අදට මාස පහකට හයකට විතර ඉස්සර හරියටම කිව්වොත් 2017 ජූලි 05 අපි
කට්ටකාඩුවේ පළවෙනි පැලේ හිටෙව්වා.අද වෙනකොට පැල 49 හිටවලා මේ 50 වැනි එක!!
ඉතිං මං කම්පනා කොලා කට්ටකාඩුව එලි පෙහෙළි කරලා, පැල ඉන්දලා, මේ ඉඩෝර කාලේ
ඒ ඉන්දවාපු පැල ටික මැරෙන්ඩ නොදී රැක බලා ගත්තු හැමෝටම සෙත් පතන්ඩ. උන්දැල කරපු
කියපු දේවල් මතක් කොරල පින් අනුමෝදන් කොරන්ට.
ඊට කලියෙන් කියල හිටින්නංකෝ කට්ටකාඩුව පටන් ගත්තු විදිහ.
මීට අවුරුදු තුන හතරකට උඩදී රාජකාරි වැඩකදී එක්තරා
ගුරුවරයෙක් හම්බ උනා. අපි කියමුකො මේ ගුරු උතුමට ආචාර්ය ඩී කියලා. එතුමගෙන් බොහෝ
දේවල් මම ඉගෙන ගත්තා. ඉගෙන ගන්නවා. ඔය අතරේ මගේ තියන නොසන්ඩාල කමට එතුමා කැන්ගරු
දේසෙට රාජකාරි උවමනාවකට යන්ඩ දරපු
උත්සාහයක් ගැන පොඩි මඩක් ගහන්ඩ හිතක් පහල උනා. ගූගල් ඒ වෙනකොටත් ඉංග්‍රීසි අකුරු
කොටද්දී සිංහල අකුරු පහළවෙන විජ්ජාව හොයා ගෙන තිබ්බේ. මට ඔය දවස් වල නිවාඩු දෙක
තුනකුත් හම්බ උනා. කරුම පල දෙන්ඩ යනකොට ඔක්කොම දේවල් එකට එක්කහු වෙනවා කියන්නේ
ඕකනේ. ඔය එක දෙයක් හරි නොවී තිබ්බ නං මට බේරෙන්ඩ තිබ්බා.
ඉතිං මං අර මඩ කතාව කොටස් තුනකින් ලියන්ඩ හිතාගෙන එයින් දෙකක් ලියල ආචාර්ය ඩී ට යැව්වා. ඔන්න ඔය වෙලාවේ මගේ කේන්දරේ ගිරහයෝ ඔක්කොම නීච වෙලා හිටපු වෙලාවක්. සුබ ගිරහයෝ වෙසක් නිවාඩුවට ගමේ ගිහිං...නරක, නපුරු, කුජීත, තුප්පහි, බලු, ජඩ ගිරහයන්ගේ යාලු මිත්තරයෝ උන්ව බලන්ඩ මගේ කේන්දරේට ඇවිත්. කොටිම්ම කිව්වොත් සුබ රින!! අසුබ දාස් ගානින්!!!.
ඔය මඩ කතාව බලාපු ආචාර්ය ඩී ට හොඳටම තරහ ගියා. හැබැයි
පෙන්නුවේ නෑ. එතුමා මෙන්න මෙහෙම කිව්ව මට....
“ෂ: උඹට වෙන
මොකුත් බැරි උනාට සිංහලෙන් කතන්දර ලියන්ඩ පුලුවන් නේ....!!”
“නැතුව...
නැතුව...!” මගේ මොකක්
හරි දස්ස කමක් ගුරුතුමාට පෙන්නන්ඩ පුළුවන් වෙච්ච තන්තෝසෙන් (අපේ ගමේ එව්වො කියන්නේ
එහෙම) මාත් කිව්වා.
“ඉතිං ලියන්ඩකො
බ්ලොග් එකක්”.
“මොකක්”
“බ්ලොග්
එකක්..බ්ලොග් එකක්!!”
