හෙට ඉඳන් අපේ ගමේ ප්‍රාදේශීය සභාවට නාමයෝජනා බාර ගන්නවා.
මේ පාර චන්දෙ තියන ක්‍රමේ වෙනස් කියල කිව්වට මං හිතුවා අපේ ගෙදර තාප්පේ ඇලවෙන
පෝස්ටර් කන්දරාව අඩුවෙයි කියලා කියලා. මොන පිස්සුද වෙනද වගේම තාප්පේ නිල්, කොළ, කහ, රතු, දුඹුරු සහ පාට
පෙට්ටියක මං කවදාවත් දැකල නැති පාට වලිනුත් පෝස්ටර් වැහි වැහැලා. ඔය අතරේ අපේ
සුනිල් කන්නංගර දිසාපති තුමා (ඒ මහත්තැන්
කොයි තරං ලොකු තානාන්තර වලට පත්
උනත් මට නං එතුමා අම්පාරේ හිටපු මහ දිසාපති උන්නාන්සෙම තමයි. එතුමට මාව මතක නැති
උනාට එතුමගේ සහයෝගෙන් අපි අම්පාරේ කරපු වැඩ ගැන මං පස්සේ දවසක ලියන්නංකෝ) මේ පුංචිචන්දේ ගැන දාලා තිබ්බ ලිපිය කියෙව්ව ගමම්ම මගේ කල්පනාවට කස් ගාලා ආවේ අපේ
ගම්පැත්තේ ඉන්න චරිත දෙකක්.
එක්කෙනෙකුට 'අබේ අයියා' කියලත් අනික් කෙනාට 'ලූලාපානේ
ඉන්ද්‍රසිරි' කියලත්
කියමුකෝ. හැබැයි රජෝ මේ උන්දලාගේ හැබෑ නං නෙවෙයි. ඒ මොකෝ මේ චරිත තාම අපේ ගම්
පළාතේ ක්‍රියාකාරී දේශපාලනේ ඉන්න දැවැන්ත චරිත දෙකක් හිංදා!!
මෙතුමන්ලා ගැන ලියන්ඩ හේතු උනේ අපේ ගම්පලාතේ පිනටම පහල
වෙච්ච උත්තමයෝ දෙන්නෙක් හිංදා. දෙන්නම වෘත්තීමය දේශපාලකයෝ දෙන්නෙක්. සමහර විට මේ
දෙන්න ඉල්ලපු චන්ද ප්‍රමාණය උන් දෙන්නටවත් මතක නැතුව ඇති. මං ඉත්තේරුවෙන්ම දන්නවා
දෙන්නගෙන් එක්කෙනෙක් වත් ජනාධිපතිවරනෙකට ඉදිරිපත් උනේ නෑ කියලා. හැබැයි ඉං මෙහා
මොන චන්දෙකට උනත් මේ දෙන්න ඉල්ලලා තියන බවයි මගේ හැගීම!! තව එක දෙයක් කියන්නං මේ
අය ගහපු පෝස්ටර් ප්‍රමානේ එක්කහු කරා නං අද මධ්‍යම අධිවේගී මාර්ගේ පාලං කණු දෙක
තුනක් වෙනුවට පාවිච්චි කරන්ඩ තිබ්බා. අනික ඒ පෝස්ටර් ප්‍රමානෙට චන්ද හම්බුනානං අද
ඇමරිකාවේ ජනාධිපති ට්‍රම්ප් ගොයිය නෙවෙයි අපේ අබේ අයියා නැත්තං ලූලාපානේ ඉන්ද්‍රසිරි!!!
ඉතිං අපි මුලිම්ම මතක් කර ගම්මු අපේ අබේ අයියගේ දේශපාලන
ජීවිතයේ අමතක නොවෙන සිදුවීම් ගැන. අබේ අයියා අපේ
ගමට බටහිර පැත්තෙන් තියන ගමේ පදිංචිකාරයෙක්.
