Monday, September 23, 2019

රට විරුවන්



මේ ලඟදි තායිලන්තෙට යන ගමන් වෙච්ච සිද්ධියකින් අතීත මතකයක් අවදි උනා. අපි වෙනුවෙන් විදේශ විනිමය උපයන වෘත්තික නොවන රැකියා විදිහට බොහෝ දෙනා හඳුන්වන ගොන්නට අයත් වූ රැකියා කරන බහුතරයක් ගැන කතා දෙකක් හින්ද කට්ටකාඩුවට ලියන එක හොඳයි කියල හිතුනා. කෙනෙකුට හිතෙන්ඩ පුළුවන් මේ මගේ අත්දැකීම් දෙකක් විතරයි ඇත්ත තත්වය මීට වඩා වෙනස් කියල. එහෙම නං හුගක් හොඳයි. මේ මම දැකපු දේ සාමාන්යය නම් තමයි ප්රශ්නේ.

ඔන්න පලවෙනි කතාව..


සිද්ධිය උනේ මීට අවුරුදු දොළහකට පහළොවකට විතර කලින්. මම බස් එකක ගියත් ජනේලයක් අයිනේ වාඩි වෙලා යන්ඩ තමයි කැමති. වට පිට බල බලා යන්ඩ තියන කැමැත්ත හින්ද. ඔන්න දවසක් මම ලන්ඩන් ඉඳලා ලංකාවට එනවා කටාර් වල දෝහා ගුවන් තොටුපොල හරහා. කොටස් කීපයකින් සමන්විත ගමනක් යනකොට ගමන ආරම්භ කරන පළමු ගුවන් තොටුපොලේදීම ගමනට අදාළ බෝඩින් පාසස් ඔක්කොම ටික දෙනවනේ. ඉතින් මම ලන්ඩන් වලදීම දෝහා - කොළඹ ගම වාරය සඳහාත් බෝඩින් පාස් එක ගත්තා. ඒකත් වින්ඩෝ සීට් එකක්. එහෙම නැත්තං ජනේලයකට ආසන්න අසුනක්


අවාසනාවට මොකක්දෝ හේතුවකින් ලන්ඩන් වලින් ගුවන් යානය පිටත් වෙන්ඩ පරක්කු උනා පැයක් විතරම. මම විතරක් නෙවෙයි ගුවන් යානයේ තව කීප දෙනෙක්ම හිටියා දෝහා වලින් වෙනත් ගමනාන්ත වලට යන. අපි ඔක්කොටම වගේ තිබිලා තියෙන්නේ ඉතා කෙටි පොරොත්තු කාලයක් දෝහා ගුවන් තොටුපොලින් ඊළඟ ගුවන් යානයට යන්ඩ. ඉතින් ලන්ඩන් වලදී වෙච්ච පරක්කුව හින්දා අපි ඔක්කොටම වගේ ඊළඟ ගුවන් ගමන මග ඇරෙන අවදානමක් මතු උනා. හින්දම වෙන්න ඕන ගුවන යානය ඇතුලෙදි නිවේදනයක් නිකුත් උනා කලබල නොවෙන ලෙසට. අදාළ ගුවන් සේවයට අයත් අපේ ගමනාන්ත වලට යන ගුවන් යානා ටික අපි එනතුරු දෝහා ගුවන් තොටුපොළේ නවත්තලා තියෙනවා කියලයි නිවේදනයෙන් කිය උනේ. හැබැයි ලන්ඩන් ඉඳන් එන ගුවන යානයෙන් බැහැපු ගමන්ම අදාළ ගුවන් යානා වෙත අපිව එක්කර ගෙන යන්ඩ පත් කරලා ඉන්න විශේෂ නිලධාරීන් සහාය වෙන්න කියලත් ඉල්ලීමක් කෙරුනේ ඩියුටි ෆ්රී ෂොප් වල ටැග් ගැහි ගැහී පරක්කු වෙන්ඩ කාලයක් නැති හින්ද.

ඔන්න අපි දෝහා වලට ආවා කියමුකෝ. ගුවන් සමාගමේ නිලධාරිනියක් අපිව එක්කගෙන ගියා ලංකාවට එන්ඩ නියමිත ප්ලේන් එකට. මම වැඩ කරපු ආයතනයේ නීතිය තමයි මොන ගමනට උනත් ඉකොනොමි ක්ලාස් ටිකට් අරන් දෙන එක. ඉතින් එදා කියලත් වෙනසක් නෑ. ඔන්න ගුවන් යානය ඇතුලට මම ගියා. මාව එක්කගෙන ගියේ ගුවන් සේවිකාවක්.

