Saturday, August 18, 2018

බැංකු හොරකම් කරන ලේසි විදිහක්


මේ ගිය සතියේ දවසක අහම්බෙන් ප්‍රවෘත්ති බලන්ඩ ලැබුනා.  රත්තරං උකස් ගත්තු කට්ටියගේ මූල්‍ය ආයතනයක සල්ලි දාපු මිනිස්සු දැන් ලොකු අමාරුවකට වැටිලා කියලත් ඒ ආයෝජකයෝ තමුන් ආයෝජනය කරපු සල්ලි ටික බේරා ගන්ඩ පාරවල් ගානේ උද්ඝෝෂණ කරන බවකුත් මම දැක්කා. මේ මෙහෙම සිද්ධියක් ලංකාවේ වෙච්ච පලවෙනි වතාව නෙවෙයි. එක එක්කෙනා කොහොම මොන දේවල් කිව්වත් වණික් බැංකුවෙන් ප්‍රමුඛ බැංකුවෙන් පටන් අරං සක්විති ගේ ඉඳල සෙලාන් බැංකුව හරහා තව මට නම මතක නැති මූල්‍ය ආයතන ගණනාවකට පොඩි පොඩි වෙනස්කම් ඇතුව උනේ මේ සංගදියම තමයි. ඔන්න කෙනෙකුට කියන්ඩ පුළුවන් මහ බැංකුවටත් මේ ලඟදි උනේ ඔය වගේ වැඩක් නේද කියල. මොකා කලත් හොරකම හොරකම ම තමයි. හැබැයි මේ මූල්‍ය ආයතන වල අයිති කාරයෝ ඔය වගේ තුප්පහි වැඩ කරන කොට අපි වගේ පොඩි මිනිස්සුන්ට අබ සරණම තමයි.


ඒ ගැන හිත හිතා ඉන්න කොට අපේ ෆ්‍රෙඩී සිල්වා මහත්තයාගේ පරණ සින්දුවක් මතක් උනා. මගේ හිතේ ඒක ලියල තියෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තය. සින්දුව තමයි පරණ කෝට්.

පරණ කෝට්...පරණ කෝට්
පිත්තල බොත්තම් කැඩිච්ච මුලාදෑනි මුරුත කෝට්
මෙන්න ගෙනාවා මෙන්න ගෙනාවා.....

එංගලන්තෙ පරණ පැටන්
කොළඹ පුරේ අලුත් පැටන්
කොළඹ පුරේ පරණ පැටන්
මේ පැත්තේ අලුත් පැටන්....


එතකොට තමයි මතක් උනේ බැංකු හොරකමේ අතීතයක් තියනවා නේද කියල. පොඩි තැනක නෙවෙයි වතිකානුවේ. දන්නවනේ වතිකානුව කියන්නේ රෝමානු කතෝලික ආගමේ ජීවමාන නායකතුමා වන පාප් වහන්සේ වැඩ ඉන්න නගර රාජ්‍යය. අක්කර 110 විතර ලොකු මේ රාජ්‍යය තමයි ලෝකේ තියෙන පොඩිම රට.

වතිකානුව පිහිටලා තියෙන්නේ රෝම නගරේ ඇතුලේ. ඉතින් ඉතාලි රෝම නගරය ඇතුලේ වතිකානුව කියල රාජ්‍යයක් බිහිවෙන්නේ 1929 දී ඉතාලියයි රෝම නගරයේ බිෂොප් වරයා විදිහට පාප් වහන්සෙයි අස්සන් කරපු ලැටරන් ගිවිසුමෙන්. ගිවිසුම අස්සන් කරන්නේ ෆැසිස්ට් වාදී පාලක මුසෝලිනි ඉතාලිය වෙනුවෙනුත් එකොලොස් වැනි පියුස් පාප්වහන්සේත් විසින්. මේ ගිවිසුමේ කෑල්ලක් විදිහට ඉතාලි රජය පාප් වහන්සෙට දෙනවා ලීරා මිලියන් 750 කුත් (ඒ කියන්නේ අද කාලේ විදිහට ඩොලර් බිලියන් 2.2 වගේ ගානකුත්) තව අද කාලේ හැටියට නං ඩොලර් මිලියන් 238 විතර වටින ඉතාලි බැඳුම්කර තොගේකුත්

ඊට පස්සේ 1933 දී පාප් වහන්සේ ජර්මනියේ හිට්ලර් එක්ක. මේ ගිවිසුමෙන් පස්සේ මම දැන ගත්තු විදිහට අද වෙනකල්ම ජර්මන් මිනිස්සු තමන්ගේ ආදායම්නේ පල්ලියට ගෙවන 'බද්දෙන්' (Kirchensteuer) කොටසක් වතිකානුවට එනවා. වතිකානුව කලේ මෙහෙම හම්බ වෙච්ච සල්ලි විවිධ ව්‍යාපාර වල යෙදෙව්වා. ලාභ හම්බ වෙන ඕනෑම ව්‍යාපාරයක සමහර විට ගිනි අවි නිෂ්පාදන ව්‍යාපාර වල පවා. ඊට අමතරව ඔවුන් තව දෙයක් ඉස්සරහට ගෙනාවා. ඒ තමයි වතිකානුව තුල කරන ආයෝජන සඳහා ඉතාලියට බදු ගෙවිය යුතු නැති බවට. කොටිම්ම වතිකානුව පුණ්‍ය ආයතනයක් ඉතින් පුන්‍ය ආයතනයක් කරන ආයෝජන බද්දෙන් නිදහස්!! ඔන්න හැමෝම වගේ වතිකානුව තුල තමුන්ගේ සල්ලි දාන්ඩ පටන් ගත්තා. ඇයි දෙයියනේ බදු ගෙවන්ඩ ඕනෙත් නෑ. විශාල ලාභාංශත් හම්බ වෙනවා. කවුද අකමැති?

වතිකානුවට ඕන වෙනවා මේ එන සල්ලි පාලනය කරන්ඩ බැංකුවක්. එකට 1942 ජූනි වලදි හදනවා බැංකුවක්. නම 'ආගමික කටයුතු සඳහා වූ ආයතනය' එහෙම නැත්තං Institute for Religious Works (IOR). මේක පාප්තුමාට අයිති බැංකුවක් නෙවෙයි. ඒ හින්ද කතෝලික පල්ලියේ සාමන්‍යයෙන් තියෙන මූල්‍ය වගවීම් පිලිබඳ ආයතන වලට මේ ආයතනය ගැන හොයන්ඩ බලයක් නෑ. අනික් පැත්තෙන් සාමාන්‍ය පෞද්ගලික බැංකුවකුත් නෙවෙයි. කොටිම්ම මේ ආයතනයේ පළමු වාර්ෂික වාර්තාව නිකුත් කරන්නේ 2013 දී. ඒ කියන්නේ බැංකුව හදලා අවුරුදු 61 කට පස්සේ. එහෙනං මොකද්ද මේ බැංකුව? මම නං දන්නේ නෑ හැබැයි කැමති කෙනෙකුට හොයන්ඩ පුළුවන් මේ ගැන තොරතුරු!!!

IOR එකට අපි වතිකානු බැංකුව කියලම කියමු හැඳින්වීමේ පහසුව සඳහා.