1. එතුමා මුලිම්ම
චන්දෙ ඉල්ලන්නේ - අඩු ගානේ මගේ මතකේ තියෙන්නේ - 1989 දී විතර තිබ්බ පළාත්
සභා චන්දෙට. ඔය කාලේ ටයර් සෑයවල්, මහ රෑ පානේ මරණ දඬුවම් දීම්, බස්, කඩ සාප්පු ගිනි
තැබීම් වගේ ගිනි විජ්ජුම්බර තිබ්බ කාලේ. ඒ කාලේ මිනිස්සු කරපු සාපරාධී වැරදි අතරේ
චන්දය ඉල්ලීම වගේම චන්දෙ දීමත් තිබ්බා. සාමාන්‍යයෙන් සහලෝලා චන්ද උන තිබ්බ එකෙක්
ඇරුනම සිහි බුද්ධිය තියන පුතයෙක් නං ඔය කාලේ චන්ද ඉල්ලන්ඩ යන්නේ නෑ. හැබැයි කොළ
පාට ආණ්ඩුවේ මර්දනයට, භීෂණයට, වංචාවට, දූෂණයට සහ මට
කවදාවත් නොතේරුණු තව මොනවදෝ වචන සැට් එකකට විරුද්ධව සැටලයිට් නෝන එහෙම මොකක්ද
පෙරමුණකින් ඔය කාලේ චන්දෙ
ඉල්ලුවා. චන්ද ලකුණ ඇහැ. ඔන්න ඔහොමයි අබේ අයියා දේශපාලනේට ඇත පොත් තියන්නේ.
ඒ
කියන්නේ සැටලයිට් නෝනලාත් එක්ක!!??.....නෑ.... නෑ....ඒ පක්ෂෙට පත් කරන්ඩ පුළුවන් චන්ද පොළ
නියෝජිතයෝ ගාන වැඩි කර ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් චන්දෙ 'ඉල්ලවපු' ස්වාධීන
කණ්ඩායමකින්. සමානුපාත චන්ද ක්‍රමෙත් එක්ක
චන්ද ඉල්ලන ලිස්ට් එකක අනිවාර්යයෙන් තියෙන්ඩ ඕන නං ගානක් තියනවා.කණ්ඩායමේ ලිස්ට්
එකට කට්ටිය මදි වෙච්ච හිංදා අබේ අයියා හිස් තැන් පිරවීමට එක් වෙනවා!!!
හැබැයි අබේ
අයියා තනියම ගේම ඉල්ලනවා. ගෙන් ගෙට යනවා, පෝස්ටර් ගහනවා, ඒක පුද්ගල රැස්වීම්
තියනවා තමුන්ට චන්දෙ දෙන්ඩ කියලා. තමන්ගෙ ප්ලෑන් එකෙන් පිට වැඩ කරන හිංදා අර 'ඇහැ' ටීම් එකෙන්
අබේ අයියට ගහනවා. ඊට පස්සේ ඔය කාලේ තිබ්බ කැලෑ ආණ්ඩුව මරණ තර්ජන එල්ල කරනවා. ගමේ
යූ. ඇම්. පී. කාරයන්ගෙන් අබේ අයියා ගුටි කන්නේ මල ගෙදරකදී!!! මෙහෙම දේශපාලන පන්නරේ
ලබන එතුමා ඒ කොයිකකින්වත් පසුබට වෙන්නේ නෑ. තව තවත් උනන්දු වෙලා චන්ද ව්‍යාපාරේ
ගෙනියනවා. ප්‍රතිපල දෙකක් හම්බ උනා. එක- ගෙදරින් පැන්නීම. දෙක කෑගලු
දිස්ත්රික්කෙන් චන්ද අටක් හෝ නවයක් ගැනීම!!!
