Sunday, March 29, 2026

අනංගයා මං අනංගයා

 

මේ දවස්වල හරි පෑවිල්ල. ඉන්ඩ හිටින්ඩ බෑ දාඩිය ගලනවා. 


හිරු ගිනිගෙන දැවේ සඳු පියකරු              වන්නේ

විල් දිය සිඳේ දන නිරතුරු                            නෑමෙන්නේ

සුව දේ සැඳෑ කල මලවිද                              මැලවෙන්නේ

සොඳුරියෙ ගිම්හානයයි සපැමිණ              ඉන්නේ

සංස්කෘත, සිංහල වගේම ඉංග්‍රීස් භාෂාවෙත් නිපුණ කවියෙක්වන අපේ කරුණාරත්න අමරසිංහ මහත්තයා, හරි ලස්සන පරිවර්තනයක් කරා කාළිදාසගේ ඍතු සංහාරය කියන මහා කාව්‍යයට. ඒකෙ ග්‍රීෂ්ම ඍතුව ගැන තියෙන  පළවෙනි කවිය තමයි මං උපුටා ගත්තේ. මේ වගේ ග්‍රීෂ්ම කාලවලදි මලවි එහෙම නැත්තං මල් අවිය දරන්නා එහෙමත් නැත්තං ආදරයට අධිපති කාමදේව දෙවියන් පවා මැලවී ඉන්න බවයි කාළිදාස කියලා තියෙන්නේ. ඒත් එහෙම කියලා අපි පටන් ගත්තු වැඩේ අතරමග නතර කරන්ඩ බෑනෙ!

මිනිස්සු අතරෙ තියෙන ලස්සන හැඟීම් අතරින් ප්‍රභලම එකක් තමයි ආදරය කියන්නේ. එහෙව් ආදරයට අධිපති දෙවියන් ගැන සහ එහෙම දෙවියෙක් ඕන කියල මිනිස්සුන්ට හිතෙන්ඩ ඇත්තෙ ඇයි කියලා ලියන්ඩ පටන් ගත්තු ලිපි පෙළේ අද ලියන්නේ හතරවැන්න. පළමු කොටස් තුනට යන්න පහත දැක්වෙන ලින්ක් වලින් පුළුවන්.

පළමු කොටස

දෙවෙනි කොටස

තුන්වෙනි කොටස

පහුගිය ලිපිය අවසානෙදි මම ඔබට ආරාධනය කලා අපේ ජෝතිපාල මහත්ත්‍යාගේ අනංගයා මං ගීතය අහන්ඩ කියලා. මෙන්න ඒ ගීතයෙන් උපුටා ගත්තු පද කීපයක්.

අනංගයා මං අනංගයා

ආදරේ ප්‍රේමයේ සුර ලොව තනතුරු දැරූ.....

මා නිසයි ලෝකයේ හැම යුවලම එක්වුණේ

අර සුර ලොවේ මනු ලොවේ

කොතැනත් මගෙ බල පෙනේ......

තරුණ හදක් හොයනවා

මල් පහ සැර යොදනවා

මේ උක්දඬු දුන්න නමා මල් හීයෙන් විදිනවා....!

