ඉන්දියාවෙයි, නේපාලෙයි ගංවතුර හිංදා 250 කට වඩා මැරිලා. ගිය සතියේ හැම පත්තරේකම වගේ තිබුණු ප්රවෘත්තියකින් මගේ මතකය අවුරුදු දොළහක් දහතුනක් අතීතයට ගියා. ඒ කාලෙ කට්ටකාඩුවේ ලොකු මල්ලි දකුණු ආසියානු ආපදා කළමනාකරණ වැඩසටහනක වැඩ කළා. නේපාල්, පකිස්ථාන්, ඉන්දියා, ශ්රී ලංකා වගේම බංග්ලාදේශෙත් මේ වැඩ සටහන ක්රියාත්මක උනා. මේකෙදි තේරිච්ච දෙයක් තමයි ලංකාව ඇරුනහම අනිත් හැම රටකම තියන ගංවතුර ආපදා හුගකට වග කියන්ඩ ඕන අපේ කලාපේ ලොකු අයියා වන ඉන්දියාව කියන එක. අද මං කියන්ඩ යන්නේ එක උදාහරණයක්, අපේ ලොකු අයියාගෙ පසික්කාඩු වැඩ ගැන.
මං වැඩ කලේ නෙපාලේ 'තරායි කලාපය' කියලා හඳුන්වන තැනිතලා බිම් ප්රදේශයේ. ලුම්බිණිය අයිති වෙන්නෙත් මේ කොටසට. මේ හරියේ තියෙන ඉතා වැදගත් වනාන්තරයක් තමයි චිත්වාන් ජාතික වනෝද්යානය. මේ වනාන්තරේ ඉන්න රයිනෝසිරස් සත්තු හින්දා ලෝකයේම අවධානය දිනාගත්තු, ‘ලෝක උරුමයක්’ විදිහට නම් කෙරිච්ච කැලෑවක්. ඔය කැලෑවේ එක පැත්තකින් ගලාගෙන යනවා රප්ති කියලා ගඟක්. වැඩි ප්රසිද්ධියක් නැති මේ ගඟ, චිත්වාන් වලදී එක්කහු වෙනවා ගන්ධකි එහෙම නැත්නම් නාරායනි කියන ලොකු ගඟකට. මෙන්න මේ ගන්ධකි තමයි කිලෝමීටර් කීපයක් එහා තියන නේපාල-ඉන්දියානු දේශ සීමාව පැන්න ගමන් ගන්ධක් ගඟ කියලා හඳුන්වන්නේ. මේ ගන්ධක් ගඟ, සුප්රසිද්ධ ගංගා නම් ගඟේ වම් අතු ගංගාවක්. ගංගා නම් ගඟ ඉන්දියාවේ සංස්කෘතියේ මුදුන් මල් කඩක්. හින්දු ආගමිකයන්ට මේ තරම් වටිනා ගඟක් මුළු ලෝකෙම තියනවද කියලා මට සැකයි. කොච්චර වැදගත් උනත් බිහාර්, ජාර්ඛන්ද්, බෙංගාලය වගේ ඉන්දියාවෙ නැගෙනහිර ප්රදේශ වල ඇතිවෙන ගංවතුර පාලනය කරන්ඩ නම් මේ ගංගා නම් ගඟ පාලනය කරන්ඩ ඕන බව ඉන්දියාව 1950 ගණන් වලදීම තේරුම් ගන්නවා.
ඒත් ඉතින් පූජනීය ගංගාවක් විනාශ කරොත් ඒකෙන් එන ජන අප්රසාදය කොච්චරක්ද කියලා ඉන්දියානු දේශපාලකයෝ ගණන් හදනවා. ඒකේ අවසානේ වෙන්නේ පසික්කාඩු වැඩක් කරන්ඩ තීරණයක් අරගෙන. ඒ තමයි ගංගා නම් ගඟට එකතු වෙන අතු ගංගාවල් පාලනය කරන්ඩත්, 'ගංගා' වේ ‘ඉන්දියානු මෝය’ පාලනය කරන්ඩත්. ඉන්දියානු මෝය කියලා කිව්වේ ඇත්තටම ගංගා මුහුදට වැටෙන්නේ ඒ වෙනකොට නැගෙනහිර පකිස්තානය කියලා හඳුන්වපු,අනාගතේ දවසක බංග්ලාදේශය කියලා හඳුන්වන ප්රදේශය තුලින් වීම නිසා. මෙහෙම පාලනය කරන්ඩ තීරණය වෙන එක අතු ගංගාවක් තමයි ගන්ධකි.
