Monday, January 15, 2018

ඒජන්ට් මෙට්‍රික්ස් සමග එක්ස් ෆයිල්ස්


මතකද එක්ස් ෆයිල්ස් කියල ඉංග්‍රීසි කතා මාලාවක් තිබ්බා? ඒජන්ට් මල්ඩර් සහ ඒජන්ට් ස්කලී කියලා එෆ්.බී.අයි. ඒජන්ත වරුන් දෙන්නෙක් සාමාන්‍ය ලෝකයේ සිද්දවෙන විද්‍යාත්මකව අසාමාන්‍ය දේවල් හොය හොයා ගිය අපූරු කතා මාලාවල් කීපයක්!! මේ නමින්ම චිත්‍රපටි දෙක තුනකුත් ආවා. ඉන්දියාවේ හදන ගොං පාට් කොපි කරන ඒවා රහ කර කර බලන (මට හිතෙනවා සමහරු ඒවා බලන විදිහට ටී වී එක බලනවා නෙවෙයි ගිලිනවා කියලා) අපේ රටේ මේ සම්මජ්ජාතියේ එක්ස් ෆයිල්ස් වගේ එකක කොපියක් හැදෙන්නේ නැති උනාට කාලෙකට ඉස්සර ජාතික රූපවාහිනිය මේ කතා මාලාව උප සිරැසි දාලා පෙන්නුවා. (මේ ලඟදි රෑ හතට පටන් ගත්ත විශේෂ වැඩසටහන් මාලාවේ බ්‍රහස්පතින්දා දවස වෙන් උනේත් එක්ස් ෆයිල්ස් වලට. ඒත් අපේ උන්දැලාට ඒක දිරවන්නේ නැති හින්දද කොහෙද දැන් එක නවත්තලා දාලා). 

ඔය කතා මාලාවේ ඉන්න ඒජන්ට් ස්කලී විතරක් නෙවෙයි මල්ඩර් වත් ඒ කාලේ අපේ හිත් පැහර ගත්තු චරිත. මගේ මතකේ හරිනං අගහරුවාදා හරි බ්‍රහස්පතින්දා හරි දවසක රෑ දහයට තමයි ඔය කතා පෙන්නුවේ. මාත් එක්ස් ෆයිල්ස් පිස්සෙක්. ඒ දවස් වල එක කතාවක් හරි බලන්ඩ බැරි උනොත් නිකං  සති දෙක තුනක් කෑවේ නෑ වගේ, ලංකාව බංග්ලාදේසේට පැරදුනා වගේ කොටිම්ම ගෙදර ගිහිං හිටපු නෝනා ආපහු ආවා වගේ.

                                               මේ ඉන්නේ ස්කලී සමග මල්ඩර් 


පහුගිය පෝස්ට් එකකින් අදුන්නලා දීපු මෙට්‍රික්ස් වීරයාත් එක්ස් ෆයිල්ස් පිස්සෙක්. මෙට්‍රික්ස් ගැන මූලික විස්තර දැනගන්ඩ කැමති කෙනෙකුට මෙතනින් ඒක බලා ගන්ඩ පුළුවන්. දැන් අපි එතුමා ගේ වැඩි විස්තර කතා කරමු.

මීට ඉස්සරත් කියලා තියන විදිහට අපේ සුන්දර මහ ඉලුප්පල්ලම (MI) යුගයට දැන් අපි යනවා. MI කොමන් රූම් එකේ ටීවී එකක් තිබ්බා. ඉතින් අපි MI ගියපු සතියෙම එක්ස් ෆයිල්ස් පෙන්නන දවසේ මම කොමන් රූම් එකට ගියේ රෑ නවය හමාරට විතර. ඒ වෙනකොට කොල්ලෝ වගයක් ටී වී එක ළඟ වාඩි වෙලා මොන මොනවදෝ බලනවා. ඉතිං මාත් කිට්ටු කරලා බැලින්නං උං බලන්නේ කිසිම අදාලත්වයක් නැති ප්‍රෝග්‍රෑම් එකක්. මෙට්‍රික්ස් ඉස්සරහම බංකුවේ වාඩි වෙලා රිමෝට් කොන්ට්‍රෝල් එක අතේ තියා ගෙන ඉන්නවා. මං ඇහුවා මොනවද උඹලා බලන්නේ කියලා.

එක්ස් ෆයිල්ස් ...මං දිහා නොබලාම මෙට්‍රික්ස් උත්තර දුන්නා.

හෑ...එක්ස් ෆයිල්ස් පටං ගත්තද? මං හිතුවේ තව පැය භාගයක් තියනවා කියලනේ. ෂ: අපරාදෙ!! මට කිය උනා.

ජය වේවා!!! කියා ගෙන මෙට්‍රික්ස් උඩ පැන්නා. මං දැනං හිටියේ නෑ එක්ස් ෆයිල්ස් බලන්ඩ කැමති තවත් කට්ටිය ඉන්නවා කියලා.

බැලින්නං මෙටා ගහපු ප්ලෑන් එකකට තමයි අනිත් කොල්ලෝ ඇවිත් තියෙන්නේ. කවුරු හරි වෙන කට්ටියක් ඇවිත් ටී වී එක බලයි කියන සැකේට මූ නවයේ ඉඳන් ටී. වී එක අල්ලාගෙන ඉඳලා අනිත් සෙට් එකත් එක්ක. එකම එක ටී වී එකක් තිබ්බ MI වලදී හුගක් කට්ටිය බලන ප්‍රෝග්‍රෑම් එකක් තියනවනං ඒකට තමයි ප්‍රමුඛත්වය හම්බ වෙන්නේ.  ඒකයි මෙටා කට්ටිය වැඩි කරලා තියෙන්නේ එක්ස් ෆයිල්ස් වලට. ඇත්තටම එක්ස් ෆයිල්ස් බලන්ඩ සෙට් උනේ එතන හිටපු අයගෙන් දෙතුන් දෙනෙක් විතරයි. ඉතින් අපි නොවරදවාම එක්ස් ෆයිල්ස් බැලුවා. බැරි වෙලාවත් අපේ සෙට් එකේ කාට හරි එක්ස් ෆයිල්ස් බලන්ඩ බැරි උනොත් මෙටා හම්බ වෙලා සම්පූර්ණ විස්තරයක් ලබා ගන්ඩ පුළුවන්. ඒ විස්තරේට ඒජන්ට් ස්කලී ඇඳලා හිටපු ඇදුමේ විස්තරත් ඇතුලත්!! මල්ඩර් හැරිලා බලපු විදිහ, , ඒලියන්ස් ලා බලන විදිහ, දුවපු හැටි වගේ දර්ශන මෙටා ආපහු රග පාලා පෙන්නුවා. ඉතින් එක්ස් ෆයිල්ස් බලපු උන්ටත් නැවත ප්‍රචාරයක් බලා ගන්ඩ ඕන උනොත් මෙටා හම්බ වෙන්ඩ යන එක අපේ පුරුද්දක් බවට පත් උනා.