අපොයි මොකද මං නොදන්නෙ බ්ලොග් ගැන!!. මං දන්නවා ඒ
වෙනකොටත් ලංකාවේ සිංහල බ්ලොග් තුනක් තිබ්බා කියලා. සිරාගෙ කාමරේ, අටම්පහුර, හිස් අහස!!!. ඒ ඇර මං දැනගෙන
හිටපු දෙයක් නෑ බ්ලොග් ගැන. හැබැයි ඔය මං කියපු බ්ලොග් ටිකේ තිබ්බ දේවල් නං මං
හුගක් කියෙව්වා. ඒ කියව, කියව හීනෙන්
සිරා එක්ක බෑන්ඩ් ගැහුවා...අටමා එක්ක මැෂින් හැදුවා...සඳරු එක්ක අම්පාරේ ගංකොරේ
ඇවිදින්ඩ ගියා. ගංජ ඉරුවා. සැන්ඩි නැතුව හිඟුරාන ස්පෙෂල් බිව්වා!!! හීනෙන් මිදුනම
මුං ගේ ලිවීමේ හැකියාව ගැන පුදුම උනා!!!!
“අපොයි ඩොක්ටර්
මට සඳරු තරං හොඳට ලියන්ඩ බෑ නේ”
“කමක් නෑ…. කමක් නෑ මට මඩ ගහන්ඩ
පුලුවන්නං වෙනිං දේවල් ලියන්ඩත් පුළුවන් වෙයි...පටන් ගන්ඩකෝ..!”
ඔය ආචාර්ය උපාධිය තියනව නේද..ඕක කිරීම හරි භයානක දෙයක්.
හුඟ දෙනෙකුට මොලේ කොලොප්පං වෙනවා. ඒකනේ ඕකට ඉංගිරිස් බාසාවෙන් Permanently Head Damaged (P. hD) කියන්නේ.
උදාහරණ දෙන්ඩ පුළුවන් කෝටියක්. ඔන්න අවිස්වාසනම් මං දන්න ඔය උපාධිය කරන මහත්තැන්
කෙනෙක් ඉන්නවා උන්දැ පොඩි කන්කුන්ඩෙක් හාරන සයිස් වලක් හෑරුවත් හිතා ගෙන ඉන්නේ
වැවක් හැදුවා කියලා. අද උනත් උන්දැගෙන් ඇහුවොත් කියන්නේ මම දැනට වැව් හාරසීයක්
විතර හදලා තියනව කියල. එතකොට තමයි මට හිතෙන්නෙ පරාක්‍රමභාහු රජ්ජුරුවො ඒ කාලෙම
මැරුනේ හොඳ වෙලාවට කියල. නැත්තං අද වෙනකල් හිටියනං මුංදැ කියන කතා වලට බෙල්ලෙ වැල
දාගන්නවා!!!
ඉතින් ඔය වගේ දේවල් හින්ද මාත් අර බ්ලොග් කතාව වැඩිය
ගානකට ගන්නේ නැතුව හිටියා.
මෙන්න දෙවෙනි දවසෙත් කතා කරනවා ආචාර්ය තුමා...
“කෝ බ්ලොග් එක
පටං ගත්තද?”
“නෑ
...ඩොක්ටර්...මට අරුං තරං හොඳට ලියන්ඩ බෑ. අනික මම මොනවා ලියන්ඩද? මම බෑන්ඩ්
ගහලවත්, මැෂින් හදන්ඩ
දන්නේ වත්, අඩුම ගානෙ
පොසොන් එකට අර සඳරු වගේ අපාය පෙන්නලාවත් නෑ...ඉතින් මම මොනවා ලියන්ඩද?”
“මොනවා හරි
ලියන්ඩ...ලියන්ඩ පටං ගත්තම මතක් වෙයි ලියන්ඩ ඕන දේවල්”.
“හ්ම්..”.
මෙන්න තුන්වැනි දවස.
“මොකද්ද බ්ලොග්
ඇඩ්රස් එක?”
“එහෙම එකක්
පටන් ගත්තෙ නෑනේ….!”
“ඒ කියන්නේ අපි
හිතුවට ලියන්ඩ පුළුවන් කියලා ඒකත් බෑ?”
“හ්ම්….”
“එහෙනං කව්ද අර
මඩ ලිව්වේ?”
“මං…. මං වෙන කව්ද?”
“එහෙනං බ්ලොග්
එකකුත් ලියන්ඩ පුලුවන්. පටන් ගන්ඩකෝ...”
ඔන්න එතකොටම මට බ්ලොග් ලිවීමේ අදහසක් පහල උනා. හරියට
ලංකාවේ දැන් ඉන්න ක්‍රිකට් ටීම් එක මැච් දිනන්ඩ හිතනවා වගේ. මෙලෝ දක්සතාවකුත්
නැතුව, වාසනාවකුත්
නැතුව ඉන්ටනැෂනල් මැච් දිනන්ඩ හිතනවා වගේ!!
