Thursday, December 21, 2017

බල්ලෝ, බූරුවෝ,හරක් සහ ගොන්නු


ඉස්සර කාලේ බොහොම ගැඹුරු කට හඬකින් විදේශ ප්‍රවෘත්ති, විස්තර විචාර ගෙනාපු ආචාර්ය මොහාන් සමරනායක මහත්තයා මතකදඅද එක එක දේශපාලන පක්ෂ වල මාධ්‍ය ප්‍රකාශක වගේ තුට්ටු දෙකට වැටිලා හිටියට එතුමා හොඳ බුද්ධිමතෙක්. හරි සුන්දර මනුස්සයෙක්. කාලෙක එතුමත් අපේ කන්තෝරුවට කිට්ටුවෙන් වැඩ කළා. ඉතින් සමහර දවස් වල අපි උදේ කෑම ගන්න වෙලාවෙදි හම්බෙනවා කැන්ටිමේදී. මෙන්න එහෙම කියපු එක කතාවක්.

දවසක් එක සීබ්‍රාවෙක් සත්තු වත්තේ කූඩුවෙන් එලියට පැන ගත්තා. ඊට පස්සේ ඌ කල්පනා කළා සත්තු වත්තේ ඉන්න අනික් සත්තුන්ව බලන්ඩ යන්ඩ. එහෙම යනකොට ඉස්සොරෝම හම්බ උනේ බල්ලා.

ආ යාලුවේ ඔයා කව්ද?” සීබ්‍රා ඇහුවා

බුහ්....බුහ්...මම තමයි බල්ලා කියන්නේ

ඔයා මොනවටද ප්‍රසිද්ධ?”

මම මිනිස්සුන්ගේ හොඳම යාලුවා. මම ඒ අයව ආරක්ෂා කරනවා...!!!”

ඒකත් එහෙමද?” කියපු සීබ්‍රා ගමනේ යෙදුනා. ඌට ඊළඟට හම්බ උනේ පූසෙක්.

ආ...යාලුවේ ඔයා කව්ද?”

මම පූසා..ඥාව්..."

ඔයා මොනවටද ප්‍රසිද්ධ?”

ඥාව්...මම ගෙවල් වල ඉන්න මීයෝ අල්ලන්ඩ තමයි ප්‍රසිද්ධ!!!”.

ආ හොදයි මම එහෙනං ගිහිල්ලා එන්නං කෝ...

ඔහොම එක එක සත්තු හම්බ වෙච්ච සීබ්‍රා අන්තිමට ආවා පට්ටි ගොනෙක් (stud bull) දාලා හිටපු කූඩුවක් ලඟට.


ආ යාලුවේ ඔයා කව්ද?”

මම....මම පට්ටි ගොනෙක්!!! බොහොම ගරු ගාම්භීර විදිහට අරූ උත්තර දුන්නා.

ඔයා මොනවද කරන්නේ?”

ගොනා හිතුවේ සීබ්‍රා කින්ඩියට අහනවා කියලා. අනික ගොනා ජීවිතේට සීබ්‍රෙක් දැකලා තිබ්බෙත් නෑ. ඌ හිතුවේ මේ නං එකත් එකටම පිජාමා ඇඳුමක් ඇඳ ගත්තු අස්සයෙක් තමයි කියලා!!!!.

ඈ බොල $&&%$&% අස්සයෝ තෝ ඒක දන්නේ නැද්ද...වරෙන්කො ඔය පිජාමා එක ගලවලා මේ කූඩුව ඇතුලට මං කරන වැඩේ තොට පෙන්නන්ඩ !!! ('$&&%$&%' යනු පුරාණ බසකින් 'ස්ත්‍රී ලිංගයට අයත්' යන තේරුම දෙන පදයක් ලියන ආකාරයයි!!).

කතාවෙන් ගත යුතු පාඩම තමයි සමහර සත්තු මොකද කරන්නේ කියලා නොදැන අනවශ්‍ය ප්‍රශ්න ඇසීම භයානක බව. අන්තිමට ගෙදර එන්ඩ වෙන්නේ අනවශ්‍ය තැන් වල කැළැල් ඉතුරු කරගෙන වෙන්ඩ පුළුවන්. 

