මම කියන්ඩ පටන් ගත්තනේ
මහ ඉලුප්පල්ලමේ ෆුඩ් ග්රූප් කෙරුවාව ගැන. ඒ ගැන මුල් ලිපිය මෙතනින් බලලමු එමු. නැත්තං අගමුල
නැති වල පෑගුනා වගේ තමයි බැද්දෙදි. ඉතින් කොහොම
කොහොම හරි වදෙන් පොරෙන් බැච් එකෙන් එකතුවෙච්ච ඔක්කොම සල්ලි වලට බඩු ටිකත් අරං අපි
දඹුල්ලෙන් එන්ඩ පිටත් උනා.
“මචං අපි ලොකු බාස්ගෙනුයි සැන්ඩෝ අයියගෙනුයි මේ සතියේ
උපරිම වැඩ ගන්නවා වගේම හොඳට සලකන්ඩත් ඕන...” ඩව්වා නායකත්වයේ
දේශනයක් පටං ගත්තා.
“ඔව් වොව් ඒක ඇත්ත” අපි ඔක්කොම එක පයින් ඒක අනුමත කරා.
“ඒ හින්ද අපි ගල් අරක්කු බෝතල් දෙකක් ගම්මුද උං දෙන්නට?”
“බෑ...බෑ...”ඔක්කොම එක හඩින් ඒකට
විරුද්ධ උනා.
“එහෙනං කසිප්පු දෙමු කියලද උඹලා කියන්නේ?”
“නෑ...නෑ...”ආයෙත් ඔක්කොම කිව්වා?
“එහෙනං මොකක් කරමු කියලද තොපි කියන්නේ?”
“බෝතල් දෙකක් මදි කියලා!!”
“උං දෙන්නට වැඩිය බොන්ඩ දෙන්ඩ නරකයි”
“නෑ...නෑ...උන්ට නෙවෙයි”
“එහෙනං?”
“අපිට...අපිට!!!!”
“එහෙනං දීපියව් සල්ලි...!!!”ඩව්වත් එක පයින් කැමති
උනා මේ සද්කාර්යයට! අන්තිමට අපි
කැකිරාවෙන් පිටත් වෙනකොට අපේ වියදෙමෙන් ගත්තු ගල් අරක්කු බෝතල් හයකුත් වෑන් එක
ඇතුලට ඇවිල්ලා තිබුනා!!!
ඇත්තම කියනවනං මේ ලොකු මලයා කවදාවත් අරක්කු සුට්ටක්වත්
කට ගාපු එකෙක් නෙවෙයි. හැබැයි
කණ්ඩායමක් විදිහට මේ සම්මාදමේදී එක්කහු උනේ බයිට් වලට සම සමව වග කියන හිංදා. අනික බොනපාට් සංගමේක
පැත්තකින් ඉන්නවා කියන්නේ රස සාගරයක පීනන්ඩ ලැබෙන අවස්ථාවක්.
ඉතින් අපි කැම්පස් එකට ඇවිල්ලා පොඩි වොෂ් එකක් හෙම දාගෙන
ආපහු සාකච්චාවකට සෙට් උනා. දඹුල්ලේ නොගිය
ෆුඩ් ග්රූප් එකේ සාමාජිකාවොත් මේ සාකච්චාවට එක්කහු උනා. ඒ එක සාමාජිකාවක්
ගෙනාවේ අපි කවුරුවත් නොහිතපු සුබ ආරංචියක්.
“අපි කැලැන්ඩරේ බැලුවේ නෑනේ. ලබන සඳුදා නිවාඩු
දවසක්!”
“එහෙම නං හුගක් දෙනෙක් ගෙවල් වල යයි. ඒ කියන්නේ අපිට බෝනස්
දවස් තුනක් හම්බ වෙනවා!!”
බෝනස් දවස් කියල කියන්නේ සිකුරාදා රෑ කෑමෙ ඉඳලා ඉරිදා
දවල් කෑම වෙනකල් කාලෙට. හුගක් දෙනෙක්
සිකුරාදා දවාලේ ගෙදර ගිහින් ආය එන්නේ ඉරිදා හවසට. ඉතින් ඔය කාලේ කැම්පස්
එකෙන් කන්ඩ ඉන්න කට්ටිය හරි අඩුයි. ඒ කියන්නේ
උයන්ඩ යන බඩු ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ
අනික් දවස් වලට විශේෂ යමක් එහෙම නැත්තං වැඩිපුර යමක් එක්කහු කරන්ඩ අදාළ ෆුඩ්
ග්රූප් එකට ලැබෙන අවස්තාව වැඩියි.