ඔහොම කාලේ ගතවෙලා විභාග සමය උදා උනා. හැමෝම විභාගෙට පාඩම් කරනවා. කෑවද බීවද කියලවත් මතක නෑ. රෙදි හේදීම සිද්ද උනේම නෑ. නෑම, මූණ හේදීම තහනං කියලා ආණ්ඩුව නීතියක් පනවලා තිබ්බ කියලයි ඒ කාලේ අපි හිතුවේ. වෙලාවට වෙච්ච එකම වැඩේ ටොයිලට් යන එක විතරයි මගේ හිතේ. ඒකත් හරියට උනාද කියල ෂුවර් එකටම කියන්ඩ බෑ ආයිබොවන්.
    
MI වලදී තිබ්බ බරපතලම සබ්ජෙක්ට් එක තමයි ක්‍රොප් සයන්ස්.  සිලබස් එකෙන් තුනෙන් එකක් විතර අයිති උනේ ඔය සබ්ජෙක්ට් එකට. ඒ සබ්ජෙක්ට් එකේ විබාගේ හෙට කියලා අද රෑ කොමන් රූම් එකේ කුප්පියක් (විබාගෙට වැදගත් වෙන දේවල් ගැන කවුරුහරි සබ්ජෙක්ට් ඔස්තාද් කෙනෙක් පවත්තන සීග්‍ර පුනරීක්ෂණ පංතියක්) තිබ්බා. දැන් වෙලාව නවය හමාරයි. මෙටා මං ගාවට කිට්ටු කරා.

"මචං තව පැය බාගෙකින් එක්ස් ෆයිල්ස් පටං ගන්නවා!"

"ඉතිං?"

"මේ කුප්පිය ඉවර වෙන්ඩ තව පැය දෙකක් වත් යයි!"

"හ්ම්...ඉතිං මොකද?:"

"මොකද කියන්නේ? අපි එක්ස් ෆයිල්ස් බලන්නේ කොහොමද මේ මගුල් කුප්පිය තියනකොට!!!?"

මාව උඩ ගිහිං බිම වැටුනා. මූ මේ කියන්ඩ යන්නේ අපේ එක්ස් ෆයිල්ස් වෙනුවෙන් මුළු බැච් එකේම කුප්පිය අල කරමු කියලද? (ඒ තරං පල්ලෙහාට වැටෙන්ඩ අපි පෙරටුගාමීන්ද? හොඳ වෙලාවට ඒ කාලේ පෙරටුගාමියෝ හිටියේ නෑ. උං හිටියේ සීනුව ඇතුලේ)

"ඉතිං උඹ මොකද කරන්ඩ කියන්නේ?" මම ඇහුවේ දෙගිඩියාවෙන්.

"ටීවී එක එළියට අරං යමු!"

"අරං ගිහිං?"

"එක්ස් ෆයිල්ස් බලලා ආපහු කුප්පියට එමු!!"

"අපි දෙන්න විතරක්?"

"නෑ. තව දෙන්නෙක් ඉන්නවා!!!"

මුළු බැච් එකේම සූ හඩ මැද අපි ටී වී එක අරගෙන එලියට ගියා. එක්ස් ෆයිල්ස් පටන් ගන්නකොට සද්දේ ටිකක් වැඩි කරාම අනිත් උං අපිට වතුර කෝප්ප දෙක තුනක් ගැහුවා. ඒ හිංදා අපි සද්දේ වැහුවා. සබ් ටයිටල් තියන හිංදා එච්චර ප්‍රශ්නයක් නැතත් මෙටාගේ හිතට අමාරුයි. මූණ ඇඹුල් වෙලා.

"මොකද බං මෙච්චර අමාරුවෙන් වැඩේ ගොඩ දා ගත්තහම උඹ අප්සෙට් එකේ?"

"මචං අද බැක් ග්‍රවුන්ඩ් මියුසික් අහන්ඩ බැරි වෙනවනේ!!!" මෙටා ඒ තරමට එක්ස් ෆයිල්ස් පිස්සෙක්.

කතාව ඉවරද? නෑ පටං ගත්තා විතරයි.ඉතුරු හරිය තමයි මෙටා ගේ චරිතේ අදුනා ගන්ඩ වැදගත්ම.

එදා එක්ස් ෆයිල්ස් කතාව ටිකක් අමුතුයි. මට මතක විදිහට හඳුනා නොගත් රසායන ද්‍රව්‍යයක් හිංදා ස්කලී ගේත් මල්ඩර් ගේත් සිහිය විකෘති වෙනවා. ඒ අය යතාර්ථය විදිහට විශ්වාස කරන්නේ මායාවක්. එහෙම නැත්තං හිතෙන් මවා ගන්න දේවල් යතාර්ථය විදිහට පිලි ගන්නවා. හැබැයි ටිකකින් බලා ඉන්න අපිට තේරෙනවා මල්ඩර්ලා දකින දේ නෙවෙයි ඇත්ත කියලා. ඔන්න පැයකින් විතර කතාව ඉවර උනා. අපි ආපහු කුප්පියට යන්ඩ නැගිට්ටා. එතකොට මෙටා මෙහෙම ඇහුවා.

