Friday, September 14, 2018

භූත සෙල්ලම

ඝරසරප ෆිල්ම් එකේ කළු කුමාරයා කියන අද්භූත බලවේගය එක්ක කතා කරනවා කියල කියනවා.කළු කුමාරයා ආදරයත් එක්ක බැදිච්ච අද්භූත සංකල්පයක්. ආදරය කියන දෙයම මහා අද්භූත දෙයක් වෙච්චි කොට ආය වෙන අද්භූත දේවල් එක්කහු නොකරත් හැම ආදර කතාවක්ම අද්භූත කතාවක්. නිකමට හිතල බලන්ඩකො කොහොමද දෙන්නෙක් ආදරෙන් බැදෙන්නේ? කොහොමද ආදරේ කරන කෙනා වෙනුවෙන් අප්රමාන කැපකිරීම් කරන්නේ? එහෙව් කැප කිරීම් කරපු කෙනා සමහරවිට නොහිතූ, නොපැතූ විදිහට ඇත ඇරලා දාලා යන්නේ? එහෙම නැත්තං ආදරයත් එක්ක ජීවිතේ ඉවර වෙනකල් කටු කාගෙන ජීවත් වෙන්නේ?

ඔයවගේ දාර්ශනික දේවල් ගැන හිත හිතා ඉන්නකොට මට මතක් උනා අපි පොඩි කාලේ වෙච්ච සිද්දියක්. මේ සිද්ධිය වැඩි හල හොල්මනක් නැතුව ගලාගෙන ගිය අපේ ගමේ ජීවිතේ කොච්චර වෙනස් කරාද කියනවනං තාමත් මිනිස්සු මේ ගැන කතා වෙන වෙලාවල් තියනවා. ඉතිං අද කතාව ගැන.

කතාවේ මූලිකයා කවුරු උනත් මේක උනේ අපේ පල්ලෙහාගෙදර මාමලාගේ ගෙදර. ගෙදර කට්ටිය ගැන මම දැන් කතා දෙක තුනක ලියල තියනවා සමහරුන්ට මතක ඇති. අමතක අය බාචි ගේ පොල් හොරකම ගැන මෙතනිනුත්, පල්ලෙහාගෙදර මාමාගේ සමාජ සේවය ගැන මෙතනිනුත් බලා ගන්ඩ පුළුවන්.

Sunday, September 2, 2018

සිරි රහල් නම් උතුමෙකි- අවසාන කොටස


අතීතයෙන්  පටන් ගත්තු දියවන්නාව අදත් ගලාගෙන යනවා. එදා කෝට්ටේ රජ වාසලේ ඉඳලා ටික දුරකින් පිහිටලා තිබුණු දියවන්නාව කොච්චර නං රහස් සඟවා ගෙන ඇද්ද? අතීතේ අන්ධකාරය අනාගතයට ගෙනියන්නේ දියවන්නාවේ දියරැළි ද? මම මෙහෙම හිත හිතා ඉන්නකොට මෙන්න කුවේණි නාට්‍යයේ ගායක පිරිස එනවා කොන්තගන්තොට පාලම උඩට. ඔවුන් ඔබට ආරාධනයක් කරනවා.

සියක් දහසක් අතීතය දෙස
සියක් දහසක් අඳුරු සෙවණැලි
ඉන්ද්‍ර ජාලා මන්ත්‍ර අංජන
තුලින් සියුමැලි නෙත් යොමන්නේ 



මතකනේ අපි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ගැන කතා කරමින් හිටියා. එතුමා කියපු විස්තර ගැන තව ටිකක් හොයන්ඩ අපි අතීතෙට ගිහින් වීදාගම හාමුදුරුවොත් හම්බ උනා. කවුරු හරි කෙනෙකුට ඒ ගැන කියවන්ඩ බැරි උනානං මෙන්න මෙතනින්පළමුවැනි ලිපියටත් මෙන්න මෙතැනින් දෙවෙනි ලිපියටත් යන්ඩ පුළුවන්. අද අපි කෝට්ටේ යුගයේ අන්තිම කාලෙ හිටපු යුද වීරයා හම්බ වෙන්ඩ යනවා. වීදිය බණ්ඩාර කුමාරයා.

