ඕනෑම කෙනෙක් ඕනෑම වැඩක් පටන් ගන්නේ මොකක් හරි බලාපොරොත්තුවක් ඇතුව. කට්ටකාඩුව බ්ලොග් එක පටන් ගත්තු විදිහ මම කිව්වනේ 50 වැනි ලිපිය ලියන වෙලාවේ. ආචාර්ය ඩී ගේ බල කිරීමට මේ අටමගල පටං ගත්තට මොකද එතනින් එහාට කොහොම කරගෙන යන්ඩද මොනවා ලියන්ඩද කියල මට කිසිම නිච්චියක් තිබ්බේ නෑ කියමුකෝ.
මහාචාර්ය මාතලන් තුමාගේ බ්ලොග් පාඩම් මාලාවෙ සහසුද්දෙම්ම කියල තියනවා අර හිට් කවුන්ටර් එක මුල්ම කාලේ අටවාගන්ඩ එපාය එහෙම උනොත් මොකෙක් වත් මේ මැස්සෝ ඇහිරෙන බ්ලොග් බලන්ඩ එන්නේ නැතිය කියල. හුහ් එහෙම කොහොමද.... මම ඔය එක එක ගුරා ලා කියන දේවල අහන්නේ මොකටද කියල හිතපු මම දා ගත්තා ඒක මුලිම්ම.
අනේ අප්පෝ එහෙමත් නව නිංගිරාවක්! පලවෙනි මාසෙටම මම ලියපු එව්වා බැලුවේ 400 කටත් අඩු ප්රමාණයක්. දැන් මගේ කල්පනාව මේ බ්ලොග් කෙහෙල්මල නවත්තලා දාන්ඩ. මම නැහීගෙන කොටන අකුරු මොකෙක්වත් බලන්නේ නැත්නම් මම මොකටැයි කාලේ කන්නේ. එහෙම කියලා නවත්තන්ඩ හදන කාලේ හරි අපූරු වැඩක් උනා. ඔන්න ඔය වැඩෙත් එක්ක තමයි... නෑ ...දැම්ම නවත්තන්නේ නෑ තව ටික කාලයක් මේක කරගෙන යනවා කියල දහිරිය ගත්තේ. ඉතින් අද කට්ටකාඩුවේ සියවෙනි ලිපිය සමරන වෙලාවේ මට හිතුනා ඒ කතාව කියන්ඩ.
ආ...අමතක උනා කට්ටකාඩුවත් එක්ක අවුරුද්දකුත් සතියක් හිටපු මේකේ මම ලියන ලට්ට ලොට්ට කියවන, කියවලා ගුණ දොස් පෙන්නන, ඒ ලිපි අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න හැමෝටම ස්තූතියි කියන්ඩ මම මේක අවස්තාව කර ගන්නවා.
ඕන්න ඔය මම කියන කාලේ රාජකාරි වැඩකට මම රට වටේ යනවා. ඔය හුගක් ගමන් වලට අර මම මුලින් කියපු ආචාර්ය ඩී ත් යනවා උපදේශක තුමෙක් විදිහට. තව ඒ කාන්ඩේ හිටපු දෙතුන් දෙනෙක් හිටියත් ඒ අයගේ නං ගං මෙතෙන්දි කියන්නේ නැත්තේ වෙන වෙනම ඒ අයගේ කතා ඉස්සරහට ලියන්ඩ හිතා ගෙන ඉන්න හිංදා.
