්දෙක්. එයාට එක එක පළාත් වල ගෙවල් තිබුනා. ඒ හැම ගෙදරකම වතු පිටි, හරක බාන, ගෙවල් දොරවල්, හරි සරු සාරෙට තිබ්බා මේ වෙළෙන්දට. එයාගෙ අතට පයට සේවකයෝ හිටියා ඕන තරං. ඉතිං මේ වෙළෙන්දා එයාගෙ හාමිනෙයි පවුලේ අනික් අයයි එක්ක කාලෙන් කාලෙට මේ එක එක ගෙදරට ගිහිං ටික කාලයක් නැවතිලා ඉන්නවා. ඔන්න ඇති කියල හිතුනම වෙන ගෙදරකට ගිහිං ටික කාලයක් ඉන්නවා. ඔහොම සැපෙන් සනීපෙන් කාලෙ ගත උනා. ආ තව ඩිංගෙන් මට කියන්ඩ අමතක වෙනවා. මේ වෙළෙන්දට හරි අපූරු හැකියාවක් තිබුනා. ඒ තමයි සත්තු කතා කරන දේවල් තේරුං ගන්ඩ පුළුවං වීම. හරියට දොස්තර හොඳහිතට වගේ. හැබැයි දොස්තර හොඳහිතට සත්තු එක්ක කතා කරලා දැන ගන්න දේවල් අනිත් අයට කියන්ඩ පුලුවං. හැබැයි මේ වෙළෙන්දාට සත්තු කතා කරන දේවල් වෙන කෙනෙක් එක්ක කියන්ඩ තහනං. මැරුවත් සත්තු කියපු දේවල් වෙන කෙනෙක් එක්ක කියන්ඩ බෑ. එහෙම කිව්වොත් වෙළෙන්ද තමුන්ගෙ රහස කියන කෙනාගෙ ජීවිතෙත් විනාශ වෙනවා. පේනවනේ ඕන බලයක් හම්බ වෙන්නෙ කොන්දේසි වලට යටත්ව.

Monday, December 13, 2021

ගැහුවත් ළකුණු- වැදුනත් ළකුණු

සමහර දේවල් වෙන්නෙ හරි අපූරු විදිහකට! ඒ දේවල් එහෙම වෙන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. මට විතරක් නෙවෙයි ලෝක පාලක දෙවි කෙනෙක් ඉන්නවා නං උන්දැටවත් ඒ දේවල් තේරෙනවා කියල මං හිතන්නෙ නෑ!

මේ ළගඳි මට හම්බ උනා අපූරු මනුස්සයෙක්. අපි කියමුකො එයාගෙ නම රාජා කියල. රාජා අභිරහස් දේවල් ගැන හොයන කෙනෙක්. ඔව් ඔව්...අභිරහස් දේවල් ගැන හොයන එක තමයි එයාගෙ  විනෝදාංශෙ. මට එයාව හම්බ වෙච්ච විදිහත් නිකං අභිරහසක් වගේ. මිනිහා මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්. රාජා මගේ යාලුවාගෙන් ලිෆ්ට් එකක් ඉල්ලනවා ගිය සතියේ දවසක. මගේ යාලුවා ලොකු වැඩක හිරවෙලා. මනුස්සයාට ඉන්න තැනින් හෙලවෙන්ඩවත් බැරි තරමෙ ලොකු වැඩක්!

අනේ මචං රාජව ගෙදරට ගෙනෙහිං දාන්ඩ පුලුවන්ද?

යකෝ හැතැම්ම 20-30 මේ වැස්සෙ යන්ඩ මට පිස්සුද? මම රාජව අඳුනන්නෙවත් නෑනෙ!

උඹ ඌව අඳුනන්ඩම ඕන නෑ. ඌ හොඳ කතා ටිකක් කියල දෙයි! මනුස්සයගෙ අතේ සල්ලිත් නෑ මචං මේ වෙලාවෙ ත්‍රී වීල් එකකටවත් ගෙවන්ඩ!

ඉතිං බස් එකේ යන්ඩ කියපංකො!

මචං ඌ ඉන්න තත්වෙ හැටියට බස් එකකට නග්ගගන්නෙ නෑ. ටිකක් වැඩි වෙලා වගේ කතා කරේ. අත්‍යාවශ්‍ය හේතුවකට නෙවෙයි නං මනුස්සයා මෙහෙම උදව්වක් ඉල්ලන්නෙ නෑ!!

මං මේ වෙස්ට් ඉන්ඩීස් මැච් එක බලන ගමන්! කාලෙකට පස්සෙ අපි දිනන මච් එකක් බලන්ඩ හිතුව විතරයි!

හරි මං රාජට කියන්නං ක්‍රිකට් අභිරහස් ටිකක් කියන්ඩ කියල යන ගමන්!