මට මේ කතාව මතක් උනේ චන්දෙට නාම යෝජනා දීපු අද පැවැත් වෙච්ච එක රැස්වීමක් මටත් ටික වෙලාවක් අහන්ඩ ලැබිච්ච හිංදා. ඒ වෙලාවේ කතා කරපු මහත්තයාට අනුව දැන් ආණ්ඩු පක්ෂයේ ඉන්නේ හරක්, බූරුවෝ, ගොන්නු සහ බල්ලෝ!!!

අපේ දේශපාලකයන්ගේ කටේ නිතරම තියන වචන සැට් එකට මේ අහිංසක සත්තුන්ගේ නං ගං ඇතුල් වෙන හිංදා මට හිතුනා උං ගැන ටිකක් හොයල බලන්ඩ.

අපි පටං ගම්මුද බල්ලගෙන්. මොකද ඌනේ අපිට ලඟම සතා.

හොඳින් වර්ධනය වෙච්ච හිස් කබලක් සහ දත් පද්ධතියක් තියන, දිග පාද සහ සාපේක්ෂකව කොට වලිගත් කණුත් තියන කානිස් (Canis) කියන ඝනයට (genus) අයත් වෙච්ච සතෙක් තමයි බල්ලා. එහෙම නැත්තං Canis familiaris. මේ ඝනයටම තමයි වෘකයෝ අයිති වෙන්නෙත්. උන් ඔක්කොම ඔරිජිනල් මාංශ භක්ෂකයෝ. බල්ලා අපිත් එක්ක ඒ කියන්නේ මිනිස්සුත් එක්ක පයිරු පාසානම පටන් ගන්නේ අවුරුදු 30,000 කට විතර ඉස්සර. ඉතිං අපිත් එක්කම වල බහින්ඩ සෙට් වෙච්ච හිංදා මූට ලොකු වෙනස් වීම් වලට මූණ දෙන්ඩ උනා. මුලිම්ම ඌට සිද්ධ උනා මිනිස්සුන්ගේ ආහාර රටාවට ගැලපෙන්ඩ. ඌට පිටි සහිත ආහාර මත යැපෙන්ඩ පුළුවන් උනේ ඉන් පස්සේ. වෘකයෙකුට දීල බලන්ඩකෝ පාන්. ටික දවසකින් හාමතේ මැරෙනවා. එහෙමද බල්ලෝ. අපි දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මිනිස්සුන්ගේ උවමනා එපාකං තේරුං ගන්ඩ උං උත්සාහ කළා. ඒ හිංදා බුද්ධිය දියුණු උනා. කොටිම්ම පොඩි මිනිස් දරුවෙක්ගේ තරමට දැන් ඉන්න බල්ලන්ගේ මොලේ දියුණුයි. මේ තත්වෙ අහලකටවත් ලඟා වෙන්ඩ මිනිස්සුන්ගේ ලගම නෑදෑයෝ වෙච්ච මහා වානරයන්ටවත් බැරි උනා. සමහර බල්ලන්ට වචන 200-300 විතර තේරුම් ගන්ඩ එහෙම නැත්තං අඳුනා ගන්ඩ පුලුවන්ලු.

මිනිස්සුත් එක්ක සෙට් වෙච්ච බල්ලා අපිට ආරක්ෂාව සපයනවා විතරක් නෙවෙයි සමහර රටවල් වල දඩයම් කරන්ඩත්, බර අදින්ඩත්, මත්ද්‍රව්‍ය, බෝම්බ වගේ දේවල් අඳුනා ගන්ඩත් අන්ධ මිනිස්සුන්ත් කනවැල අල්ලන්ඩත් දැන් උදවු වෙනවා.

මෙච්චර උදවු කරන එකාගේ නම පාවිච්චි කරලා අපි කාට හරි බනිනවා නම් ඒ කියන්නේ අපේ කෙලෙහි ගුණ නැති බව පෙන්නීමක් නෙවෙයිද?