ඔන්න දැන් මම වෙන කතාවක් කියන්ඩ යන්නේ. මිලාන් නගරේ ආච්බිෂොප් තනතුරට 1954 පත් වෙනවා ජියෝවානි මොන්ටිනි. මෙතුමා ඊට කලින් වතිකානුවේ රාජ්‍ය ලේකම් ධූරය දරුවා. හුගක් අය කියන්නේ 1939 ඉඳන් 1958 වෙනකල් පාප්තුමා විදිහට හිටපු දොළොස් වෙනි පියුස් පාප්තුමාගේ ලඟම උපදේශකයා මෙතුමා කියල. මේ ආච්බිෂොප් තුමාට හම්බ වෙනවා මිෂෙල් සින්ඩෝනා කියල කෙනෙක්. ඊට පස්සේ උනේ මොකක්ද කියල හරියටම පැහැදිලි නැතත් සින්ඩෝනා ට මාෆියා සම්බන්ධකම් තියනවා කියල දැන ගන්න කොට ආච්බිෂොප් තුමා පරක්කු වැඩියි. මේ ආච්බිෂොප් තුමා 1963 පත් වෙනවා නව පාප්තුමා විදිහට. එතැන් පටන් එතුමාව හැඳින්වෙන්නේ හයවැනි පෝල් නමින්. සින්ඩෝනා පත් වෙනවා පාප් තුමාගේ මූල්‍ය උපදේශක විදිහට. ඒ 1968 දී. 

සින්ඩෝනා
ඔය අතරේ ඇමෙරිකානු බිෂොප් කෙනෙක් හිටියා පෝල් මාර්සින්කස් කියල. එතුම වතිකානුවට ඇවිල්ල හිටියෙ එහි රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුවේ සේවයට. ඔහුගේ භාෂා දැනුම හින්ද පාප් තුමාගේ ප්‍රධාන ඉංග්‍රීසි පරිවර්තක ධූරයට පත් උනා. ඒ හින්දම පාප් තුමාගේ විදේශීය සංචාර සංවිධානයටත් දායක උනා. ඔහු හතර රියන් පුරුෂයෙක්. ටිකෙන් ටික පාප් තුමාට ලං වෙච්ච පෝල් ඔහුගේ ශරීර ප්‍රමානෙත් එක්ක පාප්තුමාගේ ශරීරාරක්ෂක තනතුරටත් පත් උනා. ඔහු පාප්තුමා මෝහනයට පත් කරලා වගේ වශී කර ගෙනයි හිටියෙ. ඒ අතරේ වතිකානු බැංකුවේ අධිපති ධූරයට මූල්‍ය කටයුතු ගැන කිසිම දැනුමක් නැති  මාර්සින්කස් පත් වෙනවා. ඒ 1971 දී. සමහර මූලාශ්‍ර වලට අනුව ඔහු වතිකානු බැංකුවට සම්බන්ධ වෙන්නේ 1967 දී. ඔහුට මූල්‍ය කටයුතු සඳහා උපදෙස් දෙන්ඩ එන්නේ ඉස්සෙල්ල කියපු සින්ඩෝනා. ඒ එක්කම රොබර්ටෝ කැල්වී. කැල්වී 1971 දී පෝල් ට හදුන්වල දෙන්නේ සින්ඩෝනා.

පෝල් මාර්සින්කස්

දැන් පසුබිම ගැන කියල ඉවරයි. ඔන්න දැන් වැඩ ගැන.

වතිකානුව එක්ක තියන සම්බන්ධකම් පෙන්නලා සින්ඩෝනා බැංකු වලින් ණය ගත්තා. ඒ ණය යොදවලා බැංකු මිලට ගත්තා. මේ විදිහට බැංකු හා සමාගම් 21 ක අධ්‍යක්ෂක මණ්ඩල වල සින්ඩෝනා හිටියලු. තමුන්ට අයිති බැංකු වල තැන්පත් කරුවෝ තැන්පත් කරන සල්ලි ඔවුන් වතිකානු බැංකුවේ ගිණුමක නැවත තැන්පත් කරනවා. වතිකානු බැංකුව 15% කොමිස් මුදලක් තියාගෙන ඉතුරු සල්ලි ටික සින්ඩෝනා ගේ පෞද්ගලික ස්විස් බැංකු ගිනුමක තැන්පත් කරනවා.  ඒ සල්ලි වෙනුවෙන් අදාළ ලියකියවිලි, මිල දී ගැනීම් හා විකිණුම් ගැන විස්තර, කොන්ත්‍රාත්, ඔප්පු, ලදු පත් වගේ දේවල් වතිකානු බැංකුව ලබා දෙනවා. මේ හොර ලියවිලි හදන්නේ සින්ඩෝනා ගේ සම්බන්ධකම් තියන මාෆියා කල්ලි. ඒවාට සුජාත බාවය ලබා දෙන්නේ වතිකානු බැංකුව.
කැල්වී

සින්ඩෝනා යි කැල්වී යි තමයි මිලාන් කොටස් වෙළඳපොල පාලනය කලේ. ඔවුන් හිතු මනාපෙට කොටස් මිල ඉහළ දැම්මා. පහල දැම්මා. කොටස් මිල බොරුවට පහල දාපුවම වතිකානු බැංකුව අදාළ කොටස් මිළදී ගන්නවා. ආපහු කොටස් මිල වැඩි උනාම එහෙම ගත්තු කොටස් විකුණනවා. කොටස් මිල කෘතිමව ඉහල දැම්මාම කරන්නේ මේකෙ අනික් පැත්ත. 

වතිකානු බැංකුවට බහුතර කොටස් අයිති වෙලා තිබ්බ පොඩි බැංකුවක් තිබ්බා වැනීසියේ. කාටත් නොදන්වා මාර්සින්කස් මේ කොටස් විකුණනවා ඉතාම අඩු ගානකට කැල්වී ට. මේ අඩු මිල කොටස් වෙළදාම හිංදා අනිත් ආයෝජකයොත් හොඳටම බය වෙලා කුණු කොල්ලෙට තමුන්ගේ කොටස් විකුණනවා. ඒ කොටසුත් ගන්නේ කැල්වී. ඊට පස්සේ මිලාන් කොටස් වෙළඳ පොලේ මේ බැංකුවේ කොටස් මිල හරි ඉහළට ගෙනියනවා කට්ටිය එක්කහු වෙලා. ඊට පස්සේ අර ගත්තු කොටස් ඔක්කොම විකුණනවා. වතිකානු බැංකුව මුලදී කොටස් විකුනපු මිලෙන් හතෙන් එකක් මාර්සින්කස් හා කැල්වී අතර බෙදී යනවා. 1972 දී දෙන්න අතරේ බෙදිච්ච මේ ලාභ වල අද වටිනාකම රුපියල් කෝටි 488!

ඉතාලිය හරහා කරපු අපනයන වෙළඳාමේ බදු වංචා කිරීම් වලිනුත් මේ අය සල්ලි හෙව්වා. හැබැයි බැංකු ගේම් සහ කොටස් වෙළඳ පොලේ ජිමික් තරං බදු වංචා සල්ලි ආකාර උනේ නෑ.
පොඩ්ඩක් ගැස්සුනේ මාෆියාව හරහා බොරු ඇමෙරිකානු සුරැකුම්පත් අච්චු ගස්සලා විකුණන්ඩ හදපු වැඩේ. ඒක හරි ගියා නං අද කාලේ ඇමරිකානු ඩොලර් බිලියන් 472 මේ අයියලාට හොයාගන්ඩ තිබ්බා. වතිකානු බැංකුව හරහා ඒ සුරැකුම්පත් අනිත් බැංකු වලට වික්කත් අවසාන ගැනුම්කරුවෝ පරෙස්සම් වෙච්ච හින්ද වැඩේ බේරුනා. මේ ගැන හොයන්ඩ ආපුවම මාර්සින්කස් කිව්වේ තමන්ගේ තරහ කාරයෝ තමන්ව පටලවන්ඩ කරපු බලු වැඩක් මේ කියල!!

