Friday, December 29, 2017

විල්පත්තුවේදී මුව හමට තඩි බෑම


අද වෙනකොට විල්පත්තුව ගැන දන්නේ නැති එකෙක් වත් හොයාගන්ඩ අමාරුයි. විල්පත්තුවට ජීවිතේට අඩිය නොතිබ්බ හුග දෙනෙක් දැන් විල්පත්තුවේ  මායිම් ගැන දන්නවා. මේ ලගදි කැලෑ කන්තෝරුවේ ලොකු මහත්තැන් කෙනෙක්ව එල්ලුම් ගස් යවන්ඩ සුදුසුයි කියලත් සමහරු කියනවා මං අහගෙන. කාලෙකට ඉස්සර නං අම්බ හොරු රෑනක් ගෝල් පේස් පිට්ටනියට ගෙනැත් එල්ලන කල් අපි බලා ගෙන හිටියා. ඒත් එහෙම කවුරුවත් ඇත්තටම එල්ලුම් ගස් යැව්වේ නෑ.  මේ පාරත් ඔය කවුරු පාරම් බෑවත් කවුරුවත් එල්ලුම් ගස් යන එකක් නෑ. හැබැයි හැලපතුමා දාලා තිබ්බ පෝස්ට් එකක් හිංද මට හිතුනා ඔය විල්පත්තු කතන්දරේ තව පැත්තක් පෙන්නලා දෙන්ඩ. ඔන්න පුලුවන්නං මේ හේතු ටික නැතිකරලා දාන්ඩ පුලුවන් ජගතෙක් හිටියොත් අපේ කැලෑ ටික බේර ගන්ඩ පුළුවන් වෙයි.


ඊට කලින් කතන්දරයක් කියල හිටින්නං කොහොමද සමහර නිලධාරියෝ අතීතේදී කැලෑ ටික බේර ගත්තේ කියල කාටත් තේරෙන්ඩ. අපේ කැලෑ දෙපාර්තමේන්තුවේ ඉහලම පුටුවේ හිටියා බණ්ඩාර මහත්තයා කියලා උත්තමයෙක්. එතුමා බොහොම දිග කාලයක් ඒ තනතුර දැරුවා. ඔය කාලේ කැලෑ බාර ඇමතිතුමා විදිහට පත් වෙලා හිටියේ මාතර පැත්තේ චරිතයක්. එතුමා කම්පනා කළා මේ එක එකා හොරෙන් කැලෑ කපන එක නවත්තන්ඩ හොද ක්‍රමයක්. දවල් රෑ මේ ගැන කම්පනා කරපු ඒ ඇමැත්තා ඒකට හොඳ කෙරේමයක් හොයා ගත්තා. ඒ තමයි කැලෑ ටික නීත්‍යානුකූලව කපලා දාන එක!!! හොරෙන් කපන්නේ කැලෑ තිබුනොත්නේ. කැලෑ නැති උනාම මක්කද කපන්නේ???? කොහොමද එතුමගේ ටිකිරි මොලේ?   


ලංකාවේ පවතින නීතියේ හැටියට කැලෑ වවන්නේ කැලෑ දෙපාර්තමේන්තුව. කපන්නේ රාජ්‍ය දැව සංස්ථාව. ඔය තේරෙන සිංහලෙන් කිව්වොත් ටිම්බර් කෝපරේෂන් එක. ඉතින් අර ඇමතියා එන්ඩ කිව්වා බණ්ඩාර මහත්තයට.  ඇමතියා නිල් පාටින්. බණ්ඩාර මහත්තයා රතු පාටින් මෙහෙම කතා වෙනවා (මේ පාට දෙකින් කතා කරන ක්‍රමේ කට්ටකාඩුවට කොපි කරේ යාන්හෑල්ල ලියන අපේ සුරංග තුමාගෙන්)  .

"මම ඔබ තුමාට එන්ඩ කිව්වේ මේ කැලෑ හොරෙන් කපන එක නවත්තන්ඩ ක්‍රමයක් හදන්ඩ"

"ආ ඒක හොඳ දෙයක් සර්"

"ඔබතුමාගේ දෙපාර්තමේන්තුව යටතේ තේක්ක කැලෑ තියනවනේ ?"