මට හිතෙන්නේ ඔය ගීතය පබඳින කාලේ තිබ්බ හින්දි තනු වලට සිංහල වචන යොදා ගායනා කිරීම හිංදා‘'තාලෙට හරියන්ඩ වචන එක්කහු කරා මිසක්’ ඒ වචනවල සාහිත්‍යමය නිවැරදිබව ගැන වැඩි සැලකිල්ලක් දක්වන්ඩ නැතුව ඇති. ඇත්තටටම ඉන්දියානු, ග්‍රීක, රෝම වගේම නෝඩික් දෙවිවරු අතරෙත් ආලයේ දෙවියන්ට, දෙවියන්ගේ ආලය ගැන බලයක් තිබ්බා කියලා පැහැදිලිව සඳහන් වෙන්නෙ නෑ.  අනික ඔතන ඔය හැම යුවලම කියපුවම විශම ලිංගික වගේම  සමලිංගික යුවලුත් ඇතුලත්ද? ඊටත් වඩා මගේ හිත පැහැරගත්තේ මෙතන කියන උක්දඬු දුන්නේ කතාවට. ඇත්තටම ආලයට, කැමත්තට, ආශාවට අධිපති ඉන්දියානු දෙවියා වෙච්ච කාමදේව (කාමදේව අනංගයා වෙච්ච විදිහ මුල් ලිපියේ ලියලා ඇති) අතේ තියෙන ඊතල ගැන කතා කරා මිසක් අපි ඔහුගේ දුන්න ගැන කතා කලේ නෑනේ. ඉන්දියානු විශ්වාසයන්ට අනුව කාමදේවගේ දුන්න හදලා තියෙන්නේ උක් දණ්ඩකින් තමයි. ඒ දුන්නේ දුනු දිය එහෙම නැත්තං ඊතලය රඳවන නූල හැදිලා තියෙන්නේ මී මැස්සන්ගෙන්ලු.



කට්ටකාඩුව වෙනුවෙන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි ආලයේ දෙවිවරු! (වමේ සිට දකුණට - ඉන්දියානු කාමදේව, ග්‍රීක ඊරෝස්, රෝමානු කියුපිඩ්, නෝර්ඩික් ෆ්‍රිග් සමග ෆ්‍රෙයා).

මිනිස්සු, මී මැස්සෝ ගැන නම් දඩයම් යුගයේ ඉඳලම දැන ගෙන ඉන්ඩ ඇති. ඒත් උක් දණ්ඩ ගැන මිනිස්සු දැන ගත්තේ ක්‍රිස්තු පූර්ව 8000 දි විතර.  ඉන්දියාවට උක් දඬු හඳුන්වලා දෙන්නේ ක්‍රි.පූ 3000 දි විතර. ඒ කියන්නෙ කාමදේවගේ කතාව ගොඩ නැගෙන්නේ  එහෙම නැත්තං අඩුම තරමේ කාමදේව ගැන දැනට තියෙන කතාව ගොඩ නැගෙන්නේ ක්‍රි. ප. 3000න් පස්සේ. මේකත් එක සාක්කියක් අපි දන්න දෙවිවරු පහළ වෙන්නේ එහෙම නැත්තං මිනිසුන් විසින් ඒ දෙවිවරුන්ට පණ දෙන්නේ මිනිස්සු ගොවි යුගයටත් ඇතුල් උනාට පස්සේ කියන එක. තවත් වචන වලින් කියනවා නම් දෙවිවරුන්ට වඩා නගුල පරණයි. නගුලෙන් ඉපදිච්ච එක භෝගයක් තමයි දෙවිවරු!!

Sunday, March 22, 2026

මින්දද හී සර- සයිකි, ෆ්‍රිග් සහ කුවේණි

 

ගියපාර කතාව අපි නැවැත්තුවේ සයිකිගෙන් උණු තෙල් පාරක් කාපු කියුපිඩ් පොර ටෝක් එකකුත් දීලා අතුරුදහන් වෙලා ගිය තැනින්. කට්ටකාඩුව කියවන කාටවත් දිව්‍ය ඥාණයක්, නොමැකෙන මතකයක් එහෙම තියෙනවා කියල මම හිතන්නෙ නෑ. ඉතිං එහෙම අය ආපහු පාරක් මෙන්න මේ ලින්ක් එක හෙවත් සබැඳිය උඩ ක්ලික් කරලා ඒ කොටස බලලා එන්ඩ.

කාට හරි මේ ලිපි පෙලේ පළමු කොටස බලන්ඩ අමතක උනා නම් මෙන්න ඒකට සබැඳිය.