මේ හොරකම් ඉතාලියට විතරක් සීමා උනේ නෑ. ඇමෙරිකාවේ ඒ කාලේ තිබ්බ 20 වෙනි ලොකුම බැංකුව සින්ඩෝනා අරන් පරණ සෙල්ලං ටික දානවා. 1974 දී ඒ බැංකුව බංකොලොත් වෙනවා ඩොලර් බිලියන් දෙකක් විනාශ කරලා. 1974 ඔක්තෝබර් ඉඳලා 1975 ජනවාරි කියන මාස හතර ඇතුලත ස්විට්සර්ලන්තෙයි ජර්මනියෙයි තිබ්බ සින්ඩෝනා ට අයිති බැංකු හතරක් බංකොලොත් වෙනවා.

කැල්වී ලක්සම්බර්ග් වල සමාගමක් පිහිටුවල ලෝකේ පුරා බැංකු 250 කිං ඇමෙරිකානු ඩොලර් 450 ක ණයක් ගන්නවා.  ඒ සල්ලි දාලා ස්විස් බැංකුවකුයි බහමාස් වල බැංකුවකුයි ගන්නවා. ඔන්න අයියලා ආපහු වැඩ පෙන්නනවා. කවුරු හරි ගන්ති දැම්මොත් මාෆියාව හරි වතිකානුවට තියන බලය හරි පෙන්නලා වැඩේ ගොඩ දා ගන්නවා.

හරියට ඔප්පු කරලා නැති උනත් මේ අකටයුතුකම් ගැන හොයන්ඩ තීරණය කරන පළමුවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ ස්වර්ගස්ථ කරන්ඩත් මේ අය සම්බන්ධ උනා කියල කසු කුසුවක් තියනවා. ඒ උත්තමය පාප් පදවියට පත් වෙලා දවස් 33 කින් අබිරහස් විදිහට මියයනවා. වෛද්‍ය වාර්තා මොනවා කිව්වත් තාමත් සමහරු ඒ සිද්ධිය ගැන සැක පහල කරනවා.

මේ කල්ලියේ වැඩ ගැන තව හුගක් විස්තර තිබුනත් ලිපිය දිග වෙන හින්දා ඒ ගැන කියන්ඩ යන්නේ නෑ. සාමාන්‍ය වෙබ් සෙවුමක් තුලින් මේ අය ගැන බොහෝ තොරතුරු හොයා ගන්ඩ පුළුවන්.

සින්ඩෝනා ට විරුද්ධව ඇමෙරිකාව චෝදනා 65 වෙනුවෙන් 1980 දී නඩු පවරනවා. ඔහු වැරදි කරු වෙලා හිරේ ඉඳිද්දී ඉතාලිය ඔහුව ගෙන්වාගෙන මිනී මැරුම් චදනා ඉදිරිපත් කරනවා. ඊට වැරදි කරු වී ජීවිතාන්තය දක්වා හිර දඬුවමක් විදින අතරතුර ඉතාලි හිර ගෙදරකදී සින්ඩෝනා අබිරහස් ලෙස 1986 දී මියයනවා. මරණයට හේතුව ඔහුගේ කෝපි කෝප්පෙට සයනයිඩ් මුසු වී තිබීම!.   කැල්වී අබිරහස් ලෙස මියයනවා 1982 දී. සැක එල්ල වෙන්නේ ඉතුරු අයියලා සහ මාෆියාව ගැන. පෝල් මාර්සින්කස් මිය යන්නේ 2006 දී.  
 
මාෆියා ලෝකය අදටත් ක්‍රියාත්මකයි.

බැංකු අදත් බංකොලොත් වෙනවා.

කොටස් වෙළඳ පොළ දැනුත් හිටපු ගමන් උඩට ගිහිං කඩා ගෙන වැටෙනවා.

අදත් බදු වංචා වෙනවා.

ඉතාලියෙත් ඇමරිකාවෙත් ලංකාවෙත් එදත් එහෙමයි අදත් එහෙමයි.

අසරණ මිනිස්සු තමුන්ගේ සේසතම නැතිවෙලා දෙස් දෙවොල් තියනවා.

ඒ වේදනාව අහන්ඩ දෙවියෝ ඉන්නවද? නැත්නම් දෙවියොත් අනික් පැත්තෙද?

බැංකුවක් හොරකම් කිරීමට ඇති හොඳම ක්‍රමය එම බැංකුව අයිති කර ගැනීමයි!! මේ කණ්ඩායම ගැන පොතක් ලියපු වෙන්ස් ෆෙරල් එහෙම කියන්නේ ඇයි?

35 comments:

  1. බලාගෙන ගියාම බැංකු බංකු ගේම් සෙල්ලං නෙමෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. කරන උන්ට සෙල්ලං සභාපතිතුමා. විදින පොඩ්ඩන්ට තමයි ලෙල්ලං. හා නැද්ද?

      Delete
  2. ඉතාලියේ රෝමයට යටින් ඇති කොටස වෙනම එවුන් ඉන්න හරියක් කියා නියම උතුරු ඉතාලි අය කියන්නේ.කපටි අරාබි මිශ්‍රවුන එවුන් කියා කියන්නේ.මම දැක්ක දෙයක් තමයි මේ දකුණු ඉතාලි අය ලංකාවේ අපිවගේ.කපටිකම,කුහකකම,තමන් තමයි ඉස්තරම් කියා හිතන කට්ටිය.අනෙක ඉගෙන ගත් එකා පවා තමන්ට ඕනෑ ජොබ් එක එනකම් වෙනදෙයක් කරන්න මහන්සි වෙන් නෑ.රසට,දැවිල්ලට කන්න ආසයි.ඉතිං අර මාෆියාකාරයින්ට හරි ලේසියි මුන්ව ඩැහැගන්න.ජොබ් එකක් කරල මුල් පඩියෙන්ම ලොකු කාරෙකක්,ලොකු ටී.වී එකක් ගන්නේ.ජොබ් එක නැති වුනොත් පටාස් අර බඩු අඩුවට හරි වික්කා.පීසා කඩ දාපු ඔක්කොම එවුන් දකුණු ඉතාලි.අමෙරිකාවෙ ඉන්න ගොඩක් ඉතාලි අය දකුනේ අය.මේ කියන්නේ බහුතරය ගැන.ලෝකයේ ලොකු හොරු ගත්තාම ඔයකියපු අය ඉදිරියෙන්ම.උතුරු ඉතාලියේදී මුන් එක්ක ජොබ් කරන්න පහසු නෑ.ජර්මන්,ප්‍රංශ ආදී මිනිස්සු 60,70,80 දශකවල යුරෝපේ හොරු කීවේ ඔය දකුණු ඉතාලි කට්ටියට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහසට. වතිකානුව තුල 'මිලාන් මාෆියා' කියල හැදින්වෙච්ච කට්ටියක් හිටිය කියලත් ඔවුන් ගෙන් සමහරු masonic lodge එකකට අයත්ව සිටි බවටත් වාර්තා තියනව. මතක විදිහට සින්ඩෝනා සිසිලි වැසියෙක්...