"ඇයි අපි කුප්පියට යන්නේ?"

"හෙට විබාගෙනේ. අද ඔලුවට දා ගත්තු දෙයක් ආවොත් එහෙම එපා කියන්ඩද?" මං කිව්වා.

"හැබැයි හෙට විබාගයක් නැත්තං?"

"කව්ද කියන්නේ?"

"අපි හෙට විබාගෙයක් තියනවා කියල හිතා ගෙන ඉන්නේ අර මල්ඩර් වගේ නං?"

"තොට පිස්සුද බල්ලෝ?" මට යකා නැග්ගා. මූ මරු කියවනවද කොහෙද!!

"මටද පිස්සු තොටද කියලා දන්නේ කවුද බල්ලෝ?" මෙටා උත්තර දුන්නා.

මට හිතෙන්නේ අපි මේ දකින්නේ හීනයක්. හැබෑවටම හෙට විබාගයක් නෑ!!! මෙටා උගේ අන්තිම තීරණේ ලබා දුන්නා!!

එහෙම කියපු මෙටා හොස්ටල් එකට ගිහිං නිදා ගත්තා!! අපි දෙතුන් දෙනෙක්ම ගිහිං ඌව කුප්පියට අඩ ගහ ගෙන එන්ඩ හැදුවත් ඌ නෙවෙයි අපි මේ ජීවත් වෙන්නේ 'සිහින යතාර්තයක' කියන දාර්ශනික අදහස වෙනස් කලේ.

වාසනාවට පහු වෙනිදා වෙනකොට ඌට එක්ස් ෆයිල්ස් ටිකක් අමතක වෙලා තිබ්බා. ඒ හින්දද කොහෙද විබාගේ තියනවද කියලා අඩුම ගානේ විබාග ශාලාවට ගිහින් බලන්ඩ ඌව කැමති කර ගන්ඩ අපිට පුළුවන් උනා. බැලින්නං විබාගේ තියනවා. මෙටා විබාගේ ලිව්වා.
කියන්ඩ සන්තෝසයි මිත්‍රවරුනි අපේ මෙටාත් ඒ සබ්ජෙක්ට් එක පාස්!!

දෙවෙනි කතාව සිද්ධ වෙන්නේ 2017 ජනවාරි. අපි අර එක්ස් ෆයිල්ස් කතාව බලන කොට ඉපදිච්ච එව්වෝ ඒ වෙනකොට ඒ ලෙවල් විබාගේ කරන වයසේ!! ජනවාරි පළවෙනිදා මම මෙටාට යාලුවෙක්ගෙ ෆෝන් එකකින් මෙහෙම මැසේජ් එකක් යැව්වා.

Wish you a happy new year - Agent Fox Mulder 
            
           විනාඩි පහක් ගියේ නෑ අර නම්බර් එකට උත්තරයක් ආවා.
Wish you same – Agent Scully
            අපේ මෙටා තාම වෙනස් වෙලා නෑ!!!!
    
දැන්    තුන්වෙනි කතාව.

මේක තේරුම් ගන්ඩ MI වල අපේ හොස්ටල් තිබ්බ ආකාරය ගැන පොඩි විස්තරයක් ඕන කරනවා. ඔන්න බලන්ඩකෝ මම ඇදපු මැප් එක වචන නාස්ති නොකර.


MI වල තිබ්බ ගමනාගමන අපහසුතා හිංදා හැමෝටම බයිසිකල් පැදීමේ ප්‍රවීනත්වය අත්‍යාවශ්‍ය සාධකයක් උනා. හොස්ටල් වල ඉඳලා ෆීල්ඩ් එකට යන්ඩ විතරක් නෙවෙයි ලෙක්චර් හෝල් එකට යන්ඩත් බයිසිකලේ අනිවාර්ය අවශ්‍යතාවක්. ඉතින් අපි හැමෝම බයිසිකලයක් අරගෙනම තමයි ගියේ. අපි හිටියේ ඔය රූපේ දැක්වෙන ෆස්ට් ඩොර්ම් එකේ. මෙටා හිටියේ සෙකන්ඩ් නැත්තන් තර්ඩ් ඩෝම් එකේ. මට දැන් හරියට මතක නෑ. ඒ කොහොම උනත් ෆස්ට් ඩෝම් එක ඉස්සරහ තියන තාප්පෙට මුවා වෙලා ලෙක්චර්ස් ඉවර වෙලා එන කෙල්ලන්ට වතුර ගහන එක අපේ එක ප්‍රධාන විනෝදාංශයක්. 

බයිසිකල් පැදීමේ සෑහෙන දක්ෂතාවක් තිබ්බ අපිට ලෙක්චර්ස් ඉවර වෙලා හොස්ටල් එකට ඇවිත් වතුර ගහන්ඩ ලැස්ති වෙන්ඩ ඕන තරං වෙලාව තිබ්බේ ගෑල්ළමයි හුග දෙනෙක් බයිසිකල් පැද්දේ ඔය මං පෙන්නලා තියන ආකාරයට බීපු මිනිස්සු පාරේ ඇවිදගෙන යනවා වගේ රුවිතෙට හිංදා. ඒ හිංද කෙනෙකුට අර්ථ දක්වන්ඩ පුළුවන් අපේ වතුර ගැහීම, පාරේ කෙලින් බයිසිකල් පැදීමට ගෑල්ළමයින් උනන්දු කරවන්ඩ ගත්තු උත්සාහයක් කියලත්!!!  ඉක්මනට බයිසිකල් පැද්දොත් වතුර පාර නොකා හොස්ටල් එකට ගියෑකි!!

