Saturday, July 28, 2018

ඉටු දෙවි 'යුරු - දෙටු මහැ'දුරු



 ඔන්න අපි කට්ටියක් දවසක් පොඩි වැඩකට ගිහිං වැලිමඩ නුවර එලිය හරහා කොළඹ එනවා. සීට් විසි හයේ බස් එකක් උනාට හිටියේ දහ දෙනෙක් විතර. සිංහල අපි හැමෝටම තියනවනේ කොහේ හරි ගියොත් ඒ පැත්තට ආවේණික එහෙම නැත්තං අදාළ පැත්ත ගැන ප්‍රසිද්ධ යමක් ගෙදර අරං යන එක. කතරගම ගියොත් දොදොල් අරන් එනකල් ගෙවල් වල කට්ටිය මග බලාගෙන ඉන්නවා. අනුරාධපුරේ ගියොත් එළවලු ටිකක්. නුවර පැත්තේ එහෙම නැත්තං පඬුවස්නුවර ගියොත් මැටි බාජනයක්. කැළණි පන්සල් ගියොත් මැටි බළලෙක්...ඉතින් දැන් අපි කල්පනා කරනවා මොනවද ගෙදර ගෙනියන්නේ කියලා.

නුවර එලිය හරහා එනවනං මල් ටිකක් අරං එන්න කියල ගෙදරින් පිටත් වෙනකොට අපේ නෝන මහත්තය කියල තිබ්බ. ලස්සනට ගෙදර මල් පෝච්චියක දාලා තියනවටත් වඩා ඔය මල් වල වටිනාකම තියෙන්නේ මාස හය හතක් යනකල් ගෙදරට එන අයත් එක්ක පුරාජේරුව කියන්ඩ පුළුවන් වෙන හින්දයි. අපේ ගෙදර එක්කෙනා මේ ලඟදි නුවර එළියෙන් මල් වගයක් ගෙනාවා....හර්රී......ම ලස්සනයි. හරි ගණන් අඩුයි නේ එහෙ මල්....කියල පටන් ගන්න කතාව ඉවර වෙන්නේ වෙඩින් එකට නුවර එළියෙන් මල් ගෙන්නපු කතාවෙන්. ඒ කතා අහගෙන ඉන්න කොට හිතෙනවා නුවර එළියේ මල් ලොරියක් විතර රුපියල් දෙකට තුනට ගන්ඩ පුළුවන් වෙන ගතියක්.

ඉතින් ඔය වගේ වැලිමඩ නුවර එළිය පැත්තෙන් මොනවද ගෙනියන්ඩ පුළුවන් කියල කතා බහ යද්දි අල ගැන මතක් උනා. තව මොනවද හිතන්නේ මෙහේනේ අල තියෙන්නේ. අල ටිකක් ගෙදර ගෙනිච්චොත් හොඳයි.

ඔය ගමනට කට්ටකාඩුව කියවන අයට අමුත්තෙක් නොවෙන ඩොක්ටර් ඩී ත්, අද කතාවේ නායකයා වෙන ප්‍රොෆෙසර් කරුණාතිලකත්, ලංකාවේ වැදගත් දෙපාර්තමේන්තුවක ඉහලම නිලයක් දරපු බණ්ඩාර මහත්තයත්, තව කීප දෙනෙකුත් සම්බන්ධ වෙලා හිටියා.
ඔන්න ඉතින් මම අල ගැන යෝජනාව ඩොක්ටර් ඩී ට දැම්මා.


ආ ඇත්ත තමයි.... අල ටිකක් අරන් ගියොත් හොඳයි තමයි ඩොක්ටර් යෝජනාව ස්ථීර කළා.

බණ්ඩාර මහත්තයටත් අල ඕනද?

අල...ආ අපි වැලිමඩ හරහා යන හින්ද නේද...දැක්කොත් ගම්මු...බණ්ඩාර මහත්තයත් වැඩේට එකඟ උනා. 