ඔය අපේ ආචාර්ය තුමා වෙන මොක නැතත් පිරිසිදු කම ගැන හරිම උනන්දුයි. ඌරන්ට මොන සෞක්කියද කියන්නා හෙ මට නං ඉතින් කෑමට
ඉස්සරලා හෝ පස්සේ අත හේදුවේ නැතිය, බත් එකේ කෙස් ගහක් තිබුණාය,
පිඟානේ අරින්ඩ බැරි පැල්ලම්
තිබ්බාය වගේ දේවල් ගැන වගේ වගක් නැත. සමහර විට අවුරුදු හතරක් කැම්පස් ජීවිතෙත්
සහෝදරියෝ නැති පවුලක අවුරුදු තිහ හතළිහක් ගෙවීමත්
ඇති මේ අපිළිවෙල. ඒ කොහොම උනත් අපේ ඩොක්ටර් ඩී මේ මම ඉස්සරලා කියපු හැම
දෙයක් ගැනම හරිම සැලකිලිමත්. ඒ නං කමක් නෑ
කියමුකෝ අර වගේ වැරද්දක් අල්ලා ගත්තට පස්සේ කඩේ
කොලුවන්ට හොටෙල් ස්කූල් පාඩමක් පටන් ගන්නවා. ඉතින් ඩොක්ට එක්ක ගමන ගිය
අපිත් කන්නේ නැතුව බලාගෙන ඉඳලා අර ලෙක්චර් එක ඉවර උනාම වෙන කඩේකට යනවා. අපොයි ඒ
කඩෙත් පිඟන් එච්චර පිරිසිදු නැති පාටයි. ඔන්න ආයෙත් අර ලෙක්චර් එක. අපිත් විනාඩි
දහයකට විතර පස්සේ ඩොක්ටවත් කූල් ඩවුන් කරගෙන ඊගාව කඩේට යනවා. ඊට ඉස්සර ලෝක පාලක
දෙවියන්ට පොඩි පඬුරක් ගැට ගහනවා අඩු ගානේ මේ අපි යන හොටලේවත් උඩට උඩු වියන් බැඳපු
පයට පාවඩ එලාපු, කටට
මුකවාඩම් බැඳ ගත්තු උදේම හත් පාරක් කිරියෙනුයි හඳුන් වතුරෙනුයි නාපු වේටර් ලා ඉන්න
හැම පිඟානම කවුරු හරි පාවිච්චි කරාට පස්සේ හඳුන් කිරිපැන් වලිනුයි වෙනිවැල්ගැට
වතුරෙනුයි හත් පාර ගානේ හෝදලා හත්පාරක් වේලලා හත් පාරක් පිහලා ආරක්‍ෂිත සේප්පු
ඇතුලේ තියලා තියන තැනක් වේවා කියල හිතාගෙන. ඩොක්ට නොකෑවට නං අපිට කමක් නෑ අපිටත්
කන්ද නොලැබෙන එක ගැන තමයි අපිට දුක. මට කියන්ඩ දුකයි සහෝදර සහෝදරියනි අර ගැට ගහපු
පඬුරු තාම අපි ගාව. මොකද එව්වා ඔප්පු කරන්ඩ එහෙම හෝටලයක් අපිට හම්බ නොවිච්ච හිංදා.
ලොකු මලය හරිම
පෙරේතයි පොල් රොටී කන්ඩ. ඉතිං යන තැනක් උදේට හරි රෑට හරි රොටී කන්ද පුළුවන් කමක්
තියනවද කියල හොයල බලන එක මගේ සිරිතක්. ඔන්න දවසක් ඩොක්ට ඩී ත් එක්ක අපි මහියංගනේ
ගියා. සුපුරුදු ලෙසම දවල්ට කන්ඩ නෑ. රෑට තියෙන්නේ දවල් උයපු බත් කර කරලා තෙල්
බූලියක ඔබලා අරන් පින්ගානට බෙදලා දෙන කෑමක් හිංදා - හෝටලේ උන් නං කියන්නේ ෆ්‍රයිඩ්
රයිස්ද මොකද්ද නමක් හැබැයි දෙයියනේ එහෙම කෑම පිඟානක් කාලා කටට පහන් තිරයක් දාලා
පත්තු කලොත් පැය හත අටක් පත්තු කරන්ඩ තරං තෙල් තොගයක් එව්වයේ තියනවා - පහුවදා උදේට
මම පොල් රොටී ඕඩර් කළා. ඩොක්ට වෙන මොනවද ඕඩර් කළා අනිත් අයත් එක්ක. දැන් ඔන්න උණු
උණුවේ දුං දාන රොටී පිඟාන මේසෙට වැඩියා කියන්ඩකෝ. බඩගින්නටයි පෙරේත කමටයි කටට කෙල
උනනවා. සර කොච්චි සම්බෝලෙකුත් මේසෙ උඩ හරියට අනේ මාව කන්ඩ අනේ මාව කන්ඩ කියනවා
වගේ. හැබැයි අනිත් අය ඕඩර් කරපු කෑම තාම නෑ. ඉතිං මගේ හැදියාව පෙන්නන්ඩ මම බොහොම
අමාරුවෙන් අර රොටී පිඟාන දිහා නොබලා අනික් කට්ටියගේ සාකච්චාවට හූ මිටි තිය තියා
හිටියා. රොටී සුවඳෙන් නාස් පුඩු නලියනවා. බඩගින්න හිංදා බඩවැල් ඇඹරෙනවා. ඒ
තියෙද්දී මම ජෙන්ටා වෙන්ඩ අනික් අයගේ කෑම එනතුරු බලා ඉන්නවා.
