Tuesday, April 30, 2019

නාලිනී, වණය, ඉසිසිංග සහ අපි



අද උදේ පාන්දරම මට ඇහැරුනේ අමුතු සද්දෙකුත් එක්ක. ගෙදරට පල්ලෙහා පුවක් අරඹ පැත්තෙන් උළමෙක් කෑ ගහන සද්දයක්. ඌ කෑ ගහන හැටි මීට ඉස්සරත් මං අහල තියනවා. හැබැයි මේ දවස් වල තියන මූසල තැතිගැම්මත් එක්ක ඒ උළමගේ සද්දේ මට අමුත්තක් ගෙනාවා. උළමා කෑ ගහන්නේ කාට හරි කරදරයක් වෙන්ඩ ලං උනාම කියල විශ්වාසයක් තියෙනවා. ඒ හින්දම ඇඳෙන් නැගිටලා ඇවිත් ඉස්සරහ ජනේලෙ ඇරියෙ හරියටම සද්දේ එන්නේ කොහෙන්ද කියල දැනගන්ඩ.  මේ දවස් වල තියන අඩු පීඩන තත්වේ - සමාජේ විතරක් නෙවෙයි බෙංගාල බොක්කෙත් අඩු පීඩන තත්වයක් - හින්දද කොහෙද හීං සිරි පොදයක් වැටෙනවා. මට ඕන උනා ඒ සිරි පොදට තෙමෙන්ඩ....තෙමි තෙමී උළමාගේ සද්දේ අහන්ඩ. ඒ හින්දම දොරත් ඇරගෙන එලියට ඇවිත් පිල උඩින් වාඩි උනා.


සිරි පොද වැස්සේ තෙමි තෙමී උළමාගේ සද්දේ අහනකොට මතක් උනේ ගුණදාස කපුගේ මහත්තය..... එතුමා ගයනා කරන මගේ ආසම සිංදුවක්...

පාළුව දෙවනත් කරලා
නාඩන් උළ ලේනෝ

කාටත් නපුරු දා - තනිකම ඇති වෙනවා
හීත හුළං හිරි කඩයි - කැළේ අපිට උරුමේ
උඹට පිහාටුයි - මට පැල්පතයි තියෙන්නේ

උළ ලේනෝ....

උළ ලේනා නොහොත් උළමා ගැන මම ඉස්සරෝම කියෙව්වේ ආර්. එල්. ස්පිට්ල් මහත්තයාගේ Wild White Boy පොතේ පරිවර්තනයක් උන සුදු වැද්දා පොතෙන්. ඒ පොතේ විදිහට රජ්ජුරුවන්ගේ ඥාති දියණිය නාලිනීට තමයි උළමෙක් කෑ ගහන සද්දේ ඇහෙන්නේ.

ඔන්න එතකොට තමයි මට මතක් වෙන්නේ නලිනී කියල ජාතක කතාවක් තියනවා නේද ජාතක කතා පොත් වහන්සේ ගේ කියල. සමහරු මේ ජාතක කතාවට නිලිනිකා ජාතකය කියලත් කියනවා.

Sunday, April 21, 2019

එලොයි, එලොයි, ලාමා සබහ්තානි


එලොයි, එලොයි, ලාමා සබහ්තානි?

(මාගේ දෙවියනි, මාගේ දෙවියනි,
ඔබ මා අත් හැරියේ කුමක් නිසාද?)



“පිලාත් ඔවුන්ට නැවත පිළිතුරු දෙමින් , එසේ නම් ජුදෙව්වරුන්ගේ රජය' යි ඔබ කියන මොහු ගැන කුමක් කරන්නදැයි ඇසීය. කුරුසියෙහි ඇණ ගසන්නැයි ඔවුහු යලිත් මොර ගැසූහ. එකල පිලාත්: කිමෙක්ද? මොහු කුමන අපරාධයක් කෙළේ දැ යි ඔවුන්ගෙන් ඇසීය. එහෙත් ඔවුහු කුරුසියෙහි ඇණ ගසන්නැයි වැඩි වැඩියෙන් මොර ගැසූහ”.