ඔය ඉරණමෙන් ගැලවුනේ 'සුබද්‍රා අක්කා' විතරයි. සුබද්‍රා අක්කා කැම්පස් ආවේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තු වල සෑහෙන කාලයක් සේවය කරලා විභාගයක් ලියලා කෘෂි පීටයට එන්ඩ හැම අවුරුද්දකම හය හත් දෙනෙකුට තිබ්බ වරමින්. අනිත් හැමෝටම වඩා ඇත මිට සරු, රස්සාවක් කරපු සුබද්‍රා අක්කට බයිසිකල් පදින්නේ නැතුව චැලියක් ගන්ඩ හැකියාව තිබ්බා. ඉතින් හොඳට බයිසිකල් පදින්ඩ දන්න කෙල්ලෝ ටිකයි, සුබද්‍රා අක්කයි වතුර ගැහිල්ලෙන් බේරෙද්දී තාප්පේ අයිනේ හැංගිලා හිටපු අපෙන් නොමිලේ නා ගෙන යන්ඩ අනිත් කට්ටියට සිද්ධ උනා. කාලයත් එක්ක ඔය් වතුර ගැහිල්ලේ තිබ්බ ආතල් එක අඩු උනේ ගෑල් ළමයි හොඳට බයිසිකල් පදින්ඩ පුරුදු වෙච්ච හිංදා. ඉතින් අපි ඔය සෙල්ලම අමතක කරලා දාලා ටික දවසක් වෙනකොට මෙටා අලුත් ක්‍රමයක් හොයා ගත්තා.

ඒ තමයි ලෙක්චර්ස් කට් කරලා තාප්පේ අස්සේ හැංගිලා ඉඳලා වතුර ගහන එක.දැන් කාටවත් මෙටා ගෙන් ගැලවීමක් නෑ!!

දවසක් එක්ස් ෆයිල්ස් එකේ පෙන්නුවා අවුරුදු සිය ගානකට පාරක් අවදි වෙලා මිනී මරලා නැවත නින්දට යන පුදුම සතෙක් ගැන. එදාට පහුවදා මට හරි මහන්සි දවසක් ෆීල්ඩ් එකේ වැඩ කරලා. ඒ හිංදා ලෙක්චර් එකට නොගිහිං මම නිදා ගත්තා. මම ඇහැරුනේ මර ලතෝනි දෙන සද්දයක් එක්ක. ඒත් එක්කම තිත්ත කුණු හරුප වැලකුත් කණට ඇහිච්ච හිංදා මම නැගිටලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම ඒ දර්ශනය දැක්ක ගමං මටත් එක පාරට බය හිතුනා. මෙටා අර අරුම පුදුම සතා විදිහට ඇඳලා. ඇඳලා කිව්වට එහෙමම නෙවෙයි. අමු හෙලුවැල්ලෙන් වතුර නාලා ඇඟ පුරා පාන් පිටි ගාගෙන!! ඒලියන් එෆෙක්ට් එක වැඩි කර ගන්ඩ ලන්කට් එකක් ඔලුවට දාගෙන. ඒකෙ කකුල් දෙක දාන්ඩ තියන හිල් දෙක ඇස් දෙකට සෙට් කරගෙන!!! ටිකක් මෙන්න මේ වගේ උගේ පෙනුම.   

අර කර්ණ රසායන සුද්ධ සිංහලෙන් ඌව අමතලා තියෙන්නේ මේ අමනුස්ස රූපෙට බය වෙච්ච අපේ ඩෝම් එකේ හිටපු එකෙක්.

"මොකද $%&තෝ ඔය කරන්නේ?" ඌ අහනවා

"කොහොමද මගේ කිට? ඒලියන් කෙනෙක් වගේ නේ?" ඒ මෙටා.

"ඔව්.. ඔව්... ඒ වගේමයි. ස්කලී දැක්කොත් උඹව වඩා ගනියි!!" මමත් මගේ සත පහ එක්කහු කරා!!  

"අද මෙහෙමයි මං වතුර ගහන්නේ. හොඳයි නේද?"

මට දැනුයි කතන්දරේ තේරෙන්ඩ පටන් ගත්තේ. සාමාන්‍යයෙන් අපි කෙල්ලන්ට වතුර ගහන කොට මූණ වහ ගන්නවා අපිව ඇදුනා ගන්න හිංදා. ඇග කොහොමවත් පෙන්නේ නෑ තාප්පෙට වැහිලා හිංදා. මෙටා අර ජාතික ඇඳුමෙන් මූණ වහ ගෙන. ඊට පස්සෙයි තව ඒලියන් එෆෙක්ට් එක වැඩි කර ගන්ඩ උපං ඇඳුමට බැහැලා තියෙන්නේ. උගේ ඇඳුම කෙල්ලන්ට පේන්නේ නැති හිංදා ලොකු අවුලක් නෑ.

ඔන්න ඉතින් මෙටා ගෑල්ළමයින්ට වතුර ගහන්ඩ පටං ගත්තා. අපේ ඩෝම් එකට ආපු ඒවුන් ඩෝම් එක ඇතුලේ ඉඳන් මේ අලුත් ඒලියන් උපං ඇඳුමෙන් වතුර ගහන හැටි බලාගෙන හිනා වෙවී ඉන්නවා. අර සිංදුවක් තියනවනේ 'සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි - ලෝ දම් කැරකෙනවා' අන්න ඒක තමයි ඊගාවට උනේ.

සුබද්‍රා අක්කා චැලියේ එනකොට කෙල්ලෝ හූ තිය තිය බයිසිකල් පදින සද්දේ ඇහිලා. අක්කා බයවෙලා මොකෙක් හරි සතෙක් කියලා. ඒ වෙනකොට වතුර ගැහිල්ල නැත්තටම වගේ නැතිවෙලා තිබ්බ හිංදා සුබද්‍රා අක්කට හිතිලා නෑ මේ ජල කෙලියක් කියලා. අක්කා අර උද සිතියමේ තියන ගේට්ටුවෙන් ඇතුලට චැලිය කෙලිම්ම දාලා. 