ඔන්න බලන්ඩ
මිනිස්සුන්ට කරුම පලදෙන හැටි. කොහෙද හිටපු මැස්සෙක් ඇවිත් වැහුවා අර රොටියක. ඒ
වෙලාවේම ඩොක්ට දැක්කා අර අසරණ මැස්සව. මට නං මැස්සාගේ හිත තේරුං ගන්ඩ පුළුවන් මොකද
මමයි ඌයි දෙන්නම ඒ වෙලාවේ හිතන්ඩ ඇත්තේ එකම දේ හිංදා. ඒ උනාට මට තිබ්බ ඉවසිල්ල ඌට
නොතිබ්බ හිංදා ඌ ඩොක්ට ගේ ඉලක්කයට ලක් උනා. ඇත්තම කිව්වොත් මැස්සා නෙවෙයි හෝටලේ
වේටර් මල්ලි.
බලනවා බලනවා මේ
හෝටලේ තියන අපිරිසිදු කම
ඇයි සර්?
වේටර් අහන්නේ අපේ කතා බහ
අනිත් මේස වලට ඇහෙන එක වලක්කා ගන්ඩ ඕන හින්දා හරිම හෙමිං.
මේ බලනවා මේ
මැස්සා..
කොයි මැස්සද සර්?
මේ රොටී පිඟානේ
වහලා ඉන්න එකා
ආ...සර් ඉන්ඩ මම
ඌ එළවලා දාන්නං
හුහ් එළවලා දාලා
කොහොමද?
ඌ දැනටමත් රොටී අපිරිසිදු
කරලා ඉවරයි.
ඒ රොටිය අහක්
කරමු සර්
අපි දන්නේ කොහොමද
අනිත් රොටී උඩත් වැහුවද කියල?
මගේ කටට ආවා
කියන්ඩ නෑ නෑ ඌ වැහුවේ ඔය රොටිය උඩ විතරයි කියල. ඒත් මම කටවහගෙන හිටිය.
ගෙනියන්ඩ මේ
රොටී. අපිට වෙන අලුත් රොටී ගේන්ඩ! ඩොක්ට වේටර්ට කිව්වා. ඔන්න එතකොටයි මගේ ඇඟට ලේ
ටිකක් ඉනුවේ. ඩොක්ට මොනවා දන ගත්තත් ලංකාවේ හෝටල් ගැන දන්නේ නෑ. දැන් වේටර් කාරයා
මේ පොල් රොටී පිඟාන කුස්සිය පැත්තට ගෙනිහින් එක රොටියක් පැත්තකට දාලා ඉතුරු රොටී
ටික අලුත් රොටී විදිහට ගෙනැල්ලා තියනවා. මං හිතන්නේ වේටර් මලයත් හිතුවේ මම හිතපු
විදිහටමයි.
