Sunday, September 17, 2017

මහ ලිඳ ළග හොල්මනක්


 සමහරු හොල්මං විශ්වාස කරනවා. සමහරු හොල්මං විශ්වාස කරන්නේ නෑ. හැබැයි හොල්මං කතා අහනකොට අපි කාගේ කාගේත් ඇඟ හිරි වැටෙනවා. මයිල් කෙලින් වෙනවා. පොඩ්ඩක් දාඩියත් නොදානවාම නෙවෙයි. අනුන් මූණ දීපු හොල්මං කතා අහපුවම හරි ෆිල්ම් එකක බලපුවම හරි එහෙම බයක් ඇති වෙනවනම් තමුම්ම ඒ වගේ දෙකට මූණ  සනීපෙ කොහොමද? අද මං කියන්ඩ යන්නේ මට වෙච්චි සිද්දියක් ගැන. විශ්වාස කරන නොකරන එක ඔය ගොල්ලන්ගෙ වැඩක්. හැබැයි ලංකාවේ ඉන්න පොලිස් කාරයො බහුතරයක් පාගා කාරයෝ කියන එක ඇත්ත නං, ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්තිරි ගොල්ලගෙන් බහුතරයක් අඩු ගානේ උසස් පෙළ වත් නොකරපු උන්දැලා බව ඇත්ත නම් මේ කතාවත් ඇත්ත!! ඕං ඉතින් දැන්වත් විස්වාස කරහල්ලකෝ.
 
බිලිං මඩුවේ ගෙදර අප්පුහාමි අත්තගේ කතාව මං කිව්වනේ. ඒ කතාවේ අර ඌරො ජබි ගහන තරමට මඩ වෙච්චි හබරල ගාලකුයි කිතුල් මන්ඩියකුයි තිබ්බ තැන මතකනේ. ඔතෙන්ට ආදී සීයක් විතර පහළින් කුඹුරු යායත් එක්කම තියනවා මහ ලිඳ. අපි පොඩි සංදියේ පවා ගමේ තිබ්බ ලොකුම ලිඳ තමා ඒක. ඒක හින්දම වෙන්ඩ ඇති ඒකට මහා ලිඳ කිව්වේ. නම හැදිච්ච විදිහ කොහොම වෙතත් ගමෙන් බාගයක්ම නාන්ඩ ආවේ ඔතෙන්ට. හවස් ජාමෙට අඩු ගානේ හතර පස් දෙනෙක් වත් මේ ලිඳ ගාව වැරදුනේ නෑ. නියං කාලෙට හරි නිවාඩු දවසක හරි නං උදේ හය හත වෙනකොටම සෙනග මෙතන පිරෙනවා. කට්ටියක් රෙදි හෝදන අතරේ කට්ටියක් නානවා. එතෙන්ට ගෑනු පිරිමි බේදයක් නෑ. ලොකු පොඩි බේදෙකුත් නෑ. හරියට පගා ගහන්ඩ පොලිස් කාරයන්ගේ  ලොකු පොඩි බේධයක් නෑ වගේ.  සමානාත්මතාව පිරිලා ඉතිරෙනවා.


ටික කාලයක් ගියාම ගමේ වතුර ප්‍රශ්නේ ටිකක් උග්‍ර උනා. ඒ හින්දම වෙනද ඇති මහා ලිඳේ ඉඳං ආදී විස්සකට විතර එහායින් තව පොඩි ලිඳක් කැපුවේ බොන්ඩ වතුර ගන්ඩ. ගමේ අය මේ අලුත් ලිඳට කිව්වේ මහ ලිඳ ළඟ පොඩි ලිඳ කියලා. හරියට ඕ.අයි.සී. මහත්තයාට මාස් පතා ලී මඩු වලිං, කසිප්පු මුදලාලිලාගෙන් දාස් ගනං හම්බ වෙනකොට සාජන් මහත්තයාලටත් සීයක් දෙසීයක් විතරක් හම්බ වෙනවා වගේ මහ ලිඳට ආපු තරං සෙනගක් මේ පොඩි ලිඳට ආවේ නෑ. ඒ උනත් පාරේ 'බට ලැයින් එක' යන කල්ම මුළු ගමටම වගේ අමතක කරන්ඩ බැරි සේවයක් මේ ලිං දෙකෙම්ම උනා.