අපි අතු ගංගාවක් කියලා කිව්වට මේක ගංගා රාජයෙක්. තත්පරේට ඝන අඩි 62,000 විතර වතුර සාමාන්යයෙන් ගලා ගෙන යනවා. වතුර වැඩිම කාලේ ජල ප්රවාහය තත්පරේට ඝන අඩි මිලියන් 1.05 ක්. සංසන්දනය කරන්ඩ ඕන නම් ලංකාවේ දිගම සහ ලොකුම ගඟ වන මහවැලි ගඟේ ජලය ගැලීම 2013 දී තත්පරේට ඝන අඩි 7, 727 විතර!!. පේනවනේ ගඟේ තරම!! මේ ගඟ පාලනය කරන්ඩ ලොකු අමුණක් එහෙම නැත්නම් බරාජ් (barrage) එකක් හදන්ඩයි තීරණය කරන්නේ. න්යාය - ඌරාගේ මාළු ඌරාගේ ඇගේම තියලා කපන එක.
ඉන්දියාවේ ආණ්ඩුව 1959 දී ඒ කාලේ නේපාලේ තිබුණු රාජාන්ඩුවත් එක්ක ගිවිසුමක් ගහනවා ගන්ධක් ගඟේ අමුණ හදන්ඩ. මේ අමුණේ නමත් ගන්ධක්.
ඒකට දාන නම තමයි “ගන්ධක් වාරිමාර්ග හා බලශක්ති ව්යාපෘතිය”.මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. ඉන්දියාව සල්ලි දෙනවා නේපාලේ ආණ්ඩුවට. නේපාල ආණ්ඩුව තමයි ඉඩම් පවරගෙන, ඉන්දියාවේ ප්ලෑන් වලට අනුකූලව ඉදිකිරීම් කටයුතු කරන්ඩ, ඉන්දියාවට බාරදෙන්නේ. ඒකට ඕන කරන සේවකයෝ, යන්ත්රෝපකරණ, ගොඩනැගිලි ද්රව්ය, ඉන්දියාව කැමති විදිහකට ගේන්ඩ නේපාලේ ඉඩ දෙනවා. ඉන්දියාව හිතනවනම් තව ඉඩම් ඕන කියලා, නේපාලේ බැදී ඉන්නවා ඒ වැඩිපුර ඉඩමුත් පවරාගෙන ඉන්දියාවට දෙන්ඩ. මේ ඔක්කොම ඉඩම් වල 'හිමිකාරිත්වය' පැවරෙන්නේ ඉන්දියාවට. නේපාලෙට ඒ වෙනුවෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා මේ ඉඩම් යොදා ගත්තු විදිහට සලකලා බද්දක් ගෙවන්ඩ ඉන්දියාව එකඟ වෙනවා. මෙච්චර දේවල් වෙච්චි එකේ ඒකත් ලොකු ජයග්රහණයක් නේද?
මේ සියලු ඉදිකිරීම් වල අයිතිය, මෙහෙයුම සහ නඩත්තුව ඉන්දියාවට පැවරෙනවා. මේ සියල්ල වෙනුවට ඇළ මාර්ග දෙකක් හදලා නේපාලේ අක්කර 140,000 විතර කුඹුරු වලට වාරි ජලය සපයන්ඩ ඉන්දියාව දිවුරා පොරොන්දු වෙනවා!!! තව කිලෝ වොට් 15,000 ක ජල විදුලි බලාගාරෙකුත් හදලා දෙන්ඩ ඉන්දියාව එකග වෙනවා මේ අමුණෙන්. ඒත් අන්තිමට එනවා හොදම කෑල්ල. ඉන්දියාව හිතනවානම් මේ ව්යාපෘතියට බාධාවක් හෝ අනතුරක් වෙන්ඩ ඉඩ තියනවා කියලා අමුණේ ගේට්ටු වහලා දාන්ඩ සම්පූර්ණ අයිතිය ඉන්දියාවට ලබා දීම. එහෙම වහලා දාපුවම විදුලිය ජනනය කරන්ඩ බැරි වෙන හින්දා ඉන්දියාවෙන් විදුලිය දෙන්ඩ ඕන කියලා වගන්තියක් ගිවිසුමට එක්කහු කරන නේපාලෙට අමතක වෙනවා අමුණ වහපුවම තමුන්ගේ ගම් නගර වතුරෙන් යට වෙනවා කියන එක!!! ඒ ගැන හෝ ගංවතුර පාලනය ගැන කියවෙන එක වගන්තියක්වත් ගිවිසුමේ නෑ!!!
