මහ ඉලුප්පල්ලමේ ජීවිතේ ගැන කියන්ඩ කතන්දර සිය ගානක්
ඉතුරු වෙලා තියනවා. ඒ කතා ලියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ අවුරුදු විස්සකට විතර
ඉස්සර වෙච්ච දේවල් මතක් කර ගන්න එක. මේ ලඟදි අනුරාධපුරේ යන වෙලාවකදී තලාව කෝච්චි
ස්ටේෂන් එක දැක්කා කියමුකෝ. එතකොට මතක් උනා MI වල අපේ පළවෙනි දිනය.
මට මතක විදිහට පේරාදෙණියෙන් අපි එදා MI වලට එන්ඩ පිටත් උනේ
උදේ දහයට විතර. කොහොම උනත් අපි MI වලට එනකොට දවල් දෙකට දෙක හමාරට විතර ඇති. ආපු ගමං දවල්ට
කාලා ටිකක් එහ්ට්ට මෙහෙට්ට වෙනකොට MI ජීවිතේට හුරු වෙන්ඩ ඕන
මූලික අවශ්‍යතා ගැන තේරෙන්ඩ පටං ගත්තා. ඒ
තමයි මදුරු දැලක්, වතුර ටිකක්
කාමරෙන් ගෙනත් තියා ගන්ඩ ප්ලාස්ටික් කෝප්පයක්, සබන් කෑල්ල තියා ගන්ඩ සබන් පෙට්ටියක් වගේ
දේවල්. පේරාදෙණියේදී මෙව්වා මොනවත් ඕන උනේ නෑ. ඒ වගේම පේරාදෙණියේදී ඕන වෙච්ච රැවුල
කපන රේසර්, ඇඟ පිහ දාන
තුවා, ඇඳ ගන්ඩ සරමක්
වගේ දේවල් MI වල ජීවිතේට
අත්‍යාවශ්‍ය සාධක නෙවෙයි!
මේ වෙනස්කම් ගැන අපේ සීනියර්ස් ලා කොච්චර කියල තිබ්බත් MI වලට ඇවිල්ලම
තේරුම් ගන්ඩ ඕන ඒ වෙනස. ඉතින් අපි MI ආපු දවසේ මේ අවශ්‍යතා
තේරුම් යනකොට හවස තුනට විතර ඇති. ඊට හපන් තව ප්‍රශ්න තිබ්බා. ඒ තමයි කාලෙකින් අතු
පතු ගාලාවත් නැති දූවිලි පිරිච්ච කාමර. හැම කාමරේම ඇඳන් හතරක් තිබුනා. ඒ කියන්නේ
කොන්ක්‍රීට් ඇඳන්. කාමරේට ඇතුල් වෙන දොර දෙපැත්තේ බිත්ති වල එක පැත්තක දෙක ගානේ
ඇඳන් හතරක්! මාස හය හතක් තිස්සේ වහල තියන කොට කාමරෙයි ඩෝම් එකේ අනිත් කෑලි වලයි
කොච්චර දූවිලි පිරිලා තියෙන්ඩ ඇද්ද කියල නිකං හිතා ගන්ඩකෝ. මේ කාමර හෝදලා අර
මුලින් කියපු අවශ්‍යතා ටික සම්පූර්ණ කර ගෙන මිසක් MI වල පළවෙනි රැය ගතකරන
එක හීනයක් බව අපිට තේරුනා.