"ඔව්"

"එව්වා ටික ටිම්බර් කෝපරේෂන් එකට පවරන්ඩ කටයුතු කරන්ඩ!!"

"එහෙම බෑ සර්!!"

"ඇයි බැරි?"

"ඒ  කැලෑ පවරන්ඩ ඕන හරි කාලයෙදී. ඒ ගස් පවරන කොට රජයට ගාස්තුවක් ගෙවන්ඩ ඕන."

"ඒ ගාස්තුව ටිකෙන් ටික ගෙවෙන ක්‍රමයක් හදන්නම්"

"ඒත් මම කැමති නෑ තේක්ක කැලෑ ටික දැව සංස්ථාවට දෙන්ඩ!"

දැන් ඇමතියාට තද වෙනවා මේ රජයේ නිලධාරියා තමන්ගේ අණට අකීකරු වෙන එක ගැන.  

"මිස්ටර් බණ්ඩාර හොඳට මතක තියා ගන්ඩ මේ කැලෑ කියන්නේ තමුන්ගේ පෞද්ගලික බූදලයක් නොවෙන බව!!!"

"ඇත්ත සර්. මේ කැලෑ මගේ පෞද්ගලික බූදලයක් නං මට සර් කියන විදිහට දෙන්ඩ තිබ්බා. හැබැයි සර් මේ කැලෑ රජයේ දේපලක්. මාව පත් කරලා මිනිස්සුන්ගේ බදු වලින් පඩි ගෙවන්නේ ඒක රැකලා දෙන්ඩ. ඒක හින්දයි මම බෑ කියන්නේ!!"

ඇමතියා කට වහ ගන්නවා. මේ නිලධාරියා තමන්ගේ පදේට නටන රූකඩයක් නෙවෙයි කියලා උන්දැ තේරුං ගන්නවා. අර ප්ලෑන් එක එතනින් නවතිනවා.

මම සිරිතක් විදිහට මේ පෝස්ට් වලදී ඇත්ත නං පාවිච්චි නොකලත් අද බණ්ඩාර මහත්තය ගැන කිව්වේ එතුමගේ එඩිතර බවට මට පුදන්ඩ පුළුවන් උපහාරය ඒ නම සඳහන් කිරීම හිංදා.

දැන් අපි එමු විල්පත්තු කතන්දරේට. හුග දෙනෙකුට මේ ගැන තියන ප්‍රශ්න මෙව්වා.

1. මේ කපන්නේ විල්පත්තු කැලේද?
2. මේ පැරණි මුස්ලිම් ජනාවාසයක් නැවත එලි කිරීමක්ද?
3. ඒ ඉඩම් පැවරීමේදී ගත යුතු නිසි ක්‍රියා මාර්ග ගෙන තිබේද?
4. මෙය තනි දේශපාලකයෙකුගේ වැඩක්ද නැත්නම් ඊට වෙනත් අයත් සම්බන්ධද?
5. ඇත්තටම මේ පදිංචි කෙරෙව්වේ අසරණ ඉඩම් අහිමි අනාතයෝද?
6. මීට කලින් මෙහෙම දෙයක් වෙලා නැද්ද?
7. දැන් මොකද වෙලා තියෙන්නේ?
8. මෙවැන්නක් වැලක්වීමට ගත හැකිව තිබූ ක්‍රියා මාර්ග අදාළ ආයතන විසින් ගත්තේද?

මං දන්නා තරමින් මෙන්න උත්තර.

1. මේ කපන්නේ විල්පත්තු කැලේ නෙවෙයි. ඊට යාබදව තියන විලයිත්තිකුලම් රක්ෂිත වනාන්තරය. විල්පත්තුව අයිති වෙන්නේ වන ජීවී දෙපාර්තමේන්තුවට. විලයිත්තිකුලම් අයිති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. හැබැයි විලයිත්තිකුලම් කියන්නේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරපු රක්ෂිත වනයක්. ඒ කියන්නේ මේ කැලෙත් ඉතාම වැදගත් එකක්. කවුරු හරි කියනවනං ඒක වැදගත් නෑ කියල එක්කෝ ඒ කියන කෙනාගේ නැත්තන් මේක රක්ෂිත වනයක් කියල ප්‍රකාශ කරපු කට්ටියගේ මොලේ පරීක්ෂා කරන්ඩ ඕන.