අද අපේ ගුවන් යානයේ ආසන සියල්ලම පිරිලා. ඔබට අපහසුතාවක් ඇති උනොත් සමා වෙන්න. ගුවන් සේවිකාව කිව්වා.

ඇයි මොකක්ද ප්රශ්නේ?

නෑ..මේ හුගක් දෙනා ගෘහ සේවිකාවන විදිහට කටාර් වලට ආපු අය. ඔවුන් සේවා කාලය ඉවර වෙලා ආපහු යනවා. ඉතින් ගුවන් යානය ඇතුලේ සද්ද වැඩියි

ඇය මේ නොකියා කියන්නේ මම ගුවන් ගමන අතරේ නිදා ගන්ඩ සැලසුම් කරලා තියෙනවා නම් අදහස අත් ඇර ගන්ඩ කියල වෙන්ඩ ඕන.

ඒකට කමක් නෑ. මම කිව්වා.

ඔබට මම වැඩිපුර වතුර සහ බීම කෑන් එකක් දෙන්නම්. ඒක ඔබට ප්රයෝජනවත් වෙයි.

ස්තූතියි. මේ වටින් ගොඩින් කියන්නේ මොකද්ද කියල හිතා ගන්ඩ බැරුව මම කිව්වා

ඇය කිව්වා වගේම මම ඉඳ ගන්න කොටම කුඩා වතුර බෝතලයකුත්, ප්රසිද්ධ කෝලා බීම වර්ගයක කෑන් එකකුත් ඇය මට දුන්නා.

අපි ගුවන් ගත වෙලා ටිකකින් කෑම දෙනවා. මේ ඊට අමතරව. ඇය නැවතත් කරුණු පැහැදිලි කරනවා. මට තේරෙන්නේ නෑ මේ හරුපේ මොකද්ද කියල. සමහර විට මුල් ගුවන් යානය පරක්කු වෙච්ච හිංදා මම මහන්සියෙන් හා කේන්තියෙන් ඉන්නවා කියල හිතන්ඩ ඇති.

අපි මගේ අසුන ගාවට යනකොට මගේ අසුන වටේට ඔක්කොම අසුන් වල මගීන් පිරිලා. ඉතින් මමත් ගිහින් අදාළ අසුනේ හරි බැරි ගැහිලා ඉඳ ගත්තා කියමුකෝ.

මූ සුද්දෙක් නෙවෙයි නේ?!!

මට එහා පැත්තේ හිටපු කාන්තාව කිව්වා. කා ගැනද කියල බලන්ඩ මම ඇය දිහා බැලුවා. ඇය පිටිපස අසුනේ හිටපු තව කාන්තාවක් එක්ක කතාවක්.

අප්රිකාවෙන් වෙන්ඩ ඇති...හැබැයි කාපිරි විදිහ නම් නෑ...මිතුරිය උත්තර දෙනවා.

ඔවුන් කතා කරන්නේ කා ගැනද කියල දැන ගන්ඩ මම ඇය දිහාත් බැලුවා.

මෙන්න අපි දිහා බලනවා. අපි ගැන කතා කරනවා කියල දැන ගෙනද දන්නේ නෑ. අපි අහක බලාගෙන කතා කරමු!

කියන්නේ මේ කට්ටිය කතා කරලා තියෙන්නේ මං ගැන!! මං සුද්දෙක කියල කවුද කිව්වේ? මේ කට්ටිය හිතන්නේ මට සිංහල  කතා කරන්ඩ බෑ කියල. ඒකත් හරි අපූරු අත්දැකීමක්...මමත් සිංහල නොදන්නා විදිහටම ඉන්ඩ තීරණය කළා.

ජනේලේ ළඟ සීට් එක ඉල්ලුවොත් දෙන එකක් නැද්ද දන්නේ නෑ? මගේ අසල්වැසියා.

කොහොමද බං ඉල්ලන්නේ. අපි උගේ බාසාව දන්නවැය?

ඒකත් ඇත්ත! අරාබියෙක් වත් උනා නං අහන්ඩ තිබ්බා.

එංගලන්තේ කාපිරි ඉන්නවද බං?

මේ ඉඳලා තියෙන්නේ!

මං හිතුවේ සුද්දෝ විතරයි ඉන්නේ කියල...!!