අපි අනික් එවුන්ට කලින් කාමරේ හෝදන්ඩ පටන් ගත්තොත් අපේ
වැඩේ ඉක්මනට ඉවර වෙන හිංදා ඩෝම් එකේ ඉතුරු කෑලි ටික හෝදන්ඩ වෙන්නෙත් අපිටමයි. අනික
ඉස්සරෝම කාමර හෝදනවා කියන්නේ ඒකට ඕන බාල්දි වගේ දේවලුත් අපිම හොයා ගන්ඩ ඕන කියන
එක. අපි අන්තිමට කාමර හේදුවොත් ඔය වැඩ ටික 'ඉබ්බට' කරවා ගන්ඩ පුළුවන්. ඉතින් අපේ කාමරේ උං
තීරනය කළා ඉස්සරෝම කාමරේට ඕන අඩුම කුඩුම ටික අරගෙන ඉන්ඩ. තව පොඩි පරහක් තිබ්බා. ඒ
තමයි MI වල ජාතික
ගමනාගමන මාධ්‍යය වෙච්ච බයිසිකල් ටික තාම අපිට හම්බ වෙලා නොතිබීම. පේරාදෙණියෙන්
දවස් කීපෙකට ඉස්සරලා කෝච්චියට දැම්මට තාම එව්වා ලැබිලා තිබුනේ නෑ. ඉතින් ලඟම තිබ්බ
කඩ මණ්ඩිය වෙච්ච MI හංදියට
කිලෝමීටර් හතරක් හතර හමාරක් කට්ට අව්වේ පයින් ගිහිං අර බඩු ටික අරං එන්ඩ වීමත්
එක්තරා රැග් එකක්.
ඔන්න ඉතින් මොකද කරන්නේ කියලා හිත හිතා ඉන්නකොට අපේ
බැචියෙකුගේ දන්න අඳුනන කෙනෙක් ආවා එප්පාවල ඉඳලා ලොරියකින්. ඌ යන්ඩ යනකොට මාත්
ලොරියට ගොඩ උනා MI හන්දියෙන් අර
කියපු බඩු ටික අරං එන්ඩ (මම ගූගල් දෙයියාගේ සිතියං පොජ්ජෙන් බලාපුවම මෙන්න ඌ
කියනවා එහෙවු පාරක් නෑ කියල!! අපි දෙසිය තුන්සිය වතාවක් ආපු ගියපු පාර ගූගල්
දෙයියට හොයා ගන්ඩ බැරි උනාට මට පුලුහන්. මෙන්න නිල් පාටෙනුයි රතු ඉරකිනුයි දාලා තියෙන්නේ MI හංදියට යන පාර.)
අපේ කාමෙර එකෙක් හිටියා මාතලෙන්
ආපු. ඌ අං පිටිං ගෝන්නු ගිලපු එකෙක්. මම ලොරියට නැග්ගහම මෙන්න මූ කියනවා අනේ මචං
මටත් මදුරු දැලක් අරන් වරෙන් අය ඔය වැඩේට දෙන්නෙක් යන්ඩ ඕන නෑනේ කියල. හැබැයි මගේ
වාසනාවට අනික් කාමර වලිනුත් 'කඩේ යන්ඩ' ඕන වෙලා හිටපු කට්ටියක් හිටියා. උනුත් ගොඩ
උනා ලොරියට. දැන් අපි යනවා MI හන්දියට.
ඔන්න MI හංදියේ තියන කඩවල් වලට ගිහිල්ලා අපේ කතා බහ මෙහෙමයි.
මුදලාලි මදුරු දැල් විකුණන්ඩ තියනවද?
නෑ නේ මහත්තයා. එප්පාවල යන්ඩ වෙයි මදුරු දැල් ගන්ඩ.
එප්පාවල තියෙන්නේ කැකිරාව පැත්තටද අනුරාධපුරේ පැත්තටද?
අනුරාධපුරේ පැත්තට නේ...
හුගක් දුරද?
නෑ මේ ළඟ....විනාඩි පහේ දුර...
ඉතිං අපි අර අපිව MI වලට එනකල් ගෙනත් දාපු
ලොරි මිත්‍රයාට කිව්වා අපි එප්පාවල යන බව.
ආ මචං මාත් යන්නේ එප්පාවලට!
දෙයියෝ ගෙටම ගෙනත් දෙනවා කියන්නේ එව්වගේ වෙලාවලට. ඉතින්
අපි ආයෙම MI හන්දියේ ඉඳලා
එප්පාවලට ආවා. මේ ළඟ.... කිලෝ මීටර් 9 යි.
කාමර වල් වල පහල තියන ඇඳන් වල හිටපු සමහරුන්ට ඇත්තටම ඕන
කරන්නේ ඇඳන් උඩින් එල්ලන්ඩ හදාපු අමරු දැල් නොවෙන බවත් උඩ තියන සිමෙන්ති ඇඳේ ගැට්ටේ අලවා ගන්ඩ පුළුවන්
වෙන විදිහට මදුරු දැල් රෙදි බවත් අපිට ඒ වෙනකොට තේරිලා තිබුනා. එප්පාවල මදුරු දැල්
තිබුනත් දැල් රෙදි තිබ්බේ නෑ. දැන් කතාව මෙහෙමයි.