“එක අතකින් අපරාදෙ කලින් මතක් උනානං ගේන බඩු ටිකක් අඩු
කරලා සල්ලි ඉතුරු කර ගන්ඩ තිබ්බ ඊගාව සතියේ උන්ට දෙන්ඩ. දැන් ඉතිං පරක්කු
වැඩියි ඔක්කොම සල්ලි වලට බඩු ගෙනාවා”. ඒ ඩව්වා
“එහෙම නං අපි ආපහු හදමු මෙනු එකක්. ස්පෙෂල් කෑමක් දෙමු
හෙට!” තවත් කෙනෙක්
කිව්වා.
“හොඳයි එහෙනං මොනවද හෙට ස්පෙෂල්?”
“උදේ තේ බොන වෙලාවට ඉඹුල් කිරිබත් දෙමු. දවල්ට එළවලු වැංජන වලට
අමතරව කුකුල් මස් බැදලයි මාළු උයලයි දෙමු. අපි හිතා ගෙන හිටියේ
සදුදා උදේට හැලප හදමු කියලනේ. ඒ වෙනුවට හෙට
හවස තේ එකට හැලප හදමු. රෑ කෑමට
චොප්සියක් දෙමු ෆ්‍රයිඩ් රයිසුයි, මස් ඩෙවල් එකකුයි එක්ක!!!”
“එතකොට ආය කිසිම දවසකට මස් ඉතුරු වෙන්නේ නෑ”.
“කමක් නෑ කට්ටිය අඩු වෙනවනේ දවස් තුනක් එතකොට අපිට
පිරිමහ ගන්ඩ පුළුවන්!”
“තව පොඩි ප්‍රශ්නයක් තියනවා. වෙජිටේරියන් කට්ටියට
හරි අසාධාරණයි ඔය අලුත් මෙනු එක. ඒ යටත්
ස්පෙෂල් වෙන්ඩ ඕන?” වෙජිටේරියන්
වරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක් කිව්වා.
“එහෙනං හෙට දවල්ට එළවලු වර්ග පහක් හදමු වෙනද තුනයි නේ
හදන්නේ!”
සිකුරාදා උදේටයි දවල්ටයි දෙකටත් ඔය විදිහටම ස්පෙෂල්
කෑම මෙනු එකක් හැදුවා. තව මොනවද වරදින්ඩ
පුළුවන් තැන් තියෙන්නේ කියල කල්පනා කරන කොටයි මතක් උනේ අපි මෙහෙම උයන දේවල් වැඩි
කරාට එහෙම උයන්ඩ වෙලාව තියනවද, උයන පිහන
භාජන තියනවද කියල ලොකු බාස්ගෙන් ඇහුවේ නැති විත්තිය. ඉතින් අර පරණ පුරුදු
විදිහටම පොඩි අඩියක් ගහලා නිදා ගෙන ඉන්න ලොකු බාසුයි සැන්ඩෝ අයියයි දෙන්න ඇහැරවලා
ඇහුවා අපේ අලුත් මෙනු එක හොඳයිද කියලා.
“හරි සර් අපි උයන්නං සර් ලා කියනවනං!” ලොකු බාස් පොරොන්දු
උනා.
“අවුලක් නෑනේ එහෙනං?”
“නෑ...හැබැයි බඩු
ඇති වෙයිද සතියම උයන්ඩ?” පහුගිය සතිවල
ෆූඩ් ග්රූප් දීපු මෙනු එකත් එක්ක අපේ මෙනු එක අහසට පොලොව වගේ හින්ද පොඩි සැකේකිං
ලොකු බාස් ඇහුවා.
“ඇති… ඇති… සඳුදා නිවාඩුවක්
තියනවා. ඒ හිංදා හුග
දෙනෙක් ගෙවල් වල යනවා. එතකොට දවස්
තුනක් කන්ඩ කට්ටිය අඩුයි”.