2. පරණ මුස්ලිම් ගම් දෙක තුනක් තිබිච්ච හරියත් මුළු ජනාවාසයට අයිතියි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මුලින් හෙක්ටාර් දාහක් ඉල්ලලා පස්සේ හත්සිය පනහට දු වෙලා අන්තිමට හයසීයක් නිදහස් කරපු විලයිත්තිකුලම් රක්ෂිත ප්‍රදේශය ගැන. අනික පරණ මුස්‌ලිම ජනාවාසේ එලි කිරීමක් නං ඒ පරණ ජනාවාසේ හිටපු කට්ටියටනේ ඉඩම් දෙන්ඩ ඕන. මෙතැන ඉඩම් දීපු ලැයිස්තුව ගත්තොත් ඒ හුගක් ය මේ ප්‍රදේශයේ මුල් ගං කාරයෝ නෙවෙයි.

3. නෑ. රක්ෂිත ප්‍රදේශයක් මොකක් හරි සංවර්ධන වැඩකට යොදා ගන්ඩ ඕන නං ඉස් ඉස්සෙල්ලාම ගැසට් නිවේදනයක් නිකුත් කරලා ඒ ප්‍රදේශයේ 'රක්ෂිත' බව ඉවත් කරනවා කියල ප්‍රසිද්ධ කරන්ඩ ඕන. ඊට පස්සේ ජාතික පරිසර පනත අනුව හෙක්ටාර් එකට වඩා   වැඩි කැලෑ ප්‍රමාණයක් සංවර්ධන  වැඩකට යොදා ගන්නවනං පාරිසරික බලපෑම් පිලිබඳ වාර්තාවක් (Environmental Impact Assessment -EIA) හදන්ඩ ඕන ඒ ගැන දන්නා විශේෂඥයෝ එක්කහු වෙලා. ඊට පස්සේ අර පරිසර වාර්තාවේ කොන්දේසි වලට අනුකූලව තමයි අදාළ සංවර්ධන  කටයුතු වෙන්ඩ ඕන. මෙතෙන්දි අර මුලින් කියපු ගැසට් එකකුත් නෑ. පරිසර බලපෑම් වාර්තාවකුත් නෑ. කොහොමද පවතින නීතියට පිටිං වැඩ වෙන්නේ. නීතිය ඉස්සරහා හැමෝම සමානයි කියලනේ බොලව් අපිට උගන්නන්නේ!!!

4. මේ වැඩේ පටන් ගන්නේ අපේ රටේ හිටිය 'බැරා' ඇමති තුමා. එතුමගේ ඉල්ලීමට / බල කිරීමට කුක්කෙක් වගේ යටත් වෙලා ඉඩම් නිදහස් කරන්නේ කැලෑ කන්තෝරුවේ හිටපු ලොකු මහත්තයා (අර බණ්ඩාර මහත්තයා වගේ කේසර සිංහයෙක් වාඩි  වෙච්ච පුටුවේ පස්සෙන් පහු වෙනකොට හිකනල්ලු වාඩි වෙච්ච අබුද්දස්ස කාලයක් ආයිබෝං මේක!!!). ඊට පස්සේ 'බැරා' ඇමති වටිනා කියන ගස් ටික කැපුවට පස්සේ 'රිබා' ඇමති ඉඩම් බෙදලා තමුන්ගේ සපෝටර්ලා පදිංචි කරවනවා. ඒ වෙනකොට 'බැරා' ඇමති නෑ. යහපාලනේ ඇවිල්ලා. 'රිබා' ඇමැතිත් අලුතෙන් තව ගස් කපනවා. මේ කාලේ පරිසර ඇමති කවුද කියලා මං කියන්ඩ ඕන නෑනේ. 