පිංවතුනි දැන් සුබද්‍රා අක්කට පේන්නේ මොකක්ද? සක්‍රයද? වයිමද? නෑ...උපං ඇඳුම උඩින් පිටි තවරා ගත්තු 'ඒලියන්' මූණක් තියන එකෙක් පාරේ යන කෙල්ලන්ට වතුර ගහනවා!! 
තව තත්පර කීපෙකින් අපේ උන් මේක දැක්කා. උං මෙටාව ඇදගෙන විදුලි වේගෙන් ඩෝම් එක ඇතුලට ආවා.

මේ සිද්ද වෙච්ච අලකලංචිය ඊගාව බැච් මීටිමේදී ඇද්දේ සුබද්‍රා අක්කා. හැබැයි හෙලුවෙන් වතුර ගහපු ඒලියන් ගේ මූණ ඇදුනා ගන්ඩ බැරිවීම කියන තාක්ෂණික කාරණේ උඩ නඩුව සැකකාරයෙක් නැතුවම අහක ගියා. 

දැන් ඇති නේද මෙටා ගේ වැඩ ගැන කතා. තව පෝස්ට් කීපෙකට ඌ කරපු වැඩ ලියන්ඩ පුළුවන් උනත් මෙටා ගේ චරිත ලක්ෂණ අවබෝධ කර ගන්ඩ මේ ටික ඇති. අද වෙනකොට මෙටා පශ්චාත් උපාධියත් ඉවර කරලා සාර්ථක පවුල් ජීවිතේකුත් ගෙනියනවා. හොඳ රස්සාවකුත් කරනවා. ඒ ගැන මට සතුටුයි.

මට තියන අසතුට අර මායාකාර යතාර්ථය අඳුනා ගන්ඩ බැරිවීම ගැන. ඇත්තටම අපි ඉන්නේ හීනයකද? අර කතාවක් තියනවනේ යතාර්ථය හැමවිටම ප්‍රබන්ධයට වඩා විශ්මයජනකයි කියලා. ඒ වගේ ජීවිතේ ඇත්ත තොර ගන්ඩ කලණය, න්‍යාස (මෙට්‍රික්ස්) වගේ දේවල් පිරිච්ච බටහිර විද්‍යාවට පුලුවන්ද? නැත්තං ජීවිතේ ගැන තේරුම් ගන්ඩ පුළුවන් පෙරදිග ක්‍රමේට විතරද? එක්කොත් වෙන දෙයක් වෙච්චදෙන් කියල මේ මායාවෙම ඇලිලා ගැලිලා ඉම්මුද? මේ එකකටවත් මට නං උත්තර නෑ. 

මේ කතා කියෙව්වට ඔක්කොටොම තෑන්ක්ස් ආ...!!

39 comments:

  1. මෙට්‍රික් ගේ වතුර පාර හරියට ගැල් ළමයින්ට වැදුනහම තැන්ක්ස් කරන්නේ නැද්ද.?ඔය හොස්ටල් වල ගත කරපු මුල්ම කණ්ඩායම තමා අපි.මම හිටියේ තුන්වෙනි ධෝමෙට්‍ර් ඒකේ.ඒ දවස්වල සමහර විට වතුර ප්‍රශ්න එනවා.අපේ එකෙක් හිටිය නිතරම් බලන්නේ නිවාඩු හම්බවෙලා ගෙදර යනඩ.ඉතින් ඔය වතුර නැතිව වගේ ප්‍රශ්නයක් අපු ගමන් ඌ කියන්නේ මචන් යන සයිස් නේද කියල .උට පස්සේ යන සයිස් කියල නමකුත වැටුන.කොහොමත් එම් අයි ජීවිතතේ ට නැවත ගෙනිච්චට ලොකුමල්ලිට තැන්ක්ස්

    ReplyDelete
    Replies
    1. මෙටා තෑන්ක්ස් කියලා කියන්නේ සාමාන්‍ය තත්ත්ව යටතේ විතරයි. වතුර ගහන, රැග් කරන වගේ වෙලාවල් වලදී මෙටා ජීවත් වෙන්නේ වෙනම ලෝකෙක. ඒ වැඩේට සම්පූර්ණයෙන් කැපවෙලා තමයි ඌ ඉන්නේ. ලියන්ඩකෝ දසනායක මහත්තය ඔබ තුමාගේ කාලේ මහ ඉලුප්පල්ලම ගැන. ආසයි දැන ගන්ඩ.

      Delete
  2. උෟව ඇදන් දුවපු එකාට ටෑන්කස් කලේ නැද්ද?
    අර අක්කට සොරි කීවෙත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෑ. ඇත්තටම සුබද්‍රා අක්කා සැක කළා එදා වතුර ගැහුවේ මෙටා කියලා. ඒත් අපේ රෙපා ඇහුවා කොහොමද අදුන ගත්තේ ඇදුනුත් නැතුව මූණත් වහගෙන නං හිටියේ කියලා. ඒක තමයි තාක්ෂණික ප්‍රශ්නය. කාටද කියන්ඩ පුළුවන් අහවලාගේ අහවල් අවයවයෙන් තමා මම ඌ අදුන ගත්තේ කියලා. හැබැයි සෑහෙන කාලයක් යනකල් මෙටා ව ඇදගෙන දුවපු එකා කන වහගෙන හිටියේ මෙටා ළඟ ඉන්නකොට. ඌ මතක් වෙන මතක් වෙන පාරට තෑන්ක්ස් මචං!! කියලා කිව්වා.

      Delete
    2. //කාටද කියන්ඩ පුළුවන් අහවලාගේ අහවල් අවයවයෙන් තමා මම ඌ අදුන ගත්තේ කියලා.// i have baaaaaaaaaaaaaaaaad feeling about this

      Delete
    3. Good argument to remember if you are going to face similar situation!!! Don't forget to thank Metrix after such a situation!!!!