2. ඊගාවට එතුමා
චන්දෙ ඉල්ලන්නේ රාජාලියා පක්ෂෙන්. හැබැයි ඒ රඹුක්කන මැතිවරණ කොට්ටාසේට. අබේ
අයියාගේ චන්දෙ ලියාපදිංචි වෙලා තිබුනේ මාවනැල්ලට. ආයෙත් විජයග්‍රාහී මැතිවරණ
ව්යාපරෙකට පස්සේ ප්‍රතිපල දෙකක් හම්බ උනා. එක - එතෙක් කල් අබේ අයියගේ තාත්තාගේ
කාලේ ඉඳලා කරගෙන ආපු කඩේ චන්දෙට වියදම් කිරීම නිසා බංකොලොත් වෙලා වහල දැමීම.
දෙක - තමුන්ගේ
චන්දෙත් නැතුව මුළු මනාප ගාන එක අතක ඇඟිලි ගානට වඩා අඩුවීම. අබේ අයියා ලවුස්
පීකරයක් බැදගෙන ගෙදර ඉදම්ම කතාවක් පැවැත්තුවා. එයා කිව්වේ “මේ ධනපති මනාප ක්‍රමය
තුල මනාප ලක්ෂ ගානක් ගත්තත් සමානුපාතික චන්ද ක්‍රමයෙන් අදාළ පක්ෂයට හෝ කණ්ඩායමට
ලැබෙන ආසන සංඛ්‍යාව මත සභාවට යෑමට ඉඩ නැති වෙන්ඩ පුළුවන් බවත් ඒ හින්දා අච්චර ලොකු
මනාප තොගයක් අරගෙනත් සභාවට නොයන එකේ තමුන්ට මනාප අඩුවීම පරාජයක් විදිහට නොසලකන බව!!!” ජයවේවා… ජයවේවා!!! අපේ අබේ
අයියට......!!!!!! අයිය අපිට - අපි අයියට!!!!!
3. ගියපාර වෙච්ච
වැරැද්ද මේ පාර අබේ අයිය හදා ගත්ත. චන්දෙ ඉල්ලුවේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවට.
ස්වාධීන කණ්ඩායමකින්. චන්දෙ කරන්ඩ ඉඩං දෙකක් වික්කා. අබේ අයියගේ අම්මගේ පොලී එකතු
කිරිල්ලෙන් තමයි අන්තිම රවුමේ පෝස්ටර් වලට සාදර මූල්‍ය අනුග්‍රහය. චන්ද කාලේ අපේ
ගමටත් අහල ගං හතකටත් වෙසක් හඳයි, පොසොන් හඳයි දෙකම එකා
පාර පෑව්වා වගේ. ඒ තරමට දන්සැල්. පාරම්පරිකව යූ.ඇම්.පී කාරයෝ වෙච්ච අපේ ගමේ උදවිය
දවල්ට, රෑට බඩ පුරා
කෑවා අබේ අයියගේ දන්සැලින්. “සාම්ප්‍රදායිකව
දක්ෂිනාංශික නැඹුරුවක් ඇති ගම්මාන පුරා සමාජවාදයේ ආශ්වාදනීය සුළං රැළි හමා යන බවත්
ඒ ලෝක බලවේගයේ ශ්‍රී ලාංකික ධජය හතර කෝරලේට ගෙනාපු කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට
ආඩම්බර වෙන බව” දන්සැලට ආපු
අයට වගේම ගෙන් ගෙට ගිහිල්ලත් අබේ අයියා කිව්වා. බොලාට තේරුනාද මංදා?
එක පාරක් අබේ අයියලාගේ
ගෙදරට පොලිසියෙන් පැනලා ‘උද්යෝගී ලෙස
චන්ද ව්‍යාපාරය මෙහෙයවීමට’ ගෙනත් තිබ්බ
කසිප්පු බෝතල් විස්සක් එක්ක අබේ අයියව රිමාන්ඩ් කරත් 'දක්ෂිනාංශික
බලවේග වල උවමනා එපාකම් අනුව මෙහෙයවෙන පොලීසිය නමැති ධනපති ආයතනයට' බැරි උනා අබේ
අයියව නවත්තන්ඩ. දවස් දෙකකින් ඇප අරන් ආපු ගමං ආපහු චන්ද වැඩ පටන් ගත්තා. බෙල්ල
ගියත් කද පයිට්!!!
