Sunday, July 19, 2020

ස්මාට් ෆෝන් වල දමන්නා

ගිය සතියේ බ්ලොග් පෝස්ට් එකක කමෙන්ට් එකක් ගැන කට්ටකාඩුවට නිතර ගුරු හරුකම් සපයන 'ඩොක්ට ඩී' එක්ක අදහස් හුවමාරුවක් උනා. එතෙන්දි එතුමා කිව්ව කතාවක් මගේ හිත බැඳ ගත්තා. මේ කතාව හැබෑ සිද්ධියක්ද නැත්නම් යාන්ස් එකක්ද කියලනං මම දන්නේ නෑ.

කතාවට පාදක වෙන්නේ දෙවෙනි ලෝක යුද්දයෙන් පස්සේ නැගෙනහිර හා බටහිර විදිහට බෙදිලා වෙන් වෙච්ච ජර්මනිය. නැගෙනහිර ජර්මනිය සෝවියට් රුසියාවට හිතවත් සමාජවාදී කඳවුරට ගමන් කරද්දී බටහිර ජර්මනිය ධනවාදී කඳවුරත් එක්ක ඉස්සරහට යමින් හිටියා. දෙවනි ලෝක යුද්ධයේදී නාසිවාදයෙන් ජර්මනිය බේරා ගන්ඩ වැඩිපුර ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කලේ රුසියාව. හැබැයි ධනවාදයත් එක්ක බටහිර ජර්මනිය ඉක්මන් ආර්ථික සංවර්ධනයක් ලඟා කරගනිමින් සිටියා. මේක නැගෙනහිර ජර්මානුවන්ගේ ඇහේ කටු අනිනවා වගේ වැඩක්! නැගෙනහිර ජර්මානුවෝ කරේ තමුන්ගේ පැත්තේ තියෙන කුණු ගොඩවල් බටහිර පැත්තට දාපු එක. අපේ ගඳ ගහන දේවල් ගොඩ ගහන්ඩ තමයි උඹලගේ රට තියෙන්නේ!!!

දැන් බටහිර ජර්මන්නු කලේ මොකක්ද දන්නවද?

Sunday, July 5, 2020

ගන්සී සාහිත්‍ය හා අල පොතු පයි සමාජය


සමහර නරක දේවල් වෙන්නේ හොඳට. ඔව් ටිකක් විතර බූත කියමනක් උනාට ඒක එහෙම තමයි. මං අද කියන්ඩ යන්නෙත් එහෙම සිද්ධියක්. සිද්ධියක් කීවට මේක සිද්ධි දාමයක්. හැබැයි අනන්ත සිද්ධි අතරින් සිද්ධි දහයක් දොලහක් සලකපුවම ඒක ගණන් ගත නොහැකි තරමේ සුළු දෙයක්. මේ කතාව පටන් ගන්නේ මගේ යෞවනෝදයත් එක්ක...

ඒ කාලේ මට ඉංග්‍රීසි කියන භාෂාව අණ්ඩර දෙමල වගේ. මට හොඳට මතකයි අට වසරේ ඉංග්‍රීසි පොතේ තිබ්බ පාඩමක්. ඇත්තටම ඒක කතන්දරයක්. පහුවදාට ඒ කතන්දරේ ගැන ඉස්කෝලෙදි සාකච්චා කරන හිංදා කතන්දරේ කියවගෙන එන්ඩ කියල ඉංග්‍රීසි මැඩම් කිව්වා. මම නවාතැන් අරං හිටපු ගෙදර අයියාගෙන් ඇහුවා පාඩම කියල දෙන්ඩ පුලුවන්ද කියල. ඔහු කැමති උනා. මම දැන් සද්ද නගල පාඩම කියවනවා.

ඔය කියන්නේ කතන්දරේ නෙවෙයිනේ? අයියා කියනවා.

මේ කතන්දරේ නෙවෙයිද?

ඔයා කතන්දරේ පටන් තැනවත් දන්නේ නැද්ද?

Friday, April 10, 2020

පෙර පිනක් තියෙනවානම්......!!!


වසන්ත කාලේ පායන පුර හඳ කියන්නේ දකින්ඩම ඕන කාරණයක්. ඊට වඩා ලස්සන හඳක් මම දැකල තියෙන්නේ අවුරුදු විස්සකට විතර ඉස්සර පේරාදෙණියේදී. ඒ මාර්තු මාසේ පැහැදිලි අහසක් තිබ්බ රැයක්. හන්තාන කන්ද උඩින් කළා දොළොසක් විතර පිරුණු හඳක් නැගගෙන ඇවිත්. මම මනෝරත්න මහත්තයාගේ අන්දරේලා බලනවා එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයෙදි ඒ කියන්නේ සුප්‍රසිද්ධ පේරාදෙණියේ වලේ දි. සීතල හුළඟක් හමාගෙන යන්නේ හරියට මේ මනු ලෝකෙට බැහැලා අන්දරේලා නාට්‍යය බලන්ඩ බැරිවෙච්ච දුකට අර හඳ සුසුම් ලනවා වගේ. ඒ හුළඟ සීතලයි. වල අසබඩින් ගලාගෙන යන මහවැලියේ  වතුර ගලන්නෙත් හරියට අමරදේව මහත්තයා ගායනා කරනවා වගේ 'දහසක් අපගේ ප්‍රාර්ථනා' එක්කහු කරගෙන වගේ.