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මේට්‍රික්ස් එකේ බැක්වර්ඩ් ජම්ප් එක කොහොමද? පසුව spoof ෆිල්ම් වලත් ඒක දැම්මා (copied from comment in last post)

      Mulder ඕනෙ වෙලාවක අඬන්න වගේ ඩිප්‍රෙස්ඩ් නේ?
      ම්ං හිතන්නෙ Scully ඕනෙ වෙලාවක මිග්‍රේන් තියනව වගේ මූණ ඇඹුල් කරන් හිටිය නිසා වෙන්නැති :-D

      Delete
    2. සමහරවිට මල්ඩර් ගේ සහ ස්කලී ගේ තිබ්බ 'ඉටිපන්දන් හඳුන් කූරු' ගතිය හින්දම වෙන්ඩ ඇති ඔවුන් සාර්ථක ජෝඩුවක් උනේ. ස්කලී ට එක්ස් ෆයිල්ස් පෙන්නුවේ ලංකාවේ එකෙක්. මතකද පස්යාලේ ඉඩං පල හිලව්ව. මෙටා හොය හොයා හිටියා අහු උනොත් මරන්ඩ. මෙට්‍රික්ස් එකේ බැක් වර්ඩ් ජම්ප් එක දේශපාලකයෝ. උං කිසි හිරිකිතයක් නැතුව ගත්තු තීරණ වෙනස් කරනවා. ඒ අතින් අපි ජීවත් වෙන්නෙත් මෙට්‍රික්ස් ෆිල්ම් එක ඇතුලේ වගේ තමා.

      Delete
  4. මරු යකෝ. උඹේ ලිවිලි කියවන්න ගත්තාම නවත්තන්න හිතෙන්නෙ නෑ. මේකට කොහොමද ප්‍රතිචාරයක් දාන්නේ. මෙහෙම කරමු,

    1. ඒ කාලයේ මමත් හෙන එක්ස්-ෆයිල්ස් ෆෑන් කෙනෙක්. නමුත් කල් ගත වෙලා මේ ළඟදි ආයෙ බලද්දි අර මුලින් පොඩි කාලයෙ බලද්දි තිබ්බ ආතල් එක ලොවෙත් දැනුනේ නෑ. චාටර් කියල හිතුනා. මොනවා කරන්නද. අර කතාවක් තියෙනවනෙ, පොඩි කාලයේ ආසාවෙන් බලපු කතා ආයෙ ලොකු වෙලා බලන්න යන්න එපා.. පොඩි කාලයේ මතකයත් එක්ක තිබ්බ ආතල් එක නැතුව යනව කියල.

    2. උඹ ඇඳලා තියෙන හොස්ටල් ප්ලෑන් එක මරු. මේ වගේ අංග සම්පූර්ණ කොලිටි බ්ලොග් පෝස්ට් කලාම කලාතුරකින් හරි කියවන්න ලැබෙන එක අපේ වාසනාවක්. කීප් ඉට් අප් !

    3. අපි ජීවත් වෙන යථාර්තය, හරියටම කියනවා නම් "මම" කියන එකා අත්දකින යථාර්තය සැබවක්ද නැද්ද කියන එක නිමක් නැති සංවාදයක්. කොටින්ම ඔය ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න අපට විදියක් නැහැ.

    4. උඹ ආසාවෙන් එක්ස්-ෆයිල්ස් බැලුවා නම් මට අනුව එක්ස්-ෆයිල්ස් කතා මාලාව ගව් ගනනකින් අභිබවා යන කතා මාලාවක් රෙකමදාරු කරන්නම්. Black Mirror කියල එකක් ඇති බලල නැත්ත්නම් ඩවුන්ලෝඩ් කරන් බලහන්. හතරවෙනි සීසන් එක මේ ළඟදි ඉවර වුනා.

    දිගටම ලියහන් මචෝ. දිගටම මේ පැත්තේ එන්නම්. ජය !

    ReplyDelete
    Replies
    1. 1. ආයෙත් අහල. පොඩි කාලේ සුන්දර මතක එහෙමම තිබ්බාවේ.
      2.තැන්ක්ස් ආ...තෑන්ක්ස්!!!
      3. උත්තර නැති ප්‍රශ්න කොච්චර තියනවද?
      4. තෑන්ක්ස් අගේන්. මං දැනං හිටියේ නෑ ඒ ගැන. දැන් තියන අවිවේකයත් එක්ක නිවී හැනහිල්ලේ එහෙම කතාවක් බලන්ඩ වෙන්නේ නෑ. හැබැයි පුළු පුළුවන් බලන්ඩ බා ගත කරලා තියා ගන්නං. තෑන්ක්ස් ෆොර් ද ඉන්ෆෝ...!!

      Delete
    2. I was a avid,die-hard fan of X-files.When I hear that eerie theme music, that itself is enough to give me goose bumps. There was another program called "Twilight zone" which is more or less in the same genre.

      As somebody mentioned earlier, I might loose the taste, if I watch them again. That's where "Black Mirror" comes handy. Thanks for the tip mate, I must say that's some serious fucked up shit.

      Delete
  5. ඉස්සර මාත් ආසාවෙන් බලපු කතා මාලාවක්.එම නිළිය ලංකාවෙන් ලොකු වත්තක් මිලට ගත්තා නේද?මෙහේ එය බලාගන්න ඔවුන් පත්කල පුද්ගලයා පසුව බලහත්කාරකමින් දේපළ අත්කරගන්න හදල නඩුවක් ගියානේද?මතකද ඉස්සර තවත් ඇමරිකන් කතා මාලාවක් මෙල්රෝස් ප්ලේස්,ඒ වගේම මලිබු බීච්.යුරෝපයේ මැදිවියේ හා තරුණ කාන්තාවෝ ඒවාට අසාඋනා.සිනමාවෙන් ඇමරිකාව ලෝකෙම අල්ලගෙන...හොඳ සල්ලි.අපි ඉතාලියේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්යාලේ ඉගෙන ගනිද්දි ඉතා තරුණ අමෙරිකානු ආචාර්යවරයා තම දේශණයේදී පැවසුවේ ඇමෙරිකාවේ දුක්බර ජීවිත ගෙවන අය ඕනෑ තරම් ඇතිබවත් ඇමෙරිකානු සිහිනවලට නොරැවටෙන ලෙසත්.

