Sunday, March 22, 2026

මින්දද හී සර- සයිකි, ෆ්‍රිග් සහ කුවේණි

 

ගියපාර කතාව අපි නැවැත්තුවේ සයිකිගෙන් උණු තෙල් පාරක් කාපු කියුපිඩ් පොර ටෝක් එකකුත් දීලා අතුරුදහන් වෙලා ගිය තැනින්. කට්ටකාඩුව කියවන කාටවත් දිව්‍ය ඥාණයක්, නොමැකෙන මතකයක් එහෙම තියෙනවා කියල මම හිතන්නෙ නෑ. ඉතිං එහෙම අය ආපහු පාරක් මෙන්න මේ ලින්ක් එක හෙවත් සබැඳිය උඩ ක්ලික් කරලා ඒ කොටස බලලා එන්ඩ.

කාට හරි මේ ලිපි පෙලේ පළමු කොටස බලන්ඩ අමතක උනා නම් මෙන්න ඒකට සබැඳිය.

අතුරුදන් වූ සැමියා ගැන සිතමින් සිටින් සයිකි

ගිය කොටසේ අපි අහන්ඩ ආරාධනා කලේ මින්දද හී සර ගීතය. ඕකෙ මං ආසම කොටසක් තියෙනවා.

මින්දද හීසර වැදී සැළෙන හද

නංවන දුක් ගී ඔබට ඇසෙනවද?

චන්දන මල් අතුරා ඇති යහනට

කන්ද කපා පායන් රන් පුන් සඳ...

ගායකයා ආරාධනා කරන්නේ චන්දන මල් ඇතිරූ යහනට වඩින්ඩ කියලා...කාටද? කන්ද කපා පායන පුන් සඳට...ඇත්තටම ලස්සනම පුන් සඳ දකින්ඩ පුලුවන් වෙන්නෙ 'කන්ද කපා හඳ පායන' දවසට! ඒ කියන්නේ පසළොස්වක පෝයට පස්සෙ දවසට. අනේ ඒ ලස්සන, පිරුණු හඳ තියෙන වෙලාවට නෙවෙයි මිනිස්සු වැඩි වැදගත්කමක් දෙන්නේ ඊට කළින් දවසට! අන්න ඒකයි මට හිතෙන්නෙ මේ ගායකයාට මින්දදයාගේ හී සැරේ වැදිලා තියෙන්නේ ජීවිතේ යොවුන් විය ටිකක් ඉක්ම ගිය වෙලාවක කියලා. ඒත් එයා තාම පුන්සඳ, හඳුන් මල් ඇතිරූ යහනට වඩින්ඩ කියල බොහොම ගෞරවාන්විතව ආරාධනය කරනවා. මේ වැඩේ තවත් දුක්බර වෙන්නේ ඊළග පද පේලියෙන්.

තුරඟෙකු පිට නැගි නීල වලාකුළු

ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ....

පිබිදෙන දෑසින් බලා හිඳිමි මම

කුසුම් සිනා කැන් හද පුරවා...

අපේ සාහිත්‍යයේ නිල් කියල කියන්නෙ සාමාන්‍යයෙන් කළු පාටට. ඒ කියන්නේ අශ්වයෙක් පිටේ නැගලා වගේ වේගයෙන් ඇදිලා යන්නේ කලු පාට වළාකුළු. කළු වළාකුළු ඇදිලා යනවා කියල කියන්නෙ, අහස පැහැදිලි වෙනවා කියන එකයි. ඒ කියන්නේ කන්ද කපා වඩින හඳ හොඳින් බලාගන්ඩ පුලුවන් පැහැදිලි අහසක් උදාවෙමින් තියෙන්නේ...අපේ මේ මදක් වියපත්, ප්‍රේමයෙන් ආතුර වූ පෙම්වතා ඇස් දල්වාගෙන බලාගෙන ඉන්නේ එයාගේ හිත අරගත් පෙම්වතිය එනකල් වෙන්ඩ පුළුවන්... සමහර විට ඔහුගේ ප්‍රේමය තවම ඒ පෙම්වතියනොදන්නවා වෙන්නත් පුළුවන්.

කවුද දන්නේ සයිකි එක්ක පටලැවිලි හදාගෙන ඉන්න කියුපිඩ්ට අමතක උනාවත්ද කියලා ඒ පෙම්වතියටරන් හීයෙන් විදින්ඩ? ඉතිං කෝ අපේ කියුපිඩ්?

