Saturday, November 16, 2019

අපිට මොකද අපි අටසිල් උපාසක - ඉබ්බන්ගේ පුච්චන්නේ අනික් පිට



අද 2019 නොවැම්බර් 16. ජනාධිපතිවරණෙ මම චන්දෙ දෙන්නේ කාටද කියල තාම තීරණයක් නෑ. තව පැය කීපයක් තියෙනවනේ චන්දෙ දාන්ඩ. චන්දෙ දාන්ඩ යනවද නොයනවද කියලා එකෙල මෙකෙල වෙමින් ඉන්දැද්දී අනුරාධපුරේ ගිය වතාවල් කීපෙක ගත්තු චායාරූප ගොන්නක් දිග ඇරගෙන බල බලා හිටියා. කොයිකක උනත් දැක්කේ මහා වැව්...මහා වෙහෙර විහාර...මහා කුඹුරු යායවල්. මට හිතුනා මේ අපි දකින දේවල් එදා හිටපු මිනිස්සුත් දැක්කද කියල.


මට හිතිච්ච දේවල් එක්ක මහාවංශ සිංහල පරිවර්තනයකුත් පෙරලලා බලපුවම ඇත්තටම අපි - කියන්නේ අනුරාධපුර යුගයට සාපේක්ෂව අනාගත වැසියන් වෙන අපි දකින දේ එදා යුගයේ අය දැක්කේ නෑ නේද කියල හිතුනා. මට හිතිච්ච දේවල් කට්ටකාඩුවේ 'අගත අනගත' පාඨක ඔබ එක්ක බෙදා ගන්ඩයි මේ හදන්නේ. කැමති නම් කියවන්ඩ මගෙ මොකෝ!

Saturday, November 9, 2019

පවුල, රැවුල සහ බෝර්ජියා


බොර්ජියාවරු ගැන ලියන්ඩ පටන් ගත්තු වෙලාවේ මට හිතුනේ සිටුවර මොන්ත ක්රිස්තෝ පොතේ පාරියා පූජක තැන ශතෝ දීෆ් බන්ධනාගාරේ අඳුරු බිම් ගෙයක්  ඇතුලෙදි සීසර් බෝර්ජියා ගැනත් ඔහුගේ පියා වෙච්ච හයවෙනි ඇලෙක්සැන්ඩර් පාප් වහන්සේ ගැනත් කියපුවා මතක තියෙන්නේ මං වගේ මොන්ත ක්රිස්තෝ පිස්සන් කීප දෙනෙකුට විතරයි කියල. ඒත් බලා ගෙන ගියාම හුග දෙනෙකුට කතාව මතකයි. හුග දෙනෙක් ඇහුවේ මේ මං කියන්නේ අර පාප් වහන්සේ ගැනද කියල. නෑ. 1492 දී තමයි හයවෙනි ඇලෙක්සැන්ඩර් පාප්තුමා පදවියට පත් වෙන්නේ. මේ මම කියන්නේ 1455, කියන්නේ ඊට අවුරුදු 37කට ඉස්සර  කතාවක්. කාට හරි කතාවේ  මුල මතක නැත්නං මෙන්න මෙතනිං පරණ ලිපියට යන්ඩ පුළුවන්.
තුන්වෙනි කැලික්ස්ටෝ පාප් තුමා

ඔය අස්සේ ජනාධිපතිවරණ උණුසුමත් ඉහල යන බව පේන්ඩ තියෙනවා. සමහර යාලුවන්ගේ හැසිරීම් දැක්කම හිතෙන්නේ ඔවුන්  සහය දෙන අපේක්ෂකයා බැරි වෙලාවත් පැරදුනොත් එහෙම මට මල ගෙවල් හය හතක යන්ඩ වෙන බවයි. නූතන වහල් සේවය ක්රියාත්මක වෙන ආකාර හරි පුදුමයි. කතා පැත්තකින් තියලා අපි යමු 1455 ඉතාලියට. මිල්ලෙ සොයා නෙවෙයි...පාප් නිළවරනෙට මොකද්ද වෙන්නේ කියල බලන්ඩ.

ඔන්න එහෙනං කතාව.