අතුරුදන් වූ සැමියා ගැන සිතමින් සිටින් සයිකි

ගිය කොටසේ අපි අහන්ඩ ආරාධනා කලේ මින්දද හී සර ගීතය. ඕකෙ මං ආසම කොටසක් තියෙනවා.

මින්දද හීසර වැදී සැළෙන හද

නංවන දුක් ගී ඔබට ඇසෙනවද?

චන්දන මල් අතුරා ඇති යහනට

කන්ද කපා පායන් රන් පුන් සඳ...

ගායකයා ආරාධනා කරන්නේ චන්දන මල් ඇතිරූ යහනට වඩින්ඩ කියලා...කාටද? කන්ද කපා පායන පුන් සඳට...ඇත්තටම ලස්සනම පුන් සඳ දකින්ඩ පුලුවන් වෙන්නෙ 'කන්ද කපා හඳ පායන' දවසට! ඒ කියන්නේ පසළොස්වක පෝයට පස්සෙ දවසට. අනේ ඒ ලස්සන, පිරුණු හඳ තියෙන වෙලාවට නෙවෙයි මිනිස්සු වැඩි වැදගත්කමක් දෙන්නේ ඊට කළින් දවසට! අන්න ඒකයි මට හිතෙන්නෙ මේ ගායකයාට මින්දදයාගේ හී සැරේ වැදිලා තියෙන්නේ ජීවිතේ යොවුන් විය ටිකක් ඉක්ම ගිය වෙලාවක කියලා. ඒත් එයා තාම පුන්සඳ, හඳුන් මල් ඇතිරූ යහනට වඩින්ඩ කියල බොහොම ගෞරවාන්විතව ආරාධනය කරනවා. මේ වැඩේ තවත් දුක්බර වෙන්නේ ඊළග පද පේලියෙන්.

තුරඟෙකු පිට නැගි නීල වලාකුළු

ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ....

පිබිදෙන දෑසින් බලා හිඳිමි මම

කුසුම් සිනා කැන් හද පුරවා...

අපේ සාහිත්‍යයේ නිල් කියල කියන්නෙ සාමාන්‍යයෙන් කළු පාටට. ඒ කියන්නේ අශ්වයෙක් පිටේ නැගලා වගේ වේගයෙන් ඇදිලා යන්නේ කලු පාට වළාකුළු. කළු වළාකුළු ඇදිලා යනවා කියල කියන්නෙ, අහස පැහැදිලි වෙනවා කියන එකයි. ඒ කියන්නේ කන්ද කපා වඩින හඳ හොඳින් බලාගන්ඩ පුලුවන් පැහැදිලි අහසක් උදාවෙමින් තියෙන්නේ...අපේ මේ මදක් වියපත්, ප්‍රේමයෙන් ආතුර වූ පෙම්වතා ඇස් දල්වාගෙන බලාගෙන ඉන්නේ එයාගේ හිත අරගත් පෙම්වතිය එනකල් වෙන්ඩ පුළුවන්... සමහර විට ඔහුගේ ප්‍රේමය තවම ‘ඒ පෙම්වතිය’ නොදන්නවා වෙන්නත් පුළුවන්.

කවුද දන්නේ සයිකි එක්ක පටලැවිලි හදාගෙන ඉන්න කියුපිඩ්ට අමතක උනාවත්ද කියලා ඒ ‘පෙම්වතියට’ රන් හීයෙන් විදින්ඩ? ඉතිං කෝ අපේ කියුපිඩ්?

Sunday, March 8, 2026

මින්දදයෝ ඇවිදින් - කියුපිඩ්ට මල් හී විද්ද සයිකි

අපේ දේවකතා පටං ගත්තු මුල් ලිපිය (බැලුවෙ නැති කෙනෙක් ඇත්නම් බලල එන්ට...මෙන්න සබැඳිය) අන්තිමට මම ඔබට ආරාධනා කලේ මින්දදයෝ ඇවිදින් කියන නිරෝෂා විරාජිනී මහත්මියගේ ගීතය අහන්න කියල ආරාධනා කරමින්. ඒ ගීතය හොඳින් අහගෙන ඉන්න කොට පොඩි අවුලක් තියෙනවා නේද කියල හිතෙන්ඩ පටන් ගන්නවා. හොඳට බලන්ඩ. මෙන්න ඒ ගීතයේ පදවැල.

