Sunday, September 2, 2018

සිරි රහල් නම් උතුමෙකි- අවසාන කොටස


අතීතයෙන්  පටන් ගත්තු දියවන්නාව අදත් ගලාගෙන යනවා. එදා කෝට්ටේ රජ වාසලේ ඉඳලා ටික දුරකින් පිහිටලා තිබුණු දියවන්නාව කොච්චර නං රහස් සඟවා ගෙන ඇද්ද? අතීතේ අන්ධකාරය අනාගතයට ගෙනියන්නේ දියවන්නාවේ දියරැළි ද? මම මෙහෙම හිත හිතා ඉන්නකොට මෙන්න කුවේණි නාට්‍යයේ ගායක පිරිස එනවා කොන්තගන්තොට පාලම උඩට. ඔවුන් ඔබට ආරාධනයක් කරනවා.

සියක් දහසක් අතීතය දෙස
සියක් දහසක් අඳුරු සෙවණැලි
ඉන්ද්‍ර ජාලා මන්ත්‍ර අංජන
තුලින් සියුමැලි නෙත් යොමන්නේ 



මතකනේ අපි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ගැන කතා කරමින් හිටියා. එතුමා කියපු විස්තර ගැන තව ටිකක් හොයන්ඩ අපි අතීතෙට ගිහින් වීදාගම හාමුදුරුවොත් හම්බ උනා. කවුරු හරි කෙනෙකුට ඒ ගැන කියවන්ඩ බැරි උනානං මෙන්න මෙතනින්පළමුවැනි ලිපියටත් මෙන්න මෙතැනින් දෙවෙනි ලිපියටත් යන්ඩ පුළුවන්. අද අපි කෝට්ටේ යුගයේ අන්තිම කාලෙ හිටපු යුද වීරයා හම්බ වෙන්ඩ යනවා. වීදිය බණ්ඩාර කුමාරයා.


මෙන්න එතුමා එනවා අස්සයා පිටිං. බොහොම වේගෙන්. අසිපතක් දරමින්.  බලමු මොහොතක් කතාවට අල්ල ගන්ඩ.

කුමරුනි...කුමරුනි!

කවුද ඔබ? මොනවද දැනගන්ඩ ඕන?

කුමරුනි මම ආවේ අනාගතෙන්. කෝට්ටේ යුගයේ හිටපු තොටගමු පිරිවෙනේ අපේ රාහුල සංඝරාජ හාමුදුරුවෝ ගැන තොරතුරු හොයන ගමන්...

ආ...ඔබලාත් ඒ අතීතේ ගැන උනන්දුද? මමත් හිත හිතා උන්නේ අපි ඒ කාලෙන්වත් පාඩම් ඉගෙන ගත්තා නං මෙහෙම නස්පැත්තියක් වෙන්නේ නෑ කියල.

අපි දන්නවා ඔබ තුමාලත් දෙකොන පටලැවිච්ච නූල් බෝලෙක හිරවෙලා ඉන්නේ කියල.

ඔව්. කෝට්ටේ මුල් කාලේ වෙච්ච දේ ආපහු අවසාන කාලෙත් උනා. මුල් කාලෙදි වෙච්ච දේවල් වලින් පාඩමක් ඉගෙන ගන්ඩ අන්තිම කාලේදී වත් අපිට බැරි උනා. ඉතින් අනාගතේ මිනිස්සු මේ පාඩම් මතක තියාගෙන ඉගෙන ගනියිද?

පාඩම් ඉගෙන ගන්ඩ නං අපි ඉතිහාසේ මොනවද උනේ කියල දැනගෙන ඉන්ඩ ඕන නේ කුමරුනි.

ඒකත් ඇත්ත. ඉතින් මොනවද මගෙන් දැනගන්ඩ ඕන?

අපිට කියන්ඩ පුලුවන්ද හයවෙනි පරාක්‍රමභාහු රජ්ජුරුවන්නේ අන්තිම කාලේ ගැන.