      Delete
  3. වැදගත් විස්තරයක්. යන්තමට දැනන් හිටියත් මෙඡාර විස්තර කියවල තිබ්බේ නැහැ. අර ඇමෙරිකාවේ හිටපු රාජරත්නම් දුන්නෙත් මේ වගේ ගේම් නේද? .

    ReplyDelete
    Replies
    1. එහෙ 1960 ගණං වල හොයා ගත්තු ක්‍රම සහ විධි තව තවත් දියුණු කරල ඇමරිකාවෙ, එංගලන්තෙ, ඇෆ්‍රිකාවෙ, ආසියාවෙ හැමතැනම දැන් ක්‍රියාත්මකයි. තාම නැත්තෙ ඇන්ටාක්ටිකාවෙ විතරයි!!!!

      Delete
  4. ඔයි වතිකානු බැංකුවෙ මගදී ගැන ගෝඩ් ෆාදර් මුවී එකකත් යනවා නේද?

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුවන් ඇණ තුමනි. මොකද සින්ඩෝනාට කුප්‍රකට එකල තිබූ ප්‍රධාන මාෆියා පවුල් පහ -five families- එක්කම සම්බන්ධකම් තිබුනා. ඉන් එකක් ගැම්බිනෝ පවුල. ඔවුන්ට තිබ්බ නොයෙක් අවකල් ව්‍යාපාර අතර සූදුවත් එකක්. ETI අයිතිකරුවන් හා ලංකාවෙ ප්‍රසිද්ධ සූදු ව්‍යාපාරයක් අතරත් ලොකු සම්බන්ධකම් තියනවා. ඒ කොහොම උනත් ගෝඩ් ෆාදර් හි චරිත ගොඩ නැගීමටත් ගැම්බිනෝ පවුලේ කතාව උපයෝගී කරගෙන තියෙනවා....

      Delete
  5. වතිකානුව කියන්නේ කොයිතරම් බලසම්පන්න , දුෂිත තැනක්ද කියල ඉතිහාසය කියන කොට තේරෙනවා.
    ලෝකෙන් කොම්යුනිස්ට් සෝවියට් රුසියාව ඉවත් කරන්න ඇමරිකාව සහ එංගලත්නය සමග අත්වැල් බැද ගෙන ක්‍රියා
    කලේ වතිකානුව බව කියවෙනවා.

    පුළුවන් නම් ඔය වගේම ලිපියක් ලියන්න , කතෝලික පල්ලියේ ආශීර්වාදය ඇතුව සිද්ද උන මහා පරිමාණ ළමා අපචාර ගැන .
    ලෝකේ රටවල් කිහිපයක්ම මේ ගැන හොයන්න පුළුල් බලතල සහිත කොමිෂන් සබා පත් කරා , ඕස්ට්‍රේලියානු වාර්තාව
    මීට මාස කීපයකට පෙර පිට උනා. වතිකානුව පුදුම උත්සහයක් දැරුවා මේක නවත්වන්න, විශේෂයෙන්ම මේකට චෝදනා
    ලබපු වතිකානුවේ තුන්වෙනි ප්‍රදානියා උන John Pell ඔස්ට්‍රේලියාවට නොඑවන්න. හැබැයි වැඩේ හරි ගියේ නෑ . වාර්තා උන කරුණු විශ්වාස කල නොහැකි තරම්.

    https://aifs.gov.au/cfca/bibliography/child-abuse-and-church

    මේ ගැන විශේෂ වාර්තා වැඩසටහනක් ලෝකයේ ඉහලම වාර්තා වැඩසටහන් ඉදිරිපත් කරන SBS channel එකේ විකාශය උනා . එකෙන් පේනවා මේ ළමා අපචාර ගැන දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ පවා හොදින් දැනගෙන හිටපු බව . එහෙත්
    මීට සම්බන්ද පූජකයෝ වතිකානුවට හොයල දෙන අරමුදල් නිසා උන්වන්හ්සේ මේක යට ගැහුවා .

    http://www.abc.net.au/news/2017-12-12/undeniable-the-people-behind-the-child-abuse-royal-commission/9222566

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහසට. මට හිතෙන්නෙ හැම සංවිධිත ආගම් සංස්ථාව ක් ඇතුලෙම මේ වගේ වැඩ වෙනවා.

      Delete
  6. රනිල් මාමා හරි අහිසකයි නේද මල්ලි අය්යේ .. ඒවා එක්ක බැලුවම

    ReplyDelete
    Replies
    1. ලොකු හොරු වගේම භයානකයි ඒ හොරුන්ට උඩ ගෙඩි දෙන එව්වොත්...නැද්ද රන්සකු මල්ලියේ. මොකා උනත් අන්තිමට තට්ටු වෙන්නෙ සාමාන්‍ය ජනතාව...

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. කට්ටාස් ,

    මේ ලිපියට මගේ අදහස් එකතු කරන කොට මට මතක් වෙන්නේ ක්‍රිස්තුන් කියපු කතාවක්..(මේ කොමෙන්ටුව තුල ⁣Theological errors තියෙනවා නම් standard scholar කෙනෙක් ඒ පිලබඳව මට කරුනාවෙන් පෙන්වා දෙතැයි සිතමි. එසේම පාප් තුමා ගැන සඳහන් කරන කොට මම ෆ්‍රැන්සිස් ලෙස ලියමි.)

    "ස්වාමිවරු ⁣දෙදෙනකුට සේවය කිරීමට ඔබට නොහැක. ඔබ ඉන් එක් අයකුට ප්‍රේම කරන අතර අනිකාට වෛර කරයි."
    "වස්තුව කොතැනද ඔබේ හදවතද එතැනය"
    Jesus Christ

    ඉස්කෝලෙදී අපිට ආගම උගන්වපු OMI , ජේසු නිකාය,FSC (ද ලාසාල් සහෝදරත්වය ) සහ Holy Family සහෝදරියන් කියා දුන්නේ කිතුනු සභාව කියන්නේ දුගියන්ගේ සහ පීඩිතයන්සභාවක් කියලා. නමුත් ඒක එසේ නොවන බව අපිත් ඒ අයත් දැන සිටියා.ඔබ සඳහන් කල කරුනු අපේ පන්තියටම අපේ පාසැලේ හිටපු ලොකු අයියා කෙනෙක් 1985 තරම් ඈතකදී,( එවිට ඔහු අම්පිටිය National Seminary එකේ සුවාමි කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා. ) කිව්වා. වතිකාන බැංකුව ආයුධ, බෙහෙත්, cosmetics විතරක් නොවෙයි උපත් පාලන සමාගම් එක්කත් ජෝගි දාන ආකාරය ඔහු අපට පොත් පත්, සඟරා ⁣මගින් පෙන්වා දුන්නා. මෙය තරමක් දුරට හෝ වෙනස් කල හැකි එකම මඟ එවකට මධ්‍යම සහ දකුනු ඇමරිකාව පුරා පැතිර ගිය Liberation Theology මඟින් පමණයි කියලායි කිව්වේ.

