මුත්තයියා කියපු ගමන් අපි කාටත් මතක් වෙන්නේ මුරලිදරන්ව. එත් මං මේ කියන්ඩ යන්නේ මුරලි ගැන නෙවෙයි. හැබැයි ලංකාවේ ක්රිකට් ගැන ලියන කෙනෙකුට මුරලිව අමතක කරන්ඩ බෑ වගේම අපේ ගමේ ස්වර්ණමය ඉතිහාසය, ස්වර්ණමය අකුරෙන්, ස්වර්ණමය පත් ඉරු වල ලියන කෙනෙකුටත් අපේ මුත්තයියව අමතක කරන්ඩ බෑ. ගමේ කාටත් ඕනෑ උන කාගේත් දුකේදී සැපේදී ලග හිටපු මේ වගේ මිනිස්සු ඕනෑම ගමකට ආඩම්බරයක්. ඒ වගේම මුත්තයියා කරපු කියපු දේවල් අද උනත් හිනා වෙලා මතක් කරන්ඩ පුළුවන් ගමේ හැමෝටම. ගමේ අයට මුත්තා පුතා, මුත්තයියා, මුත්තා මාමා උනාට එයාගේ නියම නම මුතු බණ්ඩා. ඒ කාලේ ගමේ බක්කරේ තමයි මුත්තයියා.
මුත්තයියා කියන්නේ ආශ්රය කරන්ඩ වටිනා මනුස්සයෙක්. අඩි පහක් - පහ මාරක් විතර උස, තල එළලු, පොඩි බඩක් තියන, කොටට කපපු ඉත්තෑ කූරු කොණ්ඩයක් තියන, මැදි වයසේ හිටපු මේ මනුස්සයා සරම ඇඳලා, උඩු කය නිරුවත්ව, දාඩිය දාගෙන බේකරියේ වැඩ කරනවා මට තාම මතකයි. මුත්තයියලාගේ ගෙදරට කිවුවේ 'ඉඟුරු හේනේ ගෙදර' කියලා. බොහොම ඉස්සර කාලෙක හේනක් තියෙන්ඩ ඇති උනාට ගම හරහා ගිය මහ පාර අයිනේම තමයි මේ බේකරිය තිබුනේ.
මුත්තයියාගේ අප්පච්චිගේ කකුලේ පොඩි ප්රශ්නයක් තිබුනා. ඒ හින්දා එයා ඇවිදින කොට පොඩ්ඩක් කකුල අද්දලා අඩිය තියන ගතියක් තිබුනා. එයාගේ හමේ පාටයි, මේ කකුල අද්දන ගතියයි දැක්ක ගමේ හිටපු අනික් මිනිස්සු එයාගේ මූනට කිවුවේ ඉඟුරු හේනේ ගෙදර මල්ලි, අයියා, පුතා, මාමා කියලා. එත් එයා නැති තැන හැමෝම එයාට කිවුවේ 'අද්දං කාක්කා' කියලයි. ඒ කාලේ ඉඳම්ම අපේ ගමේ හිටියේ අන්න එහෙම කෙළිං වැඩ කරන, අනුන්ට ඇද කුද නොකියන, අහිංසක මිනිස්සු!!!.
අනිත් මිනිස්සු ගැන මොකටද උන්දගේම පුතා වෙච්චි මුත්තයියත් තමන්ව අදුන්නගත්තේ 'අද්දං කාක්කගේ පුතා' කියලා. හරියටම කිවුවොත් බීල වැඩි වෙච්ච වෙලාවට මුත්තයියා මෙන්න මෙහෙම කෑ ගහලා කියනවා..."අඩෝ... මං අද්දං කාක්කගේ පුතා හරිද....!!" අන්න එහෙමයි තමුංගෙ දෙමාපියන්ගේ නම්බුව මුත්තයියා රැක ගත්තේ!!