මින්දදයෝ ඇවිදින්

අහපන් රුක් අත්තන මලකින්

ගෙදරට කිව්වා මං

එනවද ඔය මල් දුන්න අරං

අද හෙට මින්දදයෝ...


විදපන් විදපන් මින්දදයෝ...!

මෙතන ගායිකාව, ‘ගෙදරට කිව්වා’ කියල කියන්නෙ මොකක්ද? ඇගේ පෙම්වතා ගැනද?

 හුගක් වෙලාවට තරුණියක් හංගගෙන ඉඳලා ගෙදරට කියන්නේ තමන්ට පෙම්වතෙක් ඉන්න බව නේද? ඒත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගෙයි. අපි දන්න තරමින් මල්සරා එහෙම නැත්තං මින්දදයා තමන්ගේ හී සැරයෙන් විද්දම තමයි ප්‍රේමයක් හට ගන්නේ. ඒ කියන්නේ දැනටම ප්‍රේමයක් තියෙනවා නම් මින්දදයාට ඇය ඉන්න ගෙදර ගැන රුක් අත්තන මල්වලින් අහන්ඩ අවශ්‍යතාවයක් නෑ. ප්‍රේමයක් තියෙනවා නම්, මින්දදයා ඇය ඉන්න තැන දන්නවා විතරක් නෙවෙයි, එහි ඇවිත් ඇයට මල් හී සැරයකින් විදලත් ඉවරයි. 

එහෙම නම් ඈ ගෙදරට කියන්ඩ ඇත්තේ පෙම්වතෙක් ඉන්න බව නෙවෙයි. වෙනත් පණිවිඩයක් වෙන්ඩ ඕන. ඒක මින්දදයාට එන්ඩ කියල ආරාධනා කිරීමට ඉස්සර වෙච්ච දෙයක් හිංදා මට හිතෙන්නේ ඇය ගෙදරට කියන්ඩ ඇත්තේ ඇය දැන් ප්‍රේමයකට හෝ / හා විවාහයකට සූදානම් බව වෙන්ඩ ඕන. ලංකාවෙ සිංහල විතරක් නෙවෙයි අනික් ජාතිකත්වයක් තියෙන් තරුණියක් උනත් දෙමාපියන්ට තමන් ප්‍රේමයක් පටන් ගන්ඩ සූදානම් කියලා දෙමාපියන්ට හෝ තමන්ගේ භාරකරුවන්ට (ගෙදරට) කියයි කියලා හිතන්ඩ බෑ. එහෙනම් ඈ කියන්ඩ ඇත්තේ ඇය විවාහයකට කැමති බව වෙන්න ඕන.

ඒ කියන්නෙ ඇයට තවම මින්දදයා විදලා නෑ. හැබැයි වඩාත් විය හැකි පරිදි ඇය මොකක් හෝ හේතුවක් හිංද මින්දදයාගේ විදීම ප්‍රතික්ෂේප කරපු, මල් හී සරවලට එරෙහිව පළිහක් අමෝරාගෙන හිටපු කෙනෙක් වෙන්ඩ ඉඩක් තියෙනවා කියල මට හිතෙනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්ඩ. දැන් ඈ ඒ පළිහ අහක් කරලා. මින්දදයා එනකල් මග බලාන ඉන්නවා.