අපි මේ දැන් ඉන්නේ 1557 නේ. පරාක්‍රමභාහු රජ්ජුරුවෝ නැති උනේ හරියටම අවුරුදු අනුවකට ඉස්සර. 1467. උන්නාන්සේ නැති වෙන්න අවුරුදු දෙකකට කලින් ඔටුන්න දුන්නා තරුණ ජයබාහු කුමාරයාට. ඒ කියන්නේ උලකුඩය දේවිගේ පුතාට. තොටගමුවේ රාහුල හාමුදුරුවෝ තමයි ඒකට උදවු කලේ.

ඔය කාලෙදි රාහුල හාමුදුරුවන්ට සංඝරාජ පදවියත් හම්බ වෙනවා නේද?

ඔව්. ඒ 1467 දී. සමහරු හිතුවා රජ වාසලට තිබුණු නෑදෑ කං භය පක්ෂපාතකම් හින්ද තමයි මේ තානාන්තරේ හම්බ උනේ කියල. ඒත් ඒ කාරණා හින්ද විතරක්ම නෙවෙයි ඒ පදවිය හම්බ උනේ.

ඒ උනාට තරුණ කුමාරයාගේ ආරක්ෂාවට රාහුල හාමුදුරුවොත් නායක තනතුරක ඉන්න එක හොඳයි කියල හිතපු අයත් ඉන්න ඇති.

වෙන්ඩ පුළුවන්. ඒ උනාට සපුමල් කුමාරයාට හිතවත්කම් දක්වපු කට්ටිය මේ වැඩේට කැමති උනේ නෑ. ඒ අය යාපනේ හිටපු සපුමල් කුමාරයත් එක්ක සංවිධානය වෙලා කෝට්ටේ මාලිගේ ආක්‍රමණය කළා.

ඒ කොයි අවුරුද්දෙද?

ජයබාහු කුමාරයා රජවෙලා අවුරුදු දෙකකින්. ඒ කියන්නේ 1469 දි. සපුමල්, තරුණ ජයබාහු මරලා හයවෙනි භුවනෙකබාහු නමින් රජ උනා.

අනේ ජයබාහු කුමාරයා මැරුණද?

ඔව්.

ඒ කියන්නේ රාහුල හාමුදුරුවෝ සංදේශ කවි ලියල දෙවියන්ගෙන් ඉල්ලපු කිසිම දෙයක් පල ප්‍රයෝජන තියන විදිහට හම්බ උනේ නෑ.

සමාජේ තියන යුක්තියට පිටුපාලා දෙවියන්ගෙන් ඉල්ල ඉල්ල හිටියට විතරක් වැඩක් වෙන්නේ නෑ.

ඔබතුමාත් සපුමල් කුමාරයාගේ පැත්තේ වගේ මට පේන්නේ.

එහෙම පැත්තක් ගන්ඩ ඕන නෑ ඉතිහාසේ දිහා බලද්දී. පැත්තක් ගත්තොත් වැරදි පාඩමක් තමයි අපි ඉගෙන ගන්නේ.

ඊට පස්සේ මොකද උනේ?

හයවෙනි භුවනෙකබාහු රජ්ජුරුවො වැඩියක්ම ලං උනේ සංඝරාජ හාමුදුරුවන්ට වඩා තමන්ට සිංහාසනේට එන්ඩ උදවු කරපු වීදාගම හාමුදුරුවන්ට. ඒක පැහැදිලි උනේ රාමඤ්ඤ දේසෙන් ආපු හාමුදුරුවරු උපසම්පදා කරන උත්සවේදී. සංඝරාජ හාමුදුරුවෝ පැත්ත පළාතේ වත් නෑ. වීදාගම හාමුදුරුවෝ තමයි මුලසුන.

ඉතින් රාහුල හාමුදුරුවෝ පරාදය පිළිගත්තද?