ටික වෙලාවකින් ගුවන් යානය ගුවන් ගත උනා. ගුවන් යානය ඇතුලේ කට්ටියම ෆොටෝ ගන්ඩත් එහා මෙහා යමින් යාලු මිත්රයෝ හම්බ වෙන්ඩත් පටන් ගත්තේ ටික වෙලාවකින්. ඒ අතරේ කට්ටියම කණ්ඩායම් විදිහට මට සීට් හය හතක් ඉස්සරහා හිටපු කෙනෙක් බලන්ඩ ගිහිං ආවා. කතාබහින් තේරුනේ එතැන ඉන්නේ අරාබියේදී වධ බන්ධන වලට ලක්වෙලා ආපහු ගෙදර යන කෙනෙක් බව. මගේ අසල්වැසි මිතුරිය ඒ අරාබි කාරයන්ට වගේම අරාබි කාරයන්ගේ අම්මා ගැනත් කියපු දේවල් මෙතැන ලියන එක විතරක් නෙවෙයි අහගෙන ඉන්න එකත් ටිකක් අමාරු උනා. මට හිතුනේ ඔවුන් ගේ හිත තුල තියෙන්නේ අරාබි කාරයන් ගැන අප්‍රමාන තරහක් බවයි. සල්ලි ටිකක් හොයා ගන්ඩ මේ අරාබිකරයට ඇවිල්ලා හා දුක් විඳ ගෙන වැඩ කරනවා මදිවට උන්ගේ වධ බන්ධන වලටත් ලක් වෙන්ඩ වෙච්ච එක ගැන මගේ අසල්වැසි තරුණිය හිටියේ විස්සෝපෙන්.

මේ මේකාට කිව්වොත් අර ළමයට සල්ලි ටිකක්වත් දෙයිද දන්නේ නෑ නේද? මම එංගලන්තෙන් ආපු සල්ලිකාරයෙක් කියල හිතාගෙන අය පිටුපස ආසනයේ ඉන්න ඇගේ මිතුරියට කියනවා.

අනේ බං...උඹට අමතක උනාද මූ එක්ක කතා බහ කරන්ඩ පුලුවන්ද අපිට?

අපි මූට පෙන්නමු අර ළමයව. එතකොට තේරෙන්නේ නැතෑ?

උඹට ඕනනං පෙන්නපන්...මට බෑ...

නෑ...අර කෙල්ල පව් බං..අවුරුදු හතරක් මෙහෙ කඹුරලා ගෙදරට හිස් අතින් යන්ඩ වෙන කොට පපුව වාවන්නේ නෑ නේ. ඒකයි මම එහෙම කිව්වේ.

ඒ කෙල්ල ගාව මොකුත්ම නැද්ද බං?

මොන? ගෙදරින් ගහපු පාරවල් ටිකයි පුච්චපු පාරවල් ටිකේ තුවාලයි විතරයි. මට එහෙම උන් එහෙම කලානංදන්නවා මම කරන වැඩේ....

ටිකකින් රෑ කෑම බෙදාගෙන ගියා. ඒ කෑම කන වෙලාවෙත් හිනා හඬයි කතා බහයි නම් අඩු උනේ නෑ. ඊට පස්සේ ගුවන් යානයේ ඇතුලේ විදුලි පහන් නිවා දැම්මම සාමාන්‍යයෙන් වෙන විදිහට හැමෝම වගේ නිදා ගත්තත් එදා එහෙම උනේ නෑ. කාලෙකට පස්සේ තමන්ගේ යාලු මිත්‍රයන්, නෑදෑයින් බලන්ඩ ගමරට යන ගමනේ උත්කර්ෂයෙන් හැමෝම වේලිලා හිටියා. 

ප්‍රශ්න පටන් ගත්තේ ටික වෙලාවක් ගිහින්. අර ඉස්සරහා සීට් එකක හිටපු තුවාල ලත් කාන්තාවට වතුර තිබහක් ඇවිත්. ගුවන් සේවිකාවෝ කවුරුවත් පැත්ත පළාතකට එන්නේ නෑ.

මම මේ ආරංචිය ආවට පස්සේ සහය ඉල්ලන විදුලි බල්බය පත්තු කලත් ඒකට කවුරුවත් ප්‍රතිචාර දැක්වුයේ නෑ.

ගුවන් සේවකාව මට වැඩිපුර වතුර බෝතලයක් සහ බීම බෝතලයක් ලබා දුන්නේ ඇයි කියන එක මට දැනුයි තේරෙන්ඩ පටන් ගත්තේ. මගේ අසල්වැසි මිතුරියත් වතුර හොයමින් කීප දෙනෙකුටම කතා කළා. ඇයට මම මගේ ළඟ තිබ්බ වතුර බෝතලේ දුන්නේ 'සුද්දා විදිහට' රඟ පෑමට වඩා කෙනෙකුට උදව්වක් කරන්ඩ අවශ්‍ය අවස්තාවක් එළඹිලා තිබ්බ හිංදා. ඒත් තිබ්බ හදිස්සියේ වැඩිකමටද කොහේදෝ ඇයට මට සිංහල තේරුණු බව වැටහුනේ නෑ!!