Friday, February 27, 2026

ඇන්ඩෲ, සබ්ජෙක්ට් එක සහ මල්සරා

ගිය සතියේ ඇන්ඩෲ මවුන්ට්බැටන් එහෙම නැත්තං දෙවෙනි එලිසබෙත් රැජින ගෙ දෙවෙනි පුතා, අද උනත් එංගලන්තෙ රජකමට සුදුසුකම් ලබන පෝලිමේ අටවෙනි තැන ඉන්න කෙනා එහෙ පොලීසියේ අත් අඩංගුවට පත් උනා. රජ ගෙදර හිටිය රජ කුමාරයෙක් උනත් පොලිසියෙන් කුදලගෙන ගියේ ජෙෆ්‍රි එප්ස්ටීන් කියන ‘ලිංගික ජාවාරම්කාරයා’ එක්ක එක්කහු වෙලා කරපු නොපෙනත්කම් ගණනාවක් මාධ්‍යයට හෙළිදරව් වෙච්ච හිංදා. ඔන්න එතකොට තමයි මට මතක් උනේ මිනිස්සු මොනතරම් පල්ලෙහාට වැටෙනවද මේ ‘සබ්ජෙක්ට්’ එක හිංදා කියල.

ඔන්න ඒ ගැන හිතිච්ච දේවල් කීපයක් තමයි මේ කියන්ඩ යන්නෙ.


කාමදේව, ශිව දෙවියන්ට මල් හී සැර යැවීමට සැරසෙමින් සිටියදී.....

සබ්ජෙක්ට් එකේ කප් ගහපු අය වගේම ඕක මොකද්ද කියලවත් නොදන්න ඕන තරං චරිත අපිට එදිනෙදා හම්බ වෙනවා. ඒ අතරෙ ඉන්නවා මලෙන් උපන් ශුද්ධවන්තයෝ. වික්ටෝරියානු සදාචාරය ඉහ මුදුනින් අරගෙන මෙවුන්දලා කියනවා අනේ අප්පෝ ඔය LGBTQI වගේ ‘විලිසංගෙ නැති දේවල්’ අපිට ආවෙ බටහිරෙන්, මේ වෙළද සමාජ ක්‍රමයත් එක්කය ඊට කලින් අපි මහා සුපිරිසිදු සමාජයක කොටස් කාරයෝය කියල. අන්න එහෙම කියන එව්වො තමයි ‘මීයො දෙන්න දෙන්න අල්ලන්නෙ’! එහෙම උන්දැලාට මගේ ආරාධනය අවුරුදු දෙදාස් හයසීයකට විතර ඉස්සර දේශනා කරල පස්සෙන් පහු කාලෙක පොත්වල ලියපු විනය පිටකයේ පාරාජිකා පාළිය කියවන්ඩ කියන එක.

Wednesday, December 10, 2025

සූරියකාන්ත මල් සහ ගංජා මිටිය

 

චාල්ස් ඩිකන්ස් කියන එංගලන්ත ලේඛකයා- අපේ අප්පච්චිට අනුව නං ඒ.ජේ.ක්‍රොනින් තමයි හොඳම ඉංග්‍රීසි නවකථා කාරයා ඊට පස්සෙ ඉන්නෙ මේ කියන ඩිකන්ස් උන්දැ- ලියල තියෙනවා පොතක්. නම A Tale of Two Cities. ඕක සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා දෙනුවර අන්දරය කියලත්. ඒ කොහොම උනත් මං මේ කියන්ඩ හදන්නෙ ඒ පොතේ මුල්ම පරිච්ඡේදය ගැන.

It was the best of times, it was the worst of times, it was the age of wisdom, it was the age of foolishness, it was the epoch of belief, it was the epoch of incredulity, it was the season of Light, it was the season of Darkness, it was the spring of hope, it was the winter of despair, we had everything before us, we had nothing before us, we were all going direct to Heaven, we were all going direct the other way—in short, the period was so far like the present period, that some of its noisiest authorities insisted on its being received, for good or for evil, in the superlative degree of comparison only.