මැතිවරණ නිලධාරීන්ට ගණන් පැටලුනේ ඔය චන්දෙදි. උන්දලා ඇණ
ගත්තා ඇණ ගැනිල්ලක් අය අමතක නොවෙන්ඩම!!!.
දෙපාරක් මනාප ගණන් කෙරෙව්වා අබේ
අයියා. කොහොමද ස්වාධීන කණ්ඩායමට හම්බෙච්ච
එකම ආසනේ ඒකෙ නායකයට ගියේ. නායක පොරට මනාප අට
දාස් ගානක් අබේ අයියට මනාප දෙසිය ගානක්!!!
යකා නැගල අබේ අයිය ගෙදර එනකොට එදා දවල්ට තුන්සිය පනහකට
විතර දන්සැලෙන් කෑම දීලා තිබ්බා. තව කට්ටියකට කෑම මදි හින්දා හාල් සේරු දහයක්
ලිපේ!! අබේ අයිය ගැහුවා ගැහිල්ලක් වැටහිර පොල්ලකින් දෑත බදලා මදි නොකියන්ඩ..... මොකේටද?
...චන්දෙ නොදී නිකං කාපු බීපු මිනිස්සුන්ටද? නෑ…..අර බත් මුට්ටියට!!.
ආයෙත් ප්‍රතිපල
දෙකයි. එක අපේ ගම ආසිරාවේ තියන “නොදියුණු, අර්ධ වැඩවසම් කෘෂි
ආර්ථිකයක් සහිත පසුගාමී ගැමි ආර්ථිකයන් තුල ජීවත් වන නූගත් ගැමියන්ට සමාජවාදය වැනි
යුගයට ඉදිරියෙන් ඇති ජීවන ක්‍රමයක්
පිළිබඳව තේරුම් ගැනීමට හැකියාවක් නොමැති බවත් එසේ හැකියාවක් තිබුනද ධනවාදී
මැතිවරණ ක්‍රම තුල එවැනි ප්‍රපංචයන් තෝරා ගැනීමට ඔවුන්ට ඇති ඉඩ කඩ ඉතාම අඩු බවත් ඒ
නිසා මේ මොහොතට ගැලපෙන නව උපාය උපක්‍රම තෝරා ගැනීමට ලෝක ධනවාදය විසින් නවීන
සමාජවාදීන්ට බල කරන බව” අපේ ගම්වල
මිනිස්සු දැන ගත්ත එක. ඒ කියපු එක අපේ ගමේ
හිටපු ‘දේශපාලන
වශයෙන් සවිඥාණික, බහුතර පීඩිත
පන්තියේ ජනතාවට’ තේරුනා.
ඔහෙලට තේරුනාද මංදා!!!
දෙක මේ අලුත් උපාය උපක්‍රම අතරට අබේ අයියා යූ.ඇම්.පී එකේ
සාමාජිකත්වය ගත් බව!!!
මේ පාර චන්දෙට නං අබේ අයියා ඉල්ලනවද කියල තාම හා හූවක්
නෑ. එහෙම ඉල්ලුවොත් කියන්නංකො ඔහෙලටත් ඈ. පුලුහන් කොමක් තිබ්බොත් හොමරි නැතුව
තැපැල් චන්දයක් හරි දීහල්ලා අපේ අබේ අයියට...!!!