ඔහොම තව තව සිද්ධි ගණනාවකට පස්සේ ගමනේ අවසානය ලඟා උනා. කාලේ ලංකාවට ඇතුල් වෙනකොට ලාංකිකයන් පවා ආගමන පත්රිකාවක් පුරවලා දෙන්ඩ ඕන. ඉතින් මමත් ගුවන් යානයෙන්ම සුපුරුදු විදිහටම දෙන ආගමන පත්රිකාව පුරවමින් ඉන්න කොට අර කාන්තාවෝ ටිකඑක කාන්තාවකට තමන්ගේ පත්රිකා ටික දීලා පුරවා ගනිමින් හිටියා. එතකොටයි මට තේරුනේ ඔවුන් බොහෝ දෙනෙකුට අකුරු කියවන්ඩ, ලියන්ඩ නොහැකි බව.

මම පුරවලා දෙන්ඩද ඔය ෆෝර්ම් එක? මම ඇහුවේ බලා ඉන්ඩ බැරිම තැන.

හා... ....ඔයා සිංහල කතා කරන්නේ කොහොමද?

අයි මට සිංහල තේරෙන්නේ නා කියලා කිව්වේ කවුද?

ඇයි දෝහා වලදී කිව්වේ !!

කවුද ?

එංගලන්තේ ඉඳල එන ප්ලේන් එක පරක්කු හිංදා අපේ ප්ලේන් එක පරක්කු කරනවා කියලා!!

එහෙම කිව්වද? ඒත් එංගලන්තේ ඉඳල එන්නේ සුද්දෝ කියල කිව්වේ නෑ නේ නේද?

එංගලන්තේ ඉන්නේ වෙන මොක්කුද?

ඉතින් මම සුද්දෙක් නෙවෙයි නේ...එංගලන්තේ ලෝකේ හැම රටකටම අයිති මිනිස්සු ඉන්නවා.

කොහොම උනත් මම ඔවුන් මං ගැන කියපු දේවල් අහගෙන හිටපු බවත් මීට ඉස්සර මට සිංහල තේරෙන බව නොකීම එක්තරා වැරැද්දක් බවත් මම ඔවුන්ට කිව්වේ නෑ. මගේ අසල්වැසි තරුණිය ගේ ගම ඇඹිලිපිටියේ බවත් ඇය අවුරුදු හතරක් එක දිගට නිවසක සේවය කිරීමෙන් පසු ගෙදර යන බවත්, ලංකාවට ගිය පසු නැවත මාස කීපයකින් දෝහා වලට එන්නට බලාපොරොත්තු වෙන බවත් කිව්වා මතකය.



මටත් මේ සිද්ධිය අමතක වෙලා තිබ්බත් මේ ලඟදි කොළඹ ඉඳන් බැංකොක් යන ගමන් මාත් එක්ක ගමන් කරපු කොරියාව බලාඅ යන තරුණයන් කණ්ඩායමක් ගුවන් තොටුපොලේදී හා ගුවන් යානය ඇතුළේදී මුහුණ දුන්න සිද්ධි කීපයක් දැක්කම මට අර පරණ කතාව ආයෙමත් මතක් උනා.

ඇත්තම කතාව ඔවුන් කීප දෙනෙකුට , ගුවන් යානයට ඇතුල් වෙන්නට නියමිත ගේට්ටුව සොයා ගන්නට, තමන්ගේ සීට් එකේ අංකය සොයා ගැනීමට වගේම ගුවන් යානය තුල දුරකථන භාවිතය වැනි සරල කරුණු ගැන පවා අවබෝධයක් නොතිබුණු බව. ඔවුන්ගේ අනවබෝධය හින්දම ගුවන් යානයේ සේවක මණ්ඩලයේ තරවටු කිරීම් වලට පවා ලක්වුණු අවස්ථා මම දැක්කා.

එදාට වඩා දැන් වෙනස එදා මද පෙරදිග වැඩ කරලා ඉවර වෙලා ලංකාවට එන කාන්තාවෝ කණ්ඩායමක් එක්ක ගමන් කිරීමත් දැන් අවුරුදු කීපයක්ට කොරියාව බලා ගමන් ගන්නා තරුණයන් කණ්ඩායමක් එක්ක ගමන් කිරීමත් පමණයි. ඔවුන් දෙගොල්ලගෙම හිත අප්රමාණ බලාපොරොත්තු වලින් පිරිලා. හිදා ඔවුන් ගුවන් තොටුපොලේදී හෝ ගුවන් යානයේදී වෙන අකරතැබ්බ එතරම් ගණන් ගන්නේ නැතුව ඇති. සමහරවිට ගණන් ගත්තත් එයට කල හැකි දෙයක් පිළිබඳව අවබෝධයක් නැති නිසා නෑසූ කනවා ඉන්නවා වෙන්නත් පුළුවන්.