ඒකෙ සිංහල පරිවර්තනයක් ගත්තොත් මට තේරෙන විදිහට මෙන්න මෙහෙමයි.

"එය වනාහී හොඳම කාළය විය. එමෙන්ම එය ඉතාම නරක කාළයද විය. එය බුද්ධි මහිමයේ යුගය විය. එමෙන්ම එය මුග්ධබවේ යුගයද විය. ඒ යුගය විශ්වාසයේ පරප්‍රාප්තිය මෙන්ම සැකයේ, අවිශ්වාසයේ සහ අතීරණයේ යුගයද විය. සියල්ල අප ඉදිරියේ තිබුණි. එහෙත් අප ඉදිරියේ කිසිවක් තිබුනේ නැත. අප සියල්ලන්ම කෙළින්ම දිව්‍ය ලෝකයට යන මාවතකට වැටී සිටියෙමු. එහෙත් එහි ප්‍රතිවිරුද්ධ දෙසට අප යන බවක්ද දිස්විය.කෙටියන්ම කිවහොත් ඒ යුගය වත්මන් යුගය මෙන්ම විය. සමහර ඉතා ඝෝෂාකාරීව සිය මත ඉදිරිපත් කරන අධිකාරයන් සපථ කල පරිදිම එය අන්තයන්ගේ යුගය විය. එක්කෝ ඉතා හොඳය. එක්කෝ ඉතා නරකය. සුදු හෝ කළු මිස අලු කිසිවක් නොවීය".

කට්ටකාඩුවට අන්තිමට පැලයක් හිටෙව්වෙ අවුරුදු එක හමාරකට විතර ඉස්සර. ජීවිතේ වගේම විවිධ හැල හැප්පිලි තිබ්බත් හීං සීරුවේ වැවේ සොරොව්වෙන් වතුර ගලාගෙන ගිහිල්ලා කුඹුරු සරුවට පැහෙන කල් කාටවත් වැවේ ආරක්ෂාවට තියෙන කට්ටකාඩුව මතක් වෙන්නෙ නෑ. මහ වැස්ස ඇවිල්ලා, සොරොව්වට දරා ගන්ඩ බැරි වතුරක් වැවට එක්කහු වෙනකොට තමයි කාට කාටත් වැව් බැම්මේ, කට්ටකාඩුවේ අගය තේරෙන්නේ. ඉතිං අපි ජීවත් වෙන්නෙත් අන්න එහෙම නා කපන වැහි වැටිච්ච අබුද්දස්ස කාලෙක වෙච්චි, මටත් ආයෙත් කට්ටකාඩුවට පැලයක් දෙකක් එක්කහු කරන්ඩ හිතුනා.



ඇත්තටම ලොකු මලයා අත්දැකපු ලොකුම විනාසේ තමයි මේ පහුගියදා ඇති වෙච්ච ගංවතුරයි නායයෑමයි. සුනාමියෙන් වෙච්ච අනතුර- ජීවිත හාණි විදිහට විශාල උනාට ආර්ථික, සමාජයීය විදිහට මේතරම් විශාල නෑ කියලයි මට හිතෙන්නෙ. මේ ගංවතුරයි නායයෑමුයි, ජාතියක් විදිහට ශ්‍රී ලාංකිකයන්ගෙ මතකයේ රැඳිලා පවතියි පරම්පරා ගණනක් යනතුරුම. ඉතිං ඒ තමයි මේ යුගයේ කලු බව- මුග්ධ බවේ, සැකයේ, අවිශ්වාසයේ, අතීරණයේ, අපායගාමීබවේ, හිස් බවේ සංකේතය! . කෝ එතකොට සුදු?  

සුදු එහෙම පෙනෙන්නෙ නෑ. මැණික් වගේ අපි අමාරුවෙන් මතු කර ගන්ඩ ඕන. හැබැයි ඒක එච්චර අමාරුත් නෑ. මං කියන්නංකො කතා දෙකක්. ඕං අහගන්ඩ.