ඊට අමතරව ඔය ඉඩම් අනාථයෝ අතරේ බෙදන්ඩ නං  අදාළ ප්‍රාදේශීය ලේකම් තුමා දිස්ත්‍රික් ලේකම් තුමා ඇතුළු කට්ටියම සහතික කරන්ඩ ඕන මේ අසරණයන්ට මීට කලින් කිසියම්ම කිසි ඉඩමක් ආණ්ඩුවෙන් දීලා නෑ කියලා. අනේ අම්මපා ආයිබොවන් මෙතන පදිංචි සමහර 'අනාථයන්ට' පුත්තලමෙත් ඉඩම් දීලා තියනවා ඒ මදිවට මන්නාරමේත් ඉඩං දීලා තියනවා. ඉතින් මොකෝ විලත්තිකුලමේත් ඉඩමක් දුන්නහම නේද? ඊට අමතරව දැන් යන කතාව නේ අර 'රිබා' ඇමති තුමා ඔටු දේසෙන් සල්ලි ගෙනල්ල ගෙවල් හැදුවා කියලා. එතකොට කැන්ගරු දේසේ සල්ලි වලින්, එක්සත් ජාතීන්ගේ සල්ලි වලින් මෙතන උනේ මොනවද? ඒ කියපු රටවල් සියඹලා ගෙනල්ලම නැද්ද? අත ලෙව කාලා බලන්ඩකෝ ඇඹුල් රහද කියලා!!! 

ඒ ඔක්කොම පැත්තකින් තියමු. තමන්ගේ අතින් වෙච්ච වැරැද්ද නිවැරදි කර ගන්ඩ කැලෑ කන්තෝරුව නඩු දැම්මේ නැත්තේ ඇයි? ආණ්ඩුව පෙරලිලා අලුත් ආණ්ඩුවක් ඇවිල්ලනේ තිබ්බේ 2015 වෙනකොට. ගස් කැපිල්ල 2016 වෙනකල්ම සිද්ධ උනා.  

5. නෑ. මං ඉස්සෙල්ලත් කියල තියනවනේ. සමහරුන්ට පුත්තලමෙත්, මන්නාරමේත් ඉඩම් තියනවා. දැන් යාපනෙත් ඉඩම් නිදහස් කරන හිංදා මේ යටම එහෙත් මුල් ඉඩම් වල අයිතිය තියනවා වෙනඩ පුළුවන්.

6. වෙලා තියනවා අපොයි මොකද නැත්තේ. අර කියපු 'බැරා' ඇමැතියි තව කට්ටියකුයි වවුනියාවේ මීට වඩා ලොකු කැලෑ එලි කළා. ඔය කාලෙම. යන්ඩකෝ කැලෑ බෝගස් වැව පැත්තට. දැන් ඒ හරියට කියන්නේ නාමල්ගම කියලා මගේ හිතේ. පදිංචි කෙරෙව්වේ බදුල්ලෙන්, මොනරාගලින්, හම්බන්තොටින් ගෙනිච්ච මිනිස්සු. ලී ගෙනියන්ඩ හදපු අඩි තිහකට වඩා පළල, බොරළු දාලා හදපු පාරවල් මගේ මේ ඇස් දෙකින් දැකලා තියනවා එහේ. තව කියන්ඩ පුළුවන් හැබැයි ඒ තැන් මම දැකලා නෑ. ඉතින් ඒ හිංදා මං කියන්නේ නෑ.

7. ඝන කැලෑවක් ලඟට මිනිස්සු ගෙනිහින් දැම්මට ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ විදිහක් නෑ. බොන්ඩ වතුර නෑ. ඉතිං මිනිස්සු ආපහු තමං හිටපු හිටපු තැන් වලට ගියා. සමහරු ඒ ඉඩං කාට හරි විකුණයි. සමහරුන්ට ඒ ඉඩං වලට අයිතිය කියන්ඩ කිසිම ලියවිල්ලක් නෑ. ඉතිං ඒ මිනිස්සු හිතාවි විලයිත්තිකුලමේ ඉඩම් ඒ මිනිස්සු දැක්ක හීනයක් කියලා.