මොන? භුවනෙකබාහු රජ්ජුරුවන්ට විරුද්ධව පස්දුන් කෝරළේ මිනිස්සු ගැහුවා. සිංහල සංගේ කියලා කියන්නේ ඒ කැරැල්ලට. ඒ කැරැල්ල මැඩ පවත්තන්ඩ අම්බුළුගල කුමාරයා ඒ කියන්නේ රජ්ජුරුවන්නේ සහෝදරයා ගිය අතර වාරේ උඩරට නිදහස් උනා. උඩරට රජ්ජුරුවොත් එක්ක හතර කෝරළේ මිනිස්සුත් කෝට්ටේ රාජ්‍යයෙන් ඉවත් වෙන්ඩ ඉල්ලලා කැරළි ගැහුවා. ඒ මදිවට සපුමල් යාපනෙන් ආවත් එක්කම ආපහු දෙමළ පාලකයෝ යාපනේ අල්ලගත්තා.

ඉතින් ඔය දේවල් වලට රාහුල හාමුදුරුවෝ සම්බන්ධ වෙන්නෙ කොහොමද?

තමුන්නැහේ හතර කෝරළෙන් කිව්වා නේද? රාහුල හාමුදුරුවන්නේ උපන් ගමත් එහෙ. ඊගාවට රාහුල හාමුදුරුවෝ වැඩ හිටියේ තොටගමුවේ. සිංහල සංගේ ඇති උනේ කළු ගඟේ ඉඳලා වලවේ ගඟ දක්වා සීමාවේ. රාහුල හාමුදුරුවන්ට සම්බන්ධකම් තියන පැති දෙකකම රාහුල හාමුදුරුවන්ට අකමැති රජ්ජුරුවන්ට විරුද්ධව කැරළි ඇති වෙනවා රජ්ජුරුවෝ රජවෙලා ටික කාලෙකින්. හරි පුදුමයි නේද?

රජ්ජුරුවෝ කැරළි මැඩ පැවැත්තුවා නේද?

ඔව්. ඒත් හයවෙනි පරාක්‍රමභාහු රජ්ජුරුවෝ එක්සේසත් කරපු රාජ්‍යය උන්නාන්සේගේ අභාවයෙන් අවුරුදු දහයක් යනකොට ආයෙත් කෑලි තුනකට කැඩිලා.

රාහුල හාමුදුරුවෝ ඊට පස්සේ මොකද කලේ?

රාහුල හාමුදුරුවෝ අපවත් උනා 1479 දී විතර. ඒ කියන්නේ කැරළි ඉවර වෙනවත් එක්කම වගේ. ඊට පස්සේ සංඝරාජ පදවියට පත් උනේ රජ්ජුරුවන්ට හිතවත් වීදාගම හාමුදුරුවෝ. රජ්ජුරුවොත් ඒ අවුරුද්දෙදිම අන්තරා උනා.

ඊට පස්සේ රජවෙන්නේ භුවනෙකබාහු රජ්ජුරුවන්නේ පුතා නේද?

ඔව්. හත්වෙනි පණ්ඩිත පරාක්‍රමබාහු කුමාරයා.හයවෙනි පරාක්‍රමභාහු රජ්ජුරුවන්ගෙන් පස්සේ ජයබාහු කුමාරයට රජකම දෙන්ඩ අකමැති වෙච්ච කට්ටියට අමතක වෙනවා හයවෙනි භුවනෙකබාහු රජ්ජුරුවන්ගෙන් පස්සේ රජකම යන්ඩ ඕන භුවනෙකබාහු රජ්ජුරුවන්නේ යුවරාජයාට ඒ කියන්නේ මල්ලි වෙච්ච අම්බුලුගල කුමාරයාට කියල. හයවෙනි පරාක්‍රමභාහු වෙනුවෙන් සපුමල් යාපනේ දිනා ගත්තා වගේ භුවනෙකබාහු වෙනුවෙන් අම්බුලුගල කුමාරයා සිංහල සංගේ මැඩ පවත්තලා හතර කෝරළේ සමගිය ඇති කරලා හිටපු නායකයෙක්.

අපිට අතීතේ අමතක වෙන හිංදා වෙන ප්‍රශ්න නේද?