ඔන්න මට තව කතාවක් මතක් වෙනවා. අහල තියනවද නරි හූ කියනවා. ඉස්සර අපේ ගෙදරටත් ඇහෙනවා ගම මායිමේ තියන පොඩි ලන්දේ නරි හූ කියනවා. එතකොට මුළු ගමේම ඉන්න බල්ලෝ උඩු බුරන්ඩ පටන් ගන්නවා. එහෙම හූ කියන එකට හේතුව ගැන තමයි මේ කතාව.

ඔය එක එක පණ්ඩිතයා කිව්වට ඉස්සරෝම මිනිස්සුත් එක්ක සෙට් වෙලා කැලෙන් අලියට ආවේ බල්ලා කියලා ඒක එහෙම නෙවෙයිලු උනේ. ඉස්සරෝම මිනිස්සුත් එක්ක ගමට ආවේ නරි ලු!!හැබැයි ටික කාලෙකිම්ම නරින්ට තේරුනා ලු මිනිහා කියන්නේ මහා ගුණමකුවෙක් කියලා. ඒ හින්ද ඌ ආපහු කැලේට ගියාලු. ඊට ටික කාලෙකට පස්සේ මිනිස්සුත් එක්ක බල්ලෝ ඇයි හොඳයි කං පවත්තන්ඩ පටන් ගත්තලු. තමුන්ගේ සහෝදර කැළෑ සතෙක් පත් වෙන්ඩ යන විපත්තිය දැකපු නරි, බල්ලන්ට කිව්වලු මෙහෙම.

යාලුවේ ඔය මිනිස්සු මහා ගුණමකුවෝ. උන්ගේ වාසියට විතරයි වැඩ. උඹ නං රැවටෙන්ඩ එපා උන්ගෙ මායං වලට

බල්ලෝ හිතුවලු එකත් එකටම මේ බල්ලො වෙච්ච අපි දියුණු වෙනවා බලා ගෙන ඉන්ඩ බැරි කමට නර්රි කියන කතාවක් තමයි කියලා. ඉතින් උන් නරින්ට මෙහෙම උත්තර දුන්නලු!

මේ අපේ වැඩක් අපි බලා ගන්නං. මිනිස් අයියලා හරී.......ම හොඳයි. අපිව මල් වගේ බලා ගන්නවා කිව්වා. කිසි දුකක් කරදරයක් කවම කවදාකවත් දෙන්නේ නෑ කියල දිවුරලා පොරොන්දු උනා

හා..හා..බලමුකෝ..අපිටත් කිව්වේ එහෙම තමයි මුලිම්ම. ඒත් පහු පහු වෙනකොට තමයි ගහන්ඩයි බනින්ඩයි පටං ගත්තේ. ඒ දීගෙන් කමක් නෑ කියල හිතල අපි කැලේට ආවා

උඹලා ඔය ඉරිසියාවට කියන කතා. දැන් ඒ අයියල හරීම...හරීම...හරී හොඳයි

හා..හා..බලමුකෝ...අපිත් ඉන්නේ මේ ආසිරාවෙමනේ

නරි කරපු අනතුරු ඇඟවීම තුට්ටුවකට මායිම් නොකරපු බල්ලන්ට වෙච්ච වැඩේ අපි හැමෝම දන්නවනේ. ඉතිං ඒ හින්දලු නරි ගං අද්දරට ඇවිත් හූ කියන්නේ. ඒ හූ කියන්නේ තමන්ට බව තේරුම් ගන්න බල්ලෝ උත්තර දෙන හැටි තමයි අපිට උඩු බුරලනවා වගේ ඇහෙන්නේ. අපි එතකොට ගල් කැට අරං බල්ලෝ ඉන්න දිහාට විසි කරන ගමං දුහ්...දහ පදුරා බල්ලො මේ හැත්ත හිංදා රෑට කනක් ඇහිලා නිදා ගන්ඩවත් නෑ කියලා බනිනවා. බල්ලෝ කියන දේ අපිට නොතේරුනාට අපි කියන දේ බල්ලන්ට තේරෙනවා. ඉතින් උං කට වහ ගන්නවා. හැබැයි හොඳ වෙලාවට අපි කියන දේ නරින්ට තේරෙන්නේ නෑ. නැත්තන් බල්ලෝ රෙද්දක් ඇඳන් පාරේ බැහැලා ගිහිං හමාරයි!!!