අසූ ගණන් වල, අනූ ගණන් වල අපේ ගමේ කවුරු හරි මැරුණහම මල් ශාලාවකට ගිහින් මිනිය එම්බාම් කරවාගෙන, සරසවා ගෙන එන සිරිතක් තිබ්බේ නෑ කියන්ඩකෝ. ඒ වෙනුවට වෙන්නේ මල් ශාලාවේ එම්බාම් කරන එකායි, මිනී පෙට්ටියයි ගෙදරට අරන් එන එක. මිනී පෙට්ටිය වගේ පන නැති දෙයක් අරන් ආවා කියලා කියන්ඩ පුළුවන් උනාට එම්බාම් කරන එකා පන තියන එකෙක් හින්දා අරන් ආවා කියන එක සුදුසු මදි කියලා කවුරු හරි හිතනවා නං ඒ කෙනා දන්නේ නෑ මල් ශාලාවයි මල ගෙදරයි අතරේදී වෙන වැඩේ!! ඒ මොකද්ද දන්නවද..ගලබොක්කේ ආරිලගේ ගෙදරට ගොඩ වෙන එක....ආරියගෙන් දෙකක් දා ගත්තහම පන තියන එකත් පන නෑ වගේ තමා....දවසක් දෙකක් යනකල් සූර්!!!
ඉතින් වදෙන් පොරෙන් එම්බාම් කාරයා එක්ක ආපුහම උගේ සහයට එකෙක් දෙන්නෙක් ඉන්ඩ ඕන. නැත්තං ඒකා සූර් පිට බොකු බඩවැල් ටික ඉතුරු කරලා ඔළුවයි අත පයයි වලලයිද කියලා ෂුවර් නැති හිංදා. මේ එම්බාම් සහායක තනතුර මහා අප්පිරියාසන්න වැඩක්. ඒ හින්දා මොකෙක් වත් කැමති නෑ ඔය වැඩේට. මොකාද කැමති කුණු වෙන්ඩ පටන් ගත්තු තමන්ගේ ලග නෑයගේ නැත්නම් යාළුවගේ බඩ කපලා, බොකු බඩවල් එලියට ඇදලා, නාහේ කඩා ගෙන යන සැරක් තියන පෝමලීන් ගහන්ඩ උදවු වෙන්ඩ?
කවුරුවත් අත නොගහන මේ වැඩේට කැමත්තෙම්ම ඉදිරිපත් වෙන්නෙ අපේ මුත්තයියා.අර මං මුලින් කිව්වනේ අපේ ගමේ පහුගිය පරම්පරාවල උදවිය අමාරුවෙන් රැක ගෙන ආපු සිරිත...ඉන්න තැන එක නමකුයි නැති තැන තව ලස්සන නමකුයි කියන....ඔන්න ඔය සිරිත අපිට කලින් හිටපු පරම්පරාවත් අමතක නොකර රැක්කා...ඒ හිංදා මුත්තයියා ඉන්න තැනදී මුත්තා පුතා, අයියා, මල්ලි, මාමා කිවුවට මුත්තයියා නැති තැන ගමේ කොල්ලයි බල්ලයි හැම එකාම කිවුවේ එම්බාම් මුත්තා කියලා. කොච්චර ගවුරවයක්ද නේද එහෙම නමක් ලබා ගන්ඩ පුළුවන් වීම!!!
මළ ගෙදරක් උනාම මුත්තයියගේ උදව් පදව් එම්බාම් කරන තැනින් නතර වෙන්නේ නෑ. දැන් කාලේ වගේ මරණාධාර සමිති නොතිබ්බ ඒ දවස් වල මළ ගෙදරක් උනහම වෙන වියදම් දරන්ඩ උනේ ඒ ගෙදර මිනිස්සුන්ටමයි. දවසින් දවසට කුළියක් හොයා ගෙන ජීවත් වෙච්ච අපේ ගමේ උදවියට මළ ගෙයක් වීම කියන්නේ ලොකු බරක්.