මුදලාලි මදුරු දැල් රෙදි විකුණන්ඩ තියනවද?
නෑ නේ මහත්තයා. තලාවට
යන්ඩ වෙයි මදුරු දැල් ගන්ඩ.
හුගක් දුරද?
නෑ මේ ළඟ....විනාඩි පහේ දුර...
ඒ කියන්නේ පයින් යන්ඩ උනත් පුලුවන්ද?
යන්ඩ පුළුවන් ඒත් ඉතින් ඕන තරං බස් තියනවනේ!!!
ඒකත් ඇත්ත කියල අපි බස් එකකට නැග්ගා. අපේ අදහස මේ හෝල්ට්
තුන හතරකට එහායින් තලාව තියන් බව. බැලින්නං කිලෝ මීටර් 16....... මේ ළඟ!!!
තලාවට ගිහිං බැලින්නං එහෙත් මදුරු දැල් රෙදි නෑ!! හැබැයි
තලාවට ආපු එකේ කොච්චි ස්ටේෂන් එකටත් ගිහිං බලමු කියල අපි කතා උනා. ඔන්න බැලින්නං
දෙයියෝ බලලා වගේ අපේ බයිසිකල් ටික ඇවිත්!!
අපිට දැන් මදුරු දැල් මතක නෑ. ස්ටේෂන් මාස්ටර්ට කතා කරලා
අපි නඩේ හිටපු හය හත් දෙනා අපේ බයිසිකල් ටික ගත්තා. දැන් වෙලාව පහ මාරට හයට විතර
ඇති. ආපහු මදුරු දැල් රෙදි හෙවිල්ල.....
තලාවේ මදුරු දැල් රෙදි නෑ හැබැයි අනුරාධපුරේ තියනවලු.
අපේ රොබෝ කඩවල් ගානේ ඇවිදලා ඇවිත් කිව්වා.
අනුරාධපුරේට කොච්චර දුරද?
දන්නේ නෑ....
කාගෙන් හරි අහමු...
අපි පාරේ යන කෙනක් ගෙන් ඇහුවා අනුරාධපුරේට කොච්චර දුරද
කියලා...
වැඩි දුරක් නෑ...මේ ළඟ!
හැතැම්ම කීයක් විතර ඇද්ද?
හැතැම්ම දෙක තුනක් ඇති. විනාඩි පහේ ගමන! මනුස්සයා අපිට
කිව්වා.
එහෙනං අපි තුන් දෙනෙක් බයිසිකල් වලින් යමු අනුරාධපුරේ.
ඉතුරු එවුං අනිත් බඩු ටික ගනිල්ලා. නඩේ ගුරා තනතුරට තමංම පත් වෙච්චි රෝබෝ කිව්වා.
හරි...අපිත් එක පයින් කැමති උනා.
දැන් රොබෝලා අනුරාධපුරේ ගිහිං පැය එක හමාරකටත් වැඩියි.
අපි සාමාන්‍ය මදුරු දැල් පහකුයි අනික් අඩුම කුඩුම ටිකයි අරං තලාවේ හංදියේ බලාගෙන
ඉන්නවා. ම්හ් අපේ උන් එන පාටක්වත් නෑ. හැතැම්ම දෙක තුනක් ගිහිං කඩේකින් බඩු ටිකක්
අරං එන්ඩ විනාඩි තිහ හතලිහක් හොඳටෝම ඇති. ඉතිං මොකක් හරි අබග්ගයක් උනේ නැත්තං ආපහු
එන්ඩ හොඳටම ඇති වෙලාව. තවත් පැය බාගෙකට විතර පස්සේ අපි හන්දියට ආපු පොලිස් කාරයෙක්
ගෙන් ඇහුවා අනුරාධපුරේට කොච්චර දුරද කියලා.
හැතැම්ම දහයක්! පොර නිකං ගානකට නැතුව කිව්වා.