Monday, November 8, 2021

මුරුත්තෙට්ටුවේ උන්නාන්සේ වෙත

 

මුරුත්තෙට්ටුවේ උන්නාන්සේ වෙත ගෞරව පුරස්වරව ලියා දක්වන වගනම්...

ඔය එක එකා කට කැඩිච්ච කථා කිව්වට මම නං ඔබවහන්සේ කොළඹ විස්ස විජ්ජාලේ කුලපති වෙච්ච එක ගැන හරිම සංතෝසය. ඔය විස්ස විජ්ජාලවල ඉන්න උං හිතාගෙන ඉන්නේ උං මහ උගත්තුය කියලාය. ඔය මොන උගතත් රෑට රෑට එක එකාගේ ගොම්පස් අල්ලන්ඩ යනබව ප්‍රසිද්ධ රහසක් උනාට උන්ට කතා නැතිවෙන්ඩ නෙලුවේ මේ පාරය. ඕකුන්ට හොඳ වැඩේය. මට රෑ හීනෙනුත් පෙනෙන්නේ උං ඔබ වහන්සේට පෝලිමේ ඇවිත් දණ්ඩ නමස්කාර කරන විදිහය!


අනික අපේ නායකතුමා ඔබවහන්සේ ඔය තනතුරට පත් කෙරුවේ කිසි අධ්‍යාපන සුදුසුකමක් හිංදා නොවෙයිය රෙදි නැතුව කඩේ ගිය හිංදාය කියලා උන්නාන්සේගේ ශ්‍රී මුඛයෙන් දෙවා වදාරා තියෙන හිංදා ආය ඒකේ හේතුවක් හොයන්ඩ උවමනාවක් නැතිය.

Wednesday, October 20, 2021

මහේශාඛ්‍ය මෙඩිචි සහ ලියනාඩෝ

ඔය ජනේරු මාසෙ තියෙනවා නේද...හරි අපූරු මාසයක්. සූර පප්පලගෙ ගම අල්ලාගන්ඩ බැරි උනාට මොකද රෝමන් කාරයෝ හරි අමුතු වැඩ කරලා ලොක්කෙ පුරාම නමක් තියපු මිනිස්සු. එහෙව් රෝමන් කාරයෝ අවුරුද්දෙ මුල්ම මාසෙට නම දාන්නේ මූණු දෙකක් දෙපැත්තට පිහිටලා තිබ්බා කියල කියවෙන ජානුස් දෙවියන්ගෙ නම සිහිවෙන්ඩයි. මේ ජානුස් දෙවියන්ට මූණු දෙකක් තියෙන්නෙ එක මූණකින් අතීතේ වගේම අනික් මූණෙන්  අනාගතේත් බලන්ඩ පුලුවන් හින්ද කියලයි රෝමන් කාරයෝ හිතුවේ. මට මේ ළගඳි දවසක හිතුන මේ ජානුස් දෙවියගේ මූණ මොනවගේ වෙන්ඩ ඇද්ද කියල.

ජානුස්ට තියෙන්නෙ සන්තෝසෙන් ඉන්න මූණක්ද? නැත්තං ඔහු දුකෙන්ද? සමාන සුඛ දුක්ඛ මූණක්ද? අතීතෙත් අනාගතේත් දකින කෙනෙකුට මොනවා හිතෙනවා ඇද්ද? මහ ලොකු සෞභාග්‍යමත් අතීතයක් තිබ්බ කියන රටවල්වලට දැන් වෙලා තියෙන නස්පැත්තිය දැක්කම ජානුස්ට හිනා යනවද? දුක හිතෙනවද? ඔය ඔක්කොම අලකලංචි හිංද මට හිතෙනවා ජානුස්ට තියෙන්නෙ තේරුම් ගන්ඩ බැරි අන්දොස් වෙච්ච මූණක් කියල. හරියට මොනාලිසාගෙ මූණ වගේ.


මොනාලිසා කියපු ගමං මතක් උනේ ඩා වින්චිව. උන්නැහෙලුනෙ මොනාලිසා ඇන්දෙ. මොකද මේ ලෝකෙ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියා, චින්තකයා, නිමැවුම්කරුවා ඔය වගේ චිත්‍රයක් ඇන්දෙ? ඔය කියන තරම් වශීකරණ බලයක් - නෑ නෑ ඔය පත්තරේ දාන වශී ගුරුකම් ගැන නෙවෙයි මං කියන්නෙ ලක්ෂ කෝටි ගාණක් මිනිස්සුන්ගෙ හිත ඇද බැද ගැනීම ගැන- මේ චිත්‍රෙට ලැබුනෙ කොහොමද? විචාරකයො අවුරුදු සිය ගානක් මේ එක චිත්‍රයක් ගැන කෙස් පැලෙන විචාර එක එක විදිහට ඉදිරිපත් කරන්නෙ කොහොමද? දාස් ගානක් කවි සිංදු ලියන්ඩ මිනිස්සුන්ව පොළඹවන්ඩ තරම් හයියක් මේ එක චිත්‍රෙකට කොහෙන්ද? මම කවදාවත් මොනාලිසාව හැබහින් දැකලා නෑ. මං දැකලා තියෙන්නේ මොනාලිසා පෝස්ටර් විතරයි. හැබෑ මොනාලිසාව දැක්කොත් විතරයි මෙච්චර මේ චිත්‍රෙ ලස්සනද කියල තේරුම් ගන්ඩ පුලුවන් වෙන්නෙ. පුලුවන් උනොත් කවදහරි දවසක යන්ඩ ඕන ලූව්ර කෞතුකාගාරෙට ප්‍රංශෙ!