මට මතක් වෙන්නෙ අපේ රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්තයාව. “දවසක් පැල නැති හේනේ, අකාල මහ වැහි වහිද්දී, බිරිඳගේ සෙනෙහස වතුරේ ගසාගෙන යද්දි ඔහුට මතක් උනේ අම්මාව. මං හිතන්නේ ඕනෑම පුතෙකුට මේක සාධාරණයි. කියුපිඩ් කියන්නෙත් දෙවියෙන් උනාට අන්තිමේදි ගත්තම පුතෙක්. ඔහුත් ගියා අම්මා- වීනස්- ගාවට.  කියුපිඩ් ට සහෝදර සහෝදරියෝ තොගයක් හිටියා.

ඇන්ටෙරොස් එහෙම නැත්තං ඇන්ටි ඊරොස්- එයා තමයි ඊරෝස් එහෙම නැත්තං කියුපිඩ් ගේ විරුද්ධවාදියා. එයා ප්‍රධානත්වය දරන්නේ තම තම්න්ගේ කැමැත්තෙන් ප්‍රේම සම්බන්ධකම් ඇති කරගන්නන්ට. ඔයාලට හිතුනේ ඊරෝස්ගෙ විරුද්ධවාදියා කිව්වම මේ යෝධයා දික්කසාදෙට අධිපති කියලද. නෑ එහෙම නෙවෙයි. එයා තමයි අම්මලා තාත්තලාට කරදර කරන්නේ නැතුව තම තමුන්ම ආදරය සොයා යන්නන්ගේ දෙවියා. කට්ටකාඩුවේ ලොකු මලයා වගේ අයට අධිපති මෙයා තමයි.

හිමෙරෝස්- ලිංගික ආශාවේ අධිපති. මොකද හිතන්නෙ මෙයා ගැන?

පොතොස්- බලාපොරොත්තු වීමේ, බලා හිඳීමේ අධිපති. මං හිතන්නේ මේ කියන්නේ ප්‍රේමය බලාපොරොත්තුවෙන් බලා හිඳීම ගැන වෙන්ඩ ඕන. මොකද මුළු පවුලම ප්‍රේමය, විවාහය වගේ දේවල් සම්බන්ධ තනතුරු දරද්දී මෙයා විතරක් වෙනස් වෙන්ඩ බෑනේ....

හයිමෙනායියුස් - මංගල උත්සව වලට අධිපති. හරි නං ඔය හැම මංගල උත්සව ශාලා කුළියට දෙන තැනකම මෙයාගේ ප්‍රතිමාවක් හදන්ඩ ඕන.

හාමෝනියා, ෆෝබෝස්, ඩෙයිමෝස්- ඊරෝස් ගේ තවත් සහෝදර සහෝදරියන්. උන් මොනව කලාද කියල දන්නෙ නෑ...සමහර විට ඔය එක්ස්ට්‍රා මැරිටල් හෙවත් ගංජ හේන් නොහොත් කොටු පැනිලි වගේ දේවල් වලටද දන්නේ නෑ!!

හැබැයි ඉතිං ඔහේලාත් දන්නවනේ අම්මලා ගැන. වැලකට කොච්චර ගෙඩි තිබ්බත් බරක් නැතිලු. ඒ වගේ තමයි වීනසුත්. කරණීය මෙත්ත සූත්‍රයේත් කියන මවක් සිය එකම දරුවා රකින්නා සේ ආදරයෙන්, සැලකිල්ලෙන්, තව දරුවෝ ගණනක් හිටියත් වීනසුත් කියුපිඩ්ව ආදරෙන් තමුන්ගේ භාරයට අරගෙන වෙද හෙදකම් කරන්ඩ පටන් ගත්තා. ඕනෑම පුතෙක් වගේ අම්මාගේ තුරුලේ කියුපිඩ් සුව වෙන්ඩ පටන් ගත්තා.

ඔය දෙවියො අතරෙත් ඉන්නවා ආයිබොවන් කේළංකාරයෝ. ඔන්නොහොම එකෙක් හෝ එකියක් ඇවිත් වීනස්ගේ කනේ තිබ්බා කවුද මේ තෙල් වත්කරේ කියලා.