දෙවෙනි චරිතේ අපේ ගමට නැගෙනහිර පැත්තේ තියන ගමේ. පොර අපේ
අප්පොච්චිගේ ක්ලාස්මේට් කෑගල්ලේ ටවුමේ තිබ්බ ඉස්කෝලෙක. ඔය කියන්නේ 1960 ගණන් වල
ඈ..... 'ලූලාපානේ
ඉන්ද්‍රසිරි’ ට ඉස්කෝල
කාලේදී කියපු නං වානම තමයි බෞද්ධ කොටියා!! ඔය නම හැදුවේ අපේ අප්පච්චි නොවුනත් ඒ නම
ගමේ ප්‍රචාරය කරේ අප්පච්චි හින්දත්, අපේ අම්මා
රජයේ සේවිකාවක් වෙලත් ආණ්ඩුව කරවන පක්සේ පාට වෙච්ච නිල් පාට සාරි නොඇන්ද හිංදා
අවිස්සාවේල්ල පැත්තට මාරු කරන්ඩ මූලිකත්වය ගත්තු බව පපු කැවුත්ත දන්න හින්දත් ඌ
තාම අපිට මූන දෙන්නේ නෑ. ඒ හිංද කෙනෙකුට හිතෙන්ඩ පුළුවන් මට ඌ එක්ක ඇරියස් එකක්
තියනවා කියලා. ඒ හින්දා විස්තරේ කෙටි කරන්නං.
ඔහෙලම හිතල බලන්ඩකෝ ඈ...මෙන්න සරලව උන්දැගේ ප්‍රගති
වාර්තාව.
1. බෞද්ධ කොටියා
කියල ඉස්කෝලේ කාලේම නමක් හදා ගන්ඩ තරං මෙතුමාගේ ක්‍රියා පිළිවෙල විශිෂ්ටයි!! කාට
හරි මේ නම ටියුබ් ලයිට් වගේ නං උපාසක බළල්ලු ගැන මතක් කොර ගන්ටකෝ!!!
2. දෙමාපියන්ගේ
මරණෙන් පස්සේ වතු පිටි ටිකක් උරුම උනා මෙතුමටයි ගෙදරටම වයස්ගත වෙච්ච අක්කන්ඩිටයි.
වතු වල ආදායමින් ඉන්දරසිරියා චන්දෙ ඉල්ලන්ඩ පටන් ගත්තා.
3. කවම කවදාකවත්
උන්දැ සී ලංකා පස්සේ වෙනස් කරේ නෑ. "අත කියන්නෙ කාට කාට - මූ ගහන්නේ ඌට
ඌට"!!.
4. සම්පකාර චන්දෙ
ඉඳලා පක්සෙන් කියන ඕන චන්දෙකට ඉල්ලනවා. ඊ ගාව පාර ජනාධිපතිවරණෙ උනත් අපෙ ලොක්කට
වැඩි නෑ!!
5. චන්ද ප්‍රමාණය
වැඩි වීමත් එක්ක වතු ටික ටික සින්න වෙන්ඩ පටං ගත්ත හිංදා වයසක අක්කා රබර්
පැට්ටරියක වැඩට ගියා. ඒ පඩි සල්ලි වලිනුත් පෝස්ටර් ගහපු හිංදා බැරිම තැන අක්කා වල
පයයි ගොඩ පයයි තිබ්බ මිනිහෙක් එක්ක පැනලා යනවා හොරෙන්!!
6. චන්ද වලට වියදං
කරන්ඩ විදිහක් නැති හිංදා ඉන්දරසිරියා නෝනා කෙනෙක් කැන්දගෙන එනවා. නෝනට රස්සවක්
තියනවා. ඒ සල්ලි
එක්කහු කරලා මූ චන්දෙ ඉල්ලනවා!!.
7. එකම පක්සෙන්
පත්වෙච්ච පාර්ලිමේන්තු මන්තිරිගොල්ල එක එකා ඇන කොට ගද්දි මෙතුමා සදා පරාජිත
මාවනැල්ල සංවිධායකතුමා වෙනුවෙන් පෙනී ඉන්නවා 1990 ගණන් වල. ඒ හින්දම
තුන් හතර පාරක් 'සුහද ගැටුම්' වලට ඉලක්ක
වෙලා මෙතුමා චන්ද කාලෙට තාවකාලික පදිංචි ලිපිනය විදිහට මාවනැල්ල ඉස්පිරිතාලේ
වාට්ටුවක් නම් කරගන්නවා.