ඔව්. අම්බුලුගල කුමාරයා සේනාව අරන් ඇවිත් තරුණ පණ්ඩිත පරාක්‍රමබාහු රජ්ජුරුවෝ මරලා අටවෙනි වීර පරාක්‍රමභාහු නමින් රජවෙනවා. ඒ 1490 දී.

බල ලෝභය හිංදා තරුණ රජවරු දෙන්නෙක් නැති උනා නේද?

ඒ විතරක් නෙවෙයි රට ආපහු කෑලි කෑලි වලට කැඩුනා. රටේ දියුණුව ඇණ හිටියා. රටේ එක්සත් කම නැති වෙච්ච හිංදා පිටින් එන හතුරන්ට වඩා ඇතුලේ ඉන්න තුරන් එක්ක සටන් කරන්ඩ ධනය ශක්තිය වැය උනා. රටේ විනාසේ ලං උනා.

හයවෙනි විජයබාහු රජ්ජුරුවන්ගෙන් පස්සේ ආයෙත් මේ සිද්ධි රග දැක්වෙනවා නේද?

ඒකනේ මම මුලිනුත් කිව්වේ කෝට්ටේ රාජධානියේ මුලින් වෙච්ච මේ දේවල් කෝට්ටේ රාජධානියේ අග වෙනකොටත් අමතක වෙලා ගිහින් තිබ්බ කියල.

අනාගතේ ආපහු අගනුවර වෙන්නේ කෝට්ටේ!

ඇත්තට? අහන්නත් සතුටුයි. හැබැයි ඒ කාලෙදිවත් මේ සිද්ධි වලින් පාඩම් ඉගෙන ගන්නවද?

සමාවෙන්න කුමරුනි අපි කවදාවත් ඉතිහාසෙන් පාඩම් ඉගෙන ගන්න ජාතියක් නෙවෙයි.

එහෙනං ඉතින් එක පාරක් කෝට්ටේ නැති වෙච්ච විදිහටම දෙවෙනි පාරත් නැතිවෙයි.

එක්කෝ කෝට්ටේ නැතිවෙයි....

නැතිනම්?

මුළු රටම නැතිවෙයි!

ඒ කාලෙත් රාහුල හාමුදුරුවෝ වීදාගම හාමුදුරුවෝ වගේ අය වැඩ ඉන්නවද?

ඉන්නවා ඉන්නවා එකම වෙනස රාහුල හාමුදුරුවන්ට, වීදාගම හාමුදුරුවන්ට තිබ්බ කවිකමයි දැනුමයි නැතුව බල පොරේට උදවු කරන ගතිය විතරක් ඉතුරු වෙච්ච එක. එහෙම හාමුදුරුවරු දෙන්නෙක් නෙවෙයි සිය ගානක් ඉන්නවා.

එතකොට සපුමල් ලා, අම්බුලුගලලා?

ඒ අයත් ඉන්නවා. නම වෙනස්. වැඩ එකයි!!!

අනේ එහෙනං අපි මේ අමාරුවෙන් සටන් කරලා අනාගත පරම්පරාවට රට ඉතුරු කරන්ඩ හදන එකෙන් පලක් නෑ.

එහෙමම හිතන්ඩ එපා කුමරුනි...කවදා හරි අපි ඉගෙන ගනීවි.

එහෙනම් මම යනවා යුද ක‍ටයුතු සංවිධානයට!

හොඳයි. ඔබට බොහොම පින් මේ රට වෙනුවෙන් මහන්සි උනාට. දැන් රෑ වෙලා. හඳත් පායලා. මට මතක් වෙනවා රාහුල හාමුදුරුවෝ සැළලිහිණි සංදේශයේ කියපු කවියක්.

පෙරව සඳ කිරණ පිපි කුමුදු මල්            වටින්
පරව තඹර පෙති ගිළි දිය තලා             පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන           අටින්
කරව පියාසර සකි කොන්තගම්      තොටින්

කුමරුනි අන්තිම පද දෙක ආයෙත් කියන්නං රටටම වැදගත් වෙන හිංදා

තරව සිහි ඇතිව පරතෙරට යන          අටින්
කරව පියාසර සකි කොන්තගම්    තොටින්

ආයුබෝවන්!