හරි සර් කියල
වේටර් රොටී පිඟාන ගත්තා...
හා...ඔයා කරන්ඩ
යන්නේ ආපහු ඔය රොටී ටිකම ගේන්ඩ යන එකනේ. එව්වා කොහෙද?
මේ ටික තියෙද්දී අලුත් රොටී
පිඟානක් ගේන්ඩ. ඊට පස්සේ මේ රොටී ටික අරං යන්ඩ....කවුද දන්නේ ඩොක්ට ත් අපි හිටපු
දේම හිතුවා කියලා.
වේටර් මලයා තරහෙන්
පිපිරී පිපිරී කුස්සිය පැත්තට ගියා. අයගේ කාම ටික ආවා. රොටී පිඟාන තාම නෑ. අය කාලා
තමයි අලුත් රොටී ආවේ. මොනවා කරන්ඩද වෙලාව ඉතුරු කරගන්ඩ ඕන හිංදා රොටී දෙක
තුනක් කාලා මම එලියට ආවා.
ඔන්න දවාලේ අපි වැඩ ඉවර කරලා ආපහු ටවුමට එනකොට හවස
තුනට විතර ඇති.
දවල්ට කන්ඩත් ඕන
නේද? මම ඇහුවේ බඩගින්න ඉවසා ගන්ඩ බැරි කමට.
ආ මම දන්න හෝටලයක්
තියනවා මෙහෙ.
ඇත්තට? මේ වෙලාවේ කෑම තියෙයිද දන්නේ නෑ?
නැති උනොත් හදවලා
හරි ගන්ඩ පුළුවන්.
ඩොක්ට රෙකමන්ඩ්
කරනවා කියන්නේ මැස්සෙක් අහලකින්වත් ගියේ නැති කඩයක් වෙන්ඩ ඕන. පිරිසිදුකම හිංදා
බැබලි බැබලි තියන තැනක් වෙන්ඩ ඕන. අපේ වාහනේ පොඩි හෝටලයක් ඉස්සරහා ඩොක්ට කියපු මග
සලකුණු ඔස්සේ ගිහිං.
හෝටලේ විශේෂ
පිරිසිදු කමක් බැලු බැල්මට පේන්ඩ නෑ. මැස්සොත් සීයක් දෙසීයක් හොයා ගන්ඩ බැරි කමක්
නෑ. හැබැයි කඩේ බබලනවා. මොකද ඒකෙ ඉන්න කැෂියර් නංගි හිංදා. බැලින්නං ඒක තමයි ඩොක්ට
මේ හෝටලේට කැමති වෙන්ඩ කාරණේ.
ඊට පස්සේ අපිත් කොහේ ගියත් හෝටලේ පිරිසිදුද අපිරිසිදුද කියන එකට වඩා කැෂියර් නංගි ඇහැට කණට පෙන කෙනෙක්ද කියලා හොයන්ඩ පටන් ගත්තා. ගුරුවරු කියන දේ
අහන්ඩ ඕන හිංදා ඊට පස්සේ මං තනියෙන් යන ගමන් වලදී උනත් ඒ කඩේ ළඟ නවත්තලා කෑම ටිකක්
කාලා එන්ඩ අමතක කලේ නෑ ඕං.
ඔන්න ඔය සිද්දිය
උනාම මට හිතුනා කට්ටකාඩුව දිගටම ඇදගෙන යන්ඩ. අනිත් අය කියෙව්වත් නැතත් මම මට ඕන දේ
ලියනවා. එහෙම හිතාගෙනයි ලියන්ඩ ගත්තේ. මට අනිත් හැමෝම කැමති දේ හොය හොයා ලියන්ඩ බෑ. හැබැයි මට ඕන දේ මම නොකිව්වොත් අර රොටී පිඟානට වෙච්ච දේ තමයි මගේ අදහස් වලටත් වෙන්නේ. මගේ අදහසඅ නොකියා හිතේ තෙරපා ගෙන ඉන්නේ ඇයි?