"වීනස් නංගියේ උඹට කියන්ඩ...මට හරි අමුතු කතාවක් ආරංචි උනානෙ අද!"

"ඒ මොකක්ද?" වීන්ස් කියුපිඩ්ට පත්තුවකට බේත් අඹරන ගමන් උත්තර දුන්නා.

"දෙවියො කතාවෙනවනෙ උඹට හොඳ වැඩේය උනේ...අර උරචක්කරමාලෙ තෙල් වක්කරල හදාපු තුවාලෙට අන්තිමට උඹටයි බේත් හේත් කරන්ඩ උනේ කියල".

"කොයි උරචක්කරමාලෙද?"

"ඇයි උඹ දන්නෙ නැද්ද?"

"මං දන්නෙ කොහොමද?"

"සයිකි බං සයිකි! අඩුම ගානෙ අපේ එක දේවතාවියක්වත් හිටියෙ නැද්ද උඹේ කොලුවට සහේට ගන්ඩ?! මොකෑ උං ලස්සන නැතුවද? මේ අදද හෙටද ජීවිතේ ෂුවර් නැති මනුස්ස දුවක් අල්ලගත්තේ??"

"උඹ කවුරු කියලද කිව්වෙ?"

"සයිකි බං සයිකි.... අර රජ්ජුරුවන්නෙ දුව!"

"උඹ ඔය ඇත්තමද කියන්නෙ? අපේ එකා අල්ලගෙන තියෙන්නෙ අර දහපදුරාවි සයිකිද?"

"ජුපිටර්පල්ලා මේ කියන්නෙ ඇත්ත!. මං හිතුවෙ උඹ දන්නවා ඇති කියල. අනේ කේළමක් කිව්ව කියල නං හිතන්ඩ එපා ඕං!!"

වීනස්ට මල පැන්නා. යකෝ අපේ එකාට වෙන ගෑණු නැද්ද මේ අඩු කුළේ (දෙවියොත් එක්ක ගත්තම රාජ කුමාරිත් අඩු කුලේනෙ නේද) එකියක්ව අල්ලගන්ඩ! අනික වීනස්ගෙ ඩිමාන්ඩ් එකට වඩා ඩිමාන්ඩ් එකක් තිබ්බ හිංදා ශාප කරපු කෙල්ලව තමන්ගෙ පුතා සහේට අරං කියල දැනගත්තම කොයි අම්මාට උනත් දැනෙන හැඟීම වීනස්ටත් දැනෙන්ඩ ඇති.

නෙද්දකින් ඕකා...කොහෙද ඉතිං මදන විසේ ගහපුවම මුන්ට තමුන් කවුද කියන එක අමතක වෙනවනේ!!

මෙහෙම හිතලා රෙද්දත් කැහපට ගහං වීනස් යන්ඩ පටං ගත්තා සයිකිව හම්බ වෙන්ඩ. තමන්ගෙ පුතා හම්බ වෙන්ඩ නෙවෙයි යන්නේ. පුතාට කැමැත්ත දුන්න සයිකිව හම්බ වෙන්ඩ. හම්බ වෙලා හොඳවයින් දෙකක් කතා කරන්ඩඑතකොට වැරැද්ද පුතාගෙ නෙවෙයි, සයිකිගෙ.

ඔය අතරෙ සයිකිත් නිකං හිටියේ නෑ. මට සයිකි හිතන හැටි ලියන්ඩ කම්මැලි හිංදා ඒ වැඩේ බාරදුන්නා  ටීටර් නාට්‍යවල දෙබස් ලියපු ඒබරං උන්දැට. මෙන්න සයිකිගේ කල්පනාව.

"අහෝ.. මා ප්‍රේම කුමරුවානන්රජිදානන් ප්‍රේමයේ !  මා දමා ගියේ සදහටමද ඔහු? නැවත කිසිදා ඔහු නොපැමිණෙන්නෙහිද මා සොයා දෙවියනි? අහෝ  හෘදය වාවා ගත නොහැකිය කුමරුණි මාහට !...දැන්ම යා යුතුය මා පිටත්ව  ඔහු සොයා...ඔහු සිටින්නෙහිද කිනම් දෙසක ? මා සැරිසරන්නෙමි මගේ සම්පූර්ණ ජීවිතයම... ඔහුව සොයමින් . ඔහුගේ හෘදයේ බිඳුවක් තරම්වත් ප්‍රේමයක් මා කෙරෙහි නැතත්මා ඔහුට පෙන්වා දෙමි, මා හෘදයේ ඔහු කෙරෙහි වූ ප්‍රේමය කෙතෙක් විශාලදැයි! . (පසුබිමෙන් ප්‍රේමාලෝකය නිවී ගියාගීතයගැයේ. ගයන්නේ ජමුනා රාණි සමග මොහිදින් බෙග් නම නොදත් දෙවියෙක් එක්ක දේවතාවියක්).