මගෙ අම්මෝ මුං හැතැම්ම දහයක් බයිසිකල් පැදලා බඩු අරං
ආපහු එන්ඩ කොච්චර වෙලා යයිද? එතකල් අපි මොකද කරන්නේ?
ළඟ හෝටලේකට අර බඩු ටිකත් අරං ගිහිං තේකක් බිව්වා. කල්
මරන්ඩ ඕන හිංදා හිමීට හිමීට තේ බිබී ඉන්න කොට කඩේ වහන වෙලාවත් ආවා. ඉතින් අපි
එලියට ඇවිත් කියව කියව ඉන්නවා. ඔය කාලේ කොටි කළබල උපරිමේට තිබ්බ වෙලාවක්. දැකල
හුරු පුරුදු නැති කොල්ලෝ හය හත් දෙනෙක් බයිසිකල් වල බඩු වගේකුත් අරං තැන තැන ඉන්න
එක තලාවේ මිනිස්සුන්ට දිරෙව්වෙ නෑ. ඒ මිනුස්සු පොලිසියට කියල සැක කටයුතු කොල්ලෝ
කට්ටිය ගැන. ඒ වෙනකොට රෑ නවයට විතර ඇති.
අපි පාර අහපු පොලිස් කාරයා අපි ගාවට ඇවිත් අයිඩෙන්ටිටි
කාඩ් ඉල්ලුවා. අපි ඒ ටිකත් දීලා අපිට වෙච්ච වැඩේ සහසුද්දෙම්ම මනුස්සයට කිව්වා. මල්ලිලා
කවදාකවත් මේ පැත්තේ මිනිස්සු මේ ළඟ කියල කිව්වට විස්වාස කරන්ඩ එපා. පොලිස් කාරයා
අපිට දීපු උපදේසේ ඒකයි. තව පැය බාගයක් විතර ඉන්නකොට මෙන්න රොබෝ සහ පිරිවර එනවා
මදුරු දැල් රෙදිත් අරං. ඌ අපි දැක්ක ගමන් අපිට අනුරාධපුරේ තියෙන්නේ මේ ළඟ කියලා
කියපු මනුස්සයාගේ දෙමාපියන් ගේ ගුණ සිහි කරා සුද්ද සිංහලෙන්!!!
දැන් ආපහු MI වලට එන මෙහෙයුම. මදුරු
දැල් වලට හුළං බදන හිංදා බයිසිකලේ දෙපැත්තට වැනවෙනවා. කවදාවත් ගිහිං නැති පළාතක
මහා රෑ බයිසිකල් පදින්නේ. කොටි කලබල හිංදා වටේ පිටේ මිනිස්සු මොනවා කරයිද කියල
හිතා ගන්ඩ බෑ......මග නවතින්ඩ තැනකුත් නෑ...දන්න කෙනෙකුට කතා කරන්ඩ ටෙලිෆෝන්
එකකුත් නෑ.....හරී ම සනීපායි!!!
මග දිගට හිටපු මිනිස්සුන්ගෙන් පාර අහගෙන එද්දී එකෙක්
කියපි MI හන්දියට ගිහිං
කැම්පස් එකට යනවට වඩා ලේසියි ඇඳගල හන්දිය හරහා ගිහිං යන එක කියලා. අපිට දැන්
කොහෙන් ගියත් ලොකු වෙනසක් නෑ. ඉතින් අපි ඇඳගල හන්දියෙන් හරවලා යන්ඩ පටං ගත්තා.
දැන් අර මුලින් තිබ්බ වැඩ වේදනා වලට අමතරව ගෙවල් වල ඉන්න බල්ලොත් අපි පස්සේ
පන්නනවා. පාරේ දෙපැත්තම කට්ට කරුවලයි. බඩගින්න, මහන්සිය විතරක් නෙවෙයි බයත් දැනෙන්ඩ ගත්තා.
එකම සහනයකට තිබ්බේ බයිසිකලේ සහ යාළුවො සෙට් එක!!!
මේ තියෙන්නේ අපි ආපු පාර
කොහොම කොහොම හරි රෑ දහයට විතර කැම්පස් එක පේන දුරට ආවා.