ශුද්ධවර මාක් (15:12-14)

Friday, March 22, 2019

සාජම්මහත්තයගේ කතා


ඊයේ කරඩුපොන හංදියේ භයානක රිය අනතුරක් එහෙම නැත්තං අපේ ගමේ කියන විදිහට ඇස්සිඩන්ට් එකක් උනා. ඇස්සිඩන්ට් කියපු ගමන් මතක් වෙන්නේ පොලීසිය. මට නං ඉතිං පොලීසිය කියපු ගමන් මතක් වෙන කෙනෙක් තමයි සාජම්මහත්තයා. දැන් කොළඹ පොලීසියක භාර ධූර නිලතලයක් දරුවට මනුස්සයා අපේ ගමට නං සාජම්මහත්තයා ම තමයි. ඔය සාජම්මහත්තයා කියල නම වැටිච්ච විදිහත් හරි අපූරුයි. 

ඒකෙත් හැටි. එතුමා අපේ ගමට එතුමා සාජම්මහත්තයා උනේ පොලීසියට බැදෙන්ඩ ඉන්ටවීව් ගිය දවසේමයි. ඒ ඉන්ටවීව් ගිය දවසේ හවස උන්දැ හැමදාම කන බුලත් විටට එදා මත් වෙන පුවක් ගෙඩියක් හපලා කානුවක වැටිලා ඉන්දැද්දී අපේ එකෙක් එතුමාගේ සරම ගලවලා ඔලුව වටේ ඔතලා එක අතක් සැලියුට් ගහන විදිහට හදලා හැමෝටම පෙන්නුවට පස්සේ. වාසනාවකටද අවාසනවකටද මංදා ඒ කාලේ ඔය හැම කොල්ලයි බල්ලයි අතේම කැමරා තියන ෆෝන් තිබ්බේ නැතිකොට ඒ අමර දසුනේ මතකය තියෙන්නේ අපේ - ඒ කාලේ කොල්ලෝ- කීප දෙනෙක් ගේ හිත් වල විතරයි. හැබැයි සාජම්මහත්තයා මුළු ගමටම ඇහෙන්ඩ කියපු කුණු හරුප ටිකත්, කවද හරි දවසක එතුමා පොලීසියේ සාජම්මහත්තයෙක් වෙච්ච දවසට අර නසරානි වැඩේ කරපු එකාගේ අම්මාට දඩාවතේ යන බල්ලෝ ලව්වා කරවනවා කියපු දේවල් ටිකත් අපේ ගමේ අදටත් පුරාවෘත්තයක් විදිහට පවතිනවා!

එදා ඉදන් තමයි සාජම්මහත්තයා කියන නම වැටුනේ.

අද කට්ටකාඩුවට අපේ සාජම්මහත්තයගේ වැඩ දෙක තුනක් ලියන්ඩ කියල හිතුවා. කැමතිනං කියවන්ඩ මගේ මොකෝ!!?

Saturday, March 9, 2019

ගුරු ගෝල සටන - ගුත්තිල මූසිල 3


ගියපාර මම කියාගෙන ආපු කතාවේ ඉතුරු කොටස කියන්ඩයි මේ සූදානම. මේ කතාව මම හිතුවට වඩා ටිකක් දිග වැඩි උනා. ඒකට හේතුව මේ කතාව කියන ගමන් එක එක ගුරුවරු, යාලු මිත්තරයෝ අහන ප්‍රශ්න වලට උත්තර සපයන්ඩත් වෙන එක. ඒ කොහොම උනත් මේ කතාවේ පළමුවැනි කොටස මෙතැනිනුත්, දෙවෙනි කොටස මෙතැනිනුත් කියවලා ආවොත් තමයි වඩා පහසු වෙන්නේ.

ඔන්න එහෙමනං එදා ඉවර කරපු තැන ඉඳලා අද කතාව.


ඉතින් හාමුදුරුවනේ ඔබ වහන්සේ කොහොමද කියන්නේ මේ වාදය ගුත්තිල පඬිතුමාවත්, මූසිලවත් ඉල්ලපු එකක් නෙවෙයි, රජ්ජුරුවෝ බලෙන් පටවපු එකක් කියල?

මම කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. ජාතක කතා පොත් වහන්සේ රචනා කරපු කෙනාමයි එහෙම කියන්නේ.

කොහොමද?

මෙන්න මෙහෙම...අහගන්ඩකෝ හොදට...