Saturday, September 2, 2017

ඉඩෝරයා ගේ සිහිනය



අපිට ඉපදෙනකොටම නමක් දෙන්නේ දෙමවුපියෝ. ඒ ඒ අයගේ හීන වල හැටි හැටියට. සමහරවිට කේන්දර කාරයෙක් දෙන අකුරු ටිකකට ගැලපෙන විදිහට දාන නම අපේ පසු කාලීන ජීවිතේ වැඩ වලට සමාන කමක් වත්අපේ ශරීර අංග ලක්ෂණ වලට සමාන කමක් වත් දක්වන්නේ නෑ. මේ ගැන 'සූරිය කාන්ත මල්' සංගීත කණ්ඩායම කියන ලස්සන සිංදුවකුත් තියනවා අහලා ඇතිනේ ඔය කෂ්ටිය.  අර කුසල් හාමි මාලු බාන කතාව තියෙන්නේ ඒකෙ තමයි. හැබැයි අපිට ගමේදී හරි කැම්පස් එකේදී හරි පටබැදෙන නම් අර්ථයක් නැති ඒවම නෙවෙයි. අපේ හැඩ රුව, ගති ගුණ ආදිය බලලා තමයි හුගක් වෙලාවට මේ නං වැටෙන්නේ. ගමේ මිනිස්සු මගේ පහුගිය කතාවක හිටපු මුත්තයියාට එම්බාම් මුත්තා කිවුවේ හරි, එයාගේ අප්පච්චිට අද්දන් කාක්කා කියල කිවුවේ හරි කට කහනවට නෙවෙයි. හැබැයි ගමටත් කෙනෙකුගේ ගති සොබා හොයා ගන්ඩ සෑහෙන කාලයක් තියනවා. කැම්පස් වල ජ්‍යෙෂ්ට උත්තමයන්ගේ වැඩ රාජකාරිය ඊටත් වඩා ටිකක් අමාරුයි. ඒ තමයි 'රැග් සීසන්' එක එහෙම නැත්තං 'නවක වධ' සීමාව ඇතුලේදීම ඒ කියන්නේ පළවැනි සති දෙක තුන තුලදීම ගැලපෙන නමක් යෙදීම. ඔන්න මං මෙතැන්දි මුලින්ම කියන්ඩ ඕනැ  නවක වධේට පක්ෂ නෑ කියන එක. හැබැයි 'නවකයො හඳුනා ගැනීමට' නම් මං අත් දෙකම උස්සලා පක්ෂයි ඈ... හැබැයි ඒක වෙනම දවසක කියන්ඩ ඕන වෙනම කතාවක්...

අපේ ජූනියර් බැච් එකට අනුරාධපුර පැත්තෙන් ආපු කොල්ලෙක් තමයි ඉඩෝරයා කියන්නේ. සත්තකින්ම ඉඩෝරයා, ඉඩෝරෙට අහු වෙච්චි ඒත් අමාරුවෙන් පලදාව දරා ගෙන හිටපු පොඩි ගහක්. මුළු සරීර කූඩුවම දිරලා ගියා වගේ, හීනියි කෙට්ටුයි. කළු පාටත් මලානික සුදු පාටත් කලවං වෙච්චි පාටක් තිබ්බ මූණ, රෙදි පටි ගලවපු ඊජිප්තු මමියකට ටිකක් ආසන්නයි. දත් ටිකක් ඉස්සරහට ඇවිත්. ඒ හින්දම කතා කරන කොට සද්ද පිටත් උනේ පොඩි විකෘතියකුත් එක්ක. කතා කරන කොට විතරක් නෙවෙයි ඉඳ ගෙන ඉන්න කොටත් අත් දෙකම එක පාර ඉස්සරහට පස්සහට, ඔල්ලෝසු බට්ටෙක් වගේ පද්දන සිරිතක් ඉඩෝරයට තිබුනා. ලංකාවේ හුගක් ඈත ගං වල ඉපදෙන අපි වගේ කොල්ලන්ට කෙල්ලන්ට හම්බ වෙච්චි '56 දෑවැද්ද' ඒ කියන්නේ සුද්දගේ බාසාවට ඇති බය ඉඩෝරයටත් හම්බවෙලා තිබ්බා. ඉංගිරිස් වචනයක් දැක්කහම ඉඩෝරයා වෙවුලලා යනවා, චූ බර හැදෙනවා. 