හැබැයි ඔවුන් සියලු දෙනා ලංකාවට නැතුවම බැරි විදේශ විනිමය ගෙනෙන විරුවන්. කාලෙකට ඉහත ඔවුන්ව මුරුංගා අත්තේ තියන්නට රට විරුවන් විදිහට නමකුත් පට බැඳ තිබුණු බවක් මතකයි. හැබැයි අනිත් හැම තැනදීම වගේ අපි ඔවුන්ව අන්දවා ඔවුන්ගේ රීරි මාංසය උරා ගනිමින් සිටින අතරම ඔවුන්ට අවශ් නිසි පුහුණුව හෝ මග පෙන්වීම වත් නොකරන බව නම් නොකියාම බෑ. ගුවන් යානයක් තුලදී වැනි ඉතා සරල අවස්තාවකදී අදාළ ස්ථානයට උචිත හැසිරීම රටාවන් පිළිබඳව නිසි පුහුණුවක් ලබා නොදීම නිසා ඔවුන් අපහසුතාවයන්ට ලක් වෙනවා නම් විදේශ රට වල ජීවත් වෙමින් රැකියා කරන විත ඔවුන් කුමනාකාරයක අඩන්තේට්ටම් වලට ලක් වෙනවාදැයි හිතා ගන්ඩත් බැරි තරම්.

අනිත් රටවලින් එන අයත් මෙහෙමයි...අපිට කියන්නේ ඔය වගේ පොඩි දේවල් ගැනත් උගන්නන්ඩ කියලද?...වෘත්තීය නොවන රැකියා කරන අය විතරද එහෙම හැසිරෙන්නේ?....හරියට උඹලා ඔක්කොම දේවල් දැනගෙන ඉපදුනා වගේනේ කතා කරන්නේ....මෙවැනි උත්තර මේ ප්රශ්නයට අදාළ වෙන්නේ නෑ. මේ කවුරුත් ආපේ සහෝදර සහෝදරියන්. ඔවුන් ගෙනෙන විදේශ විනිමයෙන් තමයි ලංකාව යන්තං පන ගැට ගහ ගන්නේ. අපි කොහොමද මේ වගේ අවස්ථාවල හැසිරිය යුතු ආකාරය ගැන අනාගත පරම්පරාවට හරි කියල දෙන්නේ? මේ ප්රශ්නයට උත්තරයක් නැද්ද? අඩුම ගානේ මේක ප්‍රශ්නයක් කියල පිළිගන්නවද???

පින්ලන්තය හරි අයිස්ලන්තය හරි රටවල් දෙකින් එකක් දැන් ඔවුන්ගේ අධ්යාපන ක්රමය සම්පූර්ණයෙන් වෙනස් කරලා. විෂය කරුණු තොගයක් උගන්නන පාසල් අධ්යාපන රටාවෙන් මිදිලා ඔවුන් දැන් එක් එක් සමාජීය අවස්ථාවල් වල හැසිරෙන්ඩ ඕන ආකාරය ගැන දරුවන්ව දැනුවත් කරනවා. අවස්ථාවට අදාළ ගණිත මිනිත, විද්යා, භාෂා දැනුම අවස්ථානෝචිතව ලබා දෙනවා. එතකොට ළමයි ඉගෙන ගන්නේ ප්රායෝගික අවස්ථාවල හැසිරිය යුතු ආකාරය. ප්රායෝගික පාවිච්චිය මොකක්දැයි නොදන්නා විෂය කරුණු තොගයක් නෙවෙයි.

අපිට තැනට යන්ඩ හුගක් කල් යයි. හැබැයි අපිට පුලුවන්ද ඉස්කෝල වල තියෙන අධ්යාපන චාරිකා වගේ වැඩසටහන් වත් මෙවැනි ප්රායෝගික කරුණු වලට යොදා ගන්ඩ?

මොකද කියන්නේ කරලා බලමුද? නැත්තං අඳුරට බැන බැන ඉම්මුද?  

19 comments:

  1. එක්වරක් කැළණි කැම්පස් ටීම් එකක් මැද්දේ යන්න වුනා, එයලත් එච්චරමයි. නඩේ ගුරෙක් පස්සෙන් රංචුවට යනව විනා ස්වාධීනව යමක් කරගන්න හැකි පිරිස සීමිතයි. අපිත් එහෙම වෙන්නැති ඒ කාලේ, සිවිලයිස් වෙන්නේ තනියම වැඩිදුර යමක් ඉගෙන ගන්න අමුතු සමාජයකට යොමුවුනාට පස්සෙයි.