8. නෑ. සමහර එන්.ජී.ඕ. නඩු දැම්මා. ඒ නඩු උසාවියෙන් අහක දැම්මේ ඇයි? හරි නීති උපදෙස් හම්බ උනේ නැද්ද? මේ අපරාධය වලක්ක ගන්ඩ අතුරු තහනං නියෝගයක් කවුරුවත් නොගත්තේ ඇයි? දැන් ඔය කෑ ගහන ඔක්කොටෝමත් එහෙම අතුරු තහනමක් ගන්ඩ තිබ්බා. තමුන්නේ අම්මගේ තාත්තගේ සොහොන් හදන්ඩ මහා දවල් සල්ලි හොරකං කරපු එව්වෝ තමුන්ව අත් අඩංගුවට ගන්ඩ එපා කියලා රීට් ආඥා අරං සුවසේ ඉන්ඩ පුලුවන්නං ඇයි රිබා ඇමති කරන දේට විරුද්ධව එහෙම අතුරු තහනමක් ගන්ඩ බැරි? ආයෙත් මට කියන්ඩ තියෙන්නේ ඇත ලෙවකාලා බලන්ඩ කියලා. ඇඹුල් රහ නං හීනෙන් හරි සියඹලා ගෙනිහිං තියනවා!!!

මේ ඔක්කොම තව ටික කාලෙකින් අමතක වෙලා යයි. හැබැයි අඩු ගානේ කවුද වැරදි කියල හොයල බලනවට වඩා වටිනවා මොකක්ද වැරදුනේ කියල හොයල බලල ඒකට ප්‍රතිකර්ම යොදන එක. සමාජයක් විදිහට අපේ තියන් හිල් වලින් තමයි මේ තෝරු මෝරු පැනල ගියේ. යන්නේ. ඒ හිල් හොයාගෙන වහන්ඩ කවුරු හරි අවංක උත්සාහයක් දරනවනං එදාට තමයි සතා සීපාවා නිදහසේ හුස්ම ගන්නේ. ගස් වැල් නිදහසේ අපිට සෙවන දෙන්නේ.

එහෙවු නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන!!

මේ මගේ නව වසරේ පැතුම!!  ඔබ හැමටම සුභ නව වසරක් වේවා!!!

2018 දී නැවත හමුවෙමු!!!!

දෙමළ කිවිදියක් ඉන්නවා ඔවයියාර් කියලා. එතුමා ලියනවා මෙහෙම කවියක්.

වාරප්පුයාර නීර් උයාරුම් 
නීර් උයාර නෙල් උයාරුම් 
නෙල් උයාර කුඩි උයාරුම් 
කුඩි උයාර කොඩි උයර්වාන් 

දල වශයෙන් සිංහල අනුවාදය මෙහෙමයි.

උස් කොට බැන්දොතින් නියර රැස්වෙයි දිය එපමණටම 
රැස් උනු දිය මතින් නැගෙයි නීල ගොයම අහස උසට 
එයින් පිරෙන බිස්ස නිසා සරු වෙයි දන දිවි පැවැත්ම 
සරු දන දිවි නිති සුරකියි රජුනගේ යසස ද කිතු ගොස


ඔන්න රජෝ තුප්පහි වැඩ කරලා බෑ මිනිස්සුන්ගේ මතකයේ ඉන්ඩ. කරනවනං කරන්ඩෝන වැඩ ඔය කියන්නේ ඔවයියාර් කිවිදිය!!

කල්  වැසි වසීවා
අටු කොටු පිරී යේවා
සැප උදා වේවා
රජය දැහැමිව වැඩ සදාවා

24 comments:

  1. විල්පත්තුව ගැන ලොකුවට කෑගැහැව්වාට සද්දේ විරයි වැඩ නෑ තමයි.
    කට්ටකාඩුවේ ලොකු මල්ලීට සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. මට ඒක හින්දම තමයි රණසිංහ ආරච්චි තුමනි හිතෙන්නේ මේ ඔක්කොමලා අපිට කොකා පෙන්නනවා කියලා. ඇත්තටම ගස් ටික රැක ගන්ඩ මේ කෑ ගහන කාටවත් උවමනාවක් තියනවා කියලා මට නම් හිතෙන්නේ නෑ. ස්තූතියි ඔබගේ සුභ පැතුමට. 2018 දී කොළොම්පුරේ අලුත් තොරතුරුත් එක්ක එන්න ඔබටත් සුභ පැතුම්!!!