    ReplyDelete
    Replies
    1. ඔව් ගුණවර්ධන තුමනි ඔබ හරියටම හරි. මම කවදාවත් ඇමරිකාවට ගිහිං නෑ. හැබැයි එංගලන්තේ අත්දැකීමත් එහෙමමයි. ඒ අතින් අපේ රටවල් තාම වාසනාවන්තයි. සමහරු කියනවා සීතල යුධ සමයේ සෝවියට් කඳවුර ඉලක්ක කරලා හදපු ඇමරිකානු ප්‍රචාරක දැන්වීම් වලයි ඇමරිකානු සෝප් ඔපෙරා වලයි ලොකු වෙනසක් නෑ කියලා. මම දන්නා තරමින් ඇමරිකානු කළු ජාතිකයන්ගේ ජීවිත ගැන හදපු එකම මාලා නාටකයක් වත් නෑ.

      Delete
    2. Roots

      මම Detroit වල ගරාවැටිච්ච ජීවිත දැකල තියනවා. හැබැයි යකා ඔය කියන තරම්ම කලුත් නෑ.කල්ලො කියන්න සහජයෙන්ම ප්‍රචන්ඩ, කම්මැලි ජාතියක්. බොහොම ටිකදෙනෙක් එහෙම නුනත්, මේක තමා තිත්ත ඇත්ත.

      මට හිතෙන්නෙ ඇමරිකාව කියන්නෙ දිවියලෝකෙත්, අපායත් එකට කලවම් කරල ගහපු කොත්තුවක් වගේ කියලයි.ඇමරිකානුවන් අතර ජාතිවාදී/අන්තවාදී සුළුතරයක් හිටියත්, සමස්තයක් වශයෙන් ඒ හැටි නරක මිනිස්ස්සු නෙමෙයි. ඔය උන්ට තියන බලය,ලෝකෙට හෙන ගැහැව්වත් කමක් නෑ කියල තමන්ගෙම පරිසරයත්/ තමන්ගෙම මින්ස්සුන්ව උලාකන චීන්නුන්ට තිබ්බ නං බලා ගන්න තිබ්බා කෙලිය.

      Delete
    3. ස්තූතියි නරි මොටා තුමනි මට අමතක උනා රූට්ස් ගැන. හැබැයි සමස්තයක් විදිහට ගත්තම අනුපාතික නෑ නේද කළු ජාතික ප්‍රශ්න හා ජීවිත කතා කරන නාටක? අනික් අතට කිසිම ජාතියක් ගැන පොදුවේ ගති ගුණ කියන්ඩත් අමාරුයි නේද? ඒ කොටස් දෙක ඇරුනම ඔබේ අදහස ගැන මම එකගයි. අද උනත් බොහෝ ආන්තික කණ්ඩායම් දිවි රැක ගන්නේ ඇමරිකානු ආධාර වලට පිං සිද්ද වෙන්ඩ. මට ඇමරිකාව ඇතුල ගැන අත්දැකීමක් නෑ.ඔබේ කොත්තු උදාහරණෙට මං හුගක් කැමතියි.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. //කිසිම ජාතියක් ගැන පොදුවේ ගති ගුණ කියන්ඩත් අමාරුයි නේද?//

      ඔව්වොව් එහෙම එකක් තියනවා ඒකට prejudice/stereotype වගේ නම් එහෙමත් තියනවා. එවගේම reverse discrimination කියල එහෙකුත් තියනවා, ආන්න ඒකට කල්ලෝ ඔස්තාර්ලා. කල්ලොන්ට විතරක් මොකද අපිටත් ප්‍රශ්ණ තියනවා. ඒත් ඇයි මේ "කළු ජාතික ප්‍රශ්න හා ජීවිත" ගැන විතරක් හැමෝම කතා කරන්නෙ? එකම වෙනස , අපි නිකං ඉඳලා පිනට නොකා මහන්සිවෙලා පනං හතරක් හොයාගෙන ටැක්ස් ගෙවන එකයි. ඒ ගෙවන ටැක්ස් තමා අර, ගස්, ගල් වගේ ඉන්න එවුන්ට පිනට කන්න දෙන්න ගන්නෙ. අවාසනාවට මට කලු ජාතිකයින් ඉන්න තැනක ජිවත් වෙන්න වෙලා තියනවා.. වැඩි විස්තර නොකියා කියන්න තියෙන්නෙ, එචචර පැහැදීමක් නෑ කියල තමයි.

      අවසානෙට කියන්නෙ තියෙන්නෙ හැමදෙයක්ම සාපේක්ශයි කියලයි. "අපේ රටවල් තව හොඳයිනෙ" කියන එකත් සාපේකශයි. මම නං ඉතිං කැනහිලා, දැක්කා, දැක්ක දේ කිව්වා. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ, මං කියන හැමදෙයක්ම හරියි කියලා. කිය්න එක මගේ යුතුකම, ‍තෝරා බේරා ගන්න එක ඔහෙලගෙ වැඩක්.

      මේ සංසාරෙ බොහොම දිගයි කට්ටකාඩුවේ මලයෝ!

      Delete
    6. ආයෙත් අහලා. නරි මෝටා තුමා දෙවෙනි පාර කියපු හැම දේටම මම එකඟයි. මටත් නිතරම හිතෙන ප්‍රශ්නයක් තමයි කට්ටියක් බදු ගෙවන්ඩයි කට්ටියක් ඒ බදු වලින් ආතල් ගන්ඩයි ආණ්ඩු - කොයි රටේ එහෙමයි- වැඩ කරන්නේ මොකටද කියලා. අපේ ගමේ චරිතයක් ඉන්නවා තමුන්ගේ බිරිඳ රට යවලා අවුරුදු විසි පහක් විතර ඒ එවන සල්ලි වලින් කකා බිබී ආතල් ගන්න. ඔබේ පිළිතුර කියවන කොට මට මතක් උනේ ඔහු ගැන. ඒක මුළු සමාජයක් ම කරන කොට බදු ගෙවන එවුන්ට දෙයියන්ගේම පිහිටයි. නරි මොටා තුමනි ලියන්ඩකෝ මේ 'අසාධාරණ' කතාව ගැන. ඇත්තටම මම දන්නේ නැහැ කළු ජාතිකයන්ගේ සමස්ත හැසිරීම ගැන. මම කවදාවත් ඇමරිකාවේ ජීවත් වෙලා නැති හිංදා.

