Saturday, July 21, 2018

අග මුල නැති ඩයරිය


එක රස්සාවකින් විතරක් අද කාලේ ජීවත් වෙන්ඩ අමාරු හිංදා ලොකු මල්ලි දැන් හවසට හවසට කුළියට බෝතල් පත්තර එක්කහු කරනවා. ඒ උනාට ඉතිං පරණ පුරුදු අමතක කරන්ඩ බෑ. පොතක්, කොලයක් දැක්කොත් ටිකක් කියවලා බලන්ඩමයි හිත. මේ පහුගිය සතියේ හම්බ වෙච්ච පොත් වගේක අස්සේ ඩයරියක කොළ ටිකක් හම්බ උනා. අනුන්ගේ දේවල් කියවන එක නරක පුරුද්දක් උනත් සාමාන්‍යයෙන් මිනිස්සු ඩයරි විකුණලා දාන්නේ නැති හින්ද මට ඒක කියවලා බලන්ඩ හිතුනා.   ඒක කියවගෙන යනකොට මට හිතුනා කට්ටකාඩුව කියවන ඔබ තමුන්නැහෙලත් මේක කියවන්ඩ මනාප වෙයි කියල. ඔන්න එහෙනං...

ජූලි 01

අවුරුද්දේ බාගයක් ඉවරයි. අද මම ෂිරා හම්බ උනා උපදෙසක් ගන්ඩ. මොකෝ පඩි ගෙව්වට නිකමට මට මසාජ් එකක්වත් දාන්ඩ එනවය? මිනිහ මගෙන් අහනවා ඇයි එන්ඩ කිව්වේ කියල. මම ඇහුව තමුසේ මගේ උපදේශකයෙක් නේද කියල. මෙන්න මූ කාටද කෝල් එකක් අරං අහනවා මගේ  උපදේශකයෙක් කියල! අම්මප මෙහෙමත් මිනිස්සු නේ මට උපදෙස් දෙන්නේ. ඊට පස්සේ මිනිහ අහනවා හරි උපදේශකයෙක් කියමුකෝ උනත් ඇයි දැන් එන්ඩ කිව්වේ කියල. මම කිව්වා උපදේශයක් ගන්ඩනේ ඩෝ උපදේශකයන්ට එන්ඩ කියන්නේ කියල නැතුව බන අහන්ඩ යැ කියල (බණ අහන්ඩ නං ඥානෙ ට එන්ඩ කියනවනේ!). මනුස්සය කියනව හැම දෙයක්ම අලුතින් පටන් ගන්ඩලු. පරණ දේවල් අමතක කරන්ඩලු. මොන පිස්සුද කොහොමද එහෙම අතීතේ අමතක කරලා. මම මිනිහව පන්න ගත්තා. ඔයිට වඩා හොඳයි රවි ගෙන් උපදෙස් ගත්ත නං.

හැබැයි මිනිහා ගියාට පස්සේ මට හිතුනා එක අතකට ඇත්ත නේද කියන්නේ කියල. ඒක හින්ද තමයි මම මේ ඩයරියේ මුල් මාස හයම ඉරල විසි කලේ. ඔන්න අද ඉදන් මම අලුතින් ඩයරිය ලියනවා.

( ඩයරියේ පරණ කොළ ටික ජෑන්තිට හොරෙන් කබඩ් එක අස්සේ හැංගුවා. නිවාඩු පාඩු තියන වෙලාවක සමුද්දරේ ලඟට ගිහින් එව්වයින් බෝට්ටු හදල පා කරන්ඩ පුළුවන්!!)

ජූලි 02

අපේ ජෑන්ති අරපිරිමැස්මට හරි දස්සයි. මේ ලඟදි පරණ අල්මාරි අස්කරලා එව්වයේ තිබ්බ ඕන්නැති දේවල් බෝතල් පත්තර කාරයෙකුට දීලා ප්ලාස්ටික් කෑම පෙට්ටි ටිකක් අරන් තිබ්බා. ඇත්තටම මම පින් කරලා තියනවා එහෙම බාරියාවක් ලබන්ඩ. අපේ අම්ම ඉන්න කාලේ ඇඳපු සාරි වල ඉඳන් අන්තිම චන්දෙට ගහපු පෝස්ටර් දක්වා හුගක් ලට්ට ලොට්ට අල්මාරි වල තිබිලා. එව්වා ඔක්කොම සුද්ද කර ගත්තු එකත් ලොකු දෙයක් නේ කෑම පෙට්ටි ගැනිල්ල කොහොම වෙතත්.

අද මම වෙස් වලා ගෙන මැදිරිගිරියේ ඇවිදින්ඩ ගියා. හම්බ උනේ වයසක මනුස්සයෙක්. මිනිහා මාව අඳුනා ගත්තේ නෑ.