(දැන් කාලේ අපෙ ගමේ මළ ගෙවල් උනහම ඒකෙ අවසාන කටයුතු කරන ආකාරය දැන ගන්ඩ ඕන නම් මේ ලිපියෙනුත්, ඒ තත්වෙට ගම ගේන්ඩ අපි දිවා රෑ නොබලා ඇප කැප වීමෙන් වැඩ කරපු විදිහ බලා ගන්ඩ ඕනෑනං මෙතැනිනුත්, එව්වා බලා ගත්තට මගේ අමනාපයක් නෑ ඕං).
ඒ වගේ වෙලාවටත් පිහිටට එන්නේ මුත්තයියා. පෙට්ටිය ගන්න, මිනිය එම්බාම් කරන්ඩ, මල ගෙදරට එන අයට කෑම බීම දෙන්ඩ ඉදන් හත් දවසේ දානේ දෙනකල් සියලු වියහියදම් වලට උදව් කරන්නේ මුත්තයියා. ණය බේරන්ඩ වෙලාවක් කලාවක් නෑ. තිබ්බ වෙලාවක දෙන්ඩ පුළුවන්. පොළියක් ඇත්තෙම නෑ. මළ ගෙදර ඉවර වෙනකල් දවල් රෑ නැතුව මිනියට තනි රකින්නෙත් මුත්තයියා. හවසට භාගයක් විතර අනුමත උනහම මනුස්සයට නිදා ගන්නේ කොතනද කියන එක එච්චර ප්රශ්නයක් නෙවෙයි. ඒ හින්දා හුගක් වෙලාවට රෑ දහයට විතර කවුරු හරි මළ ගෙදරට ආවොත් බලා ගන්ඩ පුළුවන් මුත්තයියා මිනී පෙට්ටිය යට නිදා ගෙන ඉන්න විදිහ. රෑ වෙන්ඩ වෙන්ඩ සීතල වැඩි වෙනකොට ඇඳන් ඉන්න සරම කඩලා පොරව ගන්න මුත්තයියා නින්දෙන් දගලන හින්දා සමහරවිට පාන්දර දෙක තුන වෙනකොට මිනී පෙට්ටිය යට සරම, මුත්තයියා ඊට අඩි තුන හතරකට එහායින්!! එක හින්දා බවලත් උදවිය පාන්දරට මිනිය ගාවට එන්නේ නෑ...කවුරු හරි තවම
සූර් පිට ඉන්න මුත්තයියව ඇහැරෙව්වොත් මේ අල කලංචිය පැහැදිලි කරලා දෙන්ඩ මුළු ගමේම ඉන්න මිනිස්සුන්ට ඇහැරෙන්ඩ වෙනවා. ඒ පාන්දරම සවනට වැකෙන සුමිහිරි කුණු හරුප වැල හින්දා. ඉතින් මුත්තයියා ගැන දන්නා කවුරුවත් උන්දැව ඇහැරවන්ඩ ගියේ නෑ සරමෙන් අඩි දහයක් දොළහක් ඈතින් මුත්තයියා හිටියත්.
අනික් කාරණේ මළ ගෙදර මෙහෙම තනි රකින හින්දා බේකරියේ වැඩ කරන්ඩ මුත්තයියට වෙලාවක් නැති වීම. ඉතින් දැන් වගේ චූං පාං කාරයෝ හිටපු නැති ඒ කාලේ ගමට තිබ්බ එකම බේකරිය වැඩ කරන්නේ නැති කොට මළ ගෙදර ඉවර වෙනකල් අපේ ගමේ විතරක් නෙවෙයි අහල ගං තුන හතරකම තුන් වේලටම බත්!! බත් කන්ඩ අකමැති අයත්, වේල් දෙක තුන උයන්ඩ වෙන අයත් එම්බාම් මුත්තව විතරක් නෙවෙයි අද්දං කාක්කයි, අද්දං කාක්කියි දෙන්නත් එක්ක තුන් දෙනාම මතක් කරනවා. එත් මුත්තයියා නෙවෙයි සමාජ සේවය අත්තැරියේ.