8. අබේ අයියට වඩා
ටිකක් වාසනාවන්තයි මෙතුමා. එකෝම එක පාරක් 'සභාවට' පත් වෙනවා.
9. ගිය ඉරිදා මං
දැක්කා එතුමා තමුන්ගෙ පරණ මොටෝ බයිසිකලේට කඩේකින් අරන් පැට්ටෝල් බෝතලයක් දානවා.
ලැගිජ් එකේ පෝස්ටර් මිටියක් තිබ්බා. පාප්ප බාල්දියකුයි ඒකටම දාපු කොහු බුරුසුවකුයි
බයිසිකලේ ළඟ බිම තිබ්බා.
මේ මිනිස්සුන්ට තියෙන්නේ උණක්ද නැත්තං නොපසුබස්නා උත්සාහයක්ද? බලයලබා ගැනීම හා පවත්වා ගැනීම වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කිරීමට දේශපාලකයන් පසුබට නොවන අපේ රටේ මේ මිනිස්සු අහිංසකයෝද? නැත්තං මස් කට්ටක් හරි කවද හරි සූප්පු කරන්ඩ ලැබෙයි කියන හීනය දැක දැක ජීවත් වෙන දේශපාලන අනාතයෝද? මෙව්වා තේරුං ගන්නවට වඩා ලේසියි මේ අලුත් මැතිවරණ ක්‍රමේ යටතේ සභිකයෝ පත් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න එක!!
කාටූනය - ගූගල් සෙවුමක් තුලින් ලබා ගත්තකි.
මේතනං අනේ මන්දා බං
ReplyDeleteඅටමා තුමනි ඔබේ අදහස් දැක්වීම මට මදක් අපැහැදිලිය. එය මගේ ලිවීම ගැන නම් මම උත්සාහ ගන්නම් ඉදිරියේදී තත්වය උසස් කරන්නට. එම අදහස් කතාවට පාදක චරිත වල හැසිරීම ගැන නම් මට පුදුමයි අපේ චන්දදායකයන් ගැන. මේ දෙන්නම කසිප්පු මුදලාලිලාවත් මිනීමරුවොවත් නෙවෙයි. ඒත් උන් දිගටම පරාදයි. මාවනැල්ලේ පත් වෙච්ච සමහරු කසිප්පු මුදලාලිලා. සමහරුන්ට මිනී මැරුම් නඩු. ඒත් උන් දිනුම්.
Deleteදේශපාලන උණ බෝවෙච්චි ඔය වාගේ අහිංසකයෝ තමයි ගොඩාක් වෙලාවට දේශපාලුවන් උන්ගේ ඔක්කෝම වැඩවලට යොදාගන්නේ. ලිස්ට් එක පුරවද්දි දාන්න එකෙක් නැත්නම් අන්තිමේදි උන්ට නොමිනේෂන් දෙනවා. ඊටපස්සේ ඉතිං උන් තවත් හිගමනේටමයි තමයි වැටෙන්නේ.
ReplyDeleteහරියටම!! කාලෙකදී දේශපාලුවෝ මේ මිනිස්සුන්ව අන්දනවා. නාට්‍යයේ ප්‍රධාන චරිතෙකට පුරුදු කරවනවා. ඇත්තටම නාට්‍යය පෙන්නන දවසේ තමයි දැන ගන්නේ මූ ඉන්නේ රිසව් කියලා. නාට්‍යය ඉවර වෙනවා. ඒත් අපේ යාළුවො තාම ඇඳ ගෙන....කාට කියමුද මේ අවනඩුව?