ඔය ළිං දෙක ළඟ ගෙයක් තියනවා. ඒ තිලකේ අයියලගේ ගෙදර. පෙලවහක් කරගෙන ටික දවසක් මහ ගෙදරම ගත කරපු තිලකේ අයියයි සමන්මලී අක්කයි තමන්ගේම කියල ගෙදරක් හදා ගෙන, කාටවත් කරදරයක් නැතුව ජීවත් උනා. ටික කාලයක් යනකොට දරු මල්ලෝ දෙන්නෙකුත් මේ පුංචි කැදැල්ලට එකතු උනා. තිලකේ අයියගේ පොඩි පුතා ඉපදිලා ටික දවසකින් මුළු ගමම පුදුම කරවපු, අඬවපු ආරංචියක්  එක හවස් වරුවක  ගමේ පැතිරුණා. ඒ තමයි සමන්මලී අක්කා වහ බීලා ඉස්පිරිතාලේ ගෙනිච්චා කියන එක!! මට මතක විදිහට එදාම රෑ සමන්මලී අක්කා ජීවිතෙන් සමු ගත්තා.


මේ සිදුවීම ගමටම හරි අබිරහසක්. ඇයි දෙයියනේ මෙච්චර හොඳින් පවුල් කාගෙන ජීවත් වෙච්ච සමන්මලී අක්කා එක පාරටම වහ බිව්වේ? පොඩි පොඩි ප්‍රශ්න තියෙන්ඩ ඇති. ඒත් ජීවිතෙන් පැනලා යන තරං ප්‍රශ්නයක් ඒ අක්කට තිබ්බද  කියල කාටවත් හිතා ගන්ඩ බැරි උනා. ඇන්ටන් ජෝන්ස් මහත්තය මේ සිද්දිය දැන ගත්තනං සින්දුවක් හදනවා සුවර්! හරියට පගාව කන පොලිස් කාරයෝ ඕන පොලීසියක ඉන්න එක සුවර් වගේ. 


කොහොමින් කොහොම හරි මළ ගෙදර කටයුතු ටික ඉවර උනා කියමුකො. ඊට දවස් තුනකට විතර පස්සේ - තව හත් දවසේ දානේවත් දීල තිබ්බේ නෑ ඕං- තමයි මේ සිද්දිය උනේ. ඊට ඉස්සරින් දවසේ මල ගෙදර නයිට ගහලා, නිදි මරලා හිටපු හිංදා, එදා ටිකක් දවල් වෙනකල් නිදා ගත්තත්, ඇගට තිබ්බ අමාරුවත් එක්ක නා ගන්ඩ ඕන කියල හිත කිව්වා. ඉතිං බාල්දියකුයි තුවායකුයි සරමකුයි අරගෙන මං ගියා මහා ළිද ගාවට. ඒ ගියෙත් තිලකේ අයියලාගේ ගෙදර මිදුල උඩිං. වෙනදට නොතිබ්බ පාලු මූසල ගතියක් හැම තැනම පැතිරිලා තිබ්බට ලොකු මලය ඒක  ගානකට ගත්තේ නෑ. සමහරවිට ගෙදර කට්ටියත් නිදි ඇති. අයි ඉතින් රෑට කොහේ නිදා ගැනිල්ලක්ද  මුලු ගමම එතැන දැපලා ඉන්න කොට! මහා ලිඳ ගාවත් කවුරුවත් නෑ. නිදහසේ නා ගත්ත හැකි.


 සීතල වතුර බාල්දි විස්සක් තිහක් නාලා මං සබන් ගාන්ඩ පටන් ගත්තා. ඒ වෙනකොට මං හිටියේ තිලකේ අයියලාගේ ගෙදර පැත්තට පිටි පස්ස හරවලා ඒ කියන්නේ වෙල් යාය පැත්තට මූණ දාලා. සබන් ගාලා ඉවර වෙනකොට  මට පිටිපස්සෙන් සද්දයක් ඇහුනා. මං ඉතින් සබන් ගැන ගමම්ම පිටි පස්ස හැරිලා බැලුවා සද්දේ මොකද්ද කියලා.


දෙයියනේ ඊළඟට මං දැක්ක දේ මතක් වෙනකොටත් දැනුත් බය හිතෙනවා. බාල්දියක් අතින් අරගෙන සමන්මලී අක්කා තිලකේ අයියලාගේ ගෙදර ඉඳන් මහ ලිඳ ගාවට එන්ඩ තිබ්බ පඩි පෙළ බහිනවා!!! මාව සට සට ගාලා වෙව්ලන්ඩ පටං ගත්තා!!!මහ ලිඳටයි පොඩි ලිඳටයි අතර තැනකදී සමන්මලී අක්ක නැවතුනා. තාමත් මං දිහා බලාගෙන! ලාවට හිනා වෙනවද මංදා?