      Delete
  2. Replies
    1. ඔව් ඔව් රන්සකුතුමනි මේ උත්තමයන්ට නොදී කොහොමද අප්පා අපේ රට ගොඩ යන්නේ. ගස් කපන, කසිප්පු පෙරන, පික් පොකැට් ගහන, මිනී මරණ, ස්ත්‍රී දූෂණ කරන මේ උත්තමයෝ නැතුව ජීවත් වීමක් ගැන හිතන්ඩවත් බෑ. ජය වේවා!!!

      Delete
  3. හැම දේශපාලකයටම ඕන සල්ලි හොයන්දවිතරයි ඒ සඳහා සදාකල් බලයේ ඉන්ඩ බලනවා.එලගට එයාගෙන් පස්සේ තමුන්ගේම පවුලේ එකෙක් දාගන්ඩ වැඩ කරනවා.රටක් සංවර්දනය කියන්නේ උණ්ගේ සංවර්දනය කියලයි උන් හිතන්නේ.ඉතින් සදාකාලික බලයේ ඉන්ඩ ඔනම කෙනෙක් එක්ක සෙට් වෙනවා.එතකොට කොහොමද සෙට් වුනු කෙනා වැරද්දක් කලත් දඩුවම් කරන්නේ.අහක් බලන් ඉන්න්නවා.හැබැයි මුන් සේරම් පත්කරන්නේ අපි .එතකොට අපි නෙවෙයි ද වැරදි?ලොකුමල්ලි කිව්වා වගේ කැලෑ බෝගස්වැවේ මිනිස්සුන්ට වතුර නැත්නම් මිනිස්සුන්ට ජීවත්වෙන්ඩ ඕන මුලික අවශ්‍යතා මොනවද කියලවත් දන්නැති එවුන් නේද රටේ නායකයෝ වෙලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මුන්ට චන්දෙ දෙන අපිට තමයි මඩු වල්ගෙන් තලන්ඩ ඕන. කැලෑ බෝගස්වැව වගේම විලයිත්තිකුලමේත් සමහර මිනිස්සු ඇත්තටම අසරණයෝ. අපේ බලධාරීන් අර අහිංසකයන්ව මිහිපිට අපායකට ගෙනැල්ලා දැම්මට. බොන්ඩ වතුර නෑ. හුගක් ගෙවල් වලට ලයිට් නෑ. ජීවත් වෙන්ඩ ක්‍රමයක් නෑ. බේත් ටිකක් ගන්ඩ ඉස්පිරිතාලයක්, ළමයෙකුට යන්ඩ ඉස්කෝලයක්, ගමනක් යන්ඩ බස් එකක් නැති කැලෑ සත්තු පිරිච්ච තැනකට තමයි මේ මිනිස්සුන්ව යැව්වේ.

      Delete
  4. කොහොම කිව්වත් අක්කර ගනං කැලය කපන එක තනි අපරාදයක්. ගහක වටිනාතම නොදන්න අදබාලයො

    ReplyDelete
    Replies
    1. අක්කර ගණන් නෙවෙයි දේශක තුමනි එක ගහක් හරි නිස්කාරනේ කපල දාන එක මහා අපරාධයක්. කෝටිපති දේශපාලකයෝ තමුන්ගේ මඩි තර කර ගන්ඩ අක්කර දාස් ගානින් වටින ගස් තියන කැළෑ කපනවා. මත්තල ගුවන් තොටුපලත් මේ දේටම උදාහරණ.

      Delete
  5. වාර්තාවේ නිර්දේශ මෙන්න මේවා, ලින්ක් එක වැඩ කරයිද කියල ෂුවර් නැහැ...
    හරි නොගියොත් මම නිර්දේශ ටික ටයිප් කරන්නම්...

    [IMG]http://i68.tinypic.com/4vocxd.jpg[/IMG]

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකු පුතා තුමනි. අවාසනාවට ඔබේ ලින්ක් එක වැඩ කරන්නේ නෑ. මං හිතන්නේ ඔබ මේ කියන්නේ විගණකාධිපති වාර්තාව ගැන වෙන්ඩ ඕන. පුලුවන්නං ඒ නිර්දේශ ගැන අපි හැමෝටම කියන්ඩ. මුංගේ නසරානි වැඩ ගැන හැමෝම දන ගන්ඩ ඕන.