මේ අමුණ 1964දී හදන්ඩ පටන් අරන් 1968 වෙනකොට වැඩ ඉවර වෙනවා. ටික කාලෙකින් නේපාලෙට අමුණේ රගේ තේරෙනවා. වැස්ස වැඩි කාලෙට ඉන්දියාව තමුන්ගේ හිතුමතේට අමුණ වහනවා. නේපාලේ චිත්වාන් ප්රදේශයම වතුරෙන් යට වෙනවා. ඊගාවට වතුර අඩු කාලේ ආපුවම ඉන්දියාව තමුන්ගේ මතේට අමුණේ ගේට්ටු ඔක්කොම අරිනවා. නේපාලේ කුඹුරු වේලෙනවා!! ඒ කියන්නේ වහින කොට ගං වතුරෙන් පීඩා විඳින නේපාලේ වැස්ස නැති වෙච්ච ගමන් නියගෙකට මූණ දෙනවා. කාටද මේ අවනඩුව කියන්නේ!! හැම පැත්තෙන්ම ගොඩබිමෙන් වට වෙච්චි නේපාලේ මේ ගැන ලෝක සංවිධාන වලට පැමිණිලි කරපු ගමන් ඉන්දියාව නේපාලෙට තියන භාණ්ඩ සැපයුම් මාර්ග ඔක්කොම වහලා දානවා. ඉතින් නේපාලේ පත් උනේ මග හිටියොත් තෝ නසී - ගෙදර ගියොත් ඒත් තෝ නසී තත්වෙකට!!!
මං කිව්වනේ ලොකු අයියගේ සැලසුමේ කොටස් දෙකක් තිබුනා කියලා. එක තමයි අතු ගංගා පාලනය. දෙක තමයි ගංගා වේ ඉන්දියානු මෝය පාලනය. දෙවැනි එක කරන්ඩ ලේසි වෙන්නේ නෑ නේපාලෙත් එක්ක නටපු නාඩගම වගේ. ඒකට හේතුව පාකිස්තානේ ඉන්දියාවේ පදේට නටන්ඩ අකමැති වීම. ඉතින් ඉන්දියාව තීරණය කරනවා තමුන්ගේ තනි කැමැත්තට අමුණක් හදන්ඩ ඉන්දියානු - නැගෙනහිර පකිස්තාන දේශසීමාවට කිලෝ මීටර් 16-17 විතර දුරින්. ඒ අමුණේ නම තමයි ෆරක්කා කියන්නේ. පාකිස්තානේ මේකට විරුද්ධව කටයුතු කරනවා. එතකොට ඉන්දියාව කරන්නේ බටහිර පකිස්තානෙන් වෙන් වෙලා වෙනම රටක් බවට පත්වෙන්ඩ උත්සාහ කරපු නැගෙනහිර පකිස්තානු කැරලි කරුවන්ට සහයෝගය දීම. මේ කැරලි කරුවනුත් ෆරක්කාවට විරුද්ධයි . ඒත් මේ කැරලි කෝලාහල අස්සේ ඉන්දියාව තමුන්ගේ වැඩේ කර ගන්නවා. හැබැයි මේ පාර තමුන්ගේ භූමියේ. තමුන්ගේ සල්ලි වලින්.
ෆරක්කා අමුණ හදන්ඩ පටන් ගන්නේ 1961 දී. 1975 වෙනකොට හදලා ඉවර වෙනවා. ඔය අතරේදී තමයි ඉන්දියාව උදවු කරන්නේ බංග්ලාදේශය හදන්ඩ. බංග්ලාදේශය බිහිවෙන්නේ 1971 දී. ඉතින් කාට හරි හිතෙනවද බංග්ලාදේශය හදන්ඩ ඉන්දියාව උදවු උනේ බංග්ලාදේශ වැසියන්ට තියන අනුකම්පාව හින්දා විතරමයි කියලා? මං නෑ කියන්නේ නෑ ඒක එහෙම හිතන අයගේ අයිතිය නේ?!!!