ඒ අසරණයෝ දෙන්නට නිවාඩු කියල දෙයක් නෑ. දහ දෙනෙක් හිටියත් සිය
දෙනෙක් හිටියත් උන් දෙන්නා උයන්ඩ ඕන. ෆූඩ් ග්රූප් සිහියෙන්
හිටපු අපිට සඳුදා තියන නිවාඩුව අමතක වෙච්ච එකේ කවදාවත් නිවාඩුවක් නැති මේ දෙන්නට
ඒක අමතක වෙන එක පුදුමයක් නෙවෙයි.
මේ සතුටට එදා රෑ දෙක විතර වෙනකල් අපි අර ගෙනාපු බෝතල් හතරක් විතර හිස් කළා. ලොකු බාස් රෑ දොළහට විතර නැගිටලා ෂොට් දෙකක් තුනක් දාලා නිදා ගත්තා. මේ බෝතල් පාටිය හින්ද වෙච්ච දේ වෙනම දවසක ලියන්නං.
අපිට එදා හීනෙනුත් පෙනුනේ අපේ ස්පෙෂල් මෙනු එක හිංදා
හැමෝම අපිට හොඳ කියනවා. අපේ හීන හැබෑ
වෙන්නේ බොහොම කලාතුරකින් උනත් මේ පාර නම් එක ඇත්තටම උනා. බ්‍රහස්පතින්දා උදේ තේ
වෙලාවේ ඉඳලා රෑ කෑම වෙලාව වෙනකල් ම හැමෝම අපිට හොඳ කිව්වා. මුලු ෆූඩ් ග්රූප් එකම
වෙනුවෙන් ඩව්වා ඒ ගෞරවය ලබා ගත්තා.
“ඕකනේ කියන්නේ ගාල්ලේ
කොල්ලෙකුට දීල බලන්ඩ කියලා. ඉස්සර හිටපු
හිපාටුවො වගේ නෙවෙයි අපි හරිය!!”
රෑ කෑම වෙලාවෙදි අපේ හොඳ කියපු හුඟ දෙනෙකුට ඩව්වා මෙහෙම කිව්වේ
ගිය සති වලදි කෑම සවුත්තුයි කියල බාල්දි පෙරලපු දහ දොළොස් දෙනාගෙන් ඌත් එක්කෙනෙක්
හිංදා.
"අපි විවේචනය
කරනවා විතරක් නෙවෙයි වැඩේ හරියට කරලත් පෙන්නන කොල්ලෝ හරිය...!!"
සිකුරාදා උදේ කෑමටත් දවල් කෑමටත් ගහන්ඩ මගේ හිතේ තරු පංතියේ හෝටලේකටවත් බැරිවෙයි මගේ හිතේ! පුහ් බලන්ඩ එපෑ ඩව්වා!! ඌ කෑම බෙදන වැඩේ පැත්තකින් තියලා පොඩි පිළිගැනීමේ නිලධාරී තනතුරකට පත්වෙලා. කෑම ශාලාව, කොමන් රූම් එක මේ කෝකටත් අපිට තිබ්බ එකම හෝල් එකට තේ බොන්ඩ කන්ඩ එන කවුරුත් මූ පිලි ගන්නවා සාදරෙන්!!
“ආ..වරෙල්ල වරෙල්ලා...අද අපි ස්පෙෂල් කෑම එකක් හැදුවා. මහන්සිත් වෙලානේ ඉන්නේ ඉතින් හොඳට කන්ඩ ඕන. ඕකනේ කියන්නේ
ගාල්ලේ කොල්ලෙකුට දීල බලන්ඩ කියලා. ඉස්සර හිටපු හිපාටුවො වගේ නෙවෙයි අපි හරිය!!”
මේ වෙනකොට පහුගිය සතිවල හිටපු ෆුඩ් ග්රූප් ලීඩර්ස් ලා නිකං සීගිරිය උඩට නගින ගමං බඹර කූඩුවකට ගලක් ගහගෙන ගියපු එවුං වගේ දත කට පූට්ටු වෙලා, බය බිරාන්ත වෙලා හරිය!! ඇයි අපි ස්පෙෂල් කෑමක් දෙන්ඩ දෙන්ඩ බැච් එකේ උං පහුගිය සතිවල හිටපු ලීඩර්ස් ලගේ අම්ම මුත්ත මතක් කරනවා. උං සල්ලි යටිමඩි ගහන්ඩ ඇති කියනවා. අලුතෙන් ෂර්ට් ගත්තේ, කලිසං මැහුවේ ෆුඩ් ග්රූප් සල්ලි වලින්ද කියල අහනවා. කොටිම්ම අපේ මේ වැඩේ බැච් රෙපා වෙච්ච ගල් වඩ්ඩා ටත් පුදුමයක් උනා. ඌ අපිට කතා කරේ සිකුරාදා උදේ.