    ReplyDelete
    Replies
    1. අපොයි අම්මේ ඇණතුමා මම මේ කිව්වේ වෘත්තීය නොවන කියල හඳුන්වන රැකියා කරන සමහරු ගැන මිසක් උගත්බව පිලිබඳ සහතිකයක් ලබාගත් හා ලබා නොගත් අය ගැන නෙවෙයි. වෘත්තීය නොවන රැකියා කරන සමහරු මිසක් ඔක්කොම නෙවෙයි මේ...එහෙම වෙන එකට වැරැද්ද ඔවුන්ගේ නෙවෙයි. ඔවුන්ට ඒ ගැන පුහුණුවක් දීම වගකිව යුත්තන්ගේ යුතුකමක්...වගකීමක්. මට ඕන උනේ ඒ කාරණය මතු කරන්ඩ විතරයි. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.

      Delete
  2. ඉස්සර කීමක් තිබ්බා 'කුඩු කතත් තිරිත්තමක් ඇතිව කන්නය' කියලා. ලොකු, මට මතක් වුණේ ඒ කතාව.

    ඇත්තමයි ලොකු. ඒ දවස්වල- අපි පුංචි කාලේ කෑම කනකොට අතේ ඇඟිලි පුරුක් දෙකකින් උඩට ඉඳුල් ගෑවෙන්න තහනම්; විකන සද්ද ඇහෙන්න තහනම්; කෑම කටේ තියාගෙන කතා කරන්න තහනම්; පිඟානේ වටේම නොකන දේවල් ගොඩ ගහන්නත් තහනම්, එක තැනක මිස. කටට කෑම කටවල් ඔබන එකත් තහනම්.
    ඒක කිව්වේ දැන් හුඟ දෙනෙක් අනෙක් අයට හිරිකිත හිතෙන විදිහට ඒවා කරන හැටි නිතර දකින්න ලැබෙන නිසා.

    ඒ වගේ දේවල් අම්මලා- තාත්තලා දැන් දරුවන්ට උගන්වන්නේ කොහොමද, එයාලාවත් නොදන්නා නිසා. මගෙත් අදහස විදෙස ගතවෙන හැමෝටම මේ වගේ සිරිත්-විරිත්-චාරිත්‍ර එක දවසකින් ඉගැන්වීම සුදුසු අය ලවා කරවන්න වටිනා බවයි. රටේ ප්‍රතිරූපය වැදගත් නිසා.

    අනෙක් අතට බීලා, පිස්සුවෙන් ගුවන් යානාවල දොර අරින්න ගියාය කියල වාර්තා වුණ අය නූගතුන් යයි!

    ReplyDelete
    Replies
    1. සිරිත් විරිත් කියන එව්වා මිට මොඅවාගෙන එන්නේ නෑ අපි මේ ලෝකෙට ඉපදෙන කොට. එව්වා කියල දෙන්නේ අම්මලා තාත්තලා, අනිත් වැඩිහිටියෝ, ආගමික නායකයෝ....දැන් වෙලා තියෙන්නේ මොකද්ද? අබුද්දස්ස කාලේ කියල ඔලුවේ අත ගහගන්න එක තමයි අපේ ගමේ වැඩිහිටි පරම්පරාව මේ වගේ වෙලාවක කරන්නේ.
      උගත් කමයි බුද්ධිමත් බවයි කියන්නේ දෙකක් නේ නිදි තුමා....ස්තූතියි ඔබේ අදහසට...

      Delete
  3. බොහොමයක් අපේ කාන්තාවන්ට ගුටිකාලා අතපය කඩාගෙන නැත්නම් මැරුම්කාලා පෙට්ටිවලින් එන්න වෙලා තියෙන්නේ නුගත්කමයි පිලිගැනිමක් නැති නිසයි. එහේ ගෙවන්නෙත් ලොකු පඩියක් නොවේ. ඒ පඩියටත් පැය දහයක් දොලහක් රොටි කෑල්ලක් කකා අපා දුක්විදිමින් මහල්ලන් ඇතුලු දරුවෝ පස්හය දෙනෙකුගේ වැඩ කරන්න වෙනවා. එත් ඇයි අපේ ගෑනු එහේ යන්නේ? ගෙදරක උයන්න පිහින්න ලමයෙක් බලාගන්න ලංකාවේ එහෙට සාපෙක්ෂව පඩිය පොඩ්ඩක් අඩුවෙයි. එත් වැඩ කරන්න අය නෑ. පැය අටක් වැඩ කරලා ගෙදරයන්න පුලුවන් වුනත් ඒ වැඩවලට එන්න කැමති නෑ. මොකද මේ අයට ලංකාවේ කියන්නේ වැඩකාරි කියන නමින් එකයි පිටරටදි ගුටිකෑවත් හවුස්මේඩ් නම නම්බුයි.ගෙදරට ටිවි එකක් ශිතකරනයක් එහෙම ඩියුටි ෆි‍්‍ර එකෙන් අරන් ආවම තියෙන පිලිගැනිම මෙහේ රස්සාකලාම නෑ නේද?