කැම්පස් එකට එන්ඩ ඉස්සෙල්ලා තියන 'ගෙල්ට්' කෝස් එකවත් කැම්පස් එකට ආපුවම තියන කඩිනම් ඉංග්‍රීසි පාඨමාලාවවත් උපාධියක් හදාරන්ඩ මදි බව අපි අත්දැකීමෙන් දැනගෙන හිටියා. සමහර ලෙක්චර ගොල්ලො උගන්නන්නෙ සස්... සුස්... සස්.. ගාල අමුතුම විදිහකට කට උල් කරලා. මට සුවර් එංගලන්තෙ රැජිනටවත් බෑ ඕං තේරුම් ගන්ඩ මේ ගොයියල කියන්නේ මොකද්දෑ කියාල. සමහරු කතා කොරන්නේ විනාඩියට වචන දහ දාහක විතර වේගෙන්. ඔය අතරෙ කීප දෙනෙක් හිටියා මේ අපි වගේ ගමෙන් ආපු ඉංගිරිසිය තමුන්ගේ දෙවැනි බස මිසක් ගෙදර දොරේ කතා කරන බාසාව නොවිච්චි කෂ්ටිය ගැන හිතාලා හිමීට කරුණු කාරණා තේරුම් කරලා දුන්නු. 'ෆැකල්ටි දෙයියා' කියලා කිව්වේ එහෙම කෙනෙකුට. හැබැයි ඒක වෙනම දවසක කියන්ඩ ඕන වෙනම කතාවක්... අද කතා නායකයා ඉඩෝරයා.

පළවෙනි අවුරුද්ද ඉංග්‍රීසි බැරි අයට හරිම අමාරු වෙන කාලයක් බව කවුරු හරි ඉඩෝරයට තෙලක් දීල තිබ්බා. මට ඉඩෝරයා හම්බ උනේ ඌ මේ තෙල බීලා හිටපු කාලෙ. ඉඩෝරයාගේ අමුතු අත් හෙලවිල්ලයි කතා බහයි හින්දා මං හිතුවේ ඌ අපිව 'ගොං පාට්' එකකට අරන් කියලා. මෙන්න අපේ කතා බහ.

"ජේෂ් තුමා...සුබ උදෑසනක්!!"

"ආ.... හොදයි... හොදයි මොකද්ද උඹේ නම?"

"ඉඩෝරය ජේෂ් තුමා"

"ජ්‍යෙෂ්ට තුමාද යකෝ ඉඩෝරය?"

"නෑ...නෑ...ජේෂ් තුමා මොකටෑ ඉඩෝරය වෙන්නෙ මන්නේ ඉඩෝරය..!" අනුරාජපුර පලාතට ආවේනික ඇදිලි පාදිලි දාල මේක කිව්වහම මට බකස් ගාල හිනා ගියා...

"ආව් අප්ප ජේෂ් තුමාගේ හිනාව...!" ඉඩෝරයටත් ඇත දෙක පද්දන ගමං ලස්සන හිනාවක් ගියා. 

දැන් මට සුවර් මේකා අපිව ගොං පාට් එකකට තමයි අරං තියෙන්නෙ කියල. වෙන එකෙක් රැග් සීසන් එකේදී සීනියර් කොල්ලෙක් දැක්කහම පුදුම බයක් තියෙන්නෙ. මූ ෆුල් ආතල් එකේ කතාව. මං හරි කැමතියි ඒ වගේ නව ගිලුනත් බෑං චූං එවුන්ට.

"වරෙන්කො ඉඩෝරය පොඩ්ඩක් ආශ්‍රය කරන්ඩ"
අපි දෙන්නම කොමන් රූම් එකේ කොනක තිබුන මේසෙක ඉද ගත්තා. 
"උඹ තේ බොනවද?" මං අහපු ගමං මෙච්චර වෙලා ජොලියේ හිටපු එකාට එක පාරටම ඇඩුනා. ඌ කදුළු හංග ගන්ඩ අමාරු කමට වෙන කොහෙදෝ බලා ගත්තා.

"ඇයි ඉඩෝරය උඹ අඩන්නේ මං තොගෙන් ඇහුවේ තේ බොනවද කියලනේ?"

"මං ගෙදරින් ආවට පස්සෙම මගෙන් ඔහොම ඇහුවේ ජේෂ් තුමා විතරයි..."

"ඇයි උඹලගේ බැච් එකේ උං?"

"අපේ උන්ට හරි පශ්න ජේෂ් තුමා?"

"මොනවද යකෝ තියන ප්‍රශ්න?"

"අපි ඔක්කොමල්ල මෙහාට අලුත්. නුවර උන් ඇරුනහම අනිත් උන්ට මේ සීතලත් ටිකක් අමාරුයි ජේෂ් තුමා..."