අපි ප්‍රොෆෙසර්ට මේ අල කතාවක් කියන්ඩ ගියේ නෑ. මොකද ප්‍රොෆෙසර්ලා කියන්නේ සාමාන්‍ය මිනිස් ලෝකේ වැඩ වලින් එපිටට ගිය අමුතුම සත්ව කොට්ටාසයක් බව අපි දැනගෙන හිටපු හිංදා. මතකනේ අර ටින් ටින් එකේ ඉන්න ප්‍රොෆෙසර් කැල්කියුලස්.

ඔන්න දැන් අපි තුන් හතර දෙනා අල විකුණන්ඩ තියන එළවලු ලෑලි තියනවද කියල බල බල යනවා.

මොනවද මේ කට්ටියම බලන්නේ? එතකල් වෙනමොකද්දෝ වැඩක හිටපු ප්‍රොෆෙසර් අපෙන් ඇහුවා.

සර්...මේ අල...ටිකක්...

මේ අල කියන්නේ අර්තාපල්ද?

ඔව්...ඔව්...

වවන්ඩද? කන්ඩද?? (මං කිව්වේ ඔන්න ඕක හිංදා තමයි අපි ප්‍රොෆෙසර් ව මේ වැඩේට අල්ල නොගත්තේ)

අල ටිකක් ගෙදර ගෙනියන්ඩ සර්...

ආ කියන්ඩ එපෑය...ඉන්ඩ මම හොයල දෙන්නං.

දැන් ඔන්න සර් හතර වටේට කෝල් ගන්ඩ පටන් ගත්තා. මට හිතෙන්නේ දැන් කොළඹට යනකල් අපිට අල ගැන ටෙලිෆෝන් කෝල් වලට කන්දීගෙන යන්ඩ වෙයි වගේ. විනාඩි දහයකට විතර පස්සේ ඔන්න සර් හරි බැරි ගහලා වාඩි උනා.

මෙහෙමයි...මේ කාලේ වැලිමඩ අල ගලවන කාලේ නෙවෙයි. දැන් වැලිමඩ තියන අල ගත්තොත් වැඩි කාලයක් තියාගන්ඩ බැරි වෙනවා. මගේ ස්ටුඩන්ට් කෙනෙකුට කතා කරේ එයා කියනවා මේ නුවර එළියේ අල ගලවන කාලෙලු. වැඩි කාලයක් කල් තියා ගන්ඩත් පුළුවන්. මොකද කියන්නේ අපි නුවර එළියෙන් අල ගම්මුද?

හොඳයි සර්.

ඔන්න නුවර එලිය කිට්ටු උනාම සර් ආපහු කෝල් දෙක තුනක් ගත්තා. ඊට පස්සේ වෑන් එකේ ඩ්‍රයිවර් මහත්තයා ලඟට ගිහින් එතන වෑන් එකේ බිම ඉඳගෙන අර කියන කඩේ හොයාගෙන ගියා.

මෙන්න මෙතන තමයි කඩේ. කවුද යන්නේ අල ගන්ඩ? සර් අහනවා.

සර් ගේ අඳුනන තැනක් නේ. සර් ගියොත් අඩුවට දෙයි. අපි ඒ වැඩෙත් සර්ටම පංගරාර්තු කළා.

ඔන්න සර් දැන් වෑන් එකෙන් බැහැලා කඩේට ගිහිං කතාව පටන් ගත්තා. ටික වෙලාවකට පස්සේ ඩොක්ටර් ඩී කිව්වා දැන් අපිත් යමු නැත්තං හරි නෑ නේ කියල. ඉතින් අපිත් ටික ටික කඩේට කිට්ටු කළා.

හරි මම වැඩේ කළා. දැන් අල කිලෝ කීය ගානේද ඕන කට්ටියට.