මෙන්න එනවා අපේ හෙන්රි ජයසේන මහත්තයාගේ කුවේණි නාට්‍යයේ ගායක පිරිස

සැබෑවක් නැත නෙතු දකින්නේ
අන්ධකාරෙන් පිරුණු ලෝකයෙ
සැබෑවක් නොම විය අතීතේ
සැබෑවක් වෙද අනාගතයේ

අන්ධකාරය මැදින් පවතින
සිහින මායාමය පෙනෙන්නේ
නෙත් පටල වූ ඉන්ද්‍ර ජාලය
භූත මායාමය මවන්නේ!


ආශ්‍රිත ග්‍රන්ථ 
සිංහල සංදේශ කාව්‍යයේ දේශපාලන පසුබිම - සිරි තිලකසිරි (2005) ගොඩගේප්‍රකාශන
සිංහල සංදේශ කාව්‍යයේ සමාජ පසුබිම - සිරි තිලකසිරි (2008) ගොඩගේප්‍රකාශන
කෝට්ටේ යුගයේ පද්‍ය ප්‍රබන්ධ ප්‍රථම හා ද්විතිය භාග - එච්එම්මොරටුවගම(2010, 2010) රත්න පොත් ප්‍රකාශන
ශ්‍රී ලංකාවේ සංඝ සංවිධානය - මධ්‍යතන යුගය - මැන්දිස් රෝහණධීර (2016)බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
පරෙවි සංදේශය - සිරි තිලකසිරි (2005) රත්න පොත් ප්‍රකාශන

කෝකිල සංදේශය - වී.ඩී.එස්. ගුණවර්ධන (2009) ගොඩගේ ප්‍රකාශන
කුවේණි - හෙන්රි ජයසේන (2016) ගොඩගේ ප්‍රකාශන

7 comments:

  1. ++++
    KLM, what is the era you have selected for the next story?

    ReplyDelete
  2. ජයබාහු කුමාරයා ගැන කතාවක් ගියා මාත් එක්ක උග්ගල් නුවට ගැන ලියපු ගුණසිංහ මහත්මයා. අවාසනාවකට ඒ බ්ලොගය දැන් ලියවෙන්නේ නැහැ. ඉතිහාසය රිපීට් වෙන්නේ දෙවෙනි සැරේට විහිළුවක් විධිහටලු නේද? විදියේ බණ්ඩාර මම හුඟක් කැමති චරිතයක්. අර චිත්‍රකතා කියවලා.

    ReplyDelete
  3. අපි කවදාවත් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නේ නැහැ ආයිබෝං...

    ReplyDelete
  4. මේ පැත්තේ එන්න බැරි උන ටිකට කොටස් දෙකක්ම දාල නොවැ.හරිම අපූරුයි මේ කතා... ඉතිහාසය මෙහෙම කියවනකොට හරි රසවත්

    ReplyDelete
  5. මේ කතා තුනෙන්ම මම නොදත් දේවල් ගොඩක් ඉගෙන ගත්ත.

    ReplyDelete
  6. වැඩේ කියන්නේ අපි නම් ඉගෙන ගන්නවා. ඒත් එව්වයෙන් වැඩක් කරන්න පුළුවන් තැන්වල නෙවෙයි අපි ඉන්නේ. යමක් කරන්න කියලා, වැඩ කරන්න හැකි තැන්වලට යවන්න අපි තෝරන්නේ මොකුත්ම නොදන්නා අය. ඕකයි අද තත්තේ. හොඳටම 'තත්තේ හැදිලා දිව ගිලෙන්න' යද්දී, මෙව්වා කියවලා දැනුම්වත් වෙන උදවියත් වැඩි වුණාම තමයි ඉතින් 'තත්වේ' වෙනස් වෙන්නේ!

    ReplyDelete
  7. You are the best blogger in sri lanka bro...ur writing is very rich and so addictive...i read your 'man in d iron mask' more than five times....

    ReplyDelete