      Delete
    2. මෙන්න මේ පහලින් දාන ලින්ක් එක කොපි කරලා අලුත් වින්ඩෝ එකකට පේස්ට් කරලවත් වැඩ කරනවද බලන්න...

      http://tinypic.com/m/k0qas4/1

      Delete
    3. මල් හතට ඒ ලින්ක් එක නම් වැඩ ලොකු පුතා තුමනි. ඔබට ස්තූතියි. ප්‍රශ්නේ ඔය නිර්දේශ ක්‍රියාත්මක කරයිද කියන එකයි.

      Delete
  6. පුදුම කේන්තියක් එන්නේ මේවා කියවනකොට.. ඔය කැලෑබෝගස්වැව ඉඩම් බදුල්ලේ මිනිස්සුන්ට දුන්න කියපු කතාව මම මගේ පරණ පෝස්ට් එකක ලියල තියෙනවා.. බදුල්ලේ 2011 නාය ගිහිං උන් හිටි තැන් නැති වෙච්චි 'මොකුත්ම කර කියාගන්න බැරි' මිනිස්සුන්ට තමයි ඔය ඉඩම් දුන්නේ.. ඔය එක්කම ටකරන් තහඩු දහය ගානෙයි උදලු තලෙයි කැති තලෙයි ගානේ දුන්න.. මුලින් දුන්නේ කැති තලෙයි උදළු තලෙයි විතරයි. ඒ දෙකට මිටවල් ගහගෙන කැලෑ කපල දඬු මානා හොයාගෙන පැලක් අටෝ ගත්තු උන්ට විතරයි පස්සේ ටකරං දහය දුන්නේ.. ඔය ඉඩම් හම්බවෙච්චි මිනිස්සු ඔක්කොම බදුල්ල නගරය අවට වෙළඳ/ කම්කරු කටයුතු වලින් එදා වේල හොයා ගත්තු මිනිස්සු.. උන්ව අර හද්ද වන්නියට ඒ විදියට ගිහින් දාල උන් ජීවිකාව හොයා ගන්නේ කොහොමද? ඉඩම් හම්බවෙනවා කියල ආසාවට පවුල් පිටින් ගිය උන් ඔක්කොම වගේ ආපහු ආවේ හිටියටත් වැඩිය අසරණ වෙලා.. ඔන්න බලාපං අපේ 'නායකයින්ගේ' තරම..

    2018 වත් මෙහෙම ලේ කෝප වෙලා දවස ගෙවන්න වෙන්න එපා කියල ප්‍රර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. අම්මපා මෙහෙම රටකට මොට පායාද සූරියා කියල ඇහුවලු!! හැමදාම අසරණ සාමාන්‍ය මිනිස්සු රැවටුනා. දුක ඒ රැවටෙන අපිම නැවත නැවතත් මේ හොරු ම - පක්ෂ බේධයකින් තොරව - තෝරා පත් කර ගන්න එක. අවංක මනුස්සයෙක් චන්දෙ ඉල්ලුවොත් පරාදයි. හොරෙක්, මංකොල්ලකාරයෙක් ඉල්ලුවොත් උඩින් දිනුම්. මේ ක්‍රමය වෙනස් කර ගත්තේ නැත්තං මේ රට තවත් සෝමාලියාවක්, යේමනයක්, ඇෆ්ඝනිස්තානයක් වෙනවා සිකුරුයි. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි කල්‍යාණ මිත්‍ර තුමනි.

      Delete
  7. කැලෑ ටිකයි සත්තු ටිකයි වඳ වෙලා ගියාට පස්සෙ තමයි ඕක නවතින්නෙ. එතකොට ඉතිං මිනිස්සුන්ටත් වෙන්න ඕන දේ වෙලා ඉවරයි.

    ලොකු මල්ලිටත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න තුමාටත් කො.ක. සංගමේ සියලුම සාමාජිකයන්ටත් සුභම සුභ නව වසරක් වේවා!!!