එම්බාම් කරන තැන ඒකට උදවු කරන, මිනී පෙට්ටිය යට නිදා ගන්න මුත්තයියා යකෙකුටවත් බය නැති පොරක් කියල නේද දැන් ඔයාලා හිතන්නේ. අපේ ගම ගැන පිට මිනිස්සු හුග දෙනෙක් හිතන විදිහටම ඔයාලත් වැරදියි. මුත්තයියා ගූ බයයි කලුවරට!!!
ඒත් ඉතින් කළුවරට බයයි කියලා මුත්තයියා නැවැත්තුවේ නැති තව පුරුද්දක් තිබුනා. ඒ හැමදාම හවසට ගලබොක්කේ ආරිලගේ ගෙදරට ගොඩ වෙන එක. එක දෙක වෙලා, දෙක තුන වෙලා ගෙදර එන්ඩ එනකොට ඔන්න රෑ හත අට වෙලා...මුත්තයියට අනුව හොල්මං එලි බහින වෙලාව...මගේ අම්මෝ මෙලෝ මිනිහෙකුට පුලුවන්ද තට්ට තනියම මේ හොල්මං ගැවසෙන පාරවල් වල ඇවිදගෙන ගෙදර යන්ඩ...ආය මොකද ටෝච් එකක්වත් හුළු අත්තක්වත් ගෙනාපු එකක්යැ. ගෙවල් වල ලයිට් දාල තිබුනට ටව්මේ වගේ හැම තැනම ගෙවල් තියනවැය ගං වල. ගෙවල් අතරේ තියන මහා පාරෙ පාලු තැන වල තමයි මහා සෝණ, මෝහිනී, ගලේ යකා වගේ කට්ටිය වැඩියෙම්ම ඉන්නේ....මට නම් කියන කොටත් බය හිතෙනවා...එහෙම කියලා ගෙදර නෑවිදිනුත් බෑ. දැන් මොකද කරන්නේ??? එම්බාම් මුත්තට මතක් වෙනවා යක්කුයි හොල්මනුයි කුණු හරුප වලට බයයි කියලා...ඔන්න ඉතින් පටන් ගන්නවා...පොඩි එවුන් ඉන්නව නං කං වහපල්ලා.....
"අඩෝ...මං මං අද්දං කාක්කගේ පුතා හරිද....!! අම්මට x*&%.... මං කාටවත් බය නෑ යකෝ....හු#@@@$$%%^%$#@******&&&&^^^^%%%%$$$###@@@!!!**(())(())())&&&^^%%&&&^%$$%^&***………………..!"
ගලබෝක්කේ ආරිගෙ ගෙදර තියෙන්නේ ගමේ එක කොනක. මුත්තයියාගේ ගෙදර ගමේ අනික්
කොනේ. ඉතින් අපරාදෙ කියන්ඩ බෑ ගම දිගටම තියන
මහපාර දිගේ මුත්තයියා හොල්මන් බය කර කර යන සද්දේ මුළු ගමටම හොඳට ඇහෙනවා. ඔය අතරේ
පඩත්තල කොල්ලෙක් දෙන්නෙක් හැංගිලා ඉඳගෙන 'අඩේ එම්බා..!" හරි
"ගඩෝ...ල්" හරි කියලා කෑ ගහනවා. ('ගඩොල්' කියන්නේ මුත්තයියා හදන පාන් වලට ගමේ
මිනිස්සු පාන් රාත්තල ඉස්සරහ දීම කියන නම...හැබැයි මුත්තයියා නැති තැන).
