Thursday, August 3, 2017

මට මතක නෑ… ඕව මං දන්නේ නෑ!


හිතවත් ඇමති තුමනි,

ඊයේ දිනයේ 'බැදුම්කර කොමිසම' හමුවේ ඔබතුමා දුන් සාක්ෂිය පිළිබද බොහෝ දෙනා සැක පහල කලද  මම නම් කිසිසේත් ඔබතුමාව සැක නොකරමි. බයිබලය මත අත තබා දිවුරා ජනාධිපති කොමිසමක් හමුවේ බොරු කීම ඔබතුමා වැනි බලවත්, පළපුරුදු දේශපාලකයෙකු අතින් සිදු නොවන බව මම දනිමි. තවද 'මට සිද්දිය මතක නෑ' කියූ දේශපාලකයන් උසාවියකින් වරදකරු වීමට පෙරම මෑත අතීතයේ දී ජනතා අධිකරණයෙන් වැරදි කරුවා කල සිද්ධිය ඔබ තුමාට මතක ඇතැයි සිතමි. අවාසනාවකට ඔහුත් ඔබත් දෙදෙනාම නියෝජනය කලේ ලංකාවේ සාක්ෂරතාවය වැඩිම දිස්ත්රික්කය වන කොළඹ දිස්ත්රික්කයේ චන්ද දායකයන් වීම එක්තරා ඓතිහාසික සරදමකි.

ඔබ තුමා ගේ සාක්ෂිය පිලිබදව සැක නොකරන මා ඔබතුමාට කරුණු කීපයක් මතක් කර දීමට කැමැත්තෙන් සිටින්නේ මිතුරෙකු ලෙසය. එහෙත් ඔබතුමා පවසා ඇති පරිදි ඔබතුමාට සතුරෝ බොහෝ සිටිති. ඔවුන් ඔබගේ සාක්ෂිය අවඥාවට ලක් කිරීමට ඉඩ ඇත. එහෙයින් පහත සදහන් කරුණු පිලිබදව ඔබ තුමා සැලකිල්ල යොමුකළ යුත්තේ  මතු දිනෙක නැවත එම කොමිසමට කැදවීමක් ලැබුනහොත් වඩා විශ්වාසදායී ලෙස සාක්ෂි සැපයීමට ඔබතුමාට හැකි වනු පිණිසය.


1. නව නිවසේ මාසික කුලිය ලෙස මිලියන 1.45 ගෙව්වේ කව්දැයි ඔබ නොදන්නා බව මම විශ්වාස කරමි. ඇමති තුමනි මිලියන 1.45 නොවේ රුපියල් 2,000 පමණ වන අපේ ගෙදර ලයිට් බිල කවුරුන් හෝ වෙනත් කෙනෙකු විසින් ගෙවනු ඇතැයි මම සිහින දකිමි. තවම සිහිනය සැබෑ වී නැති අතර මම සිහිනය දැකීම නැවත්වීමට කල්පනා කරමින් සිටියෙමි. එහෙත් ඔබතුමා ගේ සාක්ෂියෙන් පසු 'නත්තල් සීයලා' අපේ සමාජයේ තවමත් සිටින බව ඔප්පු වී ඇති නිසා මම සිහිනය දිගටම දැකීමට තීරණය කලෙමි.

2. ඔබතුමා පවසා ඇති පරිදිම ඔබතුමා ගේ පව්ලේ උදවිය ඔබේ දේශපාලනික කටයුතු වලට ඇඟිලි නොගසන බව මම සිතමි. එසේ නම් ඔබ තුමා පදිංචි ස්ථානය වෙනස් කරන බව ඔබතුමාගේ ඇමති ආරක්ෂක අංශයට දැනුම් දුන්නේ කව්ද? මා එසේ අසන්නේ ඔබ තුමා දැනට පදිංචි ස්ථානය පිලිබදව දැන ගත්තේ එහි පදිංචියට යාමෙන් පසුව බව පවසා ඇති නිසාය. ගෙවල් හිමියාට ගෙවීමට ඇති හිග ගෙවල් කුලී නිසා රහසේ නිවෙස ඇත හැර යන අයෙකු මෙන් ඔබ තුමා හදිසියේ නව නිවෙසක් කරා නොගිය බවට මම උපකල්පනය කරමි. අනෙක් අතට ඔබතුමා මුලින් පදිංචි වී සිටි නිවෙස අලුත් වැඩියා කටයුතු නිසා පදිංචියට නුසුදුසු වන බව දැනගත් විට තාවකාලිකව හෝ පදිංචිය වෙනස් කලයුතු බව ඔබ තුමාගේ පව්ල තුලදී සාකච්චා නොවිණිද? එලෙස යෑමට තැනක් සූදානම් කර ගත යුතු බව කථා නොවිනිද? අපේ ගෙවල් වල නම් එවැනි බරපතල කරුණු පමණක් නොව රෑට කන්නේ මොනවාද යන්න පවා සාකච්චා වේ. නමුත් අපේ පවුල් සහ ඔබතුමා ගේ පවුල අතර වෙනස්කම් තිබිය හැක.