ඉතිං මං හොයන්ඩ පටන් ගත්තා බ්ලොග් එකක් පටන් ගන්න හැටි.
ලියන හැටි. ඔන්න හොයන කොට හම්බ වෙනවා. මොනවද? බ්ලොග් ලියන හැටි...නෑ බොල අර මං දැනං හිටපු
තුනට වඩා තව අටෝ රාසියක් බ්ලොග් තියනවා කියලා. හැබැයි කවුරුවත් කියල දෙන්නේ නෑ
කොහොමද ලියන්නේ කියලා. මෙන්න එතකොට හම්බුනා...මොකද්ද? මාතලන් තුමාගේ
බ්ලොග් ලියන හැටි පාඩම් මාලාව!
ඒක දෙතුන් දවසක් කියවලා, හොඳට හිතලා
මතලා...(මොන පිස්සුද! ඇත්තටම උනේ ඒක කියවගෙන යන ගමම්ම) පටන් ගත්ත බ්ලොග් එකක්.
නමක් ඕන හින්ද හිතුව නමක්..ගණ පිහිටුවල, අපාය අක්ෂර ඇත ඇරලා අහුබුදු නෝනගෙන් අහල
(විකාරද? මතක් උනා
කට්ටකාඩුව ගැන, හිතුන ඒක හොඳ
තේරුමක් තියන, ගැලපෙන නමක්
කියල ඉතින් වෙන මොනවද?).
මොනවද ලියන්නේ කියල හිත හිතා ඉන්නකොට වැඩි දෙනෙකුට අගයක් නැති හැබැයි මහා ධන
නිධානයක් වෙච්ච අපේ පරිසරේ ගැන, ගමේදී, කැම්පස් එකේදී අත්දැකපු දේවල් ගැන, විවිධ දෙනා අටෝරාසියක් දේවල් ලිව්වත් තවමත් ලියන්ඩ දේවල්
ඉතුරු වෙලා තියන දේශපාලනේ ගැන වගේම මේ කලියුග කාලේ සිද්ධ වෙන අබග්ග ගැනත් ලියන්ඩ
පුලුහන් නේද කියල හිතුනා. ඊට වැඩිමනත් දේවල් හිතට ආවොත් ලියන්ඩ තමයි ‘මට
හිතෙන හැටි’ කියල කොටසක් පටං ගත්තේ.
ඔන්න දැං පුතය වගේ ලියනව බ්ලොග් එකක්!!
අගෝස්තු මාසේ තමයි ලෙඩේ උග්‍ර උනේ. මාසෙට පෝස්ට් 14. එකකට පැය තුන
ගානේ අකුරු කොටන්ඩ ගියාම පැය 42! ඒ කියන්නේ සම්පූර්ණ දවස් දෙකකට කිට්ටුයි!! හැබැහින් නං
සති අන්තේ දවස් හතරක්. ගෙදර ඉන්න දවස් අටෙන් හතරක්ම මේකා මොකද කරන්නේ කියල අපේ නෝන
මහත්තයා හොයල බැලුව.
“මොනවද එබිලා
බලන්නේ?”
“නෑ
නිකං...මොනවද ඔය හැටි ටයිප් කරන්නේ?”
“වැදගත්
වැඩක්!! කරදර කරන්ඩ එපා අනේ...”
“මං හිතුව
ආයෙත් සක්කරවට්ටමක් වත් අල්ලගෙනද කියල!”
“එක පාරක් අහු
උනාට මේ පුතය දෙපාරක් එකම වැරැද්ද කරන්නෙ නෑ!!”
“හුහ්...බලමුකෝ....”උන්දැ ගස්සගෙන යන්ඩ
ගියා ගේ ඇතුලට.
මේ ලෙඩේ දවසින් දවස උග්‍ර වෙද්දී මං ගැන දුක හිතිලමද
කොහෙද නෝන ගිහින් තිබුන අංජනමක් බලන්ඩ
බලගතු ඉර්සි වරයෙක් තමුන්ට මඩ ගහපු තරහට සාපයක් කරලලු.