මට කිලෝ එකක් තිබ්බ නං ඇති

මටත් එකක් දෙකක් තිබ්බහම ඇති අපි එක එක්කෙනා කිව්වා.

දැන් ඔක්කොමලාගේ අවශ්‍යතාව කිලෝ හයක් විතර ඇති.

අයියෝ ඔච්චර පොඩ්ඩක්ද ඕන? මම හිතුවා කිලෝ දහයක් දොළහක් වත් ඕන ඇති කියල! ප්‍රොෆෙසර් කිව්වා.

අල කිලෝ දොලහක් මොකටද සර් ගෙදරකට?

ආ...කමක් නෑ එහෙනං මේ ගෝනියෙන් ඕන ගානට ගන්ඩකෝ...

ඇයි මේ ගෝනියෙන් විතරක්?

මම සල්ලි දීලා ගත්තේ මේ අල ගෝනියනේ!!!

අපිට දවල් තරුත් එක්කම අල පෙනුනා. ගෝනියේ අල කිලෝ හැටක් තියනවා. සර් ඒ ඔක්කොටම සල්ලි දීලා. සර් ට අල ගැනීමේ අවශ්‍යතාවක් තිබ්බේ නෑ. අපියි මේ අල ගන්න වැඩේට සර් ව අල්ල ගත්තේ. හැබැයි සර් දැන් අපිව අල ගොඩකට දාලා.

අපිට අල ගෝනියක්ම ඕන නෑනේ සර්. බැරිද කිලෝ තුන හතරක් විතරක් ගන්ඩ.

බෑ. මෙතන තොග කඩයක්. එක ගෝනියක් ගත්තෙත් මම අදුනන කෙනෙක් ගේ හිංදා!!

සර් ව අමාරුවේ දාන්ඩ බැරි හිංදා අපි හැමෝම කිලෝ දහය පහලව ගානේ බෙදා ගෙන සල්ලි දුන්න. එක අතකිං මල් පොකුරකුයි අනික් අතින් අල කිලෝ පහළොවක ගෝනියකුයි උස්සගෙන මහ රෑ ගෙදරට ගියාම අපේ නෝනා මං දිහා බලපු විදිහ ගැන අමුතුවෙන් කියන්ඩ ඕන නෑ නේ. හැබැයි නුවර එළියේ ඉඳන් කොළඹට එනකල්ම ප්‍රොෆෙසර් කියල දුන්නේ මේ අල වලින් කෑමට අමතරව වැඩක් ගන්න විදිහ ගැන. ඒ තමයි සමාජ සම්බන්ධතා වර්ධනය. මාත් අපේ නෝනට ඒ ගැන කියල දුන්න. උන්දැ හිතුවේ මට පිස්සු කියල. ඒ උනාට මගේ සාර ගර්භ දේශනය හින්දත් අල කිලෝ පහළොවක් අපි දෙන්නට තනියෙන් කාලා ඉවර කරන්ඩ අමාරු හින්දත් සර් කියපු විදිහටම අපි අල ටික ටික වටේම ගෙවල් වලට බෙදුවා.

ආ කියන්ඩ බැරි වෙච්ච තව දෙයක් තියනවා. ඒ කාලේ අපි හිටියේ කුලී ගෙදරක. ඉතින් අපිව අඳුනන කවුරුවත් ළඟ පාඨක හිටියේ නෑ. හැබැයි මේ අල බෙදිල්ල හිංදා අපිට මිතුරන් ගණනාවක් හම්බ උනා. සර් අපිව අල ගොඩකට දැම්ම මිසක් ඒක අල වලක් වත් අලි වලක්වත් උනේ නෑ. හොඳක් මිසක්.

මම මේ අල කතාව කිව්වේ කරුණාතිලක සර් එක්ක කරපු වැඩ වල සාරාංශය කියන්ඩ. මුලින් හිතෙන්නේ අනවශ්‍ය කරදරයක් කියල. පස්සේ තමයි තේරෙන්නේ ආ සර් හොඳ පාඩමක් තමයි උගන්නලා තියෙන්නේ කියල!!