ප්‍රේමාලෝකය නිවී ගියා

ඔබ රූපය මා හද තියා ගියා

වැටුණ මලක් එම අත්තෙහි හා වෙද

ආලය ඒ ලෙස කැඩී ගියා....

සයිකිට හිතෙනවා වීනස් ගාවට ගිහින් බැගෑපත් වෙන්ඩ. වීනස් දේවතාවියක් ඇයට පේනවා ඇති තමුන්ගේ පුතා ඉන්න තැන. කවුද දන්නෙ වීනස් ගාවම ඉන්නවද කියල. මම ගිහිං බැගෑපත් වෙලා, අඬලා දොඩලා ඔහු ඉන්න තැන අහගන්නවා. එහෙම හිතලා සයිකි යන්ඩ පටං ගත්තා වීනස් හම්බ වෙන්ඩ. දැන් වීනස් කෝ? වීනස් එනවා සයිකිය හොඳවැයින් දෙකක් කතා කරන්ඩ. ඔන්න දැන් දෙන්නට දෙන්න අතරමගදි හම්බ උනා.

"පියකරුබවට අධිපති, ලොවන් අන් සියළු කාන්තාවන් පාමිළි කල, වීනස් මහා දේවතාවියනි, අහෝ මා කෙරෙහි අනුකම්පාවෙන් මාගේ ප්‍රේම කුමරු සිටින තැනක් මා හට පෙන්වා දුන මැනව!"

"එහෙම ලේසියෙන් එව්ව කරන්ඩ බෑ. ඒකට චැලෙන්ජ් තුනක් ජය ගන්ඩ ඕන".

"පවසන්න.. පවසන්න..නොවළහා පවසන්න. මා අභියෝගයන් තුනකට නොව දහසකට වුවද මා ප්‍රේම භෘංගරාජයා වෙනුවෙන් මුහුණ දීමට කැමැත්තෙමි!"

"ආ...එහෙනං අද ඉර බහින්ඩ කලින් මෙන්න මේ ඇට ගොඩ වෙන වෙනම වර්ග වලට වෙන කරපිය" කියලා තිරිඟු, පොපි, කුරහන් වගේ පොඩිම පොඩි ඇට තියෙන ධාන්‍ය වර්ග ගණනාවක් බතලේගල, අලගල්ල, බලන වගේ තොග පිටින් ගෙනැල්ලා එකට මිශ්‍ර කරලා දුන්නා සයිකිට.

සයිකි දැන ගත්තා මේක නං අර බලු වලිගේ ඇද අරිනවා වගේ වැඩක් තමාය. මාව අන්නවන්ඩ දීපු වැඩක් තමාය කියල. ඒත් දැන් පරක්කු වැඩියි. අභියෝගය බාරගත්තනේ. ඉතිං බැඳගත්ත බෙරේ ගහන්ඩම ඕන.