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත!! මම දන්නා කට්ටියක් ගෙදර නැවතිලා උයන පිහන වැඩ ටික කරන්ඩ ගෑනු කෙනෙක් හොයනවා මාසෙට රුපියල් 25,000 පඩියට. මාසෙට දවස් දෙකක් නිවාඩු දෙන්ඩත් කැමතියි. එහෙම කෙනෙක් නෑ. මම නං කියන්නේ අපේ රටේ විදේශ ශ්‍රමික වෙළඳපොල විවෘත කරන්ඩ ඕන. ඉන්දියා, නේපාල්, බංග්ලාදේශ් වගේ රටවල් වලින් ඕන තරම් මේ වගේ පඩියෙන් බාගෙකට ලේසියන් කෙනෙක් හොයා ගන්ඩ පුළුවන්. අපේ රට තරම් විකෘති ශ්‍රම වෙළඳ පොලක් තියෙන දියුණු වෙන රටක් මම නං දැකලා නෑ. මෑතකදී පළවූ වාර්තාවකට අනුව අපේ රටේ ශ්‍රම බලකායෙන් 1/9 ත්‍රී වීල් රියදුරන්!!! ඔබ කියනවා වගේම මේකට ප්‍රධාන හේතුව අපි සමාජ තත්වය කියන සාධකයට අප්‍රමාන අගයක් දීමයි කියලයි මටත් හිතෙන්නේ. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට...

      Delete
    2. හැමදේම ආර්ථික සාධක ඔස්සේ බැලීම කසිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්.
      සිංහල ජාතියට මේ වෙලාවේ අවශ්‍ය වැදගත්ම දේ තමයි මෙරට තුල ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට හිමිවෙලා තියෙන තැන සිංහග බෞද්ධ සංස්කෘතියට ලබා ගැනීම.

      විදේශ ශ්‍රම වෙළඳපොල ලංකාවට විවෘත කිරීම මෙයට බාධාවක්.

      මීට සමාන තත්වයක් ඇමරිකා ඔරුමත්තුනාඩුව තුලත් දැකිය හැකියි. එරටට මෙක්සිකෝවෙන් එන පිරිස නතර කිරීමට ජනමතයක් ඇතිවී ඇත්තේ එම සංක්‍රමණිකයන් නිසා ඇමරිකා ඔරුමත්තුනාඩුවේ ඇංග්ලිකන් අනන්‍යතාවයට හානි වන නිසා මිස ආර්ථික හේතුවක් නිසා නම් නොවෙයි.

      Delete
  4. සංවේදී කථාවක්. සමාජයේ අවශ්‍යවන කුසලතා ලබා දීමට ළමයින් සිටින මව්පියන් උනන්දු කරවන ව්‍යාපාරයක් ෆේස්බුක් හරහා කරන්න මූලිකත්වය ගන්න කියන එකයි මගේ අදහස.

    මේක කියවන කොට විහිළු කථාවක් මතක් වුනා. දඹදිව සංචාරය කරන නඩයක්. ඒකේ ගුරා ගුවන් යානයක යන්නෙත් පලමු වතාවටලු. ගුවන් යානය මට්ටමට පැමිණි පසු එය ගමන් කරනවා යැයි නොතේරෙන නිසා " හා දැන් ප්ලේන් එක නැවතිලා තියෙන්නේ ඕගොල්ලන්ට කෑම කන්න, ඔය ඔතාගෙන ආව ඒව අරගෙන කන්න" කිව්වලු. ඇත්තටම වෙච්ච දෙයක් නොවෙන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. පටන් ගන්නවා නං හොඳ වැඩක්. තියෙන අනික් වඩාත් එක්ක ඒ වගේ දෙකට මූලිකත්වය ගන්ඩ නං අමාරුයි වෙලාව හොයා ගන්ඩ තියෙන අමාරුව හින්දා. හැබැයි කවුරු හරි පටන් ගන්නවා නං මමත් දායක වෙනද කැමතියි...ස්තූතියි ඉයන් තුමා අදහස් දැක්වීමට.....අර කතාව නං ඇත්තද දන්නේ නෑ...හැබැයි ඒ වගේ පොරවල් ඉන්ඩත් ලොකු ඉඩක් තියෙනවා....

      Delete
  5. ලංකාවෙ අධ්‍යාපන ක්‍රමේ ගැනනං මොකට කතා කරනවද ලොකූ.