හෝව්! හෝව්! ඩා වින්චි ඉතාලිකාරයෙක් නේද? එතකොට කොහොමද මේ ප්‍රංශෙට හම්බ උනේ මොනාලිසාව? ප්‍රංශ කාරයො ගල් කරාද මේ ලෝක ප්‍රසිද්ධ චිත්‍රෙ? අද කට්ටකාඩුවේ කතාව ඒ ගැන.

ආ...තව සුට්ටි කාරණයක්! අපේ මාටින් වික්‍රමසිංහ මහත්තයා ලිව්වනේ අර තුන් ඈඳුතු කතාවක්. මාත් පොඩි අත් හදා බැලීමකටත් එක්ක එහෙම කතාවක් තමයි ලියන්ඩ හදන්නෙ. මේ කතාව දුවන්නේ එකම පවුලෙ පරම්පරා තුනක් එක්ක. ඒ හිංදා ටිකක් ඉවසිල්ලෙන් අහගෙන ඉන්ඩ ඕන ඈ.

Wednesday, September 29, 2021

ඩෙන්මාර්ක් ඔපෙරාව

 

හරියටම හය මාසෙකට, ඒ කියන්නෙ අවුරුදු බාගෙකට පස්සෙ බ්ලොග් එකට මොනව හරි ලියන්ඩ හිතුන. ආපහු බ්ලොග් කියවන කට්ටිය වැඩිවෙලාය, සට සට ගාලා කට්ටිය බ්ලොග් බලනවාය කියල කීප දෙනෙක්ම කියලා තිබ්බ හිංදා හිරි යන්ඩත් එක්ක කියල යමක් ලියන්ඩ හිතුවේ. මොකෙක්වත් බැලුවේ නැත්තං ආයෙත් ශිශිරතාරක නින්දට යන්ඩ තමයි කල්පනාව.

අද කියන්ඩ යන්නෙ ඔය එක එක්කෙනා කියන ගණං හිලවු තාර බර ඇරලා ඒ ඒ දේසේ හැටියට තේරුං ගන්ඩ ඕන බවට පොඩි උදාහරණයක්. කැමති නං අහන්ඩලා.

දැනට අවුරුදු පහලොවකට විතර ඉස්සර ලොකු මලයා සති දෙක තුනක් හිටියෙ ඩෙන්මාර් කෙ ආණ්ඩුවේ වැඩකට පොඩ්ඩක් සම්බන්ධ වෙලා. ඔය වැඩේ අතරතුරේ කෝපන් හේගන් වල බලන්ඩ තියෙන ලස්සන තැන් වලට- වැඩියක්ම අඩු ගානක් වියදම් කරල වැඩි දෙයක් බලන්ඩ පුලුවන් තැන් වලට යන්ඩ තමයි කල්පනාව තිබ්බේ. වැඩේ ඉවර වෙන්ඩ කිට්ටු දවසක අපි කාණ්ඩෙටම ආරාධනාවක් හම්බ උනා ඒ කාලෙ ඩෙන්මාක් රටෙ විදේශ අමාත්‍යාංශයෙන්. අප්පද බොල කෝපන් හේගන් ඔපෙරා හවුස් එහෙම නැත්තං ඔපෙරා පෙන්නන නෘත්‍ය ශාලාවේ රෑ කෑමකට ආරාධනයක් එහෙ විදේශ අමාත්‍යාංශයේ උප ලේකම්  එක්ක. රෑ කෑමට වඩා මට ඕන වෙලා තිබ්බේ අමුතු හැඩයකට හදලා තිබ්බ මේ ඔපෙරා හවුස් එක බලන්ඩ යන්ඩ. ඒක රෑට ලයිට් දාපුවම තැඹිලි පාටින් දිලිසෙනවා දැකලා තිබ්බට මං ඒක ළඟටවත් ගිහිං තිබ්බෙ නෑ.

ඔන්න ඔය තියෙන්නෙ කෝපන් හේගන් ඔපෙරා ශාලාව