මල්ලි නානවද?” අක්කා ඇහුවා.

ඔ..........ඔ.........ව්

හා...

එහෙම කියපු අක්කා මහ ලිඳට පිටිපස්ස හරවලා පොඩි ලිඳ ගාවට ගියා. අක්කා ඇවිදගෙන ගියාද, පාවෙලා ගියාද කියන්ඩ මට මතකයක් නෑ. මං බාල්දියෙන් වතුර ටිකක් අරං මූනට දා ගත්තා. නෑ මට වැරදිලා නෑ මේ සමන්මලී අක්කම තමයි. ඒ උසමයි. ඒ පාටමයි. කිසි වෙනසක් නෑ ජීවත් වෙලා හිටි කාලෙ වගේමයි!!!


ගෙනාපු බාල්දියට වතුර එකක් පුරව ගත්ත අක්කා ආපහු හැරුණා. මං තාම ගල්බීත වෙලා බලාගෙන ඉන්නවා. එක අතක බාල්දිය අනික් අතේ බාල්දියේ ලණුව. මුලු ඇඟම සීතල වෙලා වෙව්ලලා යනවා මට දැනුනා. කකුල් දෙකට විතරක් පොඩි රස්නයක් දැනුනා. ඒ මගේ හිතේ චූ වෙච්ච හිංදා.


යන්නං මල්ලි....අක්ක කිව්වා.

හ්........ආ.......මං කිව්වද, කෙදිරුවද, හිතේම ඇතිවෙච්ච සද්දයක් විතරද කියල මටම මතක නෑ.

අක්කා පඩි පෙළ දිගේම නැගලා තිලකේ අයියලාගේ ගේ පැත්තට ගියා. එයා නොපෙනී ගියාට පස්සෙත් මට විනාඩි දෙක තුනක් යනකල් මොනවත්ම හිතා ගන්ඩ බැරි උනා.


දැන් මං මොකද කරන්නේ? සබන් පිටිං දියට ඇඳපු තෙත සරම ඇඳගෙන ගෙදර යන්ඩත් බෑ. එතකොට මතක් උනා බය උනාම ඉතිපිසෝ ගාථාව කිව්වොත් බය අඩු වෙනවා කියලා. ඉතිං මං ඉතිපිසෝ ගාතාව පැටලි පැටලි මතක් කර කර තව වතුර බාල්දි දෙක තුනක් නෑවා. හැබැයි ඒ හැම වතුර බාල්දි දෙකක් අතරෙම තිලකෙ අයියලගේ ගෙදර පැත්ත හොඳ විමසිල්ලෙන් බලන්ඩත් මං අමතක කලේ නෑ. ඒත් ඊට පස්සේ ආය මං සමන්මලී අක්කව දැක්කේ නෑ.


වතුර බාල්දි දෙක තුනක් දාගෙන සබන් හෝද ගත්තට පස්සේ තමයි ආයෙත් දෙයියෝ සිහි උනේ. දැන් මං ගෙදර යනවා යනව නං ඒ යන්ඩ තියෙන්නෙත් තිලකේ අයියලගේ ගෙදර මිදුල උඩිං....හප්පේ අවතාරෙකින් දසමෙන් බේරිච්ච මං කොහොමද හිත හදා ගන්නේ ආපහු ඒ අවතාරේ ජීවත් වෙච්ච ගෙදර මිදුලෙම්ම යන්ඩ?


මොනව කරන්ඩද... ගෙදර යන්ඩත් එපැයි....ඒ හිංදා හයියෙන් හුස්මකුත් අරගෙන දඩි බිඩි ගාලා අපේ ගෙදර ගාවට  දුවගෙන දුවගෙන ආවා. මගෙ බිරන්තට්ටු වෙච්ච මූන දැකලා පාරෙ ගිය රංජියා ඇහුව "මොකද ලොකු මල්ලි බය වෙලා වගේ?" කියලා. මං සිද්ද වෙච්ච සංගදිය මුල ඉඳම්ම අකුරක් නෑර කිව්වා.