ලොකු උන්නැහේ කොහොමද ජීවිතේ? මම ඇහුවා.

කියල වැඩක් නෑ. මල් හතයි.

එහෙනං හැමෝම කියන්නෙ හරි අමාරුයි කියල?

තාම අමාරුව දැනුනේ නෑ. දැන්ම අමාරු නං ඉස්සරහට කොහොම වෙයිද?

කියන්නේ?

දැන් ඉන්න වාහෙලා තියන ඔක්කොම විකුනනවානේ!

ඉතිං?

විකුණන දේවල් වලින් නේ ණය ගෙවන්නේ. ඔහොම ගිහිං විකුණන්ඩ මොකුත් නැති උනාම තමයි අමාරුව වැඩි වෙන්නේ. 

නෑ එහෙම ඔක්කොම විකුණන්නේ නෑ.

මොකෝ නැත්තේ.තව ඉතුරු වෙලා තියෙන්නේ එකයි.

මොකද්ද?

අම්මගේ රෙද්ද තමයි!

මම අඩිය ඉක්මන් කරලා එතනින් මාරු උනා. ආපහු ගෙදර පැත්තට දුවන ගමන් තමයි ජෑන්ති කරපු වැඩේ මතක් උනේ. යකෝ අම්මගේ රෙද්දත් විකුනලානේ!

ජූලි 05

මේ පාර ලෝක කුසලානෙට යන අපේ ටීම් එකට මගේ සුභ පැතුම් කියල ඇඩ් එකක් දාන්ඩ කිව්වා ඔස්ටියාට. මම අර ජලාසේ ගාව ඉඳන් රෙද්ද උස්සලා බෝලෙට ගහන පොටෝ එකකුත් අරන් යැව්වා පොරට. මෙන්න මූ කියනවා ලංකාව මේ පාර ලෝක කුසලානෙට නැතිලු! යකෝ අපි එක පාරක් ඕක දිනුවත් එක්ක නේ (ඒ මේ කුසලානේ නෙවෙයිද මංදා මට ඔව්වයේ නිච්චියක් නෑ. කිසිම පත්තරේක තිබ්බෙත් නෑ මේ අපි දිනපු එකද නෙවෙයිද කියලා). මේ පාර අපි නෑ! මුසා ගෙන් ඇහුවා ඇයි අපි ලෝක කුසලානෙට ගියේ නැත්තෙ කියල. මුසා කියනවා ඕක දයා ගේ කාලේ වෙච වැඩක් ලු. මිනිහා අපිව අපහසුතාවෙට පත් කරන්ඩ ඉන්විටේෂන් එක විසික්ක කරන්ඩ ඇතිලු.

අඩු ගානේ ඔස්ටියා මේක මට කලින් කිව්වා නං පුටින් කියල මොනවා හරි කරන්ඩ තිබ්බ. චි: මටමමනේ මේ වගේ අකරහනි වෙන්නේ. මට යකා නැගලා ඔස්ටියා කිව්වා මෙච්චරවත් දෙයක් කරගන්ඩ බැරිනං පල ගෙදර කියල. මෙන්න මේක ඇත්තටම යන්ඩ ගිහිල්ලා.

ජූලි 06

අද දස්කර ඉස්කෝලෙට වෙස් වලාගෙන ගියා  ළමයි මොකද මං ගැන කියන්නේ අහගන්ඩ. ඔන්න එතකොට තමයි විද්යාව පාඩමක් ඇහුනේ. මේ උදේට පායන ඉර තියනවනේ. ඉර තියෙන්නේ හුගක් දුරින් ලු. රෑට පායන හඳ තියෙන්නේ ඉරට වඩා හුගක් ලඟින්ලු. ඉර හුගක් ලොකුයි ලු හඳට වඩා. උනාට අපිට මේ දෙකම පේන්නේ එක සයිස් එකටමනේ. අර විද්යාව ගුරා එකට හේතුව පැහැදිලි කළා.  ඉර හාරසිය ගුණයක් ලොකු උනාට හඳට වඩා ඉර තියෙන්නෙත් හාරසිය ගුණයක් ඈතින්ලු හඳට වඩා. ඒකලු එකම සයිස් එකට පේන්නේ.
ඔන්න බලන්ඩ ඔය විද්යාත්මක කරුණු කාරනා නොදන්නා එවුන්නේ කියන්නේ මට පිස්සු කියලා. අලි පාටියේ එකසිය ගානත් පොහොට්ටුවේ හැත්තෑ ගාණත් මට පේන්නේ මං ගාව ඉන්න දහ පහළොස් දෙනාට වඩා පොඩිවට. ඒකට හේතුව අරුන් දෙගොල්ලම ඈතින් ඉඳීම. මගේ උන් මං වටේ ලඟිම්ම ඉඳීම. ඉතින් මට මගේ උන් ලොකුයි උන්ට වඩා.