හොඳයි කවුරුවත්
බලන්නේ නෑ කිව්වට මම හිතා ගත්තා අඩුම ගානේ 40,000 ආවොත්
පලවෙනි අවුරුද්ද ඇතුලෙදි ඒක තමයි මගේ සාර්ථකත්වය කියලා. ගිය අවුරුද්ද වෙනකොට සිංහල
බ්ලොග් වලට හෙනහුරා ලබල තිබ්බ බව බ්ලොග් ලියන කියවන හුගක් දෙනෙක් දන්නා කාරනාවක්.
බ්ලොග් පුරෝගාමියෝ අහක් වෙලා. සින්ඩිකේටර් වැහෙමින් තිබ්බ කාලයක්. ෆේස් බුක් එක
සිංහල බ්ලොග් ගිල ගනිමින් තිබ්බා. හරියට සූපවාහිනිය සිංහල සිනමාව ගිල්ලා වගේ. ඒ
හින්දමයි මම හිතුවේ ෆේස් බුක් වලින් බාහිරව යන්ඩ.
අද වෙනකොට 69,000 කට්ටකාඩුවට ඇවිත්. මම හිතුවට වඩා හොඳ ප්‍රගතියක්. දැන්
දැන් ලිපියක් ලිව්වම දාහක් විතර කියවනවා. ඉතිං තව වෙන මොනවද?
මේ අවුරුද්දකුත්
දවස් දහයක් කාලෙදි මාත් එක්ක මේ ගමන එන්ඩ උදව් කරපු හැමෝටම බොහොම පින්. ඩොක්ට ඩී
තමයි වැරදි හදාගන්ඩ මග පෙන්නලා දුන්නේ. මට විතරක් නෙවෙයි ඒ උත්තමයා තව බ්ලොග්
කරුවන් තිහකට ආසන්න ප්‍රමානෙකට මග පෙන්නලා තියන බවක් වරක් කිව්වා. මම බ්ලොග් එකේ
ගත කරන කාලය ණයට ගන්නේ ගෙදර දරු මල්ලොත් එක්ක ඉන්ඩ තියන කාලයෙන්. ඒ ණය බොල් ණය
විදිහට සලකලා කපා හරින මගේ ආදරණීය බිරිඳටත් දරුවන්ටත් මම ණයගැති බව නොකියාම බෑ.
ඒ කවුරු මොනවා කලත්
ඇත්තම සතුට ලැබෙන්නේ මම ලියන දෙයක් වැඩි දෙනෙක් කියවන කොට. ඒ හින්දා කට්ටකාඩුව
මෙච්චර දුර ගෙනාවේ මේකේ ලියන දේවල් කියවන ඔබයි. මෙන්න ඒ වෙනුවෙන් මගේ ශීර්ෂ ප්‍රණාමය!!
ලබන අවුරුද්දේ
කට්ටකාඩුවට යම් යම් වෙනස්කම් කීපයක් කරන්ඩ බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ වෙනස්කම්
මොනවද කියල කියන්ඩ වෙන්නේ තව ටික කාලෙකින්. මොකද ඒ වෙනුවෙන් වෙලාව හොයා ගන්ඩ
පුළුවන් වෙයිද කියලා තාම හිතා ගන්ඩ බැරි හිංදා.
ඉතින් දැන් ඇති 100 ගැන ලිව්වා. අපි 101න්
හම්බ වෙමු.
අවඩා ආයු බෝ වේවා!!
සෙන්චරියට සුබ පැතුම්! ඔහොම යමු!!
ReplyDelete100 ට සුබ පැතුම් !!
ReplyDeleteහැම එක්කෙනාගෙම හිත සතුටු වෙන විදියට කාටවත් මේක කරගෙන යන්න බෑ. කියවන එකාගෙ හිතට ලිපිය සැටිස්නං ඌ කොමෙන්ට් කරයි. නැත්තං සද්ද නැතුවම බැහැල යයි. එහෙම නොවුනොත් අන්තිමේ රොටිය මැස්සටත් නෑ බොටත් නෑ.