එක පාරට තුන් පාරක්ම සාප කරලලු!!!! සාපෙන් බේරෙන්ඩ නං කිරි පැල 49 හිටෝලා රැක
බලාගන්ඩලු සති හතක්!!
ඔන්න ඉතින් මං කිරි පැල 49 පැල කළා. එව්වා වැට
එඩරු වගේ එච්චර වැඩකට නැති පැළ ද, කොස් දෙල්
වගේ කාගෙ කාගෙත් සා ගින්දර නිවන පැල ද කියල තීරණේ කිරිල්ල ඔබ තමුන්නාන්සේලාට
බාරයි. හැබැයි දැනටම 16,000 විතර කට්ටිය
මේ පැත්තේ ඇවිත් ගිහිං. එක්කෙනෙක් එක ලිපියක් කියවන්ඩ විනාඩි හතරක් පහක් ගත්තොත්
ඔක්කොමලා විනාඩි 80,000 විතර මේ පැල
ටික බලාගෙන ඉඳලා තියනවා. ඒ කියන්නේ පැය 1,333 ක්. දවස් 55 ක්! සති 7-8 විතර!!! ඒ කියන්නේ
දැන් මගේ බාරේ ඔප්පු කරලා ඉවරයි!!!
බාරේ ඔප්පු කරන්ඩ කියල දුන්න මාතලන් තුමාටත් බාරේ ඔප්පු
කිරිල්ල හරියට කෙරෙනවද කියල හොයල බලන්ඩ පස්සෙන් හඹා ආපු තිස් දෙනා ඇතුළු ඔක්කොටම
අයියනායක දෙයියන්ගෙත් අලුත්නුවර දැඩිමුණ්ඩ බණ්ඩාර දෙයියන්ගෙත් පිහිටයි!! ආරක්සාවයි!!!
එයිනුත් කට්ටකාඩුවේ මුල්ම හඹා එන්නා බවට පත්වූ හැලපතුමාට බොහොම පිං.
ඊට අමතරව
නිරන්තරෙන් කට්ටකාඩුවට ගොඩ වදිමින්, තිබහ යන්ඩ තේ
කහට ඩිංගක් හරි ගෙනත් දුන්න, දාඩිය නිවෙන්ඩ තල අත්තක් හෙවිලි කරපු, ඌරන්ගෙන්, ඉත්තෑවුන්ගෙන්, දඬු
ලේන්නුන්ගෙන් පැල ටික බේර ගත්තු, පුවක්
කොළපතකින් සුට්ට සුට්ට හරි වතුර ටිකක් ගෙනැල්ලා ගස් වලට වක්කරපු සියලුම කොමෙන්ට්
කරුවන්ටත් පින් සිද්ධ වේවා!! උපනුපන් ජාති වැඩි වැඩියෙන් බ්ලොග් කියවන්ඩ ලැබේවා!
වැඩි වැඩියෙන් කොමෙන්ට් කරන්ඩ ඩේටා වියදම අඩුවේවා!!!
මට මේ බ්ලොග් ලිවිල්ල ගැන උනන්දුවක් ඇති කරාපු ආචාර්ය ඩී
ටත් පින් සිද්ද වේවා!!! කිසියම්ම කිසි
අතුරු ආන්තරාවක්, නිදි මතක්, අසල්වැසියන්ගෙන්
අබග්ගයක්, අඹ ගස් කඩා වැටීමක්, මැස්සෝ ඉන්න
හෝටල් හමුවීමක් නොවේවා!!!
කට්ටකාඩුවේ පැල හිටුවන්ඩ මම ගත කරන වෙලාව ගැන නෝක්කාඩු
නොකියා, හැමදාම වගේ
මගේ වැරදි වහගෙන, හොඳ දේ ගැනම
කල්පනා කරල, මාත් එක්ක
ජීවිතේ දුක සැප බෙදා ගන්න අපේ නෝන මහත්තයටත් පින් සිද්ද වේවා!!
ඔබ හැමටම ස්තූතියි!!!
අම්මට සිරි එලකිරි
ReplyDeleteස්තූතියි අටමාතුමනි!!!
Deleteකට්ටකාඩුව කියන්නෙ මොකක්ද බං. ( කාටවත් කියන්න එපා ඈ?)
ReplyDeleteළඟදීම 50 ඉස්සරහට තවත් බිංදුවක් එකතුවේවා යි ප්‍රාර්ථනා කරන්නේ හද පිරි ආදරයෙනි.