යකඩෝ……….. මල්ලි කියන්නෙ අද උදේ මාත් බය වෙනවා ඒ අක්කට. මං හරක් බදින්ඩ වෙලට ගියාම මාත් සමන්මලී අක්කව දැක්ක. මං හරක් බදින්ඩ ගෙනිච්ච යකඩෙත් අල්ලගෙන බලං හිටියා. එතකොටම තිලකේ අයිය ඇවිල්ල අක්කට කතා කරලා ගෙදර එක්ක ගෙන ගිය හිංදා තමයි මගේ බය නැති උනේ.

ඒ....ඒ...කියන්නේ සමන්මලී අක්ක මැරුණේ නැද්ද? වෙන්ඩ බෑනේ අපි මිනිය දැක්කනේ?”

නෑ නෑ…. මල්ලි ඒ සමන්මලී අක්ක නෙවෙයි. සමන්මලී අක්කගේ අක්කා. තිලකේ අයියා හත් දවසේ දානේ ඉවර වෙන්ඩත් ඉස්සර සමන්මලී අක්කගේ අක්කව කසාද බැඳලා එක්කගෙන ඇවිත්!!!


මට ආපු හැගීම විස්තර කරන්ඩ අමාරුයි. ඔයාලටත් ඒක කොච්චර කිව්වත් තේරුම් ගන්ඩ අමාරු වෙයි එහෙම සිද්දියකට මූණ දෙන්නේ නැතුව. ඒක හරියට වාහන තදබදයක් තියා බලු බල්ලෙක් වත් නැති පාලු පාරක ටිකක් වේගෙන් යනකොට හයි ස්පීඩ් අල්ලපුවම ඒ අල්ලන පොලිස් කාරයෝ ගැන ඇති වෙන හැගීම වගේ එකක්!!

මගේ ජීවිතේ එකම නිල හොල්මං හමුවීම ඉවර උනත් ඉහේ කෙස් ගානට නිල නොවන හොල්මං හම්බ වෙලා තියනවා. කට්ටකාඩුවේ සමහරවිට ලියවෙන්නේ ඒ වගේ හමුවීම් ගැන.


මට නං හිතෙන්නේ හොල්මං අහිංසකයි  මිනිස්සුන්ට වඩා. හරියටම කිව්වොත් මිනිස්සු වගේ ඉන්න හොල්මං වලට වඩා. මැරිච්ච මිනිස්සු කර ගහන්නෙ ජීවත් වෙලා ඉන්න අයගේ කුණු ගොඩවල්. ඒ කුණු ගොඩවල් වහ ගන්ඩ යනකොට තමයි හොල්මං නිර්මාණය වෙන්නේ.


සමහරු කියනවා හොල්මං බයයිලු පිරිත් වලටයි, කුණු හරුප වලටයි. ඒත් ඒක මට විශ්වාස නෑ. පිරිතට බය වෙන්නෙ ඇයි කියලනං මට යාංතමින් හිතා ගන්ඩ පුලුවන් උනත් සිංහල කුණුහරුප වලට හොල්මං බයවෙන්නේ කොහොමද කියලනං මං දන්නේ නෑ. එහෙම බය වෙනවා නං ඒ හොල්මං වලට සිංහල තේරෙන්ඩ ඕන. ඒ කියන්නේ ඔක්කොම හොලමනුත් සිංහලයෝ!!. අනික් අතට පිරිත් වලට බයවෙන්නේ බෞද්ධ හොල්මං වෙන්ඩ ඕන. ඉතිං බැරිවෙලාවත් තලේබාන් හොල්මනක් හෙම හම්බ වෙච්චි වෙලාවක අපි පිරිත් කිව්වොත් උං මක්ක කොරයිදඉතින් හොල්මනක් හම්බ උනොත් බේරෙන්නේ කොහොමද කියල මං අද වෙනකල් දන්නේ නෑ. 
හැබැයි පොලිස් කාරයෙක්ගෙන් බේරෙන විදිහනං කියල දෙන්නං තනියෙන් හම්බ උනොත්.. තනියෙන් කියල කිව්වේ මේ දූෂණ වංචා විමර්ෂණ එකකෙත් එක්ක දැන් නිදහසේ කතා කරන්ඩත් බැරි වෙලානෙ තියෙන්නෙ ඒකයි. පගා දුන්නත් හිරේ. පගා දෙන්ඩ කියල කිව්වත් හිරේ!!!!     

25 comments:

  1. අපි ජීවත් උන අර්ධ නාගරික පරිසරයේ හොල්මං කථා තිබුනා ඒ උනාට කවුරුවත් ඕව ගණන් ගන්ගත්තේ නැහැ. උපතින්ම දඩබ්බරයන් වෙච්චි අපේ ගම වල වැඩිහිටියෝ පොඩි උන්ව කරුවලේ දාල බය අරිනවා.