සන්තෝසයි. ජය වේවා!!!
ReplyDeleteතන්තෝසයි එකෙන්ම ..ජයවේවා
ReplyDeleteCongrats Katta.
ReplyDelete100 යට 1000 ක් බ්ලොග්බෝ වේවා
ReplyDeleteජය වේවා !!!
ReplyDeleteහිටපු ගමං දකුණු පැත්තෙ ලිස්ට් එකේ කට්ටකාඩුව උඩ ඇවිල්ල තියෙද්දි දැනෙන ආතල් එකට බත් පිඟං දෙකක් කෑවැකි. කට්ටිය එක්ක සම්මාදමක් දාලා අර ආචාර්යට ඉටිකිරිස් කෑල්ලක් දවස් දෙහෙකට අරං දෙන්න. එතකොට ඔය ආහාර වෛරය සංසිඳෙයි. නැත්තං කොයියම්ම මොහොතක හරි ඔය මනුස්සයා රත්වෙච්චි ආප්ප චාච්චියක් ඉහේ පළංදගෙනයි දොට්ට බහින්නෙ.
ReplyDeleteකට්ටකාඩුව යාවත්කරන්නට ඉඩ දෙන ලොකු අක්කා මැතිනිය සහ දුවාදරු පිරිසටත් ලොකු මල්ලි අයියා මහත්තයාටත් බොහොම පින්.
100 පැන්නුවා කියන්නෙ එසේ මෙසේ ජයක් නෙමෙයි.මම හිතනවා මම කිව්ව ඉලක්කය මේ අවුරුද්දේ අවසාන වෙන්ඩ කලින් ලගාකර ගන්ඩ ලැබේයි කියල.මම මේ බ්ලොග් එකේ දකින විශේෂත්වය තමයී විවිධ මාතෘකා වලින් ඇගට දැනෙන්ඩ කතා කරපු එක.
ReplyDelete// අනිත් අය කියෙව්වත් නැතත් මම මට ඕන දේ ලියනවා.// අන්න එහමයි. මගේ මොටෝ එකත් ඕකම තමයි. නොයෙකුත් චෝදනා එනවා. මොකටද ගණන් ගන්නේ. අපිට ඕන හින්දනේ ලියන්නේ. ඒනි වේ සුභ පැතුම්
ReplyDeleteදිගටම ලියන්න. එන්න එන්න කියවන්න පුලුවන් blog නැතිවෙලා යනවා.
Deleteකට්ටකාඩුව අලුතින් පටන්ගත්ත බ්ලොග් වලින් හොදම එකක්..!
ReplyDeleteලොකුමල්ලි...කවුන්ටරේ ඉන්න ගෑල්ල්මයගෙත් මැස්සො වහනවද කියල බලන්න වෙන සීන් එකක් දැන් තියෙන්නේ...මැස්සෙක්වත් එන්නැති හොටෙලේකින් කාලම නෑද..ඈ...?
ReplyDeleteලොකුමල්ලි ලියන එව්වා හරි රසයි, මැස්සෝ වහන්නේ නෑ..හේතුව පිලුන්වෙලා නෑ, ඊයේ උයපුව අද නෑ, අනුන් උයපුව කම්මැලිකමට දෙන්නේ නෑ...ඔයාකාරයි..සීය එච්චර ගනන්ගන්න එපා. ඒක හොඳමදි...ඔය ලියනාකාරයටම ඔන්න ඔහේ ලියලා දාන්න..
අනික බුකිය තියෙන්නේ 2020 වෙනකන් ඉතරයි..හිටා ආවාම ඒක වහනවලු..ඉතින් බ්ලොගක් ලියාගෙන බත් ටිකක් කාලා නිදාගතෑකි අපි ඔහෙලට...නැද්ද...!
ජයවේවා...!!