ඊට පස්සේ මම ප්‍රොෆෙසර් එක්ක ගමනක් යනවා කිව්වොත් අපේ නෝනා කියනවා අල නං එපා කියල. ඒ විහිලුවට. ඔය අල කියල හදුන්වන තව කොටසක් කැම්පස් වල ඉන්නවා. ඒ පොදු වැඩ කටයුතු කිසිවකට සම්බන්ධ නොවෙන තමන්ගේ ආත්මාර්ථයම වෙනුවෙන් කැප වුවන්. කරුණාතිලක සර් ඒ අලයන්ගේ අනිත් පැත්ත මම දන්න විදිහට. සමාජයේ යම් දියුණුවකට හේතුවෙන කාරණයකට තමුන්ගේ දැනුම, ශ්‍රමය, සම්බන්ධතා යොදා ගන්ඩ ඕන නම් ප්‍රොෆෙසර් තරම් ඒ දේට කැපවෙන වෙන කෙනෙක් මම දැකලා නෑ. ඒ වගේම එක දවසක් හෝ ආශ්‍රය කරපු කෙනෙක්ව සදා කල් මතකයේ තියා ගෙන ඒ අය සමග සම්බන්ධතා නොකඩවා පවත්වන වෙන කිසිකෙනෙක් ගැන මම දන්නේත් නෑ. ඒ සම්බන්ධතා තමන්ගේ සියලු මිතුරන්ගේ සුභ සෙත වෙනුවෙන් යොදවන්නත් මේ උතුමා පැකිලෙන්නේ නෑ. ඔහුට ආගම් බේධ, ජාති බේධ නෑ. විටෙක සමාජ විද්‍යා න්‍යායේ ගැඹුරට කිමිදෙන ඔහු පන්තියට කෑම පාර්සලයක් ගෙනැත් ඔක්කොම එක්ක එක්කහු වෙලා කෑම එක බෙදා ගන්නේ පොඩි දරුවෙක් වගේ අහිංසක බවකින්. විටෙක බැරෑරුම් සමාජ විද්‍යා දේශනයක සිටින ඔහු රසවත් කතා කියන්නේ ඇගට පතට නොදැනී. 

සමාජ විද්‍යාවේ න්‍යාය වගේම ප්‍රායෝගික භාවිතය ගැන වචනයේ පරිසමාප්ත අරුතින්ම මහ ඇදුරු බව ඔහු ලබා අවසන්. 

විදුලකරේ සමාජ විද්‍යාව පිලිබඳ දෙටු මහැදුරු පදවියෙන් පිදුම් ලබන විදු අඹරට තිලකයක් වන කරුණාතිලක අදුරාණෙනි දීර්ඝායු වේවා!! බොහෝ කල් නිරෝගීව සමාජ විද්‍යා භාවිතය ගැන සිප් හසර දක්වන්නට ඔබට වරම් ලැබේවා!!! පඤ්ඤාය පරිසුජ්ඣති - ප්‍රඥාව තුලින්ම පිරිපුන් බව ලැබීම ප්‍රායෝගිකව කරන්නේ කෙසේදැයි ඥාන පිපාසිත බොහෝ දෙනාට වටහා දුන මැනවි!  

8 comments:

  1. රහට කියවන අයට අල නොවී ඉන්න පාඩමකුත්! අගෙයි!

    ReplyDelete
  2. ප්‍රොෆෙසර් වැඩේ අල කරලයි කියල හිතුවට පස්සෙ වෙලා තියෙන්නෙ හොඳ දෙයක්නෙ.

    ReplyDelete
  3. ලොකු මල්ලි අයිය මහත්තයට කියන්න මාත් අවුරුදු අටක් විතර මේ බදුල්ලෙම ජීවත්වෙච්චි එකා වෙලා තවමත් සමහර වෙලාවට හරි හමං අලයක් තෝරගන්න බැරි වෙනව. ඉතිං මොන අලද.