    වතිකානයේ මේ කූට ව්‍යාපාරය නැඟලාම ගියේ 6 වැනි ජුවාම් පාවුලු නොහොත් Polish පොරක් වූ කැරොල් වොයිටිලාගේ සමයේ බවයි මම හිතන්නේ. මම ඒ පිලිබඳව පර්යේෂණයක් නොකලත් අර ඉහත සඳහන් කල නාහෙට නාහන ලොකු අයියලා කල පර්යේෂණ මටත් දැක දැන ගන්නට ලැබුනා. 1985 න් පස්සේ සෝවියට් දේශපාලනය බහින කලාවට එන විට රේගන්ගේ ඇස යොමුවුනේ මේ පෝලන්ත පොර වෙත යොමු වුනේ ඔහු ලෙක් වැලේසා සමඟ එකතුව පෝලන්ත ආන්ඩුවට එරෙහිව Solidarity ව්‍යාපාරය කරගෙන ගිය නිසායි.( නැවතත්, මම වැරදි නම් මාව නිවැරදි කරන්න) ඒ කාලයේදී මේ සඳහාම කොපමණ මුදලක් ඇමරිකාවෙන් Vatican City එකට එන්න ඇද්ද?මේක එන්නේ පාප්ගේ නමට නොවන නිසා කීයක් මේ city එක හරහා ගනුදෙනු වුනාද කියලා වොයිටිලා දැන නොගන්න ඕනැ තරම් හේතු තියෙනවා. මේ කාලය වෙනකොට Catholic Church එක අන්තයටම පිරිහිලා.හේතුව ක්‍රිස්තුන් කෘ පරිදි සභාව සුවාමිවරුන් දෙදෙනකුට සේවය කරන්න ගොස් ,යා දෙක නොරත රත පෑහිමක් නොමැතිවී ගොස් තම ක්‍රිස්තියානි හදවත දුගියාගෙන්, පීඩිතයා ගෙන් පැහැරගෙන වස්තුවට කැප කිරීම නිසාද?

    තත්වය ක්ෂනිකව නොවුනත් කැපී පෙනෙන වෙනසක් සිද්ද වෙන්න ගත්තේ ආජන්ටිනාවේ Francis ආවාම. පොරගෙ පන්නරය තියෙන්නේ Jesuits ලා සමඟ.Jesuits ලා කියන්නේ ලේසි පහසු එවුන් නොවෙයි. නමින්ම ඒක පැහැදිලියි. ෆ්‍රැන්සිස් ආපු ගමන්ම කලේ අන්ත දුගියකු ලෙස සිටි අසිසියේ සා.ෆ්‍රැන්සිස් තුමාගේ නම ගත්ත එක. සභාවේ උෟරන්ට මේක කාලා ඉන්න බැහැ..අර අබිරහස් මරනය සිදුවූ පාප් තුමාව..මට නම මතක නැහැ..ශුධවරයට එසවූවා, සා. ජෝසප් වාස්ව වාගේ. වතිකාන බැංකුවට තහංචි ගනනාවක් දැම්මා. ලාබය අධ්‍යක්ෂ මන්ඩලයට නොව සේවකයන් සහ දුගින්ගේ අරමුදලට දාන එක එකක් විතරයි.

    අවුරුදු 5න් Holy Father Pope Francis ව අන්තක්‍රිස්තු නොහොත් Anti Christ කලේ මෙවුන් මයි.අද Francis ට ගේම ඉල්ලන්නේ මේ ඌරො set එක.
    අන්තිමට එහෙත් වැදගත්ම එක..
    වතිකාන බැංකුවට එරෙහි වීම හරහා Francis මේ කරන වැඩය ඉවසා ගන්නට බැරිව ෆ්‍රැන්සියාව නැට්ටටම තද කරන්න කියලා මේ හොර දෙටුවෝ set එක දශක ගනනාවක් මුලුල්ලේ සැඟවී තිබුන පූජකයන්ගේ  ලිංගික අපචාර කතන්දර එලියට දැම්මා ඒ පීඩනය දරා ගන්න බැරිව ෆ්‍රැන්සියා විශ්‍රාම ගනියි කියලා 16 වැනි බෙනඩික් (Joesph Ratsingher)වාගේ කියලා. පස්සේ උන්ට ඕනෑ එකෙක් පත් කර ගන්න.
    නමුත් උන්ට අමතක වුනා ෆ්‍රැන්සියා Jesuit කල්දේරමේ බත් කාපු එකෙක් කියලා.කුමන්න්‍රනයට කෙලවුනා.

    අපචාර වෝදනා ආපු හැම එකාටම ඉල්ලා අස්වෙන්නත් , ඉල්ලා අස්වීම දුන්න එවුන්ගේ resignation පිලිගන්නත් එතුමා in general මැලි වුනේ නැහැ.
    අද වෙනකොට මේ කොලුකාරයන්ව සහ ගල් කාරයන්ව ඒ ඒ රටවල නීතියට අනුව අච්චු කරන්නත් , වින්දිතයන්ට සිවිල්/අපරාධ නීතියට අනුව වන්දි ගෙවන්නත් ෆ්‍රැන්සිස් නියම කරලා තියෙනවා.

    Clement Peris.
    Edmonton .

    ReplyDelete
    Replies
    1. ක්ලෙමන්ට් මහත්මයා

      මම පිලිගන්නවා මහා පරිමාන ළමා අපචාර හෙළිවීම සහ මුල්‍ය අපරාද අතර යම් සම්බන්දයක් ඇති බව .
      එත් මම පිළිගන්නේ නැහැ , මේ ප්‍රශ්නේ කරලියට ආවේ මෑතකදී කියල .
      මොකද මම සදහන් කරලා තියෙන වාර්තාමය වැඩසටහනේ නිෂ්පාදකවරු සමත්වෙලා තියෙනවා 16 වෙනි බෙනඩික් පාප් තුමාගෙනුත් (Joesph Ratsingher) සාකච්ඡාවක් ලබා ගන්න.

      ඔහු කියන හැටියට, ළමා අපචාර ගැන වින්දිතයන් විසින් එවන ලද චෝදනා පත්‍ර ( විශේෂයෙන්ම ලතින් ඇමරිකානු රටවලින් ) විබාග කිරීම සදහා දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ පත් කරන්නේ ඔහුව . එවකට ඔහු කාදිනල් වරයෙක් .
      ඔහු ඉතා විස්තරාත්මක වාර්තාවක් පාප්තුමාට ඉදිරිපත් කරනවා මේ ගැන . හැබැයි එතනින් එහාට කිසිවක් වෙන්නේ නැහැ .

      බෙනඩික් පාප්වරයට එනවිටත් මේ ප්‍රශ්නය ඔඩු දුවල ඉවරයි, ඔහුට අන් සියලු අයට වඩා මේ ගැන දැනීමක් තිබ්බා .
      ඔහුගේ විශ්‍රාම යාම මේ හා බැදී ඇති බව මම විශ්වාස කරන්නේ නැහැ . මොකද බටහිර රජයන් වලින් වතිකානුවට එල්ලවන
      බලපෑම දැඩි වීම නිසාමයි , මේ සම්බන්දයෙන් වතිකානුවට යමක් කරන්න සිද්ද වෙන්නේ. වතිකානුවේ තුන්වන ප්‍රදනියා
      George Pell ඔස්ට්‍රේලියාවට නොඑවා ඉන්න francis පාප් වහන්සේගේ වතිකානුව ලොකු උත්සහයක් දරනවා.

      කොහොමත් බටහිර රටවල දේශපාලනයට ( ඇමරිකාව හැර ) පල්ලියට කල හැකි බලපෑම ඉතා සීග්‍රයෙන් ඉවත් වී ගෙන යනවා. සමලිංගිකත්වය බොහොම රටවල නීත්‍යානුකුල වීමෙන්ම එය ඉතා පැහැදිලියි.