හැබැයි තව අබග්ගයක්! රෑට ඇඳගල හන්දිය පැත්තෙන් එන්ඩ තියන පාරේ ගේට්ටුව වහලා ඉබ්බෝ
දානවාලු රෑ නවයට විතර හොරු එන එක වලක්කන්ඩ. දැන් විකල්ප දෙකයි. එක ආපහු හැතැම්ම හය
හතක බයිසිකල් පදින එක. දෙක ගේට්ටුවට උඩින් පැනලා බයිසිකල් ටික දාලා යන එක. ඒ
කියන්නේ බයිසිකල් වල ආසාව අත අරින්ඩ වෙනවා!! ඒ වෙලාවේ කොච්චර මහන්සිද කියනවනං අපි
තොර ගත්තේ දෙවෙනි විකල්පය. අපි බඩු ටිකත් ගේට්ටුවට උඩින් ඇතුලට දාලා බොහොම
අමාරුවෙන් ගේට්ටුවෙන් ඇතුලට පැන්නා.....
පැනලා ඉවර වෙලා අපි නිකමට ගේට්ටුවේ ඉබ්බා දිහා බැලුවා.
බැලින්නං නිකං කොටු කෑල්ලක් ගහලා තියෙන්නේ. ඉබ්බෙක් නෑ. ඉස්සරෝම පැනපු එකා ඒ දිහා
බැලුවනං ඔච්චර සංගදියක් වෙන්නේ නෑ. ඒත් ඉතිං එදා වගේ අබග්ග දවසක් සම්පූර්ණ වෙන්ඩ
අන්තිමටත් මොකක් හරි විශේෂ අවස්තාවක් තියෙන්ඩ ඕන නේ!
අපි කැම්පස් එකට එනකොට රෑ දහය හමාරයි. බැච් එකේ උං
බයවෙලා අපිට මොකක් වෙන්ඩ ඇද්ද කියලා. ඒ කොහොම උනත් අපි නැති අතරේ කාමරේ ඉතුරු
එවුන් ටික කාමරේ හෝදලා. ඒක තමයි තිබ්බ එකම බෝනස් එක.
අපි ගමන පටං ගත්තේ හැතැම්ම හතර පහක උපරිමයක් පයින් යන්ඩ
වෙන එක ගැන හිත හිතා. හැබැයි වැඩේ නතර උනේ කිලෝ මීටර් අසූවක් විතර නොදන්නා පැත්තක
බයිසිකල් පැදලා. ජීවිතෙත් එහෙමයි. අපි
හිතන පතන දේවල් වෙනුවට නොහිතන නොපතන දේවල් ලැබෙනවා. හැබයි එදා අපි හිතපු විදිහටම
වැඩේ උනා නං අද වෙනකොට ඒ සිද්ධිය මතකෙවත් නැති තවත් එක සිදුවීමක් විතරයි. හැබැයි
නොහිතපු දෙයක් කරන්ඩ වෙච්ච හිංදා අදත් තලාව ස්ටේෂන් එක දකින කොට මට ඒ පරණ කතාව
මතක් උනා. අපි නොහිතන දේවල් දකින්ඩ කරන්ඩ උනා කියල විස්සෝප වෙන එක නෙවෙයි කරන්ඩ
ඕන. ඒවගෙන් පාඩම් ඉගෙන ගන්න එක. අර පොලිස් කාරයා කිව්වා වගේ ලඟයි කියල කියන දේවල්
ඒ විදිහටම් විශ්වාස කරන්ඩ එපා!!! ඒ දේවල් හුගක් දුර වෙන්ඩ පුළුවන්. හැබැයි ඕන
කරන්නේ ඒ ඉලක්කෙට යනවා කියන අධිෂ්ටානය!!
හහ් හහ් හා... ඕනේ තරං කටු කාලා ඇති එක එකාගෙන් පාරවල් අහගන්න ගිහිල්ලා. අපේ ලංකාවේ උන්ට දුර කියලා දෙයක් නෑනේ. ඕස්ට්‍රේලියාවට යන්ඩ ඇහුවත් "අපෝ මේ ළඟ නේ" කියලා කියන ජාතියේ ඩයල් තමා ඉන්නේ.