තව වැදගත් දෙයක් තියෙනවා. ඔතන ඔය අලගල්ල, බලන වගේ කඳු වල නම් මං අතින් දාපුවා උනාට තිරිඟු, පොපී, කුරහං එහෙම නැත්තං මිලට් වගේ දේවල් ඔරිජිනල් කතාවෙම තිබ්බ එව්වා. ඒ කියන්නෙ මේ භෝග දෙවියන් අතරෙත් තිබ්බද? නැත්තං වඩා ප්‍රායෝගිකව හිතුවොත් පැහැදිලි වෙන විදිහට දේවකතා හදපු මිනිස්සු මේ වෙනකොට ඔය භෝග දැනගෙන හිටියද? මිනිස්සු මේ භෝග වර්ග දැනගෙන හිටියා නම් ඒ කියන්නෙ ඒ භෝග වර්ග ඒ වෙනකොට ගෘහස්ථීකරණය නොහොත් ඩොමෙස්ටිකේෂන් කරගෙන. ඒ කියන්න තවත් විදිහකින් ගත්තොත් මානවයා දඩයම් යුගය පහු කරගෙන ගොවිතැන යුගයට ඇවිල්ලා. මට ඇත්තටම හිතෙන්නේ දඩයම් යුගයෙදි මිනිස්සුන්ට තිබ්බ විවේක කාලය හුගක් අඩු වෙන්ඩ ඇති. ඉතිං ඒ කාලෙ දෙවියෝ හිටියා නම් හිටියේ බොහොම සරළ විදිහට වෙන්ඩ ඇති. ගස්, ගල්, දිය පාරවල්, සත්තු ඒ කාලෙ වන්දනාවට පත් වෙන්ඩ ඇති. හැබැයි ගොවිතැනත් එක්ක වැඩි කාලයක් ඉතුරු වෙනකොට, ලොකු ජනාවාස හැදිලා මානව ශිෂ්ටාචාරය පටං ගන්න කොට, අපි ඒ සරළ දෙවියන්ව මහා ආටෝප සහිත දෙවිවරුන් දේවතාවියන් බවට පත් කර ගන්ඩ ඇති. සමහරවිට දෙවියන් ගැන භයක් මිනිස්සු තුල ඇති කරලා, මිනිස්සුන්ව අන්දලා ලොකු ලාභයක් ලබාගන්ඩ පුලුවන් කියලා තේරිච්ච පූජකයොත් මේ දේවකතා හදන්ඩ දායක වෙන්ඩ ඇති. මේ ගැන හෝඩුවාවක් ගන්ඩ නං ගොවිතැන මත ග්‍රීසිය, රෝමය හරි ඉන්දියාව හරි තරම් යැපුනේ නැති දඩයක්කාර ජීවිත රටාවට වඩා කිට්ටු ජීවිතයක් තිබ්බ නෝර්ඩික් පළාතට යන්ඩ වෙනවා.

සයිකිගේ කතාව ඊළග පෝස්ට් එකට තියලා අපි යමු පොඩි ගමනක්.

ගමන යන්නේ ග්‍රීසියේ ඉඳන් උතුරු පැත්තට. සීතල නෝර්ඩික් ප්‍රදේශයට. හරියටම කිව්වොත් ඩෙන්මාර්ක්, නෝර්වේ, අයිස්ලන්තය, ස්වීඩනය වගේ රටවල් තියෙන පැත්තට. එහෙත් තියෙනවා හරි අපූරු දේව කථා සාහිත්‍යයක්. සමකයට ආසන්න ආසියාවේ වගේම යුරෝපයේත් ඒ වගේම උත්තර ධ්‍රැවය ආසන්න නෝර්ඩික් පලාත් වලත් මිනිස්සු, මිනිස්සුම තමයි. එහෙත් ජීවිතය, ආදරය, අස්වැන්න එහෙම නැත්තං ඵලදාව, මරණය වගේම අටලෝ දහමෙ අනිත් අංගත් පොදුයි. ඉතිං එහෙ මිනිස්සුත් ආදරය ගැන හිතපු විදිහ කොහොමද කියල බලමු.

මේ හැම දේව කතාවක්ම උපදින්නේ ඒ ඒ රටවල තිබ්බ දේශගුණික, සාමාජික, සංස්කෘතික වටපිටාව එක්ක. මේ ඔක්කොම කියන්ඩ ගියොත් අපේ කතාව නීරස වෙන හිංදා මම නෝර්ඩික් දේව පුරාණය විතරක් ඉතා කෙටියන් කියන්නම්. කට්ටකාඩුවට මේ අවුරුද්දෙ දෙවියන්ගේ වැඩකියල අලුත් කැටගරියක් එක්කහු කරේ එක එක රටවල දෙවිවරු කරපු කියපු දේවල් ලියන්ඩ. ඉතිං ඉස්සරහට මේ නෝර්ඩික් දෙවිවරුන්ගේ අනිත් අය ගැනත් කියවෙයි. එහෙම වෙලාවක නෝර්ඩික් දෙවිවරු ඇති වෙච්ච හැටි විස්තර ඇතුව ලියන්නං.