මේ හැම දෙකටම
මුත්තයියා ප්‍රතිචාර දක්වන්නේ අර කුණු හරුප වැල හය හත් වතාව ගානෙ මතුරලා....ඒත්
එක්කම ලොකු හූ හඩකින් ගමම වෙලෙනවා. මුත්තයියට මතක් වෙන්නේ යක්කුත් එන්නේ හූ
කියාගෙන කියලා....ඉතින් කුණුහරුප ඇරෙන්ඩ මන්තර දන්න එකක්යැ යක්කු
එළවන්ඩ.........!!!!!!!
ඔය අතරේ මුත්තයියාගේ සරම කැඩෙනවා. ඒක ඇද ගන්ඩ තරං වෙලාවක් වත්, පුළුවන්කමක් වත්, සිහියක් වත් ඒ උන්දැට නෑ. ඉතින් දා ගන්නවා
සරම කර වටේ...ඔයාලා ගම්පෙරළිය චිත්‍රපටිය බලලා තියෙනවනං ඒකෙ කයිසාරුවත්තේ
මුහන්දිරම් ඇඳන් ඉන්න සරුවාලේ වගේ තමයි දැන් මුත්තයියාගෙ ඇඳුම...සරුවාලේ විතරයි
ඈ...වෙන නූල් පොටක් ඇඟේ නෑ.....!!!! කං කැඩෙන්ඩ බීලා, හෙලුවෙන්, කුණු හරුප කියා කියා, මුත්තයියා පාරේ යන එකට ගමේ මිනිස්සු කියන්නේ 'මුත්තයියගේ පෙරහැර' කියලා. නැත්තං 'එම්බගේ පෙරහැර' කියලා.
ඔහොම කොහොම කොහොම හරි, වැටි වැටි යාන්තං පැයකින් විතර මුත්තයියා ගෙදරට ලං වෙනවා. එතන ඉඳන් ගේ 'ඇතුලේ පෙරහැර' රෑ දහය, එකොළහ වෙනකල්.
එම්බගේ පෙරහැර මාසෙකට අඩු ගානේ දවස් හය හතක් වත් වීදි සංචාරේ කරනවා..
මුත්තයියා හින්දා මිනිස්සු මේක ඉවසා ගෙන හිටියා.
අපි කීප දෙනෙක් හිතුවා මුත්තයියා මේක කරන්නේ බයට නෙවෙයි, තියන නොසන්ඩාල කමට කියලා. ඉතින් දවසක් රෑ
එම්බගේ පෙරහැර යද්දී අපි ගමේ සොහොන් පිට්ටනිය හරියේ හැංගිලා ඉඳලා වැලි ටිකක්
ගැහුවා.....කුණුහරුප ඔලිම්පික් එකක් තිබ්බනම් අනිවාර්ය රන් පදක්කමක් ලැබෙන
කුණුහරුප වැලක් කියාගෙන මුත්තයියා දුවන්ඩ පටන් ගත්තා...අපි ටිකකින් ගෙවල් වලට
එනකොට මුළු පාරම චූ ගඳයි...ඒ මදිවට කක්කා ගඳකුත් තිබුනා. මේ විදිහට කඩිනම්
පෙරහරකින් පස්සේ ගෙදරට ගිය මුත්තයියා දවස් දෙක තුනක් යනකල් බේකරියේ වැඩ කලේ නෑ. ඒ
සහලෝලා උණ ගැනිලා හිටපු හිංදා!!!. මේ සිද්දියෙන් අපිට තේරුනා මුත්තයියා ඇත්තටම
හොල්මං වලට බයෙන් තමයි කුණුහරුප කියන්නේ කියලා.
ඒ කාලේ ගමේ හවස් කාලේ පටන් ගන්නේ හෙන්දිරික්කා මල් පිපිලා. රස්සාවට ගිය
කිට්ටියයි සෙල්ලං කරන්ඩ එලියට ගිය ළමයිනුයි එතකොට ගෙදරට එනවා. ඊගාවට පිච්ච මල් පිපෙනවා. මූණ කට හෝදගෙන ළමයි පොත් පාඩම්
කරනවා. ඊගාවට හඳ පායනවා. ළමයි රෑට කනවා. ඊළඟට මුත්තයියගේ පෙරහැර. අම්මලා ළමයින්ගේ
කන් වහලා නිදි කරවනවා. බදුලු කෝච්චිය යන සද්දේ එනකොට ගමම නිදි.