“මචං මෙහෙම කෑම දෙන්ඩ උඹලා කඩයක් කැඩුවද? දඹුල්ලෙන් එළවලු හොරකං කලාද?”
“අඩෝ මේ කැත කතා කියන්ඩෙපා හරිද? ඩව්ව නං ඩව්වා!! ගාල්ලේ කොල්ලෙක් අත ගැහුවොත් මල් හතයි ඈ!!” අපේ කණ්ඩායම වෙනුවෙන් ඩව්වා උත්තර දුන්නා.
“මට කමක් නෑ උඹලට පුලුවන්නං මේ විදිහට සතියම බැච් එකට කන්ඩ දෙන්ඩ. සෙට් එකම ෆීල්ඩ් එකේ වැඩ කරලා හොඳටම මහන්සි වෙලා ඉන්නේ ඉතින් උඹලා හොඳට කන්ඩ දෙන එක කියන්ඩ බැරි තරං උදව්වක්. මට සැක හිතුනා කොහොමද උඹලා වෙන කාටත් බැරි වෙච්ච විදිහට හොඳට කන්ඩ දෙන්නේ කියලා ඒකයි ඇහුවේ!!”
“ඉස්සර හිටපු හිපාටුවො
වගේ නෙවෙයි අපි හරිය!!”
ඔන්න ඉතින් සිකුරාදා හවස උදා උනා. අපි බලාගෙන ඉන්නවා එක එක හොස්ටල් වලින් ගෙදර ගිය ළමයි ගාන කියන කල් රෑට හාල් ලිපේ තියන්ඩ. චන්ද ප්රතිපලේ ලැබුනම අපේ ඇස් උඩ ගියා. වෙනද ළමයි 100 විතර සති අන්තෙට ගෙදර ගියත් මේ සතියේ ගෙදර ගිහින් තියෙන්නේ 25 කටත් අඩුවෙන්!! විබාගේ ළඟ එන හින්දත්, අපි වවපු එක එක බෝග ජාති වල අස්වැන්න නෙලන්ඩ තියන හින්දත් හුඟ දෙනෙක් මේ සති අන්තේ කැම්පස් එකේම නවතින්ඩ තීරණය කරලා.
ඒ කියන්නේ පිංවතුනි අපි ගණන් හදපු විදිහට බෝනස් දවස් තුනක් අපිට හම්බ වෙන්නේ නෑ. තුනක් නෙවෙයි එකක් වත් නෑ!!! ඒ වෙනකොටත් අපි ගෙනාපු බඩු වලින් 50% විතර ඉවරයි!!! ඉතුරු බඩු ටිකෙන් දවස් පහකට කන්ඩ දෙනවා කියන එකට වඩා ලේසියි ලංකාවේ පොලීසිය පාගා ගහන එක නැවත්තීම!! අනේ සංසාරේ ඇයි අපිටම මේ වගේ දේවල් වෙන්නේ??
අපි වහාම හදිසි ෆූඩ් ග්රූප් මීටිමක් තියලා උත්තර හෙව්වා. බැච් රෙපාටත් මේකට එන්ඩ කිව්වේ අන්තිම අසරණ තැනකට අපි පත්වෙලා හිටපු හිංදා.
පහු ගිය සති වල
තිබ්බ ෆූඩ් ග්රූප් වලින් ඉතුරු වෙච්ච රුපියල් 5,000 අපිට දෙන්ඩ රෙපා කැමති උනා. ඒත් තත්වේ ඉතාම භයානකයි. අපේ උදව්වට ආවේ කැම්පස් එකට එන පාරේ තිබ්බ ලොකු අඹ ගස් පේලිය. එව්වගේ පල බර වෙලා තිබ්බ අතු ඒ බරින් නිදහස් කරන්ඩ අපි තීරණය කළා. සමහරවිට අපි ගත්තු ඒ තීරනේට කැමති උනේ ඒ අතු ටික විතරක් වෙන්ඩ හොඳටම ඉඩ තියනවා. කොහේදෝ තිබ්බ කෝප්ප කොළ තොගේකුත් කතුරු මුරුංගා ගස් හය හතකුත් නැති වෙන්ඩ බැච් එකේ උන් අපිව මරල තම්බලා කනවා!!!