කට්ටකාඩුව කියන්නේ වැවක ඇති ස්භාවික ජල පවිත්‍රාගාරයට.
Deleteසරලවම කිව්වොත් මෙහෙමයි.
වැව් වල ඉවුරේ තියෙන පස වියළි කාලයට තදටම (කට්ටටම) වේලිලා තියෙන්නේ. හැබැයි වැහි කාලයේ ඒක දියාරුවට (කාඩි) තියෙන්නේ. මේ පස් වලින් තමයි වැවේ වතුරෙහි ඇති බැර ලෝහ, කිවුල ආදියෙන් වතුර බේරා පවිත්‍ර කිරීමේ වැඩේ ස්භාවිකවම වෙන්නේ.
ඉතිං මෙහෙම ඔටෝ වතුර පෙරිලා එන සිස්ටම් එකක් තිබුනේ නැත්තං වැවේ වතුර අරං කරන වගා වලට හානි වෙනවා. ඒවා භාවිතා කරන මිනිස්සුන්ට හානි වෙනවා.
ඉතිං හැලප කට්ටකාඩුව කියන්නේ ඔන්න ඕකටයි !
හරියටම හරි. ඒ බැම්මේ තව වතුරෙන් ලවණ උරා ගන්ඩ වැඩි හැකියාවක් තියන මී, තල්, ඔලිඳ, අඹ, හණ, කුඹුක්, එරබදු, කිතුල්, කොස්, වැටකෙයියා වගේ ගස් වර්ගත් හිටවනවා. පැරණි ගංකොටු වල තිබ්බ වැව් වල කට්ටකාඩුව අනිවාර්ය අංගයක්. ඒ වැව් අවුරුදු සිය ගානක් පවතින්ඩ කට්ටකාඩුව වගේම පෙරහන, යතුරුවල, කිවුල් ඇළ වගේ කොටසුත් බලපෑවා. හැබැයි කාලයත් එක්ක මේ කොටසුත් ඒ වැවුත් අපේ රටින් සමු ගන්නවා දැන් දැන්.
Deleteඔබට රසවත් ලෙස ලිවීමේ හැකියාවක් තියෙනවා. දිගටම ලියන්න. සුබ පැතුම්!
ReplyDeleteඔහේ ලියන මෙලෝ රහක් නැති එව්වට වඩා නං දහස් ගුණයක් මේක හොදයි.
Deleteඔව්, ඇනෝ. මමත් එකඟයි.
Deleteස්තූතියි ඉකොනොමැට්ටා තුමනි!!
DeleteCongrats katta
ReplyDeleteමම හිතන්නේ මම මේ 50 ම කියෙව්වා.කියවන්ඩ හිතෙන්නේ නැත්නම් ලියපු ඒවායින් වැඩක් නැහැ මමනම් මේ 50හම කියෙව්වේ හරිම ආශාවෙන් නරකද පත්තරකාරයෙක් උනොත් ?
ReplyDeleteඔය වේගේ කිසිසේත්ම අඩු නොවේවා.. හාමිනේගෙන් පැමිණෙන දෝස වලකීවා... නෑයෝ තරහ නොවේවා... බැජෝ තර්ජන නොකරත්වා... ලිවීමේ කෙළ පැමිණියෙක් වෙත්වා... ඒස්වාහ් පු:
ReplyDeleteමෑත කාලෙදි මම වැඩිපුරම කියවපු බ්ලොග් දෙක යාං හෑල්ල සහ වර්ග පූර්ණිකාව!! ඔය යාං හෑල්ල හින්ද මං අපේ ගම ගැන ලියන්ඩ හිතන් හිටපු හුඟක් දේවල් අමතක කරලා දැම්මා. අනේ මොකටද රුපියල් අස්සේ අලුක්කාල් ගහන්නේ කියලා! ස්තූතියි සුරංග තුමනි ඔබේ සුභපැතුමට. අපි එනවා බදුල්ලේ ඔබේ උපන්දිනයට දෙසැම්බර් 15!!
Deletecongratulations !
ReplyDeleteහොදට අකුරු කරගෙන නුඹ නිබදවම
ReplyDeleteදිගට බ්ලොගේ ලියනවනේ ලිපි නියම
මලට තවරලා නිරතුරු මිනිස්කම
ඔබට සුභපැතුම් දෙන්නෙමි මෙලෙස මම.....