අදත් එහෙම රැයක්. කඳු මුදුනින් ලස්සනට හඳ පායලා. කොහෙන්දෝ එන සීත සුළං රැල්ලක් ගත කුල්මත් කරනවා. මොනවද මේවගේ කොරෝනා කාලේ නිවාස අඩස්සියේ ඉන්න දවසක, ලස්සන හවස් යාමෙක වෙලාවක ඉටු කරගන්ඩ තියෙන මහාවැලිය මහා ගඟ උතුරා යන තරමේ ප්‍රාර්ථනා? අනේ මට ඒ ලස්සන ගැමි ඌරුවට ගැයෙන කවියක් අහන්ඩ තියෙනවා නං ලස්සන බෙර පදේකුත් එක්ක....මම දෑස් පියා ගන්නේ ඒ රසය විඳින්ඩ.

Thursday, April 2, 2020

වෙසක් සඳ නොකියන රහසක් තිබේද?



කොරෝනා බය හින්ද ගෙදරට වෙලා හිටියත් කට්ටකාඩුව පැත්තේ ගොඩ වෙන්ඩ වෙලාවක් නැති උනේ ' ගෙදර ඉඳන් වැඩ' සංකල්පයක් ක්‍රියාත්මක වෙන හිංදා. ඒ හින්ද ඇත්තටම වෙනදට වඩා වැඩ කිව්වොත් වඩා නිවැරදියි. ඉතාලියේ, ස්පාඤ්ඤයේ,  ඇමරිකාවේ, විතරක් නෙවෙයි ලෝකේ හතර දිග් බාගෙම කොරෝනා මරණ සංඛ්‍යාව දහස් ගණනින් වැඩි වෙන මේ වෙලාවේ ඒ  රාජ්ජවල ඉන්න හැමෝටම ඉතා ඉක්මනින් නිදුක් නිරෝගී බව ලැබෙන්ඩ කියල ප්‍රාර්ථනා කරන ගමන්  තවමත් ඉදිරිපිට පෙනෙන්ඩ තියෙන නමුත් ඇත්ත පිලි ගන්නේ නැතිව මරි මෝඩ හැසිරීමක් දක්වන සමහර දෙනාට කරුණාකර ගෙදරට වෙලා ඉඳලා කොරෝනාව මර්දනය කරන්ඩ රජයට සහය දෙන්ඩ කියල ඉල්ලන ගමන්ම  අදවත් කතාවක් ලියන්ඩ කියල හිතුනා.

ඇෆ්රිකාවේ තියෙනවා බුරුන්ඩි කියල රටක්. රටේ තවම කොරෝනා රෝගීන් කිසිම කෙනෙක් වාර්තා වෙන්නේ නෑ. ඒ හින්දම කොරෝනා වලට ලොකු සූදානමක් හෝ වට බැඳීමකුත් පේන්ඩ නෑ. ඉතින් එක මාධ්‍යවේදියෙක් මේ රටේ ජනාධිපතිතුමාට කතා කරලා ඇහුවලු ' කොහොමද ජනාධිපති තුමා බුරුන්ඩිය කොරෝනා වෙන නිදහස්ව තියා ගන්නේ කියල? ජනාධිපති තුමා ගත් කටටම කිව්වලු " ආ...ඒක හරි ලේසියි අපිට තවම කොරෝනා තියෙනවද කියල ටෙස්ට් කරන්ඩ පහසුකම් නෑ!!!! කියල"  මේ කතාව විහිලුවකට ගොතපු එකක් නෙවෙයි කියල මම හිතුවත් මීට පැය දෙක තුනකට ඉස්සර බුරුන්ඩි ආණ්ඩුව මේ ටෙස්ට් කිට් නැති වීමේ කතාව බොරුවක් බව ප්‍රකාශ කරලා තිබ්බා. කොහොම නමුත් තවම එහෙ කොරෝනා ලෙඩ්ඩු නෑ!!!. මට නිකමට හිතෙනවා අර ලංකාවෙත් ඉන්න "ඉදිරිපිට පෙනෙන්ඩ තියෙන නමුත් ඇත්ත පිලි ගන්නේ නැතිව මරි මෝඩ හැසිරීමක් දක්වන" මිනිස්සු වගේ කොරෝනා ගැන ටෙස්ට් නොකර ඉන්න එකත් රෝගීන් ගණන කෘතිමව අඩුවෙන් තියාගන්ඩ තියෙන එක ක්‍රමයක් කියල.

මේ බුරුන්ඩි කතාව වගේ ඉදිරිපිට පේන්ඩ තියෙන නමුත් ඇත්ත පිලි නොගන්න අවස්ථා කොච්චර තියෙනවද? වර්තමානයේදී වගේම ඉතිහායේදීත් එහෙමයි. මට මේ ලඟදි කියවන්ඩ ලැබුණු පර්යේෂණ පත්‍රිකාවකින් මේවගේ දෙයක් ගැන මටත් දැනගන්ඩ ලැබුනා. ඒ ගැන 'කොරෝනා නිවාඩුවේදී' ටිකක් හොයල බලපුවාම ඇත්ත කියලත් හිතන්ඩ පුළුවන් සාධක ගණනාවක්ම ලැබුනා. අද මම කට්ටකාඩුවෙන් කියන්ඩ යන්නේ ඒ සිද්ධිය  ගැන.