ඔබ අදහස වචනවලට ගලපන හැටි ලස්සනයි.බ්ලොග් අඩු මේ කාලයේ ඔබගේ සාරවත් ලිපි නියඟයක් තුල ඇදහැලෙන වැස්සක් වගේ !හැම ලිපියකටම කොමෙන්ට් නොකලත් ඒ හැම ලිපියක්ම ආසාවෙන් කියවමි.ඔබතුමා සහ පවුලේ සැමට ආයු බෝ වේවා !
ReplyDeleteThamange athdekeem gena liyana evayedi oyaage basa hari buhuti, rasai. Loku maathruka gena deval valadi mata eka denenne ne. Eva kiyavala thiyana deval nisa venna ethi samaharavita.Kohoma unath hari ma nirmaanaathmakai oyage liyana kalaava. Boho dura yanna, boho de karanna lebeva.
ReplyDeleteමුල ඉදන්ම කොළොම්පුරේත් ගොඩවෙච්චි අපුරු තැනක්නේ මේක.
ReplyDeleteසියය දෙසියක් වේවා........ ලොකු මලයාටත් කට්ටකාඩුවටත් ජයවේවා......
ලොකු මල්ලි සෑර්ගේ සැන්ටිග්‍රේඩ් එකට මගේ සුබ පැතුම්!
ReplyDeleteජයවේවා!
Myself Hattor
Hari lassanayi!Ohoma liwwoth me awurudde 69000 neweyi. Millionayakma eyi.
ReplyDeleteCongratulations!
ReplyDeleteසුපැතුම් බොක්කෙන්....
ReplyDeleteදැනට තියෙන සුපිරිම බ්ලොග් අඩවිය...
ඒකේ ආයේ කතා දෙකක් නෑ....
කවදාවත් ලියනප්පු වැඩේ නවත්තන්න එපා...
මම ඕන නම් පත්තරයකුත් අල්ලලා දෙන්නම්...
සීයට සුබ පැතුම්!කමෙන්ට් වලට රිප්ලයි කරනව කියන වැදගත් වැඩේ ගැනත් ටිකක් කල්පනා කරන්ට.
ReplyDeleteමාතලන් උන්නැහෙගෙන් පාර අහගෙන කට්ටකාඩුවට ඇවිත් අවුරුද්දකුත් ගතවෙච්චි….….අතරින් පතර කීපයක් මිස් උනාට ලොකු මල්ලිගෙ කතා අහගෙන හිටිය..පුලුවන් විදිහට උන්නැහෙගෙ පිටත් කැහුව...පස්සට කෙරුව වගේම ඉස්සරහටත් කරන්ඩ බලාපොරොත්තු වෙනව..සුබපැතුම් ලොකු මල්ලියේ..උම්මහ්..
ReplyDeleteනිතරම කමෙන්ට් නොදැම්මත් මෙහෙ යමි එමි.... සුබ පැතුම් ....දිගටම ලියන්න...
ReplyDeleteasawen kiyawana, aluthin post ekk watenakn balan inna blog ekk,
ReplyDeleteSuba pathum
අවඩා ආයු බෝ වේවා!!අපේ හද පිරි සුබ පැතුම් !!!!!!!!!!!
ReplyDeleteසුුහපැතුම්
ReplyDeleteදිගටම ලියන්න.... ජය
ReplyDeleteTake a Bow ලොකු මල්ලි ... ඔන්න එහෙනං උස්සල දිග අප්පුඩියක් විතරක් ගහල මදි හින්ද විසිල් පාරකුත් ගැහුව ඕං :-)
ReplyDeleteදිගටම ලියන්න සුබ පැතුම් !
පොඩි උපදෙසක්:
මේ ලියන එව්වා FB හදල හරි එහි තියන සමුහයකට හරි දාල කියවන කට්ටිය තව වැඩි කරගන්න (එහෙම කිව්වෙ මෙහි ලියන දේ වලට මා කැමති නිසා, කියවන ය අඩුයි කියල වහල දානවට කැමති නැහැ)