Tuesday, October 29, 2019

බොර්ජියා වරු



ජනාධිපතිවරණයක්  ඇවිත්. කාට චන්දෙ දෙනවද කියල තාම තීරණයක් නෑ. හැබැයි කවුරු මග තොටේ දී හම්බ උනත් අහන්නේ මේ පාර කවුරු දිනයිද කියල. මං කොහොමද දන්නේ? මං සාත්තරකාරයෙක් නෙවෙයි නේ. ටික කාලයක් කේන්දර බලන හැටි ඉගෙන ගත්තු බව හැබෑව. දන්නා ටිකෙනුත් චන්දයක දිනුම පැරදුම වගේ දේවල් ගැන හරි තීරණයක් දෙන්ඩ පුළුවන් කියල මට හිතෙන්නේ නෑ. වෙනිං රටවල් වල නං අපක්ෂපාතී එහෙම නැත්තං ස්වාධීන කියල හිතන්ඩ පුළුවන් ජන මත විමසුම් පැවැත්වෙනවා චන්දෙකට කලින්. හුළඟ හමන්නේ කොයි අතටද කියල දැන ගන්ඩ වගේ සමීක්ෂණ හොඳ මෙවලම්. එහෙව් සමීක්ෂණ නැති අපි වගේ රටවල් වල මැතිවරණ උණ හැදිච්ච අයට තියෙන්නේ එකම සරණයි. ඒක තමයි මග තොටේදී හමුවෙන අයගෙන් මොකක් වෙයිද කියල අහන එක

පස්වෙනි නිකලස් පාප් තුමා 

කවුරුවත් මගෙන් එහෙම ඇහුවත් වැඩක් නෑ. මොකද මම මෙතෙක් කල් ජනාධිපතිවරණ වලදී චන්දෙ දීපු අපේක්ෂකයෝ දිනලා තියෙන්නේ 50% ප්රතිශතයක්. කියන්නේ මගේ තේරීම හරි හෝ වැරදි වෙන්ඩ පුළුවන්. ඉතින් කවුරු දිනයිද කියල මගෙන් අහන අයට දෙන්ඩ මම උත්තරයක් හදා ගත්තා. එක තමයි මම අද කියන්ඩ යන්නේ.

මේ මම කියන්නේ මම හොයා ගත්තු දෙයක් හෙම නෙවෙයි. මේ පරිච්චේදය තියෙන්නේ බොර්ජියාස් කියන පොතේ. පොත ලියල තියෙන්නේ ජී. ජේ. මේයර්.

බොර්ජියා වරු ගැන යුරෝපා ඉතිහාසයේ තියෙන්නේ හරිම කළු පින්තූරයක්. මධ්යතන යුගයේ ආගමික හා දේශපාලනික ක්ෂේත් වල මහා බල පරාක්රමයක් දක්වපු කෲරත්වයෙන්, කපටි කමෙන් හා නොයෙකුත් දුශ්චරිත වලින් තමන්ගේ බලය හා ධනය වැඩි කරගත්තු බොර්ජියා වරු ගැන වැඩි විස්තර ඔබ තමුන්නහෙලාම තෝර බේර ගන්ඩ. මම මේ කියන්ඩ යන්නේ බොර්ජියා වරුන්ගේ බලයේ උල්පත මතු වෙච්ච හැටි.  ඔන්න එහෙනං කතාව...    

Monday, September 23, 2019

රට විරුවන්



මේ ලඟදි තායිලන්තෙට යන ගමන් වෙච්ච සිද්ධියකින් අතීත මතකයක් අවදි උනා. අපි වෙනුවෙන් විදේශ විනිමය උපයන වෘත්තික නොවන රැකියා විදිහට බොහෝ දෙනා හඳුන්වන ගොන්නට අයත් වූ රැකියා කරන බහුතරයක් ගැන කතා දෙකක් හින්ද කට්ටකාඩුවට ලියන එක හොඳයි කියල හිතුනා. කෙනෙකුට හිතෙන්ඩ පුළුවන් මේ මගේ අත්දැකීම් දෙකක් විතරයි ඇත්ත තත්වය මීට වඩා වෙනස් කියල. එහෙම නං හුගක් හොඳයි. මේ මම දැකපු දේ සාමාන්යය නම් තමයි ප්රශ්නේ.

ඔන්න පලවෙනි කතාව..


සිද්ධිය උනේ මීට අවුරුදු දොළහකට පහළොවකට විතර කලින්. මම බස් එකක ගියත් ජනේලයක් අයිනේ වාඩි වෙලා යන්ඩ තමයි කැමති. වට පිට බල බලා යන්ඩ තියන කැමැත්ත හින්ද. ඔන්න දවසක් මම ලන්ඩන් ඉඳලා ලංකාවට එනවා කටාර් වල දෝහා ගුවන් තොටුපොල හරහා. කොටස් කීපයකින් සමන්විත ගමනක් යනකොට ගමන ආරම්භ කරන පළමු ගුවන් තොටුපොලේදීම ගමනට අදාළ බෝඩින් පාසස් ඔක්කොම ටික දෙනවනේ. ඉතින් මම ලන්ඩන් වලදීම දෝහා - කොළඹ ගම වාරය සඳහාත් බෝඩින් පාස් එක ගත්තා. ඒකත් වින්ඩෝ සීට් එකක්. එහෙම නැත්තං ජනේලයකට ආසන්න අසුනක්