Deleteමේක හරිම ප්‍රපංචයක්. (තේරුනාද මන්ද)
ReplyDeleteඔව්...ඔව්...අපොයි මොකද අපිට නොතේරෙන්නේ...මේක මේ භෞතිකවාදී...අපෝහක...දයලෙක්තික...ජාත්‍යන්තර...ප්‍රපංචයක්!!! (හුහ්...කොහොමද ලොකු මලය දන්න වචන...තව ඕනනං අබේ අයියගෙන් අහල කියන්ඩ පුළුවන්)
Deleteලොකු මල්ලි සෑර්, හැට්ටර්ටත් හිච්චි එකා කාලේ මතකයි තාප්පවල 'ඉරළ කුණට' චන්දය දෙන්ඩ කියල ලියපු පෝස්ටර්.
ReplyDeleteඒකාලේ මීටර් උනේ නැහැ මක්කැයි මේ ඉරළ කුණ කියන්නේ.
ඔහෙට කියන්ඩ, මේ බත් මුට්ටියේ කතාව ඇහුවම අපේ ගමට චන්දෙ ඉල්ලපු සුදර්මන් මහත්තය සෑර්ව මතක් උනා.
වෙලාවක් තිබ්බොත් ඒ විස්තරේ හැට්ටර්ගේ B&W එකට ලියන්ඩ ඕනේ.
ආයෙමත්..., ඉරළ කුණට ජයවේවා!!
ජයවේවා හැට්ටර් තුමනි.
Deleteමේ ලියමනේ ඇති අපුර්වත්වයට මම කැමතියි. දේශපාලනය ලිවිම කියන්නෙම කලාවක් කියලා සමහර ලියුම්කරුවන්ට නොතේරීම බොහොම දුක්බරයි. අපි කාටවත් දේශපාලනයෙන් සමාජයේ සමහර සිද්ධි විස්තර කරන්නම බැහැ. මම දැකලා තියෙනවා මේ දේවල් ගැන ලියද්දි ඇති විතක්ෂණභාවය. ඔබේ අධ්‍යාපනය සහ අධ්‍යාපනයෙන් ලද ශික්ෂණය , පන්නරය වෙතම මම ස්තුතිය පළකරන්නට කැමති නැහැ. ඔබේ පුද්ගල ස්වභාවයත් අනිවාර්යයෙන් මේ ශික්ෂණය තුල ලොකු කොටසක් කරලා ඇති.
ReplyDeleteහොඳ ලියවිල්ලක්
ස්තූතියි ලිඛිතාතුමියනි. පලවෙනි චේදේ නං මට ටිකක් තේරෙන්නේ නෑ. අබේ අයියගේ කතාවක් වගේ...(විහිලුවට කිව්වේ තරහ ගන්ඩ කාරි නෑ!!!)
Deleteඅබේ අය්යා සහ ඒ සිස්ටම් එකේ කතා ඔයාට තියා කාටවත් තේරෙන්නේ නෑ. දේශපාලනිකව එතරම්ම මොට්ටයි අපි. එහෙම වාතාවරණයක අබේ අය්යා වගේ අය තමයි සුරාකෑමට ලක්වෙන්නේ.
Deleteඅපේ අම්මගෙත් යාලුවෙක්ගෙ හස්බන්ඩ් ඔන්න ඔය වගේ චන්ද ඉල්ලන්න ගිහින් අන්තිමට ගෙදරටත් බෝම්බ ගැහුවා. දිනපු චන්දෙකුත් නෑ , වෙච්ච දේකුත් නෑ. අර දැන් ඉන්නේ හාමිනේගේ වියදමෙන්!
ඇත්ත....මට හිතෙන්නේ අපි දේශපාලනේ දිහා බලනවාට වඩා වෙනස් විදිහකට මේ මිනිස්සු දේශපාලනේ දිහා බලන බවයි. ඒක හරිද වැරදිද කියන්ඩ නම් මම දන්නේ නෑ. මිනිස්සු බලයට මෙච්චර කෑදරද?