ReplyDeleteඉතිං ඇත්තනේ...ඔස්ට්‍රේලියාව මේ ළඟ නේ තියෙන්නේ. විනාඩි පහයි. ඔය කෙලින්ම ගිහිං ඉස්සරහ වංගුවෙන් හැරිලා වමට යන්ඩ. එතනින් සාමෙල් මහත්තයාගේ කඩේ ගාවින් දකුණට හරවලා කෙලිම්ම යන්ඩ....මේක අපේ ජම්ම ගතියක්ද කොහෙද!!!
Deleteඅපෝ අත දික්කරන දුර කියනව. ගිහිං බලපුවම තමා තේරෙන්නෙ.
ReplyDeleteහරියටම හරි. ඉස්සර අපි ගමනට පත්තු කරන්ඩ ඕන කරන ඉටිපන්දම් ගණනින් දුර කියන්ඩ පුරුදු වෙලා හිටියා. මොකද හැතැම්ම කිලෝමීටර් වගේ දේවල් වලට වඩා එහෙම අහගන්න විස්තර වඩා විශ්වාසදායක හිංදා. උදාහරණයක් විදිහට වේයන්ගොඩ බැහැල මොට්ටුන්නට ඉටිපන්දම් දෙකයි. කිලෝ මීටර් හැතැම්ම මම දන්නේ නෑ.
Delete++++++++
ReplyDeleteඔය වැට ඉවර වෙන තැනින් දකුණට හැරෙන්ඩ...මේ ළඟ...මේ ළඟ..
Deleteහුඟක් අය හරි කැමතියි පාරවල් හා දුර කියලා උදව් කරන්න. හරියට දන්නෙ නැත්නම් වැරදියටහරි කියනවා
ReplyDeleteමගෙ හිතේ ඒක සිංහල මිනිස්සුන්ගේ පුරුද්ද. ඇක්සිඩන්ට් එකක් උනහමත් මිනිස්සු වට වෙලා ලෙඩ්ඩුන්ව ඉස්පිරිතාලේ යවනවා ත්‍රී වීල් එකක හා දෙනා ගානේ ඔබලා. ඇක්සිඩන්ට් එකෙන් වෙන හානියට වඩා හානියක් වෙන්නේ ඉස්පිරිතාලෙට යනකොට!!! අපි ප්‍රථමාධාර දන්නේ නැති එකේ වන්දිය ගෙවන්නේ ඇක්සිඩන්ට් එකට මූණ දෙන කට්ටිය. ඒ වගේමයි දුර ගැන අපේ අවබෝධය මදි කම හින්දා ආගන්තුකයෝ අසරණ වෙනවා.
Deleteපාරවල් ඇහිල්ල ගැනනම් ආයෙ කියල වැඩක් නෑ.
ReplyDeleteකියල, ලියල හිතල වැඩක් නෑ!! ඒ තරමට මේක සුලභ අත්දැකීමක්!!
Deleteඅපේ එවුන් පාරවල් කියන්ඩ දන්නැ බං ........... ගෙදරට එන්ඩ පාර කියන්නේ ......... සමගි මාවතේ ඇවිත් කන්ද නැගලා පල්ලම බැහැලා ....ඇන්ටනීලැ කඩේ ගාවින් හැරිලා ඉස්සරහට ඇවිත් වහපු කඩේ ගාවින් හැරිලා සෝමක්කලැ වත්තෙං පයින්.....
ReplyDeleteඒ වගේමයි, අතේ පත සයිස් ස්මාර්ට් ෆෝන්ස් තියෙනවා. හැබැයි ගෙදෙට්ට එන්ට පාර හොයාගන්ට ලොකේෂන් එක එවහං කිවුවහම කට ඇරන් අහනව ඒ මොකක්ද කොහොමද ඒක ගන්නෙ කියලා..
Deleteතව අර හරකා බැඳලා ඉන්න තැනින් වමට හැරෙන්ඩ....ජාතුං මාමලාගේ ගෙදර පහු කරලා වමට හැරෙන්ඩ ...(උපකල්පනය හරකා සදා කාලිකව එතැන බැඳ තබනු ඇත....ජාතුං මාමා ගේ ගෙදර මුළු ලෝකයාම දනී)
Deleteඅපේ මීමුන්ට හරියට පාර කිව්වත් හොයා ගන්න බැහැ...