නෝර්ඩික් විශ්වාසය අනුව මුලින්ම තිබ්බෙ මහා හිස්තැනක්. ඔන්න ඔය හිස්තැනින් තමයි යිමීර් නැත්තං ඉමීර් කියන යෝධයා බිහිවෙන්නෙ. ඔහුගෙන් අනිත් යෝධයෝ වර්ගයක් බිහිවෙනවා. ඔවුන්ට කියන්නෙ යොට්නාර් කියල.  තනි තනියෙන් ගත්තම මේ යෝධයන්ට කියන්නෙ යෝට්න් කියල. ඇත්තටම ඔවුන් දෙවිවරු නෙවෙයි. හැබැයි අනෙක් දේවකථාවල දෙවිවරුන්ට විතරක් ලැබිච්ච තැන නෝර්ඩික් කතාවල දෙවිවරු සහ යෝධයන් අතරෙ බෙදිලා යනවා. සමහරවිට නෝර්ඩික් කථා යෝධ කථා සහ දේව කථාවල මිශ්‍රණයක්ද කියල හිතෙන තරමට එකට එකක් බැඳිලයි තියෙන්නෙ. දෙවිවරුන්ගේ උපත සිද්ධ වෙන්නේ අද්හුම්ලාගෙන්. අද්හුම්ලා එළදෙනක්. ඇය අයිස් කැටයක් ලෙව කාපු හිංදා තමයි ඒ අයිස් කැටයෙන් පළමු දෙවියා බිහිවෙන්නේ. ඒ බියුරි. ඔහු තමයි සුප්‍රසිද්ධ ඕඩින් ගේ සීයා. ඇත්තටම ඔවුන් අයිති වෙන්නේ එක දේව ගෝත්‍රයකට. ඒ ඒසිර් දෙවිවරු. අනිත් දේව ගෝත්‍රය තමයි වානිර් දෙවිවරු. ලස්සනම වැඩේ කියන්නෙ ඒසිර් දෙවිවරු අතරෙ එක්කෙනෙකුත් වානිර් දෙවිවරු අතරෙ එක්කෙනෙකුත් ආදරය, විවාහය වගේ කාරණා ගැන සමබන්ධකමක් දැක්වීම. ග්‍රීක දෙවිවරු වගේ එක එක කාරණාවලට අදාල වෙන වෙනම දෙවිවරු නෝර්ඩික් පළාතේ හිටියේ නෑ. අඩුම තරමින් මුල්ම දේවකථාවලදි. පස්සෙන් පහු වෙනකොට තමයි අර වැඩේට මෙයා, මේ වැඩේට අරයා කියලා පංගුපේරුවේ වැඩ පටං ගත්තේ.

නෝර්ඩික් දෙවිවරුන්ගේ ඒසිර් ගෝත්‍රයේ විවාහය, මව් පදවිය ආදිය ගැන අධිපතිත්වය දරන්නේ ෆ්‍රිග්. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඒසිර් දෙවිවරුන්ගේ රජු විදිහට සැලකෙන ඕඩින් ගේ බිරිඳ. ඕඩින් තමයි යුද්ධයට, ඥානයට, කවිකමට අධිපති දෙවියා. ඕඩින් ඥානය ලබාගන්නේ එක ඇහැක් දන්දීලා. ඇස් දෙකම තිබ්බ ඕඩින්ට නුවණ ලැබුනට පස්සේ ඉතුරු වෙච්ච එක ඇහෙන් උනත් වඩා හොඳින් ලෝකය පෙනෙන්ඩ පටං ගත්තා කියලයි කියවෙන්නේ. දැන් ඉතිං කඩප්පුලි කමට මගෙන් අහන්ඩ එපා ඕඩින් ෆ්‍රිග්ව බැන්දේ නුවණ ලබාගන්ඩ ඉස්සරද පස්සෙද කියල. බලන්ඩකො ඕඩින්ගේ අමාත්‍යාශ විශයයන්. යුද්ධයත් එක්ක කවිකම. යුද්ධයත් එක්ක ඥානය! මොන විහිලුද අප්ප මේ? හා නිකමට හිතල බලන්ඩ යුද්දෙත් එක්ක කවිකම තියෙන්ඩ පුලුවන්ද කියල