Deleteබලයට වඩා මිනිස්සු පස්සෙන් වැටීගෙන එන සිද්ධියට තමයි ඒ මිනිස්සු ඇබ්බැහි වෙන්නේ. ඒක හරියට ගැලරියට පිනුම් ගහන සර්කස්කාරයෙක් වගේ. කොන්ද කඩාගෙන උනත් විසිල්පාරට පන එනවා. ඒක ඇබ්බැහියක්. අපිට තේරෙන්නේ නැතිවෙන්න පුළුවන්. දිනුවේ නැතත් ඒ මිනිස්සු හිතනවා පිරිස ඔහු වටේ ඉන්න එක මාරයි කියල. ඉතින් වටේ උන් උගෙන් කාලා වෙන උන්ට කතිරේ ගහනවා.... ඒ තමයි අපේ දේශපාලනය
Deleteලියමුද කවියක් මේ ගැන? අපේ ඉන්න මිනිස්සුන්ගේ ලැජ්ජා නැතිකම හින්දා තමයි කාගෙන් හරි නිකං හම්බ වෙන දෙයක් කන්ඩ හදන්නේ කිසිම ප්‍රති උපකාරයක් නොකර. මිනිස්සු පස්සෙන් එන්නෙත් බලයේ ම එක කොටසක් විදිහට නේද?
Delete+++++++++
ReplyDelete!!!!!!!!!!
Deleteස්තූතියි ප්‍රා ජේ
ReplyDeleteමේ පාර සභිකයෝ ගාන 4000 ඉදන් 8000 වෙනවනේ.එතකොට මේ දෙන්නටම චන්චේ එකක් තියනව කියල කිව්වොත් තව පොස්ට්ර ටිකක් ගහයි.ඇත්තටම මුන් පරදිනවා කියල දන්නැද්ද,එහෙම නැත්නම් පැරදුනත් චන්දෙ ඉල්ලුවහම ගමේ පොරක් කියල පිළිගනී හිතල ඉල්ලනවද ,එහෙමත් නැත්නම් තමුන් පැරදුනත් ඉල්ලන පක්ෂේ අනිත් අය දිනුවොත් කට්ටක් කන්ද ලැබෙයි කියල හිතනවද?
ReplyDeleteඑකෙක් දැනටම පටන්ගෙන. අනිකා ගැන තාම ආරංචියක් නෑ. බලමු මේ පාර මොකක් වෙයිද කියලා....
Deleteඋඨ්ටාන වීරිය. ඔව් ඒක තමයි හරිම වචනෙ. එතුමෑන්ලා දිනේවා!
ReplyDeleteඑතුමෑන් ලා දිනුවොත් සුරංගතුමනි අපි ඉල්ලලා දෙන්නම් රත්නපුරේට වරායක්. එහෙම නැත්තං බදුල්ලට නැව් තටාකාංගනයක්!!
Deleteමට තිබ්බනම් අබේ අයියට චන්දයක් දෙනවා.. ඌ හරි ඉන්ටරස්ටින් චරිතයක් වගේ.. ලුලාපානේ ඉන්ද්‍රසිරි ගැන කවි ගී ලියවුනා මදි වගේ.. :)
ReplyDeleteනැතුව නැතුව කල්‍යාන මිත්‍ර තුමනි මුන් දෙන්නම ඉන්ටරස්ටින් චරිත. නැත්තං තාම දේශපාලන ව්‍යාපාර පස්සේ පන්නන්නේ නෑනේ. ඉන්ද්‍රසිරි මහත්තයා ගැන ගමේ මිනිස්සු හුගක් කවි ගී ගායනා කරනවා ඇත්තටම එතුමා ගැනම නෙවෙයි එතුමාගේ මව ගැන. අබේ අයිය ඒ තරම්ම සම්භාවනාවට පාත්‍ර වෙච්ච කෙනෙක් නෙවෙයි.
Delete