      Delete
  8. කාරණා දන්න උදවිය මෙව්ව ලියන එක වාසනාවක්. ලොකු මල්ලිගෙ ඉදිරි අවුරුද්ද සුබ කරන්න අපි ඇහිල්ල කොමෙන්ට් කරලා යන්නං. සුබ පතන්නෙ නැත්තෙ මං සුබ පතන හැම එකම වැඩි කල් යන්න කලින් හැඳිගෑවිලම යන හංදයි. කට්ටකාඩුව සෑහෙන කලක් තියෙන්න එපායැ.

    ReplyDelete
    Replies
    1. එහෙම නෙවෙයි සුරංග තුමනි හොඳ හිතෙන කරන ඕනෑම දෙයක් සුභයි. ඉතින් ඔබේ සුභ පැතුම් අපිට වටිනවා. හරියට දළු පිරිච්ච තේ යායක් වගේම. ලබන අවුරුද්දේ දී ආච්චිඅම්මා, ගුනොවද්දන මාමා, දැති හුලස් නැන්දා, පුන්චම්මා ඇතුළු ඔබේ අමරණීය චරිත එක්ක මූණ දීපු තවත් සිද්ධි ගැන දැන ගන්ඩ ඇඟිලි ගැන ගැන ඉන්නේ. ඔබට සුභම සුභ නව වසරක් වේවා!!!

      Delete
  9. ලොකු මල්ලිය සෑර්,

    කතාවේ උඩදීම කියල තිබුනනේ 'අපේ කැලෑ ටික බේර ගන්ඩ කැලෑ බාර ඇමති ඩෑල් එකක් දීපු ගේම. දැන් යන්නෙත් එකේම අනිත් සින්දුව.

    දැන් බලන්ඩ..., ලොකු මල්ලිය සෑර්, රණසිංහ ආරච්චි තුමා සෑර්ට දුන්නු රිප්ලයි එක - මේ ඔක්කොමලා අපිට කොකා පෙන්නනවා කියලා.
    ඔය ගස් ටික සේරෝම කැපුවාම කොහෙද කොකා ඉන්නේ, අහසේද? නෑ නේ. කොකාගේ පණ යනවා. ඒ කියන්නේ කොකා මැරෙනවා. එතකොට කෝමද අපිට කොකා පෙන්නන්නේ? කතාව නිකම්ම යට යනවා. (හැබැයි පාලං කොකාගේ කතාව මේකට අදාළ නැහැ, ඒක වෙන එකක්, හරිය)

    ඔය පණ නැති කොක්කු කවමදාකවත් අර බණ්ඩාර මහත්තය වගේ කෙනෙක්ට තැනකට එන්ඩ තියන්නෙත් නැහැ.

    සැමදාම වගේ මේ පොස්ට් එකටත් තැන්කිව් වේවා.
    සුබ දහ අටක් වේවා!

    ReplyDelete
    Replies
    1. හැට්ටර් තුමනි ගස් ටික ඔක්කොම කපන කල් කොකා කොහේ හරි ගහක වහනවා. එතකොට අපි හිතනවා මේ එක එක කඩාකප්පල් කාරයෝ නොසන්ඩාල කතා කිව්වට ඔය අපූරුවට ගස් ටික තියෙන්නේ. බලන්ඩකෝ එක කොකෙක්වත් පෙන්ඩ නෑ. මුන්ගේ පොලොව පැලෙන බොරු!!! කියලා. ගස් ටික ඔක්කොම නැති උනාම තමයි කොක්කු පාලං වල වහන්නේ. එතකොට තමයි මිනිස්සුන්ට පාලං කොක්කු පැහැදිලිව අදුන ගන්ඩ පුළුවන්. හැබැයි එතකොට පරක්කු වැඩියි. උං ඔක්කොම අපිට කෝලං පෙන්නලා ඉවරයි!! අර මං මුලින් කියපු ඇමතියා දැන් එලොවත් මෙලොවත් අතර දිට්ට ධම්ම වේදනීය කර්මය පලදීලා.
      ඔබටත් සුභ දහ අටක් වේවා.

      Delete
  10. A very comprehensive post. Thank you.

    A happy new year to you.

    ReplyDelete
  11. එහෙවු නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන!!
    කවුද ඕක කරන්නේ කියලයි කල්පනා කළේ.

    ReplyDelete
    Replies
    1. අන්න තව බිලියන් 8000 වටිනා ප්‍රශ්නයක්!!!

      Delete