කියන්නේ මම හිතන විදිහ විද්යාත්මකව පැහැදිලි කරන්ඩ පුළුවන්. නැතුව මට පිස්සු නෙවෙයි. මේ අටමගල ලිවිල්ල නවත්තලා දාලා ජෑන්ති කියන්ඩ යන්ඩ ඕන මට පිස්සු නෑ කියල.  

ජූලි 07

මට නං පහු ගිය අවුරුදු තුනේ හැම දවසක්ම ජූලි හත තමයි. හරියටම කිව්වොත් මල ජූලි හතයි!

ජූලි 10

මේක හරි අසාධාරණ ලෝකයක්. හොරු ගෝල් පේස් එකට ගෙනැත් එල්ලනවා කියල ලොක්කි කිව්වා. ෆීල්ඩ් මාෂල් එල්ලනවා කියලා ගොට්ලර් කිව්වා. මොකක්වත් ලොකුවට ගණන් ගත්තේ නෑ. හැබැයි මම කුඩු කාරයෝ එල්ලන්ඩ ඕන කියපුවම හැම එකාම මට ගහනවා. එක අතකින් පොඩි ජොලියකුත් එනවා. මේකෙන් අදහස් වෙන්නේ අරුන් කියන කතා ගණන් නොගත්තට මම කියන දේවල් ගැන මිනිස්සු හරි අවධානෙන් ඉන්නවය, මම කියන දේවල් හරි වැදගත් දේවල් කියල මිනිස්සු පිලි ගන්නවය කියල. කොච්චර කිව්වත් ජෑන්ති වත් මම කියන දේවල් ඔච්චර ගණන් ගන්නේ නෑනේ.

ජූලි 12

සියා උල් හක් මට අද උදේ කෝල් කර කර ඉන්න ගමන් මම ඇහුවා මිනිහත් ඩයරියක් ලියනවද කියල. ලියනවලු. මොරාජි දේසායි ගෙනුත් අහන්ඩ ඕන. වැඩි විස්තර අහල බලපුවම සියා ලියන්නේ කොළ වල නෙවෙයිලු. ටැබ් එකකලු. ඩඩ්ලි මහත්තයත් ලියන්නේ ඒකක වෙන්ඩ ඇති. සිරිමාවො ටත් ටැබ් එකක් ඇති. අපි වාගේ ගමේ පොඩි මිනිහෙකුට කොහෙද ටැබ්? ඒකයි මම මේ විදිහටම ඩයරිය ලියන්නේ.

ඕන එතකොට තමයි මතක් උනේ  රට යන්ඩ තියනවා කියල. ...එහෙ ඩියුටි ෆ්රී එකෙන් ටැබ් එකක් ගන්ඩ පුළුවන් නේ. ජෑන්තිට බ්ලෙන්ඩර් එකකුයි මට ටැබ් එකකුයි ගන්නවා. ගමේ කොල්ලන්ට ටැබ් දෙන එක නවත්තන්ඩ ඕන. නැත්තං මං ගාවට චරිත සහතික ගන්ඩ එන කොල්ලො කුරුට්ටොත් ටැබ් පාවිච්චි කලොත් මගේ ටැබ් එකේ පුරාජේරුව උන්ට කියන්ඩ බැරි වෙනවා.

එක අතකින් ටැබ් එකක් ගත්තහම මොකටද මේ කෝපි කාලෙ ඩයරි?

මට හරි අපූරු කල්පනාවක් ආවා. ප්ලේන් එකේ යන ගමන් කඩදාසි කුරුල්ලෝ හදලා එලියට වීසි කරන්ඩ පුළුවන්නේ!!! මම ඩයරියේ ඉතුරු කොළ ටික කඩා ගත්තා.නිකං ඉන්න ගමන් කුරුල්ලෝ ටිකක් හදා ගන්ඩ ඕන. එතකොට රූං....කියල ප්ලේන් එකේ ඉඳන් කුරුල්ලෝ යව්වැකි.

16 comments:

  1. ජූලි 13
    කල්පනාවෙන් ඉන්නෝන මුන් ආයෙත් මට හොරෙන් හංදියේ ශෙඩ් එකේ පැට්ටෝල් ගාන වැඩි කරාවිද කියල...මං අරන් දුන්න වාහනේ ගියාට විකී සර් මට මෙලෝ දෙයක් කියල නෙවෙයිනේ කරන්නේ...
    හෙහ් ට්‍රම්ප්ට අත්මේස් ගැලෙව්වෙ නෑලූ මහරැජිණ.. ඇද්ද බොලාට.. 😂

    ReplyDelete
  2. සුපිරි ඩයිරිය. එක හුස්මට කියවන්න හිතෙන රටාවක්. මගේ ඩයරිය හංගපු තැනම තියෙන හින්ද සැනසුම් සුසුමක්හෙලුවා

    ReplyDelete
  3. නියමයි.... උදේම හිනා උනා හොදට..... මටත් හිතුනා ඩයරියක් ලියන්න...