    පිටරට ගිහිල්ල වැඩ කරන එක කොහොම වෙතත් වතුරක වැටිල තමංගෙ ජීවිතේ බේරගන්න, වාහනේක හැපෙන්නෙ නැතුව පාර පනින්නවත් උගන්නනවනං මොකද.

    ReplyDelete
    Replies
    1. මොනවා අහනවද සභාපතිතුමා...මූලික ජීවන කුසලතා වන ප්‍රථමාධාර, පිහිනීම, බේත් තුන්ඩුවක් හරියට කියවා ගැනීම, බත් ටිකක් උයල වෑන්ජනයක් හදාගන්න හැටි (ඉස්සර අපේ කාලේ ගෘහ විද්‍යාව කියල විෂයක් තිබ්බා ගෑණු ළමයින්ට විතරක්...හැබැයි බඩගින්න දැනෙන්නේ ඔක්කොටම), සීට් ඉරන්නේ නැතුව බස් එකක කෝච්චියක යන හැටි, පොදු වැසිකිලියක් පාවිච්චි කරන හැටි වගේ දේවල්වත් අපේ ළමයින්ට ඉගෙන ගන්ඩ අවස්ථාවක් තියෙනවද? දෙවන බසක් හා අන්තර්ජාතික බසක් ඉගෙනීම ගැන කවර කතාද?

      Delete
  6. දශක දෙක හමාරකට කලින් ඉස්කෝලෙන් අයින් වෙද්දී සමාජෙට මුහුණ දෙන්න ඕනි විදිය ගැන අපිටත් ලොකු තේරුමක් තිබ්බේ නෑ.. මාව අළු ගසා දාල පිළිවෙලක් කරලා ගත්තේ නේවි එකෙන්.. හමුදා පුහුණුවේ අගය ඒ සම්භන්දයෙන් නම් කියලා වැඩක් නෑ.. ලංකාවේ ගොඩක් උගත්තු පවා මේ දේවල් වලට හුරුවෙන්නේ ජොබ් එකක් කරන්නත් පටන් අරගෙන කාලයක් ගියාම.. (සමහරු එහෙමවත් ඉගෙන ගන්නේ නෑ..) ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අපිට වැඩ කරන්න වෙලා තියෙන්නෙත් ඔය රට විරුවෝ වගේම අධ්‍යාපනයෙන් සමාජ ආශ්‍රයෙන් බොහොම පහල ඉන්න පිරිසක් එක්ක.. ඉඳගන්න, හිටගන්න විදිය කතාබහ කරන විදිය වැසිකිලි කැසිකිලි පාවිච්චි කරන විදිය පවා කියල දෙන්න වෙනවා.. මගේ අත්දැකීම අනුවනම් බොහොමයක් පිරිස මේ දේවල් දැන කියාගන්න ආසයි. යමක් කියල දෙනවට වැරද්දක් හදනවට කැමතියි. ඒක නිසා ලොකු මලයාගේ අදහසට/ යෝජනාවට මම අත්දෙකම උස්සලා මනාපයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමිතුමා ඔබේ අදහසට...දැන් ඉතින් කියමු බලන්ඩ කොහොමද මේ වැඩේ පටන් ගන්නේ කියල...වාදක නායකත්වය අරගෙන සංවිධානාත්මකව කරන එකත් හමුදා පුහුණුවේ අංගයක් මගේ හිතේ!!!

      Delete
  7. මම 5වසර ශීෂ්‍යත්වය සමත්වෙලා දොන් ස්තෙපාන් කන්‍යාරාමයට යන්න කලින් ගියේ ගමේ ඉස්කෝලෙට. මට මතකයි ඒකාලේ අරාබි රටවලට යන අම්මලාගේ ළමයින්ට අපිට වඩා ලස්සන සෙල්ලම් බඩු තිබුනා. ඒ චීන භාණ්ඩවලින් සාප්පු පිරීම ආරම්භ වෙන කාලේ.

    ReplyDelete
    Replies
    1. අපොයි අන්තෝනියෝ මල්ලි/ අයියේ කොයි කාලේද එහෙ ගියේ?

      Delete
  8. මගේ රැකියා ස්ථානයට ඉංජිනේරු සිසුන් පැමිණෙනවා
    ඔවුනට ඉතා ඉහලින් සංග්‍රහා කරනවා

    විශ්ව විද්‍යාල වලින් පැමිණෙන සිසුන් ඉතා අවනීතව හැසිරෙන්නේ
    කාලා බීලා වනසල යන්ණේ

    නමුත් නාවික හමුදා , කොතලාවල සිසුන් ඉතා වෙනීතව සංවරව තමන් ගේ පුහුණුව ලබා ගන්නවා

    පැහැදිලි වෙනසක් දකිනවා

    ReplyDelete