Thursday, August 30, 2018

සිරි රහල් නම් උතුමෙකි... - දෙවෙනි කොටස


තිරය විවර වෙයි.

අඳුර මැදින් කුවේණි නාට්‍යයේ ගායක පිරිසගේ හඬ ඇසෙයි.

ගලින් ගල ගටාලා
අන්ධකාරේ අතීතේ
ගිනි පුපුර මැවූ මුල්
මිනිස් තෙම ඉන් නොනැවතී 

එකම ගිනි සිලෙන් ඒ
ලෝ වටා ගිනි නගාලා
යුදට වැද උනුන් හා
එතෙර මෙතෙරත් සාගරේ

දසත නෙත් යොමන්නේ
නොදැන කිම්දැයි සොයන්නේ
ගිනි රැගෙන බලන්නේ
අතීතය මුණ ගැසෙන්නේ

කුවේණි නාටකයේ ගායක පිරිස වේදිකාවෙන් බැස යද්දී කට්ටකාඩුවේ පූරක වේදිකාවට එයි.


මතකනේ අපි හතර කෝරළේ ඉපදිච්ච, කෝට්ටේ හයවෙනි පරාක්‍රමභාහු රජ්ජුරුවෝ ගාව හැදිලා වැඩිච්ච, තොටගමුවේ විජයබා පිරිවෙණේ නායක ධූරයට පත්වෙච්ච අපේ රාහුල හාමුදුරුවොත් එක්ක කතා බහ කළා. උන්නාන්සේ බොහොම විස්සෝපයෙන් උන්නේ රජ්ජුරුවන්නේ ඔටුන්න බාර ගන්ඩ එතුමාට පුත් කුමාරයෙක් නැති එක ගැන. උන්නාන්සේ විතරක් නෙවෙයි කෝට්ටේ මාළිගේ ඔක්කොමලා එහෙමයි. හැබැයි රටේ ඊට වෙනස් මතයකුත් තිබුනා. ඒ ගැන අහන්ඩ අද අපි හම්බ වෙන්නේ රාහුල හාමුදුරුවෝ වගේම උගත් වියත් පඬි රුවණක්. නම කියපු පමණින් අදත් මිනිස්සු දන්නා වීදාගම මයිත්‍රීය හාමුදුරුවෝ. එන්ඩ අපිත් එක්ක මේ කතාබහට එක්කහු වෙන්ඩ.

Thursday, August 23, 2018

තොටගමු වෙහෙර වැසි - සිරි රහල් නම් උතුමෙකි



මතකද හෙන්රි ජයසේන මහත්තය. එතුමගේ නෑයො හිටිය අපේ ගමේ. ඒ කියන්නේ හතර කෝරළේ. ඉතිං හතර කෝරළේ මිනිස්සු ගැන ලියන්ඩ පටන් ගන්ඩ එතුමාගේම නාට්‍යයක් මතක් උනා. නාට්‍යය කුවේණි. මෙන්න ඇරඹුම.

අන්ධකාරෙන් දුරාතීතේ
අන්ධකාරෙට අනාගතයේ
රැගෙන යාමට කතා පුවතක්
අන්ධකාරේ සිට කියන්නේ

බොහෝ දේ සිදුවූ අතීතේ
වැළලිලා ඇත අන්ධකාරේ
පොළෝ පස් යට උනුන් කඳුළැලි
ලෙයත් ඩහදිය එකට මුසු වී

කුවේණි නාට්‍යයේ පූරක වේදිකාවෙන් බස යන අතර කට්ටකාඩුවේ පූරක වේදිකාවට පැමිණේ.


