ලොකු මලය කසාද බැඳපු කාලේ ළමයි බමයි කවුරුවත් නැතිව ඉන්න
කොට හරිම නිදහස් ජීවිතයක් තමයි ගෙව්වේ. ඒ කාලේ අපි පදිංචි වෙලා හිටියේ කුළියට
ගෙයක් අරගෙන ඔය කොළඹ රටේ. කොයි දීස දීපංකරේ හිටියත් ලොකු මලයට ගමට එන්ඩ ලොකු
කැමැත්තක් තිබුනා. බුදු හාමුදුරුවොත් කිව්වලුනේ 'ආනන්ද මට ශාක්‍ය ජනපදය
පැත්තෙන් හමන සුළඟත් මහා සනීපයක් දනවනවා' කියල. ඉතින් අපි වගේ ගිහියන් ගැන මොන කතාද?
ඉතින් හැම සති
අන්තෙකම අපි ගමේ යනවා රෙදි බෑග් දෙකකුත් කාර් එකට දාගෙන. හැබැයි කොළඹින් පිටත්
වෙලා ටික වෙලාවක් යනකොට හිතෙනවා කාලෙකින් අනුරාධපුරේ පැත්තේ ගියේ නෑ නේද...කාලෙකින්
පොළොන්නරුවේ ගියේ නෑ නේද වගේ කල්පනාවල්. ආය ඉතිං කාගෙන් අහන්ඩද බලන්ඩද කියල අපි
දෙන්න නතර වෙන්නේ ගමෙන් නෙවෙයි අනුරාධපුරෙන්. එහෙම නැත්තං පොළොන්නරුවෙන්.
ඔන්න
ඔහොම කාලේ ගත වෙද්දී අපේ නෝන මහත්තයට හිතුන අමුතුම ගමනක් යන්ඩ. කොහෙද දන්නවද? දඹදිව!! ලොකු
මලයත් අනේ සාදු කියල වැඩේට ලෑස්ති උනා. කන්තෝරුවෙන් දවස් දහයක් නිවාඩුත් දාලා අපි
දඹදිව ගියා.
මේ තියෙන්නේ සැවත් නුවර ජේතවනාරාමයේ බුදු හාමුදුරුවෝ වැඩ හිටියා කියන කුටිය. වර්තමාන මහා මන්දිර එක්ක බලන කොට මොන තරම් පොඩි කුටියක්ද. අඩි 8 X 8 විතර ඇති වැඩිම උනොත්.
කිව්වට විස්වාස කරන්ඩ මම ජීවිතේ කරපු හොඳම වියදම් වලින්
එකක් තමයි ඒ. බෞද්ධයෙක් විදිහට මම බුදු හාමුදුරුවෝ ගැන එක එක බණ කතා අහලා තිබුනත්
ඇත්තටම ඒ උත්තමයා කොයි වගේද කියල තේරුම් ගන්ඩ පුළුවන් උනේ මේ ගමනෙදි. මේක මට
විතරක් පොදු කතාවක් නෙවෙයි. මගේ ක්‍රිස්තියානි මිත්තරයෝ කියල තියනවා ජේසුස් වහන්සේ
කවුද කියන එක හරියට තේරුම් ගන්ඩ ශුද්ධ දේශයට යන්ඩ ඕන කියල. පන්සල් වලින් පල්ලි
වලින් අපිට පෙන්නන ශාස්ත්‍රa වරයට වඩා හරිම අහිංසක, පොදු ජනතාවගේ නායකයෙක්
පේන්ඩ පටන් ගන්නේ එතුමන්ලා ජීවත් වෙච්ච, ඇවිදපු, කතා බහ කරපු තැන්වලට ගියාම. පන්සලේ ඉන්න අසූ
මහ රියන් උස, තේජසින් බබලන, අපි වගේ පොඩි
උන්ට ලං වෙන්ඩ බැරි බුදු හාමුදුරුවෝ අපි ලඟට වැඩම කරන, අඩි හයකට වඩා
ටිකක් උස, අපි ගැන මහා
කරුණාවෙන් රජ සැප අත් ඇරලා දාලා ආපු අපේ විප්ලවවාදියා බවට පත් වෙන්නේ දඹදිවදී. අද
ඉඳලා ලිපි කීපයක් මම ලියන්ඩ හිතාගෙන ඉන්නවා මේ ගමනෙදි මතක් වෙච්ච අපූරු චරිත
කීපයක් ගැන. අද කතාව උදායි හාමුදුරුවෝ.