3. රුපියල් මිලියන 165 වියදම් පිලිබදව බිරිඳ සහ දරුවෙකු ඔබතුමාට නොකී බව මට තේරුම් ගත නොහැකිය. අපේ ගෙදර නම් මිලියන 165 (අපේ මුළු ජීවිත කාලය තුලදී වත් මිලියන 165 ඉපයීමට අපිට හැකියාවක් නොමැති බව වෙනම කාරණයකි) තබා රුපියල් 165 වියදම් කලද මම බිරිඳටත් ඇය මටත් ගැන පැවසීමට අමතක නොකරමු. අපේ මාසික පඩිය අනුව රුපියල් 165 යනු සැහෙන වියදමක් වන නිසාය. එහෙත් ඔබතුමාට බිරිඳ මිලියන 165 ගනුදෙනුවක් පිලිබදව නොකීවේ එය ගණන් ගත යුතු නැති තරම් සුළු වියදමක් වූ නිසාද? නැත්නම් ඇය ඔබෙන් යමක් සගවනවාද?

4. මිලියන 165 වැනි වියදම් 'හිතුවක්කාරී' ලෙස ඔබේ බිරිද හා දරුවා විසින් සිදු කොට ඇත්තේ ඔබතුමාද කොටස්කරුවෙකු වන සමාගමක මුදල් භාවිතා කිරීමෙන් බව කියවිණි. අධ්යක්ෂක වරුන්ට  එලෙස මුදල් වියදම් කිරීමට හැකි නම් එයින් ඔබතුමාට කොටස් හිමි සමාගම් වල මුදල් පරිපාලනය පිලිබදව යම් සැකයක් මතුවේ. මට මතක් වන්නේ ගිරිදර මෝල පාඩු ලැබීම නිසා එහි අයිතිකරුව වූ එවකට මුදල් ඇමති ඇන්. ඇම්. පෙරේරා මැතිතුමාට සිදු වූ අපකීර්තියය. ලෝකයේ හෝ ආසියාවේ හොදම මුදල් ඇමති වරයා වූ ඔබ තුමාගේ සමාගම් වලින් ඔබතුමාගේ පව්ලේ උදවියම නාස්තිකාර ලෙස මුදල් පාවිච්චි කිරීම නොහොබිනා දෙයක් නොවේද?


5. ඔබතුමා වටා පුදුමාකාර දේවල් සිදුවෙන බව සමහරු පවසති. නිකමට සිතන්න. ඔබතුමාට සුඛෝපභෝගී නිවෙසක් ලැබේ. එයට කුලී ගෙවන්නේ කවුරුන් දැයි ඔබ නොදනී. එලෙස කුලී ගෙවූ පුද්ගලයා ඔබ පරම්පරා ගණනක් තිස්සේ දන සිටි පව්ලක, ඔබතුමා සමග එකට ගුවන් යානයේ ගමන් ගත්, වසර ගණනාවක් තිස්සේ දැන සිටි කෙනෙකු බව ඔබ තුමා දැන ගන්නේ විපක්ෂ මන්ත්රී වරයෙකු පාර්ලිමේන්තුවේදී කරන කතාවකිනිඑම කතාව ඇසුණු විට ඔබ තුමාට ඇතිවූ පුදුමය මට සිතා ගත හැක. තවද අදාළ   කුලී නිවස ඔබ තුමාගේ අනුදැනුමකින් තොරව විශාල මුදලකට පව්ලේ අය විසින් මිලදී ගන්නා අතර ඊට මුදල් ගෙවන්නේ කවුරුන් දැයි ඔබතුමා නොදනී. මට තවත් දෙයක් මතක් වේ. අමාත් මණ්ඩල සංශෝධනයෙන් පසු ඔබට ලැබෙන විදේශ අමාත්යංශයට ලොතරැයි මණ්ඩලයත් එක්කොට ඇති බව ඔබ තුමා නොදැන සිටි බව මට විශ්වාසය. මේ සියල්ල සිදු වන්නේ අදිසි හස්තයකිනි! සමහරුන් සිතන්නේ පිටසක්වල බලවේගයක් ඔබතුමා පසු පස සිටිමින් උදවු කරන බවකි. මේ රටාව ඉදිරියටම ගියහොත් හෙට අනිද්දාම ඔබ තුමාට ජනාධිපති කම බාරදී මයිත්රීපාල මහත්තයා විදේශ අමාත්යාංශය බාරගත් බව කෙනෙකු කීවොත් පුදුම වෙන්න එපා.

ඔබ තුමාට පිට සක්වල ජීවීන්ගෙන් තවදුරටත් උදවු ලැබේවායි පතමින් මම නවතිමි.

මීට 
සදාදර 

කට්ටකාඩුවේ යාලුවා 

2 comments:

  1. රවී බබාම තමයි බං තාම සූප්පුවෙන් කිරි බොන්නෙ :)

    ReplyDelete