මේ අමුණ හදන එකේ අරමුණ තමයි තත්පරේට ඝන අඩි 40,000 වතුර ඉන්දියාවේ භාගිරති-හුග්ලි ගංගාවට යොමු කිරීම. ඉන්දියාව කියන්නේ මේ වතුර පාවිච්චි කරන්නේ කල්කටා වරායේ තැන්පත් වෙන අවලම්භිත ද්‍රව්‍ය (sediments)
හෝදලා දාන්ඩ කියලා. ඒත් බංග්ලාදේශ මිත්රයෝ නම් මට කිවුවේ ගංගා ගඟේ ජලය ඉහල යන කාලෙට ඉන්දියාව අඩු ගානේ පැය දෙක තුනක වත් පෙර දැනුම් දීමක් නොකර මේ අමුණේ ගේට්ටු අරිනවා කියලා. වතුර අඩු කාලෙට අමුණ සම්පූර්ණයෙන්ම වහලා දානවලු. ගන්ධක් අමුනේදී නේපාලේ කන කට්ට මෙතැනදී බන්ග්ලාදෙශේ කනවා. ඒ කියන්නේ වැස්ස කාලෙට ගංවතුර!! පායන කාලෙට නියගේ!!!. හැබැයි ලෝකේ ලොකුම ගඟක් තමුන්ගේ මිදුලෙන් ගලාගෙන යනවා!!
මේ අමුණ හින්දා උග්‍ර ජාල හිගයකට මූණ දෙන්ඩ උනා බන්ග්ලාදේශෙට 1976 ඉඳන්ම. කොහොම හරි කතා කරලා -සමහරු නම් කියන විදිහට ස්වභාවික වායු නිධි කීපයක අයිතියත් පවරලා දීලා -වතුර නැති වීමේ ප්රශ්නේ 1996දී විතර විසදා ගන්ඩ පුළුවන් උනාලු. එත් 100% නෙවෙයි. හැබැයි ගංවතුර ප්රශ්නේ තාම තියනවා.
මෙන්න ද ගාඩියන් පුවත්පතේ 2017 අගෝස්තු 16 වාර්තාවේ කොටසක්...
නේපාලයේ නිරන්තර වැසි නිසා ගම් සිය ගණනක් යටවී ඇති අතර මිනිසුන් 110 පමණ මියගොස් ඇත. මේ තත්වයට වේගවත් ප්රතිචාර නොදැක්වීම නිසා රජය ට චෝදනා එල්ල වී ඇත......දවස් තුනක් පුරා ඇද හැලුණු තද වැසි නිසා ප්රසිද්ධ චිත්වාන් නගරයේ සිරවී සිටින ජනතාව බෙර ගැනීමට අලින් ද යොදවා ඇත. මෙසේ සිරවී සිටින අය අතර සංචාරකයන් 700 පමණද සිටියි.....මේ අතර බංග්ලාදේශයේ භූමියෙන් තුනෙන් එකක් පමණ ගංවතුරෙන් යටවී ඇත....
හැබැයි මේ පුවතේ කොහෙවත් නෑ ගන්ධක් අමුණ ගැන හරි ෆරක්කා අමුණ ගැන හරි. සමහර විට මට මතක තියෙන්නේ වෙන කොහේ හරි වෙච්ච දෙයක්ද මංදා????????????
චීන එක්ක හම්බන්තොටිනුත් ලොකු අයිය එක්ක ත්‍රිකුණාමලේ ගහන ගිවිසුමුත් මෙහෙම ද මන්ද?
ReplyDeleteඅනේ මන්දා..............
ReplyDeleteඉන්දියාව මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවන බව අපේ පාලකයෝත් තේරුම් ගන්නේ නැහැනේ. වෙලාවට අපි දූපතක් උනේ. නැතිනම් මෙලහකට අපිට ඒ රටවල් දෙකටම වඩා වැඩ වරදිනවා
ReplyDelete//වෙලාවට අපි දූපතක් උනේ. නැතිනම් මෙලහකට අපිට ඒ රටවල් දෙකටම වඩා වැඩ වරදිනවා// +++++++++++
Delete