      Delete
    2. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට ක්ලෙමන්ට්තුමනි. මම කතෝලික දහම ගැන ප්‍රාමාණික උගතෙක් නොවන නිසා ඔබේ අදහසට එකග වීමට හෝ නොවීමට නොහැකියි. නමුත් සුලු නිවැරදි කිරීමක් කරන්නම්. ඔබ සදහන් කරන පෝලන්ත ජාතික පාප් තුමා හයවැනි ජුවාම් පාවුලු නොව දෙවැනි ජුවාම් පාවුලු විය යුතුයි. ඔහු ඒ නම භාවිතා කල දැනට සිටි අවසාන පාප්තුමා.

      Delete
  9. පාප් වහන්සේ ඔය කියන තරම්ම නරක මිනිහෙක් නෙමෙයි.
    ෴නලින් ද සිල්වා

    ReplyDelete
    Replies
    1. මට මේ නිකමට හිතුනෙ නලින් ද සිල්වා මහතා වගේ ඉහළ බුද්ධියක් ඇති පුද්ගලයෙකු මේ වගේ හොර නඩේකට සෙට් උනා නං මොකක් වෙයිද කියල...

      Delete
  10. Why not write another post about historical bankers? Roman, Jewish, Templars etc.

    ReplyDelete
    Replies
    1. Thank you very much for the idea Pra Jay. Actually it will be interesting to compare ancient Sri Lankan banking systems and the western ones.

      Delete
  11. Michael Caine ගෙ සිරා ෆිල්ම් එකක් තියෙනවා Silver Bears කියලා (ටිකක් විතර පරණයි - 1977). හොයාගෙන බලන්ට කට්ටො. ඔය බැංකු පිහිටුවගෙන ගේම් ගහන්නෙ කොහොමද කියලා හොඳට දැන-ඉගෙන ගන්ට පුළුවනි. “මතු රැකෙනා ශිල්පයමයි උගතමනා“ කියලා පැරැන්නො කියල තියෙන එකේ ඕවත් ඉගෙනගත්තට පාඩුවක් වෙන එකක් නෑ... :D

    ReplyDelete
    Replies
    1. වැඩේ හරියට කරන්ඩ ආගමික හෝ දේශපාලනික බලයකුත් ඕන නේ...ඒක හොයාගන්නෙ කොහොමද?

      Delete
  12. දීප්ත, බොහොම ස්තුතියි මට මහත්මයා කිවුවාට. මට මහත්තයා කියලා තියෙන්නේ බැංකුවයි ඔබයි විතරයි. කට්ටාස් මට ක්ලෙමන්ට් තුමනි " කියපු නිසා හැමදාම ක්ලෙමා කියපු මගේ ගෑනිත් මට දැන් තුමෙනි කියලා කතා කරන්නේ..LAUGH OUT LOUD.

    කට්ටාස්ගේ මේ අභීත අවංක ලියවිල්ලට මම බයිබලයෙන් කරුනු කිහිපයක් එක් කරන්න කැමතියි. මම Theology ඉගෙන ගත්ත එකෙක් නොවෙයි. නමුත් Practicing Catholic කෙනෙක්. එය මේ සඳහා ප්‍රමානවත් ඇතැයි සිතමි. නමුත් මේ සම්බන්ධව මම මුලු ජීවිත කාලයක් තුල සිතමින් ක්‍රියා කරමින් සිටි කෙනෙක්. කට්ටාස් මේ issue එක පෙරට ගෙනාවා. පරාර්ථකාමී බ්ලොගෙක් ලෙස ඔහු අපට විශාල ඉඩක් දෙනවා මේ discussion එක වැදගත් විදියට අරගෙන යන්න.

    මං මේ ගෑනිගෙනුත් සුහද බැනුම් අහගෙන මේ ලියන කොමෙන්ටුව කටිටාස්ගේ post එකටත් වඩා දිගු වාගේ පෙනුනත් ..අනේ කටිටාස් මේක කපලා නොදා පල කරනු!මොකද මම මේ ලියලා තියෙන්නේ මගේ අවුරුදු 35 ක සිතුවිලි අවංකවම එක nutshell එකකට දාලා නිසා.

    මෙය මමම ලියපු මුල් ලියවිල්ලෙන් 1/3 විතරයි!


    1. නූතන ලෝකයේ Catholic Church එකට දිගු ඉතිහාසයක් තියෙනවා. ඒ වාගේම යටි මඩි ගැහිලි වංචාවටත් ක්‍රිස්තුන්වහන්සේ සිටපු කාලයේ පටන් ඉතිහාසයක් තියෙනවා. නිදසුනක් ලෙස ජේසුන් වහන්සේගේ සහ එතුමාගේ මිතුරු සංඝයේ පොදු මුදල් පසුම්බිය බාරව සිටි ජුදාස් ඉස්කාරියොත් ඉන් මුදල් සොරා ගන්නා බව ක්‍රිස්තුන් වහන්සේ පවා දැන සිටි බව ශුද්ධවූ ලියවිල්ලේ සඳහන් වෙනවා. ඒ ජුදාස් රිදී SHEKELS 30 ට උන්වහන්සේව ජුදා පූජකයන් අතට පාවා දුන්නා නම් බං ඩොලර් , ස්විස් ෆ්‍රන්කු, යුරෝ විතරක් නොවෙයි රියාල් මිලියන ගනන් පවා පොත්වල නොලියවී යන city bank එකක් ඇතුලේ මොනවා නොවෙන්න පුලුවන්ද මං අහන්නේ..?

    2.අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා - The Acts of the Apostles- පොතේ සඳහන් වන ආකාරයට සභාවේ මුල් ආරම්භයේ එහි සියලුම සාමාජිකයෝ ගත කලේ පොදු සාංගික ⁣විදියට. එනම් මූලික කිතුනු සංඝයක් -Basic Christian Communities -ලෙස. එහිදී සියලුම දෙනා තමන්ගේ දේපල වස්තුව විකුනා මුදල් පොදු අරමුදලකට ඒ වටිනාකම් එක් කලා. පසුව ඒවා සංඝයේ අවශ්‍යතාවය පරිදි බෙදී ගියා.නමුත් එහිදීත් පවුලක් ( මතක විදයට Annanias and Sapphira ) මුදල් වංචාවක් කල බව ශුද්ධවූ ලියවඅල්ලේ සඳහන් වෙනවා. මේ සිදුවීම්වලින් නැවත නැවතත් මතු වෙන්නේ වස්තුවටත් , දෙවියන්වහන්සේටත් ( ප්‍රේමය සහ යහපත් බවට ) එකවර සේවය කිරීමට ගිහියකුට තබා පාප්වරුන්ටත් බැරි බව ක්‍රිස්තුන් වහන්සේ කී දෙයයි කියලා ...මට හිතෙන්නේ .

    3. කතෝලික පූජකවරුන් සහ කන්‍යා සොහොයුරියන් Obedience, Poverty and Chastity යන වේද බාර තුන  තම පූජක දිවිය තුල සුරුකිය යුතු බව පොරොන්දු කරගෙන සහ එසේ පොරොන්දු වී තමයි පූජක/පැවිදි දිවියට ඔවුන් පිවිසෙන්නේ. ඒ කියන්නේ ඊට සාමාන්තර මාවත වන කිතුනු විවාහ ජීවිතය තුල බිරිඳ සහ සැමියා එකිනෙකාට විශ්වාසනීයව ( fidelity) සිටින බව ඔවුන් විවාහ වන දා පල්ලියේදී  පොරොන්දු වෙන්නේ එකිනෙකාට විතරක් නොවෙයි දෙවියන්වහන්සේටත් එක්ක. ඒක කියන්නෙත් ප්‍රසිද්ධියේ.