හතර කෝරළේ ඉතිහාසේ හොයාගෙන යන කොට....ආ... කියල හිටින්ඩ එපෑ අද ඉන්න මේ තමුන්නැහෙලා දන්නේ නැතුව ඇති නේ හතර කෝරළේ ගැන. හතර කෝරළේ කියන්නෙ ගල්බඩ, කිණිගොඩ, පරණකූරු, බෙලිගල් කියන කෝරළ හතරට. අද කාලේ හැටියටනං කෑගල්ල දිස්ත්‍රික්කේ  මාවනැල්ල, රඹුක්කන, අරණායක, කෑගල්ල, දැදිගම කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මායිම් වෙච්ච ප්‍රදේශයක්. අද අපේ කතාව මේ බෙලිගල් කෝරළේ ඉපදිච්ච නම කියපු පමණින් ලංකාවේ හැමෝම දන්නා උතුමෙක් ගැන. ෂඩ් භාෂා පරමේශ්වර කියලත් එතුමාට කියනවා. දන්නවනේ කවුද කියල...ඔව් තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. අපි යමුද උන්වහන්සේ බැහැ දකින්ඩ. නගින්ට මේ කාල යන්තරේට...

අපි යන්නේ ගාල්ලේ තොටගමුවේ විජයබා පිරිවෙණට.

Saturday, August 18, 2018

බැංකු හොරකම් කරන ලේසි විදිහක්


මේ ගිය සතියේ දවසක අහම්බෙන් ප්‍රවෘත්ති බලන්ඩ ලැබුනා.  රත්තරං උකස් ගත්තු කට්ටියගේ මූල්‍ය ආයතනයක සල්ලි දාපු මිනිස්සු දැන් ලොකු අමාරුවකට වැටිලා කියලත් ඒ ආයෝජකයෝ තමුන් ආයෝජනය කරපු සල්ලි ටික බේරා ගන්ඩ පාරවල් ගානේ උද්ඝෝෂණ කරන බවකුත් මම දැක්කා. මේ මෙහෙම සිද්ධියක් ලංකාවේ වෙච්ච පලවෙනි වතාව නෙවෙයි. එක එක්කෙනා කොහොම මොන දේවල් කිව්වත් වණික් බැංකුවෙන් ප්‍රමුඛ බැංකුවෙන් පටන් අරං සක්විති ගේ ඉඳල සෙලාන් බැංකුව හරහා තව මට නම මතක නැති මූල්‍ය ආයතන ගණනාවකට පොඩි පොඩි වෙනස්කම් ඇතුව උනේ මේ සංගදියම තමයි. ඔන්න කෙනෙකුට කියන්ඩ පුළුවන් මහ බැංකුවටත් මේ ලඟදි උනේ ඔය වගේ වැඩක් නේද කියල. මොකා කලත් හොරකම හොරකම ම තමයි. හැබැයි මේ මූල්‍ය ආයතන වල අයිති කාරයෝ ඔය වගේ තුප්පහි වැඩ කරන කොට අපි වගේ පොඩි මිනිස්සුන්ට අබ සරණම තමයි.


ඒ ගැන හිත හිතා ඉන්න කොට අපේ ෆ්‍රෙඩී සිල්වා මහත්තයාගේ පරණ සින්දුවක් මතක් උනා. මගේ හිතේ ඒක ලියල තියෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තය. සින්දුව තමයි පරණ කෝට්.

පරණ කෝට්...පරණ කෝට්
පිත්තල බොත්තම් කැඩිච්ච මුලාදෑනි මුරුත කෝට්
මෙන්න ගෙනාවා මෙන්න ගෙනාවා.....

එංගලන්තෙ පරණ පැටන්
කොළඹ පුරේ අලුත් පැටන්
කොළඹ පුරේ පරණ පැටන්
මේ පැත්තේ අලුත් පැටන්....