අනූව දසකේ වෙනකොට ගම පුරා වෙනස් කම් වෙන්ඩ පටන් ගත්තා. අලුතෙන් දාපු
ගාමන්ට් වලයි කොළඹ ඇති උන අලුත් රස්සවලුයි හින්දා ගමට සල්ලි එන්ඩ පටන් ගත්තා. ගමේ
සමාජෙ මුත්තයියා වගේ කට්ටියට තිබුන තැන ටික ටික නැති උනා. මිනිස්සු ටවුමෙන් හොද
හොද පාන් ගෙනල්ල කන්ඩ පටන් ගත්තා. මුත්තයියා 'ගඩොල්' බේකරිය වහලා දැම්මා.
ගලබොක්කේ ආරි ගාවට යනවට වඩා මිනිස්සු ටවුමේ බාර් එකෙන් අරක්කු ගෙනැත් බොන්ඩ පටන්
ගත්තා. ගම හරහා දුවන පාර දිගටම ගෙවල් හැදිලා පාරට එලිය වැටිච්ච හින්දද නැත්නම්
ගෙදරට ගෙනැල්ලා බොන්ඩ පටන් ගත්තු හින්දද මං දන්නේ නෑ මුත්තයියගේ පෙරහැරත් නැවතුනා.
දැන්
හෙන්දිරික්කා මල් පිපෙනවා. මොකුත් වෙන්නේ නෑ. පිච්ච මල් පිපෙන කොට ගෙදර කට්ටිය
ගෙදරට එනවා. හඳ පායනවා. ඒ වෙනකොට ගෙදර ඔක්කොම ඉන්දියාවෙන් ගෙන්නපු
මල හෝන්තු බලනවා ටී. වී. එකේ. බදුලු කෝච්චිය යනවා. ඒත් ගෙවල් වල උන් තාම නයි, මුගටි
වෙන හැටියි, මුගටි, නයි
වෙන හැටියි බලනවා ටී. වී. එකේ.
චැ:
මුත්තයියගේ පෙරහැරවත් නෑනේ ගමට වෙලාව මතක් කරලා දෙන්ඩ!!
මේ කාලෙ මොන තරං දේවල තිබුනත්, මිනිස්සු ගම්වල සරලව ජීවත් උනා වගේ සංතෝශයක් දැන් නෑ.
ReplyDeleteසරලකමත් එක්කම අහිංසක කමකුත් ඒ ගම් වල තිබුණා. දැන් ඒ කලේ තිබුණු දුප්පත්කම නෑ. මිනිස්සු කාලා බීලා, ආයෙත් බීලා හොඳින් ජීවත් වෙනවා. ඒත් ඒ 'හොඳ' මොකද්ද කියන එක ප්‍රශ්නයක්. හොඳ කියන්නේ සල්ලි තිබීම විතරද, කන්ද බොන්ඩ තිබුනොත් ඔක්කොම හරිද?
ReplyDeleteමම ගමේ මිනිස්සු ජීවත් වෙච්ච විදිය දැනගන්නෙ මේ වගේ පෝස්ට් කියවල
ReplyDeletelol..
ReplyDeleteඑත් එම්බාම්ලගේ ජීවිත කොයි තරම් සුන්දරද?
ReplyDeleteහෙන්දිරික්ක මල් ගාලයි පිච්ච මල් වැලයි ගලෝල උසික්ක කොරල හිට තාප්පෙ බැන්දනෙ....දැන් වෙලාව බලා ගන්නෙ සූරන පෝන් එකේ මූනෙන්.......
ReplyDelete