    . දැන් මෙහිදි වැඩේ මටත් පැහැදිලි නැති තැනක් තියෙනවා. මෙය ව්‍යවහාර බසින් ලිව්වොත් තේරුම් ගන්න ලේසි නිසා එසේ ලියමි.

    විවාහ ජීවිතයේදී කොටුවක් පැන්නොත් අවංක සහ දැඩි මනස්තාපයකින් සහ වෛද්‍ය පරීක්ෂාවකින් පසුව නැවත මුල් ව්වාහ ජීවිතය වෙතට ආ හැකියි. මේ තත්වයට මුහුණ දීම කියන තරම් පහසු නැති නිසා මා ඇතුලු මාගේ කිතුනු මිතුරන්/ මිතුරියන් බොහෝ අමාරුවෙන් කොටු නොපැන ඉන්න අතර පැනපු එකා මිනියක් මරලා කොන්ක්‍රීට් දාලා හැංගුවා වාගේ ආයේ කොහොමටත් නොකරන්න වග බලා ගන්නවා. මොකද ගෑනිට / ළමයින්ට බොරු කලත් දෙව්යන්වහන්සේට බොරු කරනවා තියා හිතන්නටවත් බැරි බව උන් දන්නා නිසා.

    නමුත් පූජක / පැවිදි ජීවිතයේදී මෙය වලංගු නැහැ. ගල් කපලා මාට්ටු වුනොත් සිවිල් / අපරාධ නීතියට මුහුන දී අච්චු විඳ ආවත් තමන් සි⁣ටි holy  ministry එකේ කිසිම දෙයක් ඔහුට/ඇයට අයිති නැහැ. තමන් එතෙක් සිටි congrigation එකෙන් dismiss විය යුතුමයි එක්කෝ නැවත ගිහියකු ලෙස සමාජයට එක් විය යුතුයි. නැතහොත් dismiss වී කොන්දේසි සහිතව ඒ congrigation එක ඇතුලේ life time repentance ( continuiously praying, fasting and meditation) වෙමින් ඉන්නේ. මේක ලෙහෙසි පහසු කෙලියක් නොවන බව හොඳටම පේනවා. නමුත් එසේ පසුතැවිල්ලෙන් ජීවත් වන අය ඉන්නවා.


    ඒක නිසා අර වේද බාර තුනෙන් පූජක පතිවෘතතාවය නොහොත් chastity කඩුල්ල පනින්න එකෙක්/ එකියක් හිතං ඉන්නවා නම් ඒක ඒ පුද්ගලයා තමන්ගේ මුලු ප්‍රතිපත්තිමය ජීවිතය එක්ක කරන සෙල්ලමක්. නමුත් තම ⁣spiritual leaders ලාට අකීකරු වීම හෝ සාවද්‍ය මුදල් පරිහරණය සමඟ තර්ක /වාද කර පැරදුනත් අර තරම් life time කට්ටක් කන්න වෙනනේ නැහැ.
    නමුත් ඔවුන්ට දඬුවම් ලැබෙන පිලිවෙලක් තියෙනවා.

    ReplyDelete
  13. දැන් මෙතැනදී මට හිතෙන කාරණය තමයි නමන්ගේ මාංශය අයුක්ති සහගත ලෙස පිනවා ගන්න හදන එකෙක්ට කිතුනුවන් දිනපතා අනුභව කරන කිතුණු මාංශය නොහොත් body of Christ යාගය සිදු කිරීම තරම් නොවන අකැප දෙයක් බව Church එක විසින් තීරණය කර තිබීමයි කියලා.

    ඒක නිසා,කතෝලිකයකුට පල්ලියේ ඒ තීරණය පිලි නොගෙන සිටීමට හේතුවක් නැහැ.

    4. කට්ටාස් මෙහිදී වඩාත් අවධාරනය කර තිබෙන්නේ Vatican City බැංකුවේ සිදු වුනු මූල්‍ය වංචා වුනත් මම හිතන්නේ, Francis අනුව සිතමින් , කතෝලික සභාවෙන් ලෝකයට සිදුවූ ලොකුම අකටයුත්ත තමයි මගේ දරු දෙදෙනාගේ වයසේ අසරන දරු දැරියන් දහස් ගණනක් ලොව පුරා පූජකයන් විසින් ලිංගිකව අපයෝජනය කිරීම කියලායි.

    ලිංගිකව අපයෝජනයට ලක්වුනු මග්දලාහී මරියාව මරණීය දණ්ඩනයෙන් ⁣⁣බේරා ගත්ත ක්‍රිස්තුන්වහන්සේ ව අදහන කිතුනුවන්ට නම් මේක මුහුණ දීමට නොහැකි පාපයක් සහ හදවත ඉරාගෙන මනස්තාපය වීමට කාරණයක්. මොකද අපි කලේ කුරුසියේ ඇණ ගසපු ඒ මිනිසාගේ අැණ තද කරන වැඩක් නිසා.

    මම වඩාත්ම සලිත වන කාරණය තමයි ක්‍රිස්තුන්වහන්සේම කිව්වා...කුඩා දරුවන් පිරිසක් පෙන්වලා ,
    දරුවන්ට මා වෙතට එන්නට ඉඩ හරින්න. ඔබෙන් කිසිවෙක් මේ කුඩා දරුවන්⁣ වාගේ වෙන්නේ නැත්නම් ඔබට ස්වර්ග රාජ්‍යයට පිවිසුම් නොමැත. ඒ වාගේම මම ඔබට කියමි. කිසිවෙකුත් මේ කුඩා දරුවන්ගෙන් කෙනකුව පාපයට ඇද දමන්නේද ඔහුගේ පයේ අරඹරුම් ගලක් එල්ලා මුහුදට ඇද දැමීම කල යුතුයි කියලා.

    ක්‍රිස්තුන්වහන්සේ නොහොත් දෙවියන්වහන්සේ යනු මිනිස් බිලි පූජා ඉල්ලන දෙවියකු නොවන බව ක්‍රිස්තියානි කාරයෝ දන්නවා. නමුත් මේ ප්‍රකාශනයෙන් පෙන්නුම් කරන්නේ තමන් වෙතට ආ මේ දරුවන්ට මේ ජූතකයෝ කල අපරාධයේ බරපතල කමයි. ඒක මේ පූජකයෝ දන්නවාද?

    එක පෙනහැල්ලකින් හුස්ම ගනිමින් , දැන් අවුරුදු 90 විතර කි⁣ට්ටු Francis , දශක ගනනාවක් තිස්සේ කතෝලික පල්ලිය විසින්යට කරං හිටපු මේ අපරාධයට වන්දි ගෙවීමට දරන මේ උත්සාහය මට පේන්නේ බරපතල ලෙස හානි කල ඒ ක්‍රිස්තු දේහයට the Body of Christ තම ශක්ති පමණින් සුවය ගෙන ඒමට කරන අති අවංක උත්සාහයක් ලෙසටයි.

    කියැවූ ඔබ සැමට තුති.
    මේ අවස්ථාව ලබා දුන් කට්ටාස් ඔබට නොවක් තුති.
    clement .
    Post script.

    මම මේ අපරාධය ගැන තදින් සිතුවා. මට අවුරුදු 12 ක පුතෙක් සිටිනවා. අකීකරු වුනත් ආගම දහමට ලැදියි.