දැන් බූරුවෝ ගැන ටිකක් හොයල බලමු.

බලන්ඩකෝ හිනාවෙ ලස්සන!!!

බූරුවා කියන්නේ අස්ස කුලේටම අයිති ඒ කියන්නේ ඉක්විඩේ කුලයට (Family- Equidae) අයිති මිනිස්සු විහින් හීලෑ කර ගත්තු තව සතෙක්. උගේ විද්‍යාත්මක නාමය  Equus africanus asinus අපිට හිතෙන්නේ බූරුවා කියන්නේ මොලයක් නැති සතෙක් කියල උනාට ඇත්ත කතන්දරේ ඊට හුඟක් වෙනස්. ව්‍යවහාර වර්ෂයෙන් කිතු උපතට වසර 3000 කට විතර ඉස්සර ඊජිප්තුවේදී හෝ වර්තමාන ඉරාකය පවතින ප්‍රදේශයේදී හෝ මිනිස්සු මේ සතාව හීලෑ කර ගන්ඩ ඇති කියල තමයි හිතන්නේ. ටිකක් හිතුවක්කාර හින්ද ඌ යමක් අනතුරුදායකයි කියල හිතුනොත් කරන්නේ නෑ. ඒක උගේ හැටියක්. හැබැයි ඒ මෝඩ කම හින්ද අපි කියන දේ නාහන ගතියක් නෙවෙයි. ඇත්තටම බූරුවා කියන්න ඉතා ඥානවන්ත, පරෙස්සම් සහගත, මිත්‍රශීලී, සෙල්ලක්කාර සහ ඉගෙනීමට ඉතා ප්‍රිය කරන සතෙක් කියලයි සත්ත්ව හැසිරීම් පිලිබඳ විශේෂඥයෝ කියන්නේ. හා හොඳයි කියමු බලන්ඩ අපිට මේ ගති ලක්ෂණ වලින් කීයක් තියනවද? අවංකව කල්පනා කරලා බැලුවොත් කවුද 'බූරුවෝ'?

හරක ගැන අපි හැමෝම දන්නවනේ. උගේ කිරි ටික දොවා ගෙන පස් ගෝ රස හදා ගන්න අපි, ගොම ටික ගස් වලට පොහොර කර ගන්න අපි, කුඹුර හාන්ඩ, ගොයං පාගන්ඩ උගෙන් පිහිට ලබන අපි අන්තිමට ඌව මස් කඩේට විකුනන්නේ හිත පිත් නැති ගානට. හරක හරක…. කියල කිව්වට ඌටත් යමක් කමක් නොතේරෙනවා නෙවෙයි. අනික ඌට නොතේරුනාම කියමුකෝ. ඉතින් එහෙම නොතේරෙන සතෙක් අපුඉට මෙච්චර උදවු කරනවා නං තේරෙන සත්තු කොහොම උදවු කරන්ඩ ඕනද? එහෙම වෙනවද...හා ඔට්ටුයි කියන්ඩ බැරුවට.

මේ විදිහට බලාගෙන ගියාම අපිට උදවු කරන, අපිත් එක්කම ඉන්න, අපි හින්ද උන්ගේ ජීවන රටා වෙනස් කර ගත්තු සත්තු කීප දෙනෙක්ගේ නං තමයි අපි අපහාසාත්මක වචන විදිහට පාවිච්චි කරන්නේ. අපිට මේ තරම් ප්‍රයෝජනවත් නොවෙන සිංහයා, කොටියා, චීටා, ජගුවර් වගේ නං අපහාස කරන්ඩ පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි? ඒ සත්තු ගරු ගාම්භීර විදිහට සැලකුම් ලබන්ඩත් අච්චර උදවු කරන උන් දෙකේ පංතියට වැටෙන්ඩත් හේතුව මොකක්ද? අපේ නොදැනුවත් කමද? කුහක කමද? ඒ දෙකමද? නැත්තං වෙන හේතුවක්ද? මොකක්ද උත්තරේ?

ආශ්‍රිත වෙබ් පිටු  

චායාරූප - ගූගල් සෙවුමක් තුලින් ලබා ගන්නා ලදී. 