ReplyDeleteඔන්න ඔය හන්දියෙන් හරියටම කිලෝමීටර දෙකක් ඉස්සරහට ගිහින් වමට හැරිලා මීටර් 500 ක් ගිහින් එතන තියෙන මොකක්හරි හොඳට පේන ලෑන්ඩ් මාක් එකක් ගාවින් දකුණට හැරුන ගමන් මීටර 50 ක් ඉස්සරහින් දකුණු පැත්තේ තියෙන ගේ කියල කිව්වත් හොයා ගන්නවා බොරු...
කෝල් 10 ක් වත් දෙනවා ආයේ ආයේ...
ගුගුල් දෙයියත් ඔයිට දෙවෙනි නැහැ සමහර වෙලාවට...
බීල හිටපු වෙලාවක ඕකා මාව ගේ ගාවින් දෙපාරක් වටේ කැරකෙව්වා ගෙට යන්න නොදී...
පාරවල් අහන කොට ඔය වගේ වෙන එකනං කොහෙත් එකයි බං. මටනං හිතෙන්නෙ නිතර යන එව්වන්ට පාරවල් පුරුදු නිසා උංට දුරයි කියල තේරෙන්නැතුව ඇති.
ReplyDelete//ඇඳ ගන්ඩ සරමක් වගේ දේවල් MI වල ජීවිතේට අත්‍යාවශ්‍ය සාධක නෙවෙයි// මොකක්ද බං මේ සීන් එක. අඩුම ගානෙ ඕකෙ කෙල්ලොවත් හිටියෙ නැද්ද?
ආ සරම නේ....ඒකට ඇත්තටම හේතුවක් තිබ්බා. අපේ එකඟතාවයක් තිබ්බා ගෑණු ළමයි ඉන්න තැනකට යනවා නං කලිසමක් ඇඳ ගෙන යන්න ඕන කියලා. ඒ හිංදා ගෑණු ළමයින්ට ගැටළුවක් නෑ අපේ ඩ්‍රෙස් කෝඩ් එක වෙනස් වීම ගැන. හොස්ටල් එක ඇතුලේ හරි රස්නෙයි. ඉතින් නිකං සරං පටලාගෙන තව රස්නේ වැඩි කරගන්නේ මොකටද? ඉතිං කොහොමත් සරමක් ඕන නෑ.
Deleteරජකාලේ ඉඳලම අනුරාදපුරේ පළාතේ මිනුම් කටයුතු කෙරුවේ රබර යොදුන් කියල ඒකකයකින් විත්තිය ලොකු මල්ලි සෑර් අහල තිබ්බේ නැද්ද?
ReplyDeleteජයවේවා!
අපේ යාං හෑල්ලේ සුරංග මලයාගෙන් අහලා බලන්ඩ ඕන ඔය රබර හැතැම්ම නිකං හැතැම්මට කන්වර්ට් කර ගන්න විදිහ. මනුස්සයා සිතියං එක්ස්පර්ට්.
Deletecha cha ....api maha loku talk dammata hamadama araya meya kiyana pare gihin dan kelwagena inne loku ayye
ReplyDeleteRatama ehemane ransaku malli...api witharak wenas wenne mokateyi aaya ithin?
Deleteඅපි තමයි ඔය හොස්ටල් එකේ මුල්ම සමාජිකයෝ.හිතන්ඩ පුලුවන්ද 1975 කොහොමට MI තිබුනේ කියල .ඒ කට්ට කෑම මතක්වෙනකොටත් ආසයි.එක කඩේක තිබුන අඹ ගෙඩියක ගහල ඔබන ගෙඩිය කියල.හැම එකාම ගිහිල්ල ඉදිලද බලන්ඩ ගෙඩි සේරම ඔබන හින්ද මුදලාලි අනිත් ගෙඩිටික බේරගන්ඩ කරපු උපක්‍රමය තමයි එක
ReplyDeleteමහ කකුළුවො පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා......
Deleteබදුල්ලේ මිනිස්සු දුර කියන්නෙ වංගු වලිං.