    ඔය ඉහළට ඉගෙනගත්තු ඇත්තො එක්ක වැඩ කරන්න ගියං ටිකක් කල්පනාවෙං ඉන්න ඕන. හැබැයි මං දැකපු හුඟක් ආචාර්ය මහාචාර්යවරු සෑහෙන නිරහංකාර උදවිය. ඒකටත් එක්ක මෙලෝ වැඩකට නැතුව පිනට උඩ ගිය හුලං බබ්බු ඉන්නව නේද, ආං උන්දලා තමයි පුදුම යක්කු. ඒ වගේ එකෙක් ඔතන හිටියනං තමුන්නැහැලව කඩේට යවල, තමුන්නැහැලගෙ සල්ලිවලිං අල ගෝනියක්ම අරගන්නෝගෙන, එයිං කිලෝ එක එක තමුන්නැහැලට දීලා ඉතුරු ගෝනි තුං කාලම තමුන්ගෙ ගෙදෙට්ටම ගෙනිහිල්ලා තමුන්නැහැලා ලව්වම බාවලා කුස්සියටම ගෙනිහිං දම්ම ගන්නවා. අන්න එවුං තමා ලොක්කො.

    ReplyDelete
  4. රට ගිහින් එන උන් ටොෆි චොකලට් ගේනවා වගේද ගෙදරකට තෑග්ගකට අල ටිකක් දෙන එක. ඕවා තමා නියම තෑගි.

    ReplyDelete
  5. දන්නා කියන ප්‍රොෆෙසර් ලා කීප දෙනෙක් ම මතක් වුනා මේක කියවද්දි. ඒ ගොඩක් අයත් මේ වගේ තමයි. ඒ වගේම ඒ ජීවිත වලින් ලැබුණු ආදර්ශ හා පාඩම් එමටයි. දීර්ඝායු වේවා ඒ හැමෝටමත්, මේ ප්‍රොෆෙසර් ටත්.

    අල කිවුවම මතක් වුනෙ. සාමාන්යෙන් කඩේ තියනවා නේ අර්තාපල් දෙජාතියක්? රට අල හා ලංකා අල කියල. ගොඩක් උදවිය රට අල වලට කැමති, මෙලෙක් කියල. මම ආස ලංකාවේ අල වලට. ඒකෙ පොඩි වෙනස් රසක් තියනව. මට මේක කියවද්දී ලංකාවේ අල කරියක් කන්ට පෙරේතකමක් ආව. :D

    මෙහෙ සුපර් මාකට් එකේ ලංකා අල වගේ එකක් තියනවා, කිලෝව පවුම් දෙකයි. අනිත් එක කිලෝව පවුමයි. මම ඉතින් ගොඩක් වෙලාවට ගන්නේ මිල අඩු එක නේ. මේ පෝස්ට් එක දැක්කම ඔන්න අනිත් අල එකත් ගෙනත් උයන්න ඕන කියල හිතාගත්ත.

    ReplyDelete
  6. අල කාපන් කීීීීවලු

    ReplyDelete
  7. කොච්චර අල ගැන කියෙව්වත් කතා රසය සහ සාරය අල නොකිරීම පිළිබඳ ලොකු මල්ලීට අපේ හදපිරි මෙව්වා එක !

    රොබෝටික්ස් හා සම්බන්ධ පී.එච්.ඩී එකක් ඇති මා දන්නා එක්තරා දුර ඥාතිකුගේ ප්‍රිය බිරින්දෑව නිතරම ඔහුට විහිළු කරන්නේ Phd යනු Permanent Head Damage බවය. කිව්වත් වගේ ඒ ලොකු බරසාර වැඩ ගොඩ දැම්මත් සරල වැඩ අල කර ගන්නා නිසාය :-D

    ReplyDelete