"ඔව්ව ප්‍රශ්නද යකෝ...වෙන මොනවද තියන ප්‍රශ්න?" මං හරියට උන්ගේ ප්‍රශ්න ඔක්කොම විසදන්ඩ" වගේ ඇහුවා.

"මෙහෙන් ජේෂ් තුමාල..අහරෙන් පර බාසාව (රැග් සීසන් කාලේදී ඉංග්‍රීසිය අදුන්නන්නේ පර බාසාව කියලා). ඒ මදිවට උගන්නන්නෙත් තනිකරම ඒකෙන්ලු නේද ජේෂ් තුමා...?"

"ඔව් ඇයි මොකද්ද ඒකෙ තියෙන ප්‍රශ්නෙ?"

"ජේෂ් තුමා නං කියයි. ඕං මං නං පර බාසාවේ වචනයක්වත් ඇහුවේ අර මෙහට එන්ඩ ඉස්සෙල්ල ටවුමේ තිබ්බ පන්තියේදී?"

"ඇයි... උඹලගේ ඉස්කෝලෙ ඉංග්‍රීසි ඉගැන්නුවේ නැද්ද?"

"මොන පර බාසාවද ජේෂ් තුමා අපිට කවදාවත් පර බාසාවට අණ්ඩර දෙන්ඩ (උගන්නන්ඩ) කෙනෙක් හිටියේ නෑ..."

"බය වෙන්ඩ එපා බං...අපි කාටත් ඉංග්‍රීසි අමාරුයි මුලින්. එත් පස්සේ හරියනවා. ඔව්ව ගණන් ගන්ඩ එපා."
 
"ජේෂ් තුමා ඔය ඇත්තමද කියන්නේ?"

"තොට බොරු කියලා මං තෑගි ගන්ඩද යකෝ"

"ඔබතුමාට ලී එහෙම ඕනද?" මේකා එක පාරටම අහපි

"ඇයි උඹලට අයිති කැලයක් තියනවද නැත්තං තාත්තා කොට බිස්නස් කාරයෙක්ද?"

"නෑ ජේෂ් තුමා..අර කියපු කතාව ඇත්ත නං මං ඕන තරං ලී දෙන්නං ජේෂ් තුමාට.."

"මොන කතාවද?"

"පස්සට යනකොට පර බාසාව අවුලක් නැති වෙනවා කියන එක..."

"මට නිකං හොල්මං වගේ ...මූට ඉංග්‍රීසි පුළුවන් උනාම ලී දෙන්නේ කොහොමද?"

හැබැයි ඒක වෙනම දවසක කියන්ඩ ඕන වෙනම කතාවක්...ඒ කතාවත් එක්ක හෙට ඉතුරු ටික ලියන්නං අදට ඇති හොදේ????!

9 comments:

  1. ඉතුරු ටිකත් දාපන් ඉක්මනට

    ReplyDelete
    Replies
    1. දානවා ...දානවා...ස්තූතියි මේ පැත්තෙ ආවට...

      Delete
  2. හෙටට තිබ්බේ ගෙදර වැඩ හින්ද වෙනද ඇති එත් කුතුහලය අවුස්සන්නේ නැතුව අදම ඉවර කලානම් තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. එහෙම දිගටම ලිය ලිය හිටියනං අපේ නෝන මහත්තයා මට ගහයිද, බනියිද, නැත්නම් බැනල ගහයිද කියල කුතුහලයක් මට තියෙනවා....ස්තූතියි ආවට..ආයෙත් එන්ඩ.

      Delete
  3. ගමේදි..ඉස්කෝලෙදි..විශ්වවිද්‍යාලෙදි,,වැඩකරන තැනදි තමයි මිනිහෙකුට හරියටම හරියන නම ලැබෙන්නෙ..ඇත්තටම තියෙන්නෙ ඒ වෙනකම් උන්ට නිකම්ම නොම්බරයක් දීල පස්සෙ ලැබෙන නම රෙජිස්ටර් කරන්ඩ.. එහෙම කලෝතින් අපිට අර්ථවත් නමක් සහිත ඉඩෝරයින් රාශියක් ලැබෙයි..

    ReplyDelete
    Replies
    1. පොඩි ප්‍රශ්නයක් එන්නේ දේශපාලුවන්ට නං තියන්ඩ ගියාම. මාටියා ගැහිල්ලට උන් දක්වන කැමැත්ත හින්දා ලොකු මාටිං, පොඩි මාටිං...ඊට පස්සේ ආයෙත් අර නොම්බර ක්‍රමේ මාටිං 1, මාටිං 2....මාටිංලම ඉදියි ලක්ෂයක් විතර නේ?

      Delete