ReplyDeleteඅපේ පැත්තෙත් ඒ කතාව තියනවා...ඔන්න ලොකු වංගුවක් හම්බ වෙනවා. එතන ඉඳලා ටික දුරයි....අපි ඉතිං වංගුව මනින්ඩ උපකරණත් අරගෙන ටික දුර යනු කොච්චර දුරක්ද කියලත් දැනගෙන යන්ඩ ඕන
Deleteඔව්වට කියන්නේ රබර් හැතැම්ම කියලා..ඇයි ඇදෙනවානේ. අපි කට්ටියක් ඉස්සර මළගෙයක යන්න පාර අහලා මනුස්සයෙක් කිව්වා 'ඇර බිමට සමතලා වෙච්ච තට්ටු දෙකේ ගේ ලඟින් හැරෙන්න' කියලා! :D
ReplyDeleteඔන්න ඕස්ට්‍රේලියාවේ ඉන්න කොට මෙහෙම විවිධත්වයක් අත් විඳින්න පුලුවන්ද? බෑ නේ....මෙහෙ ගමන ගිහිං ඉවර වෙනකල්ම සන්ත්රාසය පිරි පුදුමය දනවන නවකතාවක් වගේ. ඔහේ පාරේ හරි විස්තරේ ලොකුවට ගහල තියනවා. හරි කම්මැලි වැඩක් නේ ඔහේ ගමන් යන එක?
Deleteහැක් ඒ අතින් දෙයියනේ කියල දැන් මැප් එක තියනෙව
ReplyDeleteමොන මැප් එකද ඔය කියන්නේ? ෆෝන් එකේද?
Deleteහපොයි වනේ වන හතුරෙකුටවත් මෙහෙම දෙයක් නම් වෙන්නෙපා.
ReplyDeleteඑක පාරක් බෝඩිම් හොයන්න ගිහින් අපටත් ඔය වගේ වැඩක් උනා. කැම්පස් එක අත දික්කලා වගේ ලඟයි කියල ඇන්ටි කෙනෙක් අපිව එක්කන් ගියා බෝඩිමකට.
යනකොට, මහා දුරක් ඇවිදන් ගිහින්, වෙලකින් එගොඩ වෙලා, ඕවිටක් දිගේ ගිහින්, ඇලකිනුත් එගොඩ වෙලා යන්න ඕන. ආයේ එන්න දන්නෙත් නෑ. ඒ කාලේ ස්මාට් ෆෝන් නෑ අපිට. (කඩේ තිබුණ, අපට තිබුණේ නැහැ) ඉතින් ඇන්ටිගේ පස්සෙන්ම ගිහින් ඇන්ටි එක්කම ආයේ ආව.
මම ඕක බ්ලොග් එකෙත් ලිව්වා ටිකක් ඉස්සර.
වනේ වන හතුරෙකුට තියා ප්‍රභාකරන්ටවත් එහෙම වැඩක් නං වෙන්ඩ එපෝ...!!
Deleteඅපොයි... මාත් සැරෙයක් ඇහුව අනුරාධපුරේ න්කුලිය හරියෙං, විජයාරාමෙට යන්ඩ පාර... අක්ක කෙනෙක් කිව්ව, "මේ ළඟ අර අර හරියෙං හැරෙන්ඩ... අපි ඒ කාලෙ දර කඩන්ඩ යන්නෙ ඒ පැත්තටනෙ.."
ReplyDeleteඉතිං මාත් ඊළඟට පාර අහන්ඩ නතර වෙන තැං වලදි අහන්ඩ ඕනෙ "අර කලිං මාත් එක්ක කතා කරපු අක්ක ඒකාලෙ දර කඩන්ඩ ගියෙ කොහෙටද" කියල...
දර කඩන්ඩ බද්දට යනවා කියන එකේ තේරුම් කීපයක් තියනවා ඩ්රකී. මොන තේරුමෙන්ද දන්නේ නෑ ඔයාට පාර කියපු කෙනා ඒ කතාව කිව්වේ?
Deleteදරකැඩීමේ ඔරිජිනල් අර්ථයෙන් කියල තමයි මට හිතෙන්නෙ. ඒකනෙ මගදිගට හැමෝගෙම්ම අහන්ඩ උනේ... (විශේෂයෙන්ම තරුණ පහේ ගැටවුන්ගෙන්)
DeleteThis comment has been removed by the author.
Delete