    ReplyDelete
  4. මම ඩයරියක් ලියන තිබ්බ අදහස අතෑරිය ෆ්‍රෙන්. හැක්..

    ReplyDelete
  5. පව් අප්පා. කොහොම උනත් මනුස්සයෙක්නේ. ඔහොම අනුන්ගේ ඩයරි කියවලා බ්ලොග් එකේ දාන එක හරිද? :P :P :P :P

    ReplyDelete
  6. අයිතිකාරයා දැක්කොත් සුවර් එකටම කියනවා පොරගේ ඩයරියක් නෙමේ කියලා.

    ReplyDelete
  7. මේක පත්තරේකට යවනව එහම නොවෙයි ඕන් . ෆේස්බුක් කියන උණු උණු නිව්ස් දෙන පොතේ තියන විධිහට ඩයරි අයිතිකාරයා පාතරාසේ ගන්න වෙලාවේ පත්තරේ කියෙව්වොත් එහම් බ්ලොග් කරන එකත් කොරලා හමාරයි

    ReplyDelete
  8. අපිත් ඩයරි ලිව්ව හරිය.. හැක්

    ReplyDelete
  9. මට මතක නෑ.මේ මොනවද ලියල තියෙන්නේ?...?? වහින්න එනවවගේ හිටං..
    !...!!

    ReplyDelete
  10. ෆ්‍රෙඩීගෙ 'පණ පලයන් ලබන සුමානේ... -කොහේ යනවද මේ මරගාතේ' මතක් වුණා.

    ReplyDelete
  11. 😀😀
    ඒක නියම ඩයරියක් 😀

    ReplyDelete
  12. කට්ටාස්,


    This comment does not related to your article above, at any means. But, worth to read it.I want to suggest ,if possible can you write a series of articles  on the crisis in  agriculture of our country.This might leads to think of how to achieve agricultural integrity in our country. By reading those suggested articles  laymen like us may truely see the problems, the crisis, delemmas and also possible way outs how to rescue the agri industry from these crisis.

    කියුබාව එලවලුවලින් ස්වයංපෝෂිත සහ dengue මදුරුවාගෙන් තොර ලෝකයේ එකම රට බව මට මෙහෙ Mexican කාරයෙක් කිවුවා. ඒ කතාව ඇත්තද?

    ඒක එහෙමනම්දැනට ලංකාවේ ගොවියන්ගේ මුලු ජීවිතයමත් , පරිසරයත්, වතුර ටිකත් විනාශ කරමින් productivity ගැන මෙලෝ හසරක් නොදැන දේශපාලකයන් විසින් decide කරන agenda එකකට යන වී වගාවට විකල්පයන් ඔබට යෝජනා කල හැකිද? It may open the doors to a different realm in our country.

    Clement Peris.

    ReplyDelete
  13. මේ කතාවෙන් කියවෙන්නේ පාලකයාගේ අසාර්ථක භාවයයි හැම කෙනෙක්ගෙන්ම ඇහුවොත් කියවෙන්නෙ ඔහොමම තමයි.කොහොමත් රටකට ඕන අපමණ අගයක් ඇති කෙනෙක් මිස වචනයක් නැති කෙනෙක් නෙමේ

    ReplyDelete
  14. 2015 දෙසැම්බර් 21

    අර රෑ බජව්වක් දාන්න ආපු සුද්දෙක් අපේ කෙල්ලෙක්ගෙ තන පටියක් ගලවල අරගෙන, පත්තරෙන් දකිනකන් මාත් හාන්කවිසියක් වත් දන්නෙ නෑ නෙව හිටං

    යකෝ මෙහෙම ගියොත් අපේ එකෙක්ටවත් ගලවන්න එකක් ඉතිරි වෙයිද ?? එව්වා කොහෙද මං ඉන්නකං ගමේ වැල සිරිකොත කපුටන්ට !

    කෝකටත් ජෑන්තිට කියන්න ඕන අර ගෙදර ඉන්න උඩැක්කි දෙකත් හැම උස්සවේටම රිංගුවට ඔය අවලං බජව් වලට යවන්නෙපා කියල, අම්මප මුං ගොහින් අහු උනොත් අපේ එකීලා කියල බලන්නෙ නෑ මඩු වලිගෙන් තලනවා හිටං !

    ReplyDelete