15 comments:

  1. ඌරා?
    කලවැද්දා?
    උගුඩුවා?
    වඳුරා?
    හෝතඹුවා?

    ReplyDelete
    Replies
    1. මගෙ අම්මේ කියන නං ගොඩ නේද? හැබැයි මේ නං ඒ කියන ඇත්තන්ටමත් ගැලපෙනවා. උදාහරණයක් විදිහට ඌරා කියල කියන්නේ ජරාව කන හිංදා නම්, කොයි දේශපාලකයාද ජරාව නොකන්නේ??? වඳුරා කියන්නේ ඇත්තෙන් ඇත්තට පනින හින්ද නං පක්ෂ මාරු නොකරපු දේශපාලකයෝ කී දෙනයිද ඉන්නේ?

      Delete
  2. Replies
    1. මිනිහෙකුට බනින්ඩ ඕන උනාම අපේ තඩියා තුමා එතුමාගේ සාම්ප්‍රදායික වැට කඩුල්ලෙන් එහා ගිහිං කියන දේවල්!!!! ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.

      Delete
  3. බුරුවා සීබ්‍රා..

    ReplyDelete
    Replies
    1. සීබ්‍රා කියලත් බනිනවද දේශක තුමනි? එහෙම නැත්තං ඔබ මේ කියන්නේ අර මොහාන් සමරනායක මහත්තයාගේ කතාවේ ආපු සීබ්‍රා බූරුවෙක් බවද?

      Delete
  4. ඇයි සිංහලේ කියල පොරවල් වාහනවල ගහගෙන යන්නේ.ඒගොල්ල හිතාගන ඉන්නේ සිංහයාගේ ලේ තියන එක ලොකු රෙස්පෙක්ට් එකක් කියල.නමුත් එකෙන් කියවෙන්නේ වෙන දෙයක් නේද?එක මෙතන ලියන්ඩ බැහැ.

    ReplyDelete
    Replies
    1. අපොයි අම්මේ මට පවු කියලා හිතෙනවා එහෙම ගහගෙන යන අයියලා දැක්කහම. ඊටත් වඩා තමුන්ගේ දෙමාපියන්ට කරන්ඩ පුළුවන් අගව්රවයක් තියනවද? හැබැයි ඒ අය සිංහලේ කියල අදහස් කරන්නේ ප්‍රදේශයක් නං ඒ කියන්නේ ඒ අය උඩරට ප්‍රදේශයට අයත් බව. මොකද සිංහලේ කියල හැඳින්නුවේ උඩරට රාජධානිය.

      Delete
  5. යස වැඩේ බල්ලොන්ටයි බුරුවොන්ටයි හරක්ටයි තමන්ගේ තියෙන විදියකට කාල අන්දලා කැලේට වෙලා ඉන්නේ නැතුව ආවට මෙතන ගුනමකුවොන්ගේ අගුපිලේ වැටිලා උන්ට කඹුරන්න. උන් නිකමටවත් අහල නැතුවැති අර 'දෙවේලේ දකින කුකුලගේ කරමලේ සුදුවෙන' කතාව.. කොච්චර සිංහයෙක් උනත් දෙවේලේ දකින්න ගත්තොත් පයිසේකටවත් මායිම් කරන්නේ නෑ..:))

    ReplyDelete
    Replies
    1. ඉතින් නරි ඇවිත් හූ කියන එක අසාධාරණ නෑ නේද කල්‍යාන මිත්‍ර තුමනි?

      Delete
  6. ඒ අතින් අපේ ඔෆිස් එකේ ඉන්නෙ බල්ලො බැල්ලියො කියල කියන්න පුළුවන්. හරිම හිතවත්. ඒකයි.

    ReplyDelete
    Replies
    1. අපේ ඔෆිස් එකෙත් එහෙමයි සුරංගතුමනි. හැබැයි උන් හිතවත්කමට වඩා කෑ පතේ පහරන්ඩ පුරුදු වෙච්චි එව්වෝ!!!! මොක උනත් ඉතින් බල්ලෝ බල්ලියෝ තමයි නේද?

      Delete
  7. Replies
    1. පුදුම වෙන්ඩ මං අලුත් දෙයක් කිව්වයැ මද්දා තුමනි?

      Delete