අපි සෙනසුරාදා උදේ ඉඳම්ම 'හදිසි අවස්ථා ආහාර සලාකයට' යොමු උනා. වෙනද තිබ්බ වැංජන 5-6 වෙනුවට අඹ හොද්දකුයි සම්බෝලෙකුයි එක්ක බත් සෙනසුරාද උදේට. දවල්ට අඹ හොද්දයි කරෝල හොද්දකුයි එක්ක බත්. වෙජිටේරියන් ලට අඹ ඇටයක් දුන්නා සූප්පු කරන්ඩ. රෑට පරිප්පු හොදයි බතුයි...කැමති කෙනෙකුට අඹ හොද්ද!! සඳුදා උදේට අඹ හොදියි කතුරු මුරුංගා මැල්ලුමකුයි බතුයි!!!!........අඹ....අඹ...අඹ....කතුරු මුරුංගා...අඹ...කතුරු මුරුංගා...අඹ....අඹ.
ඊළඟ බදාදා රෑ වෙනකල්ම ඩව්වා කුස්සියෙන් එලියට ආවානං ඒ ටොයිලට් යන්ඩ විතරයි. ඌ ලොකු බාස් ගේ ඇඳ ලඟම බිම හොඳටම බීලා වැටිලා ඉන්නවා අපේ එවුන් දෙතුන් දෙනෙක් දැකලා තිබ්බා. උගේ පොර ටෝක් නැති උනා විතරක් නෙවෙයි ආය කාලෙකට උගේ සියලු සිවිල් අයිතිවාසිකම් නැති උනා. ඌ මොකක් හරි කියන්ඩ කට ඇරපු ගමං කවුරු හරි එකෙක් මෙහෙම කියනවා.
අපි ඉස්සර හිටපු හිපාටුවො වගේ නෙවෙයි හරිය!!
ඇත්තම කිව්වොත් මං MI යන්ඩ ඉස්සර අඹ උයලා කෑවේ නෑ. හැබැයි අපේම ෆූඩ් ග්රූප් එකේ කාලේදී ජීවිතේ රැක ගන්ඩ අඹ හොද්ද කන්ද සිද්ද උනා. කාලා බැලුවම ඒකෙ කියන්ඩ තරං වැරද්දකුත් නෑ. හැබැයි තාම කොහේදී අඹ හොද්දක් කෑවත් මට MI ෆූඩ් ග්රූප් එක මතක් වෙනවා.
අපි වැඩිදුර නොහිතා නොබලා ගන්න තීරණ වලින් අපි විතරක් නෙවෙයි අපි වටේ ඉන්න හුඟක් දෙනෙක් අපහසුතාවට පත් වෙන්ඩ ඉඩ තියනවා. අපි එදා හිතුවනම් ළඟ එන විබාගේ හින්ද කට්ටිය ගෙවල් වල යන එක අඩුවෙයි කියල මේ ප්රශ්න මොකුත් නෑ. අඩු ගානේ කීප දෙනෙක් ගෙන් අහල බැලුව නං අපේ ප්ලෑන් වල වැරද්දක් පේන්ඩ තියනවද කියල අපිට මේ වැඩේ ගොඩින් බේර ගන්ඩ තිබ්බා. උද්දච්ච කමයි මෝඩ කමයි එක්කහු උනාම වෙන දේ තමයි අපි ඔක්කොමලා අත් වින්දේ.
ගුටි නොකා බේරුනා මදැයි
ReplyDeleteඅනික් උනුත් තේරුං ගත්තා වෙච්ච අලකලංචිය. නැත්තං ගුටි පූජාවක් නියතයි!!