ජයවේවා!!!
ස්තූතියි දුමින්ද තුමනි. කවි ලියන්ඩ කියන්ඩ බැරි අපිට කවියෙක් මේ පැත්තේ ඒමත් සතුටක්!!!
Deleteමරු
ReplyDeleteස්තූතියි!!!
Deleteසුභ පැතුම්!
ReplyDeleteස්තූතියි!!!
Deleteකට්ට කාගෙන 50ක් ලිවුවට සුබ පැතුම් !
ReplyDeleteමේ ආපු විදියටම හිටෝපු පැල රූස්ස ගස් වෙනකල් අලුතෙන් පැල හිටවන්න ශක්තිය ලැබේවා !!
පැල ටික රූස්ස ගස් වෙනකල් බලා ගත්තොත් කො.ක. සංගමේ සභාපති තුමා මොනවද දෙන්නේ?
Deleteහිටෝපුව බලාගන්නව වගේම අලුතින් හිටවන්නත් වෙයි. රූස්ස ගස් උනාට පස්සෙ ඉතිං ඒවයෙ ඵල නෙලන්න ලැබෙයි.
Deleteසුභ පැතුම්!
ReplyDeleteස්තූතියි!!!
Deleteසුභ පැතුම් !!! අපි වගේ මග හැලෙන්න එපා. දිගටම ලියන්න. ජයවේවා !!!
ReplyDeleteස්තූතියි!!
Deleteආචාරිය ඩී ට ජය වේවා
ReplyDeleteජය වේවා එතුමාටත් ඔබටත් දෙන්නටම!!
Delete50ට ජයවේවා!
ReplyDeleteහැමෝටම පින් අනුමෝදන් කොරපු, කට්ටම කන අපටත් කට්ටකාඩුවක් දෙන ලොකු මල්ලි සෑර්ටත් මේ පින් අනුමෝදන් වේවා!
ඒ පින් බලයෙන් ... (අනුමෝදනාවක් අහපු වෙලාවක ඉතුරු ටික නියමාකාරයෙන් අප්ඩේට් කොරන්නන්කෝ)
ඇත්තම කියනවනං ලොකු මල්ලි සෑර්, කොම්පියුටරයක් ඉස්සරහ වාඩිවෙලා, එක තැනක පුක තියාගෙන, මෙව්වා ලියන එකත් ලේසි පාසු කෙලියක් නෙවෙයිනේ, නැද්ද මං කියන්නේ.
හැට්ටර් තුමනි මොනවද මේ කියන කතා...අප්පේ පස්ස පැත්ත ඇදුන් දෙනවා වෙලාවකට....ස්තූතියි ඔබේ පැමිණීමට හා අදහස් දැක්වීමට....
Deleteකට්ටකාඩුව වචනේ ඇහුවෙත්, තේරුම දැන ගත්තෙත් ඔබ නිසායි.
ReplyDeleteස්තුතියි.
දිගටම ලියන්න.
ස්තූතියි රසිකොලොජිස්ට් තුමනි. ඔබ වැනි පුරෝගාමී සහ දීර්ඝ කාලයක් පුරා ක්‍රියාකාරී සිංහල බ්ලොග් රචකයෙකු කට්ටකාඩුවට ගොඩ වීමත් අපට ගෞරවයක්!!!
Deleteලියමු ලියමු..... වවන්නෝ දිනන්නෝ වගේම, ලියන්නෝ දිනන්නෝ වෙයි කවදා හරි. 50 ට ඔන්න අපෙනුත් සුභපැතුම්...!
ReplyDeleteලියන්නෝ දිනන්නෝ වෙනද නං ඉතින් ඔබතුමාලා නිතර මේ පැත්තේ එන්ට ඕන. ස්තූතියි!!
Deleteජයවේවා! අර දේශපාලන පෝස්ට් දෙක තුන ඇරෙන්න අනිත්වා ඔක්කොම ආසාවෙන් කියෙව්වා.. (උඹේ ලියපු වැරද්දක් නෙවෙයි මගේ දේශපාලනේ ගැන තියෙන උනන්දුවේ වැරද්දක්.. ඒවත් උඩින් පල්ලෙන් කියෙව්වා)
ReplyDeleteඋඹටත් පුළුවන් බ්ලොග් වැවට කට්ටකාඩුවක් වෙන්න.. සුභ පැතුම්!