ඔන්න ඉතිං තවත් කෙනෙකුට කියන්ඩ පුලුවන් ඕක අද අපි එකපාර දැක්කට ඕඩින්ට ඇස් දෙකම තියෙන නුවණ නැති කාලෙ තමයිය යුද්ධෙට අධිපතිකම බාර ගත්තේ, ඇහැක් නැතිවෙලා හරි නුවණ පහළ උනාම එයා කවිකමයි ඥානයයි බාර ගන්ඩ ඇති කියල. තව කෙනෙකුට කියන්ඩ පුලුවන් ඕඩින්, ෆ්‍රිග්ව බැන්දෙත් නුවණ......නෑ එක්කොත් මොකටද නේද? තවත් වැදගත් දෙයක්.. වෙන කිසිම ආලයේ දෙවියෙක් මව් පදවියේ දෙවියාත් උනේ නෑ. අඩුම තරමේ සාරවත් බවේ, ඵලදාවේ දෙවියා උනෙත් නෑ. ඉන්දියාවෙදි, ග්‍රීසියේදි, රෝමයේදි, කමකට නැති, ඵලදාවකින් කෙලවර නොවෙන ප්‍රේමයනුත් තියෙන්ඩ පුලුවන් කියල මිනිස්සු හිතපු හිංදාද ඒ ? නෝර්ඩික් ප්‍රදේශයේ නම් මේ ප්‍රේමය, විවාහය සහ මව් පදවිය එකට එක්වෙලා, වෙලිලා තිබ්බද?

අනේ අද නං එහෙම නැතිලු. ලෝකෙ කසාද වලට සාපේක්ෂව වැඩිම දික්කසාද ප්‍රමාණයක් වාර්තා වෙන්නෙ නෝර්ඩික් රටවල් වලින් කියලයි සමහර වාර්තා කියන්නේ. දික්කසාද ප්‍රමාණය වැඩිවීමට හේතු විදිහට විශේෂඥයෝ දකින්නේ කාන්තාවන්ගේ ආර්ථික ස්වාධීනත්වය ඉහළ යෑම, ආගමික බලපෑම් අවම වීම, සමාජය තුල දික්කසාදය තහනම් අඩවියක් නොවීම, දික්කසාදය ලබා ගැනීමට ඇති නීතිමය බාධාවන් අවම වීම වගේ කාරණා. ඒ කියන්නේ ආයෙත් ලෝකය යමින් ඉන්නේ ආදරය කියන්නේ එකක්, විවාහය කියන්නේ තවත් එකක් කියන තැනටද? ඉන්දියානු, ග්‍රීක, රෝම දේවකතාවල තිබ්බෙත් එහෙම නැත්තං නොකියා කිව්වෙත් මේ කතාවමද? හා නිකමට හිතල බලන්ඩ මං කියන්නෙ බොරුද කියලා.

ඕඩින්ටයි ෆ්‍රිග්ටයි බොල්ඩර් කියල ලස්සන පුතෙකුයි හෝඩ් කියල බාගෙට අන්ධ පුතෙකුයි හිටියා. හෝඩ්, ලෝකි කියන මායාවේ දෙවියාට රැවටිලා බෝල්ඩර්ට කරපු දේ වගේම හෝඩ්ගෙන් පළිගන්ඩ ඕඩින් රින්ඩ් කියන යෝධි එක්ක සංවාසයේ යෙදිලා වාලි කියලා තවත් පුතෙක් ලබා ගත්තු හැටිත් නෝර්ඩික් දේව කතාවල තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඕඩින්ගෙ ප්‍රසිද්ධම පුතා, තෝර් ලැබෙන්නෙත් ෆ්‍රිග්ට නෙවෙයි. තවත් යෝධියක් වෙච්ච යෝර්ග්ට. යෝර්ග් කියන්නේ පොළොව එහෙම නැත්තං පෘතුවිය කියලත් සමහරු කියනවා. තමුන්ගේ මනුස්සයා මේ අවලං වැඩ කරන එක ෆ්‍රිග් දැන හිටියේ නෑ කියල කවුරු කොහොම කිව්වත් මම නං විශ්වාස කරන්නේ නෑ. මොකද අන්තිමේදී ගත්තම ෆ්‍රිග් කියන්නේ ඒ ඒසිර් දේව ගෝත්‍රයේ රැජින. ඉතිං රජ්ජුරුවන්ට වගේම රැජිනටත් කේළං කියල බඩ කට පුවරවා ගත්තු කේලං කාරයෝ නෝර්ඩික් පළාතේ හිටියේ නෑ කියලද කියන්නේ? හා නිකමට පොඩ්ඩක් හිතලා බලන්ඩ. මං හිතන්නේ ෆ්‍රිග් ඔය ගම්මැදි හෑලි නොදැන හිටියා නෙවෙයි ඒත් එයාට දීලා තිබ්බ විවාහයේ සහ මාතෲත්වයේ කටු ඔටුන්නත් එක්ක එයා ඒක දරාගෙන ඉන්ඩ ඇති. මේ ලොකේ ඉන්නෙ බොහෝ ගැහැණු අදත් හෙටත් දරාගෙන ඉන්නවා වගේ. හෙන්‍ රි ජයසේන මහත්තයා කුවේණි නාට්‍යයේ කියනවා වගේම....