    පූජකයන් විසින් කරන ලද ක්‍රිස්තු දේහයට කල මේ අපරාධයට අපේ මට්ටමින් වන්දි ගෙවන්නේ කෙසේද යන්න මම බිරිඳ සමඟ කතා වෙනකොට මම කිව්වා කල හැකි එකම දෙය ඉතාමත් ශුද්ධවන්ත ,පිරිසිඳු චරිතයකින් යුතුව මේ කොල්ලාව හොඳට හදලා, Professional රැකියාවකින් පසු ( Pope Francis first worked as a Chemist. He is the only Pope who had civil qualification , like St. Peter, who was a fisherman) priest කෙනෙක් කරමු කියලා.එතකොට ගෑනි කියපි...

    අනේ ෂාරුන් ඛාන්ගේ වාගේ කොන්ඩේ තියෙන මගේ මේ එකම පුතාව සුවාමි කෙනෙක් කරන්න කියලාද ඔයා කියන්නේ ඒ..එ්..ඒ..
    ....කියලා අඬන්න පටන් ගත්තා.


    ReplyDelete
    Replies
    1. ක්ලෙමන්ට් තුමෙනි ස්‍තූතියි ඔබේ අදහස් දැක්වීමට සහ කට්ටකාඩුවට ප්‍රශංසා කිරීම ගැන. කට්ටකාඩුවේ කිසිම වාරණයක් නෑ අතිශය අසභ්‍ය දේ ඇරුනම. ආගමක් පටන් ගන්නකොට තියන අරමුණු නෙවෙයි පස්සෙ කාලෙක ඒ ආගම සංවිධානය උනාම තියෙන්නෙ. අල්පේච්චතාව හිස මුදුනින් පිලිගත්තු බුදු හාමුදුරුවන්ගේ සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආගම් වලට වෙලාතියන දේ බලන්ඩකෝ.

      Delete
  14. කට්ටාස් ගේ බ්ලොග් අඩවිය වගේම ඔබතුමාගේ කොමෙන්ටුත් මහා දැනුම් සම්බාරයක් ලැබෙන තැනක් හැටියටයි මම හැමදාම දකින්නේ.
    රටේ ඉහල පෙලේ මෙතෝදිස්ත පාසලක ඉගෙන ගත්ත මගේ හිත ඇතුලේ
    ජේසු ස්වාමිදරුවෝ ඉන්නේ බොහොම ඉහල තැනක.උන්වහන්සේටවත් උන්වහන්සේගේ දර්මයටවත් හානි කරන්න පූජකයන්ට පුළුවන් කමක් නැහැ කියලයි මම හැමදාම විශ්වාස කරේ.

    ReplyDelete
    Replies
    1. දීප්ත තුමෙනි කරුණාකර මාව වරදවා වටහගන්න එපා. ජේසුස් වහන්සේට අපහාස කිරීමේ කිසිම උවමනාවක් මට නෑ. ඒ බව මගේ මිතුරු කතෝලික හා අනෙකුත් ක්‍රිස්තියානි නිකායන්ට අයත් සියලු දෙනා දන්නා දෙයක්. මම කියන කතාව සංවිධිත ආගමික සංස්ථා වලින් තමුන්ගේ ශ්‍රේෂ්ට ගුරුවරයාවත් විකුනගෙන කන එක. මේක අද ලෝකයේ තියන හැම ප්‍රධාන ආගමික අධිරාජ්‍යයකටම පොදුයි. උදාහරණයක් ගත්තොත් අද සිටින බෞද්ධ භික්ෂූන් සමහරක් සිය භික්ෂුභාවය නැතිකරගත් අය. ඒ හින්දම තමයි බුද්ධ දේශිත විනය පිටකය සාමාන්‍ය මිනිස්සුන්ගෙන් හංගන්නෙ. බුදු හාමුදුරුවන්ට අපේ බොහෝ සංවිධාන කරන දේමයි ජේසුස් වහන්සෙට ක්‍රිස්තියානි සංවිධාන බොහොමයක් කරන්නෙත්. අනේ ඒ ශ්‍රේෂ්ට ශාස්තෘවරු අද හිටියානම්!!!

      Delete
  15. කට්ටාස් තුමා
    ඔබ ගැන කිසිම වැරදි වැටහීමක් මන් තුල නැහැ
    ඔබගේ අදහස සියයට සියක් නිවැරදියි
    බුදු පියාණන්ගෙන් අවසාන මොහොතේත් , උන්වහන්සේගෙන් පසු ගුරු තනතුරේ තබා ගත යුත්තේ
    කවුරුන්ද කියල අසන ප්‍රශ්නයට, දර්මයම ගුරු තනතුරේ තබා ගත යුතු යැයි උපදෙස් දුන්නේ ඇයි කියල තේරුම් ගත්තේ අදයි.
    උන්වහන්සේ දකින්න ඇති කිසියම්ම නායකත්වයක් යටතේ ගොඩ නංවන මෙවැනි ආගමික සංවිදාන , අනාගතයේ දවසක තමන්ගේ දර්මය විකුර්ති කර විනාශ කරන අන්දම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වරදවා වටහා නොගැනීම පිලිබදව. ඔව් බුදු හාමුදුරුවො එහෙම කියපු දෙය නික්ලේශී රහතන් වහන්සෙලා වෙනස් නොකලට අපි වෙනස් කලා. හොද පොතක් තියනවා සිවුර සහ නගුල කියල. හැකිනම් කියවලා බලන්ඩ.

      Delete
    2. The Robe and the Plough.
      Ranaweera Gunawardena's PhD thesis.
      Did you meant that book?

      Delete
    3. I have the sinhala translation of that book. Yes I reffered to that book. It shows how real estate company was developed in the name of religion.

      Delete
  16. එල පට්ට...අර පොතේ නම මොකක්ද?

    ReplyDelete
  17. ඇත්තමයි, පෝස්ට් එක වගේම දැනුම් සම්භාරයක් කමෙන්ට්ස්වලිනුත් ඉගෙන ගත්තා. මම නම් බෞද්ධයෙක්, පන්සලකට යන්නේ නම් හාවා හඳ දකිනවා වගේ. මගේ අදහස නම් දැනටත් බොදුනු සංස්ථා තුලත් මේ වගේම දුෂිත තත්වයක් තමා තියෙන්නේ.
    ලංකාවේ ඉතා ප්‍රකට ලොකූ හාමුදුරු නමක් හදිසියේ අපවත් වුණාම ගෝලයෝ මරාගන්න ගියා. නඩු වැටුණා. වෙනත් පන්සලක නායකකම දීලා, සනසලා යවාපු එක ගෝල උන්නාන්සේ කෙනෙක් පරණ පන්සලේ දැන් ලොකූ තැනට ලක්ෂ පනහක් දීලා නායකකමෙන් යවන්න හදලා. ඒ උත්තමයාත් මනාපේ දීලා. ඒ කතා නම් යට ගහවි, පිරිසුදු බුදු සසුන බේරා ගන්න. මට මතක් වෙන්නෙම නීට්ෂේගෙ කියමන- 'අන්ධ භක්තිය සිර ගෙයකි. එයින් නොමිදී ජීවිතාවලෝකය දැකිය නොහැකිය'

    ReplyDelete
  18. මෙහෙම ගසාකන එකේ කිසි වැරැද්දක් නැහැ.මොකද ඒගොල්ලන් කරන්නෙ ඒගොල්ලන්ගෙ duty එකනෙ

    ReplyDelete