හෙට ඉඳන් අපේ ගමේ ප්‍රාදේශීය සභාවට නාමයෝජනා බාර ගන්නවා.
මේ පාර චන්දෙ තියන ක්‍රමේ වෙනස් කියල කිව්වට මං හිතුවා අපේ ගෙදර තාප්පේ ඇලවෙන
පෝස්ටර් කන්දරාව අඩුවෙයි කියලා කියලා. මොන පිස්සුද වෙනද වගේම තාප්පේ නිල්, කොළ, කහ, රතු, දුඹුරු සහ පාට
පෙට්ටියක මං කවදාවත් දැකල නැති පාට වලිනුත් පෝස්ටර් වැහි වැහැලා. ඔය අතරේ අපේ
සුනිල් කන්නංගර දිසාපති තුමා (ඒ මහත්තැන්
කොයි තරං ලොකු තානාන්තර වලට පත්
උනත් මට නං එතුමා අම්පාරේ හිටපු මහ දිසාපති උන්නාන්සෙම තමයි. එතුමට මාව මතක නැති
උනාට එතුමගේ සහයෝගෙන් අපි අම්පාරේ කරපු වැඩ ගැන මං පස්සේ දවසක ලියන්නංකෝ) මේ පුංචිචන්දේ ගැන දාලා තිබ්බ ලිපිය කියෙව්ව ගමම්ම මගේ කල්පනාවට කස් ගාලා ආවේ අපේ
ගම්පැත්තේ ඉන්න චරිත දෙකක්.
එක්කෙනෙකුට 'අබේ අයියා' කියලත් අනික් කෙනාට 'ලූලාපානේ
ඉන්ද්‍රසිරි' කියලත්
කියමුකෝ. හැබැයි රජෝ මේ උන්දලාගේ හැබෑ නං නෙවෙයි. ඒ මොකෝ මේ චරිත තාම අපේ ගම්
පළාතේ ක්‍රියාකාරී දේශපාලනේ ඉන්න දැවැන්ත චරිත දෙකක් හිංදා!!
මෙතුමන්ලා ගැන ලියන්ඩ හේතු උනේ අපේ ගම්පලාතේ පිනටම පහල
වෙච්ච උත්තමයෝ දෙන්නෙක් හිංදා. දෙන්නම වෘත්තීමය දේශපාලකයෝ දෙන්නෙක්. සමහර විට මේ
දෙන්න ඉල්ලපු චන්ද ප්‍රමාණය උන් දෙන්නටවත් මතක නැතුව ඇති. මං ඉත්තේරුවෙන්ම දන්නවා
දෙන්නගෙන් එක්කෙනෙක් වත් ජනාධිපතිවරනෙකට ඉදිරිපත් උනේ නෑ කියලා. හැබැයි ඉං මෙහා
මොන චන්දෙකට උනත් මේ දෙන්න ඉල්ලලා තියන බවයි මගේ හැගීම!! තව එක දෙයක් කියන්නං මේ
අය ගහපු පෝස්ටර් ප්‍රමානේ එක්කහු කරා නං අද මධ්‍යම අධිවේගී මාර්ගේ පාලං කණු දෙක
තුනක් වෙනුවට පාවිච්චි කරන්ඩ තිබ්බා. අනික ඒ පෝස්ටර් ප්‍රමානෙට චන්ද හම්බුනානං අද
ඇමරිකාවේ ජනාධිපති ට්‍රම්ප් ගොයිය නෙවෙයි අපේ අබේ අයියා නැත්තං ලූලාපානේ ඉන්ද්‍රසිරි!!!