සදා කාලෙම ලොව පහළ වූ

සදා කාලෙම ලොව පහල වන

කුවේණියමයි එකම ගැහණිය

එදා උපනත් අද උපන්නත්...

 

ඇයයි දුක් පීඩා විඳින්නේ

ඇයයි වද හිංසා දරන්නේ

ඇයයි අවමානය ලබන්නේ

ඇයයි යකිනිය නම් ලබන්නේ....

 

ෆ්‍රිග් උනත්, කොච්චර දේවතාවියක් උනත් අන්තිමට ගත්තම කුවේණි වගේම කාන්තාවක්!

අදට ඔය ඇති. ඉකමනින්ම ඊළග කොටසත් අරන් මං එන්නම් ජීවත්ව හිටියොත්. එතකල් අහන්ඩ මෙන්න අපේ ජෝතිපාල මහත්තයාගේ "අනංගයා මං".

ඔබට ආදරණීය අනාගතයක් වේවා!!

2 comments:

  1. මේ...
    මොන මගුල උනත් ලොකුමල්ලි ආපහු ලියන එක පංකාදු පහයි.
    යුවාල් නෝවා හරාරි නං කියන්නෙ දඩයං කාලෙදි වැඩිපුර විවේකයක් තිබුණ ය, ගොයිතැන් කරන්ඩ ගත්තට පස්සෙ ඩේලි වැඩ තිබුණය කියලා. වගාබිම් සකස් කරලා බෝග හිටවන්ඩ. ඊට පස්සෙ කුරුල්ලො එලවන්ඩ. රෑට පැල් රකින්ඩ. අස්වැන්න‌ නෙලා ගත්ත දා ඉඳං ආපහු වගා බිම් සකස් කරන්ඩ...
    හැබැයි ඔය හැම වැඩක් ම කරන අතරෙ මනස විවේකීව තියෙන්ඩ ඇති වැඩ කරන ගමං හිතන්ඩ සහ ඇඹුල කන ගමං, පැල් රකින ගමං ඔය මානසික නිර්මාණ බෙදා ගන්ඩ.
    ඒ වගේ ම ංවිධානාත්මක ක්‍රියාකාරකම් රාශියක් ගොයිතැන සහ සත්ත්වපාලනයට තිබුණු නිසා, හොර මැරකං කඩා වාඩා ගැනීම් නවත්තන්ඩ වඩා දියුණු ආගමක් තියෙන්ඩත් ඔ්නෙ වෙන්ඩ ඇති?

    ReplyDelete
  2. ස්තූතියි ඩ්‍රැකීතුමා ඔබේ අදහස් වලට. යුවාල් හරාරි මගෙත් ප්‍රියතම ලේඛකයෙක්. දඩයම් යුගයේදී තනි තනි පුද්ගලයාට විවේකය වැඩි වෙන්න ඇති. ඒත් ඒ විවේකය යොදාගැනුනේ මොකටද? ගොවි යුගයත් එක්ක සාමූහික ක්‍රියාකාරකම් වඩා සංස්කෘතිකමය විදිහට සාමදානෙන් විසඳගන්ඩ පුලුවන් වෙන්ඩ ඇති. ඒකයි මේ විසිතුරු දේව කතා වගේ දේවල් නිර්මාණය වෙන්ඩ ඇත්තෙ‍.

    ReplyDelete