Deleteහැක්.. මාර කට්ටක්නෙ කාල තියෙන්නෙ. අර කිවුව වගේ උඹල ගුටි නොකා බේරුන එක ඇති. ඒත් ඉතිං එක අතකට ඩව්වට කියන්න තිබ්බ පහුගිය දවස්වල කාපු සුපිරි කෑම දිරවගන්න තමයි මෙහෙම මැනූ එකක් දෙන්නෙ කියල. හැක්..
ReplyDeleteබුදු අම්මේ තව පොර ටෝක් දෙන්ඩ ගියානං අපිට නෙලනවා අම්බානක!!!
Delete//ඇත්තම කියනවනං මේ ලොකු මලයා කවදාවත් අරක්කු සුට්ටක්වත් කට ගාපු එකෙක් නෙවෙයි// කෙලිංම උගුරට හලාගන්නව මිසක්ක නේද?
ReplyDeleteඅපොයි ඔය අරක්කු කියන ජාතිය අන්තිම අගුණයි!! අපි මල් වගේ ළමයි හරිය!!!
Delete++++++++++
ReplyDelete!!!!!!!!!
Deleteහිනා වෙලා පන යනවා බං.. දිග කොමෙන්ටෙකක් ලියා ගන්නවත් හිනාව නවත්ත ගන්න බෑ.. හිහ්..හොහ්..හොහැ..හිහ්.. :))))))))))))
ReplyDeleteපට්ට!
ස්තූතියි කල්‍යාණ මිත්‍ර තුමනි.
Delete//විබාගේ ළඟ එන හින්දත්, අපි වවපු එක එක බෝග ජාති වල අස්වැන්න නෙලන්ඩ තියන හින්දත් හුඟ දෙනෙක් මේ සති අන්තේ කැම්පස් එකේම නවතින්ඩ තීරණය කරලා.//
ReplyDeleteස්පෙෂල් මෙනු එක රහ වැටිලා ගෙවල් වල යන්න හිටපු සමහර අය නොගිහින් නැවතුනාද දන්නෙත් නෑ.
ඔව් එහෙම වෙන්නත් පුළුවන්. උපකල්පන ගණනාවක් තිබිය හැකියි.හැබැයි හොඳ කෑම වේලක් නිසා ඔවුන් ගෙදර නොගොස් නතර උනා නම් අපේ ෆුඩ් ග්රූප් එකේ අන්තිම දින ටිකේ කෑම වල විශිෂ්ටත්වය හිංදා බැච් එකේ උන් ගෙවල් වල නවතින්ඩම ඉඩ තිබුනා....ඒත් එහෙම උනේ නෑ. ස්තූතියි ඉකොනොමැට්ටා තුමනි!!!
Deleteheh
ReplyDelete//අඹ හොද්දක්// මචං ෙම්ක අඹ ඇඹුල ෙන්ද?
ReplyDeleteගෙදර මද්දි කෑම වලට මරාගන්නව උනාට අපිත් ඉස්කෝ ප්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍රැක්ටිස් කෑම්ප් කලේ ඔහොම කාල තමයි.
මම හිතන්නේ මේක තමයි අත්දැකීම් කියන්නේ .මේක පරාජයක් නෙමේ අත්දැකීමක්.මම දැක්ක මුහුණු පොතේ නෙල්සන් මෙන්ඩේල කියල තියනවා කියල "මම කිසිදිනක පරාජය නොවිනි .එක්කෝ මම ජය ගත්ත නැතිනම් මම අත්දැකීම් ගත්ත.ඇත්තටම මම හිතනවා ලොකු මල්ලිට මේ අත්දැකීම මුළු ජීවිතේම සැලසුම් වලට උදව් වෙන්ඩ ඇති කියල
ReplyDeleteමමත් එක දවසක් MI ඇවිත් ගිහින් තියෙනවා යාළුවො දෙන්නෙක් එක්ක. අපේ අක්ක එහේ ඉන්න කාලේ. මට මතක විදිහට ඒ 2004 හෝ 2005 දී වගේ වෙන්න ඕනේ...
ReplyDeleteමටනම් අඹ හොදි ඔය විදිහට දවස් කීපයක් තුන් වේලටම කෑවත් එපා වෙන්නේ නැති වෙයි කියල හිතනවා. ඒත් ඉතින් ප්‍රයෝගිකව අත්හදා බලල නැති නිසා ඇත්තටම එහෙම උනොත් කොහොම වෙයිද කියන්න බැහැ... :)