    ReplyDelete
    Replies
    1. මටත් හිතා ගන්ඩ බෑ ඇයි තාම අපේ වැඩිහිටියෝ හොල්මං වගේ කතා කියලා ළමයින්ව බය කරන්නේ කියලා. හොල්මං වලට වඩා බය වෙන්ඩ ඕන ජීවත් වෙන මිනිස්සුන්ට. මගෙ හිතේ අපි වැඩිහිටියෝ විදිහට තාම කැමතියි ' බය වෙලා ෆන් එකක් ගන්ඩ'. එහෙම නැත්තං කොහොමද හොල්මන් ෆිල්ම් සල්ලි දීලා අරං බලන මානසිකත්වය තේරුම් ගන්නේ?

      Delete
    2. ඒ කතාව ලොකුවටම හෙලට දකිමි.. සොලී.... හෙලා දකිමි....! සල්ලි දීලා බයවෙන්න කැමති තාමත් මාව බයකරවන්න නොමිලේ හොල්මනක් ඉදිරිපත් වෙලා නැති නිසානේ!

      මටත් බොරුවට ළමයින්ව හොල්මන් වලට බයකරන එකට කැමති නැහැ.

      Delete
  2. එලනෙ බන්......එහෙනම් වහ බීපු සීන් එකත් හරි නෙ

    ReplyDelete
    Replies
    1. නෑ මචං මං ඇත්තටම තාම දන්නේ නෑ එහෙම සම්බන්ධයක් දනගෙනද සමන්මලී අක්ක වහ බිව්වේ කියල.

      Delete
  3. හිතක් තිබුණත් දැඩිවෙලා හැම දෙයක් වෙනුවෙන් භය නොවී
    ටිකක් එහෙ මෙහෙ වූව තැනකදි දකියි ඡායාවන් වෙවී
    මතක් කෙරුවත් සමහරුන් තව හොල්මනට බොහො භය වෙවී
    හිතක් එක්කම වෙව්ල වෙව්ලා හිඳියි නිතරම තැවි තැවී....

    ජයවේවා!!!

    ReplyDelete
  4. වහ බිව්වේ ඇයි කියලත් ඉතින් තේරෙන්න ඇතිනේ...

    මට හිනා යනවා හලෝ ඒ කතාව ඇහුවම. මට මැවිලා පේනවා සබන් පෙන නාගෙන, කටත් ඇරගෙන , වෙව්ල වෙව්ලා ළිං පඩියේ ඉන්න මනුස්සයෙක් මතක් වෙලා. හි හි හි

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. හිනා තමා....එදා සිද්දියට මූණ දුන්නනම් ලිඛිත බය වෙන විදිහට තොවිල් දහ පහළොවක් නටන්ඩ වෙනවා

      Delete
    3. මටත් වෙච්ච ඔය 'වගේ' වෙන එකක් තියෙනවා. ඒ කතාවේ රසය මරන්නේ නැතුව ලියාගන්න එක තමයි පුරස්නේ. නැතිනම් මම මෙලහට ඕක ලියලා.

      අර පැතුමා ලියල තියෙනවා මේ ජාතියේ එකක්. පොඩ්ඩක් ඒ පැත්තෙත් බලන්නකෝ

      Delete
    4. මටත් වෙච්ච ඔය 'වගේ' වෙන එකක් තියෙනවා ලිඛිතා එක බයි සේක්ෂුවල් කතාවක් නම් ලියන්න එපා මේ blog administrator. ඕවා දිරවන්නේ නෑ වැදහත් අයනේ එකයි

      Delete
    5. //සබන් පෙන නාගෙන, කටත් ඇරගෙන , වෙව්ල වෙව්ලා ළිං පඩියේ ඉන්න// හොඳ වෙලාවට ඇඳගෙන හිටපු සරම කැඩුන් නැත්තෙ. නැත්තං අර ගෑණු මනුස්සයට තමයි නූල් බඳින්න වෙන්නෙ. හැක්..

      Delete
    6. අන්න එහෙම උනා නම් බලා ගඳ තිබ්බ කව්ද හොල්මන කියලා!!!

      සාදරයෙන් කට්ටකාඩුවට පිලිගන්නවා ප්‍රසන්න!!