      Delete
    7. https://www.ranker.com/list/tv-shows-most-loved-by-african-americans/ranker-tv

      Delete
    8. https://www.ranker.com/list/best-black-sitcoms/ranker-tv

      Delete
    9. http://www.imdb.com/list/ls054838268/

      Delete
    10. සන්තානං මෑණියනේ!!! ඔය රටවල් වල සුද්දෝ ගැන හදපු නාට්ටියත් තියනවද ප්‍රා ජේ තුමනි? තෑන්ක්ස් ආ...තෑන්ක්ස් මේ තොරතුරු බෙදා ගත්තට!!!

      Delete
  6. හොඳ වෙලාවට චැලි අක්ක වතුර පාරක් ගහල මෙටාව වොෂ් කරල ගත්තෙ නැත්තෙ. එහෙම උනානං වැඩේ හබක් වෙන්න තිබ්බ.

    එක්ස් පයිල්නං අපිත් පොඩි කාලෙ ආසාවෙන් බලපු එකක් තමයි. හැබැයි පළවෙනි සීසන් එක වගේ අනික්ව අල්ලල ගියේ නෑ.

    ReplyDelete
    Replies
    1. මොන හෝදලා ගැනිලිද සුබද්‍රා අක්කගේ මූණ දැක්ක නං ඒ වෙලාවේ....එයාට හොඳටම තරහ ගිහිං උන්නේ... වතුර ගැහුවත් වැඩක් වෙන්නේ නෑ මූණ හංගගනනේ හිටියේ...

      Delete
  7. දියතලාවේ ism එකේ ගෙවිච්ච අපේ ජීවිතේ ඔයිට ඩිංගක් යහපත්.

    ReplyDelete
    Replies
    1. දහ් ටොහ් ටොහ් දහ් ටොහ් ටොහ්
      අයි. එස්. එම්. ජීවිතේ ....
      කොහොමද තතු සම උනේ
      ඊළඟ තොරණින් ඔබේ
      කියනු මැනවි උතුමනේ.....
      දහ් ටොහ් ටොහ් දහ් ටොහ් ටොහ් දහ් ටොහ් ටොහ්......ඩ්රූම්

      Delete
  8. Lecture එකක් ඇතුළෙදි x-files උණ මතු කළා නම් මෙටාගෙන් තව ආතල් ගන්න තිවුණ නෙ...... ඔහොම අවස්ථා මඟහරින්න හොඳ නෑ.......

    ReplyDelete
    Replies
    1. එකම ප්‍රශ්නේ අපි පිටි පස්සෙම පේලිය සින්නක්කරව ලියා ගෙන ඉන්දැද්දී මෙටා හැමදාම ඉස්සරහම පේලියේ හිටපු එක. ඌ පිටි පස්සේ පේලියට ආපු වෙලාවල් වල විනාඩි දෙක තුනකින් නිදා ගන්නවා. ඉතින් මොන එක්ස් ෆයිල්ස්ද?

      Delete
  9. ඔය කියුවට අපි මේ කියෙව්වේ ඇත්තක්මද කවුද දන්නේ.. සමහරවිට මායාවක් වෙන්න පුළුවන්.. නැත්නම් ඇත්තක් වගේ පේන හිතලුවක් වෙන්න පුළුවන්.. හැක් ..හැක්.. මම යනවා නිදා ගන්න.. ඇත්තක්ම නම් හෙට ඇවිත් කොහොම හරි කොමෙටෙකක් ගොඩ දා ගන්නවා.. :))

    ReplyDelete
    Replies
    1. හැම දෙයක්ම මායාවක් වෙච්ච ලෝකේ මේ පෝස්ට් එකක් විතරක් මායාවක් නොවෙන්නේ කොහොමද කල්‍යාන මිත්‍ර තුමනි? එක අතකට මෙහෙම දේවල් කරපු කියපු කාලයක් අපිට තිබ්බ කියල හිතන එකත් හීනයක් වගේ. බලන්ටකෝ හෙට අනිද්දාත් ඇවිත් මෙටා විබාගේ ගැන හිතපු විදිහමද ඔබ තුමා මේ පෝස්ට් එක ගැනත් හිතලා තයෙන්නේ කියලා.....තෑන්ක්ස් ආ.

      Delete
  10. X files පිස්සුවක් ඒ කාලේ තිබ්බේ... කොච්චියා රහසෙන් ස්කලීට ලව් කලේය

    ReplyDelete
    Replies
    1. කොච්චි තුමනි එහෙනං අපි අර සින්දුව කියමු....ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට....පරණ හින්දි ෆිල්ම් එකකුත් තිබ්බා ඒක් පූල් දෝ මාලි කියලා. එක මලයි බඹරු දෙන්නයි!!!!

      Delete
  11. කට්ටකාඩුවේ ලොකු මල්ලි....

    උබ මේක ලස්සනට කරගෙන යනවා මචෝ.... තෝ ගස්ගොනෙක් වෙලානේ ....!

    &&&

    මෙට්‍රියා ගැන නම් කතා එමටයි බං .....
    මතක ඇතිනේ ජුන්නියන්ව වාත කරන කාලේ අහපු සුපුරුදු ප්‍රශ්නේ ....

    &&&

    ඒ දවස්වල හැංගිලා ඉදං පුංචි පුංචි ගේම් දෙනකොට අපි දැනගත්ත උබට මේ හැකියාව උපරිමයට තියෙනව කියල ....

    උබ අර අන්තිමට දාන අයිසිං ටික තමා රසම....

    ජයෙන් ජය මචෝ...

    ReplyDelete