      Delete
    7. Praසන්ன හායි

      සුවිටි , ඔයා සනීපෙන් පෙන් මන් ජොලියෙන් ...අනේ අපිට මොකෝ මේ විකාර ගැනු කථා..මල සමයන් ...අපේ පයිප්ප නල ඕන වෙලාවක් වැඩ නේද අනේ, බුරු ඇඳේ, බට සෙවනේ..

      ටෙක් කෙයාර් සුවිටි .....සියු සුඋන්.... ලව්ලි.

      Delete
  5. මේ කතා පොජ්ජ අධ්‍යයනය කිරීමෙන් එළඹිය හැකි ප්‍රධාන නිගමනය වන්නේ කට්ටකාඩුවේ ලොකු මළයාට මෑතකදී එක පොලිස්කාරයෙකු හෝ පොලිස්කාරයන් කීපපොලක් විසින් දඩ නියමකර ඇති බවත් ඒ සියලුම අවස්තාවල පාහේ පගා ගසා නිදහස් කොට ඇති බවත්ය....

    ReplyDelete
    Replies
    1. වැරදියි වැරදියි. ඇත්තටම පහුගිය මාස 22 තුලම මාව පොලිසියෙන් අල්ලලා නෑ. අනික එකම එක දවසක් ඇරෙන්ඩ කවදාවත් පාගා දීලා නෑ. එදා වෙච්චි සිද්දිය දවසක බ්ලොග් එකේ ලියන්නං. හැබැයි පොලිසිය ගැන මට තියෙන්නෙ පැහැදීමක් නං නෙවෙයි. ඒක ඇත්ත!!

      Delete
  6. //නෑ… නෑ…. මල්ලි ඒ සමන්මලී අක්ක නෙවෙයි. සමන්මලී අක්කගේ අක්කා. //

    තිලකේ අයියා ;-)

    ReplyDelete
    Replies
    1. මද්දා...නෝනා මහත්තයට අක්කෙක් හෙම ඉන්නවැයි? නංගියෙක් උනත් කමක් නෑ....කැමතිනම් තිලකේ අයියව ආදර්ශෙට ගන්ඩ...අනේ අපි මොනවත් කියන්නේ නෑ ඕං...

      Delete
    2. මද්දා...නෝනා මහත්තයට අක්කෙක් හෙම ඉන්නවැයි....දෙන්න බැරි ගන්න කෙනෙක් නැති නංගි ඉන්නවා ඕවට අසයි බයයි

      Delete
  7. මේ කතාව අපි දවසක් එකට ගමනක් යද්දී දැන් අවුරුදු දෙකකට කලින් අහල තිබුනත් දැන් කියවද්දී පොඩ්ඩක් මගෙත් ඇඟ සීතල වුනා

    ReplyDelete
  8. හොල්මං නාන්නෙ නැතුව ඇති නේ?

    ReplyDelete
    Replies
    1. ඇයි ලොක්කා හොල්මං ගෙදර එක් කරගෙන යන්නද

      Delete
  9. අද තමයි කට්ටකාඩුවට ගොඩ බැස්සේ.. පට්ට ආතල් කතාවක් තමයි මුලින කියෙව්වෙ..
    අම්මප තල්බාං හොල්මනකට ඇහෙන්න පිරිත් කියුවොත්නං ඉල්ලගෙන බෙල්ල කපාගන්න වෙනවා අහක යන හොල්මනකගෙන්.. හැක් ..
    හැබෑට උබට පොලෝසියත් එක්ක තියෙන ලොකු ඇරියස් එක මොකක්ද බං? අනිත් කතා ටිකත් පාඩුවේ කියෝල තේරුම් ගන්න බලන්නං.. ජයවේවා

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර තුමාව සාදරයෙන් පිලි ගන්නවා කට්ටකාඩුවට. පොලීසියත් එක්ක විශේෂ ඇරියස් එකක් නෑ. හැබැයි එක අතකින් ගත්තහම අපිට 'ඇරියස්' නැත්තෙ කා එක්කද? මං හිතන්නෙ අපි හැමෝටම ඇරියස් තියනවා අඩු වැඩි විදිහට මුළු ලෝකෙ එක්කම. ඇරියස් තියන හිංදා අපි හැම වෙලාවේම පලි ගන්නේ නෑ. එහෙම කරන මිනිස්සු තමයි ත්‍රස්තවාදියෝ. සාමාන්‍ය මිනිස්සු කරන්නේ ඒ ඇරියස් නැති ලෝකයක් ගොඩ නගා ගන්ඩ උත්සාහ කරන එක. එහෙම නේද?

      Delete